Friday, September 7, 2012

තාත්තේ, ඒක හරි ලොකු කාලයක්!



ඒ කාලෙ හරිම ලස්සනයි! 

මං අද හිතනවා. 

ඒත්, 
එදා ඒ ලස්සන මට දැනුනෙ අඩුවෙන්. මම ඒ ලස්සන කාලය ඇතුලෙ ජීවත් උනා, ඒ ජීවිතේ වින්දා...
 ඒත් එදා මේ තරම් නොදැනුනට අද මට මතක් වෙද්දි හරිම අසරණ කමක් හිතට දැනෙන්නෙ. ඒ, ගෙවුනු වසර ගානම ඇතුලත ආයෙ කවදාවත්ම නේන ලස්සනම කාලෙ ඒ අවුරුදු ගාන හන්දයි.

ආයෙත් ඒ දවස් නේන්නෙ තාත්තේ, ඔයා තවත් එන්නෙ නැති හංදයි.


හීන... 

අපි එකතුවෙලා දැකපු හීන වලින් එ,ක දෙක අද හැබෑ වෙනව. ඒත්, ඒ ඔයා ළඟ නැතුවම. 

අද තාත්තත් උන්නනම්...... 

ඔයා තමා ඒ හැබෑ උන හීනවල සතුට වැඩියෙන්ම විඳින්නෙ... 

ඒත් අද ඔයා නෑ.... 

බිඳිල ගිය හීන ළඟදි හයියක් වෙන්නවත්, හැබෑ උන හීනවල සතුට බෙදාගන්නවත්......

අවුරුදු දහයක්!
ඒක හරි ලොකු කාලයක්! 

කියාගන්න මොනාදෝ ගොඩක් නලියන හිතක් එක්ක මුකුත්ම කියාගන්න නොතේරෙන හැඟීමක්,  උඟුර ගාවම ඟුලි ගැහුන දුකක්,  ඒත් එක කඳුලක්වත් හලන්න බැරිව වේලුන ඇස් දෙකක් මාව හරියට රිද්දනවා. 


තාත්තේ, ඒක හරි ලොකු කාලයක්! 

මතකයන් ඉහිරිච්ච මාවතේ
හෙන්දිරික්කා මලින් කවි ගෙතේ
 දුර ගමන නිම් නොදත් ජීවිතේ
ඔබ කිවු කවි වලින් සැරසෙතේ....


වැහි සමේ උණුහුමක් දවටලා
හදවතේ මතකයන් තවරලා
පිණි කඳුලු නොසලන්න යැයි කියා
ඔබ ගිහින් දුර ඈත සැඟවිලා....

තරු අහසේ සිත්තමක නැවතිලා
මදහාස ඔය මුවග තවරලා
ආදරේ පවන් රැල් සල සලා
අපි දිහා බලන්නේ තාත්තා....

 (2012.09.10)

4 comments:

  1. ලස්සන කවි ටිකක්...

    ReplyDelete
  2. තාත්තල කියන්නෙ අපි කාටත් දෙවිවරු...
    ලස්සන වචන ටිකක් ගංගි...ඉස්සර වගේම

    ReplyDelete
  3. ...........................................!!!!!!!!!!!!!

    ReplyDelete
  4. මගෙ ජීවිතේත් මගෙ තාත්තා විතර මට උතුම් කෙනෙක් මට තවත් නෑ. පුංචි කෙල්ලෙක් කාලෙ මගෙ වීරයා තාත්තා, තවටිකක් තරුණ වයසට ආවහම ජීවිතේ බොහෝ දේවල් උගත්තෙ තාත්තාගෙන්. හීන මැව්වේ තාත්තා වගේ ගතිගුණ තියෙන කෙනෙක් කසාද බඳින්න. මගෙ ලෝකෙ හැම දේම වටවෙලා හිටියෙ තාත්තා. කියන්න ඇත්තටම වචන නෑ. හරිම සුන්දර කවියක්.

    ReplyDelete