මනුස්ස කණ්ඩායම් අස්සෙ රණ්ඩු ඇතිවෙන එක සාමාන්‍යයි. ඒවට පිදුරු දාන්න යන්නෙ කොහේවත් ඉන්න අය වෙන එකයි දුක. සමහර විට, ප්‍රතිරූපය කියන එක අභ්‍යන්තරෙන්ම ඇති වෙන්නෙම නැති අවාසනාවන්ත සමහරු ප්‍රතිරූපයක් භාහිරින් හදාගන්න කියල කරන දේවල් වෙන්න ඕනෙ ඔය. ඒකෙන් එයාලගෙ ප්‍රතිරූපෙ කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙ රූපෙ නම් ගන්නම දෙයක් නැති තත්වෙට වැටෙන එකයි දුක.
ලැජ්ජයි!
අපි කාටත් ලංකාවෙ ඉන්න හැම ආගමකම යාලුවෙක් ජීවිතේ කොහේදි හරි මුන ගැහිල නැත්තං ඒක ඇත්තටම පුදුම වෙන්න ඕන කාරණාවක්. හිතට දැනෙන්නෙ හරි වරදකාරී හැඟීමක්. ෆරීහා මට 2002 - 2004 නුගේගොඩ රොටරියෙ ශ්‍රීනාත් සර් ගෙ Chemistry Class එකේදි අහම්බෙන් මිතුරු උන යාලුවෙක්. ඈට මම ඊයෙ කතාකලා. අනේ බලන්ඩකො. ලැජ්ජාවෙ බෑ. ඈ කිවුවා.
මටත් ලැජ්ජයි!
පිදුරු ගොඩ හොඳටම වේලලා වේලලා සැරින් සැරේ ඒකට සිගරට් කොට, නිලා කූරු, විසි කරල එන දුම දිහා බලා ඉදල ප්‍රතිරූපෙ up කරගෙන සතටු උන කට්ටිය දැන් සමහරවිට වතුර බාල්දි උස්සාගෙන කිඹුල් කඳුලු හල හල අඩනවා ත් ඇති. ආයෙත් ඒ පිදුරුගොඩ තව හොදට වේලලා ඇවිලියන් කියල ගිනිකූරක්ම ගහන්නත් බලාගෙනම.
ගෞරවය, අභිමානය රැදෙන්නේ හෝ ලැබෙන්න්නේ අපි අනිකාගේ අනන්‍යතාවයට ගරුකරන කල් විතරයි. ඒක නැති උන තැන ඉඳගෙන අපිට බෑ අනෙකාගෙන් ඒ දේ ආපිට බලාපොරොත්තු වෙන්න. ඉරිඟු වපුරල හාල් බලාපොරොත්තු වෙන්න එපා කිවයනවනෙ.
දැන් ඉතිං 'ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා' කියල ප්‍රශ්නෙ වහන්න අමාරුයි. එහෙම කාලයක් තිබ්බ. ආයෙ සමහරවිට එන එකක් නෑ. මම දැක්කා පුද්ගලික Bus එකක මට ඉස්සරහ ඉඳගෙන උන්නු මුස්ලිම් කෙනෙක් පොඩි ළමයිගෙ පාඩම් වලට ඕන කරන රට රට වල ජාතික කොඩි තියන රූප කොලයක වෙන මොකද්දෝ කොඩියක් ඉඹිනව. දවසක් එක්තරා බැංකවක ඉන්න Security ල සේරම Counter එක ගාව බුර්කාවක් ඇඳන් ආපු කෙනෙක් ගාව. ඒ අස්සෙ ඥානසාර හාමුදුරුවො වගේ අය ඉස්සර උන්නු අනගාරික ධර්මපාල තුමාගෙ චරිතෙ අනුකරණය කරන්න වගේ ගිහින් ඇදගෙන නානවා. කාලෙ වෙනස්ම පැත්තකට රට ගෙනියනවා. මේ ඔක්කොම අස්සෙ ජනාදිපතිතුමා බොලිවියාවෙදි සාමය ගැන සම්මාන ගන්න අතරෙ ඕස්ට්‍රේලියානු රජය ලංකාවට එනවනම් පරිස්සමින් කියල අනතුරු අඟෝනව. විහිලුයි වගේ නේද?
මම ඇහුව එක video එකක සිංහල කෙනෙක් කියනව "අපිටත් මුකුත් කරගන්න බැරි උනා. අපි උදවු කරනන යද්දි අපිටත් ගැහුව" කියල. මුස්ලිම් කෙනෙක් කිවුවා "එතන එක මුසලුමානුවෙක් වත්, එක බෞද්ධයෙක් වත් හිටියෙ නෑ" කියල. ඇත්ත ඒකයි. බාහිරින් ඇවිත් දේශපාලනේ සාමාන්‍ය ජීවිත අස්සෙ රඟපාන එක නවත්තනකල්, ආයෙ යුද්දෙකට රට ඇදෙන එක නවත්තන්න බැරිවෙයි. රජය මේ කෙලින් තීරණයක් ගන්න ඕන වෙලාවක්. නැත්තන් ඊළඟ ට අපිට අවුරුදු 30මදි වෙයි රට බේරගන්න.
83 කලබල කාලේ මං ඉපදිලා නොතිබ්බ එක ගැන මම සතුටුයි. ඊට අවුරුදු දෙහෙකට පස්සෙ ඉපදිලා ගෙවුන අවුරුදු විසිනමයට 83 හෙවනැලි පවා හිතට ගෙනාවෙ හරි අපුලක්. සමහරවිට LTTE ත්‍රස්තවාදීන් ගැන යුද්දෙ අන්තිම කාලෙදි හැම පැත්තෙන්ම ලැබුන මොරාල් එක හංදා, යුද්දයක් නැතිව එක්තරා කණ්ඩායමකට නින්ද යන්නෑ නෑ වගේ දැනෙව වගෙයි පේන්නෙ.