Thursday, November 22, 2012

පාසල් ගමන.....

Add caption


ආයෙමත් පුංචි පුතා ගැන කතාවක්! 
ඒ තරම් පුංචි දරුවෙක් ගැන මේතරම් ලියන්න දේවල් තියන එක කොහෙත්ම පුදුමයක් නෙවේ. 

නොහිතු විදියට......

හම්.... අපි හිතන් උන්නෙ එයාව ජනවාරියෙ ඉදන් පෙර පාසලකට ඇතුලත් කරන්නයි. ඒත් ඉතින් (නිළ වශයෙන්) අකුරු කියෙවුව දවසෙ ඇතුලත් කරන්න ඕන කරන  රාජකාරි ටික පිළිවෙලක් කරගන්න පුංචි පුතා එක්කම අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි ගියා ඉස්කෝලෙට. ඒ පහුගිය සැප්තැම්බර් මාසෙ 27 වෙනිදා. ඉතින් එයා ඉස්කෝලෙට එදා යන බව දැනගෙන අකුරු කියවන්න ඇඳපු 'ලොකු ඇඳුම' ( ඒ එයා ගමන් අඳින ඇඳුම් වලට දීපු නම) යි, බාප්ප තෑගිදුන්න  ටෙඩියෙක් මහපු පොත් මල්ලයි මොනම හේතුවක් නිසාවත්, ඒ කියන්නෙ කක්ක දාන්න වගේ නොවැලැක්විය හැකි හේතුවක් නිසාවත් ගලවන්න අවසර දුන්නෙ නෑ! ඒකට තමා ඉතින් උනන්දුව කියන්නෙ. 

කළමනාකාර තුමයි, විදුහල්පති තුමයි, අදාල වයස්කාණ්ඩය (ECCE 2+) භාර ප්‍රධාන ආචාරවරියයි, පුතාට අදාල පංතිය භාර ප්‍රධාන ආචාරවරියයි,පුතා පිරිවරාගෙන ප්‍රශ්න අහන්න පටන් අරං. හරිම උනන්දුවක් තමාලු ඒක. කොහොමත් පුතා බොහොම ආසාවෙන් උන්නෙ ඉස්සරහ ගෙදර රන්දිනු, රනුති, සඳිති අයියල අක්කල වගේ ඉස්කෝලෙ යන්න. කොටින්ම එයාට කේන්තියක් වගේ අපභ්‍රන්ස හිතුවිල්ලක් හිටි හැටියෙ පහළ උනාම එයා අපිට බොහොම  බැරෑරුම් විදියට තර්ජනය කලෙත් " පුතා ඔයාව දාල ඉස්කෝලෙ යනව"  කියලයි! ඒක හරි දුක හිතෙන දඩුවමක්! විශේශෙන්ම ආච්චි අම්මට! පුතා නැති තප්පරෙත් පැයක් වගේ හන්දයි. 

කොහොම හරි ඉස්කෝලෙ කට්ටිය එක්ක කතාව දාගෙන ඉඳල, මෙන්න ! ටිචර් ගෙ අත අල්ලන්  පුතා පංතියට ගිහින්. අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි හොරෙන් බලා ඉඳලා. පොත් මල්ල පුටුවෙ එල්ලල, පුංචි පුටුවෙ වාඩි වෙලා. ටීචර් පුතාගෙ අල්ලෙ රෝසපාට සායම් ගානවලු. පුතා බොහොම ආසාවෙන් බලා ඉන්නවලු ( මම එයාට අවුරුද්දක් පිරෙන්නත් කලින් එයාගෙ අල්ලෙයි පතුලෙයි, මඩ තලියක් උලලා ඒක කොලේකට ගත්තෙ හරිම අමාරුවෙන්..... එයාග අම්මට හොරෙන්, ආච්චි අම්මාගෙන් බැනුම් අහමින්, ලොකු පුංචි 'එපා අනේ පවු' කියද්දි ඒ මදිවට මේ පුතා බෑඟිරි ගහ ගහ අඩද්දි!)

ඒ දවස්වල ඉස්කෝලෙ ඔක්තෝඹර් පළමුදාට යෙදෙන ලෝක ළමාදිනේට සූදානම් වෙනව. ඉතින් එලියෙ දරුවො නැටුම් පුරුදු වෙනවලු. අත් හෝදගත්ත පුතාත් ටීචර්ගෙ අතත් අල්ලගෙනම අර දරුවො වගේ නටන්න ගත්තලු. අන්තිමේ මේ වික්‍රම වල ප්‍රතිපලයක් හැටියටත්, පුතාගේ බලවත් ඉල්ලීමයි - උනන්දුවයි මතත්, එයා ඔක්තෝඹර් පළමුදා ඉදන් ඉස්කෝලෙ යවන්න අපි තීරණය කලා. 

ඇත්ත.... කෙනෙක් කියාවි, 'අනේ තාම චූටි දරුවෙක්නෙ' කියල. මොහොතකට අපිටත් එහෙම හිතුන. පුංචි නිළ ඇඳුම්, සපත්තු දකිද්දි..... ඔක්තෝඹර් පළමුදා පාට ඇඳුමින් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා කිරි බෝතලෙන් බොද්දි..... ඇස්වලට කඳුලුත් ආවා. ඒත්, චූටි පුතා දැඩිලෙස ඉල්ලා හිටිය ඉස්කෝලෙ යන්න උවමනා බව එයාට. අනික තව දරුවො එක්ක මුහුවෙලා ගත කරන්න ලැබෙන වෙලාව..... ඒ අත්දැකීම අපෙන් එයාට ලැබෙන්නෙ නෑ. හෙම්බිරිස්සා ගතිය තිබුන එකම එක දවසක් විතරක් ඇරෙන්න කවදාවත් එයා ඇඬුවෙ නෑ. දවල් 12 වෙද්දි එයා අපේ තුරුලෙ. අපේ ආදරය විතරක්ම නෙවේ සම වයසේ සමාජ ඇසුරත් එයට උවමනයිනෙ.


පාසල් ගමන.....

පුතා කොහොමත් උදෙන් නැගිටිනව. පාන්දර 4.00 - 6.00ත් අතරෙ එයා නැගිටිනව. පලවෙනි දවසෙ කිරි බීල ගියත් අරං ගිය කෑම ටිකෙන් චුට්ටක්වත් නොකා ආපහු අරගෙන ආව හංද අපි තීරණය කලා බත් ටිකක් කවන්න උදේට. පාන්දර 3.00ට විතර කිරි ටිකක් බොන හංදත්, ඒ අතරට අම්මගෙනුත් කුක්කු ලැබෙන නිසත්, උදේ කිරි එක ඉතිරි කරන නිසත්... අපි බත් වලට ආදේශ උනා.....

ඉතින්.... ඒක හරි සෙල්ලමක් වගේ.... කොහෙත්ම යුද්දයක් නම් නෙවේ.....

උදේ බත් ඉදෙන අතරෙ නැගිටල එන පුතා අම්ම ගාව පුං චිපූස් දරුවෙක් වගේ දැවටි දැවටි ඉන්නව ටික වෙලාවක්... 6.00ට විතර තමයි අපි බයි කන්නෙ. ඒ වගේ ටිකක් කම්මැලි එපා වෙන වැඩ වලට පොඩි උත්තේජකයකුත් ඕන. EGB වගේ....

ඉතින් අපි එක්කො පාරෙ ඉන්න බවුවන්ටයි පූවන්ටයි කතා කරනව, නැත්තන් කෑම හොයන කුරුල්ලොයි ලේනොයි එක්ක සිංදු කියනව, සමහරදාට Cricket හරි, දිය-ගොඩ-සැමතැන හරි , අල්ලන සෙල්ලම් හරි කරන්නත් වෙනව.... වැස්ස දවසක Cap එකත් දාගෙන අපි බෝට්ටු යවනව.... ඒ මුකුත්ම නැත්තන් ආච්චි අම්ම බන අහන තැනට වෙලා බන අහන ගමනුත් අපි බත් කනව. පුංචිට අලුත් කතාවක් හදාගන්න පුලුවන් උනාම කතන්දර අහ අහ බත් කනව. කොහොමහරි බත් ඔක්කෝම කනව අපි. ඊට පස්සෙ ඇග හෝදන් ලෑස්තිවෙලා ඉස්කෝලෙ යනව. 

ඊට පසසෙ කක්කි දාන්න වාඩි උනාම තමා ඉතුරු වැඩ. එයා තාප්පෙන් මේ පැත්තට වැටිල තියන උණ අත්තක එල්ලිල තියන පොල් කට්ටක් එක්ක කයියක් දාගෙන එයාගෙ රාජකාරිය කරගන්නව පාඩුවෙ. . ඒ අතරෙ තමා කෑම පෙට්ටිය බෑග් එකට ගිහින්, වතුර බෝතලේ ලෑස්තිවෙන්නෙ. 

ඊට පස්සෙ අර චූටි දත් ටික මදින වැඩේ!. බේසමට  වතුර පුරවනකල් එයා අතට දත් බුරුසුව දුන්නට මොකද, එයා කරන්නෙ එකම පැත්තක් මැදගෙන මැදගෙන ගිහින් සේරම tooth past ටික තුහඃ ගාල බිම දාල ඒත් ඉතුරුවෙන ටික රස කරල ගිලින එක තමයි. හිහ්! මෙදා පාර  tooth past එක Mixed Fruit රසයි. කලින්පාර එක Strawberry රස තිබ්බෙ. :)

ඊට පස්සෙ තමා අපි දත් මද්දන්නෙ. එයාගෙ අම්මයි, තාත්තයි දත් මද්දන දවසක නම් පොඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන්න වෙන්නෙ එයාල හරිම ක්‍රමේට දත් මදින්න දන්නැති හංදයි!

ඒක මෙහෙමයි.... ඉස්සරහ දතුයි, දත්වල පිට පැත්තයි මදිද්දි 'ඊඉ, ඊඉ, ඊඉ,ඊ!' කියල කියන්න ඔන, ඇතුල මදිද්දි 'ආඅ, ආඅ, ආඅ, ආ!' කියල කියන්න ඔන... ඒක කියන්න ඕන අර කවියෙ තාලෙට

 'This is the way we brush our teeth.... Brush our teeth, brush our teeth..' 

මේක සමූහ ගායනයක් පුතයි මමයි තමා සමූහය...එතකොටයි දත් දිලිසෙන්න මැදෙන්නෙ. ඊට පස්සෙ දිව මදින්න ඕන... අර අත්හෝදන add එකේ වගේ එතකොට පුතා දිව එලියට දාගෙන ඉද්දි මද්දන කෙනා මෙහෙම ගයන්න ඕන....
 'මෙතන ඉඳන් මෙහෙම මෙහෙම, මෙතන ඉඳන් මෙහෙම මෙහෙම....' 

 හරි! අපි දත් මැදල ඉවරයි....

ඊට පස්සෙ අපි ඇග සෝදන්න ඕන. දැන් මූනෙ සබන් ගෑවට  එයා බය නෑ. ඒව තමා ඒ වගේ පුංචි දරුවෙක් ලබාගන්න ජයග්‍රහන. ඒව ලොකු ජයග්‍රහන ඒ වයසෙ දරුවෙකුට!

ඇඟ හෝදන්න උණුවතුර දැම්මට පස්සෙ එයාට ඒ කේතලේ ඇරල පෙන්නන්න ඕන. ඒක ඇතුලෙ තියන දඟර ගැහුන Heater එකෙන් තවමත් දුම් දාද්දිම..... ඊට පස්සෙ සුපුරුදු ප්‍රෂ්න ටික....

ඔන්න වතුර දැම්ම බේසමට....

පුතා : කෝ .....මට පෙන්නන්න (මම කේතලේ පියන ඇරල පෙන්නන්න ඕන)
පුතා : Smoke එකක් එනව මේ..... ම්ම්.... (වාශ්පයේ සුවඳ බලයි, ඇතුලත ඇති Heater එක දකියි ) ඒ මොකද්ද ඒ?
මම : ඒ Heater එකනෙ පුතා.....
පුතා : ඈ.... Heater  එක (මේ වෙලාවට බලන්න ආසයි. කට ඇරගෙන, ඇස් ලොකු කරගෙන)
මම : ඒ Heater එකනෙ පුතා.....ඒකෙන් තමා වතුර Heat උනේ.
පුතා : Heat උනේ.? ඒ කොහොමද  Heat වෙන්නෙ?
මම : අපි Kettle එකට වතුර දාල වහල, ඒක Plug එකට හයි කරලා Switch on කලාම Current එක ඇවිත්    Heater එක Heat වෙනව. එතකොට වතුරත් Heat වෙනව. 
පුතා : ආ... එතකොට අර Orange Color light එක නැති වෙනව... හරී!


සේරම තේරුනා. ඒත් ඔය වචන ටික ඔහොම්මම ආයෙත් හුවමාරු වෙනව ඊළඟ දවසෙත්, ආයෙත් ඊළඟ දවසෙත්.... ඇග හෝදවන්නෙ මම නම්!

ඊට පස්සෙ ඇඳුම් අඳිද්දි.... එකම එක ඉල්ලීමක් පුතාගෙන්
 'පුංචියේ අපිට colon එපා නේ?!'
අපි colon පොඩ්ඩක් කමිසෙ එල්ලන ලේන්සවට හොරෙන් දානව ඉතින් :)

ඊට පස්සෙ ආච්චි අම්මට වැඳලා, සීයගෙ Photo එකටත් වඳිනව. බුදු හාමුදුරුවන්ටත් වඳිනව.එයා තමයි තනියම එයාගෙ වතුර බොතලෙයි පොත්මල්ලයි අරන් යන්නෙ.....ඊට පස්සෙ 7.15 වෙද්දි අපේ පොඩි පැංච පිටත් වෙනව ඉස්කෝලෙට.....

ඉතින් ඊට පස්සෙ.....

දැන් මාස එකහමාරක් වගේ.....එයා ඉස්කෝලෙ යනව.. අපි කියල දීපු කවි කතා වගේම, අලුත් කවි කතාත් එයා ඉගන ගන්නව. තනියම කෑම පෙට්ටිය ඇරගෙන කන්න, පාට අඳුරගන්න, යාලුවො එක්ක සෙල්ලම් කරන්න (වලි දාගන්න) Mango Juice හදන්න. ඇට වර්ග පොත්වල අලවන්න.....එයා හරි ආසයි...

ටීචර්ලත් එයාට හරි ආදරෙයි....තාම මේ 2+ පුංචි දරුවො. ඇදුමෙ චූ යනව වගේ අකරතැබ්බ වෙන්න පුලුවනි. ඒකයි අමතර ඇදුමක් නිතරම පොත් මල්ලෙ තියෙන්නෙ. ජයග්‍රාහී ලෙස අපේ පුතත් එකමෙක දවසක් ඒක ප්‍රයෝජනේට අරං තිබ්බා. 

එයාගෙ ටීචර්ගෙන් තිබ්බ එකම පැමිණිල්ල කෑම කන්නෙ නෑ කියන එක. මුලින් මුලින් කෑම පෙට්ටිය එහෙම්මම ආපහු අරගෙන ආව අපේ පොඩි චන්ඩියා.

 'මෙයා හරි හිමින් කන්නෙ'

 ටීචර් එහෙම කිවුවා. අපි සති 2-3ක ඉඳන් කරපු පර්යේශන වලින් හොයාගත්ත එයා පානුයි, Strawberry Jam යි තමා කන්න ප්‍රිය කියල. උදේට බත් කාල යන නිසාත්, දවල් 12.00 වෙද්දි ගෙදර එන නිසත් පානුයි, Strawberry Jam යි නරක නෑ. එයා ඒව සේරම දැන් කනව. 

19 වෙනිද පුතාට අවුරුදු 03 පිරුණා. teddy bear cake එකක් උස්සගෙන ගියා යාලුවන්ට. යාලුවො හැමෝම එක්ක Cake කපල කාල. ඒ පින්තූර වල ඉන්න එයාගෙ යාලුවො හැමෝගෙම නම් එයා දන්නශවා. ඒක ලොකු දෙයක් ඒ වයසෙ දරුවෙකුට...

ඒ ගුරුවරුත් හරි අගය කලයුතු පිරිසක්... එයාල අහනව අපි කියල දෙන නැටුම්, සිංදු ගෙදරදි කියනවද කියල. ඒක එයාලට සතුටක්....  එයාල දරණ මහන්සිය, මේවගේ දරුවො ගොඩක් එක්ක... ඒක දැනුනෙ අපි පුතාලගෙ වර්ශ අවසාන විවිධ - ප්‍රසංගය බලන්න ගියාමයි...
ඔවු විවිධ-ප්‍රසංගයක්.... පුංචි පුංචි දරුවන්ගෙ... අපේ පැංචත් නැටුම් 2කටම උන්නා.... ඒක වෙනම ලියා තැබියයුතු මාතෘකාවක්... ඒ පුංචි දරුවන් වගේම..... මහන්සියෙන් ඒ විවිධප්‍රසංගය යතාර්තයක් කරපු ඒ ගුරුවරුන් වෙනුවෙන්.....

ඉතින්... අපේ පොඩි පුතා... සමාජ ඇසුර ත් ලබමින් ලොකුවෙනව..... මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සටහනක් වෙන්න පලුවනි තමා.... දරුවෙකුගෙ මේ එක එක කඩඉම්.... ඒක හරි  සුන්දර අත්දැකීමක්..... හරිම සුන්දර අත්දැකීමක් ! 

පුතේ අපි ඔයාට ආදරෙයි හුඟාක්!

3 comments:

  1. අනේ අපේ චූටි පැටියටත් දැන් අවුරුද්දක්.
    දුව , මුලින්ම වාසනාවන්ත නිදුක් නීරෝගී උපන් දිනයක් වේවා! කියල චූටි පැටියට මේ ආත්තම්මත් සුබ පතනවා ඔන්න.

    හරිම් සොඳුරු සටහනක්. හැම දවසක්ම අළුත් පොඩි පැංචෙක් ඉන්න කොට.
    සුබ පැතුම්! ඔයාටත් පුංචි ගෙ බ්ලොග් එක ලොකු උනාම කියවයි නෙ පැටියා.

    ReplyDelete
  2. හුරතල්නං තමා..ඒත් ළමයෙක් ළමාකාලය මේ තරම්ම ඉක්මනට එයාගෙන් උදුරා ගැනීමනං..අනේ මංදා..කැමති විදියකට හිතා ගන්න... අවුරුදු 3නේ උපන්දිනේ සමරද්දී ඉගෙනගන්න යවනවා කියන්නේ..?

    ReplyDelete
  3. සුන්දර අත්දැකීමක්..

    ReplyDelete