Friday, November 23, 2012

මල් වත්තක්......


ගිය මාසේ තිබ්බ ගුරු-දෙගුරු රැස්වීමකදි තමයි දැන්වුවෙ අවුරුද්දෙ අන්තිමට තියන විවිදප්‍රසංගය ගැන. අපේ පොඩි හපනත් අංග දෙකකටම ඉන්න බව කියල තිබුනා. එදා ඉඳන්මයි අපි ඒක බලන්න යන්න සූදානම් උනේ. අපේ පැංචත් 'හඳ හාමී.... හඳහාමී...' ගගා මොකද්දෝ නැටුමක් නිතර නට-නට උන්නා. 

කොහොමහරි නොවැම්බර් 20 වෙනිද ඒ දවස උදා උනා. හැන්දෑවෙ 4.30 වෙද්දි මහරගම යොවුන් රඟහලට අපි ගියා. එක එක වෛවාරන ඇඳුම් වලින් පාට වෙච්චි දඟකාර චූටි පුතාල දූල රෑනක්. දැක්කම අපිට හිනහත් එක්ක. 

පොඩි අයව ගුරුවරුන්ට භාරදීල අපි වාඩි උනා. ඈතින් බෙර හඬක් ඇහෙන්න ගත්ත.

මල් පොකුරකින් පිලිගැනීමක්......

මල් පොකුරක් කීවෙ ප්ලාස්ටික් මල් නෙවේ.... අවුරුදු 04 ක් වෙන, පුංචි කෙළි පැටවු රෑනක්! හරිම ලස්සනට, එයාලගෙ ගුරුතුමී තාලම්පට වයනගමන් පෙන්නපු මග දිගේ විජේරත්න වරකාගොඩ මහත්මයාව ශාලාවට එක්කගෙන ආව. බලන්න හරිම ලසසනයි.... ඒ පුංචි දරුවො තාම පිපෙන්න පටන්ගත්ත විතරයි.....

ඊට පස්සෙ අවුරුදු 03ක චූටි දූල දෙනනෙක්..... බටු ගෙඩි දෙකක් වගේ... හ විශාල වේදිකාව ඉස්සරහ එකිනෙකා දිහ බලන ගමන් හිනාව විටින්, විටේට චූටි මුවින් පනිද්දි පිලිගැනීමේ කතාවත් කලා. 

"Dear Chairman Sir, Principle Madam, Teachers, Mothers & Fathers..... "

පුංචි දරුවෙක් සභාවක් ඉස්සරහ හඬ නගල කතා කරනව දැකල ඇතිනෙ? ඒ කටහඬින් පවා වෑහුනේ හුරතලය....

මල් වත්තක්......

ප්‍රසංගය ඇරඹුනා... අවුරුදු 04 දියණියො පූජා නැටුමකුත් නටන්න අමතක කලේ නෑ..... මල් වට්ටිය අමතක වෙලා, නැටුම අස්සෙ දුවල ගිහින් ඒකත් අරගෙන ආව එක්කෙනෙක්.... ආසාවෙ බෑ...

'සුන්දරයි උදේ ලස්සන මල් පිපී තියේ...'

 අවුරුදු තුනේ දූල පුතාල නැටුමක් පටන්ගත්ත... අනේ... හිතට දැනුන හැඟීම ඇස් තෙත් කරගෙන..... ඇස්වලින් එලියට පැන්නා.... චූටි හා පැටියෙකුට ඇඳල උන්න එක චූටි පුතෙක් මගෙ හිතනම් හොරාගත්තා..... ඇත්තම හා පැංචෙක් වගේ....

ඊළඟට තිබ්බෙ අපේ පුතාලගෙ අංගයක්..... එයාලට තිරය අරින්න වෙලාගියේ කාර්මික දෝශයක් නිසා නෙවේ තාම චුටි දඟ පැටවු.... හසුරවගන්න අමාරුයි....

 ඔන්න තිරය ඇරුනා :D 


ඔය ඉන්නෙ කිටියො ටිකක් වගේ දරුවො ටිකක්. එක්කෙනෙක් වේදිකාව වටේ පියඹනව අහස් යාත්‍රාවක් වගේ. දෙන්නෙක් හැප්පිල වැටෙනව. තවකෙනෙක්ට වේදිකාවෙ එල්ලල තියන සමනලලු දිහා බලා ඉන්න තියනව.


 හිටි හැටියෙම නැටුමත් මතක් වෙනව...

 පුංචි බෝල ගෙඩි ටිකක් වගේ එහාට මෙහාට එයාල පෙරලෙනව. ඇත්ත.... කියාදීපු දේම නෙවේ එයාල කලේ. ඒ අව්‍යාජකමම ලස්සන නැටුමක් තමයි.....



අකරතැබ්බ....

පූජා නැටුමෙදි එක දුවෙක්ගෙ මල් වට්ටිය අමතක වෙලා නැටුම අස්සෙ දුවල ගිහින් මල් වට්ටිය ගන්න උනා මදිවට මේ පොඩ්ඩන්ට හරි හරි අකරතැබ්බවලට තමයි මූනදෙන්න උනේ. මේ වගේ වෙලාවට බලා ඉන්න අපි මේ තරම් හිනාවෙනනෙ මොන හේතුවකටද කියල එයල හිතනව ඇති. 'සුවඳ සබන් ඇඟ ගාලා හායිහායි' නැටුම නටද්දි එක පුතෙකට හරි ජංජාලයක් තමා උනේ. බෙල්ලෙ බැඳල තිබ්බ පටියෙ ගැටේටත් ලෙහෙන්න හිතුනෙ නැටුම අස්සෙමනෙ. දැන් කොහොමද නටන්නෙ?. පුංචි පුතා පටියත් අහුලගෙන වේදිකාව එහා පැත්තෙ උන්න ටීචර් ගාවට දිවුවා. තව පුතෙක් හේතුවක්  නැතිවම එයා පස්සෙ දිවුවා. ආපහු තප්පරෙන් මුකුත් නූන ගානට අත් අල්ලන් ඇවිත් දෙන්න නැටුමට එකතු උනා. !

හොඳම වැඩේ උනේ චූටිත්තන් දුවෙකුට... එයාලගෙ නැටුම ඉවර වෙද්දි එයා වේදිකාව කොනටම ඇවිත් ..... ඕව මතක් වෙනවද නැටුමක් නටද්දි... නැටුම ඉවර උනාම තිරය වැහුනා... ෂා....හැමෝම අප්පුඩි ගහනව... සතුට වැඩිකමට එයත් අප්පුඩි ගහන ගමන් යාලුවො දිහා බලද්දියි වැඩේ බරපතලකම දැනුනෙ. කො යාලුවො... ඒ මදිවට තිරෙත් අන්තිම පොඩ්ඩත් වැහෙනව.... අපොයි ඔන්න චූටි දූ අඬන්න ගත්ත. පල්ලෙහා උන්නු Teacher කෙනෙක් හනිකට වඩාගත්තම තමා ඇඬිල්ල නැවතුනේ.....


තුති මල් මිටක්!

හිතන්න, පුංචි දරුවෙක් ඉන්න ගෙදරක ඒ එක දරුවෙක් දෙනනෙක් හෝ කලාතුරකින් පස්දෙනෙක් හංද ඔබ විඳින වෙහෙස! මේ විවිධ දරුවො 150ක් දරුවො 15කට ගුරුවරු 3ක්. මේ වගේ භාරදූර වැඩක් කරද්දි ඒ ගුරුවරුන් කොයිතරම් වෙහෙසක්  දරන්න ඇත්ද.

 එක විදියකට ඉන්නෙ නැති නලියන ළමයි රෑනකට ආදරෙන් නැටුමක් පුරුදුකරන එක!

 හිතනකොටත් මහන්සී නේද?. ඉතින් ඒ මහන්සියෙ ප්‍රතිපල ඒ විදියට වේදිකාවෙ දිග හැරෙද්දි ඒ ගුරුවරු කොයිතරම් සතුටු වෙන්න ඇතිද? ආඩම්බර වෙනන ඇතිද? දරුවෙකුගෙ දෙමවුපියො ඇවිත් සතුට ප්‍රකාශ කලාම ඒ දෙය තමයි ගුරුවරයෙකුට ලැබෙන හොඳම තෑග්ග!

(ලැජ්ජාසහගත) වැඩිහිටියෝ

සමහර වැඩිහිටියන් පාලනය කාටත් වඩා අමාරුයි. වැඩිහිටියෙකු තුල තියෙන්න ඕන ස්වයංපාලනයක්. ඒක සමහරු ළඟ නැතිතරම්.

 ඔක්කොටම වඩා එකින් එක අංග නිමැවෙද්දි ඊට සමාන්තරව එකින් එක ආසන හිස් උන එක!
 කණගටුවට කාරණයක්.

 මොනව හිතෙන්න ඇද්ද මහන්සිඋන ගුරුවරුන්ට? යමක් තේරෙන දරුවන්ට?

 තමන්ගෙ දරුවගෙ අංගය ඉවර උන හැටියෙ නැඟිටල ගිය දේමාපියන් හිතුවනම්..... කවුරුහරි තමන්ගෙ දරුවගෙ අංගය අතරෙ නැඟිටල ගියානම් තමන්ට දැනෙන හැඟීම ගැන?

 අපහසුතා? ඔවු තියෙන්න පුලුවනි.....

 තමන්ගෙ දවස් 24ක් වයස බිළිඳා එක්ක ආව අම්මගෙයි තාත්තගෙයි වැඩිමල් දියණියගෙ අංග දෙකම රඟදැක්විල ඉවර උනේ හැන්දෑවෙ 7.00වෙද්දිමයි. ඒත් ඒ දූවත් ළඟතියාගෙන 8.00ට ප්‍රසංගය නිමවෙනකල් ම රැඳිල උන්නා. වයසක ආචචි අම්මල පවා අවසානය දක්වා උන්නා. ඒත් බාලාංශ පංතිවලටම උගන්නන තවත් ගුරුවරියක් කීවා

 " අපිනම් කොල්ලගෙ Item දෙක ඉවරඋන හැටියෙ යනව නංගී" ! කියල.

 අඩු ගානෙ අදාල ගුරුතුමීට ස්තුති කරලවත් ගියානම්..... 

පිපෙන්නට වෙරදරන......

ඒක හරි ලස්සන අත් දැකීමක්. පුංචි දරුවන්ගෙ දක්ෂකම, අව්‍යාජකම හුරතලය.... සේරම කැටි උන ලස්සනම ලස්සන හෝරා දෙකක්.....

 මතකනෙ, මේ අත්දැකීම් බහුල පරිණත අය නෙවේ.

 තාමත් පිපෙන්න වෙරදරන පුංචි මල පොහොට්ටු. ජීවිතේ අයනු කියෙව්ව විතරයි. 

දවසක මේ දරුවො අතරින් බිහිවෙයි හොඳ කලාකරුවෙක්, දක්ෂ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, අව්‍යාජ දේශපාලකයෙක්, හොද සමාජ සේවකයෙක්.... ඔක්කොටම වඩා රටට වැඩක් ඇති හොඳ මිනිසෙක්. 

මේ ආරම්භය හරිම ලස්සනයි. අද නොතේරෙන භාදක හෙට තේරෙයි. ලබන අවුරුද්දෙ විවිදප්‍රසංගයෙදි මීට වඩා තේරුම් ඇතිව රඟයි. තව අලුත් දරුවොත් එකතුවෙයි.

 අඩිතාලම ශක්තිමත්නම්.... ඒ මත නැගෙන ගොඩනැගිල්ලත් ස්ථාවරයි. අපි කලයුත්තේ ඒ අඩිතාලම හොඳම විදියට සාදා දීමයි. 

No comments:

Post a Comment