Wednesday, October 24, 2012

තාලයත් ඔබ, ඒ වයන වෙණතතත් ඔබ!




අට වසරක අතීතය....

ඔබ එක්කම හද ගැහුන

විටෙක හිත සනහන
තව විටෙක රිදවන.....

පිපුන හද පෙම්-වත
ලියමි තවමත් හෙමිහිට
හදගැහෙන රිද්මෙටම,
නොලියවෙන බව ඇත්තයි ජීවිතය....

ගෙවා ආ මඟ දුරෙහි
හීන-පැතුමන් හදවතින් ගෙන,
තවත් දිගු දුරකි යන්නට
ඔබේ සෙවනේ පහස විඳිමින....

ඔබ නිසා හිත රිදුන මොහොතක
මෙ-හිත හැදුවෙත් ඔබම වූ සඳ,
කුලුදුලේ හද ලිවූ පෙම් කවෙහි
තාලයත් ඔබ,
ඒ වයන වෙණතතත් ඔබ! 

'~ආ~ද~ර~ය~'

වදනක්....
ඔබයි දුන්නේ අමිල අරුතක්!,

කියාගන්නට නොතේරෙන හැඟුමක්
මගේ හිමියණි...., 
හිතේ සිරවී,ගෙනේ දෑසට කඳුලක්....

ඔබත්-මමත්,

ඉතින්..., 
එක්ව යමු තවත් බෝ දුරක්....
කඳුලත්- සිනහවත්
බෙදාගමු නූපන්න හෙටටත්....

27/10/2012

Tuesday, October 23, 2012

පැතූ පැතුමන් හැබෑ වේවා!





සුළඟත් එක්ක ඳඟ පෑව
සුදු ගවුමේ රැළිත් සිළිලාර
ඉස්කෝලෙ ගිය මුල් දවසෙ
සිතුවම් මතක ළඟ ඔබත් ඇත.....

මැයි මල් පිපෙන හැඩ කහ පාට
පොඩි පංතිවල සුරඟන සුවඳ
ගී කියු මියුලැසි විහඟ කැල
තාමත් මවයි ඒ සිඟිති රස....

අරලියා මල් ගස් අතරෙ නෙක
යෞවනේ හිරිමල් පිපෙනතර
මිතුරියේ අපි ආ ගමන් මඟ
විදු මවුගෙ සෙවනේ සිහිල මැද....

හැර ආ දිනේ අනුලා තුරුල
අපි වෙන්වෙද්දි බිඳි කඳුලු කැට
තරු සිත්තමක් වී අහසෙ අර
තමත් දොවයි මිතුදමින් සිත....

දුර බොහෝමැයි අපි අතර
මිතු දම් හුයෙන් පාලම් මැවුන

ඉඳ හිට එවූ හසුනක අතර
කඳුලත්- සිනාවත් අකුරු කර....


මිතුරියේ මා හිත හැඳිනූ
මේ සුභ පැතුම් එ හිතේ ඇඳුනු
දඟකාරි - සෝබන යෙහෙලි
මනාලිය වන දින ළඟලු....

සෙනෙහස නිසා දෙහිතේ බැඳුන
මඟ එලිය වෙයි නිසි මඟ යන්න
අඳුරෙදි එපා කලබල වෙන්න
බෝ දුරකි ඔහු හා යන්න.....

පැතූ පැතුමන් හැබෑ වේවා!
සිනාමුව සැමදා රැඳේවා!
හීන දුටු ලෙස අනාගතයම,
ආදරේන් සිත්තම් කෙරේවා....!

(25/10/2012)

Thursday, October 18, 2012

හිත





මිනිසෙක් 
දන් දෙයි
'මේ නම් සොරෙක් මැයි' බණිමින් (හිතින්)

යදින්නෙක්
පින් දෙයි 
ලැබුන 'රුපියලට සරදමින්'  (හිතින්)

Thursday, October 11, 2012

අතිනත පටලා - යමු අපි දෙන්නා - පුංචි දුවේ මාගේ


අද අහසෙ පායපු ඉරෙත් පාට හේදිල වගෙයි......

කවුලුවෙන් එපිට හිස් අහස දිහාව බලාගෙන ඈ එහෙම හිතුව. 

ඔවු, කිත්මිණී.....හේදිච්ච හිතත් ගුලි කරගෙන අහස දිහාව බලා උන්නා. ඇගේ හිත වගේම ඈට පෙනුන, ඈ දුටුව අහසත් හිස්. ඒත්,  ඈ දැනගෙන උන්නා. ඈට නොපෙනෙන අනිත් පැත්තෙ ඉර පායල තියෙන බව. ඒ වගේම මේ ඉර එලියෙ පාට හේදිච්ච මලානික ගතියට හේතුවත් කිත්මිණී දැනගෙන උන්නා. 

ඔවු, අවුව පායල තියන බවත්, මේ මද්දහන බවත් ඇත්තයි. ඒත් ඒ මද්දහනට උරුම දීප්තිය, ඒ දිලිසෙන කහ පාට ඈතක ඉඳන් සීරුවට අහසෙ ගුලි ගැහෙන වැහි කලුවකින් වැහෙමින් තිබුනා.

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~



 මේ හැමදේම සිද්දවෙන්න පටන් ගත්තෙ කවදද? 

 ඒ දවස්.... ඒ කිවුවෙ,  මම පුංචි කාලෙ කොයි තරම් ලස්සනද? 

අවුරුදු පහළවක් තිස්සෙ අම්මගෙ තාත්තගෙ හුරතලා වෙවි අයිය ගෙවුව කාලෙ හිටි හැටියෙ නතර උනෙ අකලට හටගත් ඵලයක් වගේ මං උපන් දා ඉඳලයි.

 "ඒ දවස්වල තිබ්බ වලි!" 

 හීන් හිනාවක් මුවේ ඇදෙද්දි මම අතීතයට කවදවත් නැතිතරම් ආදරේ කරන්න පටන් අරං......

අයියත් එක්ක භාහිරින් මහා බැඳීමක් නොතිබුනත්, අධ්‍යාත්මිකව ඇතිඋන ආදරය. තාත්තගෙ නිහඬ, ප්‍රතාපවත් සෙනෙහස. ඒ අස්සෙ මං ඇයට බැඳුනු බැම්ම....

අම්මා.... 

ළයේ ඟැඹුරුම ඉසවුවකින් ඇවිලුන ගින්නක් හංදා පිච්චිලා යන උණුහුමකින් හුස්මක් හිතේ රස්නෙට එලියට පැන්නා.

ඒ දවස්... එකිනෙකාට බදධ උනා වගේ අපි අතර තියන බැඳීම... ඉස්කෝලෙ ආ -ගිය හැටි, සුකුරුත්තන් ඇඳුම අන්දපු හැටි, රහස් බෙදාගත්තු හැටි... 

තරවටුවක්, ගුටියක් මට දීලා අම්ම හොරෙන් ඇඬුව බව මන් දවසක් දැක්ක. එදා ඒක දැක්ක බව මං කීවෙවත්, අම්ම දුකින් වේදනාවෙන් ඇඬු බව මට කීවෙවත් නෑ තමයි. ආයෙමත් මන් ගුටි කෑවම අම්ම හොරාට අඬනව මං දැක්කෙත් නැති උනත්... මං ඔය අසීමිත ආදරේ එදා පුදුමාකාර විදියට වින්දා.

හැමදාම, හැමදේම අපි දෙන්න බෙදාගත්තෙ. ඒක අරුම බැඳීමක්. මට කියාගන්න නොතේරෙන. 

ආදරේ..... 

ඔයලගෙ ආදරේ අතරටම එයාගෙ ආදරෙත් ලබන්න මං පින් කරල. ඒ ආදරේට ඔයාල ආශිර්වාදයක් උනා. මං සතුටු උන තරම..... ඒක ඔයාටත් දැනුන නේද අම්මා....

එකින් එක අවුරුදු ගෙවෙදදි.... ඔයා කීවා, 

"දැන් ඉතින් මදැයි උන්නා. අපි Wedding එක ගමු දූ" 

අන්තිමේ....

මට මේ ඇහෙන්නෙ මහන මැසිමෙ මහ ගොරහැඬි සද්දෙ. ඔයා ඔයාගෙ අතින්ම මගෙ මංඟල ඇදුම් මහනවා. 

ඉස්සර රැළි අල්ලල,මල් මහල බෝරිච්චි අත් දාල ගවුම් මැහුව මැසිමෙන්ම, මට වැඩ දාපු ඔසරි හැට්ටයක් ඔයා හෙමි හෙමිහිට මහගෙන යනවා.පොඩියකට නතරවෙලා ඒ හැට්ටෙ රටා අතරෙ ඔයාගෙ ඇඟිලිතුඩු යවන ගමන් තනියම හිනැහෙනවා.හදිස්සියෙම ලොකු හුස්මකින් හිත හෑල්ලු කරගෙන හනික ඇස් දෙක පිහදාල ආයෙත් මහනවා. 

මම ඔයාව දැක්ක අම්මා....

හරි සද්දෙට එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු බලනව. හිනැහෙනවා. මට තරවටු, උපදෙස් දෙන අතරෙම ඔච්චම් කරනවා. ඒ අතරෙ මට ඇහෙනවා රෑට නිදි ඇඳේදි හීන් ඉකියකුත්....

මට ඔයාව ඇහුන අම්මා.....

මතකද, අපි දෙන්නා මගේ කාමරේට වෙලා සාරි නවද්දි ළඟදි දවසක මං කිවුවා ......

"ඔන්න අම්මේ.... මට එහේ ඉන්න බෑ හිතුනොත් මං ගෙදර එනව හොඳේ..."

ඔයා මොහොතක් මං දිහාව බලං උන්නා. ඉක්මනින්ම මගෙ ඇස්වලින් ඔය මූන අහක් කරගෙන මගෙ කාමරේ පුරාම ඔයාගෙ ඇස් යැවුවා. 

" හඃ ඒවා කොහෙද, මට උඹව යවනකල් ඉවසුමක් නෑ.. නිදහසේ ඉතුරු කාලෙ ගෙවා ගත්තෑකි ඇති යන්තම්..."

හදිසියෙම ඔයා මහ හයියෙන් හිනා වෙලා කීවා,

මට ඔයාව දැනුනා අම්මා.....

තව සුමාන දෙකයි.... 

මං මනාලියක් වෙනව දකින්න ඔයා දැකපු හීනෙයි, එයා එක්ක ජීවිතේ අත්තිවාරම දාන්න මං දැකපු හීනෙයි....  

ඒ හීන එදාට හැබෑ වෙයි...

එතකොට මේ කඳුලු!

ඔයයි මමයි හිත් අස්සෙ හිරකරගෙන ඉන්න, ගින්දරටත් වඩා හිත පුච්චන මේ කඳුලු?

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~

කිත්මිණී හනික කවුලුව ගාවින් නැඟිටගෙන, යාබද කාමරේ මැසිම එක්ක ඔට්ටු වෙන අම්ම ගාවට ඇදුනා...

ඈ උලුවස්ස ගාවට ගියා. ඇගේ අම්මා ඒ ඔසරි හැට්ටය ඒ මොහොතෙම අන්තිම මැහුම් පාරත් ගහල මහල ඉවරකලා... එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කපල ඒ රටා අතරෙ ආයෙමත් ඇඟිලි දුවවමින් ඈ හීන් හිනාවක් මූනෙ ඇඳගෙන කල්පනා කලා.

මේ සේරම දොර උලුවස්ස ළඟ ඉඳන් කිත්මිනී නිහඬවම බලා උන්නා. ඒත් ඒ හිත ඇතුලෙ බැමි එකින් එක ලිහෙමින් කඳුලු උපද්වමින් තිබුනා.

එතකොටම, අම්මාගෙ ඇහින් වැටුන කඳුලක් හැට්ට අත උඩ පැල්ලමක් ඇන්දා. හනික ඒක පිහිද්දි තව කඳුලක් මැසිම උඩම බිඳිල ගියා. එකකට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් කඳුලු වහිද්දි ඇගේ අම්මා හැට්ටය ළයේ තුරුලුකරන් ඉකිබිඳින්න උනා.


අම්මා.....

උලුවස්සෙ වරුවෙන් මිදිලා කිත්මිණී අම්මාගෙ උකුලෙ කඳුලින්සිත්තම් මවද්දි....

ගෙදරින් එලියෙ මුලු මිඳුලම දූවිලි පිහමින් සිරි - සිරි වැස්සක් වහින්න පටන් ගත්තා.....

මේ වැස්සට පස්සෙ තිබුනටත් වඩා දීප්තියකින්, අහස ලස්සන කරගෙන ඉර පායාවි..

Tuesday, October 9, 2012

ඕනවෙයි කල් මට...




වසන්තය
ඔබ 
උදාවෙන්නට සිතා ඉන්නා දවස
කියනවද මට?

(රහසින්වත්?, මං රකින්නම් ඒ රහස ...)

එන්න කලින් ඔබ
හදාගතයුතුයි හිත මම
ඕනවෙයි කල් මට.....!

(සමහරවිට, ඔබ එන්න හිතනා දවස වේවි කල්දමන්නට....!!)

Monday, October 8, 2012

ඔබ එක්ක - ඔබ නැතිව




තාමත් දන්නෙ නෑ මම
මට ඔබ එක්ක
පුලුවනිදැයි
ජීවත් වෙන්නට......

මම දන්නෙ,
මට අමාරුයි
ඔබ නැතිව
ජීවිතය
දුරක් ගෙනියන්නට.......