Tuesday, June 28, 2011

තරම



"මේ..... තරම්!"

චූටි පුතාගේ ආදරේ ඒ තරම්.

මට පුලුවන් තේරුම් ගන්න. 'ඒ... තරම්' ආදරේ කොයි තරම්ද කියලා. ඕක සීයේ, දාහේ ගුනාකාරවලින් වැඩි කරගත්තම තමා උත්තරේ එන්නෙ. ඌ කියන්නෙ ඌට තේරෙන තරමට. උලුවස්ස යට හරි මැද්දට වෙන්න හිටගෙන අත්දෙක දෙපැත්තට දික් කලාට කොච්චර දහිරිය දැම්මත් අල්ලගන්න බැරි තරමට එකපාරට උලුවස්සෙ දෙපැත්තම ඌ තාම පුංචි. ඌට තේරෙන්න ඇති ඒ මිම්ම මදි කියලා. ඒක තමා අත් දික් කරලා දෙපැත්තට ඇගිලිත් හරි කෙලින් තියාගන්නෙ. එතකොට ඒ ආදරේට සීමාවක් නෑනෙ. කොහේහරි කොහේම හරි මටවත් පේන්නෙ නැති තැනක තමා ආදරේ තරම පෙන්නන තැන තියෙන්නෙ.

ඒකත් හරි අපූරු වැඩේ.

'ආදරේ තරම'

ඇගිලි අගිසි දිගේ කොහේ නතරවෙනවද කවුද දන්නෙ. මොකො ඔය අතර මඟ ගස්, ගල්, ගෙවල්, එවුවා - මෙවුවා කොයි තරම්ද? සමහර විට මනුස්සයෙක්ගෙ ඇඟේ උන්ත් ඔක වදින්න පුලුවන්. හුහ්! එතකොට හරි වැඩේ! 'ආදරේ තරම' බොහොම පුංචි ඇබිත්තං එකක් වෙනනත් බැරි නෑ බාගවෙලාවට.

ඒ උනාට ඌ එක විදියට ඉන්නවද තප්පරයක්.  ඌටනෙ තියෙන්නෙ රාජකාරි!. කකුල් බැලන්ස් කොරගෙන දුවන්ඩ තියා ගත්තාමම කීයක් දේවල් හිතන්න කියලද! බිම තියෙන එවුවා - මෙවුවා අන්තිම තප්පරේදි බේරලා අඩිය තියන්න,  අතරමඟදි කුඹියෙක් මැස්සෙක්ට පොඩ්ඩක් කතා කරන්න. හෙහ්! 

ඔහොම නලියද්දි ඉතිං ආදරේ තරමත් එහෙට මෙහෙට වෙනස් වෙන්න පුලුවන්නෙ.

එතකොටනෙ වැඩේ!

ඔන්න මුහුදක් ගාවනම් මොකක් හරි කරගන්න තිබ්බා. එක අතක් රට පැත්තට තිබ්බත් මොකෝ, අනික මුහුද පැත්තට තියාගත්තනම් හරි!

එතකොට ආදරේ ට සීමාවක් නෑ!

අපොයි ඉතිං ඌ නිකන් ඉඳීවියැ මුහුද ළඟයි කියලා. එතකොට වැඩ දෙක වෙයි. ඇරත් මුහුදෙ කියලා නැවු යන්නෙ නැද්ද. ඕකක හැපුනත් ඉතිං කතාව අච්චරමනේ.

ඒත් ඉතිං මොකෝ හුළඟ තියෙන්නේ, ආදරේ අරං යයි අනන්තෙටම....

එහෙම බලද්දි ඉතිං ගොඩබිමත් හුළඟ තියෙනවනෙ....ආදරේ නම් ආදරේ තරම යයි මන්දාකිනියටත් එහාට.

ටකාස් ටක ටක ටක ටක.......!!

හපොයි! මන් ආදරේ තරම එක්ක මනෝ ලෝකෙ කරක්ගහන අතරේ පොඩි එකා වැඩ පටං අරං.

හෙහ්... හෙහ්.... කට උල් කරගෙන,  ඇස් ලොකු කරගෙන, ආවුස් අප්පා හිනාවෙ ලස්සන! හුරතලේ බේරෙනවා! උම්මා සීයක් දෙන්න හිතෙනවනෙ.

"පුතා අපේ කවුද ?"

"කුමා.....ලයා"

අනේ අම්මියෝ. මගෙ රත්තරං කැටේ!.

"අපිට මැනික කොයිතරම් ආදරේද?"

"මේ......තරම්!"

හෙහ්... හෙහ්... ඒ පාර අත් දෙක ද්ක් කරලා, මදි පාඩුවට කකුලෙ ඇඟිලි වලිනුත් ඉස්සිලා.!

පපුවට මේ දැනෙන තරම, උඹටත් දැනෙනව ඇති නේන්නම්....!

"මමත් ආදරෙයි  'ඒ... තරම්ම' " !!

1 comment: