Monday, December 31, 2012

අන්තිමේ ඈ යන්නට ගියාය!



අන්තිමේ ඈ යන්නට ගියාය!

සිදු නොවියයුතු වූ සියල්ල ඇයට සිදු කිරීමෙන් අනතුරුව ඇයට ඒ ගැහැණු ජීවිතය දරන්නට හැකියාවක්, උවමනාවක් හෝ ආශාවක් ඉතිරි නොවන්නට ඇත.

ඇයට ඒ මොහොතේ ඇගෙ අම්මා සිහිවන්නට ඇත, තාත්තා සිහිවන්නට ඇත, ඔවුන්ගේ උණුහුමේ සුරැකි බව දැඩිව උවමනාවන්නට ඇත. ඈ තනිකම හා අසරණ කම නිසා එක්වරක් මියෙන්නට ඇත. 

ඇගේ පෙම්වතාගේ ආදරය තදින් දැනෙන්නට ඇත. ඈ නිසා නොව ඔහු නිසා උපන් ප්‍රේමයේ වේදනාවෙන් ඈ තවවරක් මියෙන්නට ඇත. 

ඈ මැවූ හීන!  වෛද්‍යවරියකව නෙක දනෝ සුවපත් කරන්නට මැවු හීන, දෙමාපිය ආශිර්වාද මැද මනාලියක වන්නට මැවු හීන, ආදරණීය බිළින්දෙකු කුස දරන්නට මැවු හීන, අම්මා නම් උත්තරීතර පදවියෙන් අභිශේක ලබන්නට මැවු හීන..... අවුරුදු 23ක යෞවනියකව ඈ දුටු හීන එකිනෙක මියෙනු දැක ඈ තව වරක් මියෙන්නට ඇත.  

පිරිමින්! සාමූහිකව! ඈ කෙලසද්දී ශල්‍යකර්ම තුනකුත් සිදුකර තවත් පණ රැකගන්නට නොහැකිවන තමට ඈ ඒ මානසික රෝගීන් අතින් කෙතරම් පීඩාවට පත්වන්ට ඇත්දැයි ඔබට හෝ මට හිතාගැනීමටවත් පුලුවනිද?

මුහුණු වසා අධිකරණය වෙත ගෙන ගිය ඒ දූශකයන් නිසා නිරුවත් වූ ඇගේ ආත්ම ගෞරවය නෑදෑයන්, යහලු යෙහෙලියන්, රට, ලෝකය, සමාජය හමුවේ මාධ්‍යයන් ඔස්සේ යලි යලිත් නිරුවත් කෙරෙනු දකින්නට ඈයට සිහියක් තිබුනානම් එතැනදී ඈ යලිත් මියෙන්නට ඇත.

අවසන, විකෘති කාමුකයන් පිරිසක් හෝරාවක් තිස්සේ දූශනය කරනුලදුව, ඒ ගැහැණිය විදවන්නට සලස්වා මරාදමන විටත්, දෑත් වලට විලංගු දැමෙනු ලබූවත්, ස්වේත පෑ උරයකින් ඒ දූශකයන් අනන්‍යතාවය සමාජයෙන් වසන්කරනු ලදුව නීතීය හමුවට ගෙන යද්දී පවා අසරණ ගැහැණිකගේ රත් පෑ රුධිරයෙන් නැහැවුන ඒ ලිඟු ස්වයං වින්දනයේ නොයෙදුනායි සිතන්නේ කෙසේද.

ඈ මියගියාය!(මරා දැමුවාය)

ලෝකය හමුවේ,අධිකරණය හමුවේ, නීතිඥයන් ඉදිරියේ, විටෙක.....  ඈ කෙලෙසූ උන් ඉදිරියේ පවා යලි යලිත් නිරුවත් වෙනවාට වඩා සැබැවින්ම ඒ මියයාම(මරාදැමීම) සම්පතකි.

මම පිරිමි ජරා ජාතියකැයි කීමට අකමැත්තෙමි. ගැහැණියකගේ ඇසුරේ ඉපිදැ, හැදි-වැඩී, පෝශණය වී.... ආදරය, ශෘංගාරය, රාගය විඳ, පියකු වීමට විවරණ ලැබ... අවසන ඔහු මියයන්නේද විටෙක ගැහැණියකගේ ඇකයේ බව දැන හෝ නොදැන.... ගැහැණු ජරා ජාතියකැයි  පුන පුනා දොඩවන පිරිමි මට කොතෙකුත් මුනගැසී ඇතද මා පිරිමි ජරා ජාතියකැයි නොකියමි. මගේ තාත්තාගෙන්, මගේ ආදරවන්තයාගෙන් 'පිරිමින්' කවුදැයි මා උගත බැවිනි!

ජරා යැයි වර්ග කල හැකි ගැහැණුන් සිටින බව ඇත්තකි. එවන් පිරිමිද සිටියි. ඔවුන්  ගැහැණු හෝ පිරිමින් නොව වැරදීමකින් මනුස්ස (මනසින් උසස්) යැයි නම්කෙරුණ අප්පිරියා සහගත ජීවීන් කොටසකි (තිරිසනුන් එවුන් තරම් පහත්ද?)

යොමුකලයුත්තේ කාටදැයි නොතේරෙන එක් පැනයකි. ඒ මිලේඡ්ඡයන්ගේ මුහුණු සමාජය ඉදිරියේ ස්වේත රෙදිකඩකින් වසන්නෙ ඇයි? 

නැගණිය ඔබ මැරි මැරී ඉපැදුන, යලියලිත් මරා දැමුන ඒ කාලය නිමාකොට ඔබව ස්ථිරවම මරා දැමුන එක ගැන මා අවසන සැනසුම් සුසුමක් හෙලමි!



මේ කඳුල,
ඒ දුවනි වෙනුවෙන්....
පිය සෙනෙහෙ - මවු සෙනෙහෙ
මිණි කිරුළ බිඳෙද්දී,
පපුතුරේ ඉරිතැලුන
ජීවිතය වෙනුවෙන්....

මේ කඳුල,
ඒ සොයුරි වෙනුවෙන්....
රෝස පැහැ බෝනික්කි - ඇස් වසා නිදද්දී
ඉකිගසා හැඬූ හඬ ,
අහන්නට කෙනෙක් නොවු
ඒ සොයුරි වෙනුවෙන්.....

මේ කඳුල,
ඒ යෙහෙලි වෙනුවෙන්.....
සමනලුන් පියාඹන - වසන්තය හඬද්දී
තටු තැලී පණ ගැසූ,
මල් කැකුළ වෙනුවෙන්......

මේ කඳුල,
ඒ තුරුණි වෙනුවෙන්.....
පැතුම් මල් එකින් එක - උන් තලාදමද්දී
අසරණම ඔත්පලවු,
ඒ තුරුණි වෙනුවෙන්......

මේ කඳුල,
ඒ ගැහැණි වෙනුවෙන්......
දරන්නට කුස පුතෙක් - පරමී පිරූ හිත
දෑස මානේ ලෙයින් 
නෑවෙනායුරු දුටුව,
ඒ ගැහැණි වෙනුවෙන්.....

මේ කඳුල,
හෙට ලොවේ 
ගැහැණු කම වෙනුවෙන්.....
අතින් අත අයාලේ
ලංසු තැබෙනා තැනෙක,
අසරණව සුසුම්ලන 
ගැහැණු කම වෙනුවෙන්......!

Friday, December 21, 2012

පෙම් බඳිමි,(කිඳුරු හදවතකට!)



පෙම් බඳිමි,
කිඳුරු හදවතකට!

දුලබ ඒ හදෙහී ගැස්ම
රකිමි
මුතු බිජුවටක් ලෙස

බැඳෙමි
නෑසෙන, 
නොපෙන්නන,
'දැනෙන' 
සෙනෙහසට

Thursday, December 20, 2012

අනේ මන්ද සරත්!




ස්ථානය : පෞද්ගලික බස් රථයක්
වෙලාව  : පෙරවරු 8.00ට පමණ

 වෙනදා බොහෝ දරුණු සටනකින් අනතුරුව, බසයේ පාපුවරුවට ගොඩවී යන ගමනේදී අසුනක් ලැබෙන්නේ එහෙමත් දවසකය. ඒ ලැබෙන්නේද ගමනාන්තයට ඔන්න මෙන්න කියාය. අහෝ!මේ නම් හෙට ලෝකෙ විනාස වෙලා යනවායි කියා එක එක විද්වත්තු රූප පෙට්ටියේ සහ අන්තර්  ජාලයේ එහාටත්, මෙහාටත් එයින් මතු මනු සතුන්ගේ කණටත්, ඉන් හර්දය වස්තුවටත් ඇතුලත් කරවීමට දැරූ දීර්ඝ උත්සහයේ ප්‍රතිඵලයක්ද මන්දාය.

අද නැවැතුමෙන් බසයට ගොඩවූ විගසම සීට් හත - අටක්ම හිස්ව තිබීම මහත් උත්කර්ශවත් හැගීමක් ම-හිතේ ජනිත කලේය. ඒ මදිවාට  වාඩිවෙන්නේ කොයි අසුනේ දැයි සිතාගත නොහැකිව මා සීට් කීපයක්ම පසුකර ඉදිරිරට ගමන් ගැනුනේ දෙසැම්බර් 31 හෝ ජනවාරි පළමුදාවක දී වන් දින වලදී පමණක් උදාවන අනර්ග දුලබ  අවස්ථාව හදිසියේ අත්විඳීමට ලැබීමෙන් ඇතිවූ කම්පනය නිසා වියයුතුයැ. 

 පියවි සිහියට පත් වහාම ලඟම තිබූ  අසුනෙහි අසුන්ගත් මා 'අනේ, හැමදාමත් මෙවන් අනාවැකි ගැන පැවසෙන්නේ නම් කොයිතරම් ෂෝක්දැ'යි හිතමින් පඩුවේ ගමනේ යෙදුනෙමි.

 කොන්දොස්තර මහතා කතා කරම කවදාවත්ම නොලැබෙන ඉතුරු රුපියල මට දුන්නේය. සමහරවිට ලෝකෙ පවතින අන්තිම දවසේ හෝ සදාරණව ඉපැයිය යුතුයැයි ඔහු හිතන්නට ඇත. 

'Traffic ! ඒ මොනවාදැ? '

ජීවිතේට Traffic දැක නැත්තෙකුට අද දින බසයේදී ඔය වචනය අසන්න ලැබුනානම් ඕ එසේ විමසනු ඇත. බසය නැවතුමක මිස  නොනවත්වා ධාවනය වේ. පාරේ වාහන හරි අඩුය. බලන්න ආසාය. 

ප්‍රීතී ප්‍රීතී!

Hello! Ahh Good Morning මචං!
No No I'm On the way මචං!

එක වර Loud Speaker යක් දැම්මා වාගේ කවුදෝ දුරකතන සංවාදයකය. මා ඔහු දුටුවේ නැත. ඒ ඔහු උන්නේ පසුපස අසුනක නිසාය. 

Ah මචං.. මිනිහ මට දවල් කතාකරා.
.......
ඔවු I Acted like I'm in a meeting. & asked him to හවස 6.30ට විතර කතා කරන්න.
And මචං, he called me right at 6.30 and said මහත්තයා අර ........... මහත්තයගෙ (නඩු/ලඝු) පොතක් තියනව කිවුවා.,
...........................
I said ඔවු ඒක තියනව හැබැයි තාම මට ඒක ඔයාට දෙන්න බෑනෙ.
........................
හඃහඃහා.....
හඃහඃහා.....

මචං, Can you Remember that couple? ....... ..... & his Wife?
................
Right,
......................
No men, That Famous Couple.. Girl is ........
....................
Right,
...............
Raaaight,
Okay,
Now you know the couple නෙ

That bugger told that මගෙ Wife නම් ඒ තරම් කොටට අඳින්නෙ නෑ
..................

හඃහඃහා.....
හඃහඃහා.....

~!~

මා ගමනාන්තයට පැමිණ ඇත. 
මා බසයෙන් බැසීමට පිටුපස දොරටුව තෝරාගතිමි!

අහා! අත්දිග කමිසය, ටයි පටිය, Posh කොණ්ඩා විලාසිතාව. ඔහු නම් කදිම තරුණයෙකි 

බාගවිට, ඕපාදූප කියවන්නේ කාන්තාවන් පමණක් නොවන බව ඔප්පු කර, ලෝක විනාසයට මූන දෙන්නට ඔහු තීරණය කරන්නට ඇත!

Wednesday, December 12, 2012

අම්මලා




මල් යාය අසබඩ
හීන් දිය පාර කිට්ටුවම
දිගු පාදැති කොකෙක්
තනි කකුලෙන් සීරුවෙන්

කොක් පැටවුන් කූඩුවේ
මග බලාගෙන!

මල් සුවඳ නොදැනෙන
වතුරයට පෙරළෙන
පුංචි මාලු රෑනක්ම
උන්ගෙ මවු වටකර

හරිම වේගෙන් සැලෙයි
මින් මවුගෙ හදවත!

විශ්වයේ කොතැනත්
නොවෙනස්ව

අම්මාගෙ ආදරය!

Thursday, December 6, 2012

ලෝකෙ විනාශ උනොත්!!



පැණයකි ඇහෙන ඉඳ-හිට ටික දිනෙක ඉඳන්
කාගෙන්වත් නෙවේ මම මේ මගෙම හිතින්
නිතරම සිතෙන මුත් ඒ සිදු නොවෙන සිතුම්
ලෝකය ඉවර වූවොත් මම කුමක් කරම්?

ඒ මහ විසුලු පැණයක් බව මම දනිමී
විනාස වූ තැන තව මොනවා කරමී?
මොනවා කරන්නෙත් පණ රැකුනොත් පමණී
ලොව හලු උනොත් පණ ගැන මොනවා කියමී?

ඇරඹුන දිනේ සිට මේ යස අවුරුද්ද
හිතෙහී කොණක කෝලම් පෑ රස කවිය
හැබෑවෙන්න ඇත්තේ සති දෙක-තුනය
බෝනස් එකත් දෙන්නේ මේ මස අගය!

අම්මා අතේ පැළඳු ඒ රන් මුදුව
නැතිවී කලක් දැන් පාලුයි මුදුඟිල්ල
අක්කයි මමයි රහසෙම සෑදූ 'ප්ලෑන'
රුපියල් එකතු කර අහවර නෑ තාම!

එන වසරේ සිංහල අවුරුදු කාලේ
ඇහෙන්න නියමිතයි ඒ හුරතල් නාදේ
ලස්සන ගවුම් අන්දන්නට ආසාවේ
ඒවා මහන්නට ඇරඹූවෙත් ඊයේ!

මා ළඟ ඇති  එක ලස්සන දින පොතක
හරි-හරි හැඩැති මනමාළියො ඇලවි ඇත
දවසක් ළඟක හෝ පේනා දුරද නැත
ඔහුත්-මමත්-හීනත් මඟ බලමි තව!

ඔය කී දේය, නොම කිවු දේ බොහෝ ඇත
හැබෑ වෙන්න ඔන්න-මෙන්න හීන වෙත
දැන ඕවා සිතා, දුක් වී පලක් නැත
මේ මස පඩි පතත්  අමතක කරන් හිත!

විසි එක දාට ඉන්නේ කොතැනද පැණය
වදදෙයි හිතට කඳුලුත් උනනව ඇහැට
ඔෆීසියේදී  මැරෙණනට හිතක් නැත
කොහෙ උන්නත් මියෙමි, එනමු දුකකි හිත

ඉතුරු කොලා කියලා තව පලක් නැතී
නිවාඩුවක් දානෙමි ඔය ඉතිරිවැතී
අම්මා, අක්කලා, පොඩිපුතු සමඟ ඉමී
නිවසේ රැඳෙමි, බෑ! ඔහු බෝ දුරක සිටී!

Mobile Phone එදාට වැඩ නැති හංදා
කටහඬ වත් අහන්නේ කොහොමද මංදා
ඔහු ළඟ උන්නොතින් අම්මා දුර හංදා
අයියෝ තනිව මියයමි හිත දුක හංඟා

එදාට හොඳට කා මම නින්දට යනවා
Piriton පෙත්තකුත් සහයට ගෙන යනවා
ලෝකේ පෙරලුනත් මම නම් නිදියනවා
ආයෙත් ඇහැරුනොත් පසු කවියක් දෙනවා.....

Monday, December 3, 2012

මරණය



මියැදීම එකකි
මරාදැමීම  තවෙකකි

මියයාම?? (විහින් ටිංකිරි ගාගැනීමකි සකි!)

Friday, November 23, 2012

මල් වත්තක්......


ගිය මාසේ තිබ්බ ගුරු-දෙගුරු රැස්වීමකදි තමයි දැන්වුවෙ අවුරුද්දෙ අන්තිමට තියන විවිදප්‍රසංගය ගැන. අපේ පොඩි හපනත් අංග දෙකකටම ඉන්න බව කියල තිබුනා. එදා ඉඳන්මයි අපි ඒක බලන්න යන්න සූදානම් උනේ. අපේ පැංචත් 'හඳ හාමී.... හඳහාමී...' ගගා මොකද්දෝ නැටුමක් නිතර නට-නට උන්නා. 

කොහොමහරි නොවැම්බර් 20 වෙනිද ඒ දවස උදා උනා. හැන්දෑවෙ 4.30 වෙද්දි මහරගම යොවුන් රඟහලට අපි ගියා. එක එක වෛවාරන ඇඳුම් වලින් පාට වෙච්චි දඟකාර චූටි පුතාල දූල රෑනක්. දැක්කම අපිට හිනහත් එක්ක. 

පොඩි අයව ගුරුවරුන්ට භාරදීල අපි වාඩි උනා. ඈතින් බෙර හඬක් ඇහෙන්න ගත්ත.

මල් පොකුරකින් පිලිගැනීමක්......

මල් පොකුරක් කීවෙ ප්ලාස්ටික් මල් නෙවේ.... අවුරුදු 04 ක් වෙන, පුංචි කෙළි පැටවු රෑනක්! හරිම ලස්සනට, එයාලගෙ ගුරුතුමී තාලම්පට වයනගමන් පෙන්නපු මග දිගේ විජේරත්න වරකාගොඩ මහත්මයාව ශාලාවට එක්කගෙන ආව. බලන්න හරිම ලසසනයි.... ඒ පුංචි දරුවො තාම පිපෙන්න පටන්ගත්ත විතරයි.....

ඊට පස්සෙ අවුරුදු 03ක චූටි දූල දෙනනෙක්..... බටු ගෙඩි දෙකක් වගේ... හ විශාල වේදිකාව ඉස්සරහ එකිනෙකා දිහ බලන ගමන් හිනාව විටින්, විටේට චූටි මුවින් පනිද්දි පිලිගැනීමේ කතාවත් කලා. 

"Dear Chairman Sir, Principle Madam, Teachers, Mothers & Fathers..... "

පුංචි දරුවෙක් සභාවක් ඉස්සරහ හඬ නගල කතා කරනව දැකල ඇතිනෙ? ඒ කටහඬින් පවා වෑහුනේ හුරතලය....

මල් වත්තක්......

ප්‍රසංගය ඇරඹුනා... අවුරුදු 04 දියණියො පූජා නැටුමකුත් නටන්න අමතක කලේ නෑ..... මල් වට්ටිය අමතක වෙලා, නැටුම අස්සෙ දුවල ගිහින් ඒකත් අරගෙන ආව එක්කෙනෙක්.... ආසාවෙ බෑ...

'සුන්දරයි උදේ ලස්සන මල් පිපී තියේ...'

 අවුරුදු තුනේ දූල පුතාල නැටුමක් පටන්ගත්ත... අනේ... හිතට දැනුන හැඟීම ඇස් තෙත් කරගෙන..... ඇස්වලින් එලියට පැන්නා.... චූටි හා පැටියෙකුට ඇඳල උන්න එක චූටි පුතෙක් මගෙ හිතනම් හොරාගත්තා..... ඇත්තම හා පැංචෙක් වගේ....

ඊළඟට තිබ්බෙ අපේ පුතාලගෙ අංගයක්..... එයාලට තිරය අරින්න වෙලාගියේ කාර්මික දෝශයක් නිසා නෙවේ තාම චුටි දඟ පැටවු.... හසුරවගන්න අමාරුයි....

 ඔන්න තිරය ඇරුනා :D 


ඔය ඉන්නෙ කිටියො ටිකක් වගේ දරුවො ටිකක්. එක්කෙනෙක් වේදිකාව වටේ පියඹනව අහස් යාත්‍රාවක් වගේ. දෙන්නෙක් හැප්පිල වැටෙනව. තවකෙනෙක්ට වේදිකාවෙ එල්ලල තියන සමනලලු දිහා බලා ඉන්න තියනව.


 හිටි හැටියෙම නැටුමත් මතක් වෙනව...

 පුංචි බෝල ගෙඩි ටිකක් වගේ එහාට මෙහාට එයාල පෙරලෙනව. ඇත්ත.... කියාදීපු දේම නෙවේ එයාල කලේ. ඒ අව්‍යාජකමම ලස්සන නැටුමක් තමයි.....



අකරතැබ්බ....

පූජා නැටුමෙදි එක දුවෙක්ගෙ මල් වට්ටිය අමතක වෙලා නැටුම අස්සෙ දුවල ගිහින් මල් වට්ටිය ගන්න උනා මදිවට මේ පොඩ්ඩන්ට හරි හරි අකරතැබ්බවලට තමයි මූනදෙන්න උනේ. මේ වගේ වෙලාවට බලා ඉන්න අපි මේ තරම් හිනාවෙනනෙ මොන හේතුවකටද කියල එයල හිතනව ඇති. 'සුවඳ සබන් ඇඟ ගාලා හායිහායි' නැටුම නටද්දි එක පුතෙකට හරි ජංජාලයක් තමා උනේ. බෙල්ලෙ බැඳල තිබ්බ පටියෙ ගැටේටත් ලෙහෙන්න හිතුනෙ නැටුම අස්සෙමනෙ. දැන් කොහොමද නටන්නෙ?. පුංචි පුතා පටියත් අහුලගෙන වේදිකාව එහා පැත්තෙ උන්න ටීචර් ගාවට දිවුවා. තව පුතෙක් හේතුවක්  නැතිවම එයා පස්සෙ දිවුවා. ආපහු තප්පරෙන් මුකුත් නූන ගානට අත් අල්ලන් ඇවිත් දෙන්න නැටුමට එකතු උනා. !

හොඳම වැඩේ උනේ චූටිත්තන් දුවෙකුට... එයාලගෙ නැටුම ඉවර වෙද්දි එයා වේදිකාව කොනටම ඇවිත් ..... ඕව මතක් වෙනවද නැටුමක් නටද්දි... නැටුම ඉවර උනාම තිරය වැහුනා... ෂා....හැමෝම අප්පුඩි ගහනව... සතුට වැඩිකමට එයත් අප්පුඩි ගහන ගමන් යාලුවො දිහා බලද්දියි වැඩේ බරපතලකම දැනුනෙ. කො යාලුවො... ඒ මදිවට තිරෙත් අන්තිම පොඩ්ඩත් වැහෙනව.... අපොයි ඔන්න චූටි දූ අඬන්න ගත්ත. පල්ලෙහා උන්නු Teacher කෙනෙක් හනිකට වඩාගත්තම තමා ඇඬිල්ල නැවතුනේ.....


තුති මල් මිටක්!

හිතන්න, පුංචි දරුවෙක් ඉන්න ගෙදරක ඒ එක දරුවෙක් දෙනනෙක් හෝ කලාතුරකින් පස්දෙනෙක් හංද ඔබ විඳින වෙහෙස! මේ විවිධ දරුවො 150ක් දරුවො 15කට ගුරුවරු 3ක්. මේ වගේ භාරදූර වැඩක් කරද්දි ඒ ගුරුවරුන් කොයිතරම් වෙහෙසක්  දරන්න ඇත්ද.

 එක විදියකට ඉන්නෙ නැති නලියන ළමයි රෑනකට ආදරෙන් නැටුමක් පුරුදුකරන එක!

 හිතනකොටත් මහන්සී නේද?. ඉතින් ඒ මහන්සියෙ ප්‍රතිපල ඒ විදියට වේදිකාවෙ දිග හැරෙද්දි ඒ ගුරුවරු කොයිතරම් සතුටු වෙන්න ඇතිද? ආඩම්බර වෙනන ඇතිද? දරුවෙකුගෙ දෙමවුපියො ඇවිත් සතුට ප්‍රකාශ කලාම ඒ දෙය තමයි ගුරුවරයෙකුට ලැබෙන හොඳම තෑග්ග!

(ලැජ්ජාසහගත) වැඩිහිටියෝ

සමහර වැඩිහිටියන් පාලනය කාටත් වඩා අමාරුයි. වැඩිහිටියෙකු තුල තියෙන්න ඕන ස්වයංපාලනයක්. ඒක සමහරු ළඟ නැතිතරම්.

 ඔක්කොටම වඩා එකින් එක අංග නිමැවෙද්දි ඊට සමාන්තරව එකින් එක ආසන හිස් උන එක!
 කණගටුවට කාරණයක්.

 මොනව හිතෙන්න ඇද්ද මහන්සිඋන ගුරුවරුන්ට? යමක් තේරෙන දරුවන්ට?

 තමන්ගෙ දරුවගෙ අංගය ඉවර උන හැටියෙ නැඟිටල ගිය දේමාපියන් හිතුවනම්..... කවුරුහරි තමන්ගෙ දරුවගෙ අංගය අතරෙ නැඟිටල ගියානම් තමන්ට දැනෙන හැඟීම ගැන?

 අපහසුතා? ඔවු තියෙන්න පුලුවනි.....

 තමන්ගෙ දවස් 24ක් වයස බිළිඳා එක්ක ආව අම්මගෙයි තාත්තගෙයි වැඩිමල් දියණියගෙ අංග දෙකම රඟදැක්විල ඉවර උනේ හැන්දෑවෙ 7.00වෙද්දිමයි. ඒත් ඒ දූවත් ළඟතියාගෙන 8.00ට ප්‍රසංගය නිමවෙනකල් ම රැඳිල උන්නා. වයසක ආචචි අම්මල පවා අවසානය දක්වා උන්නා. ඒත් බාලාංශ පංතිවලටම උගන්නන තවත් ගුරුවරියක් කීවා

 " අපිනම් කොල්ලගෙ Item දෙක ඉවරඋන හැටියෙ යනව නංගී" ! කියල.

 අඩු ගානෙ අදාල ගුරුතුමීට ස්තුති කරලවත් ගියානම්..... 

පිපෙන්නට වෙරදරන......

ඒක හරි ලස්සන අත් දැකීමක්. පුංචි දරුවන්ගෙ දක්ෂකම, අව්‍යාජකම හුරතලය.... සේරම කැටි උන ලස්සනම ලස්සන හෝරා දෙකක්.....

 මතකනෙ, මේ අත්දැකීම් බහුල පරිණත අය නෙවේ.

 තාමත් පිපෙන්න වෙරදරන පුංචි මල පොහොට්ටු. ජීවිතේ අයනු කියෙව්ව විතරයි. 

දවසක මේ දරුවො අතරින් බිහිවෙයි හොඳ කලාකරුවෙක්, දක්ෂ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, අව්‍යාජ දේශපාලකයෙක්, හොද සමාජ සේවකයෙක්.... ඔක්කොටම වඩා රටට වැඩක් ඇති හොඳ මිනිසෙක්. 

මේ ආරම්භය හරිම ලස්සනයි. අද නොතේරෙන භාදක හෙට තේරෙයි. ලබන අවුරුද්දෙ විවිදප්‍රසංගයෙදි මීට වඩා තේරුම් ඇතිව රඟයි. තව අලුත් දරුවොත් එකතුවෙයි.

 අඩිතාලම ශක්තිමත්නම්.... ඒ මත නැගෙන ගොඩනැගිල්ලත් ස්ථාවරයි. අපි කලයුත්තේ ඒ අඩිතාලම හොඳම විදියට සාදා දීමයි. 

Thursday, November 22, 2012

පාසල් ගමන.....

Add caption


ආයෙමත් පුංචි පුතා ගැන කතාවක්! 
ඒ තරම් පුංචි දරුවෙක් ගැන මේතරම් ලියන්න දේවල් තියන එක කොහෙත්ම පුදුමයක් නෙවේ. 

නොහිතු විදියට......

හම්.... අපි හිතන් උන්නෙ එයාව ජනවාරියෙ ඉදන් පෙර පාසලකට ඇතුලත් කරන්නයි. ඒත් ඉතින් (නිළ වශයෙන්) අකුරු කියෙවුව දවසෙ ඇතුලත් කරන්න ඕන කරන  රාජකාරි ටික පිළිවෙලක් කරගන්න පුංචි පුතා එක්කම අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි ගියා ඉස්කෝලෙට. ඒ පහුගිය සැප්තැම්බර් මාසෙ 27 වෙනිදා. ඉතින් එයා ඉස්කෝලෙට එදා යන බව දැනගෙන අකුරු කියවන්න ඇඳපු 'ලොකු ඇඳුම' ( ඒ එයා ගමන් අඳින ඇඳුම් වලට දීපු නම) යි, බාප්ප තෑගිදුන්න  ටෙඩියෙක් මහපු පොත් මල්ලයි මොනම හේතුවක් නිසාවත්, ඒ කියන්නෙ කක්ක දාන්න වගේ නොවැලැක්විය හැකි හේතුවක් නිසාවත් ගලවන්න අවසර දුන්නෙ නෑ! ඒකට තමා ඉතින් උනන්දුව කියන්නෙ. 

කළමනාකාර තුමයි, විදුහල්පති තුමයි, අදාල වයස්කාණ්ඩය (ECCE 2+) භාර ප්‍රධාන ආචාරවරියයි, පුතාට අදාල පංතිය භාර ප්‍රධාන ආචාරවරියයි,පුතා පිරිවරාගෙන ප්‍රශ්න අහන්න පටන් අරං. හරිම උනන්දුවක් තමාලු ඒක. කොහොමත් පුතා බොහොම ආසාවෙන් උන්නෙ ඉස්සරහ ගෙදර රන්දිනු, රනුති, සඳිති අයියල අක්කල වගේ ඉස්කෝලෙ යන්න. කොටින්ම එයාට කේන්තියක් වගේ අපභ්‍රන්ස හිතුවිල්ලක් හිටි හැටියෙ පහළ උනාම එයා අපිට බොහොම  බැරෑරුම් විදියට තර්ජනය කලෙත් " පුතා ඔයාව දාල ඉස්කෝලෙ යනව"  කියලයි! ඒක හරි දුක හිතෙන දඩුවමක්! විශේශෙන්ම ආච්චි අම්මට! පුතා නැති තප්පරෙත් පැයක් වගේ හන්දයි. 

කොහොම හරි ඉස්කෝලෙ කට්ටිය එක්ක කතාව දාගෙන ඉඳල, මෙන්න ! ටිචර් ගෙ අත අල්ලන්  පුතා පංතියට ගිහින්. අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි හොරෙන් බලා ඉඳලා. පොත් මල්ල පුටුවෙ එල්ලල, පුංචි පුටුවෙ වාඩි වෙලා. ටීචර් පුතාගෙ අල්ලෙ රෝසපාට සායම් ගානවලු. පුතා බොහොම ආසාවෙන් බලා ඉන්නවලු ( මම එයාට අවුරුද්දක් පිරෙන්නත් කලින් එයාගෙ අල්ලෙයි පතුලෙයි, මඩ තලියක් උලලා ඒක කොලේකට ගත්තෙ හරිම අමාරුවෙන්..... එයාග අම්මට හොරෙන්, ආච්චි අම්මාගෙන් බැනුම් අහමින්, ලොකු පුංචි 'එපා අනේ පවු' කියද්දි ඒ මදිවට මේ පුතා බෑඟිරි ගහ ගහ අඩද්දි!)

ඒ දවස්වල ඉස්කෝලෙ ඔක්තෝඹර් පළමුදාට යෙදෙන ලෝක ළමාදිනේට සූදානම් වෙනව. ඉතින් එලියෙ දරුවො නැටුම් පුරුදු වෙනවලු. අත් හෝදගත්ත පුතාත් ටීචර්ගෙ අතත් අල්ලගෙනම අර දරුවො වගේ නටන්න ගත්තලු. අන්තිමේ මේ වික්‍රම වල ප්‍රතිපලයක් හැටියටත්, පුතාගේ බලවත් ඉල්ලීමයි - උනන්දුවයි මතත්, එයා ඔක්තෝඹර් පළමුදා ඉදන් ඉස්කෝලෙ යවන්න අපි තීරණය කලා. 

ඇත්ත.... කෙනෙක් කියාවි, 'අනේ තාම චූටි දරුවෙක්නෙ' කියල. මොහොතකට අපිටත් එහෙම හිතුන. පුංචි නිළ ඇඳුම්, සපත්තු දකිද්දි..... ඔක්තෝඹර් පළමුදා පාට ඇඳුමින් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා කිරි බෝතලෙන් බොද්දි..... ඇස්වලට කඳුලුත් ආවා. ඒත්, චූටි පුතා දැඩිලෙස ඉල්ලා හිටිය ඉස්කෝලෙ යන්න උවමනා බව එයාට. අනික තව දරුවො එක්ක මුහුවෙලා ගත කරන්න ලැබෙන වෙලාව..... ඒ අත්දැකීම අපෙන් එයාට ලැබෙන්නෙ නෑ. හෙම්බිරිස්සා ගතිය තිබුන එකම එක දවසක් විතරක් ඇරෙන්න කවදාවත් එයා ඇඬුවෙ නෑ. දවල් 12 වෙද්දි එයා අපේ තුරුලෙ. අපේ ආදරය විතරක්ම නෙවේ සම වයසේ සමාජ ඇසුරත් එයට උවමනයිනෙ.


පාසල් ගමන.....

පුතා කොහොමත් උදෙන් නැගිටිනව. පාන්දර 4.00 - 6.00ත් අතරෙ එයා නැගිටිනව. පලවෙනි දවසෙ කිරි බීල ගියත් අරං ගිය කෑම ටිකෙන් චුට්ටක්වත් නොකා ආපහු අරගෙන ආව හංද අපි තීරණය කලා බත් ටිකක් කවන්න උදේට. පාන්දර 3.00ට විතර කිරි ටිකක් බොන හංදත්, ඒ අතරට අම්මගෙනුත් කුක්කු ලැබෙන නිසත්, උදේ කිරි එක ඉතිරි කරන නිසත්... අපි බත් වලට ආදේශ උනා.....

ඉතින්.... ඒක හරි සෙල්ලමක් වගේ.... කොහෙත්ම යුද්දයක් නම් නෙවේ.....

උදේ බත් ඉදෙන අතරෙ නැගිටල එන පුතා අම්ම ගාව පුං චිපූස් දරුවෙක් වගේ දැවටි දැවටි ඉන්නව ටික වෙලාවක්... 6.00ට විතර තමයි අපි බයි කන්නෙ. ඒ වගේ ටිකක් කම්මැලි එපා වෙන වැඩ වලට පොඩි උත්තේජකයකුත් ඕන. EGB වගේ....

ඉතින් අපි එක්කො පාරෙ ඉන්න බවුවන්ටයි පූවන්ටයි කතා කරනව, නැත්තන් කෑම හොයන කුරුල්ලොයි ලේනොයි එක්ක සිංදු කියනව, සමහරදාට Cricket හරි, දිය-ගොඩ-සැමතැන හරි , අල්ලන සෙල්ලම් හරි කරන්නත් වෙනව.... වැස්ස දවසක Cap එකත් දාගෙන අපි බෝට්ටු යවනව.... ඒ මුකුත්ම නැත්තන් ආච්චි අම්ම බන අහන තැනට වෙලා බන අහන ගමනුත් අපි බත් කනව. පුංචිට අලුත් කතාවක් හදාගන්න පුලුවන් උනාම කතන්දර අහ අහ බත් කනව. කොහොමහරි බත් ඔක්කෝම කනව අපි. ඊට පස්සෙ ඇග හෝදන් ලෑස්තිවෙලා ඉස්කෝලෙ යනව. 

ඊට පසසෙ කක්කි දාන්න වාඩි උනාම තමා ඉතුරු වැඩ. එයා තාප්පෙන් මේ පැත්තට වැටිල තියන උණ අත්තක එල්ලිල තියන පොල් කට්ටක් එක්ක කයියක් දාගෙන එයාගෙ රාජකාරිය කරගන්නව පාඩුවෙ. . ඒ අතරෙ තමා කෑම පෙට්ටිය බෑග් එකට ගිහින්, වතුර බෝතලේ ලෑස්තිවෙන්නෙ. 

ඊට පස්සෙ අර චූටි දත් ටික මදින වැඩේ!. බේසමට  වතුර පුරවනකල් එයා අතට දත් බුරුසුව දුන්නට මොකද, එයා කරන්නෙ එකම පැත්තක් මැදගෙන මැදගෙන ගිහින් සේරම tooth past ටික තුහඃ ගාල බිම දාල ඒත් ඉතුරුවෙන ටික රස කරල ගිලින එක තමයි. හිහ්! මෙදා පාර  tooth past එක Mixed Fruit රසයි. කලින්පාර එක Strawberry රස තිබ්බෙ. :)

ඊට පස්සෙ තමා අපි දත් මද්දන්නෙ. එයාගෙ අම්මයි, තාත්තයි දත් මද්දන දවසක නම් පොඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන්න වෙන්නෙ එයාල හරිම ක්‍රමේට දත් මදින්න දන්නැති හංදයි!

ඒක මෙහෙමයි.... ඉස්සරහ දතුයි, දත්වල පිට පැත්තයි මදිද්දි 'ඊඉ, ඊඉ, ඊඉ,ඊ!' කියල කියන්න ඔන, ඇතුල මදිද්දි 'ආඅ, ආඅ, ආඅ, ආ!' කියල කියන්න ඔන... ඒක කියන්න ඕන අර කවියෙ තාලෙට

 'This is the way we brush our teeth.... Brush our teeth, brush our teeth..' 

මේක සමූහ ගායනයක් පුතයි මමයි තමා සමූහය...එතකොටයි දත් දිලිසෙන්න මැදෙන්නෙ. ඊට පස්සෙ දිව මදින්න ඕන... අර අත්හෝදන add එකේ වගේ එතකොට පුතා දිව එලියට දාගෙන ඉද්දි මද්දන කෙනා මෙහෙම ගයන්න ඕන....
 'මෙතන ඉඳන් මෙහෙම මෙහෙම, මෙතන ඉඳන් මෙහෙම මෙහෙම....' 

 හරි! අපි දත් මැදල ඉවරයි....

ඊට පස්සෙ අපි ඇග සෝදන්න ඕන. දැන් මූනෙ සබන් ගෑවට  එයා බය නෑ. ඒව තමා ඒ වගේ පුංචි දරුවෙක් ලබාගන්න ජයග්‍රහන. ඒව ලොකු ජයග්‍රහන ඒ වයසෙ දරුවෙකුට!

ඇඟ හෝදන්න උණුවතුර දැම්මට පස්සෙ එයාට ඒ කේතලේ ඇරල පෙන්නන්න ඕන. ඒක ඇතුලෙ තියන දඟර ගැහුන Heater එකෙන් තවමත් දුම් දාද්දිම..... ඊට පස්සෙ සුපුරුදු ප්‍රෂ්න ටික....

ඔන්න වතුර දැම්ම බේසමට....

පුතා : කෝ .....මට පෙන්නන්න (මම කේතලේ පියන ඇරල පෙන්නන්න ඕන)
පුතා : Smoke එකක් එනව මේ..... ම්ම්.... (වාශ්පයේ සුවඳ බලයි, ඇතුලත ඇති Heater එක දකියි ) ඒ මොකද්ද ඒ?
මම : ඒ Heater එකනෙ පුතා.....
පුතා : ඈ.... Heater  එක (මේ වෙලාවට බලන්න ආසයි. කට ඇරගෙන, ඇස් ලොකු කරගෙන)
මම : ඒ Heater එකනෙ පුතා.....ඒකෙන් තමා වතුර Heat උනේ.
පුතා : Heat උනේ.? ඒ කොහොමද  Heat වෙන්නෙ?
මම : අපි Kettle එකට වතුර දාල වහල, ඒක Plug එකට හයි කරලා Switch on කලාම Current එක ඇවිත්    Heater එක Heat වෙනව. එතකොට වතුරත් Heat වෙනව. 
පුතා : ආ... එතකොට අර Orange Color light එක නැති වෙනව... හරී!


සේරම තේරුනා. ඒත් ඔය වචන ටික ඔහොම්මම ආයෙත් හුවමාරු වෙනව ඊළඟ දවසෙත්, ආයෙත් ඊළඟ දවසෙත්.... ඇග හෝදවන්නෙ මම නම්!

ඊට පස්සෙ ඇඳුම් අඳිද්දි.... එකම එක ඉල්ලීමක් පුතාගෙන්
 'පුංචියේ අපිට colon එපා නේ?!'
අපි colon පොඩ්ඩක් කමිසෙ එල්ලන ලේන්සවට හොරෙන් දානව ඉතින් :)

ඊට පස්සෙ ආච්චි අම්මට වැඳලා, සීයගෙ Photo එකටත් වඳිනව. බුදු හාමුදුරුවන්ටත් වඳිනව.එයා තමයි තනියම එයාගෙ වතුර බොතලෙයි පොත්මල්ලයි අරන් යන්නෙ.....ඊට පස්සෙ 7.15 වෙද්දි අපේ පොඩි පැංච පිටත් වෙනව ඉස්කෝලෙට.....

ඉතින් ඊට පස්සෙ.....

දැන් මාස එකහමාරක් වගේ.....එයා ඉස්කෝලෙ යනව.. අපි කියල දීපු කවි කතා වගේම, අලුත් කවි කතාත් එයා ඉගන ගන්නව. තනියම කෑම පෙට්ටිය ඇරගෙන කන්න, පාට අඳුරගන්න, යාලුවො එක්ක සෙල්ලම් කරන්න (වලි දාගන්න) Mango Juice හදන්න. ඇට වර්ග පොත්වල අලවන්න.....එයා හරි ආසයි...

ටීචර්ලත් එයාට හරි ආදරෙයි....තාම මේ 2+ පුංචි දරුවො. ඇදුමෙ චූ යනව වගේ අකරතැබ්බ වෙන්න පුලුවනි. ඒකයි අමතර ඇදුමක් නිතරම පොත් මල්ලෙ තියෙන්නෙ. ජයග්‍රාහී ලෙස අපේ පුතත් එකමෙක දවසක් ඒක ප්‍රයෝජනේට අරං තිබ්බා. 

එයාගෙ ටීචර්ගෙන් තිබ්බ එකම පැමිණිල්ල කෑම කන්නෙ නෑ කියන එක. මුලින් මුලින් කෑම පෙට්ටිය එහෙම්මම ආපහු අරගෙන ආව අපේ පොඩි චන්ඩියා.

 'මෙයා හරි හිමින් කන්නෙ'

 ටීචර් එහෙම කිවුවා. අපි සති 2-3ක ඉඳන් කරපු පර්යේශන වලින් හොයාගත්ත එයා පානුයි, Strawberry Jam යි තමා කන්න ප්‍රිය කියල. උදේට බත් කාල යන නිසාත්, දවල් 12.00 වෙද්දි ගෙදර එන නිසත් පානුයි, Strawberry Jam යි නරක නෑ. එයා ඒව සේරම දැන් කනව. 

19 වෙනිද පුතාට අවුරුදු 03 පිරුණා. teddy bear cake එකක් උස්සගෙන ගියා යාලුවන්ට. යාලුවො හැමෝම එක්ක Cake කපල කාල. ඒ පින්තූර වල ඉන්න එයාගෙ යාලුවො හැමෝගෙම නම් එයා දන්නශවා. ඒක ලොකු දෙයක් ඒ වයසෙ දරුවෙකුට...

ඒ ගුරුවරුත් හරි අගය කලයුතු පිරිසක්... එයාල අහනව අපි කියල දෙන නැටුම්, සිංදු ගෙදරදි කියනවද කියල. ඒක එයාලට සතුටක්....  එයාල දරණ මහන්සිය, මේවගේ දරුවො ගොඩක් එක්ක... ඒක දැනුනෙ අපි පුතාලගෙ වර්ශ අවසාන විවිධ - ප්‍රසංගය බලන්න ගියාමයි...
ඔවු විවිධ-ප්‍රසංගයක්.... පුංචි පුංචි දරුවන්ගෙ... අපේ පැංචත් නැටුම් 2කටම උන්නා.... ඒක වෙනම ලියා තැබියයුතු මාතෘකාවක්... ඒ පුංචි දරුවන් වගේම..... මහන්සියෙන් ඒ විවිධප්‍රසංගය යතාර්තයක් කරපු ඒ ගුරුවරුන් වෙනුවෙන්.....

ඉතින්... අපේ පොඩි පුතා... සමාජ ඇසුර ත් ලබමින් ලොකුවෙනව..... මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සටහනක් වෙන්න පලුවනි තමා.... දරුවෙකුගෙ මේ එක එක කඩඉම්.... ඒක හරි  සුන්දර අත්දැකීමක්..... හරිම සුන්දර අත්දැකීමක් ! 

පුතේ අපි ඔයාට ආදරෙයි හුඟාක්!

Tuesday, November 20, 2012

සොරු Vs හිමිකරු



සොරාගත් සිතුවිලි
වෙන්දේසියේදී.....

සොරු,
හිනා මූනක් මවන්
හදවතින් හඬත්!

හිමිකරු, 
මනාලිය වන යුරු බිහි කල දුවක්
බලා සැනසෙත්!

Monday, November 19, 2012

දැක, දැන අර ලොව ගැන පිපෙන්න මානෙල් මල......



ඉර කුමරුගෙ පාට වැටිල
මල් කුමරියො පිබිදෙනවා,
ඊට කලින් අපේ පුතා
පාන්දරින් නැඟිටිනවා......

උදේ සීත මකන ගමන්
ලිපේ බතක් ඉදවෙනවා,
ආච්චි අම්මා අදනම්
ආදර කිරිබත් උයනව......

පුතු වටකරගෙන හැමෝම
හාදු දෙන්න පෝලිමේය,
අද නම් හරි අපුරු දිනක්
පුතුගෙ මුවේ සතුටු මලක්......

සමනළයෙක්, මී මැස්සෙක්
ඒ මදිවට ගිරා බබෙක්,
මිදුලේ හිඳ ගයති රඟති
අද මොකදැයි අරුම ලෙසින්......

පුංචි පූස් පැටවු ටිකක්
කොහේද හිඳ දුව ඇවිදින්,
පුතු දැක පා දඟර නැටුම්
සුභ පැතුවා සතුටු හිතින්......

මොක්ද මේ කලබලේ
හරි හරි දේ මෙහි වෙතේ,
පුතු ඉපදුන දිනයනේ
සමරන්නේ සතුටිනේ......

ආදර හාදුත් තැවරුන
පොඩි මූනේ හසරැලී,
කාගෙත් හදවතේ පිරුණ
සුභ පැතුමකි හිරු වැනී......

පුතු ටික ටික ලොකු වෙනවා
දවසක තුරුණෙකු වෙනවා,
හොද දරුවෙකු ලෙස පියකරු
හෙට දින ජය ගෙන එනවා......

අපි හෙට වයසට යනවා
පුතු දැක හිත සැනසෙනවා,
සෙනහෙ සිහිල ලබන පුතා
මැණිකක් සේ බැබවලෙනවා......

අහන්න සුරතල් පුතේ
නුඹ නොදුටුව ලෝකයේ,
ගෙවෙනා මොහොතක් ගානේ
අලුත් දෙයක් බිහිවෙතේ......

අනාගතේ දවසක
ලොව දකීවී පුත නූඹ,
අපි ළඟ නැති මොහොතෙද
හිත සෙනෙහස නුඹ ළඟ......

අකුරු, ඉලක්කම් ලියා
දැනුමෙන් සවිමත් වෙලා,
කියා දුන්න ආදරයත්
රැකගන් හදෙහී හොවා......


ජීවිතයේ ලස්සන
කවි අතරෙත් කටු ඇත,
රිදුම් දෙවන මොහොතක
දිරිය වේවි සෙනෙහස......


ඔය ලස්සන හිනහව
වටින්නෙ හෙටටයි පුත,
දැක, දැන අර ලොව ගැන
පිපෙන්න මානෙල් මල......

2012/09/19

Wednesday, October 24, 2012

තාලයත් ඔබ, ඒ වයන වෙණතතත් ඔබ!




අට වසරක අතීතය....

ඔබ එක්කම හද ගැහුන

විටෙක හිත සනහන
තව විටෙක රිදවන.....

පිපුන හද පෙම්-වත
ලියමි තවමත් හෙමිහිට
හදගැහෙන රිද්මෙටම,
නොලියවෙන බව ඇත්තයි ජීවිතය....

ගෙවා ආ මඟ දුරෙහි
හීන-පැතුමන් හදවතින් ගෙන,
තවත් දිගු දුරකි යන්නට
ඔබේ සෙවනේ පහස විඳිමින....

ඔබ නිසා හිත රිදුන මොහොතක
මෙ-හිත හැදුවෙත් ඔබම වූ සඳ,
කුලුදුලේ හද ලිවූ පෙම් කවෙහි
තාලයත් ඔබ,
ඒ වයන වෙණතතත් ඔබ! 

'~ආ~ද~ර~ය~'

වදනක්....
ඔබයි දුන්නේ අමිල අරුතක්!,

කියාගන්නට නොතේරෙන හැඟුමක්
මගේ හිමියණි...., 
හිතේ සිරවී,ගෙනේ දෑසට කඳුලක්....

ඔබත්-මමත්,

ඉතින්..., 
එක්ව යමු තවත් බෝ දුරක්....
කඳුලත්- සිනහවත්
බෙදාගමු නූපන්න හෙටටත්....

27/10/2012

Tuesday, October 23, 2012

පැතූ පැතුමන් හැබෑ වේවා!





සුළඟත් එක්ක ඳඟ පෑව
සුදු ගවුමේ රැළිත් සිළිලාර
ඉස්කෝලෙ ගිය මුල් දවසෙ
සිතුවම් මතක ළඟ ඔබත් ඇත.....

මැයි මල් පිපෙන හැඩ කහ පාට
පොඩි පංතිවල සුරඟන සුවඳ
ගී කියු මියුලැසි විහඟ කැල
තාමත් මවයි ඒ සිඟිති රස....

අරලියා මල් ගස් අතරෙ නෙක
යෞවනේ හිරිමල් පිපෙනතර
මිතුරියේ අපි ආ ගමන් මඟ
විදු මවුගෙ සෙවනේ සිහිල මැද....

හැර ආ දිනේ අනුලා තුරුල
අපි වෙන්වෙද්දි බිඳි කඳුලු කැට
තරු සිත්තමක් වී අහසෙ අර
තමත් දොවයි මිතුදමින් සිත....

දුර බොහෝමැයි අපි අතර
මිතු දම් හුයෙන් පාලම් මැවුන

ඉඳ හිට එවූ හසුනක අතර
කඳුලත්- සිනාවත් අකුරු කර....


මිතුරියේ මා හිත හැඳිනූ
මේ සුභ පැතුම් එ හිතේ ඇඳුනු
දඟකාරි - සෝබන යෙහෙලි
මනාලිය වන දින ළඟලු....

සෙනෙහස නිසා දෙහිතේ බැඳුන
මඟ එලිය වෙයි නිසි මඟ යන්න
අඳුරෙදි එපා කලබල වෙන්න
බෝ දුරකි ඔහු හා යන්න.....

පැතූ පැතුමන් හැබෑ වේවා!
සිනාමුව සැමදා රැඳේවා!
හීන දුටු ලෙස අනාගතයම,
ආදරේන් සිත්තම් කෙරේවා....!

(25/10/2012)

Thursday, October 18, 2012

හිත





මිනිසෙක් 
දන් දෙයි
'මේ නම් සොරෙක් මැයි' බණිමින් (හිතින්)

යදින්නෙක්
පින් දෙයි 
ලැබුන 'රුපියලට සරදමින්'  (හිතින්)

Thursday, October 11, 2012

අතිනත පටලා - යමු අපි දෙන්නා - පුංචි දුවේ මාගේ


අද අහසෙ පායපු ඉරෙත් පාට හේදිල වගෙයි......

කවුලුවෙන් එපිට හිස් අහස දිහාව බලාගෙන ඈ එහෙම හිතුව. 

ඔවු, කිත්මිණී.....හේදිච්ච හිතත් ගුලි කරගෙන අහස දිහාව බලා උන්නා. ඇගේ හිත වගේම ඈට පෙනුන, ඈ දුටුව අහසත් හිස්. ඒත්,  ඈ දැනගෙන උන්නා. ඈට නොපෙනෙන අනිත් පැත්තෙ ඉර පායල තියෙන බව. ඒ වගේම මේ ඉර එලියෙ පාට හේදිච්ච මලානික ගතියට හේතුවත් කිත්මිණී දැනගෙන උන්නා. 

ඔවු, අවුව පායල තියන බවත්, මේ මද්දහන බවත් ඇත්තයි. ඒත් ඒ මද්දහනට උරුම දීප්තිය, ඒ දිලිසෙන කහ පාට ඈතක ඉඳන් සීරුවට අහසෙ ගුලි ගැහෙන වැහි කලුවකින් වැහෙමින් තිබුනා.

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~



 මේ හැමදේම සිද්දවෙන්න පටන් ගත්තෙ කවදද? 

 ඒ දවස්.... ඒ කිවුවෙ,  මම පුංචි කාලෙ කොයි තරම් ලස්සනද? 

අවුරුදු පහළවක් තිස්සෙ අම්මගෙ තාත්තගෙ හුරතලා වෙවි අයිය ගෙවුව කාලෙ හිටි හැටියෙ නතර උනෙ අකලට හටගත් ඵලයක් වගේ මං උපන් දා ඉඳලයි.

 "ඒ දවස්වල තිබ්බ වලි!" 

 හීන් හිනාවක් මුවේ ඇදෙද්දි මම අතීතයට කවදවත් නැතිතරම් ආදරේ කරන්න පටන් අරං......

අයියත් එක්ක භාහිරින් මහා බැඳීමක් නොතිබුනත්, අධ්‍යාත්මිකව ඇතිඋන ආදරය. තාත්තගෙ නිහඬ, ප්‍රතාපවත් සෙනෙහස. ඒ අස්සෙ මං ඇයට බැඳුනු බැම්ම....

අම්මා.... 

ළයේ ඟැඹුරුම ඉසවුවකින් ඇවිලුන ගින්නක් හංදා පිච්චිලා යන උණුහුමකින් හුස්මක් හිතේ රස්නෙට එලියට පැන්නා.

ඒ දවස්... එකිනෙකාට බදධ උනා වගේ අපි අතර තියන බැඳීම... ඉස්කෝලෙ ආ -ගිය හැටි, සුකුරුත්තන් ඇඳුම අන්දපු හැටි, රහස් බෙදාගත්තු හැටි... 

තරවටුවක්, ගුටියක් මට දීලා අම්ම හොරෙන් ඇඬුව බව මන් දවසක් දැක්ක. එදා ඒක දැක්ක බව මං කීවෙවත්, අම්ම දුකින් වේදනාවෙන් ඇඬු බව මට කීවෙවත් නෑ තමයි. ආයෙමත් මන් ගුටි කෑවම අම්ම හොරාට අඬනව මං දැක්කෙත් නැති උනත්... මං ඔය අසීමිත ආදරේ එදා පුදුමාකාර විදියට වින්දා.

හැමදාම, හැමදේම අපි දෙන්න බෙදාගත්තෙ. ඒක අරුම බැඳීමක්. මට කියාගන්න නොතේරෙන. 

ආදරේ..... 

ඔයලගෙ ආදරේ අතරටම එයාගෙ ආදරෙත් ලබන්න මං පින් කරල. ඒ ආදරේට ඔයාල ආශිර්වාදයක් උනා. මං සතුටු උන තරම..... ඒක ඔයාටත් දැනුන නේද අම්මා....

එකින් එක අවුරුදු ගෙවෙදදි.... ඔයා කීවා, 

"දැන් ඉතින් මදැයි උන්නා. අපි Wedding එක ගමු දූ" 

අන්තිමේ....

මට මේ ඇහෙන්නෙ මහන මැසිමෙ මහ ගොරහැඬි සද්දෙ. ඔයා ඔයාගෙ අතින්ම මගෙ මංඟල ඇදුම් මහනවා. 

ඉස්සර රැළි අල්ලල,මල් මහල බෝරිච්චි අත් දාල ගවුම් මැහුව මැසිමෙන්ම, මට වැඩ දාපු ඔසරි හැට්ටයක් ඔයා හෙමි හෙමිහිට මහගෙන යනවා.පොඩියකට නතරවෙලා ඒ හැට්ටෙ රටා අතරෙ ඔයාගෙ ඇඟිලිතුඩු යවන ගමන් තනියම හිනැහෙනවා.හදිස්සියෙම ලොකු හුස්මකින් හිත හෑල්ලු කරගෙන හනික ඇස් දෙක පිහදාල ආයෙත් මහනවා. 

මම ඔයාව දැක්ක අම්මා....

හරි සද්දෙට එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු බලනව. හිනැහෙනවා. මට තරවටු, උපදෙස් දෙන අතරෙම ඔච්චම් කරනවා. ඒ අතරෙ මට ඇහෙනවා රෑට නිදි ඇඳේදි හීන් ඉකියකුත්....

මට ඔයාව ඇහුන අම්මා.....

මතකද, අපි දෙන්නා මගේ කාමරේට වෙලා සාරි නවද්දි ළඟදි දවසක මං කිවුවා ......

"ඔන්න අම්මේ.... මට එහේ ඉන්න බෑ හිතුනොත් මං ගෙදර එනව හොඳේ..."

ඔයා මොහොතක් මං දිහාව බලං උන්නා. ඉක්මනින්ම මගෙ ඇස්වලින් ඔය මූන අහක් කරගෙන මගෙ කාමරේ පුරාම ඔයාගෙ ඇස් යැවුවා. 

" හඃ ඒවා කොහෙද, මට උඹව යවනකල් ඉවසුමක් නෑ.. නිදහසේ ඉතුරු කාලෙ ගෙවා ගත්තෑකි ඇති යන්තම්..."

හදිසියෙම ඔයා මහ හයියෙන් හිනා වෙලා කීවා,

මට ඔයාව දැනුනා අම්මා.....

තව සුමාන දෙකයි.... 

මං මනාලියක් වෙනව දකින්න ඔයා දැකපු හීනෙයි, එයා එක්ක ජීවිතේ අත්තිවාරම දාන්න මං දැකපු හීනෙයි....  

ඒ හීන එදාට හැබෑ වෙයි...

එතකොට මේ කඳුලු!

ඔයයි මමයි හිත් අස්සෙ හිරකරගෙන ඉන්න, ගින්දරටත් වඩා හිත පුච්චන මේ කඳුලු?

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~

කිත්මිණී හනික කවුලුව ගාවින් නැඟිටගෙන, යාබද කාමරේ මැසිම එක්ක ඔට්ටු වෙන අම්ම ගාවට ඇදුනා...

ඈ උලුවස්ස ගාවට ගියා. ඇගේ අම්මා ඒ ඔසරි හැට්ටය ඒ මොහොතෙම අන්තිම මැහුම් පාරත් ගහල මහල ඉවරකලා... එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කපල ඒ රටා අතරෙ ආයෙමත් ඇඟිලි දුවවමින් ඈ හීන් හිනාවක් මූනෙ ඇඳගෙන කල්පනා කලා.

මේ සේරම දොර උලුවස්ස ළඟ ඉඳන් කිත්මිනී නිහඬවම බලා උන්නා. ඒත් ඒ හිත ඇතුලෙ බැමි එකින් එක ලිහෙමින් කඳුලු උපද්වමින් තිබුනා.

එතකොටම, අම්මාගෙ ඇහින් වැටුන කඳුලක් හැට්ට අත උඩ පැල්ලමක් ඇන්දා. හනික ඒක පිහිද්දි තව කඳුලක් මැසිම උඩම බිඳිල ගියා. එකකට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් කඳුලු වහිද්දි ඇගේ අම්මා හැට්ටය ළයේ තුරුලුකරන් ඉකිබිඳින්න උනා.


අම්මා.....

උලුවස්සෙ වරුවෙන් මිදිලා කිත්මිණී අම්මාගෙ උකුලෙ කඳුලින්සිත්තම් මවද්දි....

ගෙදරින් එලියෙ මුලු මිඳුලම දූවිලි පිහමින් සිරි - සිරි වැස්සක් වහින්න පටන් ගත්තා.....

මේ වැස්සට පස්සෙ තිබුනටත් වඩා දීප්තියකින්, අහස ලස්සන කරගෙන ඉර පායාවි..

Tuesday, October 9, 2012

ඕනවෙයි කල් මට...




වසන්තය
ඔබ 
උදාවෙන්නට සිතා ඉන්නා දවස
කියනවද මට?

(රහසින්වත්?, මං රකින්නම් ඒ රහස ...)

එන්න කලින් ඔබ
හදාගතයුතුයි හිත මම
ඕනවෙයි කල් මට.....!

(සමහරවිට, ඔබ එන්න හිතනා දවස වේවි කල්දමන්නට....!!)

Monday, October 8, 2012

ඔබ එක්ක - ඔබ නැතිව




තාමත් දන්නෙ නෑ මම
මට ඔබ එක්ක
පුලුවනිදැයි
ජීවත් වෙන්නට......

මම දන්නෙ,
මට අමාරුයි
ඔබ නැතිව
ජීවිතය
දුරක් ගෙනියන්නට.......

Thursday, September 27, 2012

ඒක මහ පුදුමාකාර හැඟීමක්....


මේ ඇරඹුමයි.... මාවත බෝ දුරයි.....
ඔලුව ඉස්සුවා, පෙරලුනා, ඉඳගත්තා, දණගෑව, අල්ලන් නැඟිට්ට.......
ඊට පස්සෙ,
ඇවිදින්න පටන්ගත්ත...
දැන් ඔයාට තනි කකුලෙන් පනිනත් පුලුවනිනේ.....!!

තනියම දත් මදින්න (අපි ආයෙම මද්දනව තමා ),  කලිසම - සපත්තු දාගන්න ඔයාට දැං පුලුවන්....

ඒ විතරක්යැ, දැං ඔයා නාන්නෙත් හිටගෙන...
ඒක හරිම හපංකමක්! (ඔයාගෙ චුටි පුංචි එහෙම නෑවෙ එක වසරෙදි!)

ඉස්සර ඔයාව උකුලෙ තියාගෙන ඔයාගෙ අම්මයි, ආච්චිඅම්මයි, පුංචිලා වෙච්චි අපි තුන්දෙනයි, මදි පාඩුවට තාත්තයි කීව සිංදු යංතං දැනෙද්දි වචන වරද්ද වරද්ද ඔයා මතකෙන් කියන්න ගත්තා.....

ආච්චී - තාච්චි 
තාත්තා - කාක්කා
පිඟාන - පිනාඟ 
පුසෙක් -පූවෙක් 
Rabite - ලැබිට්

ඔයා බහතෝරන්න ගත්තා....

එකයි, දෙකයි, පහයි, අටයි, තිස්දෙකයි! කියලා ගැන්නා....

 A B C D සිංදුව තාලෙට කිවුවා.....


දත් කැකුලු කාලා
සුලතල් ශිනා ශීලා .....

~~~~~~~~~~~~
ශී... ලංකා මතා.....
අප ශී........ ලංකා
නමෝ නමෝ මතා....
ශුන්දල ශිලි බලනී..........

 ඔයා ජාතික ගීයත් හරි අපූරුවට ගයල, අන්තිමේ ඔලුව පත්කරල අආචාර කලා

සබ්බ පාපස්ස අකලනං 
කුශලස්ස උප ශම්පදා ........

කවි, කතා අතරට ගාථාත් කිවුවා..............................................................


අද උදෙම්ම ඇහැරිලා ටික දවසක ඉඳන් අපි හැමෝම බලං උන්න ඒ මොහොතට ඔයත් ලෑස්ති උනා...

දොයි මත නැති උනේ නම් බාප්පගෙන් උදෙන්ම තෑඟි ලැබුන ලස්සන වලස් පැංචෙක් මහපු පොත් මල්ල හදයි...

බුදුන් වැඳලා, ගාතා කියල,.... ඔන්න සුභ වෙලාව ඇවිත්!

බයන්න.. අම්ම කියනවා

බ යන්න........තාලෙකට ඇදල පුතත් කීවා

පයන්න.. අම්ම කියනවා

ප යන්න....... කලින් තාලෙටම පුතත් කීවා

පහා...අම්ම කියනවා

ප හා..... අලුත් තාලෙකට පුතා කීවා

B.තාත්තා කියනවා

B.......පුතා සද්දෙට කීවා

P තාත්තා කියනවා

P.......තාලෙට පුතා කිවුවා


ආච්චි අම්මගෙයි, අම්මගෙයි,  තාත්තගෙයි පුංචිල තුන්දෙනාගෙයි ඇස් අගිස්සෙ සතුටු කඳුලු බිංදුවක් ඉපදෙද්දි ඔයා අපි හැමෝටම බුලත් අතක් දීලා දණගහල වැන්දා.....

අපි හැමෝගෙන හිතේ එකමෙක පැතුමක්!

'පුතේ, හොඳට ඉගනගෙන හොඳ පිරිමියෙක් වෙන්න!'

අද ඔයාව පෙරපාසලට ඇතුලත් කරාවි...
එන නොවැම්බරයෙදී ඔයාට අවුරුදු තුනක් පිරෙද්දි....,
ලබන අවුරුද්දෙ ඉදං ඔයා ඉස්කෝලෙ යාවි.....

අනේ....

ඒක මහ පුදුමාකාර හැඟීමක්....

ඉපදුන දවස්වල... වඩාගන්නත් බය හිතුන, පුංචි ආදර පොදිය...!

අද ඔයා ලොකුයි... හරිම දඟ, හුරතල්, අපේ චූටි පුතා.....

දවසක ඉලංදාරියෙක් වේවි ඔයා.....

මේ උගුර ගාව හිරඋන නොතේරෙන මොකක්දෝ හැඟීම කඳුලකින් පිටවෙන්න හදනව.....

සතුට, දුක, ආදරය, ලෝබකම.... සේරම එකතුඋන අමුතු හැඟීමක් ඒක......

නෙල්ලි වගේ.....

ජීවිතෙත් ඒ වගේ, රස ගොඩක එකතුවක්...

හරි ක්‍රමේට රස බැලුවොත් රසයි.... වරද්දා ගත්තොත් නීරසයි

ඔයාට ජීවිතේ රස විඳින්න ලැබේවි...

අපි ඔයාට හුගඟාක් ආදරෙයි...

2012. 09. 27

Tuesday, September 25, 2012

පරිපූර්ණ



ඇය....,

මල්වර වියයුතුයැ 
සුභ දිනෙක,
බිඳ එක පහරින් නෙරලු ඵල දෙබෑවට....

තවද,

නේක ඇස් වල සරින් 
එලැඹ තුරුණට
සරණ යන දා සුභ මොහොතක
යළිඳු බිඳෙනා නෙරලු ඵලයකද,

අනතුරුව,

සුන්දරැයි කියනා අඳුරෙක
පාලු මකනා ස්වේත පිරුවටයක
රක්ත සිත්තම 
අත්‍යාවශ්‍යමය....

ඉන්මතුව,
ගැබ්බරව


අවසන,

විද නේක පීඩා
කුසින් හොත් 
දරුවා පුරුෂ ලිංගික විය යුතුමය.....

ලියා පොතක්, 
සිටුවා ගසක්
අර්ධ පුර්ණවු
සිය සැමියා
පරිපුර්ණ පිරිමියෙකු කර, 

ඇය පරිපූර්ණ ගැහැණියක වීමටනම්....

Tuesday, September 18, 2012

වෙනස


කුහුඹුවෙක්!
ඔසවාන අමෲතයෙන්
එකමෙක කැටයක්
බොහොම දුක්බර
මුහුණකුත් හදාගෙන
හරි බයෙන්
හරි-හරියට දුවන,

මිනිසෙක්!
හදාගෙන දුම් දමන 
ප්ලේන්ටියක්
සීනි බෝතලෙත් ඇරගෙන
කේන්තිත් අරගෙන
කුහුඹුවන් ගැන
"මේ මොන කරුමයක්දැ" යි
තමුන් සමඟමැ දොඩන,

ඒ අස්සෙ 
නිනවුවක් නැතිව
ගෙයින් පිට, හෝ ගාල 
වැස්ස!


Wednesday, September 12, 2012

අත්තම්මලා පවු අනේ! පැය ගනන් පෝලිමේ !!





බුදු හාමුදුරුවනේ.....,

පාන්දර ඉදන්
අමතක කරන් නෙක ගැහැට,
හිතේ ඉපදුන බුදු බැතිය
කුසුමක් කර පුදන්නට....,
පෝලිමේ බලා ඉන්නා
අත්තම්මලා පසුකර,

ඉහල බැතිමතුන්
අපූරුවට
කපිලවස්තු ධාතූන් වහන්සේලා
වැඳපුදා විශේශ විදියකට
අනේ පවු! අර මිනිස්සුයි
සෝක සමච්චලයක් හෙලා,
ඉගිලැගොස්.....,

පම්පෝරි  සාඛඡ්චා
අනේ වසනාවන්!
අපිට පැය කාලයි
අත්තම්මලා පවු අනේ! පැයගනන් පෝලිමේ
ඔහොම වැදලා මොකට,
උන්ගෙ ශ්‍රද්ධාව බාලකොට,
TV එකෙන් කලානම් පහසුයි නෙ වන්දනා
මල සමයං!

උන්දැලා කියනකොට
ඒවා ඇහෙනකොට
හිත රිදෙන්නේ
මගේ නපුරු කරුමෙටද?

Friday, September 7, 2012

තාත්තේ, ඒක හරි ලොකු කාලයක්!



ඒ කාලෙ හරිම ලස්සනයි! 

මං අද හිතනවා. 

ඒත්, 
එදා ඒ ලස්සන මට දැනුනෙ අඩුවෙන්. මම ඒ ලස්සන කාලය ඇතුලෙ ජීවත් උනා, ඒ ජීවිතේ වින්දා...
 ඒත් එදා මේ තරම් නොදැනුනට අද මට මතක් වෙද්දි හරිම අසරණ කමක් හිතට දැනෙන්නෙ. ඒ, ගෙවුනු වසර ගානම ඇතුලත ආයෙ කවදාවත්ම නේන ලස්සනම කාලෙ ඒ අවුරුදු ගාන හන්දයි.

ආයෙත් ඒ දවස් නේන්නෙ තාත්තේ, ඔයා තවත් එන්නෙ නැති හංදයි.


හීන... 

අපි එකතුවෙලා දැකපු හීන වලින් එ,ක දෙක අද හැබෑ වෙනව. ඒත්, ඒ ඔයා ළඟ නැතුවම. 

අද තාත්තත් උන්නනම්...... 

ඔයා තමා ඒ හැබෑ උන හීනවල සතුට වැඩියෙන්ම විඳින්නෙ... 

ඒත් අද ඔයා නෑ.... 

බිඳිල ගිය හීන ළඟදි හයියක් වෙන්නවත්, හැබෑ උන හීනවල සතුට බෙදාගන්නවත්......

අවුරුදු දහයක්!
ඒක හරි ලොකු කාලයක්! 

කියාගන්න මොනාදෝ ගොඩක් නලියන හිතක් එක්ක මුකුත්ම කියාගන්න නොතේරෙන හැඟීමක්,  උඟුර ගාවම ඟුලි ගැහුන දුකක්,  ඒත් එක කඳුලක්වත් හලන්න බැරිව වේලුන ඇස් දෙකක් මාව හරියට රිද්දනවා. 


තාත්තේ, ඒක හරි ලොකු කාලයක්! 

මතකයන් ඉහිරිච්ච මාවතේ
හෙන්දිරික්කා මලින් කවි ගෙතේ
 දුර ගමන නිම් නොදත් ජීවිතේ
ඔබ කිවු කවි වලින් සැරසෙතේ....


වැහි සමේ උණුහුමක් දවටලා
හදවතේ මතකයන් තවරලා
පිණි කඳුලු නොසලන්න යැයි කියා
ඔබ ගිහින් දුර ඈත සැඟවිලා....

තරු අහසේ සිත්තමක නැවතිලා
මදහාස ඔය මුවග තවරලා
ආදරේ පවන් රැල් සල සලා
අපි දිහා බලන්නේ තාත්තා....

 (2012.09.10)

Thursday, August 23, 2012

'පුනරුක්ති'



මම ඔබට 'අනෝමා ජනාධරී' කියා සම්පූර්ණ නමින් ඇමතුවේ දුන්හිඳ අද්දර බැලූ සමයේය. කාලෙ අපි බොහොම පුංචි දරුවො. (මම විශ්වාෂ කරනව අද මම යම් දුරකට වැඩිහිටිකම දකිනව කියල. අද මට වයස අවුරුදු 27ක්!) අතරින් පතරෙ ඔබ ගැන කතා උනේ ගෙදර අය එක්ක. ඒත් මම ඔබව ආමන්ත්රණය කලේ විදියටමයි. පුනරුක්ති ඔබේ කතාව කියවල තවත් මට ඔබට නමින් ආමන්ත්රණය කිරීමේ අපහසුවක් දැනෙනව

ඔබට මතකද දන්නෙ නෑ. පසුගිය වසරේ ඔක්තෝම්බරයේ එක සෙනසුරාදාවක දවල්  බත්තරමුල්ල ආර්පිකෝ සුපිරි වෙළඳසලේදි ඔබ ඔබේ ස්වයං චරිතාපදානය  සමඟ මට මුනගැහුනා.


මං අම්මාත් එක්ක   වෙළඳසලට ඇතුල්වෙද්දිම ඔබව දුටුව, හැඳිනුව. ඔබ කුඩා පිරිමි දරුවෙකුට යමක් කියමින් උන්නා. ඔබේ අතේ යමක් තුබූ බවත් මතක ඡායාවක් තියෙනව, ඒත් මගෙ ඇස් නතර උනේ ඔබේ නාසයට දමාගෙන තිබ්බ සුදු පාට මුද්දෙ. තරප්පුපේලිය නඟින ගමන් මං කල්පනා කලේ මුද්ද ගැන. "හපොයි! නාස් ලනුවක් දාලවගෙයි, මට මුලින්ම හිතුනා...ඒක ඔයාට ගැලපෙනවද කියලත් හිතීගෙන එද්දි මතක් උනා ඉංදියානු කාන්තාවො ඒවා පළඳින බව. ඒවා ලොකුයි. කැතක් නෑ. ඔව අස්සෙ තරප්පුව ඉවරවෙද්දි ඔබ මගේ මතකයෙන් මැකිලත් ඉවරයි

මට මතකයි 'තනි තටුවෙන් පියාඹන්න' චිත්රපටිය නිකුත්වෙද්දි මං පාසල් යනව. මට මතක ප්රචාරක කටයුතු වලට යොදාගත්ත ඉස්ටිකරයක් බස් වල අලවල තිබිල මං දැක්ක කියල විතරයි. මං චිත්රපටිය බලන්නෙ 2011 පසුගිය අවුරුද්දෙ.   අන්තර්ජාලය හරහා සීමාකිරීම්, කපා දැමීම් වලට ලක් උන චිත්රපටිය. ඒකෙ ඔබ නිරුවතින් රඟපෑම මට කොහෙත්ම විවාදාත්මක නෑ.  ඔබ එහි නිරුවතින් රඟපෑම බුද්ධිමත් කියාගන්න මනුසත්තු හරහා තරම් විවේචනයට ලක්වෙන්න හේතුව මම දන්නෑ. හුදෙක් ඔබගේ හෝ වෙනත් කාගේ හෝ නිරුවත මට වැදගත් නෑ ඒක මම විහිං ප්රශ්නයක් කරගන්නකල්. නිරුවත හෝ තනිතටුවෙන් පියාඹන්න චිත්රපටිය හරහා ඔබ මටනම් බලපෑමක් ඇති නොකලතරම්. මා ඔබව දකින්නේ දුන්හිඳ අද්දර හරහායි.

පඩිපෙල මුදුනෙදි මතකෙන් පැනල ගිය ඔබ මෙන්න කවුන්ටරේ ළඟඳි මට පිටුපසින් මා ළඟ. ඔබ දන්නවද සිදුවීම  විස්තර කරද්දි මගේ දෙවන අක්ක ඇහුව එයා දුප්පත් වෙලාද කියල. ඇත්තටම පොත මගේ අතට පත්උන මොහොතේ මමත් හිතුව ඇයි පොතක්, ස්වයං චරිතාපදානයක් සුපිරි වෙළඳසලක අලුත් බිස්කට් එකක් නැත්නම් කෝපි කුඩු එකක් හඳුන්වා දීමේ ක්රමවේදය අනුගමනය කරන්න හිතුවෙ කියල. නමුත් ඇත්තමයි පොත් පිළිබඳව නොනිත් දොළකින් පෙලෙන මට ඔබ දැසට පෙන්වූ සුවඳ හමන කිරි කිරි පොත දැකල ඇවිස්සුනා.   වගේම ඔබට ස්තූති කලේත්, සුභ පැතුවේත් හදවතින්මයි. ඔබ පිලිගත්තත්, නොගත්තත් ඇත්තටමයි.

තනිතටුවෙන් පියාඹන්න රූප රාමු හරහ මම දුටු මවකගේ සිනිඳු මුව මතඇදුන මුදු දයාව මම ඔබේ මුහුනින්ද දුටු බව කියන්නටත් ඕනෙ.

පෙරවදන කියවීමේදි ඔබ අනුගමනය කරපු ප්රචාරන ක්රමයේ සාධාරනත්වයක් මම දැක්ක. මොකද, ඔබ කියනව පීඩනයට ලක්වුන හදවතකි න්පීඩනයට ලක්කල අයට යතාර්තය පෙන්වීමයි ඔබේ උත්සාහය

'පුනරුක්ති' ඔබේ කතාව,

කියවද්දි මම පුදුම උනා, සසල උනා.... මට හිතුන මම ඔබත් සමඟ ඔබේ සරසවි සගයෙක්ව උන්නානම්, මම හිතයි 'මෙයා පැනල දෙන කෙනෙක්' කියල. නමුත්, ඕනෑම චරිතයක අභය්යන්තරය ගැන නොදැන මනුස්සයෙක් ගැන තීරණයක් ගත්තාම ඒකෙන් පුද්ගලයට වෙන අසාධාරණය මට තේරුම්ගන්න පුලුවං උනා ඔබගේ කතාව හරහා.

අතීතය මතින් ගොඩනැගාගත් ඔබ ගැන මම කියෙවුව. එක හුස්මට. ඔබ බුද්ධිමත්, උගත්, ධෛරය සම්පන්න ගැහැනියක්. ඔබේ කතාවේ සමහරතැන් මම මගේ පෙම්වතා සමගත් බෙදාගත්තා. ජීවිතය පුදුමාකාර යැයි කියල හිතන්න මම අකැමතී. ජීවිතේ පුදුම නම් අද ඔබ ඉන්නෙ ඔතන නෙවේ. ජීවිතයේ එකම මෙහෙයවන්නා තමන්ම බව අඳුරගත්ත නිසයි අද ගැහැණියෙක් විදියට ඔබ ඔලුව උස්සන් ඉන්නෙ

ඔබේ ලිවීමේ ශෛලිය සුන්දරයි. මම කොහේවත් නොදැක්ක ශෛලියක්

කෝ උපුල්? කතාවේ අවසානය පුරාම මම ඔහුව හෙවුව. ඔබේ තිදරුවන්ගේ පියා කහවත්ත උනත්, නූනත් උපුල් නොවන බව මට විශ්වාශයි. මට හිතුන ඔබට එතැනදී වැරදුනාද කියලත්

වැඩිහිටියන් යැයි අප කියාගන්නා සමහර ඊනියා දුර්වලයින් පුදුමාකාරය. ඔබේ කතාව හුස්මකින් කියවා නිදන්නට ගිය මට ඔබේ කතාවේ තැන් නිදන්නට දුන්නේ නැත. නින්දත්, නොනින්දත් අතරේ හිඳිමින්, හීනත් හැබෑවත් අතර කතාව මනසේ සක්මන් කරද්දී අපූරු අවස්ථා සම්බන්දයක් මොළයට මතක් විය.
___________________________________________________________
ගෲෂා පාළමෙන් එගොඩ උනා..... 

ස්ත්රිය: (නැගීසිට කෝපයෙන්) මං උන්නෙම වැටෙයි කියල අපරාදෙ මං යාඥා කලේ!
------------------------------------------------------------------------------------------------------------
"මගේ අතිං පුංචි වරදක් සිද්ධ උනා"

"මොකද කනය්යාභාවයවත් නැතිකරගත්තද ඊයෙ රෑ කාටහරි කියල"

"පුංචිගෙ සාරිය"

"ඉතින්"

"මගෙ සපත් තුදෙකට පෑගුනා මං නටනකොට"

"හානේ කෝ බලන්ට"

පුංචි ඇඞුම්බරව කාමරයට ඇදුනා
___________________________________________________________
ඔබ අද ඉන්නා තත්වය අතීතය මත ගොඩනැඟුනක්. අතීතය එක්ක තරහට ඔබ ජීවිතය නැඟිටුවාගන්නට දැරූ උත්සාහයේ අග් ඵලයක්. නමුත් නොහැඟෙන කුමක් හෝ අඩුවක් අවසානයේ ඉතිරියි කියල හිතුන.හදවතේ කොහේ හරි නොලියඋන හෝ කියන්නට අකමැති කොටසකුත් තියනවා වන්නටත් පුලුවං. සමහරවිට මේ තරම් දේ කී පසුත් ජීවිතයේ හැරවුම් ලක්ශ්යය දිගහැර අවසානයේ කියන්නට ඇතිදේ නොවැදගත් යැයි ඔබ සිතුවා වන්නටත් පුලුවන්.

කෙසේ වතුදු මම ඔබ දැරූ උත්සහය වින්දෙමි. මතින් දකිනා සියල්ල එසේම නොවන වගත්, අභයන්තරයේ නොපෙනෙන සතය්යක් ඇති බවත් හැඳිනුවෙමි.

මම විචාර කිරීමට නොදන්නා නිසාත්, විචාරයක් කිරීමට බලාපොරොත්තුවකුදු නැති නිසාත් මෙතෙකින් නවතිමි. මේ අදහස් මට දැනුන දේය. මේ අකුරු දැනුන දේ ඔබට කීවා පමනි.

අනාගතය ලියෙවෙන්නේද අප හදවත් මතින්ම බැවින් හෙට දවස ලස්සන කරගැනීමට ඔබටමම හදවතින් සුභපතමි. ඔබට මා මතකයේ ඇත්දැයි මම  මම දන්නේ නැත. කලාව තුල ඔබ දුර ගමනක් යතැයි බලාපොරොත්තු වෙමි.