Thursday, September 27, 2012

ඒක මහ පුදුමාකාර හැඟීමක්....


මේ ඇරඹුමයි.... මාවත බෝ දුරයි.....
ඔලුව ඉස්සුවා, පෙරලුනා, ඉඳගත්තා, දණගෑව, අල්ලන් නැඟිට්ට.......
ඊට පස්සෙ,
ඇවිදින්න පටන්ගත්ත...
දැන් ඔයාට තනි කකුලෙන් පනිනත් පුලුවනිනේ.....!!

තනියම දත් මදින්න (අපි ආයෙම මද්දනව තමා ),  කලිසම - සපත්තු දාගන්න ඔයාට දැං පුලුවන්....

ඒ විතරක්යැ, දැං ඔයා නාන්නෙත් හිටගෙන...
ඒක හරිම හපංකමක්! (ඔයාගෙ චුටි පුංචි එහෙම නෑවෙ එක වසරෙදි!)

ඉස්සර ඔයාව උකුලෙ තියාගෙන ඔයාගෙ අම්මයි, ආච්චිඅම්මයි, පුංචිලා වෙච්චි අපි තුන්දෙනයි, මදි පාඩුවට තාත්තයි කීව සිංදු යංතං දැනෙද්දි වචන වරද්ද වරද්ද ඔයා මතකෙන් කියන්න ගත්තා.....

ආච්චී - තාච්චි 
තාත්තා - කාක්කා
පිඟාන - පිනාඟ 
පුසෙක් -පූවෙක් 
Rabite - ලැබිට්

ඔයා බහතෝරන්න ගත්තා....

එකයි, දෙකයි, පහයි, අටයි, තිස්දෙකයි! කියලා ගැන්නා....

 A B C D සිංදුව තාලෙට කිවුවා.....


දත් කැකුලු කාලා
සුලතල් ශිනා ශීලා .....

~~~~~~~~~~~~
ශී... ලංකා මතා.....
අප ශී........ ලංකා
නමෝ නමෝ මතා....
ශුන්දල ශිලි බලනී..........

 ඔයා ජාතික ගීයත් හරි අපූරුවට ගයල, අන්තිමේ ඔලුව පත්කරල අආචාර කලා

සබ්බ පාපස්ස අකලනං 
කුශලස්ස උප ශම්පදා ........

කවි, කතා අතරට ගාථාත් කිවුවා..............................................................


අද උදෙම්ම ඇහැරිලා ටික දවසක ඉඳන් අපි හැමෝම බලං උන්න ඒ මොහොතට ඔයත් ලෑස්ති උනා...

දොයි මත නැති උනේ නම් බාප්පගෙන් උදෙන්ම තෑඟි ලැබුන ලස්සන වලස් පැංචෙක් මහපු පොත් මල්ල හදයි...

බුදුන් වැඳලා, ගාතා කියල,.... ඔන්න සුභ වෙලාව ඇවිත්!

බයන්න.. අම්ම කියනවා

බ යන්න........තාලෙකට ඇදල පුතත් කීවා

පයන්න.. අම්ම කියනවා

ප යන්න....... කලින් තාලෙටම පුතත් කීවා

පහා...අම්ම කියනවා

ප හා..... අලුත් තාලෙකට පුතා කීවා

B.තාත්තා කියනවා

B.......පුතා සද්දෙට කීවා

P තාත්තා කියනවා

P.......තාලෙට පුතා කිවුවා


ආච්චි අම්මගෙයි, අම්මගෙයි,  තාත්තගෙයි පුංචිල තුන්දෙනාගෙයි ඇස් අගිස්සෙ සතුටු කඳුලු බිංදුවක් ඉපදෙද්දි ඔයා අපි හැමෝටම බුලත් අතක් දීලා දණගහල වැන්දා.....

අපි හැමෝගෙන හිතේ එකමෙක පැතුමක්!

'පුතේ, හොඳට ඉගනගෙන හොඳ පිරිමියෙක් වෙන්න!'

අද ඔයාව පෙරපාසලට ඇතුලත් කරාවි...
එන නොවැම්බරයෙදී ඔයාට අවුරුදු තුනක් පිරෙද්දි....,
ලබන අවුරුද්දෙ ඉදං ඔයා ඉස්කෝලෙ යාවි.....

අනේ....

ඒක මහ පුදුමාකාර හැඟීමක්....

ඉපදුන දවස්වල... වඩාගන්නත් බය හිතුන, පුංචි ආදර පොදිය...!

අද ඔයා ලොකුයි... හරිම දඟ, හුරතල්, අපේ චූටි පුතා.....

දවසක ඉලංදාරියෙක් වේවි ඔයා.....

මේ උගුර ගාව හිරඋන නොතේරෙන මොකක්දෝ හැඟීම කඳුලකින් පිටවෙන්න හදනව.....

සතුට, දුක, ආදරය, ලෝබකම.... සේරම එකතුඋන අමුතු හැඟීමක් ඒක......

නෙල්ලි වගේ.....

ජීවිතෙත් ඒ වගේ, රස ගොඩක එකතුවක්...

හරි ක්‍රමේට රස බැලුවොත් රසයි.... වරද්දා ගත්තොත් නීරසයි

ඔයාට ජීවිතේ රස විඳින්න ලැබේවි...

අපි ඔයාට හුගඟාක් ආදරෙයි...

2012. 09. 27

Tuesday, September 25, 2012

පරිපූර්ණ



ඇය....,

මල්වර වියයුතුයැ 
සුභ දිනෙක,
බිඳ එක පහරින් නෙරලු ඵල දෙබෑවට....

තවද,

නේක ඇස් වල සරින් 
එලැඹ තුරුණට
සරණ යන දා සුභ මොහොතක
යළිඳු බිඳෙනා නෙරලු ඵලයකද,

අනතුරුව,

සුන්දරැයි කියනා අඳුරෙක
පාලු මකනා ස්වේත පිරුවටයක
රක්ත සිත්තම 
අත්‍යාවශ්‍යමය....

ඉන්මතුව,
ගැබ්බරව


අවසන,

විද නේක පීඩා
කුසින් හොත් 
දරුවා පුරුෂ ලිංගික විය යුතුමය.....

ලියා පොතක්, 
සිටුවා ගසක්
අර්ධ පුර්ණවු
සිය සැමියා
පරිපුර්ණ පිරිමියෙකු කර, 

ඇය පරිපූර්ණ ගැහැණියක වීමටනම්....

Tuesday, September 18, 2012

වෙනස


කුහුඹුවෙක්!
ඔසවාන අමෲතයෙන්
එකමෙක කැටයක්
බොහොම දුක්බර
මුහුණකුත් හදාගෙන
හරි බයෙන්
හරි-හරියට දුවන,

මිනිසෙක්!
හදාගෙන දුම් දමන 
ප්ලේන්ටියක්
සීනි බෝතලෙත් ඇරගෙන
කේන්තිත් අරගෙන
කුහුඹුවන් ගැන
"මේ මොන කරුමයක්දැ" යි
තමුන් සමඟමැ දොඩන,

ඒ අස්සෙ 
නිනවුවක් නැතිව
ගෙයින් පිට, හෝ ගාල 
වැස්ස!


Wednesday, September 12, 2012

අත්තම්මලා පවු අනේ! පැය ගනන් පෝලිමේ !!





බුදු හාමුදුරුවනේ.....,

පාන්දර ඉදන්
අමතක කරන් නෙක ගැහැට,
හිතේ ඉපදුන බුදු බැතිය
කුසුමක් කර පුදන්නට....,
පෝලිමේ බලා ඉන්නා
අත්තම්මලා පසුකර,

ඉහල බැතිමතුන්
අපූරුවට
කපිලවස්තු ධාතූන් වහන්සේලා
වැඳපුදා විශේශ විදියකට
අනේ පවු! අර මිනිස්සුයි
සෝක සමච්චලයක් හෙලා,
ඉගිලැගොස්.....,

පම්පෝරි  සාඛඡ්චා
අනේ වසනාවන්!
අපිට පැය කාලයි
අත්තම්මලා පවු අනේ! පැයගනන් පෝලිමේ
ඔහොම වැදලා මොකට,
උන්ගෙ ශ්‍රද්ධාව බාලකොට,
TV එකෙන් කලානම් පහසුයි නෙ වන්දනා
මල සමයං!

උන්දැලා කියනකොට
ඒවා ඇහෙනකොට
හිත රිදෙන්නේ
මගේ නපුරු කරුමෙටද?

Friday, September 7, 2012

තාත්තේ, ඒක හරි ලොකු කාලයක්!



ඒ කාලෙ හරිම ලස්සනයි! 

මං අද හිතනවා. 

ඒත්, 
එදා ඒ ලස්සන මට දැනුනෙ අඩුවෙන්. මම ඒ ලස්සන කාලය ඇතුලෙ ජීවත් උනා, ඒ ජීවිතේ වින්දා...
 ඒත් එදා මේ තරම් නොදැනුනට අද මට මතක් වෙද්දි හරිම අසරණ කමක් හිතට දැනෙන්නෙ. ඒ, ගෙවුනු වසර ගානම ඇතුලත ආයෙ කවදාවත්ම නේන ලස්සනම කාලෙ ඒ අවුරුදු ගාන හන්දයි.

ආයෙත් ඒ දවස් නේන්නෙ තාත්තේ, ඔයා තවත් එන්නෙ නැති හංදයි.


හීන... 

අපි එකතුවෙලා දැකපු හීන වලින් එ,ක දෙක අද හැබෑ වෙනව. ඒත්, ඒ ඔයා ළඟ නැතුවම. 

අද තාත්තත් උන්නනම්...... 

ඔයා තමා ඒ හැබෑ උන හීනවල සතුට වැඩියෙන්ම විඳින්නෙ... 

ඒත් අද ඔයා නෑ.... 

බිඳිල ගිය හීන ළඟදි හයියක් වෙන්නවත්, හැබෑ උන හීනවල සතුට බෙදාගන්නවත්......

අවුරුදු දහයක්!
ඒක හරි ලොකු කාලයක්! 

කියාගන්න මොනාදෝ ගොඩක් නලියන හිතක් එක්ක මුකුත්ම කියාගන්න නොතේරෙන හැඟීමක්,  උඟුර ගාවම ඟුලි ගැහුන දුකක්,  ඒත් එක කඳුලක්වත් හලන්න බැරිව වේලුන ඇස් දෙකක් මාව හරියට රිද්දනවා. 


තාත්තේ, ඒක හරි ලොකු කාලයක්! 

මතකයන් ඉහිරිච්ච මාවතේ
හෙන්දිරික්කා මලින් කවි ගෙතේ
 දුර ගමන නිම් නොදත් ජීවිතේ
ඔබ කිවු කවි වලින් සැරසෙතේ....


වැහි සමේ උණුහුමක් දවටලා
හදවතේ මතකයන් තවරලා
පිණි කඳුලු නොසලන්න යැයි කියා
ඔබ ගිහින් දුර ඈත සැඟවිලා....

තරු අහසේ සිත්තමක නැවතිලා
මදහාස ඔය මුවග තවරලා
ආදරේ පවන් රැල් සල සලා
අපි දිහා බලන්නේ තාත්තා....

 (2012.09.10)