Friday, May 30, 2014

Poison

කඳුලත්,
මදහසත්
අතර
මීදුම් පටලයක්


"Poison is in everything, and no thing is without poison. The dosage makes it either a poison or a remedy"

Philipus Aureolus Paracelsus - The Father of the Toxicity
(1 May 1493 - 24 Sep 1541)




Wednesday, May 28, 2014

'අඳුර'


පියාඹන කාලය ළඟ
නතරකරනෙමි හදවත
පියාගෙන ඇස්පිය නෙත
අඳුර දකිනෙමි මොහොතක

පියාඹන්නට රිසි හිත
මොහොතකට තටු පිළිසිඳ
අසා ඇති ලෙස නෙකවර
මම මගෙන් මුදවාවිද

කඳුලු හුරු නෙත් තදකර
සුළඟෙ සිට හිනැහේවිද
කඳුලු දැක නෙක නෙතු ළඟ
පසුතැවෙන්නට වේවිද

රෝස පෑ නැති කොපුලත
තවත් අඳුරුව යන සඳ
තාත්තා මෙන් මා මුව
ගලක් සේ රලු වේවිද

ගැහෙද්දී හද නොදුටුව
නෙක මුහුණු මා වටකර
ඉතිරි වූ දෙන සිඹ සිඹ
සුවඳ පැන් ඉස යාවිද

හිරු මියෙන හෝරාවෙක
මිදුන කය ඔසවාගෙන
අතීතය සිහි කරකර
ඔහුත් ඒවිද සොහොනට 

අක්කලා ඉකිබිඳීවි
අම්මා ගෙ හිත බිඳේවී
දෝණි හා පුතු ළඟ ඉඳන්
පුංචො නැඟිටින් කියාවී 

මතක පාවඩ මත එලූ
අම්මාගේ ගත රැඳි සුදු සලු
බොර පාටවී, තෙත බරිත වෙයි
අමතකව යයි සුදු පිරූ

පියාඹන කාලය ළඟ
නතරවු හිත සිඹ සිඹ
දෙනෙත් හැර, මොහොතක් රැදඳෙමි මම
'අඳුර' දකිනෙමි බෝ දුර

Thursday, May 22, 2014

චිත්‍ර

"යමුද එහෙනම්...."

"හ්ම්....යමු...".

හැන්දෑව ගෙවන්න ඇවිදින්න යන්න යෝජනා කලේ අත්තම්මා. යෝජනාව ස්ථීර කලේ අම්මා. ඒ එක්කෙනෙක්ටවත් ඕන උනේ නෑ හැන්දෑව එලියෙ ගත කරන්න. ඒත්, එයාලට ඕන උනා අපි දෙන්නව එලියට යවන්න, තනිවම. යෝජිත පෙම්වතියත් එක්ක රියට ගොඩඋනේ ඒකයි මම. නැත්නම් යස අගේට කාමරේ ඇඳ උඩට වෙලා හිතුවිලි නූල් බෝලෙ පැටලුම් ලෙහන්න තිබ්බ කාලෙ නිකන් නාස්ති කරන්න මට උවමනාවක් තිබ්බේම නෑ.

'යෝජිත පෙම්වතී....' තේරුම් කරමුකො ඒකත්. යෝජිතයි කිවුවෙ පෙම්වතී මංගල යෝජනාවක් හරහා මුණගැහුන පෙම්වතියක් නිසා. එහෙනම් පෙම්වතී කීවෙ....? එහෙමයි කියල හිතන්න වෙන හංදා (වෙන්න ඇති).

|``~~****~~``|

නිහැඬියාව බිඳගෙන ඇහෙන සංගීත රාවෙම නිහැඬියාවට රුකුලක් උනාද මංදා? හුම්මිටි තැබීමකින්වත් අපි දෙන්නාගෙන් කෙනෙක් නිහැඬියාව බින්දේම නෑ. නිහැඬියාවට පුදුමාකාර විදියට ආදරේ කලත්, තවත් ගොලුවත රකින්න මට බෑ. සමහරවිට, ගෑණු ළමයට ලැජ්ජා හිතිල වෙන්නැති. හැබැයි, එහෙම සබකෝල ගතියක්නම් මං එයාගෙන් දැක්කෙත් නෑ.

අවසානෙ මම නිහැඬියාවට වචන මුදාහරින්න තිරණය කලා.


"කොහෙද ඉතින් අපි දැන් යන්නෙ?"

"යමුද විහාර මහ දේවි එකට?"

"ඇයි....? මල් ප්‍රදර්ශයක්?"

"නෑ....නෑ....චිත්‍ර ප්‍රදර්ශනයක්"

"චිත්‍ර...? ආ...එහෙනම් යමු"

රථ ගාලෙ මෝටර් රථය නවත්තල,  ඇවිදගෙන ගියා අපි ඇතුලට. ප්‍රදර්ශනේ තිබ්බෙ එලිමහනෙ නෙවෙයි. දිගට, දිගට ඉදිකරපු ටකරං මඩුවල. ඒ මඩු විදුලි එලිවලින් ආලෝකමත් වෙලා තිබුනත්, එතන අමුතු අඳුරකුත් තිබුනද මංදා. 

වැඩිය කවුරුත් නෑ. පෙම්වතුන් කීප යුවලක් සහ තවත් කීප දෙනෙක් විතරයි උන්නෙ. අපිත් ඇවිදගෙන, ඇවිදගෙන ගිහින් නතර උනේ විශාල සිතුවමක් ළඟ. කලු පාට රාමුවට රැන්දුව කැන්වස් රෙද්දෙ, රාමුව ළඟඳි කලු පාටට හුරු නිල් පාටින් පටං අරං දිය සුලියක් කැරකෙනව වගේ ඇතුලට, ඇතුලට ලා පාට වෙලා ටිකෙන් ටික.... මැදට යනකොට සුදට හුරු නිල් පාටක්. ඒත්, ඒ මැද සුදට හුරු කහ පාට යමක් කැපිල පේන්න. යෝධ කඩල ඇටයක් වගේ, වතුර බිංදුවක්ද, පහනක් වෙන්නත් පුලුවන්. අනේ මංදා.... දැක්කම දැනුනෙ තනිකමක්.

ඒ ටකරං මඩුවෙ, ඒ ඉසවුවෙ වෙන කවුරුත් උන්නෙ නැති හංදා, තරුණ යුවලක් තනි කරන එක හොඳ නෑ කියල හිතිලද මංදා ආවෙ තරුණියක් එතනට. හ්ම්....කතා කරන්නම හිතුනෙ මොකද මංදා මට.

"මිස්ගෙද මේ චිත්‍ර?"

"නෑ....අපි කට්ටියගෙම චිත්‍ර එකතුවක් මෙතන තියෙන්නෙ. ඔය චිත්‍රෙ ඇඳපු කෙනා නම් දැන් නෑ. හදිස්සියෙ ගෙදර යන්න වෙලා එයාට"

"හ්ම්...එහෙමද? මේ චිත්‍ර වලට ඇයි නමක් දුන්නෙ නැත්තෙ?"

"චිත්‍ර වලට නමක් දෙන්න පුලුවන්. ඒත්, නමක් දීලා ඒකෙ අරුත සීමාකරන්න අපි කැමති උනේ නෑ. නමක් නොදෙන තරමට අසීමිත පරාසෙක සැරිසරන්න චිත්‍රෙකට පුලුවන්නෙ."

"ඕ....ඒකත් ඇත්ත"

යෝජිත පෙම්වතීට නිල් පසුබිමේ කහ පාටට තිබ්බ තනිකම එපාවෙලා, දැං බිං ගේක අඳුර අතරින් එලියට ඇවිදින මාලු වෙළෙන්දෙක්ගෙ කථාවට ඇස් අලවගෙන.

"ඇයි මිස් මේ චිත්‍රවල වෙනසක්? මේ බිත්තියෙ, මේ පැත්තෙ තියන සේරම චිත්‍ර අමුතුයි. එක පාරටම පෙන්නල නෑ අර්ථයක්. ඒත්, ලොකු සමීප ගතියක් තියෙන්නෙ."

"ඔවු. මේ බලන්න. ඒත් මං නම් කැමතිම මේ චිත්‍ර කාණ්ඩෙට. මේවා ළඟදි හිතට දැනෙන්නෙ හරි සැහැල්ලුවක්."

"හ්ම්....මටත් ඒක නම් දැනුනා."

" ඒ මේකයි. නමක් නැති, ඒත් ලස්සන., අරුතකුත් නෑ වගේ හිතෙන මේ චිත්‍ර දිහා අපි බලන්නෙ අපේ ඇහින්. ඒ වෙලාවෙ අපේ හිතේ තියන හැඟීමත් එක්ක නිකංම මේ චිත්‍ර අපේ හිත් කියවන කැඩපතක් වෙනවා. කාටවත් කියන්න බැරි හිත, කාට හරි විවෘත උනාම දැනෙන සැහැල්ලුව අපිට විඳීන්න පුලුවන් මෙතන ඉඳන්."

"ඕ....මට හිතුනෙ නෑ එහෙම. ඒත්, දැනුන ඒ දේ, ඒ වෙනස. ඒත්, මේ මිස් විස්තර කලාමයි මට ඒ දේ දැනුන බවත් දැනුනෙ. ඒකත් පුදුමයි. මේ චිත්‍ර හරියට නිකන් හිතට බේත් කරන වෛද්‍යවරයෙක් වගේ නේද?"

"ඔවු. ඒ වගේ තමයි. බලන්න සරළ, සුමට චිත්‍රවල රේඛා එකිනෙකට පෑහෙන ලස්සන. ඒ පෑහීම මේ චිත්‍ර එකිනෙක අතරෙත් තියනව නේද? හරියටම හැම චිත්‍රෙකම මොකක් හරි සමීප ගතියක් වගේ."

"ඔවු. හරියට එකම තේමාව, එකම ශෛලිය වගේ පෙනුනට ළඟට ගියාම දැනෙන්නෙ ළඟම මිතුරෙක්ගෙ සමීප ගතිය"

"මේ චිත්‍ර මහත්තයාගෙ හිත කියවල වෙන්නැති එහෙනම්."

"ආ....වෙන්නත් පුලුවන් ඉතින්."

මගේ (යෝජිත) පෙම්වතී සේරෝම සිතුවම් අධ්‍යනය අතහැර, පසෙකට වී, එක බැල්මෙන් සියලු සිතුවම් තේරුම් ගැනීමේ උත්සහයක යෙදෙමින්, ශාලාවේ මැදට වී චිත්‍ර සියල්ල නෙත්වලට හසු කරගනිමින් උන්නාය.

මමද කිවුවෙ චිත්‍ර බලමු කියල? නෑ. ඒත් මටයි දැන් චිත්‍ර හාරන්න ඕන වෙලා තියෙන්නෙ. මක් කරන්නද? එක පුංචි සීරීම් තුවාලයක් වත් නැතුව ආයෙ ගෙදර ඇරලවන්න වෙලාව හරි. සිතුවමක නොදුටු පැත්තක් පෙන්නුව මේ ගමන ආවෙ මගේ උවමනාවට නොවුනත්, දැන් මං සතුටින්. ඒත්, පෙම්වතීගෙ නම් ආපු සතුට දැන් මැලවිලාද මංදා.

"මිස්, එහෙනම් අපි යන්නම්"

"හොඳයි. මොනාහරි අඩුපාඩු, වැරදි දැක්කද මෙතනදි?"

"ඔවු. කලින් මේ චිත්‍ර ප්‍රදර්ශන නොබැලීම සහ හිත කියවන චිත්‍ර අඳුනගෙන නොතිබීම"


නිමි.
(2008.09.16)

Wednesday, May 21, 2014

'පැහැය'


මල්
තව පිපෙන්න!
මේ වේලූ මලෙහි
පැහැය 
නොමකන්න!

Wednesday, May 7, 2014

අද හරියට වැස්ස!

වැස්ස!

මම ආදරය කරන වැස්ස!

මේ මන්දාරම් ගතිය එක්ක ඉබේටම හිත මතක් කරන්නෙ ඉස්කෝලෙ. හරියටම අවුරුදු දහයකින් එහාට දුවන කාලෙ. 

ඒ එක්කම තාත්තා!

සති කීපෙකට කලින් මට මතකයි චූටි අක්කට හැදුන බඩේ අමරුවක් එක්ක ඔට්ටු වෙලා නිදාගන්න ඇඳට ගිහාම මට තාත්තා මතක් උනා, ඉස්කෝලෙ යාලුවො මලගෙදර ආ හැටි, ඊලඟට රොටරිය එහෙ උන සිද්දියක් මතක් වෙලා මං තනියම හොඳටම හිනා උනා. A/L පංතියෙ හොඳම යාලුවත් එක්ක SMS වලින් රෑ 1-2වෙනකල් අතීතය හුවමාරු උනේ මගෙ පොත් මේසෙ අස්සෙ තිබ්බ සමරුපොත මුල ඉඳන් අකුරක් නෑර කියවන අතරෙ. හිනා දියවෙලා කඳුලු පටල ඇස් බොඳ කරද්දි මම නිහඬ උනා. ඒත් නින්ද ආවෙ නෑ. ඒක බොහොම දුකහිතෙන රැයක්! අතීතය එකක් පස්සෙ එකක් මතක් වෙද්දි මම දුක තව වැඩිකරගනිමිනුයි උන්නෙ. 

අතීතය ඒ වගේ! 

මට මතකයි ඉස්සර, මම තාත්තගෙ පපුව උඩ නිදාගත්ත හැටි. එහෙම නිදන්න ආයෙ තාත්තා එන්නෑ. මට ඕන නෑ පපුව උඩ නිදන්න. 

ඒත්, 

තාත්තා! 

මට ඕනෙ! 

අද පාන්දර තාත්තා ආවා. හීනයක් ඇතුලෙන්. ගෙදරින්ම මට විතරක් පේන්න හීන එක්ක ආවට හැමදාම එකම අදහසම අරං එන්නෙ ඇයි?

මරණය!

එක හීනෙක ඔයා මැරිලා. ඒ මරණය ආයෙ ආයේ මට දකින්න ඕන නෑ! ඒත් විකල්පයක් නෑ. ඒක හීනයක්!. 

තව හීනෙක මැරුණ ඔබ මැරිල නෑ. ඒක වැරදීමක්. මම හීනෙන් 'තාත්තා මැරිල නෑ' කියන්නෙ කොයිතරම් බලාපොරොත්තුවකින්ද. ඒත් පලක් නෑ. ඒක හීනයක්!

ඒ එක හීනෙක වත් තාත්ත කතා කලේ නෑ. මදහසක් ඇරෙන්න ඒ ලස්සන හිනාව නෑ. ආලෝකයක් නෑ.

එක්කො හැන්දෑව, එක්කො රාත්‍රිය 

නැතිනම් වැස්ස!

අද හරියට වැස්ස!

පසු සටහන:
 හද රිදෙවු හැඟුම් අකුරු කර ලයට අස්වැසිලක් දෙන්නට දැරූ වෑයමකි.හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!

හිත ඇතුලෙ මතක වැස්සක්,  

ඒත් අකුරු දිය කරන කඳුලු වතුරින් වහින වැස්සක්!