Friday, November 8, 2013

අතනෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස

          


වියා දුහුල් වලාකුලක සීතල පිණි කැට
සිත්තම් කර පළන්දවමි තරු පොකුරක් ළඟ
ඔබ හා ගෙවු අතීතයේ මතකයෙ මුතු ඇට
හෙමිහිට එහි අමුණමි හිඳ අහස් වියන යට

 මඟ දෙස හැරී බලමි මොහොතක් නතරව
සිනා කුසුම් අතර දකිමි කඳුලැලි මුතු කැට
අනාගතේ අභියස ඉඳ පැතුම් හෙවන යට
පා ඔසවමි සිනා මලක් රඳවා මුව මත

ජීවිතයේ උරුම සුවඳ රඳවා ඔබ ළඟ
මේ හදවත රැකගනු මැන පුරවා සෙනෙහස
යන්නට දිගු ගමනක් වන මාවත ළඟ ඉඳ 
අත නෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස

2013.10.27

Tuesday, August 6, 2013

වීරයෙක් වියයුතුමයි!



මරණකොට, 
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!

රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!

ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!

ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!

මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,

වීරයෙක් වියයුතුමයි!

හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....

ඔබ වීරයෙක් වියයුතුමයි!

Monday, August 5, 2013

දූ දාල කරාඹූ.... හායි දාල කරාඹූ....

දැන් දැන් හරිම චන්ඩියෙක් වේගෙන එන, නිතරම වගේ හරි හරි අකතැබ්බවලට මූනදෙන අපේ පුංචි කුමාරයට අමතරව මාස හතරකට ටිකකට කලින් අපි ගාවට ආව පුංචි කුමාරියෙක් ගැනත් ලියන්න දේ දැන් තියනවා. 

ඒක බොහෝම අමුතු දෙයක්.... 

කොල්ලෙක් නූන්න ගෙදරක කුලුදුලේ උපන්න පුංචි පුතු පැටියා, දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එක....   ඒ වගේම චූටි දූ පැටියා,  අපේ අතීතය ආයෙ අලුත් කරන ගමන් ටික ටික ලොකු වෙන විදිය බලා ඉන්න එක.... 

හරිම අපූරු දෙයක්!

දැන් ඉතින් අපේ චූටි දෝණියට වයස මාස හතරක්!

 එයා වැඩියම කැමති හිනාවෙවී ඉන්න තමයි.  චූටිත්තන් දිවත් එලියට දාගෙන, මුලු මූනෙන්න්ම හිනාවෙනකොට හරිම ආසයි.

 දැන් එයා පෙරළෙනවා, චූටි චූටි සද්ද එන පාට පාට සෙල්ලම්බඩු අල්ලන්න හදනවා. එයාගෙ ඇඳ රෙද්දෙ ඉන්න පුංචි පුංචි රූප ඇඟිලි වලින් හූරණ ගමන් ඒවා දිහා මූන පුම්බගෙන, ඇස් ලොකු කරගෙන කෙල බේර බේර බලා ඉන්නවා.

 එයාගෙ මදුරු දැලේ එල්ලල තියන අර නත්තල් ගස්වල එල්ලන පාට පාට බෝල එක්ක හිනා වෙවී, කෑගගහ නින්දෙන් ඇහැරුනාම කතාකරනවා.

එයා දැන් බත්  තේ හැඳි 2ක්, කෙසෙල් ගෙඩි තේ හැඳි 2ක්, එහෙමත් කනවා. 


අයියගෙ ආටක නාටක බලබල අත් කකුල් ගස ගස ඒවට සහයෝගෙ දෙන්නෙ හිනා පිරිච්ච මූනකින් හරිම උද්‍යෝගෙකින්. අසනීප වෙලාවක, බොහොම හදිස්සියෙන් කිරි බොන වෙලාවක, නිදිමත හොඳටම තද උන වෙලාවක වගේ බොහොම බැරෑරුම් වෙලාවලදි උනත් අයියගෙ කටහඬ මොන තරම් ඈතින් ඇහුනත් ඇඬිලි, කෑගැහිලි, විරොධතා, රාජකාරි කැලේ! එයාගෙ වැඩේ අයියව හොයන එක තමා.

අයිය කියන්නෙත් 'මගෙ සුදු නංගී' කියල තමයි. ගෙදරට කවුරු ආවත් වෙනදට එයා කියන්නෙ 
"වාඩිවෙන්නකො අනේ, අපි තේ බොමු" කියලයි.

 ඒ උනාට දැන් කවුරු ආවත් ඉස්සෙල්ලාම කියන්නෙ 
"නංගිව දෙන්නෙ නෑ! එයා මගේ!" කියලයි.

ඒකට හේතුව ඉතිං කවුරු ආවත් ඉස්සෙල්ලාම "නංඟිව මට දෙනවද, අපි නංඟිව අරං යන්නද" කියල එයාගෙන් අහන හංදයි. එහෙම කොහොමද නංඟාව දෙන්නෙ. දැන් එයා නංඟව ඉල්ලන අයට කියන්නෙ 

"එයා අපේ, ඔයාල වෙන නංගි කෙනෙක් ගේන්න" කියලයි. 

ඔය ආදරේ හංඳ ඉතිං නංඟි බබාට අයිය බබාගෙන්  වරප්‍රසාද දීමනා විදියට හෙම්බිරිස්සාව, වෛරස් උන එහෙම ලැබෙනවා. ඉතින් ඒවට මොනා කරන්නද? ඒව එහෙම තමයි.


`~~~~~~~~~~~~~~~__--__~~~~~~~~~~~~~~~~~`



ගිය සිකුරාදා 2013 අගෝස්තු මාසෙ 02වන දා, චුටි පැංචිගෙ කන් පෙති විදලා, කරාඹු දැම්මා.

 කරාඹු වලින් මූනට ඔයාගෙ හරි එලියක් වැටිලා. කන් පෙති හිරිවට්ටලා කන් විද්ද නිසා ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ කියල ආච්චි අම්මයි, ඔයාගෙ අම්මයි කිවුවා....

 ආවූ හරිම හැඩයි තමයි!

"කන විදින වෙලේ කඳුලු ගඟේ පතුල බැලූ දූ 
අද සතුටු ගඟේ පීනනවා දාල කරාඹූ 
හායි දාල කරාඹූ....."
 මේ සටහන ඒ වෙනුවෙන්....

චුට්ටක් බඩගිනි වෙලා ඇඬුවත් අපිට හරියට දුක හිතුනත්, උල්කරපු කරාඹුවකින් ඔයාගෙ චූටි කන් පෙති විදින්න උනා. 

 මට හිතුනත් ඔයා ලොකුවෙලා, ඔයාට ඕන නම් කන් විදලා කරාඹු දාගන්න ඒ තෝරාගැනීමේ අයිතිය ඔයාට දෙන්න පුලුවන් උනානම් හොඳයි කියල, ලොකු වෙද්දි, ඉස්කෝලෙ යද්දි, ඇයි මගෙ විතරක් කරාඹු නැත්තෙ කියල අහයි, ලොකු වෙද්දි වැඩියෙන් රිදෙයි වගේ හේතු කට්ටිය කීව. ඔක්කෝටම වඩා ඔයාගෙ අම්මට ඕන උනා චූටි කන් පෙතිවලට කරාඹු දාල හැඩ බලන්න. මේ මොනා කීවත්, මම දවසක දෝණියකට අම්මා කෙනෙක් උනොත්  මම ආස වෙයි මගෙ දූගෙ කන් පෙති වලට කරාඹු දාල හැඩ බලන්න.

ගැහැණු කම!

 දුවේ ඒ ගැහැනු කම ආභරණයක්! ගැහැණියක් වෙලා ඉපදෙන්නෙ පවු කරපු අය නෙවේ... දරාගැනීම, ආදරය, සියුමැලි බව, සොදුරුකම..... මේවා පහත් දේ නෙවේ නේද? ඔයා ජීවත් වෙන විදියයි ඒ ආභරණෙට වටිනාකමක් දෙන්නෙ. 

චූටි දොණියේ...., 

මටනම් හිතෙන්නෙ ඔයා ගැහැණු කමේ පළවෙනි කඩඉමට මූන දුන්නා කියලයි.තව ඉස්සරහට කඩඉම් ගොඩක් තියෙයි, මල්වර වෙද්දි, මනාලියක් වෙද්දි, දරුවෙක්ට මවක් වෙද්දි.... පියවරෙන් පියවරේට ඔයා ඒව අඳුරගනී.

 ඒ අතරවාරෙ ඔයා ගැහැණුකම තේරුම්ගනියි. 

අද ඔයාගෙ ජීවිතේ එක තෝරාගැනීමක් කලේ අපි! 

අනාගතේ දවසක තෝරාගැනීම් ගොඩක් තියෙයි,  ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් එදාට ඔයයි කරන්න ඕන. අපි එදාටත්,හැමදාටමත් ඔයා ළඟම  ඔයාට උදවුවට ඉනවා!

 චූටි දුවේ තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ටයි..... ඒ වගේම ඔයාගෙ ජීවිතේ ගොඩනැඟුන පදනම පවුලයි.... ඒ පදනම උඩ  ජීවිතය කියන ගෙදර හදාගන්න ඕන ඔයායි.

දවසක..... තාම නොඉපදුන අනාගතේ දවසක.... හදවතින්ම ලස්සන ගැහැණුකම කියන ආභරණයට ඔයා හරි විදියට ආලොකයක් දෙනගමන් ජීවත්වෙනව දකින්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.

චුටි දුවේ ඔයාට අපි හරි ආදරෙයි!


Wednesday, July 24, 2013

මතක සටහන්!


වල්පොල ස්ටේසම,
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න....

එක්තරා බංකුවක් 
දැවයෙන් නිමැඋන,
උණුහුමට තවමත්
අතීතය සුරකින....
හිනා, කඳුලු, ආදරය
මිතු දම්  සමඟ එදවස්
එක්කර ඇඹූ බිතු රූ
මට විතරක් පෙනෙන,
තාමත් පෙරලෙසම
ඒ පෙදෙස සරසවන....

ඒ පුංචි කඩතොලු පාර
රබර් යායට මැදිව,
යනෙන උන් සහසකින් 
මා සොයා ඉඟි මරණ....
උසට ඇති තෘණ පතෙක
ලියු ඒ අතීතය,
තාම හරි සොඳුරු වග
කොඳුරමින් මට කියන.....

වල්පොල ස්ටේසම
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න!

Tuesday, July 23, 2013

මලෙක අටපෙති



බුදුපුදට නෙලාගත්
කහ පාට මලෙක අටපෙති
පෙති දෙකක් ගිලිහ,
රැදුනාය 
අටපෙති ගාල අසලම
දුඹුරු පෑ පොළොව සිපගෙන!

Friday, July 19, 2013

ඒ ජීවිතේ කටුකයි !!

කොළඹ හුළඟ පාන්දරට හරි මුදුයි. කොටුවෙ ස්ටේශන් එකේ තිබ්බ මුත්‍රා ගඳ ඒ පාන්දරට එකතු කරේ මහ අපුලක්. අපරාදෙ. අනුරාධපුරේ යන්න ලෑස්තිවෙලා බඩුමලු පොදි ගහගෙන යද්දි නම් පොඩි කම්මැලිකමක්, යන්න බෑ බෑ වගේ හැඟීමක් හිතේ රවුම් ගැහුව බවනම් ඇත්තයි. අන්තිමේ.... හරියටම නියමිත වෙලාවටම කෝච්චිය අනුරාධපුරේට පිටත් උනා. 

පැය හතරක ගමනක්! 

ටික ටික රේල් පාර අද්දර තිබ්බ ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල් නැති වෙලා ගියා. ගස් කොළං පවා ටික ටික පුංචි කොල තියන ගස්වලට හැරිල තිබ්බා. යායට තියන කුඹුරු ලුමිනස් කොල පාටට ලස්සනට තිබ්බත්, හරි විසාල වැවුවල කාලෙකින් වැස්සෙ නැතිබව කියන්න වගේ වතුර ටිකක් අඩුවෙලා තිබ්බ. ඒත්, ඒ වැවු වල එවෙලෙත් දම්, රතු, රෝස,  සුදු පාටවලින් පිපිච්ච ඕලු, නෙලුම්, මානෙල් මල් තිබුනා! කොළඹ  උදේ එලියට වඩා කහපාට උදේ ඉර එලියක් ඒ පැත්තට පායලා තිබුනා.   

උදේ 11.00 වෙද්දි අපි අනුරාධපුරේ ස්ටේශන් එකෙන් බැස්ස. වෙනද දකින ඉර එලියට වඩා ටිකක් වැඩිපුර කහපාට ඉර එලියයි, තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකයි  හිතට හරි කාන්සියක් එකතු කලා. මහ සෙනගක් දැන් ආව කෝච්චියෙන් බැස්සද කියල වගක්වත් නැතුව හතර අතම පාලුවක් නිහඬ කමක් ඇදෙමින් තිබ්බා. ඒ නිහඬ කම, ඒ ඉර එලියෙ තිබ්බ වැඩිපුර කහපාට, මහ විසාල පාරවල්, ගඩොලින් නිමවපු ගෙවල්, උඩුකය නිරුවත් පිරිමි සහ දරුවන්.. දාඩිය නොදාන ඇඟ ඇතුලෙම එහෙ මෙහෙ දුවන උණුහුම, වේගෙන් හමන උණුහුම් හුළඟ.... අනුරාධපුරය අපට හඳුන්වා දෙමිනුයි උන්නෙ. 

තාත්ත ඉන්න කාලේ අපි අනුරාධපුරේ ආව ගමන් දෙකක් ඒ තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එක එක්ක මතකයේ උඩටම ඇවිත්, අපි එතනින් නැන්දලා ගෙ ගෙදරට යන්න පිටත් වෙද්දි මම අනිච්චානුගවම හිතින් "තාත්ත එනකල් ඉන්නැද්ද" කියල අහන ගමන් ආපහු හැරිල බැලුව.

 පිළිගන්නවද? ඒක එහෙමම උනා!

 හරියට තාත්තත් අපි එක්ක ආව වගේමයි මට හිතුනේ. මොහොතකට තාත්ත අපි අනුරාධපුරේ ගිහින් මාස ගානකට පස්සෙ අන්තිම හුස්ම හෙලපු බව මගෙ මතකයෙන් මැකිල තිබුනා!

නැන්දලාගෙ ගෙදරදි හම්බඋන රසම රස පැණි දොඩම් විදුරුව (මම වීදුරු දෙකහමාරක්ම බීවා) ගත වගේම හිතත් සැහැල්ලු කලා. නැන්ද බැඳල දීපු බත් මුල් අරගෙන, ඒ අක්කල දෙන්නයි, චූටි දුවයි, පුතයි එක්ක අපි නාච්චදූව වැවට ගියා. 


වැවට යන අතරෙමගදි අපි දැක්ක වැවු, ඒවයෙ නාන ගැහැණු සහ දරුවන්... ඒ හැමෝම තෙත බේරෙන කොණ්ඩා ඇතිව අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. කෙනෙක් අත වවන්නත් ඉදිරිපත් උනා. ලස්සනට පැල ගොයම දලු දාල තිබ්බ. වේලිල තිබ්බ ඇල පාරවල් වලට නාච්චදූව වැවෙන් වතුර මුදා හැරල, ඒවට වතුර ගලා එමින් තිබුනා.

 නුවර වැව, තිසා වැව වගේම නාච්චදූව වැව හරි ගාම්බීරව රැලි නග්ගමිනුයි උන්නෙ. අපි හැමෝම නෑව. දවල දෙකේ ඉඳන් හවස පහ වෙනකල්ම නෑවා! නෑවා! නෑවා!  කර වටක් වතුරෙ බැහැලා... මතක්වෙද්දිත්......අනේ තවත් ඉන්න තිබ්බනම්.... නාල! නාල! ගැහෙන තරම් සීතලේ ගොඩට ඇවිත් අලුත් ඇඳුම් ඇඳගෙන නැන්ද දීපු බත් කද්දි! වැවු මාලු, කතුරුමුරුංඟා කොළ, කිරට හින්දල ඉවුව පරිප්පු, එක්ක මලුවෙක්ගෙ හැඩේට හදපු රසම රස පපඩම්!

ආයෙ එද්දි අර ඇල පාරවල් පිරිල ටිකක්. අක්ක කිවුව හෙට එලිවෙද්දි හොඳටම පිරෙයිලු. ආයේ බලන්න යන්න නූන එකට මටනම් දුකයි. ඇලවල් වලින් නාන පිරිසට දැන පිරිමි උදවියත් එකතු වෙලා. එයාල එවෙලෙත් අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. ලා ගොයම හුළඟ එක්ක වැනි වැනී ලස්සනට පෙනුනා.

ඒ මිනිස්සුන්ගෙ හිනාව,  ඒ කුඹුරු යායවල්, වැව, ඇලවල් හරිම ලස්සනයි. 

හරි කලාත්මකයි!

 ජය ශ්‍රී මහ බෝධියෙත්, වැවෙත්, පිහිට එක්ක කුඹුරු හේන් කවදත් අස්වැද්දෙනව ඇති. නියඟෙට වැවු හිඳිල බොන්නත් වතුර නැති කාලෙක ඒ වගා වේලිල ලැවු ගිනි වලින් ගිනිගන්නව දකිනව ඇති.  වැස්සට වැවු පිටාර යද්දි, වාන් දොරටු ඇරෙද්දි ලස්සන කුඹුරු මඩ පාට වතුරින් යටවෙනවත් දකිනව ඇති. ඒත් හැමදාමත් කුඹුරු හේන් අස්වැද්දෙනව ඇති! 

නාච්චදූව වැව දාල එන්න බැරුවද මන්දා හිතේ අර හැමුව හුළඟ වගේම රස්නෙ හුස්ම ගුලියක් හිරවෙලා එවෙලෙ මට හරියට කරදර කරමිනුයි උන්නෙ. 

අක්කලාගෙ ගෙදරින් හම්බ උන රසම රස තේක! කෝන් ගෙඩි! සහ හෘදයාංගම අල්ලාප සල්ලාපය! ආයෙ නැන්දලෑ ගෙදරින් රෑට ඉඳි ආප්ප, කිරි හොදි,  පොල් සම්බෝල එක්ක අතීතාවර්ජනය! 

මට පෙනුන එයාල හරිම සතුටින් ඉන්න හැටි. ඒ එක්කම දැනුන ඒ ජීවිතේ කටුකයි කියලත්. 

පහුවදා පානදරින්ම නැන්ද කඩාගෙන ආව නෙලුම්, ඕලු මල් අරගෙන අපි ජය ශ්‍රී මහ බෝධින් වහන්සෙත්, රුවන් වැලි මහ සෑයත් වන්දනා කලා. කොයිතරම් සෙනඟ ගැවසුනත් ඒ වටපිටාවෙ තිබ්බ අමුතු නිහඬ සහ නිස්කලංක බව, ඉර එලියෙ අමුතු කහපාට හැමතැනම පැතිරිලා තිබුනා. මම ඒ ස්වභාවයට අනුගතවෙමින් උන් නිසාද මන්දා ඒ විලාසයට ඒ වෙද්දි මම ඇලුම් කරමිනුයි උන්නෙ. 

හවස ගෙදර ඇවිත් ආපහු ගෙදර පිටිපස්සෙ තිබුන වැවට අපි ගියේ ඕලු, නෙලුම්, මානෙල් පැල අරං එන්න... වත්තෙන් එපිට හේන් හරි කුඹුරු හරි වලට සකසාපු වේලුන තණකොලින් වැහුන වගා බිමක් ඉන් පස්සෙ තැනිතලාව... තැන තැන පුංචි කොළ ඇති ලොකු ගස්, ඉතිරි ඉඩ වේලුන තණකොළ වර්ග වලට වෙන් වෙලා. ඊට යටින් පොළව ලොකු කුට්ටි වලට ඉරි තලලා. තව යද්දි ඈතින් ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු මල් පිපුන වැවක ශේෂයක්... හිඳුන ඉතිරියෙ වේලිලාගිය  ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු නටඹුන්. 

"වහිද්දි වතුර ගේ හරියටම එනවා".

 පොඩි අක්ක කීවෙ හිනාවෙලා. ඒත්, ඊට වඩා බර කථාවක් ඒ අස්සෙ තිබුනා. වේලුන තණකොළ දකිද්දි... ඒ තැනිතලාවත්, වැවත්, පුංචි කොළ ඇති ලොකු ගසුත් දකිද්දි මට මතක් උනේම අලි!

 " අලි නැද්ද" 
ඉතිං මං ඇහුවා

 " නෑ, අපෝ අලි හිටියනම්...." 
අක්ක උත්තර බැන්දෙත් හිනා වෙලාමයි!

හවස 4.00ට ආපහු යන කෝච්චිය. තව ඉන්න ඕන වගේ. අක්කලත්, නැන්දත් කීව ආයෙ එන්න කියල, ටිකක් වැඩිය ඉඳල යන්න. ඊට වඩා ලොකු කථාවක් අපි සමුගනිද්දි නැන්දගෙ ඇස්වලින් පේලියට වැටුන කඳුලු සද්ද නොකරම කිවුවා. 

තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකටත් සමුදීලා ආවෙ හරිම කාන්සියකින්.... කෝච්චිය ආවට වඩා වේගෙන් කොළඹ දුවනව වගෙයි හිතුනෙ. නැන්ද ලිපෙන් බාපු ගමන් මල්ලට දාල දුන්න උණුම උණු බඩඉරුගු කරලක් කකා එද්දි, අනුරාධපුරය ටික ටික වේගෙන් ඈත් වෙමින් තිබුනා. ලා ගොයම් යායවල් සීතලට පහුඋනා. වේලුන වගා බිම්වල මොණරුන් උන්නා. ඕලු, නෙලුම්, මානෙල් මල් වැවුවල පරනොවී තිබුනා  නාමින් උන් ලොකු කුඩා උන් නැවැතිල්ලේ කොච්චිය දිහා බලා උන්නා. පොඩි උන් අත වැනුවා. පුංචි කොළ ඇති රූස්ස ගස් නිසොල්මනේ ඉද්දී කෝච්චිය වේගයෙන් කොළඹ දිවුවා! 

හිතුවාට වඩා ඉක්මනට අඳුර ගලා ආව නිසා ගස්වල පුංචි කොල ආයෙත් විශාල උන හැටි දකින්න නම් බැරි උනා. ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල්වල නිවැසියෝ ඒ වෙලාව වෙද්දි දවසෙ අවසානයට ලෑස්තිවෙමිනුයි උන්නෙ. 

කොළඹ හැන්දෑ හුළඟ ත් ටිකක් හීතලයි. දූවිලි අංශු ඒවයෙ තැවරිලා වගේ මට අමුතුවෙන්ම හිතුනා. රෑ 8.00 වෙද්දි අපි මරදානෙන් බැස්සා. මුත්‍රා ගඳ බොහොම දරුණුවට මේ පාර දැනුනා.

අනුරාධපුරයත්,  ස්ටේශමේදී තාත්තා අප සමඟ ආවා කියල දැනුන හැඟීමත්, නාච්චදුව වැවත්, එහි වතුර කුඩා ඇල පාරවල් වලට ගලා ආ අයුරු දැකීමෙන් දැනුන හැඟීමත් මගේ හිත නොතේරෙන සාංකාවක් වගේ තත්වයකට පත්කරල වගේ.

අපි දෙන්නා විවහ උනාට පස්සෙ හිතා උන්නෙ අනුරාධපුරේ යන්න. එයාගෙ අත අල්ලන් හැන්දෑවක රුවන්වැලි සෑය වඳින්න යන්න. පස්සෙ නුවර එලියෙ යන්නත් හිතුව. එයාට මම කිවුව අපි ඉසල්ලාම අනුරාධපුරේ යං කියල. 

එයා කැමැත්ත දුන්නා!

පසු සටහන:

ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම  ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ. 

මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී.  හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.

අනුරාධපුරය, එහි දුම්රියපළ, නාච්චදූව වැව සහ තාත්තා! 
එක්ව මහිත තුල කැරැල්ලක් ඇතිකර ඇති සෙයකි.

හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!

Tuesday, July 16, 2013

ඉඳහිට දුළබ දවසෙක



මියැදෙන සිහින පිබිදෙත
නොමියෙන සිහින මියයත!

ඉඳහිට දුළබ දවසෙක

නොමියෙන සිහින අතරෙට
මියැදෙන සිහින දකිනෙම් 

මම!

Thursday, July 11, 2013

මියෙන මල් හිනැහේද?....



පිපුනු මල් හිනැහේය
හෙටත් හිරු නැගේ යැයි
හෙටට පෙර සදු දකිනතුරු
පිපුනු මල් හිනැහේය!

මියෙන මල් හිනැහේද
සඳේ මුදු එලිය මැද
යලිත් හිරු නොමදකින
නමුත් පරපුර රකින

මියෙන මල් හිනැහේද?....

Thursday, May 30, 2013

අපි හිත රිද්දනොගෙන ඉන්න බලමු!

බැඳීම්.....
ජීවිතයක් ලබපු ඕනෑම කෙනෙක්ට පුංචි හරි බැඳීමක රස, මොහොතක් හරි විඳපු, දවසක හරි මතකයක් තියනවා. සමහරවිට, ඒ රසම රස මතකයක් වේවි, සමහරවිට නීරස වෙන්නත් පුලුවනි.

ජීවිතේ පුදුමාකරයි කියන්නෙ සමහරුන් ඒ බැඳීමක පරිමාව හරියටම තේරුම් නොගත්ත හන්දම වෙන්නැති. රස්සාව, යහලු-මිත්‍රයො, ආගම, ජාතිය, ගම, රට, ආදරය, විවාහය, දරුවො, දෙමාපියො, නෑදෑයො....
ඔය කොයිකත් බැඳීම් තමයි.... 

අපි කාවහරි 'මගේ' කියල හිතාගෙන හිතේ නවත්තගත්තත්, ඒ හැමෝම අපිව එයාලගෙ හිතේ නතරකරගෙන නැතිවෙන්න පුලුවනි. එක අතකට ඒක වැරැද්දකුත් නෙවේ. වැරැද්ද අපේ හිතේමයි. අපි ආපහු අපි දෙන බැඳීම් වල සුවඳම ඒ බැඳීම් වලින් බලාපොරොත්තු වෙන එක, ඒක ඉටු නූනම හිත රිද්දගන්න එක අපේ වරදක්.

 අපි දැනගෙන ඉන්න ඕන තව කෙනෙක් ආපිට අපිට අපි තරම්ම නොබැඳි ඉන්න පුලුවන් කියල.

ඒත්ඉතිං බැඳීමක් එහෙම තියාගන්නෙ කොහොමද? නේද... 

ඒකනෙ රිදි රිදීම තව බැඳෙන්නෙ... අපි තාම ලෞකික මනුස්සයො. බැඳීම් හැමදාම තියේවි, ඒ තියනකල් හිතත් රිදේවි.... ඒත් නියමාකාර බැඳීමක් ජීවත් වෙනකල්ම ළඟ ඉඳීවි... අර රිදෙන හිතට සුවඳ බෙහෙත් ගාලා ටිකක් හරි සනසන්න ඒ බැඳීමට පුලුවං.

මට නිතරම හිතෙනව, නෑකම් අතරෙ හැප්පෙනකොට මේත් කාලයක් අපි වගේ ගෙදරක එකට හැදුන දරුවො ටිකක් වෙන්නැතිනෙ කියල. ඒත් ඉතින් ඒකතමයි හැටි... 

කාලය, සමාජය, එක්ක එකතුවෙලා ජීවිතය බැඳීමක දිග පළල තිරණය කරනව ඇති.

කෙනෙක් උවමනාවට වඩා ආවේගශීලී වෙන්නෙ තමන්ගෙ හෘද ශාක්ෂිය දරාගන්න බැරි උනාමයි. අන්තිමට තමන්ගෙ හැසිරීමම තමන්ටම වදයක් කරගෙන හිතින් දුක් විඳ, විඳ තමන් විසින්ම එයාවම කොන්කරගන්නව.

ඒ වගේ දේකට අනුකම්පා කරනව මිස වෙන මොනා කරන්නද?

අපිට හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් විදියට අපි ජීවිතේ ජීවත් කරවනකල්, බැඳීමක පලුද්දකට බැහැ අපිව වට්ටන්න. 

 ඟැඹුර දැන ගත්තාම අපි දන්නව සමහර වැවු මාරාණතික බව..
හිත සනන පුලුවන් වැවක ආදරණීය බවත් අපි දන්නවනෙ...

ඒ වගේම තමයි බැඳීම්!

ඒ ගැන හිත රිද්දගන්න කොහෙත්ම උවමනා නැතත්, මේ තමයි පෘතක්ජන ජීවිතේ.....

අඳුරගත්තොත්,
 ඔවු එතකොට හිත රිද්දනොගෙන ඉන්න පුලුවන්වෙයි....

අපි අපේ හදවත විවෘතව තියාගන්න තරමටම,  බැඳීමක් 'බැඳීමක්' විදියට විඳින්න ලේසියි. ටිකක් හිතල බැලුවනම්, බැඳීමකදි උන හැම පලුද්දකටම පොදු දෙයක් අපිට පෙනෙයි... පලුද්දේ කොතන හරි විවෟතබව නැති තැනක් තියනව නේද?

අපිට කාගෙවත් හිත් විවෘත කරන්න බැරි උනත්, අපේ හිත් විවෘතව තියා ගමු. විවෘත තැනකට ඕන කෙනෙක් එන නිසා, මතකෙ තියාගමු විවෘත හිතක් රිදෙනව වැඩිබව....

ඒත්, ජනේලයක් උනත් ඇරියමනෙ හීතල පිරිසිදු හුළඟ ගෙට එන්නෙ? 

මදුරුවො? (හිහ් අපි උන්ට කියමු මල්පැණි බොන්ඩ කියල)අපි හැන්දැ වෙද්දි ජනේලෙ වහමු... 

බැඳීම් තේරුම් ගන්න උත්සහ කරන ගමන්ම,

අපි හිත රිද්ද නොගෙන ඉන්න බලමු!


Thursday, May 23, 2013

දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!



නිවෙනා මනස නිවනේ මඟ දකින දින,
සුවෙනී එදින සංසාරේ දුක මිදෙන....
බැඳුනේ කෙළෙස් පිරි ලෞකික මිනිස් හිත,
බැමි දැන් මුදමු මෙත් මුදිතා සුවය විඳ.... 

පුදමින් පියුම් සම්බුදු සිරිපතුල් සිඹ,
සිහිකර දිරණ ජීවිතයේ දුකැති බව,
නිළඹර දිලෙන හිරු මෙන් නොදිරනා ලෙස
රැකගන්නට සිතමු කෙලෙසුන් නැසූ හිත....

හදවතපුරා ඉතිරීයන සැනසීම,
පෝදා හඳ වගේ දිලිසේවා නිඹඳ....!
තැන තැන සෑම දැල්වෙන පහනෙහි එලිය,
සැම සිත් එලිය වේවා මෙත් එලිය විඳ....!


දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!
බුදු නෙත් පියුම් මෙන් කරුණා ඉතිරේවා....!
කුසුමක සුවඳ සේ  සිතුවිලි ඇතිවේවා....!
වෙසඟේ සිරිය හදෙහි නිති පැතිරේවා....!

24/05

Wednesday, May 22, 2013

අම්මා




අහස  
දරා වැහිබිඳු
වැස්ස වී වහීවී

පොළව 
උහුලා ඉමක් දුටුදා
කම්පනය වෙවී


ආදරේ පිරුණ හිත
දරාගෙන
නොසැලී ඉඳී
සදහටම.....

අම්මා

Thursday, May 16, 2013

සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ



දේදුන්නක් වියා තබමි - පැතුම් එකතු කරන් හදේ
සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ

දිලිසෙන ඇස් කතාකරන - වචන නොමැති සෙනෙහෙ ගඟේ
පද අමුණමි නෙතු කියවා - හදවත කවි පෙළක් වගේ

වියත් සඳේ රැස් එලියේ - දිලිසෙන සියපතක් වගේ
ඔබ තුරුලේ සැනසෙන්නම් - ජීවිතයේ දුර ගමනේ

මල් මාවත් නොවේ එදා - පසුකර ආ ගමන් මගේ
එක්වී දුර ගමනක් යමු - සංසාරේ පාර දිගේ

(සුබ උපන් දිනයක් - 16/05)

Tuesday, May 7, 2013

මම සිංදුවක් ගැන තරහින්!




හන්තාන! මගේ ඇස්මානෙ.... 

ඒ මීදුම් රේඛා, හීතල හුළඟ, මේ වැහි බීරම.... අද හැබෑවටම මංළඟ.... 

මම තාමත් එදා අපි නතරඋන තැන.....ඔයා ආපහු හැරිලද, නැත්තන් මාව පහුකරන් ගිහින්ද කියල හිතාගන්න නොතේරෙන හැඟීමක් එක්ක මම තාමත් එදා අපි නතර උනතැන.....

ඔවු ලස්සනයි! පෝය දාට හන්තාන මුදුනින් පුන්හඳ පායද්දි හරි ලස්සනයි. හැමෝම ඒ ලස්සන විඳිද්දි මං විතරයිද දැක්කෙ හඳ මූණ පිණි කඳුලු කම්මුලේ රඳවන් ඉන්නහැටි.? මමත් දකින එකක්නෑ ඔයා ඉස්සර වගේ මගේ ඇහින් ලස්සන වින්ද කාලෙ තාමත් එහෙමම නම්.... නැත්තං අපේ ගමේ පිට්ටනි ඉමේ පොල් කරඬු උඩින් පායන හඳ උනත් අපි තාමත් ලස්සනට විඳිනව, ඒ කාලෙ වගේ මට ඔයාගෙ ඇහින් ලස්සන බලන්න අවසර තාම තිබ්බනම්....

හන්තානට පායන හඳ හරිම ලස්සනයි! ඔයත් නොදකින මම විතරක් දකින පිණි කඳුලුවල සීතල වේදනාව හරි කටුකයි! 

මේ නුවර ගහ-කොල තෙමාගෙන වහින වැස්ස හරි අමුතුයි.  ජීවිතේ කාලයක් තිබුන මතකද? හීතල වැහි බිංදු වල අපි උණුහුමක් වින්ද හැටි. මේ වැහි බින්දු ගේන්නෙ වේදනාව විතරයි. අමාරුවෙන් වේලෙන තුවාල ඒ වැහි බින්දු ඇවිත් හූරනව.!

 මම ආදරෙයි!. ඔයාට!. ඒ ආදරේ තවත් මට අයිති නැතිඋනත්!. 

ඒත් මම මැරිල ඉපදුන්නෑ. !

ඔයාට මේ හිතේ තිබ්බ තැන ඔයා තේරුම් අරං නෑ! 

මට එහෙම හිතෙද්දි පවා මට ලෝබයි... 

මේ නුවර වැස්සට වඩා ඒ ගැන දැනෙද්දි වහින කඳුලු වැස්ස උණුහුමයි. අපි ඒ කාලෙ අවුවට වැස්සට ඉහලපු පුංචි කුඩේ හැමදාම මගෙ බෑග් එකේ තිබ්බත්, මම දැන් ඉහලන්න අර පාට හතරෙ ලොකු කුඩයක්! 

ඔයා දන්නවද, ඒ කුඩෙත් මදි දැන්..... 

ඔයාගෙ වචන නිසා හිත නායගිහින් ඉවරයි!

අත වනන පඳුරු ගානෙ මගෙ ආදරේද සේල් දාන්න කියන්නේ? ඉස්කෝලෙ කාලෙ පරිස්සමට රැකගත්තු මගෙ හිතේ පරිමාව ඔයා දන්ව කියලයි මම හිතුවෙ. ඒත් ඔයා මාව අඳුරගෙන ඉඳල නෑ!

 මට හරිම පුදුමයි... 

ඔයා ආදරේ කරල නෑ කියල හිතෙද්දි දැනෙන හැඟීම!  ඔයාට තේරෙන එකක් නෑ කියල මට හිතෙන්නෙ.

ඉතින්, ඔයාගෙ ලිවුම ලැබුනා. ඒ වචන මට මං ගැන හරි අසරණ හැඟීමක් ඇති කලා. ඔයාට උවමනා ඒ දේ නම් මම යන්න යන්නම්. 

බලෙන් රැඳෙන්න තරම් ලොකු හිතක් ඔයාට නෑ!
ඔයාට  මාව විශ්වාස නෑ නේද? 

ඔයාට මට වඩා ඔයාගෙ හිත විශ්වාස නෑ! 

මම අකමැති උනත්, මට තේරෙනව ඔයා ආදරේ කරල නැහැ!

ඔවු! හන්තානට පායන හඳ ලස්සනයි... ඇත්තටම ලස්සනයි! ඒ හඳේ කොපුල්වල තියන කඳුලු දකින්නේ මම විතරයි! 

අපේ ගමේ පායපු හඳ මට ඊට වඩා හැඩයි. මම දැන් ආදරේ කරන්නෙ ඒ මතකෙට!

ගුලි කරල විසි කරන්න මගෙ මතක? ඔයාට පුලුවනිද එහෙම කරන්න?!

ඔයාට අමතක උනාද මුලු විශ්වයටම පායන්නෙ එකමෙක හඳක් විතරයි....ඒ හඳ දිහා අපි බලන විදිය විතරයි වෙනස්!


(මම සිංදුවක් ගැන තරහින්!)

Thursday, April 11, 2013

සුබ අලුත් අවුරුද්දක් වේවා!




දිරියත් මනා නුවණත් හිතෙහී ඇතිවී
දියුණුව උදාවේවා හිරු මෙන් පෑදී
සතුටත්, සැනසුමත් හද ඉතිරී  බෝවී
සිනහව මුවේ නිති පිපෙනා ලෙස පතමී

සුබ අලුත් අවුරුද්දක් වේවා!

Friday, March 29, 2013

කාලය







එදවස 
දින ගෙවුන ඉක්මන!
නුඹ නැති එක දිනක්, සුමානයක් තරම් උන!

මෙදවස
දින ඇදි ඇදී යත
නුඹ එන එක දිනය, අසුරු සැනෙකින් ගෙවෙත!

Monday, March 25, 2013

දූ මුතු ඇටයකි හරිම වටී


ආයෙමත් ඒ හැඟීම!

ඊයෙ ගෙදර එක්ක ආව රෝස පාට ආදර පොදිය ආයෙමත් අපේ හිත් අමුතු ඒ හැඟීමෙන් පුරවල. 

 ඔයාගෙ අම්මා රෝහලට වෙලා ඔයා මේ ලෝකෙට ගේනකල් අපි හැමෝම උන්නෙ හරි තිගැස්මෙන්.දැන් ආයෙමත් හිත පිරෙනගමන්. වඩාගන්නත් බයහිතෙනව තාම. ඔයාට රිදෙයි කියල. 

ඔයාගෙයි, ඔයාගෙ අමමගෙයි- තාත්තගෙයි, ආච්චිඅම්මල දෙන්නගෙයි Photo බලද්දි ඇහැට හත අස්සෙ ඉපදෙන කඳුලක් නලියනව. ඒක තමා ඒ අමුතු හැඟීම!

මේ පුංචි සටහන ඔයා ආව සතුට වෙනුවෙන්. ඒත්, හිතේ පිරෙන ආදරේ පුංචි නෑ දුවේ.

ඉක්මණින් ලොකු වෙන්න ඔයා. අපි හැමෝම බලාඉන්නවා.

~~~~~~~~~~
පුංචි ඇඟිල්ලක් 
ඉඹින්න දෙනවද
අලුත ගෙනා සූකිරි දෝණී

දේදුන්නේ ඉඳලද ගෙන ආවේ
රෝසපාට 
ඔය කොපුලෙ ඇතී

 මැණිකක් නුඹ පොඩි
තුරුලේ නැලැවෙන 
මල්පෙත්තක ඇති සුවද ඇතී

සමනල තටුවකි
සිනිඳු සුමුඳු වෙති
දූ මුතු ඇටයකි හරිම වටී

~~~~~~~~~~~~~


මේ සිංදුව ඔයා අම්මගෙ කුසේ ඉන්නකොට ඇහුව මතකද බලන්න. ඔය සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීමත් හරිම පුදුමාකාර එකක්.


Thursday, March 14, 2013

නාරිලතා




මියැදෙන හදසර - නිහඬව ඉකිබිඳ
කඳුලක් රඳවා දෑස්වසා....,
මිහිලිය සිප, එන - සුළඟට මුසුවන
සුසුමක්, නිදි නැති සඳෙහි හොවා......

අහසත් ඉකිබිඳ - හඬනා පිණිමුතු
නොවටින කඳුලක් කොපුල් තෙමා......
තවත් හඬන්නට - කඳුලැල් නැති හිත
ගලක් වුනාදෝ නාරිලතා......

සිහින දකින්නට අකැප, අරුම හිත
සඟවාගෙන පියයුරින් වසා......
සියක්වරක් කෙලෙසුන හද පැතුමන්,
යලිත් ඉපිදැ ඈ තැවූ නියා......

ඉගිල, ඉවත - යලි එන මං වැරැදුන
සමනල අත්තටු පාට වසා......
රිදෙන, ඉරුන හිත - කුමට මුවාකර
දේදුන්නේ ගිනි නිවනු විනා.....

Monday, March 11, 2013

ආදරණීය නුගේගොඩ





ආදරණීය නුගේගොඩ.....,

අවුරුදු 13ක් තිස්සෙ ආව-ගිය.... ඒ කාලෙ දැන් අවුරුදු 9ක් පරණයි... 

ටික ටික අතීතෙට එකතු වෙන නුඹ. ඒ ගෙවුන අවුරුදු නමයටම මං ආයෙත් නුඹ බලන්න ආවෙ කී පාරද?

 නුඹ වෙනස්වෙලා! මම? 

සතියකට කලින් ඉරිදාවෙ අම්මයි, අක්කයි, පුතයි එක්ක නුගේගොඩ යද්දි - ඒද්දි හීන් කඳුලු දැලක් ඇස් බොඳකලා දන්නවද? ආ ගිය පාරවල්, මතක ස්මාරක මනෝමයෙන් ගොඩනැගුන තැන් දිහා හැරි හැරී, එබි එබී, යලි යලිත් බලන්න. මට එදා ඕන උනා. 

හ්ම්..... බෝගහ ළඟ, සවුසිරිය ළඟ බස් නැවැතුම්.... සරසවි පොත් සාප්පුව, ඒ ළඟම රොටරියට යන පාර එතනම තියන කඩේ, අපි ඒකට කීවෙ යකාගෙ කඩේ කියල :) රොටරිය. ඒ කාලෙ French Corner එක ...... 

අපේ ඉස්කෝලෙ..... !

ඒ කාලෙ අපිටම වෙන්කරගත්තු CTB බස්,  ඉඳහිට හරි යද්දි උනත් අපේ කරගන්න ප්‍රයිවට් බස්..... School Bus එක... 

සොඳුරු හැඟුම් එහෙ මෙහෙ පා උන ආදරණීය නුගේගොඩ, 

 ඉස්කෝලෙ සුදු ගවුම නැතිව ඔයා බලන්න ඇවිත් වැඩක් නෑ. නුඹ අයිති ඒ ඉස්කෝලෙ යන කෙල්ලන්ට කොල්ලන්ට!

 මං දන්නෙ නෑ අදත් ඒ ළමයි ඒ වගේම නුඹව විඳිනවද කියල. ඒත් ඒ කාලෙ නුඹ අපේ ජීවිතේ කොටසක්. අදටත් ඒ කොටසෙ  නටඹුන් මේ ජිවිත වල ඉතිරියි. ඒකයි මේතරම් දැනෙන්නෙ නුඹව. අද නුඹත්, මමත් එදා උන්නු නුඹ හෝ මම නූනත්....

 අදටත් අපිට නුඹ මිහිරක්. ඉරිසියාවක් එක්ක එන දුකක් හිතේ ඇතිවෙන්නෙ ඒ කාලෙ එදාට වඩා අද රස හන්දයි. 

"මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. දැන් බැඳීම් වලට කොටුවෙලා අපිව හිරකරල වගේ දැනෙනවා" 
මේ මගේ පළමු වසරෙ ඉඳන්ම මිතුරියක් ළඟදි එවු කෙටි පණිවිඩයක්. 

අපි වැඩිහිටි වෙනවා. මතක අපිව අතීතය ගැන ඉරිසියා හිතවන තරමටම අපි වැඩිහිටි වෙමින් ඉන්නෙ දැන්. 

ඒ අතීතය දඟකාර කෙල්ලො ටිකක්, නගරයක තැන් කීපපලක් නැත්නම් හිරිමල් වියේ උන්නු කෙල්ලො කොල්ලො ටිකකගෙ බොළඳකම් ගොඩක් විතරක් කියල හිතෙයි කාටහරි. ඒත් ඒ අතීතය අස්සෙ හිරඋන මේ ඉරිසියාකාර හැඟීමම දැනෙන හිත්  තව ගොඩක් ඇති. 

නුඹයි අපියි අතරෙ තිබ්බ බැඳීම පුදුමාකාර බැඳීමක්!

මේ අකුරු මට දැනෙන දේ ඒ විදියටම කියන්නතරම් මදි. මේ දැනුත් අඬන්න ඕන උන වෙලාවට උගුර ළඟ හිරවෙලා වගේදැනෙන හැඟීම ම හරියට රිදවනව. ඒ හැඟීමමයි එදා බස් එකේදිත් දැනුනෙ.

සුළගේ ළෙලෙනා - මල්සේ දඟපා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත - වෙන අය එහි ඇත 
කාලය මැවු වෙනසක අරුමේ.....

ලොකුපංතියෙ අය - පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විසේ....
අපි පොත්වල දුටු - රජවරු සිටුවරු 
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.....

සාමල, අමරල - පොත්වල තව ඇත
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල - අපේම මව විය
එදවස් අපහට නැත ආයේ.... 

මේ සිද්දුව ඇහෙද්දි, මතක්වෙද්දි හිතට එන ඒ දුකමයි... ඒ ඉරිසියාවමයි එදා නුඹ දකිද්දි මට දැනුනේ. 

ආදරණීය නුගේගොඩ.....,
අපි වෙනස්වෙලා!

Wednesday, March 6, 2013

පිස්සෙක්ද කොහෙද!



ඔබ කවුද?
දැක පුරුදු මූණක්
ඒ ඇත්තටම ඔබමද?!

වැඩ අටෝරාසියක්
මේ මගේ උරමත
හනිකට කියනවද ?

මාලිංග!
ඒ ඔබමද?

හුරු උනත් නෙත්වලට
නුහුරක් ඇඳෙයි හදවත

ඇත්තටම ඔබ කවුද?

ලසිත් මාලිංග?

ඒ මොන බොරුවක්ද?
පිස්සෙක්ද කොහෙද!

කියන්නෙපා ඇහෙන්නට
හූ කියයි උඹට!

Tuesday, February 19, 2013

තටු, නිරූපද්‍රිතයි!



දිලිසෙන දුඹුරු පෑ
හැඩැති බත් කූරෙකි!

ප්‍රාණය නිරුද්ධවැ
පාපිස්ස මත දරදඬුවැ

තටු, නිරූපද්‍රිතයි!
හිස සිඳීගොස් ඇත!

Tuesday, February 12, 2013

සුභ උපන්දිනයක් තාත්තේ!




සුභ උපන්දිනයක් තාත්තේ!

ඉස්සර මට මතකයි  කාලෙ අපි හරි අමාරුවෙන් ජීවත්උනේ. ඒත් අපේ කාගෙවත් උපන්දින මතක තියන් නූන්නත්, අහම්බෙන් හරි මතක්උන දාක තාත්ත හැන්දෑවට අපි කට්ටියටම මොනාහරි ගෙනාව. Yogurt එකක්, කිරි Packet එකක් උනත් හරි වටින දෙයක් උන කාලයක් ඒක. සමහරවිට, ඔවු මට දැන් හිතෙනව,..... සමහරවිට තාත්තට  දින මතක තිබ්බත් මතක නෑ වගේම ඉන්නත් ඇති.

 එක්තරා අතීතයක්....

අන්තිමේ, අක්කල තුන්දෙනාම රස්සා කරල අම්මටයි තාත්තටයි මගේ පළවෙණි පඩියෙන් කියල තෑගි අරන් දුන්න කාලෙකුත් ආවා. මං දන්නව කවදාවත් මහ ලොකුවට බලාපොරොත්තු නූන තාත්තට ඒක මහමෙරක්. මට දුකයි. හරිම දුකයි...... ඇයි මට විතරක් බැරිඋනේ?

මගෙ පළවෙණි පඩිය මට ලැබෙද්දි තාත්ත නෑ!.

තාත්තේ,
දන්නවද? ගෙවිච්ච අවුරුදු 10කට වැඩි කාලෙ ඇතුලෙ ගොඩක් දේවල් උනා. තාත්ත හීන දැකපු දේවල්, හැබෑ උනා

ඒත් තාත්තා නැතිව.

ලොකු අක්ක මනාළියක් උනා, පෝරුව  ළඟට එයාව එක්ක ආවෙ ලකෂ්මන් බාප්පා, තාත්තගෙ මල්ලි. ඒත්  තාත්ත නෙවේ!

මතකද අර සිංදුව

"පුංචි දවස්වල නින්දට යද්දී....."
 ඉස්සර අර අපි රෑට Current නැති උනාම ඉටිපන්දම් එලියෙන් කිවුවේ?

ලොකු අක්ක පුංචි මුණුඹුරෙක් එක්ක ආව තාත්තෙ!.

කෙල්ලොම හතරක් හදල වඩල, හිතේ අස්සෙ හංඟපු කොල්ලෙකුට තිබ්බ ආදරේ අහල පහල හැම දරුවටම බෙදල දුන්නනෙ තාත්තා. හැමෝම පුතා හුරතල් කරන ගමන් තාත්තව සිහිකරනව.

දැනෙනවද තාත්තෙ  වේදනාවෙ තරම?

චූටි අක්ක මනාළියක් උනාමත් එයාගෙ අතින් අල්ලන් එක්ක ආවෙ බාප්පා.
ඒත් තාත්තා නෙවේ.
එයා එන මාසෙ පොඩි දෝණියෙක් එක්ක එන්නයි ඉන්නෙ.

අනේ තාත්තත් උන්නනම්.... අපි නිතරෝම හිතනවා.

මගෙ අක්කත්, සමහරවිට ලබන අවුරුද්දෙ මනාළියක් වේවි.
ඉන් පස්සෙ මමත්....

තාත්ත එන්නෙ නෑ නේද? දන්නවද තාත්තේ  තනිකමේ ගැඹුර?

'තාත්තා' ජීවිතේ වටිනම මොහොතක ජීවිතේට වටිනාකමක් දෙන්න අම්ම එක්ක මහන්සි උනා. ජීවිතේ වටිනාම දවසෙදි අපිව තනියම නතර කරල ගිහින් අද.

අම්මා නිතරෝම කියනව. ඉන්න තැනක ඉඳන් තාත්ත අපි දිහා බලනව කියල.ඒකනෙ මොනාහරි විශේෂ දේකදි තාමත් තාත්තගෙ පිංතූරෙ දිහා බලන් කතාකරන්නෙ තාත්තට.

 ආදරේ අම්ම කොහොම දරාගන්නව ඇද්ද?

කියන්න, බෙදාගන්න දේවල් කොයිතරම්ද? මට දැනෙන්නෙ නෑ

අවුරුදු 10කට කලින්  ජීවිතේ ආයෙ එන්නෑ. ඇත්ත. ඒක ජීවිතේ.... ඒත් තාත්තත් උන්නනම්.... නිතරෝම හිතෙනව.

සුභ උපන්දිනයක් තාත්තේ!

පෙබරවාරි 12

~~~~~~


හැමදාම
දලුලන අතුරිකිලි දැක,
සතුටට ඉනූ කඳුලුත්
පොහොර කර අපටම බෙදන
අම්මාය මුදුන්මුල.....,

කවදාවත් අතහැර නොයන
ආදරය උණූහුමට රැස්කර,
අපි සැවොම දරාගෙන
නොසැලෙන මහපොළව....,
තාත්තේ, ඒ ඔබය!