Monday, December 31, 2012

අන්තිමේ ඈ යන්නට ගියාය!



අන්තිමේ ඈ යන්නට ගියාය!

සිදු නොවියයුතු වූ සියල්ල ඇයට සිදු කිරීමෙන් අනතුරුව ඇයට ඒ ගැහැණු ජීවිතය දරන්නට හැකියාවක්, උවමනාවක් හෝ ආශාවක් ඉතිරි නොවන්නට ඇත.

ඇයට ඒ මොහොතේ ඇගෙ අම්මා සිහිවන්නට ඇත, තාත්තා සිහිවන්නට ඇත, ඔවුන්ගේ උණුහුමේ සුරැකි බව දැඩිව උවමනාවන්නට ඇත. ඈ තනිකම හා අසරණ කම නිසා එක්වරක් මියෙන්නට ඇත. 

ඇගේ පෙම්වතාගේ ආදරය තදින් දැනෙන්නට ඇත. ඈ නිසා නොව ඔහු නිසා උපන් ප්‍රේමයේ වේදනාවෙන් ඈ තවවරක් මියෙන්නට ඇත. 

ඈ මැවූ හීන!  වෛද්‍යවරියකව නෙක දනෝ සුවපත් කරන්නට මැවු හීන, දෙමාපිය ආශිර්වාද මැද මනාලියක වන්නට මැවු හීන, ආදරණීය බිළින්දෙකු කුස දරන්නට මැවු හීන, අම්මා නම් උත්තරීතර පදවියෙන් අභිශේක ලබන්නට මැවු හීන..... අවුරුදු 23ක යෞවනියකව ඈ දුටු හීන එකිනෙක මියෙනු දැක ඈ තව වරක් මියෙන්නට ඇත.  

පිරිමින්! සාමූහිකව! ඈ කෙලසද්දී ශල්‍යකර්ම තුනකුත් සිදුකර තවත් පණ රැකගන්නට නොහැකිවන තමට ඈ ඒ මානසික රෝගීන් අතින් කෙතරම් පීඩාවට පත්වන්ට ඇත්දැයි ඔබට හෝ මට හිතාගැනීමටවත් පුලුවනිද?

මුහුණු වසා අධිකරණය වෙත ගෙන ගිය ඒ දූශකයන් නිසා නිරුවත් වූ ඇගේ ආත්ම ගෞරවය නෑදෑයන්, යහලු යෙහෙලියන්, රට, ලෝකය, සමාජය හමුවේ මාධ්‍යයන් ඔස්සේ යලි යලිත් නිරුවත් කෙරෙනු දකින්නට ඈයට සිහියක් තිබුනානම් එතැනදී ඈ යලිත් මියෙන්නට ඇත.

අවසන, විකෘති කාමුකයන් පිරිසක් හෝරාවක් තිස්සේ දූශනය කරනුලදුව, ඒ ගැහැණිය විදවන්නට සලස්වා මරාදමන විටත්, දෑත් වලට විලංගු දැමෙනු ලබූවත්, ස්වේත පෑ උරයකින් ඒ දූශකයන් අනන්‍යතාවය සමාජයෙන් වසන්කරනු ලදුව නීතීය හමුවට ගෙන යද්දී පවා අසරණ ගැහැණිකගේ රත් පෑ රුධිරයෙන් නැහැවුන ඒ ලිඟු ස්වයං වින්දනයේ නොයෙදුනායි සිතන්නේ කෙසේද.

ඈ මියගියාය!(මරා දැමුවාය)

ලෝකය හමුවේ,අධිකරණය හමුවේ, නීතිඥයන් ඉදිරියේ, විටෙක.....  ඈ කෙලෙසූ උන් ඉදිරියේ පවා යලි යලිත් නිරුවත් වෙනවාට වඩා සැබැවින්ම ඒ මියයාම(මරාදැමීම) සම්පතකි.

මම පිරිමි ජරා ජාතියකැයි කීමට අකමැත්තෙමි. ගැහැණියකගේ ඇසුරේ ඉපිදැ, හැදි-වැඩී, පෝශණය වී.... ආදරය, ශෘංගාරය, රාගය විඳ, පියකු වීමට විවරණ ලැබ... අවසන ඔහු මියයන්නේද විටෙක ගැහැණියකගේ ඇකයේ බව දැන හෝ නොදැන.... ගැහැණු ජරා ජාතියකැයි  පුන පුනා දොඩවන පිරිමි මට කොතෙකුත් මුනගැසී ඇතද මා පිරිමි ජරා ජාතියකැයි නොකියමි. මගේ තාත්තාගෙන්, මගේ ආදරවන්තයාගෙන් 'පිරිමින්' කවුදැයි මා උගත බැවිනි!

ජරා යැයි වර්ග කල හැකි ගැහැණුන් සිටින බව ඇත්තකි. එවන් පිරිමිද සිටියි. ඔවුන්  ගැහැණු හෝ පිරිමින් නොව වැරදීමකින් මනුස්ස (මනසින් උසස්) යැයි නම්කෙරුණ අප්පිරියා සහගත ජීවීන් කොටසකි (තිරිසනුන් එවුන් තරම් පහත්ද?)

යොමුකලයුත්තේ කාටදැයි නොතේරෙන එක් පැනයකි. ඒ මිලේඡ්ඡයන්ගේ මුහුණු සමාජය ඉදිරියේ ස්වේත රෙදිකඩකින් වසන්නෙ ඇයි? 

නැගණිය ඔබ මැරි මැරී ඉපැදුන, යලියලිත් මරා දැමුන ඒ කාලය නිමාකොට ඔබව ස්ථිරවම මරා දැමුන එක ගැන මා අවසන සැනසුම් සුසුමක් හෙලමි!



මේ කඳුල,
ඒ දුවනි වෙනුවෙන්....
පිය සෙනෙහෙ - මවු සෙනෙහෙ
මිණි කිරුළ බිඳෙද්දී,
පපුතුරේ ඉරිතැලුන
ජීවිතය වෙනුවෙන්....

මේ කඳුල,
ඒ සොයුරි වෙනුවෙන්....
රෝස පැහැ බෝනික්කි - ඇස් වසා නිදද්දී
ඉකිගසා හැඬූ හඬ ,
අහන්නට කෙනෙක් නොවු
ඒ සොයුරි වෙනුවෙන්.....

මේ කඳුල,
ඒ යෙහෙලි වෙනුවෙන්.....
සමනලුන් පියාඹන - වසන්තය හඬද්දී
තටු තැලී පණ ගැසූ,
මල් කැකුළ වෙනුවෙන්......

මේ කඳුල,
ඒ තුරුණි වෙනුවෙන්.....
පැතුම් මල් එකින් එක - උන් තලාදමද්දී
අසරණම ඔත්පලවු,
ඒ තුරුණි වෙනුවෙන්......

මේ කඳුල,
ඒ ගැහැණි වෙනුවෙන්......
දරන්නට කුස පුතෙක් - පරමී පිරූ හිත
දෑස මානේ ලෙයින් 
නෑවෙනායුරු දුටුව,
ඒ ගැහැණි වෙනුවෙන්.....

මේ කඳුල,
හෙට ලොවේ 
ගැහැණු කම වෙනුවෙන්.....
අතින් අත අයාලේ
ලංසු තැබෙනා තැනෙක,
අසරණව සුසුම්ලන 
ගැහැණු කම වෙනුවෙන්......!

Friday, December 21, 2012

පෙම් බඳිමි,(කිඳුරු හදවතකට!)



පෙම් බඳිමි,
කිඳුරු හදවතකට!

දුලබ ඒ හදෙහී ගැස්ම
රකිමි
මුතු බිජුවටක් ලෙස

බැඳෙමි
නෑසෙන, 
නොපෙන්නන,
'දැනෙන' 
සෙනෙහසට

Thursday, December 20, 2012

අනේ මන්ද සරත්!




ස්ථානය : පෞද්ගලික බස් රථයක්
වෙලාව  : පෙරවරු 8.00ට පමණ

 වෙනදා බොහෝ දරුණු සටනකින් අනතුරුව, බසයේ පාපුවරුවට ගොඩවී යන ගමනේදී අසුනක් ලැබෙන්නේ එහෙමත් දවසකය. ඒ ලැබෙන්නේද ගමනාන්තයට ඔන්න මෙන්න කියාය. අහෝ!මේ නම් හෙට ලෝකෙ විනාස වෙලා යනවායි කියා එක එක විද්වත්තු රූප පෙට්ටියේ සහ අන්තර්  ජාලයේ එහාටත්, මෙහාටත් එයින් මතු මනු සතුන්ගේ කණටත්, ඉන් හර්දය වස්තුවටත් ඇතුලත් කරවීමට දැරූ දීර්ඝ උත්සහයේ ප්‍රතිඵලයක්ද මන්දාය.

අද නැවැතුමෙන් බසයට ගොඩවූ විගසම සීට් හත - අටක්ම හිස්ව තිබීම මහත් උත්කර්ශවත් හැගීමක් ම-හිතේ ජනිත කලේය. ඒ මදිවාට  වාඩිවෙන්නේ කොයි අසුනේ දැයි සිතාගත නොහැකිව මා සීට් කීපයක්ම පසුකර ඉදිරිරට ගමන් ගැනුනේ දෙසැම්බර් 31 හෝ ජනවාරි පළමුදාවක දී වන් දින වලදී පමණක් උදාවන අනර්ග දුලබ  අවස්ථාව හදිසියේ අත්විඳීමට ලැබීමෙන් ඇතිවූ කම්පනය නිසා වියයුතුයැ. 

 පියවි සිහියට පත් වහාම ලඟම තිබූ  අසුනෙහි අසුන්ගත් මා 'අනේ, හැමදාමත් මෙවන් අනාවැකි ගැන පැවසෙන්නේ නම් කොයිතරම් ෂෝක්දැ'යි හිතමින් පඩුවේ ගමනේ යෙදුනෙමි.

 කොන්දොස්තර මහතා කතා කරම කවදාවත්ම නොලැබෙන ඉතුරු රුපියල මට දුන්නේය. සමහරවිට ලෝකෙ පවතින අන්තිම දවසේ හෝ සදාරණව ඉපැයිය යුතුයැයි ඔහු හිතන්නට ඇත. 

'Traffic ! ඒ මොනවාදැ? '

ජීවිතේට Traffic දැක නැත්තෙකුට අද දින බසයේදී ඔය වචනය අසන්න ලැබුනානම් ඕ එසේ විමසනු ඇත. බසය නැවතුමක මිස  නොනවත්වා ධාවනය වේ. පාරේ වාහන හරි අඩුය. බලන්න ආසාය. 

ප්‍රීතී ප්‍රීතී!

Hello! Ahh Good Morning මචං!
No No I'm On the way මචං!

එක වර Loud Speaker යක් දැම්මා වාගේ කවුදෝ දුරකතන සංවාදයකය. මා ඔහු දුටුවේ නැත. ඒ ඔහු උන්නේ පසුපස අසුනක නිසාය. 

Ah මචං.. මිනිහ මට දවල් කතාකරා.
.......
ඔවු I Acted like I'm in a meeting. & asked him to හවස 6.30ට විතර කතා කරන්න.
And මචං, he called me right at 6.30 and said මහත්තයා අර ........... මහත්තයගෙ (නඩු/ලඝු) පොතක් තියනව කිවුවා.,
...........................
I said ඔවු ඒක තියනව හැබැයි තාම මට ඒක ඔයාට දෙන්න බෑනෙ.
........................
හඃහඃහා.....
හඃහඃහා.....

මචං, Can you Remember that couple? ....... ..... & his Wife?
................
Right,
......................
No men, That Famous Couple.. Girl is ........
....................
Right,
...............
Raaaight,
Okay,
Now you know the couple නෙ

That bugger told that මගෙ Wife නම් ඒ තරම් කොටට අඳින්නෙ නෑ
..................

හඃහඃහා.....
හඃහඃහා.....

~!~

මා ගමනාන්තයට පැමිණ ඇත. 
මා බසයෙන් බැසීමට පිටුපස දොරටුව තෝරාගතිමි!

අහා! අත්දිග කමිසය, ටයි පටිය, Posh කොණ්ඩා විලාසිතාව. ඔහු නම් කදිම තරුණයෙකි 

බාගවිට, ඕපාදූප කියවන්නේ කාන්තාවන් පමණක් නොවන බව ඔප්පු කර, ලෝක විනාසයට මූන දෙන්නට ඔහු තීරණය කරන්නට ඇත!

Wednesday, December 12, 2012

අම්මලා




මල් යාය අසබඩ
හීන් දිය පාර කිට්ටුවම
දිගු පාදැති කොකෙක්
තනි කකුලෙන් සීරුවෙන්

කොක් පැටවුන් කූඩුවේ
මග බලාගෙන!

මල් සුවඳ නොදැනෙන
වතුරයට පෙරළෙන
පුංචි මාලු රෑනක්ම
උන්ගෙ මවු වටකර

හරිම වේගෙන් සැලෙයි
මින් මවුගෙ හදවත!

විශ්වයේ කොතැනත්
නොවෙනස්ව

අම්මාගෙ ආදරය!

Thursday, December 6, 2012

ලෝකෙ විනාශ උනොත්!!



පැණයකි ඇහෙන ඉඳ-හිට ටික දිනෙක ඉඳන්
කාගෙන්වත් නෙවේ මම මේ මගෙම හිතින්
නිතරම සිතෙන මුත් ඒ සිදු නොවෙන සිතුම්
ලෝකය ඉවර වූවොත් මම කුමක් කරම්?

ඒ මහ විසුලු පැණයක් බව මම දනිමී
විනාස වූ තැන තව මොනවා කරමී?
මොනවා කරන්නෙත් පණ රැකුනොත් පමණී
ලොව හලු උනොත් පණ ගැන මොනවා කියමී?

ඇරඹුන දිනේ සිට මේ යස අවුරුද්ද
හිතෙහී කොණක කෝලම් පෑ රස කවිය
හැබෑවෙන්න ඇත්තේ සති දෙක-තුනය
බෝනස් එකත් දෙන්නේ මේ මස අගය!

අම්මා අතේ පැළඳු ඒ රන් මුදුව
නැතිවී කලක් දැන් පාලුයි මුදුඟිල්ල
අක්කයි මමයි රහසෙම සෑදූ 'ප්ලෑන'
රුපියල් එකතු කර අහවර නෑ තාම!

එන වසරේ සිංහල අවුරුදු කාලේ
ඇහෙන්න නියමිතයි ඒ හුරතල් නාදේ
ලස්සන ගවුම් අන්දන්නට ආසාවේ
ඒවා මහන්නට ඇරඹූවෙත් ඊයේ!

මා ළඟ ඇති  එක ලස්සන දින පොතක
හරි-හරි හැඩැති මනමාළියො ඇලවි ඇත
දවසක් ළඟක හෝ පේනා දුරද නැත
ඔහුත්-මමත්-හීනත් මඟ බලමි තව!

ඔය කී දේය, නොම කිවු දේ බොහෝ ඇත
හැබෑ වෙන්න ඔන්න-මෙන්න හීන වෙත
දැන ඕවා සිතා, දුක් වී පලක් නැත
මේ මස පඩි පතත්  අමතක කරන් හිත!

විසි එක දාට ඉන්නේ කොතැනද පැණය
වදදෙයි හිතට කඳුලුත් උනනව ඇහැට
ඔෆීසියේදී  මැරෙණනට හිතක් නැත
කොහෙ උන්නත් මියෙමි, එනමු දුකකි හිත

ඉතුරු කොලා කියලා තව පලක් නැතී
නිවාඩුවක් දානෙමි ඔය ඉතිරිවැතී
අම්මා, අක්කලා, පොඩිපුතු සමඟ ඉමී
නිවසේ රැඳෙමි, බෑ! ඔහු බෝ දුරක සිටී!

Mobile Phone එදාට වැඩ නැති හංදා
කටහඬ වත් අහන්නේ කොහොමද මංදා
ඔහු ළඟ උන්නොතින් අම්මා දුර හංදා
අයියෝ තනිව මියයමි හිත දුක හංඟා

එදාට හොඳට කා මම නින්දට යනවා
Piriton පෙත්තකුත් සහයට ගෙන යනවා
ලෝකේ පෙරලුනත් මම නම් නිදියනවා
ආයෙත් ඇහැරුනොත් පසු කවියක් දෙනවා.....

Monday, December 3, 2012

මරණය



මියැදීම එකකි
මරාදැමීම  තවෙකකි

මියයාම?? (විහින් ටිංකිරි ගාගැනීමකි සකි!)