Tuesday, November 8, 2011

සුදු පාට!





අහස නිල්පාටයි.... කාලෙකට පස්සෙ. !

අම්මා මිදුල පුරා දුවන පුංචි පුතාට පොඩියක් වැටෙන්න, මඩ නාන්න වෙලාවක් දීල කාලෙකින් පස්සෙ වැටුන අවුරැල්ලට ආදරෙන් මිදුලෙ වාඩිවෙලා උන්නා.පල්ලෙහා පාර දිහාව කර උස්සල අම්ම බලන්නෙ කා දිහාද? මමත් යංතම් ඉස්සුනා.

 හා තිසරු නංගි!

 ඈ දැන් ලොකුයි, උසස් පෙළත් කරල. ඈ උසයි. ලස්සන ගෑණු දරුවෙක් දැන්!

 ඈ යන දිහාව බලා ඉද්දි මූනෙ යම්තමින් ඇඳිච්ච මදහාසෙ හෙමීට  එකමෙක හීල්ලිල්ලක් එක්කම මැකිල ගියා. අම්මා දිහාව බැලුනෙ අවිඥානිකවම වගේ. මට වඩා ඟැඹුරු, දිග හුස්මක් ඒ පපුවෙන්, ඔන්න එලියට පැන්නා!. ඒ හුස්මත් පනිද්දිම වගේ මිදුලෙ නටන්න ආව ලේනගෙ සද්දෙට ගැස්සිච්ච පුතා එයාගෙ ආච්චි අම්මගෙ ඔඩොක්කුවට පැනල අම්මාගෙ දැහැන බින්ද. 

"ආච්චි අම්මේ ඒ මොකෙද්ද?"

ඌ ලේනා බව දැන් පැංච අඳුරනව. ඒත් ඒ පොඩි එකාගෙ හැටි. දැන දැන තවත් අහනව.

දරුවගෙ  ඔලුව අත ගාන ගමන්ම අම්ම එයාට උත්තර බැන්ද

"ඒ පුතේ ලේනෙක් නෙ"

මං ඔය දිහෑ බලං උන්න තමා. ඒත් හිත නම් දුරක යන්නයි හදන්නෙ. 

හෝ! හිතකට දුර ගමනක් යන්ඩ කියාපු කම්මැලි අහස් නිලෙන් ඔද වැඩිල මගේ හිත ඒ ඉස්සර කාලෙ දිහාට හෙමිහිටම සක්මන් කර කර උන්නෙ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"අම්මා....."

හා! අන්න තිසරු නංගි. එයාගෙ ලස්සන රතුපාට රැලි ගවුමත් ඇඳන් අපේ කඩුල්ල ළඟ. කඳුලු පිරිල බෝල ඇස් දිලිහෙනව. එයා තාම කඩුල්ලෙ යටම උණබම්බුව පැන ගන්ඩ තරම් වත් උස නෑ.

 "අම්මා..." 
"අක්කලෑ ගෙදර අක්කේ...."

එයා අඞ අඞම අපිට කතාකරනව. 

ඔවූ ඒ කාලෙ එයා අපෙ අම්මට 'අම්ම' කීව.

චීස්, මස් බිත්තර එපා කියල අපේ අම්ම උයන එලෝලුවක් එක්ක සූස් සූස් ගගා රෝස පාට ප්ලාස්ටික් දීසයට දාගෙන බත් කෑව.

දවසම නටල නටල යංතමට සිනිදු කෙස් රොදවල් අස්සෙන් ඇඟිලි යවද්දි නිදි කිරා වැටෙන්න අරං අපේ සුව පහසුව අඩු ඇඳේ සැපට නිදා ගත්තා. 

 "අම්මා..." 

පුංචි  තිසරු නංගි කඩුල්ල ළඟ ඉඳන් අම්මට කතාකරනව. 

"හානේ! මේ දරුව පාර දිගේ තනියම්ම ඇවිත්!"

අම්ම කලබලෙන් දුවගෙන වගේ කඩුල්ල ළඟට ගියා. මමත් හනිකට අම්ම පස්සෙන් වැටුන. අම්මව දැක්ක විතරයි නංඟ අත් දෙක උස්සල වඩාගන්න කියල ඉඟි කරන ගමන් තව හයියෙන් අඞන්න තියාගත්ත.

"අම්මා... අම්මා"

එයාට මං කොයිතරම් ආදරේ උනත්, අපේ අම්මට අම්ම කියද්දි පොඩියක් හිතත් පාරවගෙන මමත් බලාඋන්න.

"ඇයි දරුවෝ මේ? ඔහොම තනියෙන් පාරෙ එනවද? වාහනයක්වත් ආවනම්"

දරුවො හතර දෙනෙක්ම වදල උන් උස්-මහත් කරල අම්ම වයසට යමින් උන්න.  අපේ අම්මට 'අම්මා' කියන ඒ සිඟිත්තිත් අකලට හටගත් ඵලයක් වගේ අම්මට.  කෙල්ලොම වදාපු කුසෙන් පැන නැඟිල පපුව අස්සෙ බෝ වෙන අම්මගෙ ආදරේ! ඒ පැංචිටත් ආදරේ වෙලා. හීනියට සිනිඳු කෙස් රොදවල් අස්සෙ ඇඟිලි යවද්දි ඇඞුම ඉකියකට පෙරලිල, අම්මගෙ සිනිඳු, සුවඳ උරහිසට ඔලුව තියන් නංඟා ඉන්නව.

ඉරිසියාව හේදිල මට දුක දැනුන! මං අම්මගෙ කරට දාං උන්නු ඒ පුංචි අතේ සිඟිති ඇඟිල්ලක් අල්ලගත්ත.

"අනේ මිසිස් රණසිංහ! මං හොඳටම බය උනා. ඔය මං පොඩ්ඩක් සැරකලා කියල මට කීවනෙ මං 'මගේ අම්මා ගාවට යනව' කියල!"

"මං බය වෙච්චි පාර තව පොඩ්ඩක් සැරකලා. තරහවෙලා ඉඳල ඔය මං එහා මෙහා වෙනකල්, පැනල ඇවිත්! ස්ටූල් එක ගෙනත් ඒකට නැඟල ගේට්ටුවත් ඇරගෙන ඔය තනියම ඇවිත් තියෙන්නෙ"

ගීත ඇන්ටි කියාගෙන ගියා. වේගෙන්!

"ඒක නේන්නම්" අම්ම අලගු තිබ්බ. 

"අනේ මට බයයි මිසිස් රණසිංහ. මෙයා ඔයාට 'අම්ම' කියනව. මට වඩා ඔයාට ආදරෙයි. "

අම්මගෙ මූනෙ මදහාසයක් ඇඳුන. යම්තමට නංඟගෙ ඔලුව ඉම්බා.

"අපෝ ඕව හරියනව. දැන් ඔහොම කීවට ලොකු වෙද්දි ඕක ඇරිල යයි." 

ගීත ඇන්ටිගෙ හිත හදන්න අම්ම කීවා. ඒගොල්ලො තව මොනමොනවද කතාකරද්දි, වෙච්ච දේවල් වලින රිදිච්ච හිත ඉබේ පිලිසකර උන නංඟා එක්ක මං සෙල්ලමට වැටුන.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කාලෙ ගත උන ඉක්මන!

කාලය ගෙවීගෙන යනකොට පුංචි දරුවො උස්-මහත් වෙනව, ඒ එක්කම වැඩිහිටියො තව වයසට යනව. අවුරුදු 10-15ක්! ඒක ලොකු කාලයක්.පුංචි කාලෙ ළඟම හැදිල ලොකු උන දරුවො තම තමුන්ගෙ අනාගතේ එක්ක පොරබඳිනවා. කාලෙත් එක්ක හිත් පරිණතවෙනවට වඩා අපිරිසිදු වෙනව. 

කඳුලක් ගානෙ දුක කියන්න ආවම ගීත ඇන්ටිගේ හිත අම්ම හැදුව. 

"දරුවො ගැන හිතන්න" අම්ම නිතරෝම මතක් කලා. 

ඇන්ටි පන්සලත් එක්ක බද්ධ උනා. නංඟි අනාගතය එක්ක හීන මැවුව. කාලය ගතවෙද්දි ජීවිත පරිණත උනාද. මම තාම හිතනව අපරිණතවම ඉඳගෙන.

තාප්පෙ කඩං වැටුන එක්තරා මහ වැස්සකට! ආයෙමත් තාප්පෙ හෙමීට නැඟුන! ඒ දවස් පුදුමාකාරයි. තාප්පෙකට,  සමහරවිට  එහෙමත් නැත්නම් ඒ මහවැස්සටද? කොහොම හරි පුලුවං උනා අවුරුදු ගානක බැඳීම දෙදරවන්න! 

බැඳීම්! 

ඒව ඇතිවෙන්නෙ ලෙයින්ම නෙවේ. හදවතේ, හැඟීම් කැටිකරං ඒ බැඳීම් ඉපදෙනව. මං අවසානෙ තේරුම්ගත්ත බැඳීමක් සමහරවිට ඒක පාර්ෂවිකයි කියල.

අතරමඟ මුනගැහෙද්දි ඉන් පස්සෙත් ගිත ඇන්ටි හිනාඋනා! අපි එක්කද? අපිටද? 

හ්ම්හ්! 

අපිත් හිනාඋනා ඒ නම් අපිට! 

"පාරුව පදිනකංලු රැළිනඟින්නෙ!" 

අම්ම එහෙම කීව. ඒ පාර හුම්මිටි තිබ්බ මං.

දැං පංසලේ ප්‍රධාන දායිකාව ගීත ඇන්ටි. සුදු රැලි දිග සායට සුදු අත් දිග හැට්ටෙ ඇන්දම එයා හරි ලස්සනයි. නංඟිත් නිතරෝම සුදුපාට නෙලුමක් වගේ ඒ පස්සෙන් අපි දැක්ක. 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ආච්චි අම්මෙ ආං පූවෙක්"

පුංචි පුතාගෙ කටහඞින් මං ආයෙ මේ ලෝකෙට වැටුන කල්පනා ලෝකෙ ඉඳන්. මාත් හෙමීට අම්මට කිට්ටු කලා. ර තුපාට පිටකොලයක් තියන පොත් ගොන්නක් උස්සගෙන තිසරු ංගි ගෙයින් ගෙට එනව. ඉස්සරහින් සුදෝ-සුදු ඇඳුමක් ඇඳගත්ත ගීත ඇන්ටි. නංඟට මග පෙන්නනව.

මම බලා උන්න. අම්මත් බලා ඉන්නව. අපිටත් ලැබේදෝ කියල හිත හිතනව. පුංචි පුතාට නම් කූඹි පේලියක් මුනගැහිල.

පහල ගෙවල් පේලිය, 
ඉස්සරහ ගෙදර 
 පහු කරගෙන ඒ දෙන්න එනව. 
ඔන්න අපේ ගෙදර!, 

ගීත ඇන්ටි කඩුල්ල පහුකරං  යන්න ගියා. ඇන්ටිගෙ ලස්සන කොණ්ඩෙ එක්ක ඒ තාලෙටම සුදු සායත් හුළඟට තාලෙට පැද්දුන. තිසරු නංඟි බිම බලාගෙන පොත් ගොඩත් උස්සන් එයාගෙ අම්ම පස්සෙ වැටුන. අම්ම මං දිහා බැලුව අපි දෙන්නම එකපාර හුස්මක් පිටකරා.

"ඒක බන පොතක්. පංසලේ කඪින පිංකම කාලෙ තිබ්බ ධර්ම දේසනා වලින් හදල තියෙන්නෙ. මං දැක්ක පල්ලෙහ කඩේ ගාවදි ලියනගේ අක්කටත් දුන්න"

අම්ම පුතාගෙ ඔලුව අතගාන ගමං කෙඳිරිල්ලෙ කියද්දි මං අඳුරගත්ත හදවතේ කොණක නලියන කඳුලක් සිරි සිරියෙ බිඳෙන්න අර අදිනව කියල. 

මං හුම්මිටි නොතියම නිහඞ උනා. 

"අම්මා..."

මේ කවුද? තිසරු නංඟි!. 

දැන් එයා ලොකුයි.කඩුල්ල තනියම පනින්න තරම්. ඈ අතේ පොතක්, අර රතුපාට කවරයක් තියන පොතක්. 

"මේක ඔයාට. මං යන්නම්... අම්ම දකී..."

ඈ ඒ පොත දෝතින්ම අම්මට දුන්න. අපි දෙන්නටම නැඟිටුනා

"හොර වැඩ කරන්න හොඳ නෑ දරුවො"

අම්ම පොත ගන්න ගමන්ම කීව. ඈ ලස්සන හිනාවකුත් අපිට තිළින දීල දුවල දුවල ගියා. කඩුල්ල උඩින් පැනල, අපිට අතත් වනාගෙන දුවගෙනම ගියා. කථා නොකරම දූ...වල ගියා!.

අම්ම බන පොත එක අතකින් පපුවට තද කරගෙන, අනිත් අතින් පුංචි පුතාගෙ අත අල්ලගත්ත. මං දිහාවත් බලල හිනා උනා. මමත් අම්ම එක්ක හිනා උනා.

මං දැක්ක අම්මගෙ ඇස් අගිස්සෙ කඳුලු. සතුටටද දුකටද මන්ද උපන්න කඳුලු!.

2 comments:

  1. එහෙම තමයි හිතවත්කම්. පුංචි දේකීන් වුණත් ‍අහෝසි වෙන සුඵයි.

    ReplyDelete
  2. එකට කාලා උන්නත් බොක්ක වෙනස් කියනවනෙ...මෙන්න මේ වගේ ඒවට වෙන්න ඇති...හිටපු ගමන් විසිරිලා යනවා හිතවත්කම්..පොඩ්ඩ එහා මෙහා උන ගමන්...

    ReplyDelete