Tuesday, June 28, 2011

තරම



"මේ..... තරම්!"

චූටි පුතාගේ ආදරේ ඒ තරම්.

මට පුලුවන් තේරුම් ගන්න. 'ඒ... තරම්' ආදරේ කොයි තරම්ද කියලා. ඕක සීයේ, දාහේ ගුනාකාරවලින් වැඩි කරගත්තම තමා උත්තරේ එන්නෙ. ඌ කියන්නෙ ඌට තේරෙන තරමට. උලුවස්ස යට හරි මැද්දට වෙන්න හිටගෙන අත්දෙක දෙපැත්තට දික් කලාට කොච්චර දහිරිය දැම්මත් අල්ලගන්න බැරි තරමට එකපාරට උලුවස්සෙ දෙපැත්තම ඌ තාම පුංචි. ඌට තේරෙන්න ඇති ඒ මිම්ම මදි කියලා. ඒක තමා අත් දික් කරලා දෙපැත්තට ඇගිලිත් හරි කෙලින් තියාගන්නෙ. එතකොට ඒ ආදරේට සීමාවක් නෑනෙ. කොහේහරි කොහේම හරි මටවත් පේන්නෙ නැති තැනක තමා ආදරේ තරම පෙන්නන තැන තියෙන්නෙ.

ඒකත් හරි අපූරු වැඩේ.

'ආදරේ තරම'

ඇගිලි අගිසි දිගේ කොහේ නතරවෙනවද කවුද දන්නෙ. මොකො ඔය අතර මඟ ගස්, ගල්, ගෙවල්, එවුවා - මෙවුවා කොයි තරම්ද? සමහර විට මනුස්සයෙක්ගෙ ඇඟේ උන්ත් ඔක වදින්න පුලුවන්. හුහ්! එතකොට හරි වැඩේ! 'ආදරේ තරම' බොහොම පුංචි ඇබිත්තං එකක් වෙනනත් බැරි නෑ බාගවෙලාවට.

ඒ උනාට ඌ එක විදියට ඉන්නවද තප්පරයක්.  ඌටනෙ තියෙන්නෙ රාජකාරි!. කකුල් බැලන්ස් කොරගෙන දුවන්ඩ තියා ගත්තාමම කීයක් දේවල් හිතන්න කියලද! බිම තියෙන එවුවා - මෙවුවා අන්තිම තප්පරේදි බේරලා අඩිය තියන්න,  අතරමඟදි කුඹියෙක් මැස්සෙක්ට පොඩ්ඩක් කතා කරන්න. හෙහ්! 

ඔහොම නලියද්දි ඉතිං ආදරේ තරමත් එහෙට මෙහෙට වෙනස් වෙන්න පුලුවන්නෙ.

එතකොටනෙ වැඩේ!

ඔන්න මුහුදක් ගාවනම් මොකක් හරි කරගන්න තිබ්බා. එක අතක් රට පැත්තට තිබ්බත් මොකෝ, අනික මුහුද පැත්තට තියාගත්තනම් හරි!

එතකොට ආදරේ ට සීමාවක් නෑ!

අපොයි ඉතිං ඌ නිකන් ඉඳීවියැ මුහුද ළඟයි කියලා. එතකොට වැඩ දෙක වෙයි. ඇරත් මුහුදෙ කියලා නැවු යන්නෙ නැද්ද. ඕකක හැපුනත් ඉතිං කතාව අච්චරමනේ.

ඒත් ඉතිං මොකෝ හුළඟ තියෙන්නේ, ආදරේ අරං යයි අනන්තෙටම....

එහෙම බලද්දි ඉතිං ගොඩබිමත් හුළඟ තියෙනවනෙ....ආදරේ නම් ආදරේ තරම යයි මන්දාකිනියටත් එහාට.

ටකාස් ටක ටක ටක ටක.......!!

හපොයි! මන් ආදරේ තරම එක්ක මනෝ ලෝකෙ කරක්ගහන අතරේ පොඩි එකා වැඩ පටං අරං.

හෙහ්... හෙහ්.... කට උල් කරගෙන,  ඇස් ලොකු කරගෙන, ආවුස් අප්පා හිනාවෙ ලස්සන! හුරතලේ බේරෙනවා! උම්මා සීයක් දෙන්න හිතෙනවනෙ.

"පුතා අපේ කවුද ?"

"කුමා.....ලයා"

අනේ අම්මියෝ. මගෙ රත්තරං කැටේ!.

"අපිට මැනික කොයිතරම් ආදරේද?"

"මේ......තරම්!"

හෙහ්... හෙහ්... ඒ පාර අත් දෙක ද්ක් කරලා, මදි පාඩුවට කකුලෙ ඇඟිලි වලිනුත් ඉස්සිලා.!

පපුවට මේ දැනෙන තරම, උඹටත් දැනෙනව ඇති නේන්නම්....!

"මමත් ආදරෙයි  'ඒ... තරම්ම' " !!

Friday, June 17, 2011

'අම්මා'



මම ඇය ගැන අකුරු කරන්නට වචන සොයමින් හිඳිමි. හදවත පුරා සුමුදු සෙනෙහසෙන් සිත්තම් මවන ඇගේ ආදරය අකුරුවලින් ලියාතබන්නට මම වචන සොයමින් හිඳිමි. ජීවිතයේ නේක ඉසවු ඔස්සේ අකුරු වලට හැඩයක් දෙන්නට ප්‍රාථමික නමුත්, තෘප්තිමත් උත්සාහයක ඉන්නා මම ඇය ගැන ලියන්න වචන හිඟකමකින් දැඞඩිව පීඞඩාවිඳිමි.

'අම්මා'

ඒ වචනයම කවියක්!

අම්මාගේ සුවඳත්, ඒ සිරුර පුරා දිවෙන සිනිඳු බවත් ගැන මම බාලිකාවේදී යෙහෙලියන් හා එක්ව කතාකල අයුරු තවම මතකය. මා විඳි එසොඳුරු උණුහුම කොයි අම්මාටත් එකය. පාන්දර ඉරටත් කලින් ඇහැරුන වෙලේ සිට මොහොතක ඇසිල්ලක් නොලබා, රැකියාවත් ජීවිතයත් පටලවා නොගෙන ජීවිතය කියවන ඇය, එතරම් සුවඳ සහ සිනිඳු වූයේ කෙසේදැයි මට පුදුමයකි.

ගැහැනු දරුවන් හතර දෙනෙකු වැදූ ඈ, හදවතේ ශක්තියෙන් ආ දුර බොහෝය. මගේ ජීවිතයේ අම්මා වී කිරුළ දරන්නට පෙර ඈ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනෙකුට පසුව ඉපැදී.,බාල නංගිලා මල්ලිලා පස් දෙනෙකුට  ලොකු අක්කා වීය. පවුලේ වැඩිමහල් ගෑහැනු දරුවාව ඇය සිය බාල සමය ගෙවුවේ සැහැල්ලුවෙනැයි කීම මුසාවෙකි. ඇය එදා ඉසිලු බරත් මහ විශාලය.

තාත්තාගේ පෙම්වතිය වී උන් සමය, ඒ හා බැඳුන රස 'රහස්'අද අප සමඟ කියද්දී ඒ දෑසේ දීප්තිය, හිතේ කොනක් කොනිති ගසා රිදවයි. තාත්තා අවසන් සුසුම් හෙලු දා ඇ නෙතින් වැටුන හැම කදුලක්ම 'ආදරය' සමඟ එක්වී ඇයව තවත් හදවතින් ගිනිබත් කරන්නට ඇත. ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ ආඩම්බර කාර 'අම්මා' හැමදාම නින්දට පෙර තාත්තාගේ සේයාරුව ළඟ හිඳ ඔහුට මුමුනා කියන්නේ මොනවාදැයි අප අසන්නට නෙයන්නේ, ඒ දෑස තෙත්වනයුරු ඉවසන්නට අපේ හිත් ඇගේ තරම් ශක්තිමත්නැති බැවිනි.

දරුවන් වැදන්නට ඈ විඳි වේදනාව පවා අද ඇ මතක් කරන්නේ ආදරයෙනි, ආඩම්බරයකිනි. ඇගේ පියවුරින් කිරි උරාබොද්දී මෝදුවන ළපටි මුත් තියුනු දත් වල පහරින් පිපිරී වේදනා දුන් තනපුඩු ගැනත් එකල දින 45කට සීමා වූ ප්‍රසූත නිවාඩු අවසන රැකියවට යාමට වූ කාලයේ, අප වෙනුවෙන් එරුන කිරෙන් බරවී, තෙත්වූ ළය මඩළ ඔසරි පොටින් වසාගෙන කාටත් හොරා කඳුලු හෙලූ යුරු පවා ඈ කියන්නේ අසීමිත සොඳුරු හැඟීමකින් බව ඒ දෑසේ දීප්තිය කියයි. ඇගේ බාලම දූව වූ  මම පාසලේ පළමු ශ්‍රේණියේදී පවා, අම්මාගේ කිරට ලෝබ වද්දී,  ඇය මැසිවිල්ලකින තොරව මට ඇගේ රුහිරෙන් සැදුන කිරි දුන් අයුරු අදටත් මගේ හදවතේ සටහන්ව ඇත.

සිය වැඩිමහල් දෝනිය,ජීවිතය දී වැදූ කුලුදුල් දරුවා පුතෙකු බිහිකල දා ඇය පස්වන දරුවකුටද අම්මා වීය.ජීවිතයේ පැතු පැතුමක් දෑස මානෙ දඟකාර කම් පාද්දී,  ඕ මුනුපුරා නිසා විදින වද වේදනා සිය ජීවිතයේ ප්‍රානය කරගෙන අතිතය යලිත් අලුත් කරමින් හිඳී. මේ තරම් බරක් දරන්නට ඔබට ශක්තිය ලැබුනේ අපත්, ඔබ අදරය කරන තාත්තාගේ මතකයත් කෙරෙහි ඔය ළයේ උපදින අසිමිත කැප කිරීම මතින් වන්නට ඇත.
අම්මා ජීවිතය ජීවිතයෙන්ම උගත්තාය.ඈ පන්නරය ලැබුවේ ඈ සතු අසීමිත ධෛර්‍ය නිසාමය.උහුලගන්නටත් බැරි වේදනා සහසක් හමුවේ සිනාමුසුව සියල්ල දරාගත් ඇය, කඳුලකට නෙකත් තෙමන්නට ඉඩහසර දන්නේ ඒ විසල් හිත පුපුරා යන්නට තරම් දුක් ඉවසා අවසානයේය.  ඒ කඳුල පවා නෙතින් වැටුනේ ආදරය පුරවාගෙනය.

මේතරම් විසල් සෙනෙහසක් දරන ඔය හදවතේ පරිමාව ගිනිය හැකි මිම්මක් නැත. එය දැනෙන්නේ ඔබ නිසා හදගැස්ම ළද හදවතටය.

අම්මා

මට ඔබ ගැන ලියන්නට වචන හිඟකම ගැන මම අසරනය. ලියා තැබුවේ නැතද, ඔබේ අදරයෙන් උපන් අපට ඒ ආදරය හුස්ම පොද සේමය.



Thursday, June 9, 2011

බැරිම තැන



ගඳ ගහන උදෑසන
පිපිරෙන කේන්තියට
නැවතීමක තියන්න....!,

ගෙදර උන්ගෙ පරිස්සමට
වැටක් බඳින්න....!,

මලවදේ ළඟකඳි ඉඳන්
උඹ පාඩුවෙ නූන්නට....!,

ඉවසලා ඉවසලා බැරිම තැන
පළවෙනි සිල්පදේ බිඳින්න උනාමට !!

අවුලවා



නිකන් හමන හුළඟට
කටවල් දීලා.,
ගිනි කූරකින් අවුලවා ගින්දර
ඒ හුලගින්ම පණ පොවා.,

ලැවු ගින්නකැයි කෑ ගසන,
බේරගනියෝ ලතෝනි දෙන,

උන්ට

රැවටිලා
පේන දේට වහ වැටිච්ච.,

මෙරු

ඇහෙන තාලේට හූමිටි තිය තිය.,

ආවඩයි

මරාදැමූ

ඇත්ත අතුරුදන්වූ දා!

Tuesday, June 7, 2011

වියපත් (ද) ආදරය....!!





නිමක් නැති නෝක්කඩු
ටිකක් සැර වදන් ළඟ
මුවින් පිට නොවී - සැඟැවී
නෙතු අඟක ඳඟ පාන,
පියාපත් විදාහල
නුරා හැඟුමන් අතර
දෙනෝ දාහසක් දෑස්
මඟ හරින කෝලකම.,
ඉවසාන හදවතින්
මඟහැරුන වසන්තය
ගිම්හානයේ දිනෙක
ඉරිතැලුන හිත් දෙකක,
අකල් වස්සානයට
පනගසා සුපුශ්පිත
සෙනෙහස කොඳ කැකුල....,
සියක් දඹරැඟිලි හී
ඊ තුඩින් රකිනයුරු
බොළඳ තෙපුලින් විසුල
සිනහ මල් පෙති අතර,
සැඟව උන් වෙලුනු අත්
හංඟාන ලෝකයට
හදවතේ අයිතියට
හදගැස්ම ලැබෙනකොට,

වියපත්ය ජීවිතය....
වියපත්(ද) ආදරය....!!

Wednesday, June 1, 2011

හෙන්දිරික්කා


මල් පිපුනු හෙන්දිරික්කා ගස් පුරා ඉඟිල රැගුම් රඟන්නට සමනලුන් අසලක නොවූයේ මේ හැන්දෑව නිසාය. හැන්දෑ සමය එලැඹෙත්ම උන් කොහේ යනවාදැයි තාරුකාට ප්‍රහේලිකාවකි.  කුරුල්ලන් පවා අඳුරු තුරු වදුලුවල නිදි කිරද්දී සමනලුන් කොහේ අතුරුදන් වනවාදැයි ඇය අදටත් කල්පනා කරයි.  බුදුන් වඳින්නට නෙලාගත් වතුසුද්දමල් අතරට දම් පාට හෙන්දිරික්කා මල් කීපයක්ද එකතුකරගත් තාරුකා නිවස දෙසට පය ඉක්මන් කලේ අඳුර දසත පැතිරී යමින් තිබුන නිසාය.

බුදුන් වඳින අතරවාරයේ හිත එහෙ මෙහේ දුවන එක වලක්වා ගැනීම ඇයට අපහසු කාරියකි. ගාථාවේ අරුත සිතමින් ගථා කීමට ඕ උත්සාහ ගත්තද,  සැනෙන් එය ව්‍යාර්ථ වී අකීකරු හිත දසත රස්තියාදුවේ යාම ගැන ඇයටම හිනාය.

"දූරං ගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සංඥ මොස්සන්තී - මොඛ්ඛන්ති මාර බන්දනා"

බාලිකාවේ අකුරුකරද්දී බුද්ධ ධර්මය පාඩමක තිබී කටපාඩම් කරගත් ගාථාවක්ද එ අතරේ මනසට රිංගාගෙන ඇත.

ජීවිතය අපට උවමනා ලෙස හැසිරවීමට නොහැකි බව ඇය තවත් විශ්වාස නොකර සිටියේ නැත. තවදුරටත් ඒ විශ්වාශය හිතේ තබා ගැනීම නිෂ්පල වගට ශාක්ෂි මේ කලය තුල තාරුකාගේ ජීවිතයෙහි උවමනාවටත් වඩා ගොඩගැසී ඇත.හිත කොහොම නිවා ගන්නදැයි ඇය නිතරෝම කල්පනා කලාය.හැමෝම කියනා පලියට ඒ සැනින් හිත හැදෙන්නේ නැත.එසේ හැදෙනා හිත් කොහේ හෝ තියෙනවාදැයි යන්නත් ඇයට ප්‍රහේලිකාවකි.
ඈ දෙනෙතු පියාගත්තේ අතීතය කොයිතරම් තියුනු උවද, එයින ආයෙමත් හිත පහුරු ගෑමටය.පෑරී ලේ ගලන හදවතේ වේදනාකාරී ගැස්මට වේගවත් වීමට අවස්ථාවක් ලබා දීමටය.

ඈ ඔහුට ආදරය කරන්නට පටන් ගත්තේ කවදාදැයි සොයන්නට වෙහෙස නොවී මද සිනාවකට මුවග ඉඩසදා දුන්නේ මේ සිනාවේ අවසානය දෝරේ යන දුකින් පිලිසිඳි කඳුලක්ම බව හද කොනේ රඳවාගෙනය.
තාරුකාගේ හිතේ අප්‍රකාෂිත සෙනෙහස මෝදුවුයේ ඉබේ යැයි කීමට නොහැක.

ඳඟකාර යෞවනයේ උන් සඟයන්ගේ විහිලු හමුවේ ඈ තරහක් පෙන්වූවද,  ඒවා හමුවේ සිහින් කිතිකැවුමක් තාරුකා හිත් ඉමේ පාරාවලලු තනන්නට ඇත. ජීවිතය පටන් ගත්තා පමනි. ඈ හදගැබේ කාටත්, සමහරවිට ඇයටත් හොරා උපන් හැඟීම් ආදරයම යැයි අරුත් ගන්වන්නට තවම ලාමක වැඩිය.

ජීවිතය සොයා පියාසර කල අහසේදි ඈ ඔහුව අමතක කරදමන්නට උත්සහ කලේ මන්දැයි පිලිතුරු හොයද්දී, තාරුකා යටි හිතින් හෘද ශාක්ෂියට දොස් පවරමින් උන්නාය.නමුත් ඒ වෙද්දී ඔහුත් ඈ නතරඋන කෙම්බිම අතැර පියාඹන්නට පටන්ගෙනතිබුනි.

උදව්වක් සොයාගත නොහුනු තමන්ගේ සමාජය හමුවේ ඈ දෙනෝදහක් අතරේ උව හුදකලා වී තිබුනි. හදවතේ රිදෙනම තැනක් බලා ඇනුන විස කටුවක්සේ දිනෙන් දින "ආදරය" ඈ ඔත්පලකරද්දී, ඇස් පාරාගෙන වැටුන කඳුල පවා ඈ සඟවා ගත්තාය.

ජීවත් වෙද්දී හදවතේ උපදින හැඟිම් කලලවලට උපදින්න ඉඩනොඳි හදගැබේ නිදන්කරගත්තාම රිදෙන වග පසක් කරගනිද්දී තාරුකා උන්නේ පරාජයේ බිහිදොර ළඟය.  යලිත් හැරී ආ නොහැකි මාවතක ඕ මඟවරදාගෙන ගමන් කර තිබුනි.ගැහැනු හිතකින් උපන් ආදරයක් ඔහු නමින් මියෙද්දී,  ඔහු උන්නේ අස්ථීර අනාගතය ස්ථීර කරගැන්මේ අඩිතාලම් දමමිනි.

හැඟීම් විහිලුවට ඇති නොවන වඟ ඔහු දන්නවා විය යුතුමය. ඒ හැඟීම තප්පරයකට හෝ ඔහුගේ හිත ස්පර්ෂ නොකලායැයි ඔහු කියන්නේ නම් ඒ මුසාවකි. නමුත්, කාලාන්තරයක් තිස්සේ නිසලව තිබූ ජීවිතය සුදුපාට අලුත් හීනයේ දැවටෙද්දී,  හැඟීම් අතරේ ඔට්ටුවන්නට ඉසිඹු ඔහුට හිඟවන්නට ඇත. පන ගසමින් තිබූ ආදරය මියෙන්නට හැරියේ එනිසා වන්නට පුලුවන.  ඔහු ගත්තේ හරි තීරනය වියහැක.  ඒ තීරනය ගන්නට ගතවූ කාලය හරියැයි කීම නම් ගැටලුවකි.  ඔහු පිරිමියෙකු ගේ මනසින් හෙට දවස දකිද්දී,  අසරනව මඟහැරුන ගැහැනු ජීවිතය ඉකිගසන හඞ නෑසී යන්නට ඇත.

කාලය දෝරෙයන්නට ඉඩහසර දී තිබූ සමය ඉතින් දැන් අවසන්ය.  තීරන හිතාමතා ගතයුතුමුත් ඒවා හදට අනින යවුල්පහරවල් මෙන් බරවැඩිය.  ජීවිතේ විවෘතව හිදිය යුතුව තිබූ අවදියේ වසන්කල හිත නිසා ඉතිරි වූ දුක හදවතේ ඒ කොනටම තබා අගුලු ලෑ යුතුව ඇත.  අප්‍රකාෂිත ආදරය ප්‍රකාශිත වූ දා උපන් හැම හැඟීමකටම උරුමකම් කියනා කඳුලු එකක් නෑර ගිනි තැබිය යුතුව ඇත.  කඳුලු ගිනි තියනයුරු නොදත් පෑරුනු හිතැත්තී තාරුකා, හදවතේ දැවෙන ගින්නට පිච්චෙමින් උන්නාය.

අලුත් මාවත් විවර වෙද්දී ජීවිතය සොයා ඉඟිල ගිය කුරුල්ලා යලි  ආවත්, ආදරය හමුවේ නිසලවූ හිත ආයේ සසල වේදැයි ඈ හිතුවාය.  ගල්කුලක් හමුවේ බයබිරන්තව පොඩිඋන රෝසපෙති සුලඟට ගසාගෙන   යද්දී ඒවා නතරවන්නේ කොහේදැයි සිතන්නට කඳුලින් මදක් සංතර්පනය වූ හිත වෙහෙසවන්නට ඈ වෙහෙස නොවූවාය.

තෙතබරියන්වූ නෙත් පියන් විවර කල ඕ ඇඳෙහි පසක ඇති ලා කහපාට සාරිය මුදුව අතගෑවාය.   ඒ මත තිබූ අම්මාගේ පැතුම් කන්දෙහි අංශු මාත්‍රාවක් තාරුකාගේ ඇඟිලිතුඩු හරහා හිතට කතාකරන්නට ඌවාය. මේ ජීවිතය මගේ කියා තීරන ගතයුතු තැන් මෙන්ම, මට මෙන්ම මගේ ඔවුන්ටත් මේ ජීවිතය අයිතිවාසිකම් ඇතිවග සිතා තීරන ගතයුතු තැන්ද ඇති  බව තාරුකාගේ හිත තේරුම් ගනිමින් උන්නාය.

මිටිවූ අත්ලේ තැවරුන කඳුලු අතරේ ගිනි පුපුරු සේ වරීන්වර දැල්වෙන වේදනාවෙ නටඹුන් අතරින්ම තාරකා කහ පාට සරිය සිය දෝතට ගත්තාය.