දැන් දැන් හරිම චන්ඩියෙක් වේගෙන එන, නිතරම වගේ හරි හරි අකතැබ්බවලට මූනදෙන අපේ පුංචි කුමාරයට අමතරව මාස හතරකට ටිකකට කලින් අපි ගාවට ආව පුංචි කුමාරියෙක් ගැනත් ලියන්න දේ දැන් තියනවා.
ඒක බොහෝම අමුතු දෙයක්....
කොල්ලෙක් නූන්න ගෙදරක කුලුදුලේ උපන්න පුංචි පුතු පැටියා, දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එක.... ඒ වගේම චූටි දූ පැටියා, අපේ අතීතය ආයෙ අලුත් කරන ගමන් ටික ටික ලොකු වෙන විදිය බලා ඉන්න එක....
හරිම අපූරු දෙයක්!
දැන් ඉතින් අපේ චූටි දෝණියට වයස මාස හතරක්!
එයා වැඩියම කැමති හිනාවෙවී ඉන්න තමයි. චූටිත්තන් දිවත් එලියට දාගෙන, මුලු මූනෙන්න්ම හිනාවෙනකොට හරිම ආසයි.
දැන් එයා පෙරළෙනවා, චූටි චූටි සද්ද එන පාට පාට සෙල්ලම්බඩු අල්ලන්න හදනවා. එයාගෙ ඇඳ රෙද්දෙ ඉන්න පුංචි පුංචි රූප ඇඟිලි වලින් හූරණ ගමන් ඒවා දිහා මූන පුම්බගෙන, ඇස් ලොකු කරගෙන කෙල බේර බේර බලා ඉන්නවා.
එයාගෙ මදුරු දැලේ එල්ලල තියන අර නත්තල් ගස්වල එල්ලන පාට පාට බෝල එක්ක හිනා වෙවී, කෑගගහ නින්දෙන් ඇහැරුනාම කතාකරනවා.
එයා දැන් බත් තේ හැඳි 2ක්, කෙසෙල් ගෙඩි තේ හැඳි 2ක්, එහෙමත් කනවා.
අයියගෙ ආටක නාටක බලබල අත් කකුල් ගස ගස ඒවට සහයෝගෙ දෙන්නෙ හිනා පිරිච්ච මූනකින් හරිම උද්‍යෝගෙකින්. අසනීප වෙලාවක, බොහොම හදිස්සියෙන් කිරි බොන වෙලාවක, නිදිමත හොඳටම තද උන වෙලාවක වගේ බොහොම බැරෑරුම් වෙලාවලදි උනත් අයියගෙ කටහඬ මොන තරම් ඈතින් ඇහුනත් ඇඬිලි, කෑගැහිලි, විරොධතා, රාජකාරි කැලේ! එයාගෙ වැඩේ අයියව හොයන එක තමා.
අයිය කියන්නෙත් 'මගෙ සුදු නංගී' කියල තමයි. ගෙදරට කවුරු ආවත් වෙනදට එයා කියන්නෙ
"වාඩිවෙන්නකො අනේ, අපි තේ බොමු" කියලයි.
ඒ උනාට දැන් කවුරු ආවත් ඉස්සෙල්ලාම කියන්නෙ
"නංගිව දෙන්නෙ නෑ! එයා මගේ!" කියලයි.
ඒකට හේතුව ඉතිං කවුරු ආවත් ඉස්සෙල්ලාම "නංඟිව මට දෙනවද, අපි නංඟිව අරං යන්නද" කියල එයාගෙන් අහන හංදයි. එහෙම කොහොමද නංඟාව දෙන්නෙ. දැන් එයා නංඟව ඉල්ලන අයට කියන්නෙ
"එයා අපේ, ඔයාල වෙන නංගි කෙනෙක් ගේන්න" කියලයි.
ඔය ආදරේ හංඳ ඉතිං නංඟි බබාට අයිය බබාගෙන් වරප්‍රසාද දීමනා විදියට හෙම්බිරිස්සාව, වෛරස් උන එහෙම ලැබෙනවා. ඉතින් ඒවට මොනා කරන්නද? ඒව එහෙම තමයි.
`~~~~~~~~~~~~~~~__--__~~~~~~~~~~~~~~~~~`
ගිය සිකුරාදා 2013 අගෝස්තු මාසෙ 02වන දා, චුටි පැංචිගෙ කන් පෙති විදලා, කරාඹු දැම්මා.
කරාඹු වලින් මූනට ඔයාගෙ හරි එලියක් වැටිලා. කන් පෙති හිරිවට්ටලා කන් විද්ද නිසා ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ කියල ආච්චි අම්මයි, ඔයාගෙ අම්මයි කිවුවා....
ආවූ හරිම හැඩයි තමයි!
"කන විදින වෙලේ කඳුලු ගඟේ පතුල බැලූ දූ
අද සතුටු ගඟේ පීනනවා දාල කරාඹූ
හායි දාල කරාඹූ....."
මේ සටහන ඒ වෙනුවෙන්....
චුට්ටක් බඩගිනි වෙලා ඇඬුවත් අපිට හරියට දුක හිතුනත්, උල්කරපු කරාඹුවකින් ඔයාගෙ චූටි කන් පෙති විදින්න උනා.
මට හිතුනත් ඔයා ලොකුවෙලා, ඔයාට ඕන නම් කන් විදලා කරාඹු දාගන්න ඒ තෝරාගැනීමේ අයිතිය ඔයාට දෙන්න පුලුවන් උනානම් හොඳයි කියල, ලොකු වෙද්දි, ඉස්කෝලෙ යද්දි, ඇයි මගෙ විතරක් කරාඹු නැත්තෙ කියල අහයි, ලොකු වෙද්දි වැඩියෙන් රිදෙයි වගේ හේතු කට්ටිය කීව. ඔක්කෝටම වඩා ඔයාගෙ අම්මට ඕන උනා චූටි කන් පෙතිවලට කරාඹු දාල හැඩ බලන්න. මේ මොනා කීවත්, මම දවසක දෝණියකට අම්මා කෙනෙක් උනොත් මම ආස වෙයි මගෙ දූගෙ කන් පෙති වලට කරාඹු දාල හැඩ බලන්න.
ගැහැණු කම!
දුවේ ඒ ගැහැනු කම ආභරණයක්! ගැහැණියක් වෙලා ඉපදෙන්නෙ පවු කරපු අය නෙවේ... දරාගැනීම, ආදරය, සියුමැලි බව, සොදුරුකම..... මේවා පහත් දේ නෙවේ නේද? ඔයා ජීවත් වෙන විදියයි ඒ ආභරණෙට වටිනාකමක් දෙන්නෙ.
චූටි දොණියේ....,
මටනම් හිතෙන්නෙ ඔයා ගැහැණු කමේ පළවෙනි කඩඉමට මූන දුන්නා කියලයි.තව ඉස්සරහට කඩඉම් ගොඩක් තියෙයි, මල්වර වෙද්දි, මනාලියක් වෙද්දි, දරුවෙක්ට මවක් වෙද්දි.... පියවරෙන් පියවරේට ඔයා ඒව අඳුරගනී.
ඒ අතරවාරෙ ඔයා ගැහැණුකම තේරුම්ගනියි.
අද ඔයාගෙ ජීවිතේ එක තෝරාගැනීමක් කලේ අපි!
අනාගතේ දවසක තෝරාගැනීම් ගොඩක් තියෙයි, ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් එදාට ඔයයි කරන්න ඕන. අපි එදාටත්,හැමදාටමත් ඔයා ළඟම ඔයාට උදවුවට ඉනවා!
චූටි දුවේ තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ටයි..... ඒ වගේම ඔයාගෙ ජීවිතේ ගොඩනැඟුන පදනම පවුලයි.... ඒ පදනම උඩ ජීවිතය කියන ගෙදර හදාගන්න ඕන ඔයායි.
දවසක..... තාම නොඉපදුන අනාගතේ දවසක.... හදවතින්ම ලස්සන ගැහැණුකම කියන ආභරණයට ඔයා හරි විදියට ආලොකයක් දෙනගමන් ජීවත්වෙනව දකින්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.
චුටි දුවේ ඔයාට අපි හරි ආදරෙයි!