Thursday, July 31, 2014
Friday, July 25, 2014
හඳට එලිය ලැබුන හැටි
ඉස්සරම ඉස්සර කාලේ, රෑ කියන්නෙ බොහොම කලුවර වෙලාවක්. මුලු දවස තිස්සේම ඉස්කෝලෙ ගිහිල්ලා, පාඩම් කරලා, සෙල්ලම් කරලා හොඳටෝම මහන්සි වෙලා ළමයින් නිදාගන්න වෙලාව හංදා ඒ කලුවරේ තරම කිසිම ළමයෙක් දැකල තිබුනෙ නෑ. ඇත්තම කිවුවොත් ඒ කලුම, කලු කලුවරට ළමයින් බයවෙයි කියලා අම්මලා ඉර බැහැගෙන යද්දිම දරුවන්ව කවලා, පොවලා, පිරිසිදු කරලා නිදිකරවන්න පුරුදු වෙලායි තිබුනෙ.
හැබැයි වැඩිහිටියන්, රෑට කෑම හොයන් යන සත්තුන් විතරක් නෙවේ, රෑ බෝ වෙනකල් ඇහැරිලා උන්න ගොඩක් අය බොහොම දුකෙන් තමයි හිටියෙ. කොච්චර දුකද කියනවනම්, අහසෙ තිබුන තරු පොකුරු පවා පුංචි කඳුලු බිංදු හල හල ඇඩුවා. ඔයාල දන්නවනේ, තරු හරි පුංචියි, එයාලා රෑ කාලෙ කොහොම කලුවරේ ගෙවා ගත්තද කියල හිතන්නත් අමාරුයි.

" අනේ පුතේ, තාත්තා තාමත් ආවෙ නෑ. දැන් ඇඳිරි වැටෙන්නත් ළඟයි. කැළෑවේ නපුරු සත්තුන් තාත්තට කරදර කරාවි. අපි හුලු අත්තකුත් අරං මගට යමු"
හා පැටියාත්, හා හාමිනේත් හුලු අත්තක් පත්තු කරන් කැළෑව පැත්තට ගියා. කැළෑවේ ඇතුලට ඇතුරලට ගියත් හා හාමි පේන්න හිටියේ නෑ. හුලු අත්ත නිවෙන්නත් ළඟයි. අඳුරත් වැඩියි. පුංචි හා පැටියා බය උනා. එත කොටම ළඟම තිබුන වලක් ඇතුලෙන් අනේ... අම්මේ.... කියලා කෙඳිරිලි හඞක් ඇහුනා.
"කවුදෝ කෙඳිරි ගාන සද්දයක් නේද ඇහෙන්නේ. තාත්තාට කරදරයක් වත්ද?" පුංචි හා පැටියා අම්මාගෙන් ඇහුවා.
"අපි විපරම් කරලා බලමු" හා හාමිනේ කිවුවා.
දෙන්නා එක්ක විපරම් කරලා බලද්දී හා හාමි වල ඇතුලේ කෙඳිරි ගගා ඉන්නවා.
හා පැටියා ඉක්මනටම වලට පිම්මක් පැනලා තාත්තාව අමාරුවෙන් නැගිට්ටුවා. හා හාමිනේ කොහොම හරි උඩ ඉඳලා හා හාමිව ඇදල උඩට ගත්තා. හා පැටියා උස පිම්මක් පැනලා ගොඩට ආවා.
හුලු අත්ත නිවෙන්න කලින් හා හාමිත් වාරු කරගෙන හා හාමිනෙත්, හා පැටියත් ඉක්මනටම ගෙදරට ආවා. හා හාමි කෑම සොයන් එද්දී බඩගිනි උන නරි නයිදේ කෙනෙක් එයාගෙ පස්සෙන් එලවන් ඇවිත්. නරි නයිදේගෙන් බේරෙන්න වලට පනිද්දී කකුල ගලක හැපිලා කැඩුන නිසා, උස පිම්මක් පැන ගන්න බැරිව හා හාමි වලේ හිර වෙලා. හා හාමි සිද්ද වෙච්ච දේ හාමිනේටත්, පුතාටත් කිවුවා.
එදා රෑ හා පැටියාට නින්ද ගියේම නෑ. ඒ තරම් කලුවරක් හා පැටියා කලින් දැකලා නොතිබ්බ හංදා එයා හොඳටම බයවෙලයි උන්නෙ. අනික කලුවර හංදා එයාලට වෙන කරදරත් එයාට මතක් උනා. රෑටත් පොඩ්ඩක් එලිය දෙන්න විදියක් තිබ්බානම් කොච්චර හොඳඳ. හා පැටියා හිතුවා. ඒත් කොහොමද ඒක කරන්නේ. හා පැටියා ඒ ගැන මුලු රෑම කල්පනා කලා. කොච්චර කල්පනා කලත් පාන්දර වෙනතුරුත් කිසි අදහසත් ආවේ නෑ. එතකොටම ඉර දෙවියන් කන්ද උඩින් හෙමීට පෑයුවා. හා ගුලටත් එලිය වැටුනා. එතකොටම හා පැටියාට අපූරු අදහසක් ඇවිත්,
"මං දන්නව කරන්න ඕන දේ, මං දන්නව කරන්න ඕන දේ" කියලා සතුටින් කෑ ගැහුවා.
හා හාමිනේත්, හා හාමිත් ගාවට ඉක්මනින්ම ගිහිල්ලා මෙහෙම කීවා.
" අම්මේ, තාත්ථතේ, ඊයේ රෑ වගේ කලුවරක් මම කලින් දැකල නෑ. ඒක හරි බය හිතෙන වෙලාවක්. ඒ මදිවට කලුවර හංදා අපිට කොච්චර කරදරද? මම ඊයේ මුලු රෑම කල්පනා කරලා හොඳ අදහසක් හොයා ගත්තා කලුවර නැති කරන්න."
" ඒ මොකද්ද " හා හාමිත්, හා හාමිනෙත් ඇහුවා.
"මම ඉර දෙවියන්ට කියනවා, රෑටත් එලිය දෙන්න කියලා!" හා පැටියා කිවුවා.
"එතකොට ඉර දෙවියන් විවේක ගන්නෙ කොයි වෙලාවෙද?" හා හාමි ඇහුවා!
"එතකොට බකමූණු රාළලා, වවුල් හාමිලා කෑම හොයන්නේ කොහොමද?" හා හාමිනේ ඇහුවා.
"අපිට ලේසියට අනිත් අය ව කරදරේ දාන්න හොඳ නෑ!" ඈ තවත් එකතු කලා.
හා පැටියාගේ කන්දෙක කඩා වැටුනා. ඇස් දුකට හීනි උනා. එයාට ඇඞෙන්නත් ආවා.
හා හාමියි, හා හාමිනෙයි පැත්තකට වෙලා පොඩ්ඩක් කතා කරගෙන පුංචි හා පැටියාට කතා කලා.
"පුතේ ඉර දෙවියන් මුණ ගැහිලා රෑටත් එලිය ඉල්ලන්න හිතුව එක ලොකු වීරකමක්." හා හාමි කිවුවා
"ප්‍රශ්න වලට උත්තරත් ඉර දෙවියන් ගාව ඇති. හොඳම දේ මුණ ගැහෙන්න යන එකයි."
හා පැටියාට පුදුම හිතුනා. දිග කන් ආයෙත් කෙලින් උනා.
"කොහොම උනත්, ඒක බොහොම අමාරු ගමනක්. අපිත් ඔයාට උදවුවට එන්නම්. අපි ඉර දෙවියන් මුණගැහෙන්න යමු."
හා හාමිනේ කිවුවාම හා පැටියාගේ ඇස් සතුටට ආයෙත් වටකුරු උනා. හා පැටියා සතුටින් උඩ පැන්නා.
එදා රෑ හා පවුලම එකතුවෙලා පහුවදා ගමන යන්න සූදානම් උනා. ඉර දෙවියන් පායන්නේ හා ගුල ලඟම තියන කන්දට එහා කන්ද මුදුනින්. දවල් වෙන්න කලින් ඉර දෙවියන් මුණගැහෙන්න නම් පාන්දරින්ම පිටත් වෙන්න ඕන කියලා හා හාමි තීරණය කලා. හා හාමිනේ මගදි කන්න පලා මිටියක්, ධාන්‍ය මුලක් සහ බොන්න කිරි බෝතලයක් සූදානම් කලා. පහුවදා උදේම නැගිටින්න ඕන හංදා තුන් දෙනාම වේලාසනින් නින්දට ගියා.
හා පැටියාට නම් නින්ද ගියේ බොහොම රෑ වෙලා. පහුවදාට යන්න තියන ගමන මතක් වෙද්දි එයාට හරි සතුටුයි. උදේම හා හාමි එයාව ඇහැරවද්දිත් ඉර දෙවියන් ගැන හීනයක් දකිමිනුයි එයා හිටියෙ.
කොහොම හරි උදෙන්ම තුන් දෙනාම සූදානම් වෙලා ගමන පිටත් උනා. පිණි කැට ඉර එලියට දිලිසෙන්න ගද්දි එයාල ගුල ලඟම කන්ද මුදුනට නැගලා හිටියෙ.
"උදේ කෑම කාල ඉමු" හා හාමිනේ යෝජනා කලා.
කෑම කන්න සූදානම් වෙද්දි එතනට ගෝන හාමි කෙනෙක් කිට්ටු උනා. අනේ මටත් කන්න දෙයක් දෙන්න ඌ හාවන්ගෙන් ඉල්ලුවා. හාවන් දුන් පලා සහ කිරි වලින් බඩගින්න නිවාගත්තු ගෝන හාමි ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් උනා. තවත් ටිකක් කන්ද උඩ ගිමන් ඇරපු හාවන් හනිකට කන්ද බහින්න පටන් ගත්තා. එයාලට කන්ද බහින්න පැයක් ගත උනා. කන්ද බැස්සාම දුටු දේ හංදා හාවන් බොහොම කලබල උනා.
අපොයි ලොකු දොළ පාරක් කඳු දෙක අතරින් ගලාගෙන යනවා. හාවන් පුංචියි. දොළට බැස්සොත් ගිලෙයි. මොකද කරන්නෙ කියලා එයාල හරියට දුක් උනා. එතකොටම එතනට ආවෙ කන්ද උඩදි මුණගැහුන ගෝන හාමි. හාවන්ගෙන් විස්තරය දැනගත්ත ගොන හාමි බොහොම සතුටින් උදවුකරන්න ඉදිරිපත් උනා.
"ඔයාල මට බඩගින්න නිවාගන්න උපකාර කලා. මටත් පුලුවනි ඔයාලට උදවු කරන්න. මම ඔයාලව මගේ පිට උඩ තියන් දොළෙන් එගොඩ කරන්නම්" කියලා ගෝන හාමි කිවුවා.
හා පවුලත් බොහොම සතුටින් එකඟ උනා. ගෝන හාමි එයාගෙ පිට උඩ හා පවුල තියාගෙන පහසුවෙන් දොළෙන් එගොඩ උනා.
හා පවුලට හරි සතුටුයි. ගොන හාමිට එයාලා ස්තූති කලා. ගෝන හාමිත් එයාලට සුබ පතලා ආපහු ගෙදර ගියා. දවල් වෙන්න කලින් හාවන්ට කන්ද උඩට යන්න පුලුවන් උනා.

කන්ද උඩට ආව හාවන් දැකලා ඉර දෙවියෝ වලාකුලක් එයාලා ගාවට එවුවා. හා පැටියත්, හා දෙමහල්ලොත් වලාකුලට ගොඩ උණාම වලාකුල ඉරට ටිකක් දුරින් අහසට පා උනා. ඉරේ රස්නෙ හාවන්ට දැනුනා. ඒත්, වළාකුල සීතල හංදා රස්නය කරදරයක් උනේ නෑ.
ඉර දෙවියන් ලස්සනට හිනාවෙලා හා පැටියාට කතා කලා.හා පැංචා ගාවින් හා හාමිත්, හා හාමිනෙත් වාඩි වෙලා උන්නා.
"ඉතිං පුංචි පැටියෝ, මං දැක්කා එහා කන්ද පාමුල ඉඳන් මාව මුණ ගැහෙන්න පාන්දර ඉඳන්ම ඔයා එනවා. හදිස්සියේම මොකද මාව බලන්න ආවේ" ඉර ඇහුවා.
"ඉර දෙවියනේ අපට රෑටත් එලිය දෙන්න" හා පැංචා ඉල්ලුවා.
ඉර
ඒක කරන්නේ කොහොමද පැංචෝ
ලෝකය රවුමක් දන්නවදෝ
මෙහාට දහවල- ඒ පැත්තේ රැය
එහෙටත් දහවල දිය යුතුනේ
හා පැංචා
ආ හරි පුදුමයි ඉර නිදියන්නෑ
වෙහෙස නැතිද කියලා දෙන්නේ
පැය විසි හතරම එක දිගටම වැඩ
නොනිදා කොහොමද ඔබ ඉන්නේ
ඉර -
ඉරට වෙහෙස නෑ ඉර දෙවියොයි මම
සොභාදහම එහෙමයි මැවුවේ
කාටත් උදයක්, දහවලක්, රැයක්
ලබාදෙන්නටයි මා මැවුවේ
හා පැංචා
ඉර දෙවියෝ හරි කරුණාවන්තයි
මා කියනා දේ අහන්නකෝ
රැයක් එපා උදයක් විතරක් ඇති
රෑ හරි කලුවර යකෙක් වගේ
ඉර
ඉරට වගේ බෑ අනික් ඈයොනට
නින්ද ඔයාලට ඕනාවේ
බකුසු රාළලා වවුල් හාමිලා
රෑටයි කෑම සොයා යන්නේ
හා පැංචා
මට තේරෙනවා රෑ -දහවල දෙක
කාටත් සම ලෙස ඕනා වේ
ඒ උනාට අර කලුවර වෙනුවට
එලිය බිඳක් ලැබුනොතින් අගේ
ඉර -
කලුවර වැඩි හංදා හරි කරදර
මට තේරෙනවා හා පැංචෝ
මගේ මිතුරු හඳ හාමිට පවරමු
රෑ සරසන එක පොඩි හාවෝ
ඉතින් ඔන්න ඔහොම කතා වෙලා කවුරුත් ගැන හිතල, ඉර කැමති උනා රෑටත් පුංචි එලියක් ලෝකෙට දෙන්න. ඒකට තෝරගත්තෙ ලස්සන හඳ හාමි. හඳ හාමිට පණිවිඩයක් යවල ගෙන්න ගත්ත ඉර දෙවියො එයා පිරෙන්න එලිය දුන්නා. දීලා මෙහෙම කිවුවා.
"මම දහවල එලිය කරද්දි, හඳ හාමි ලෝකෙ අනිත් පැත්තෙ රාත්‍රියට එලිය ටිකක් දෙන්න. හැම මාසෙම එක දවසක එලිය ඉවර වෙනකොට මම ඔයාව ආයෙත් පුරවන්නම්"
හඳ හාමිටත් හරිම සතුටුයි. ලෝකෙට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දුන්න එකට ඉර දෙවියන්ට ස්තූති කරල හඳ හනිකට ගියා ලෝකෙ අනිත් පැත්තට එලිය දෙන්න.
හා පැංචලා ත් ඉරට ගොඩාක් ස්තූති කලා. ඉර දෙවියන් හාපවුල ගෙදරටම ගිහින් බස්සන්න කියල වලාකුලට කිවුවා.
එදා රෑ හරි ලස්සනයි. අහසෙ සුදු පාටට හඳ හාමි හිනා වෙවී හිටියා. වට පිටාව ඒ සුදු රැස් වලින් එලිය වෙලා. අහසත් හරිම ලස්සනයි. චිත්‍රයක් වගෙයි. පොළවේ කාටත් පුදුමයි. හැමෝම අහස දිහා බලන හංදා තරු වලටත් සතුටුයි. ළමයිනුත් ආසාවෙන් හඳ දිහා බලං හිටියා. හඳ ගැන, රාත්‍රිය ගැන හැමෝම කතා කලා. කවි සිංදු ලිවුවා.
ඉර දෙවියන් හඳ හාමිට කිවුව මේ අදහස අරං ආව පොඩි හා පවුලට තෑග්ගක් දෙන්න කියලා. හඳ හාමි තීරණය කලා හා හාමිලාව හැම මාසෙම හඳ වැඩියෙන්ම ඉර එලියෙන් පිරිල තියන දවසට වළාකුලකින් හඳට එක්ක එන්න. ඉතින් හා හාමිලාට හරිම සතුටුයි. එයාලගෙ උත්සාහය හංදා හැමෝම සතුටු වෙන විදිය හඳ හාමිත් එක්ක අහසෙ ඉඳන් බලද්දි වැඩියෙන්ම සතුටු උනේ පුංචි හා පැංචා.
ඉර දෙවියොත් මුලු ලෝකෙම සතුටින් ඉන්න හැටි දැකලා. බොහෝම සතුටු උනා.
Wednesday, July 16, 2014
ඔයා ලොකු ගෑනු ළමයෙක් නේ, ඉතිං බයවෙන්නෙ මොකටද? : ෆෙලීට ලියුමක් (Surely, a Big Girl Like You Isn't Scared : An Open Letter to Unhappy Feli.)
ආදරණීය ෆෙලී,
මේ දවස්වල ඔයා ගැන අහන්න ලැබෙන දේවල් මට නම් විශ්වාස කරන්නත් අමාරුයි. ඔයා දුකින්? ඔයාට අමතක උනාද ඔයාගෙ නම Felicita! ඒ කියන්නෙ සතුට! දෙපාරක්ම ඔයාගෙ මුරණ්ඬුකම හංද දත් දොස්තර ව දැනටමත් කේන්ති ගස්සල ඉන්න ඔයා හෙට ආයෙත් දත් දොස්තර මුනගැහෙන්න තියන එක ගැන දුකින්.
කොහොම උනත් ඒක තමා මට ඔයා ගැන අහන්න ලැබුන අලුත්ම ආරංචිය. ඔයාගෙ තාත්තා ඔයාගෙ මාමාට, ඒ කියන්නෙ මට එහෙම තමා කිවුවෙ. ඔයාගෙ තාත්තා බොරු කියන කෙනෙක් නෙවෙයිනෙ. එයා මට කීව විදියටනම් පරණ කරදරකාර වැඩකට නැති පුංචි කිරි දතක් ගලවන්නයි ඔයා දත් දොස්තර මුණගැහෙන්න ගියේ. පළවෙනි පාර ඒක ගැන හිතන්නවත් බැරි විදියට ඔයා බෙරිහන් දෙන්න පටන් අරන් තියනවනේ. දෙවෙනි පාරටත් පරණ දත එක්කම ආයෙ ගෙදර එන්න උනේ ඒ හොඳ දොස්තරට ඔයාට පොඩි කට්ටකින් අනින්න ඔයා කොහෙත්ම ඉඩදුන්නැති හංදනේ. ඒ හංදම තමා ඔයාට හෙටත් එතනට යන්න සිද්දවෙලා තියෙන්නෙ.
මැරුණ, පරණ, පොඩි කිරි දත ගැලෙවුවෙ නැත්තන් කොහොමද අලුත්ම, අලුත් ලස්සන සුදු දතක් ලැබෙන්න ඉඩ හොයාගන්නෙ. ඉතිං ඔයාට හෙටත් දත් දොස්තර මුණ ගැහෙන්න යන්න වෙනවා!
මට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ, ජීවත් වෙලා ඉන්න කිසිම සතෙක් කැමති නෑ උල් දෙවල් වලින් අනිනවට, රිදෙනවට. ඒ තියා, මං සුරතලේට ඇතිකරන බැල්ල, බෙලා උනත් එයා දන්න උප්පරවැට්ටි සේරම දානව එයාගෙ දොස්තර ගාවට යන එකෙන් හරි, බේත් විදින එකෙන් හරි බේරෙන්න. එදාට එයා කාර් එකෙන් බහින්නේම නෑ. උස්සගෙන හරි ගියා කියමුකො, මෙන්න එයා අර දොස්තරගෙ මේසෙ අස්සෙ රිංගගෙන! හොඳම හරිය එයා මලා වගේ රඟපාන්න ගත්තාම තමා. එයා හිතුවට අපි රැවටෙයි කියල, මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම කියල එකක් තියනව කියල ඌට තේරෙන්නෑනෙ. ඒකෙන් අපිට ඌව රවට්ටගන්න පුලුවං වෙනව විතරක් නෙවේ. ඒකෙන්ම තේරෙනවනෙ අපි සතෙක්ට වඩා වැදගත් විදියට හැසිරෙන්න ඕන වගේම, සමහර වෙලාවලදි ලොකු වේදනාවකින් බේරෙන්න විඳගන්න වෙන මේ පුංචි වේදනාව ඉවසගන්න ඕන කියල.

මං දන්නව ඔය මුකුත්ම නැති වෙන එකේ වාසිය තේරුම් ගන්න ඔයාට පොඩ්ඩක් වෙලා යනව කියල. ඒ හංදම තමා බෙලාට බේත් විදින එක එයාට ජලභීතිකාව හැදෙනවට වඩා කොයිතරම් ශෝක්ද කියල තේරුම් කරන්න බැරි. ඒක ටිකක් විකාරයි වගේනෙ. මං කිවුවෙ බල්ලෙක්ට ජලභීතිකාව ගැන කියල දෙන්න යන එක ටිකක් ඕනවට වැඩී වගේ හිතෙන්නැද්ද. ඒත් මිනිස්සුන් නම් ඒ ගැන පොඩ්ඩක් කාලෙ අරං හිතල බැලුවට කමක් නෑ.
ලොකු වෙන්න, ලොකු වෙන්න ඔය විදිලි වැඩි වෙන හංද, මං නම් හිතන්නෙ මිනිස්සු ඉක්මනටම ඒවට හුරු වෙන්න හිතුවොත් හොඳයි කියලයි.
දන්නවද, ඒ ඉඳිකටු අපේ ඇඟට ප්‍රතිජීවක, එන්නත් වගේම පෝෂක වගේ දේවල් දාන්න විතරක් නෙවේ, ඇඟෙන් දේවල් එලියට ගන්නත් පාවිච්චි කරනව කියලා? ලේ! ලේ පොඩ්ඩකින් පුලුවන් අපි කොච්චර නිරෝගීද කියල හොයාගන්න. මගේ ඔපරේෂන් එකට කලින් එයාල මගෙනුත් ලේ ගත්තා. මං ඒ ගැන කවියකත් ලිවුවා,
පිළිගනිමි ඔබව,
ලේ උරාබොන වැම්පයර් වරුන්ගේ
අඳුරු ගුහාවට !
එකෙක් මා ඇඟිලි තුඩු පිරික්සයි.
තවෙකෙක් කන්පෙති අතගා බලයි.
අයෙක් බාහුව ඌ සතු කරගද්දී,
අනේකා
"මේ නහරෙකින් උරා බොමි"යි සිතමින්
මගේ කකුලක් දෙස බලයි
කෑදරෙන්!
Welcome to the vampires' den!
Where they all suck blood.
One gets a fingertip.
one gets s earlobe.
one gets an arm.
And another spies a leg and thinks,
"I'd like to get at one of these veins!"

ඒක එහෙම සිද්ද උනොත් ඔයාට මාමාගෙන් තෑග්ගක් ලැබේවි. ඔයාට මොනාද ඕනි? ඒක අපි මුණගැහුනම කතාකරගමු කෝ.
එතකන්
රොබර්ට් මාමාගෙන්
ආදරේ ගොඩක්.
By Robert Gernhardt
Illustrations by Henning Wagenbreth
Gernhardt, R. (2003). Surely, a Big Girl Like You Isn't Scared An Open Letter to Unhappy Feli. Future - The Aventis Magazine, (2), pp.78-81.
.
Subscribe to:
Posts (Atom)