Friday, October 28, 2011

නූපන් නිමේෂෙක - හීනත් පිපෙනකල





අනන්තය ....
කොතැනින් නිමා වේදැයි නොදැන
තෙරක් නොපෙනෙන දුර අවකාෂෙ පුරාවට
එකතුකල මතක ඉම
නුඹ තාරුකාවක්ය,
පෙනුනත්, නොපෙනුනත්
හැමදාක එහි රැඳෙන....,
ගෙවී ගිය අතීතයෙ,
දවස් කොතරම් වේද
හැඞූ කඳුලැල් සේම සිනහ මල් අහුරු ළඟ
ළඟින් හෝ දුරින්වත්
නුඹත් උන්නා නිඹඳ....,
හෙටක් ළඟ....
දේදුන්නේ මොන පාටදැයි නොදත්
නූපන් නිමේෂෙක - හීනත් පිපෙනකල
ගැහෙන හද ගැස්මෙ ස්වර
තාල හැඳිනුවා නුඹ
ගැයුවත්, නොගැයුවත්
හිතේ සනිටුහන් කර....
කියන්නේ කෝම මම
මිතුදමේ අරුණැල්ල
එලිය කලයුරු මසිත
වචන සීමිත ලොවක
කීවත්, නොකීවත්
අහන් ඉන්නා හිතට
දැනෙන බව දනිමි මම
හඳුනනා බව නුඹද....

2011.10.16

Wednesday, October 26, 2011

අතීතය එතරම්ය




අර අහසෙ පාට කොතරම්ද
සත් වසක අතීතය එතරම්ය
ඇහි පියන් වසාගත් නිමේශෙක
නොපෙනී වහං උන පැහැද ඇත

දඟකාර දෙනයනට එබෙමි මම
අතීතයෙ බිඟු සරින් පොපියවෙන
මොහොතකට කලබලව සිඹිමි හිත
හදිසියේ උණුහුමක සුසුම විඳ

පැටලිච්ච අතැගිලිම තුරුලු කර
මදහසින් විමසූව පැණය කිම
හුස්මක් පිඹින්නට ඉසිඹු ගෙන
සිලිලාර හෙටක් ඇත නූපන්න

මල් පාර පෙති විසුල සුවඳ ඇත
නටු අතරෙ හැංඟිච්ච කටුද වෙත
රුහිරු බිඳු තැවරිච්ච හදවතට
සොඳුරු සුව රැගෙන එන ඇඳුරු ඔබ

2011/10/27

Monday, October 10, 2011

අපේ පුතා හරිම හපං




ගෙඹි හාමී මේ අහන්න
එපා ඉතිං කෑ ගහන්න
පුංචි පුතා හොඳයි බෝම
බයි සේරොම කනව ඔන්න

කණාමැදිරි පාවෙන එලි
අල්ලන්නට අත දිග මදි
තව කටකින ලොකු වෙතහැකි
එදාට නුඹ අල්ලතහැකි

අන්න පුතේ හඳ හාමී
තරුත් එක්ක එයි පාවී
කිරියි පැණියි ගෙන ඒවී
බත් පිඟාන ඉල්ලාවී

හනිකට මේ බත් කන්නේ
පිඟාන හිස්කර දෙන්නේ
හඳෙන් ගෙනා කිරියි, පැණියි
පිඟානෙ පුරවා ගන්නේ

අන්න අතන පූස් බබෙක්
මකුලු රාළ එක්ක ඇවිත්
හා හා! මේ හොඳ දරුවෙක්
ඔන්න කෑව හබුං කටක්

දඟ බෝලේ මේ බලන්න
සෙල්ලම් හාවට පෙනෙන්න
කෝ බලන්න කට අරින්න
හාවට කලියෙන් දිනන්න

අපේ පුතා හරිම හපං
බත් සේරම කනවනෙ දැං
කැරට්, මාලු, බත්, පරිප්පු
අඳුරනවා ඒවයේ නම්

හබුං කටයි බත් දෙකටයි
පුතාට ආදරේ ගොඩයි
හිනා පිරුණ රෝස මුවයි
පුංචිත්තා මිදුලෙ දුවයි

Tuesday, October 4, 2011

මිනිහෙක් දඩයමේ (අනේ පවු!)




පොතක් ලියු
'මිනිහා'
ගහක් ද පැල කර

දඩයමක 
රහසිගත
'වදන්නට පුතෙක්'

'බිරිඳැයි' කියන
ගැහැණිය
වැදුවේම 
'දූවරු'
කරුමෙට

ඉතින්
ඔහු
දඩයමක 
(රහසිගත)

'පරිපූර්ණ'
පිරිමියෙක් වන්නට

'මූසල ගෑණු'
ඔක්කොටම මුල

(අනේ පවු!)