ඉස්සරම ඉස්සර කාලේ, රෑ කියන්නෙ බොහොම කලුවර වෙලාවක්. මුලු දවස තිස්සේම ඉස්කෝලෙ ගිහිල්ලා, පාඩම් කරලා, සෙල්ලම් කරලා හොඳටෝම මහන්සි වෙලා ළමයින් නිදාගන්න වෙලාව හංදා ඒ කලුවරේ තරම කිසිම ළමයෙක් දැකල තිබුනෙ නෑ. ඇත්තම කිවුවොත් ඒ කලුම, කලු කලුවරට ළමයින් බයවෙයි කියලා අම්මලා ඉර බැහැගෙන යද්දිම දරුවන්ව කවලා, පොවලා, පිරිසිදු කරලා නිදිකරවන්න පුරුදු වෙලායි තිබුනෙ.
හැබැයි වැඩිහිටියන්, රෑට කෑම හොයන් යන සත්තුන් විතරක් නෙවේ, රෑ බෝ වෙනකල් ඇහැරිලා උන්න ගොඩක් අය බොහොම දුකෙන් තමයි හිටියෙ. කොච්චර දුකද කියනවනම්, අහසෙ තිබුන තරු පොකුරු පවා පුංචි කඳුලු බිංදු හල හල ඇඩුවා. ඔයාල දන්නවනේ, තරු හරි පුංචියි, එයාලා රෑ කාලෙ කොහොම කලුවරේ ගෙවා ගත්තද කියල හිතන්නත් අමාරුයි.
ඉතින් ඔය වගේ බොහොම අඳුරු රැයක් සහ හරි ලස්සන දහවලක් තියන කාලේ, උසම උස කන්දක් පාමුල තිබුන ගුලක හරි හොඳ හා පවුලක් හරිම සතුටින් ජීවත් උනා. දවසක් උදේ පාන්දර කෑම හොයාගෙන එන්නම් කියලා හා හාමිනේත්, පුංචි හා පැටියත් ගුලේ නතර කරලා හා හාමි කැලෑවට පිටත් උනා. හා හාමිනේත් හා පැටියත් හා හාමි එනතුරු බලං උන්නා. දවල් උනා, හා හාමි තවම නෑ. හරිම බඩගිනියි. ඒත් දෙන්නා එක්ක මග බලා උන්නා. බලා ඉඳලා, ඉඳලා ඇඳිරි වැටෙන්න කිට්ටු වෙද්දි හා හාමිනේ මෙහෙම කිවුවා.
" අනේ පුතේ, තාත්තා තාමත් ආවෙ නෑ. දැන් ඇඳිරි වැටෙන්නත් ළඟයි. කැළෑවේ නපුරු සත්තුන් තාත්තට කරදර කරාවි. අපි හුලු අත්තකුත් අරං මගට යමු"
හා පැටියාත්, හා හාමිනේත් හුලු අත්තක් පත්තු කරන් කැළෑව පැත්තට ගියා. කැළෑවේ ඇතුලට ඇතුරලට ගියත් හා හාමි පේන්න හිටියේ නෑ. හුලු අත්ත නිවෙන්නත් ළඟයි. අඳුරත් වැඩියි. පුංචි හා පැටියා බය උනා. එත කොටම ළඟම තිබුන වලක් ඇතුලෙන් අනේ... අම්මේ.... කියලා කෙඳිරිලි හඞක් ඇහුනා.
"කවුදෝ කෙඳිරි ගාන සද්දයක් නේද ඇහෙන්නේ. තාත්තාට කරදරයක් වත්ද?" පුංචි හා පැටියා අම්මාගෙන් ඇහුවා.
"අපි විපරම් කරලා බලමු" හා හාමිනේ කිවුවා.
දෙන්නා එක්ක විපරම් කරලා බලද්දී හා හාමි වල ඇතුලේ කෙඳිරි ගගා ඉන්නවා.
හා පැටියා ඉක්මනටම වලට පිම්මක් පැනලා තාත්තාව අමාරුවෙන් නැගිට්ටුවා. හා හාමිනේ කොහොම හරි උඩ ඉඳලා හා හාමිව ඇදල උඩට ගත්තා. හා පැටියා උස පිම්මක් පැනලා ගොඩට ආවා.
හුලු අත්ත නිවෙන්න කලින් හා හාමිත් වාරු කරගෙන හා හාමිනෙත්, හා පැටියත් ඉක්මනටම ගෙදරට ආවා. හා හාමි කෑම සොයන් එද්දී බඩගිනි උන නරි නයිදේ කෙනෙක් එයාගෙ පස්සෙන් එලවන් ඇවිත්. නරි නයිදේගෙන් බේරෙන්න වලට පනිද්දී කකුල ගලක හැපිලා කැඩුන නිසා, උස පිම්මක් පැන ගන්න බැරිව හා හාමි වලේ හිර වෙලා. හා හාමි සිද්ද වෙච්ච දේ හාමිනේටත්, පුතාටත් කිවුවා.
එදා රෑ හා පැටියාට නින්ද ගියේම නෑ. ඒ තරම් කලුවරක් හා පැටියා කලින් දැකලා නොතිබ්බ හංදා එයා හොඳටම බයවෙලයි උන්නෙ. අනික කලුවර හංදා එයාලට වෙන කරදරත් එයාට මතක් උනා. රෑටත් පොඩ්ඩක් එලිය දෙන්න විදියක් තිබ්බානම් කොච්චර හොඳඳ. හා පැටියා හිතුවා. ඒත් කොහොමද ඒක කරන්නේ. හා පැටියා ඒ ගැන මුලු රෑම කල්පනා කලා. කොච්චර කල්පනා කලත් පාන්දර වෙනතුරුත් කිසි අදහසත් ආවේ නෑ. එතකොටම ඉර දෙවියන් කන්ද උඩින් හෙමීට පෑයුවා. හා ගුලටත් එලිය වැටුනා. එතකොටම හා පැටියාට අපූරු අදහසක් ඇවිත්,
"මං දන්නව කරන්න ඕන දේ, මං දන්නව කරන්න ඕන දේ" කියලා සතුටින් කෑ ගැහුවා.
හා හාමිනේත්, හා හාමිත් ගාවට ඉක්මනින්ම ගිහිල්ලා මෙහෙම කීවා.
" අම්මේ, තාත්ථතේ, ඊයේ රෑ වගේ කලුවරක් මම කලින් දැකල නෑ. ඒක හරි බය හිතෙන වෙලාවක්. ඒ මදිවට කලුවර හංදා අපිට කොච්චර කරදරද? මම ඊයේ මුලු රෑම කල්පනා කරලා හොඳ අදහසක් හොයා ගත්තා කලුවර නැති කරන්න."
" ඒ මොකද්ද " හා හාමිත්, හා හාමිනෙත් ඇහුවා.
"මම ඉර දෙවියන්ට කියනවා, රෑටත් එලිය දෙන්න කියලා!" හා පැටියා කිවුවා.
"එතකොට ඉර දෙවියන් විවේක ගන්නෙ කොයි වෙලාවෙද?" හා හාමි ඇහුවා!
"එතකොට බකමූණු රාළලා, වවුල් හාමිලා කෑම හොයන්නේ කොහොමද?" හා හාමිනේ ඇහුවා.
"අපිට ලේසියට අනිත් අය ව කරදරේ දාන්න හොඳ නෑ!" ඈ තවත් එකතු කලා.
හා පැටියාගේ කන්දෙක කඩා වැටුනා. ඇස් දුකට හීනි උනා. එයාට ඇඞෙන්නත් ආවා.
හා හාමියි, හා හාමිනෙයි පැත්තකට වෙලා පොඩ්ඩක් කතා කරගෙන පුංචි හා පැටියාට කතා කලා.
"පුතේ ඉර දෙවියන් මුණ ගැහිලා රෑටත් එලිය ඉල්ලන්න හිතුව එක ලොකු වීරකමක්." හා හාමි කිවුවා
"ප්‍රශ්න වලට උත්තරත් ඉර දෙවියන් ගාව ඇති. හොඳම දේ මුණ ගැහෙන්න යන එකයි."
හා පැටියාට පුදුම හිතුනා. දිග කන් ආයෙත් කෙලින් උනා.
"කොහොම උනත්, ඒක බොහොම අමාරු ගමනක්. අපිත් ඔයාට උදවුවට එන්නම්. අපි ඉර දෙවියන් මුණගැහෙන්න යමු."
හා හාමිනේ කිවුවාම හා පැටියාගේ ඇස් සතුටට ආයෙත් වටකුරු උනා. හා පැටියා සතුටින් උඩ පැන්නා.
එදා රෑ හා පවුලම එකතුවෙලා පහුවදා ගමන යන්න සූදානම් උනා. ඉර දෙවියන් පායන්නේ හා ගුල ලඟම තියන කන්දට එහා කන්ද මුදුනින්. දවල් වෙන්න කලින් ඉර දෙවියන් මුණගැහෙන්න නම් පාන්දරින්ම පිටත් වෙන්න ඕන කියලා හා හාමි තීරණය කලා. හා හාමිනේ මගදි කන්න පලා මිටියක්, ධාන්‍ය මුලක් සහ බොන්න කිරි බෝතලයක් සූදානම් කලා. පහුවදා උදේම නැගිටින්න ඕන හංදා තුන් දෙනාම වේලාසනින් නින්දට ගියා.
හා පැටියාට නම් නින්ද ගියේ බොහොම රෑ වෙලා. පහුවදාට යන්න තියන ගමන මතක් වෙද්දි එයාට හරි සතුටුයි. උදේම හා හාමි එයාව ඇහැරවද්දිත් ඉර දෙවියන් ගැන හීනයක් දකිමිනුයි එයා හිටියෙ.
කොහොම හරි උදෙන්ම තුන් දෙනාම සූදානම් වෙලා ගමන පිටත් උනා. පිණි කැට ඉර එලියට දිලිසෙන්න ගද්දි එයාල ගුල ලඟම කන්ද මුදුනට නැගලා හිටියෙ.
"උදේ කෑම කාල ඉමු" හා හාමිනේ යෝජනා කලා.
කෑම කන්න සූදානම් වෙද්දි එතනට ගෝන හාමි කෙනෙක් කිට්ටු උනා. අනේ මටත් කන්න දෙයක් දෙන්න ඌ හාවන්ගෙන් ඉල්ලුවා. හාවන් දුන් පලා සහ කිරි වලින් බඩගින්න නිවාගත්තු ගෝන හාමි ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් උනා. තවත් ටිකක් කන්ද උඩ ගිමන් ඇරපු හාවන් හනිකට කන්ද බහින්න පටන් ගත්තා. එයාලට කන්ද බහින්න පැයක් ගත උනා. කන්ද බැස්සාම දුටු දේ හංදා හාවන් බොහොම කලබල උනා.
අපොයි ලොකු දොළ පාරක් කඳු දෙක අතරින් ගලාගෙන යනවා. හාවන් පුංචියි. දොළට බැස්සොත් ගිලෙයි. මොකද කරන්නෙ කියලා එයාල හරියට දුක් උනා. එතකොටම එතනට ආවෙ කන්ද උඩදි මුණගැහුන ගෝන හාමි. හාවන්ගෙන් විස්තරය දැනගත්ත ගොන හාමි බොහොම සතුටින් උදවුකරන්න ඉදිරිපත් උනා.
"ඔයාල මට බඩගින්න නිවාගන්න උපකාර කලා. මටත් පුලුවනි ඔයාලට උදවු කරන්න. මම ඔයාලව මගේ පිට උඩ තියන් දොළෙන් එගොඩ කරන්නම්" කියලා ගෝන හාමි කිවුවා.
හා පවුලත් බොහොම සතුටින් එකඟ උනා. ගෝන හාමි එයාගෙ පිට උඩ හා පවුල තියාගෙන පහසුවෙන් දොළෙන් එගොඩ උනා.
හා පවුලට හරි සතුටුයි. ගොන හාමිට එයාලා ස්තූති කලා. ගෝන හාමිත් එයාලට සුබ පතලා ආපහු ගෙදර ගියා. දවල් වෙන්න කලින් හාවන්ට කන්ද උඩට යන්න පුලුවන් උනා.
ඉර පායන කන්ද මුදුන හරිම ලස්සනයි. පාට පාට මල් හැම තැනම පිපිලා තිබුනා. ඒ මදිවට හැම තැනටම ඉර එලිය වැටිලා දිලිසෙනවා. හැම දෙයක්ම හරිම ලස්සනයි, උණුසුම්. ඉර දෙවියන් ඉන්නෙ අහසෙ ඈත. එයා පොළවට ළං උනේ නෑ. රස්නෙ වැඩිඋනොත් හැමෝටම කරදර වෙනවට ඉර දෙවියන් කැමති උනේ නෑ. ඒ හංදා ඉර උන්නෙ පොළවට ගොඩක් ඈතින් අහසේ. ඉර දෙවියො ගාව කොච්චර එලිය ගොඩක් තියනවද කියනවනම් පොළවට එච්චර ඈතින් ඉඳලත් මුලු පොළවම එලිය වෙලා තිබුනා.
කන්ද උඩට ආව හාවන් දැකලා ඉර දෙවියෝ වලාකුලක් එයාලා ගාවට එවුවා. හා පැටියත්, හා දෙමහල්ලොත් වලාකුලට ගොඩ උණාම වලාකුල ඉරට ටිකක් දුරින් අහසට පා උනා. ඉරේ රස්නෙ හාවන්ට දැනුනා. ඒත්, වළාකුල සීතල හංදා රස්නය කරදරයක් උනේ නෑ.
ඉර දෙවියන් ලස්සනට හිනාවෙලා හා පැටියාට කතා කලා.හා පැංචා ගාවින් හා හාමිත්, හා හාමිනෙත් වාඩි වෙලා උන්නා.
"ඉතිං පුංචි පැටියෝ, මං දැක්කා එහා කන්ද පාමුල ඉඳන් මාව මුණ ගැහෙන්න පාන්දර ඉඳන්ම ඔයා එනවා. හදිස්සියේම මොකද මාව බලන්න ආවේ" ඉර ඇහුවා.
"ඉර දෙවියනේ අපට රෑටත් එලිය දෙන්න" හා පැංචා ඉල්ලුවා.
ඉර
ඒක කරන්නේ කොහොමද පැංචෝ
ලෝකය රවුමක් දන්නවදෝ
මෙහාට දහවල- ඒ පැත්තේ රැය
එහෙටත් දහවල දිය යුතුනේ
හා පැංචා
ආ හරි පුදුමයි ඉර නිදියන්නෑ
වෙහෙස නැතිද කියලා දෙන්නේ
පැය විසි හතරම එක දිගටම වැඩ
නොනිදා කොහොමද ඔබ ඉන්නේ
ඉර -
ඉරට වෙහෙස නෑ ඉර දෙවියොයි මම
සොභාදහම එහෙමයි මැවුවේ
කාටත් උදයක්, දහවලක්, රැයක්
ලබාදෙන්නටයි මා මැවුවේ
හා පැංචා
ඉර දෙවියෝ හරි කරුණාවන්තයි
මා කියනා දේ අහන්නකෝ
රැයක් එපා උදයක් විතරක් ඇති
රෑ හරි කලුවර යකෙක් වගේ
ඉර
ඉරට වගේ බෑ අනික් ඈයොනට
නින්ද ඔයාලට ඕනාවේ
බකුසු රාළලා වවුල් හාමිලා
රෑටයි කෑම සොයා යන්නේ
හා පැංචා
මට තේරෙනවා රෑ -දහවල දෙක
කාටත් සම ලෙස ඕනා වේ
ඒ උනාට අර කලුවර වෙනුවට
එලිය බිඳක් ලැබුනොතින් අගේ
ඉර -
කලුවර වැඩි හංදා හරි කරදර
මට තේරෙනවා හා පැංචෝ
මගේ මිතුරු හඳ හාමිට පවරමු
රෑ සරසන එක පොඩි හාවෝ
ඉතින් ඔන්න ඔහොම කතා වෙලා කවුරුත් ගැන හිතල, ඉර කැමති උනා රෑටත් පුංචි එලියක් ලෝකෙට දෙන්න. ඒකට තෝරගත්තෙ ලස්සන හඳ හාමි. හඳ හාමිට පණිවිඩයක් යවල ගෙන්න ගත්ත ඉර දෙවියො එයා පිරෙන්න එලිය දුන්නා. දීලා මෙහෙම කිවුවා.
"මම දහවල එලිය කරද්දි, හඳ හාමි ලෝකෙ අනිත් පැත්තෙ රාත්‍රියට එලිය ටිකක් දෙන්න. හැම මාසෙම එක දවසක එලිය ඉවර වෙනකොට මම ඔයාව ආයෙත් පුරවන්නම්"
හඳ හාමිටත් හරිම සතුටුයි. ලෝකෙට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දුන්න එකට ඉර දෙවියන්ට ස්තූති කරල හඳ හනිකට ගියා ලෝකෙ අනිත් පැත්තට එලිය දෙන්න.
හා පැංචලා ත් ඉරට ගොඩාක් ස්තූති කලා. ඉර දෙවියන් හාපවුල ගෙදරටම ගිහින් බස්සන්න කියල වලාකුලට කිවුවා.
එදා රෑ හරි ලස්සනයි. අහසෙ සුදු පාටට හඳ හාමි හිනා වෙවී හිටියා. වට පිටාව ඒ සුදු රැස් වලින් එලිය වෙලා. අහසත් හරිම ලස්සනයි. චිත්‍රයක් වගෙයි. පොළවේ කාටත් පුදුමයි. හැමෝම අහස දිහා බලන හංදා තරු වලටත් සතුටුයි. ළමයිනුත් ආසාවෙන් හඳ දිහා බලං හිටියා. හඳ ගැන, රාත්‍රිය ගැන හැමෝම කතා කලා. කවි සිංදු ලිවුවා.
ඉර දෙවියන් හඳ හාමිට කිවුව මේ අදහස අරං ආව පොඩි හා පවුලට තෑග්ගක් දෙන්න කියලා. හඳ හාමි තීරණය කලා හා හාමිලාව හැම මාසෙම හඳ වැඩියෙන්ම ඉර එලියෙන් පිරිල තියන දවසට වළාකුලකින් හඳට එක්ක එන්න. ඉතින් හා හාමිලාට හරිම සතුටුයි. එයාලගෙ උත්සාහය හංදා හැමෝම සතුටු වෙන විදිය හඳ හාමිත් එක්ක අහසෙ ඉඳන් බලද්දි වැඩියෙන්ම සතුටු උනේ පුංචි හා පැංචා.
ඉර දෙවියොත් මුලු ලෝකෙම සතුටින් ඉන්න හැටි දැකලා. බොහෝම සතුටු උනා.
අනේ ...
ReplyDeleteහරි අපුරු කතාවක්...
හරිම ලස්සනයි....
සුරංගනා කතාවක් ලියන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන නේද...
ඇත්තටම අපූරුයි
මේක දැක්කෙ දැන් නෙ. අනේ දුවේ මේක දාන්නකො පුංචිත්තා එකේ , පොඩ්ඩන්ට බලන්න.
ReplyDeleteඅනේ හරි ෂෝක් කතාවක්.
ReplyDeleteShook kathaawak
ReplyDelete