කොළඹ හුළඟ පාන්දරට හරි මුදුයි. කොටුවෙ ස්ටේශන් එකේ තිබ්බ මුත්‍රා ගඳ ඒ පාන්දරට එකතු කරේ මහ අපුලක්. අපරාදෙ. අනුරාධපුරේ යන්න ලෑස්තිවෙලා බඩුමලු පොදි ගහගෙන යද්දි නම් පොඩි කම්මැලිකමක්, යන්න බෑ බෑ වගේ හැඟීමක් හිතේ රවුම් ගැහුව බවනම් ඇත්තයි. අන්තිමේ.... හරියටම නියමිත වෙලාවටම කෝච්චිය අනුරාධපුරේට පිටත් උනා.
පැය හතරක ගමනක්!
ටික ටික රේල් පාර අද්දර තිබ්බ ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල් නැති වෙලා ගියා. ගස් කොළං පවා ටික ටික පුංචි කොල තියන ගස්වලට හැරිල තිබ්බා. යායට තියන කුඹුරු ලුමිනස් කොල පාටට ලස්සනට තිබ්බත්, හරි විසාල වැවුවල කාලෙකින් වැස්සෙ නැතිබව කියන්න වගේ වතුර ටිකක් අඩුවෙලා තිබ්බ. ඒත්, ඒ වැවු වල එවෙලෙත් දම්, රතු, රෝස, සුදු පාටවලින් පිපිච්ච ඕලු, නෙලුම්, මානෙල් මල් තිබුනා! කොළඹ උදේ එලියට වඩා කහපාට උදේ ඉර එලියක් ඒ පැත්තට පායලා තිබුනා.
උදේ 11.00 වෙද්දි අපි අනුරාධපුරේ ස්ටේශන් එකෙන් බැස්ස. වෙනද දකින ඉර එලියට වඩා ටිකක් වැඩිපුර කහපාට ඉර එලියයි, තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකයි හිතට හරි කාන්සියක් එකතු කලා. මහ සෙනගක් දැන් ආව කෝච්චියෙන් බැස්සද කියල වගක්වත් නැතුව හතර අතම පාලුවක් නිහඬ කමක් ඇදෙමින් තිබ්බා. ඒ නිහඬ කම, ඒ ඉර එලියෙ තිබ්බ වැඩිපුර කහපාට, මහ විසාල පාරවල්, ගඩොලින් නිමවපු ගෙවල්, උඩුකය නිරුවත් පිරිමි සහ දරුවන්.. දාඩිය නොදාන ඇඟ ඇතුලෙම එහෙ මෙහෙ දුවන උණුහුම, වේගෙන් හමන උණුහුම් හුළඟ.... අනුරාධපුරය අපට හඳුන්වා දෙමිනුයි උන්නෙ.
තාත්ත ඉන්න කාලේ අපි අනුරාධපුරේ ආව ගමන් දෙකක් ඒ තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එක එක්ක මතකයේ උඩටම ඇවිත්, අපි එතනින් නැන්දලා ගෙ ගෙදරට යන්න පිටත් වෙද්දි මම අනිච්චානුගවම හිතින් "තාත්ත එනකල් ඉන්නැද්ද" කියල අහන ගමන් ආපහු හැරිල බැලුව.
පිළිගන්නවද? ඒක එහෙමම උනා!
හරියට තාත්තත් අපි එක්ක ආව වගේමයි මට හිතුනේ. මොහොතකට තාත්ත අපි අනුරාධපුරේ ගිහින් මාස ගානකට පස්සෙ අන්තිම හුස්ම හෙලපු බව මගෙ මතකයෙන් මැකිල තිබුනා!
නැන්දලාගෙ ගෙදරදි හම්බඋන රසම රස පැණි දොඩම් විදුරුව (මම වීදුරු දෙකහමාරක්ම බීවා) ගත වගේම හිතත් සැහැල්ලු කලා. නැන්ද බැඳල දීපු බත් මුල් අරගෙන, ඒ අක්කල දෙන්නයි, චූටි දුවයි, පුතයි එක්ක අපි නාච්චදූව වැවට ගියා.
වැවට යන අතරෙමගදි අපි දැක්ක වැවු, ඒවයෙ නාන ගැහැණු සහ දරුවන්... ඒ හැමෝම තෙත බේරෙන කොණ්ඩා ඇතිව අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. කෙනෙක් අත වවන්නත් ඉදිරිපත් උනා. ලස්සනට පැල ගොයම දලු දාල තිබ්බ. වේලිල තිබ්බ ඇල පාරවල් වලට නාච්චදූව වැවෙන් වතුර මුදා හැරල, ඒවට වතුර ගලා එමින් තිබුනා.
නුවර වැව, තිසා වැව වගේම නාච්චදූව වැව හරි ගාම්බීරව රැලි නග්ගමිනුයි උන්නෙ. අපි හැමෝම නෑව. දවල දෙකේ ඉඳන් හවස පහ වෙනකල්ම නෑවා! නෑවා! නෑවා! කර වටක් වතුරෙ බැහැලා... මතක්වෙද්දිත්......අනේ තවත් ඉන්න තිබ්බනම්.... නාල! නාල! ගැහෙන තරම් සීතලේ ගොඩට ඇවිත් අලුත් ඇඳුම් ඇඳගෙන නැන්ද දීපු බත් කද්දි! වැවු මාලු, කතුරුමුරුංඟා කොළ, කිරට හින්දල ඉවුව පරිප්පු, එක්ක මලුවෙක්ගෙ හැඩේට හදපු රසම රස පපඩම්!
ආයෙ එද්දි අර ඇල පාරවල් පිරිල ටිකක්. අක්ක කිවුව හෙට එලිවෙද්දි හොඳටම පිරෙයිලු. ආයේ බලන්න යන්න නූන එකට මටනම් දුකයි. ඇලවල් වලින් නාන පිරිසට දැන පිරිමි උදවියත් එකතු වෙලා. එයාල එවෙලෙත් අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. ලා ගොයම හුළඟ එක්ක වැනි වැනී ලස්සනට පෙනුනා.
ඒ මිනිස්සුන්ගෙ හිනාව, ඒ කුඹුරු යායවල්, වැව, ඇලවල් හරිම ලස්සනයි.
හරි කලාත්මකයි!
ජය ශ්‍රී මහ බෝධියෙත්, වැවෙත්, පිහිට එක්ක කුඹුරු හේන් කවදත් අස්වැද්දෙනව ඇති. නියඟෙට වැවු හිඳිල බොන්නත් වතුර නැති කාලෙක ඒ වගා වේලිල ලැවු ගිනි වලින් ගිනිගන්නව දකිනව ඇති. වැස්සට වැවු පිටාර යද්දි, වාන් දොරටු ඇරෙද්දි ලස්සන කුඹුරු මඩ පාට වතුරින් යටවෙනවත් දකිනව ඇති. ඒත් හැමදාමත් කුඹුරු හේන් අස්වැද්දෙනව ඇති!
නාච්චදූව වැව දාල එන්න බැරුවද මන්දා හිතේ අර හැමුව හුළඟ වගේම රස්නෙ හුස්ම ගුලියක් හිරවෙලා එවෙලෙ මට හරියට කරදර කරමිනුයි උන්නෙ.
අක්කලාගෙ ගෙදරින් හම්බ උන රසම රස තේක! කෝන් ගෙඩි! සහ හෘදයාංගම අල්ලාප සල්ලාපය! ආයෙ නැන්දලෑ ගෙදරින් රෑට ඉඳි ආප්ප, කිරි හොදි, පොල් සම්බෝල එක්ක අතීතාවර්ජනය!
මට පෙනුන එයාල හරිම සතුටින් ඉන්න හැටි. ඒ එක්කම දැනුන ඒ ජීවිතේ කටුකයි කියලත්.
පහුවදා පානදරින්ම නැන්ද කඩාගෙන ආව නෙලුම්, ඕලු මල් අරගෙන අපි ජය ශ්‍රී මහ බෝධින් වහන්සෙත්, රුවන් වැලි මහ සෑයත් වන්දනා කලා. කොයිතරම් සෙනඟ ගැවසුනත් ඒ වටපිටාවෙ තිබ්බ අමුතු නිහඬ සහ නිස්කලංක බව, ඉර එලියෙ අමුතු කහපාට හැමතැනම පැතිරිලා තිබුනා. මම ඒ ස්වභාවයට අනුගතවෙමින් උන් නිසාද මන්දා ඒ විලාසයට ඒ වෙද්දි මම ඇලුම් කරමිනුයි උන්නෙ.
හවස ගෙදර ඇවිත් ආපහු ගෙදර පිටිපස්සෙ තිබුන වැවට අපි ගියේ ඕලු, නෙලුම්, මානෙල් පැල අරං එන්න... වත්තෙන් එපිට හේන් හරි කුඹුරු හරි වලට සකසාපු වේලුන තණකොලින් වැහුන වගා බිමක් ඉන් පස්සෙ තැනිතලාව... තැන තැන පුංචි කොළ ඇති ලොකු ගස්, ඉතිරි ඉඩ වේලුන තණකොළ වර්ග වලට වෙන් වෙලා. ඊට යටින් පොළව ලොකු කුට්ටි වලට ඉරි තලලා. තව යද්දි ඈතින් ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු මල් පිපුන වැවක ශේෂයක්... හිඳුන ඉතිරියෙ වේලිලාගිය ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු නටඹුන්.
"වහිද්දි වතුර ගේ හරියටම එනවා".
පොඩි අක්ක කීවෙ හිනාවෙලා. ඒත්, ඊට වඩා බර කථාවක් ඒ අස්සෙ තිබුනා. වේලුන තණකොළ දකිද්දි... ඒ තැනිතලාවත්, වැවත්, පුංචි කොළ ඇති ලොකු ගසුත් දකිද්දි මට මතක් උනේම අලි!
ඉතිං මං ඇහුවා
" නෑ, අපෝ අලි හිටියනම්...."
අක්ක උත්තර බැන්දෙත් හිනා වෙලාමයි!
හවස 4.00ට ආපහු යන කෝච්චිය. තව ඉන්න ඕන වගේ. අක්කලත්, නැන්දත් කීව ආයෙ එන්න කියල, ටිකක් වැඩිය ඉඳල යන්න. ඊට වඩා ලොකු කථාවක් අපි සමුගනිද්දි නැන්දගෙ ඇස්වලින් පේලියට වැටුන කඳුලු සද්ද නොකරම කිවුවා.
තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකටත් සමුදීලා ආවෙ හරිම කාන්සියකින්.... කෝච්චිය ආවට වඩා වේගෙන් කොළඹ දුවනව වගෙයි හිතුනෙ. නැන්ද ලිපෙන් බාපු ගමන් මල්ලට දාල දුන්න උණුම උණු බඩඉරුගු කරලක් කකා එද්දි, අනුරාධපුරය ටික ටික වේගෙන් ඈත් වෙමින් තිබුනා. ලා ගොයම් යායවල් සීතලට පහුඋනා. වේලුන වගා බිම්වල මොණරුන් උන්නා. ඕලු, නෙලුම්, මානෙල් මල් වැවුවල පරනොවී තිබුනා නාමින් උන් ලොකු කුඩා උන් නැවැතිල්ලේ කොච්චිය දිහා බලා උන්නා. පොඩි උන් අත වැනුවා. පුංචි කොළ ඇති රූස්ස ගස් නිසොල්මනේ ඉද්දී කෝච්චිය වේගයෙන් කොළඹ දිවුවා!
හිතුවාට වඩා ඉක්මනට අඳුර ගලා ආව නිසා ගස්වල පුංචි කොල ආයෙත් විශාල උන හැටි දකින්න නම් බැරි උනා. ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල්වල නිවැසියෝ ඒ වෙලාව වෙද්දි දවසෙ අවසානයට ලෑස්තිවෙමිනුයි උන්නෙ.
කොළඹ හැන්දෑ හුළඟ ත් ටිකක් හීතලයි. දූවිලි අංශු ඒවයෙ තැවරිලා වගේ මට අමුතුවෙන්ම හිතුනා. රෑ 8.00 වෙද්දි අපි මරදානෙන් බැස්සා. මුත්‍රා ගඳ බොහොම දරුණුවට මේ පාර දැනුනා.
අනුරාධපුරයත්, ස්ටේශමේදී තාත්තා අප සමඟ ආවා කියල දැනුන හැඟීමත්, නාච්චදුව වැවත්, එහි වතුර කුඩා ඇල පාරවල් වලට ගලා ආ අයුරු දැකීමෙන් දැනුන හැඟීමත් මගේ හිත නොතේරෙන සාංකාවක් වගේ තත්වයකට පත්කරල වගේ.
අපි දෙන්නා විවහ උනාට පස්සෙ හිතා උන්නෙ අනුරාධපුරේ යන්න. එයාගෙ අත අල්ලන් හැන්දෑවක රුවන්වැලි සෑය වඳින්න යන්න. පස්සෙ නුවර එලියෙ යන්නත් හිතුව. එයාට මම කිවුව අපි ඉසල්ලාම අනුරාධපුරේ යං කියල.
එයා කැමැත්ත දුන්නා!
පසු සටහන:
ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පමණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ.
මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී. හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.
පසු සටහන:
ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පමණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ.
මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී. හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.
අනුරාධපුරය, එහි දුම්රියපළ, නාච්චදූව වැව සහ තාත්තා!
එක්ව මහිත තුල කැරැල්ලක් ඇතිකර ඇති සෙයකි.
හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!
අපූරු චාරිකා සටහනක්..
ReplyDeleteජීවිතේ අපි කැමති විදිහටම ගලා යනවා නම් කියලා හිතුනා..
ReplyDelete