Friday, March 29, 2013
Monday, March 25, 2013
දූ මුතු ඇටයකි හරිම වටී
ආයෙමත් ඒ හැඟීම!
ඊයෙ ගෙදර එක්ක ආව රෝස පාට ආදර පොදිය ආයෙමත් අපේ හිත් අමුතු ඒ හැඟීමෙන් පුරවල.
ඔයාගෙ අම්මා රෝහලට වෙලා ඔයා මේ ලෝකෙට ගේනකල් අපි හැමෝම උන්නෙ හරි තිගැස්මෙන්.දැන් ආයෙමත් හිත පිරෙනගමන්. වඩාගන්නත් බයහිතෙනව තාම. ඔයාට රිදෙයි කියල.
ඔයාගෙයි, ඔයාගෙ අමමගෙයි- තාත්තගෙයි, ආච්චිඅම්මල දෙන්නගෙයි Photo බලද්දි ඇහැට හත අස්සෙ ඉපදෙන කඳුලක් නලියනව. ඒක තමා ඒ අමුතු හැඟීම!
ඉක්මණින් ලොකු වෙන්න ඔයා. අපි හැමෝම බලාඉන්නවා.
~~~~~~~~~~
පුංචි ඇඟිල්ලක්
ඉඹින්න දෙනවද
අලුත ගෙනා සූකිරි දෝණී
දේදුන්නේ ඉඳලද ගෙන ආවේ
රෝසපාට
ඔය කොපුලෙ ඇතී
මැණිකක් නුඹ පොඩි
තුරුලේ නැලැවෙන
මල්පෙත්තක ඇති සුවද ඇතී
සමනල තටුවකි
සිනිඳු සුමුඳු වෙති
දූ මුතු ඇටයකි හරිම වටී
~~~~~~~~~~~~~
මේ සිංදුව ඔයා අම්මගෙ කුසේ ඉන්නකොට ඇහුව මතකද බලන්න. ඔය සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීමත් හරිම පුදුමාකාර එකක්.
Thursday, March 14, 2013
නාරිලතා
මියැදෙන හදසර - නිහඬව ඉකිබිඳ
කඳුලක් රඳවා දෑස්වසා....,
මිහිලිය සිප, එන - සුළඟට මුසුවන
සුසුමක්, නිදි නැති සඳෙහි හොවා......
අහසත් ඉකිබිඳ - හඬනා පිණිමුතු
නොවටින කඳුලක් කොපුල් තෙමා......
තවත් හඬන්නට - කඳුලැල් නැති හිත
ගලක් වුනාදෝ නාරිලතා......
සිහින දකින්නට අකැප, අරුම හිත
සඟවාගෙන පියයුරින් වසා......
සියක්වරක් කෙලෙසුන හද පැතුමන්,
යලිත් ඉපිදැ ඈ තැවූ නියා......
ඉගිල, ඉවත - යලි එන මං වැරැදුන
සමනල අත්තටු පාට වසා......
රිදෙන, ඉරුන හිත - කුමට මුවාකර
දේදුන්නේ ගිනි නිවනු විනා.....
Monday, March 11, 2013
ආදරණීය නුගේගොඩ
ආදරණීය නුගේගොඩ.....,
අවුරුදු 13ක් තිස්සෙ ආව-ගිය.... ඒ කාලෙ දැන් අවුරුදු 9ක් පරණයි...
ටික ටික අතීතෙට එකතු වෙන නුඹ. ඒ ගෙවුන අවුරුදු නමයටම මං ආයෙත් නුඹ බලන්න ආවෙ කී පාරද?
නුඹ වෙනස්වෙලා! මම?
සතියකට කලින් ඉරිදාවෙ අම්මයි, අක්කයි, පුතයි එක්ක නුගේගොඩ යද්දි - ඒද්දි හීන් කඳුලු දැලක් ඇස් බොඳකලා දන්නවද? ආ ගිය පාරවල්, මතක ස්මාරක මනෝමයෙන් ගොඩනැගුන තැන් දිහා හැරි හැරී, එබි එබී, යලි යලිත් බලන්න. මට එදා ඕන උනා.
හ්ම්..... බෝගහ ළඟ, සවුසිරිය ළඟ බස් නැවැතුම්.... සරසවි පොත් සාප්පුව, ඒ ළඟම රොටරියට යන පාර එතනම තියන කඩේ, අපි ඒකට කීවෙ යකාගෙ කඩේ කියල :) රොටරිය. ඒ කාලෙ French Corner එක ......
අපේ ඉස්කෝලෙ..... !
ඒ කාලෙ අපිටම වෙන්කරගත්තු CTB බස්, ඉඳහිට හරි යද්දි උනත් අපේ කරගන්න ප්‍රයිවට් බස්..... School Bus එක...
සොඳුරු හැඟුම් එහෙ මෙහෙ පා උන ආදරණීය නුගේගොඩ,
ඉස්කෝලෙ සුදු ගවුම නැතිව ඔයා බලන්න ඇවිත් වැඩක් නෑ. නුඹ අයිති ඒ ඉස්කෝලෙ යන කෙල්ලන්ට කොල්ලන්ට!
මං දන්නෙ නෑ අදත් ඒ ළමයි ඒ වගේම නුඹව විඳිනවද කියල. ඒත් ඒ කාලෙ නුඹ අපේ ජීවිතේ කොටසක්. අදටත් ඒ කොටසෙ නටඹුන් මේ ජිවිත වල ඉතිරියි. ඒකයි මේතරම් දැනෙන්නෙ නුඹව. අද නුඹත්, මමත් එදා උන්නු නුඹ හෝ මම නූනත්....
අදටත් අපිට නුඹ මිහිරක්. ඉරිසියාවක් එක්ක එන දුකක් හිතේ ඇතිවෙන්නෙ ඒ කාලෙ එදාට වඩා අද රස හන්දයි.
"මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. දැන් බැඳීම් වලට කොටුවෙලා අපිව හිරකරල වගේ දැනෙනවා"
මේ මගේ පළමු වසරෙ ඉඳන්ම මිතුරියක් ළඟදි එවු කෙටි පණිවිඩයක්.
අපි වැඩිහිටි වෙනවා. මතක අපිව අතීතය ගැන ඉරිසියා හිතවන තරමටම අපි වැඩිහිටි වෙමින් ඉන්නෙ දැන්.
ඒ අතීතය දඟකාර කෙල්ලො ටිකක්, නගරයක තැන් කීපපලක් නැත්නම් හිරිමල් වියේ උන්නු කෙල්ලො කොල්ලො ටිකකගෙ බොළඳකම් ගොඩක් විතරක් කියල හිතෙයි කාටහරි. ඒත් ඒ අතීතය අස්සෙ හිරඋන මේ ඉරිසියාකාර හැඟීමම දැනෙන හිත් තව ගොඩක් ඇති.
නුඹයි අපියි අතරෙ තිබ්බ බැඳීම පුදුමාකාර බැඳීමක්!
මේ අකුරු මට දැනෙන දේ ඒ විදියටම කියන්නතරම් මදි. මේ දැනුත් අඬන්න ඕන උන වෙලාවට උගුර ළඟ හිරවෙලා වගේදැනෙන හැඟීම ම හරියට රිදවනව. ඒ හැඟීමමයි එදා බස් එකේදිත් දැනුනෙ.
සුළගේ ළෙලෙනා - මල්සේ දඟපා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.....
ලොකුපංතියෙ අය - පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විසේ....
අපි පොත්වල දුටු - රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.....
සාමල, අමරල - පොත්වල තව ඇත
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල - අපේම මව විය
එදවස් අපහට නැත ආයේ....
මේ සිද්දුව ඇහෙද්දි, මතක්වෙද්දි හිතට එන ඒ දුකමයි... ඒ ඉරිසියාවමයි එදා නුඹ දකිද්දි මට දැනුනේ.
ආදරණීය නුගේගොඩ.....,
අපි වෙනස්වෙලා!
Wednesday, March 6, 2013
Subscribe to:
Posts (Atom)