Monday, October 10, 2011

අපේ පුතා හරිම හපං




ගෙඹි හාමී මේ අහන්න
එපා ඉතිං කෑ ගහන්න
පුංචි පුතා හොඳයි බෝම
බයි සේරොම කනව ඔන්න

කණාමැදිරි පාවෙන එලි
අල්ලන්නට අත දිග මදි
තව කටකින ලොකු වෙතහැකි
එදාට නුඹ අල්ලතහැකි

අන්න පුතේ හඳ හාමී
තරුත් එක්ක එයි පාවී
කිරියි පැණියි ගෙන ඒවී
බත් පිඟාන ඉල්ලාවී

හනිකට මේ බත් කන්නේ
පිඟාන හිස්කර දෙන්නේ
හඳෙන් ගෙනා කිරියි, පැණියි
පිඟානෙ පුරවා ගන්නේ

අන්න අතන පූස් බබෙක්
මකුලු රාළ එක්ක ඇවිත්
හා හා! මේ හොඳ දරුවෙක්
ඔන්න කෑව හබුං කටක්

දඟ බෝලේ මේ බලන්න
සෙල්ලම් හාවට පෙනෙන්න
කෝ බලන්න කට අරින්න
හාවට කලියෙන් දිනන්න

අපේ පුතා හරිම හපං
බත් සේරම කනවනෙ දැං
කැරට්, මාලු, බත්, පරිප්පු
අඳුරනවා ඒවයේ නම්

හබුං කටයි බත් දෙකටයි
පුතාට ආදරේ ගොඩයි
හිනා පිරුණ රෝස මුවයි
පුංචිත්තා මිදුලෙ දුවයි

5 comments:

  1. ලස්සන කවි පෙල මට පොඩි කාලෙ මතක් උනා.........

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  3. ලස්සනයි ගොඩාක්...

    ReplyDelete
  4. ලස්සනයි හැම සටහනක්ම. සුබ පැතුම්
    මැණික්

    ReplyDelete