Friday, June 17, 2011

'අම්මා'



මම ඇය ගැන අකුරු කරන්නට වචන සොයමින් හිඳිමි. හදවත පුරා සුමුදු සෙනෙහසෙන් සිත්තම් මවන ඇගේ ආදරය අකුරුවලින් ලියාතබන්නට මම වචන සොයමින් හිඳිමි. ජීවිතයේ නේක ඉසවු ඔස්සේ අකුරු වලට හැඩයක් දෙන්නට ප්‍රාථමික නමුත්, තෘප්තිමත් උත්සාහයක ඉන්නා මම ඇය ගැන ලියන්න වචන හිඟකමකින් දැඞඩිව පීඞඩාවිඳිමි.

'අම්මා'

ඒ වචනයම කවියක්!

අම්මාගේ සුවඳත්, ඒ සිරුර පුරා දිවෙන සිනිඳු බවත් ගැන මම බාලිකාවේදී යෙහෙලියන් හා එක්ව කතාකල අයුරු තවම මතකය. මා විඳි එසොඳුරු උණුහුම කොයි අම්මාටත් එකය. පාන්දර ඉරටත් කලින් ඇහැරුන වෙලේ සිට මොහොතක ඇසිල්ලක් නොලබා, රැකියාවත් ජීවිතයත් පටලවා නොගෙන ජීවිතය කියවන ඇය, එතරම් සුවඳ සහ සිනිඳු වූයේ කෙසේදැයි මට පුදුමයකි.

ගැහැනු දරුවන් හතර දෙනෙකු වැදූ ඈ, හදවතේ ශක්තියෙන් ආ දුර බොහෝය. මගේ ජීවිතයේ අම්මා වී කිරුළ දරන්නට පෙර ඈ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනෙකුට පසුව ඉපැදී.,බාල නංගිලා මල්ලිලා පස් දෙනෙකුට  ලොකු අක්කා වීය. පවුලේ වැඩිමහල් ගෑහැනු දරුවාව ඇය සිය බාල සමය ගෙවුවේ සැහැල්ලුවෙනැයි කීම මුසාවෙකි. ඇය එදා ඉසිලු බරත් මහ විශාලය.

තාත්තාගේ පෙම්වතිය වී උන් සමය, ඒ හා බැඳුන රස 'රහස්'අද අප සමඟ කියද්දී ඒ දෑසේ දීප්තිය, හිතේ කොනක් කොනිති ගසා රිදවයි. තාත්තා අවසන් සුසුම් හෙලු දා ඇ නෙතින් වැටුන හැම කදුලක්ම 'ආදරය' සමඟ එක්වී ඇයව තවත් හදවතින් ගිනිබත් කරන්නට ඇත. ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ ආඩම්බර කාර 'අම්මා' හැමදාම නින්දට පෙර තාත්තාගේ සේයාරුව ළඟ හිඳ ඔහුට මුමුනා කියන්නේ මොනවාදැයි අප අසන්නට නෙයන්නේ, ඒ දෑස තෙත්වනයුරු ඉවසන්නට අපේ හිත් ඇගේ තරම් ශක්තිමත්නැති බැවිනි.

දරුවන් වැදන්නට ඈ විඳි වේදනාව පවා අද ඇ මතක් කරන්නේ ආදරයෙනි, ආඩම්බරයකිනි. ඇගේ පියවුරින් කිරි උරාබොද්දී මෝදුවන ළපටි මුත් තියුනු දත් වල පහරින් පිපිරී වේදනා දුන් තනපුඩු ගැනත් එකල දින 45කට සීමා වූ ප්‍රසූත නිවාඩු අවසන රැකියවට යාමට වූ කාලයේ, අප වෙනුවෙන් එරුන කිරෙන් බරවී, තෙත්වූ ළය මඩළ ඔසරි පොටින් වසාගෙන කාටත් හොරා කඳුලු හෙලූ යුරු පවා ඈ කියන්නේ අසීමිත සොඳුරු හැඟීමකින් බව ඒ දෑසේ දීප්තිය කියයි. ඇගේ බාලම දූව වූ  මම පාසලේ පළමු ශ්‍රේණියේදී පවා, අම්මාගේ කිරට ලෝබ වද්දී,  ඇය මැසිවිල්ලකින තොරව මට ඇගේ රුහිරෙන් සැදුන කිරි දුන් අයුරු අදටත් මගේ හදවතේ සටහන්ව ඇත.

සිය වැඩිමහල් දෝනිය,ජීවිතය දී වැදූ කුලුදුල් දරුවා පුතෙකු බිහිකල දා ඇය පස්වන දරුවකුටද අම්මා වීය.ජීවිතයේ පැතු පැතුමක් දෑස මානෙ දඟකාර කම් පාද්දී,  ඕ මුනුපුරා නිසා විදින වද වේදනා සිය ජීවිතයේ ප්‍රානය කරගෙන අතිතය යලිත් අලුත් කරමින් හිඳී. මේ තරම් බරක් දරන්නට ඔබට ශක්තිය ලැබුනේ අපත්, ඔබ අදරය කරන තාත්තාගේ මතකයත් කෙරෙහි ඔය ළයේ උපදින අසිමිත කැප කිරීම මතින් වන්නට ඇත.
අම්මා ජීවිතය ජීවිතයෙන්ම උගත්තාය.ඈ පන්නරය ලැබුවේ ඈ සතු අසීමිත ධෛර්‍ය නිසාමය.උහුලගන්නටත් බැරි වේදනා සහසක් හමුවේ සිනාමුසුව සියල්ල දරාගත් ඇය, කඳුලකට නෙකත් තෙමන්නට ඉඩහසර දන්නේ ඒ විසල් හිත පුපුරා යන්නට තරම් දුක් ඉවසා අවසානයේය.  ඒ කඳුල පවා නෙතින් වැටුනේ ආදරය පුරවාගෙනය.

මේතරම් විසල් සෙනෙහසක් දරන ඔය හදවතේ පරිමාව ගිනිය හැකි මිම්මක් නැත. එය දැනෙන්නේ ඔබ නිසා හදගැස්ම ළද හදවතටය.

අම්මා

මට ඔබ ගැන ලියන්නට වචන හිඟකම ගැන මම අසරනය. ලියා තැබුවේ නැතද, ඔබේ අදරයෙන් උපන් අපට ඒ ආදරය හුස්ම පොද සේමය.



No comments:

Post a Comment