Monday, November 19, 2012

දැක, දැන අර ලොව ගැන පිපෙන්න මානෙල් මල......



ඉර කුමරුගෙ පාට වැටිල
මල් කුමරියො පිබිදෙනවා,
ඊට කලින් අපේ පුතා
පාන්දරින් නැඟිටිනවා......

උදේ සීත මකන ගමන්
ලිපේ බතක් ඉදවෙනවා,
ආච්චි අම්මා අදනම්
ආදර කිරිබත් උයනව......

පුතු වටකරගෙන හැමෝම
හාදු දෙන්න පෝලිමේය,
අද නම් හරි අපුරු දිනක්
පුතුගෙ මුවේ සතුටු මලක්......

සමනළයෙක්, මී මැස්සෙක්
ඒ මදිවට ගිරා බබෙක්,
මිදුලේ හිඳ ගයති රඟති
අද මොකදැයි අරුම ලෙසින්......

පුංචි පූස් පැටවු ටිකක්
කොහේද හිඳ දුව ඇවිදින්,
පුතු දැක පා දඟර නැටුම්
සුභ පැතුවා සතුටු හිතින්......

මොක්ද මේ කලබලේ
හරි හරි දේ මෙහි වෙතේ,
පුතු ඉපදුන දිනයනේ
සමරන්නේ සතුටිනේ......

ආදර හාදුත් තැවරුන
පොඩි මූනේ හසරැලී,
කාගෙත් හදවතේ පිරුණ
සුභ පැතුමකි හිරු වැනී......

පුතු ටික ටික ලොකු වෙනවා
දවසක තුරුණෙකු වෙනවා,
හොද දරුවෙකු ලෙස පියකරු
හෙට දින ජය ගෙන එනවා......

අපි හෙට වයසට යනවා
පුතු දැක හිත සැනසෙනවා,
සෙනහෙ සිහිල ලබන පුතා
මැණිකක් සේ බැබවලෙනවා......

අහන්න සුරතල් පුතේ
නුඹ නොදුටුව ලෝකයේ,
ගෙවෙනා මොහොතක් ගානේ
අලුත් දෙයක් බිහිවෙතේ......

අනාගතේ දවසක
ලොව දකීවී පුත නූඹ,
අපි ළඟ නැති මොහොතෙද
හිත සෙනෙහස නුඹ ළඟ......

අකුරු, ඉලක්කම් ලියා
දැනුමෙන් සවිමත් වෙලා,
කියා දුන්න ආදරයත්
රැකගන් හදෙහී හොවා......


ජීවිතයේ ලස්සන
කවි අතරෙත් කටු ඇත,
රිදුම් දෙවන මොහොතක
දිරිය වේවි සෙනෙහස......


ඔය ලස්සන හිනහව
වටින්නෙ හෙටටයි පුත,
දැක, දැන අර ලොව ගැන
පිපෙන්න මානෙල් මල......

2012/09/19

1 comment:

  1. අද දවසේ සිනා රැල්ල....හෙට දිනයෙත් පවතීවා......
    හෙට ලොකු මිනිසෙක්ම වෙලා....හොද ගුණ දම් රැද වේවා...
    කටු කොහොලින් පිරුනු මගේ....ඉදිරියටම ජය වේවා...
    උපන්දිනේ සතුට අරන්....හෙට ලෝකය සුබ වේවා....

    happy b'day methnula baboooooo..... :*

    ReplyDelete