ලස්සන කමිසයක් ඇඳල
රතු හිස් වැසුමකුත් දලා
ආඩම්බර හිනා ඉරක්
පුංචි මූනෙ හැඩට ඇඳල
ආච්චි අම්මාට වැඳල
හාදුවකුත් තුරුලෙ තියල
පුංචි පුතා සූදානම
ගමේ ගිහිං එන්න කියල
හිමිදිරියේ අඳුර මැඳින්
මුතු ඇටයක් ඇදෙන ලෙසින්
පුතා අපේ ගමේ ගිහින්
ගෙදරම පාලුයිනෙ ඉතිං
උදේ පාන්දරින් පිබිද
සිනා සලන මල කෝ සකි
උදේම යන කෝච්චියෙන්
ගමේ ගිහින් ඒ මල සකි
හඳට හොරෙන් රහස් කීව
වලාකුලත් පේන්න නැති
තරු කැට එක දෙක හෙමිහිට
දුකෙන් වගේ නිමිච්ච හැටි
ලේන පැටවු හරි පුදුමෙන්
අත්තෙන් අත්තට පනිමින්
මිදුල පුරා කර විපරම්
පුතු කොහිදැයි අසති දුකෙන්
සමනළ පැටියෙක් ඇවිදින්
දොරකඩ නැවතී මොහොතක්
දේදුනු පැහැ තටු අකුලන්
පොඩි පුතු කොයි දැයි විමසත්
මුලු ගෙදරම හරි පිළිවෙල
තිබු දේ තිබු තැනම වෙතය
ඒ උනාට මේ පිළිවෙල
අපිළිවෙලකි පුතා නැතිව
බත් කවන්න මිදුල වටේ
ගස් උඩ සහ ලිඳ අසලේ
පුතුත් එක්ක ඇවිදිලි නැති
මේ නිදහස වැඩක් නැතේ
ආච්චි අම්මගෙ උකුලේ
උඩ පැන පැන දුන්න වදේ
නැතුවට ඈ දුකින් අනේ
පුතු ගැනමයි නිතර හිතේ
සිවු පද පටලා කියන්න
පපුවට තුරුලුව නිදන්න
හුරතල් මුහුනත සිඹින්න
ඉතිං පුතේ ගෙදර එන්න
ලස්සන සිත්තමක් වගේ කවි පෙලක්. මමත් ආත්තම්මා කෙනෙක් උන නිසාවෙන් හරියට සංවේදිව හිතට දැනුනා. ස්තූතියි!
ReplyDeleteලස්සනයි.
ReplyDeleteහරිම ලස්සනයි...සරලයි...
ReplyDelete