Tuesday, April 10, 2012

කොවුලා තව ගයයි නව අවුරුදු තාලේ !




අවුරුදු ඇවිත් අත ලඟ පේනා මානේ
හිත් වල සියුම් කිතියක් පතුරන වේලේ
දුටුවේ නැතත් රතු පැහැ එරබදු මාලේ
කොවුලා තව ගයයි නව අවුරුදු තාලේ

හරි හරියට ගේ-දොර හැඩ වෙන විලස
හදවත් පවා පිරිසුදු වේවා එලෙස
ඇති- නැති කොයි ලිපෙත් ඉදෙනා කිරි බතට
යහමින් එක් කරමු හොඳ සිතුවිලි අහුර

දොලොස් මහක් ගතවී එන සුභ මොහොතේ
සිතක්-සිතක් ගානේ හසරැළි බෝ වේ
දුකත්-සැපත් නිති පෙරලෙන ජීවිතයේ
හෙටක් පතමු සැනසුම සැනහෙන දිවියේ

සතුටත් දියුණුවත් නො අඩුව හිමි වේවා !
සම්පත් උදා වී හෙට තව හැඩ වේවා !
නව වසරේ සියලු පැතුම් ඉටු වේවා !
ඔබටත්, පවුලෙ සැමටත් කිරි ඉතිරේවා!