Friday, September 30, 2011

කඳුලක් වැටුනට පැරදුමමද ඒ



පිණි වැස්සක් යට ඉන්නේ කොහොමද
හදවත තෙමෙද්දි සිරි-සිරියේ
හෙවනක උණුහුම අපිම හොයාගමු
හෙට දවසක් ළඟ මැවු හීනේ

මදසහ කැන්දන සුවඳ වදන් ළඟ
කොහේද පැතු ඒ අනාගතේ
කඳුලක් වැටුනට පැරදුමමද ඒ
සවිය සදාගමු කඳුලු දිගේ

කෝල කතා ළඟ ආල නුරාවට
නැමෙනා සිතුවිලි තාම තියේ
මොහොතක් විඳගමු ජීවිතයේ රුව
බොළඳ වදන් නැති සෙනෙහෙ විලේ

රිදෙනා හදවත සනහාගමු අද
ප්‍රර්ථනා මහමෙරක් පිපේ
සුවඳ සදන්නට රෝස කුසුම් නැත
සෙනෙහස දැනෙනා හිතක් ඇතේ

Thursday, September 29, 2011

වෙහෙසයි!




ගැලපීම  සහ නොගැලපීම අතර මම හිරවෙලා. 

ජීවිතය ගැන බොහොම අසුභවාදී ඉදිරි දැක්මක් සැරින් සැරේ නිතරම වගේ හිත මහා ලොකු බයක ගිල්ලවල ආයෙ උඩට අරගන්නව. ආයෙමත් මොහොතකින් ඒ ඟැඹුරු වතුර වලේ හිත ගිලෙනව.

මම විශ්වාශ කරනවද නැද්ද කියන එක පවා මට අවිනිෂ්චිතයි. සමහර විට ඇත්තටම මගේ යටි හිත ඒ ගැන විශ්වාෂ කරනබව පිළිගන්න මගේම උඩු හිත දෙගිඩියාවෙන්.

අපි ගොඩක් වෙලාවට තීරණ ගන්නෙ ඒ වෙලාවට අපේ හිතේ නැත්තං මොලේ වැඩකරන පිලිවෙල අනූව. ඒ හංද තමා බොහොම සතුටින් හරි කේන්තියෙන් හරි වගේ සංවේදී වෙලාවල තීරණ ගන්න එපා කියල කියන්නෙ. 

කාට නමුත් පුලුවන් තව කෙනෙක්ගෙ හදවතට වැලි රිංගවන්න. ඒ වැලි කැට අපි අපේ හිතේ නතරකර නොගත්තට, ඒව පිහදාල දාද්දි පවා ඇතිවෙන සියුම් හීරීමක් හිතේ කොහේ කොහේහරි ඉතිරි වෙනව නේද. කවදාකම හරි ටිකක් සැර වචනෙකින් වත් වැදෙන පාරක් උනත් ඒ සීරුම පාරවන්න ඉඩ තියෙනව. ඊට පස්සෙ තුවාල පෑරෙන වාරයක් පාස අර වැලිකැට මතකෙට එන එක වලක්වන්න පුලුවං වෙයිද.

විවාහය කියන්නෙ අපිට උත්තරීතර බැඳීමක්. පිළිගන්න සිද්දවෙනව ආදරය පවා ඒ විවාහය ළඟඳි සමහරුන් සමහර වෙලාවලදි පරාද කරල දාන වග. කෙනෙක්ට ආදරේ කරන තාක්කල් සමහරවිට හොයන්න උවමනා නොකල හෝ ආදරය විවාහයෙන් කෙලවර කරන්න යද්දි ගැලපීම් හොයන්න යන එක කොයිතරම් දුරට සාදාරනද කියල හිතන්න තරම් මට පරිණත මනසක් නෑ වෙන්නැති. 

"ආදරය කලානේ එහෙනම්ඔඔන්න ඔහෙ බන්දල දෙමු."

සමහර අය ගැලපීම් නොගැලපීම් අන්තිම තප්පරේදි හොයාගෙන ඒ සම්බන්දවලට ඉඩදෙන්නෙ දවසක පාවිච්චියට ගන්න උල් ආයුදයක් වගේම අවසානෙ අත් පිහදගන්න සුදු ලේන්සුවක් කියන දෙකම තමන් සතු කරගන්න ගමන්.

මිනිස්සු කියන්නෙ දෙවියන් නෙවෙයි. ඒත් මිනිහෙක් ඇතුලෙ ඉන්නව එක්තරා යක්ෂයෙක්. ජීවිතය පුරාවට ලැබෙන හැම පුංචි අසවස්ථාවක්ම එකතුකරගෙන දවසක ඒ යක්ශයා ඉපදෙන්න බලාගෙන ඉන්නව. හැමෝම ඉහල මනසක් ඇතුව උපදින්නෙ නෑ මිනිහෙක් උන පලියටම. 

"මම ඉවසනව, මට තේරෙනව, මේ මිනිස්සුන්ට පිස්සුනෙ" 

කියන ඕනෑම සුදු චරිතයක් ඇතුලෙ ඉන්න කලු අලු චරිතෙ ඇහැරවල ගන්න අර උල් ආයුදේම ප්‍රමාණවත්. 

එක පාරක් ඇනුම් කෑව මනුස්සය දෙවන තෙවන පාරකදි හිතෙන් බිඳවැටෙන එක නවත්තන්න පුලුවං වෙයි ඉතාම උසස් මානසික එකාග්‍රතාවයක් තියන කෙනෙක්ට. ඒත් සැරින් සැරේ උල් ආයුධයෙ ඡායාව මවල පෙන්නද්දි හිත හයිය කරගන්න හැමෝටම පුලුවංද.

ගැලපීම් පවා නොගැලපීම් වෙන අවස්ථාවක පිහිටට කවුරුත් ඉඳීද.

මගේ ජීවිතේ ගැන පවා තීරණයක් ගන්න සුදුසු වටපිටාවක් මං වටේ නැති කොට මට පුලුවංද හිතට හුඟක්ම සමීප හිත එක්ක සෙල්ලම් කරන්න. මං නිසා ඒ හිත විනාශ කරල දාන්න. කලින් භවයක මම වැරදි කරපු පවට මට පුලුවංද ඒ හිත ට දඞුවම් විඳින්න මං එක්ක එකතු කරගන්න. මට පුලුවංද ජීවිතයක් එක්ක දැන දැන සෙල්ලම් කරන්න.

 මං දන්නව මං කරන්න ඕන හිත හයිය කරගෙන අනාවැකි බොරුකරන එක. ඒත් පැත්තක ඉඳන් විඩින් විඩේට ඇඟිල්ලෙන් ඇනල මතක් කරල දෙන උල්ම උල් ආයුධය තාම ඒ තැනම. 

මට උවමනා දේ හිතේ නළියද්දි ඇස් වලින් කඳුලු පයින්නෙ අහේතුවකටද?

මේ වචන හරියටම මගේ මනස වගේ. දැං මගේ හිත ඉන්න තත්වෙ වගේ. ගැලපීමක් නැහැ. පැටලුන නූල් බෝලයක් වගේ!

Wednesday, September 28, 2011

වෙනස




කෑම මේසෙ උඩ 
හරිම උජාරුවට
සුවඳ පතුරවද්දි 

ඔබ

පිඟානෙ ඉඳගෙන
දුම් දමදමා
බඩගින්න නිවුවෙ 

මම

Tuesday, September 27, 2011

ඒ දවස සමඟ හෙටක් ළඟ




හස වෙනදාට වඩා නිල් පාට උනේවත්, හුළඟේ අමුතු සිහිලක්වත් මම එදා නොවින්දෙමි. අඩුම තරමේ මම ඔබට උපමාකල ඉරෙහි හෝ අසාමාන්‍ය චර්ය්‍යාවක් එදා නොවුනේ ඇයිදැයි මම අසමි. මගේ හදවත විමසමි. නේක ආදර කතන්දරවල උනා වාගේ සොබාදහම එදා වෙනස් නූයේ ඒ අපට ආශිර්වාදයක් වන්නට මැලි වූ නිසායයි මම නොසිතමි. 

ඇත්තටම ඔබත් මමත් අරඹයා ලෝකය වෙනස් නොවූ බව සත්තකි. ඒ නමුදු ඔබටත් මටත් ඒ දවස කොයිතරම්දැයි අපේ හදවත් වින්ද අපූර්වත්වය නම් අරුමයකි. වෙනදා දුටු අහසේ නිලෙහි ලස්සනක්, හුළඟේ රිද්මයක්, චන්ඩ ඉරෙහි අමුතු රශ්මියක් ඔබටත් දැනුනාදැයි නෑසුවේ මන්දැයි මම නොදනිමි.

හිසත්, නලලත්, දෙඇසත් උණුහුමට සිපගනිද්දී ඒ උණුහුමින් මිදෙන්නට හෝ ඔය දෙපා සිඹිද්දී නැඟිට ගන්නට ශක්තියක් නූයේ සමුගැනීම ආසාමාන්‍ය ලෙස හිතේ කුරුටු අඳින්නට අර අදින්නට ටික කලෙක සිට පටන්ගෙන තුබූ නිසාය.

කියන්නට ඇතිදේ අපමනය. කීවත්, නොකීවත් ඒවා වචන වී හෝ නොවී ඔය හිතේ සටහන් අඳින බව දන්නෙමි. 'ඒ දවස' අපේ හිතේ උපයාගත් පරිමාණය කොතරම්දැයි දන්නේ ඔබත් මමත් පමණි. එය එපමනක්ම වීමම අපට ප්‍රමාණවත්ය.

හෙට දවස කුමන පැහැයකින් පාට වේදැයි දන්නෙකු නැත. නමුත් මම මඟබලමි... ඔබත් මමත් අත්තිවාරම් දැමූ හීනය මත හෙට දවස ගොඩනඟන්නට මම හදවත පුරා කටු සටහන් අඳිමි. ඒවා දකින එකම පුද්ගලයා ඔබ වෙද්දී ගුරුතුමාගෙන් පැසසුමක් ළද සිඟිත්තියක සේ මා සතුටු වෙමි. 

මේ හදවත ගැහෙන්නේ කුමන ස්වරයටදැයි ඔබ හඳුනන බව දනිමි.

කියන්නට ඇතිදේ අපමනය. නමුත් මම නිහඞ වෙමි. නිහැඞියාව පුරා වචන වලට ඇහුම් කන්දෙන ඔබ  තුල දොඩමලුවෙමි.

25/09/2011

Monday, September 26, 2011

(අඞන) ගල් හිතක්



මෙත්මිණ අදත් ඇඳල ඉන්නෙ ඒ ලානිල් පාට කමිසයමයි. දැන් කොයිතරම් කාලයක්ද ඒ කමිසෙට. ඒ කමිසෙ වයසයි සමදරාගෙයි, මෙත්මිණගෙයි ආදරේටත් වැඩිය. මොකද සමදරාට හොඳහැටිම මතකෙ තිබ්බ ඒ කාලෙ මෙත්මිණ ඔය කමිසෙ ඇඳන් අර විසාල ගේට්ටු කණු අස්සෙන් මතු උන හැටි.

හ්ම්හ්....

හිතේ තියන කන්දක් උස දුක් ගින්නෙන් එකමෙක අලු පොඩිත්තක් නාස් පුඩු අස්සෙන් එලියට පැන්නෙ ඒ ලස්සනම ලස්සන අතීතෙන් එකපාරටම සමදරාව වර්ථමානෙට ඇදල දානගමන්. 

සමදරා ආයෙමත් කීවෙනි වතාවටද මන්ද මෙත්මිණගෙ දිහාව බලාගෙන හිතන්න පටං ගත්තා.

"ඒ කමිසෙ පාට හේදිලා. දැං කොයි කාලයක්ද. ඒක දැං සුදට හුරු වෙනකල්ම දියවෙලා. මං වගේම තාම එයා ඒකට ආදරෙයි"

"තව ටික දවසකින්..... "

ඈ හිතන්න ගත්තා මේ මොනවද මං හිතන්නෙ කියල. 

ඒත්.....

 "තව ටික දවසකින් මේ කමිසෙ විතරයි.... එයා නෑ!"

ඒක බොහොම දරුණු හිතුවිල්ලක් උනත් සමදරා යථාර්ථය දකිමිණුයි උන්නෙ. 

 ගෑණියෙක් ගැන කොයි කවුරුත් මවාගත්ත විශ්වාෂය ඇතුලෙ ඉඳන්, ඒත් හැබෑම ගෑණියෙක් විදියට.

ඈ යථාර්ථය දකිමින් උන්නා!

**********

වුරුදු දෙකක ආදරේ රත්තරන් පාට නූලෙන් බැඳුනෙ දෙපාර්ශවයෙම ආශිර්වාදෙ මැද්දෑවෙ උනත්, දැං දැං සමදරා හිතන්න අරං අර ඉස්සරෝම තිබ්බ පුංචි පුංචි නෝක්කාඩු, හිත් නොහොඳකම් කවදාවත් නැතිවෙන්න නැතුවැති කියල.

මෙත්මිණගෙ පෙනහල්ලෙ පිලිකාවක් කියල දැනගත්තු හැටියෙ සමදරාගෙ දෙමාපියො ඈව තවත් ටිකක් ඈතට කරල තියන්න හිතුවෙ හරියට.,

"හහ්! උඹ මුලදිම අපි කිවුව දේ ඇහුවනම් ඔහොම වෙනවද?" කියන්න වගේ.

දොස්තරවරු කියන වචනයක්, වචනයක් ගානෙ අම්ම, තාත්ත ඈතට යද්දි මෙත්මිණ අසරණ වෙච්චි සමදරාගෙ හිතේ සඳුන් සුවඳ උලන්න නොගියෙ ඈ හයිය හිතක් එක්ක ඉපදිල තියෙනව කියනඑක ඔහු හොඳහැටිම දැනං උන්න හංද වෙන්නැති.

කරදර එන්නේ එක සැරේට! සේරම එක පොදියට!

"මොන විකාරයකටද මහරගම ගියෙ? ඕයිට හොඳ ප්‍රයිවෙට්ටෙකක නැවැත්තුවනම්  මෙලහට හොඳ අතට හැරිලා"

මෙත්මිණගෙ මල්ලි දුල්වන්ගෙ හිතාගන්නවත් බැරි බාදා කිරීම් එන්න එන්නම වැඩි වෙද්දි ඇත්තටම සමදරා පුදුම උනා.

"මේ උඹෙ අයියා! උඹට අයිය ගැන කොයි බැඳීමක් තිබ්බත්, නැතත් මට මං ආදරේ කරන මනුසස්සය වටිනව. උඹට අයිය උනට මට මේ 'මගේ මිනිහ'!. ගෑණීයෙක්ට තමුන්ගෙ මිනිහ කොයිතරම්ද කියන එක තේරුම් ගන්න තරම් උඹෙ හිත වයසත් එක්ක මෝරල නෑ!"

සමදර කෑ ගැහුවෙ හිතෙන්! 

අසරණම අඩියක ඉඳගෙන එලිය බිංදුවක් එක්ක පොරකන මෙත්මිණගෙ හිත තව තලන්න ඈට උවමනාවක් තිබ්බෙ නෑ.

දරන්න අමාරු ප්‍රථිකාර වල ප්‍රථිඵල එක්ක මෙත්මිණ මුරන්ඩු උනා.

"මට බෑ සමදරා! මට බෑ! ඒක මහ පවුකාර විඳවීමක්. තව බෑ මං මළත් !

හැමෝම එක්ක එක පැත්තක් ගනිද්දි, ආදරේම අසරණකමකට ගනිද්දි. ගෑණියෙක් දෙනෝදාහක් මැද්දෑවෙ තනිවෙන හැටි සමදර හොඳින්ම විඳෙවුවා.

මෙත්මිණගෙ කලු ගැහිච්ච මූන ඇගේ උකුලෙ තියාගෙන කොණ්ඩෙ නැති හංදම ඒක වහන්න තට්ටෙම ගාපු ඔලුව හෙමීට පිරිමැද්දා

"ඔයා එක්ක මං මැවුව හීන කොයිතරම්ද? මතකද? හැමදාකම කුලී ගෙවල්වල ඉන්න බෑ කියල අපි දෙන්න අරගත්තු ඉඩම? අපිට ඒකෙ ගෙයක් හදන්න තියෙනව. අපේ පුතා!එයා තාම ඉස්කෝලෙකට දාන්න වයස මදි. තව අවුරුදු තුනකින් අපි දෙන්නට යන්න තියෙව ලොකු ගමනක්. පැටියගෙ අත් දෙකෙන් අල්ලං ඌව ඉස්සරෝම ඉස්කෝලෙ එක්කයන්න අපි දෙන්නම ඉන්න ඕනේ"

ඈ හීන එක එක දිගඅරිද්දී මෙත්මිනගේ කඳුලින් තෙමුන සමදරාගේ උකුලත් සමදරාගේ  කඳුලින් තෙමුන මෙත්මිනගේ හිසත් තව තවත් පෙඟෙමින් තිබුනා.

අන්තිමේ එක්තරා කාලකන්නි හැන්දෑවක ඔහු අංශ භාග රෝගියෙකු බවට පත් වෙද්දි සනීප කරන්න බැරි ඒ පිලිකාවෙ සගයෙක් ඔහුගෙ මොළය ආක්‍රමණය කරල තිබුනා!.

**********

මදරා ! 

ගැහැණියක් විදියට හෙලපු හැම කඳුලක් සහ සුසුමක් ගානෙ හිතට ගල් පුරවන්න පටන් ගත්තා. ඒ ගල්වල තියුනු දාර වලට හදවතේ ගණකම්, තුනි බිත්ති සිදුරුවෙලා ඒව අස්සට අර ගල් රිංගන්න උනා. 

අන්තීමේ පෑරි පැරි රිදෙන නහර ලේ අතරින් තවමත් ගැහෙන 'ගල් හිතක්' ඈ දරගෙන උන්නා.

" This is your Husband! You decide what you want to do. don't let others to play with his or your life!"

වෛදය්‍යවරයගේ ඊ සර වචන ඒ ගල් හිත පසාරු කරං ගිහින්. 

කාටද පේන්නෙ 'ගල් හිතක් පවා ගැහෙනව කියල!'

ඈ මහා හුස්මක් ඇදල අරගෙන නහර පුරවගෙන වෙවුලන ජීවිතේ ඔසව ගත්තා.

ජීවිතේ කවදාවත් නැතිතරම් බරට දැනෙද්දි ඇස්දෙක පියාගෙන ඈ මවාගත්තා මෙත්මිණගෙ අතින් තමන්ගෙ අතට තිළිණ උන ඒ පුංචි පැංචව. 

හතිවැටුන උනත් වෙහෙස අමතක කරන්න උත්සහ කරන ගල් හිත ඈට හෙට දවසට තල්ලුවක් වෙලා ආව ඔහුගෙ ආදරේ උරාගන්න අවස්ථාව දෙනගමන් ගැහෙන්න පටන් ගත්තා. 

'ඔවු ගල් හිත් ගැහෙනවා!'

"එයා එක්ක මැවුව හැම හීනයක්ම මම හැබෑ කරනව. දවසක එයා ට දකින්න. ඉන්න තැනක ඉඳන් සතුටු වෙන්න. අපේ ආදරේන් උපන්න මේ අපේ පැටියගෙ හෙට දවස මං ඒ හීන වලින් පාට කරනව".

ඈ අන්තිමේ ඊයේ රාත්‍රියෙ මෙත්මිණගෙ උකුලෙ ඔලුව ඔබාගෙන එලිවනතුරුම ඇඩුව! ඒ උකුල, පපුව, උරහිස  සුන්දර මතක කඳුලු වෙලා සීතලට පොඟවද්දි ඈ ආදරේ හදවතට පුරව ගනිමින් උන්නා! 

හිතේ ඔබාගත්ත හැම කලුගලක්ම ආදරේ අවශෝෂණය කරගනිමින්සිටිද්දී ඔහුගේ පපුතුරෙන් කාන්දුවෙන සුවඳට ඉවඅල්ලමින් ඈ ඇඩුවා!

'ඔවු ගල් හිත් ඇතුලෙත් කඳුලු උපදිනවා!'

ඒ හැම කඳුලක් ගානෙම ඔහු වාරු තිබුන අතින් ඇගෙ හිස ආදරෙන් පිරිමැද්දා .

අන්තිමේ....

අයෙමත් දවසක් පටන්ගන්න යන වෙලාවෙ ඈ හිස ඔවල බැලුව ඔහු දිහාව. 

ඉදිමිලා රතුවෙච්ච ඇස් අගිස්සෙ තවම නොවියලනු කඳුලක් තියෙද්දිම සීතල තොල් වලින් ඒ පපුව සිපගත්තා. ඒ මොහොතෙම ඔහු හිස පාත්කරල ඇගේ හිස සිම්බා!

මොහොතකින් ඒ ඇස් හමුවෙද්දි හීන් හිනාවක් මූනු දෙකම හැඩකරන්න පටං ගත්තා! 

තාම නිදා ඉන්න පුංචි පැංච දිහා බලන ගමන් මෙත්මිණ සමදරාගෙ අත මිරිකා ගත්තා!

ඈ ඟැඹුරු හුස්මක් ඇදල අරගෙන හදවතේ ගල් අස්සෙ ඉතුරු අවකාශ පුරව ගත්තා.

~ ~**********~ ~

Friday, September 23, 2011

නිහඞ උවනත දකිමි මම ඔබ



සිනාසෙන සඳ නුරා අහසට
කෝල තරුකම් මවද්දී
පුරා සිතලඟ කවියකට පද
නුඹේ උරමත නිදද්දී

පපුතුරේ හිඳ දෙනෙත් අද්දර
ආදරේ කවි මැවෙද්දී
පියාගමි මම මොහොතකට නෙතු
දයාබර හිත ගැහෙද්දී

ඇසිලක ඔය සුරත් පහසින්
තුරුල්ලේ සුව සැදෙද්දී
නොකිවු වදනින් සවන් පුරවමි
හැඟුම් මල් මුතු සැලෙද්දී

නිහඞ උවනත දකිමි මම ඔබ
නිසල නෙතුකැන් පිපෙද්දී
හෙටක් ඉද්දර සිනාසෙමු අද
පැතුම් මල් වැහි වහිද්දී

Wednesday, September 21, 2011

ඔයා දැන් හරි වෙනස් (මේ මම ම තමයි)



ජීවිතය කියන්නෙ මොකද්ද කියල නානාප්‍රකාර අර්ථ දැක්වීම් දෙන කවුරුවත් ජීවිතය ඒ විදියටම.... ඒ කියන්නෙ, තම තමන් ජීවිතේට දීපු තේරුමෙන්ම ජීවත් වෙනවද කියන එක  කොයිතරම් දුරට ඇත්තද කියල දන්නෙ ඒ ඒ අදාල අය විතරමයි. ඒ මට හිතෙන හැටි සමහර විට ඒ විදියටම ජීවත් වෙනව වෙන්නත් පුලුවං තමා. 

ජීවිතේ ඔයාටත් මටත් දැනෙන්නෙ හාත්පසින්ම වෙනස් විදියට. මම කවදාවත් විශ්වාස කලේ නෑ මං වගේම හිතන තව කෙනෙක් කොහේහරි ඉන්නවද කියල. "අපි දෙන්නගෙම අදහස් හරි සමානයි" කිවුවද කවුරු හරි, කවදහරි?  එහෙමනම් ඒ ජොලියට. නැත්නම්, පොඩියක් හිතල බලන්න හිත තේරුම් ගන්න අපූරුව එක්කො එයා ඔයාගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙලා නේද කියල. සමහරවිට ඒක අපේ හිත තේරුම් ගන්නේ අපි ඒ මැජික් එකට රැවටුනා කියල දැනගත්තට පස්සෙ වෙන්නත් පුලුවං. එතකොට සමහරවිට ඉස්තලෙ වහන්න තප්පරේකට කලින් අස්පය පැනල ගියා වගේ වෙන්නත් පුලුවං. 

'හොඳම යාලු'ව කියල කියාගන්න කෙනා ඇතුලෙ උනත් මම අප්‍රිය කරන මොහොතක් නැති වෙලා තියනවද ? ඒත් එහෙම උනයි කියල 'හොඳම යාලුව' කියන තනතුර ඒයාගෙන් ගැලවිල යනවද? බලාගෙන! සමහරවිට.... ඒ නොගැලවීම තුල තියෙන්නෙත් එක්තරා විදියක මායාවක්, නැත්නං මැජික් එකක් වෙන්නත් බැරි නෑ. 

ආදරය තුල "මෙයා නම් මවල තියෙන්නෙ මටම තමා" කියන යුගල කීයක්ද? ඒවයෙන් කීයක් යුගලයක් විදියටම පැවතුනාද?. සමහර විට, මයා බන්ධනයක් ක්‍රියාත්මක වෙලා වෙන්න පුලුවං. 

"ඔයා දැන් වෙනස් වෙලා.... "

කවුරුහරි එහෙම කියද්දි  හිත යටින් පුදුමයක් නොදැනුනා නෙවෙයි නේද?. "මම වෙනස් වෙලා නෑ, ඔයා තමා දැන් හරි වෙනස්". අපිට හිතට එහෙම හිතිල නතර වෙන්නෙ නෑ. කටෙන් ඒ වචන පිටවෙන්නෙ බොහොම දරුණු විදියට. 

ඇත්ත, වෙනස් වීම තරම් හිත රිද්දන දෙයක් තව කොහෙද? ඒත් අපි අපිම උනානම්, අපි අපි වගේම කාබන් කොපියක් හොයල මායාකාර විජ්ජාවකට රැවටටෙන්නෙ නැතිව උතන්නනම්, සමහරවිට අදටත් බැඳීම්  අපි ළඟ. පැය, දවස්, සති, මාස, අවුරුදු ගනන් වලින් අගය වැඩිකරගෙන ඒ බැඳීම්. 

සමහර විට මම මමම වෙද්දි අනෙකා ආයාසයෙන මම උනෝතින්! උවමනාවෙයි ලොකු ධෛරයක් ඒ බැඳීමම ඉස්සරහට අරං යන්න. මොකද ආයාසයෙන් කවුරුත් මුකුත් කරන්නේ අපි ගාව නැති ඒ දේට අපි පුදුම තරං ආස කරන හංදයි. ඒත් බලාගෙන! අමාරුවෙන් මවාගත්ත ශෝබන හීනෙට පුරුදු වෙද්දි හිත ලිහිල් වෙන්නත් පුලුවං. එතකොට අර 'හරියටම ගැලපෙන හොඳම භාගෙ' හිතන්න ගනියි  "හ්ම්හ්! මෙයා නම් දැන් හරි වෙනස්" කියල.

අවුරුදු ගානක යාලු මිත්‍රකම්, ආදර කතන්දර, පවුල් ජීවිත ඇතුලෙ තියෙන්නෙ "අහා! මේ නම් මටම කියල මැවුව කෙනෙක්" කියන සිතුවිල්ලමද? මට හිතෙනව ඒක එහෙම නෙවේ කියල. ඒ අස්සෙ නැද්ද නොගැලපීම්? පුංචි පුංචි ඒව විතරක් නෙවේ මහ විසාල බරබතල ඒව පවා.
එහෙම ඒව තියනව, තවත් ඇති. 'කරවිලයි කොහොඹයි' වගෙ ගැලපෙන ජෝඩුවක උපමාව තිත්ත උනත් (හා! ඒක බොහොම අපූරුවට ගැලපෙනවනෙ හරියට සඳුන් සමන් වගේම)දකින්න උත්සහ කරමුද නොගැලපීම් ගොන්නක්. හෝ!  ඔන්න එක පෙලට ඔය ගලාගෙන එන්නෙ. කොටින්ම කීවොත් ඒක ගහක් මේක වැලක්! 

ඉතිං නොගැලපීම දැක්කට හිතුවද පොඩියක් ඒ නොගැලපීම එයාල අපූරුවට විසඳ ගත්තුහැටි. ඟැඹුරට හිතුවොත් කාටත් හිතෙයි "ෂා! ඒකනම් පුදුමයි".

මං හිතනව වෙලාවක උඹෙත් මගෙත් යාලුකම වගේම ඔහුගෙත් මගෙත් ආදරේ ඇතුලෙත් කොයිතරම් නම් ගල් බොරලුද කියලත්. කේන්තිය, දුක, අසරණකම ඒ නොගැලපීම් අස්සෙන් ඔලුව දාද්දි මට ඇත්තටම "හපොයි!" කියල හිතුන තමා. ඒත් හොඳම යාලුව උඹයි කියන්න මට ගතවෙච්චි කලෙට වඩා අඩු කාලයක් උනත් මගේ ආදරේ ඔහුයි කියන්ඩත් මට කාලයක් ඕන උනා. ඒ කාලෙ ඇතුලෙ අපි නොගැලපීම් හුඟක් අදුරගත්ත උනත් ඒව ගලපන්න උත්සහ නොකල හංදමද මන්ද අද වෙනකනුත් උඹත් ඔහුත් තාම මං එක්ක රැඳිල ඉන්නෙ.ඒක බොහොම අමාරු රාජකාරියක්! මං අකමැති මගෙ අකමැති දේවල් හිටි හැටියෙ හොයාගන්න ගමන් තේරුම් ගන්න එක ඒ බැඳීමෙ වටිනකම. 

අපිව මඟ දාල ගිහින් දුරක නතරඋන එයාලව හරියට දකින්න එයාල අපිට කාලෙ දුන්නනම් 'හොඳම භාගෙ' කියල හිතා උන්න ෆැන්ටසි කැඩිලයන අපූරුව බලාගන්නත් තිබ්බා. 

බැඳීමක් පටන්ගනන්නෙ රහස් ගොන්නක් එක්ක. ඒවා කාලෙ එක්ක 'කවුරුත් දන්න රහස්' වෙද්දි දැනෙන දුකට කියන කතාවක් තමා "ඔයා දැන් වෙනස්" කියලා අපි පිටකරල දාන්නෙ. ඒත්, අමතක කරන්න එපා!, ඒ වෙනස් වීම නෙවේ ඒක තමා නියම විදිය. 

ඒ ඇත්තම විදියට ඔරොත්තුදෙන තාක්කල් බැඳීම බැඳීමක්ම වේවි සත්තකින්ම!.

මේ මං හිතන විදිය 'ඔබ' කියල මට හඳුන්වන්න පුලුවං අනෙක් කවුරුත් කොහොම හිතනවදැ කියල මං නොදන්නව උනත් අපි කවුරුත් දන්නවනෙ 'හිත තේරෙන්නෙ අයිතිකාරයට විතරයි' කියල. 

එකඟ නෑ...? 

කමක් නෑ හෙමීට, හොරෙන් වගේ හිතල බලන්නකෝ කවදාවත්, කාටවත් නොකිවු පුංචිත්තං දෙයක්වත් නැතිවෙන්න බැරිද කියල ඔය හිතෙත්! 

ඒත්, ඒ කියන්නෙ අපේ බැඳීම් දුර්වලයි කියන එක නෙවේ. නොගැලපීම් සහ නොදුටු පැත්තක් එක්ක අපි බැඳීම් වටහාගෙන කියන එක කියලයි මට හිතෙන්නෙ.

Friday, September 16, 2011

අහස් නිල



සුදු වලාකුලු වෙනදාට වඩා සුදට පෙනෙන්නේ අහස නිල් පැහැයෙන් දිස්නය දෙමින් තිබුන නිසාය.ඒ අහසම රත්තරන් පාටම දැයි නිෂ්චිතවම කිව නොහැකි ඉරෙහි දීප්තියෙන් උවමනාවටත් වඩා දිදුලමින් උන්නාය.

මිනිසුන් කොතෙකුත් මේ අහස් නිලට ඇලුම් කරන්නේ මන්දැයි සිතාගත නුහුනු හිත ඒ කෙරේ හදිසියේම පුදුම ඌවාය. ඇස් පියවෙන තරම් දැඩි ඒ දීප්තිය මට කවදත් අලස් හැඟුමන් ගෙනදෙන දසුනක් විය.

හ්ම්හ්.......

හදවතේ ඟැඹුරක හිරවී තිබුන බර හුස්මක් නිරායාසයෙන් ඇද එලියට දමන්නට ඒ සුසුම සමත් වෙද්දී මම කුටියට වැදුනේ හේබාගිය හිත නිදැල්ලේ  මුදාහරින්ටය.සයනයේ කොණක තුබූ පැති මේසය මත වූ මේස ලාම්පුවට තනි රකිමින් උන් පිංතූර ඇල්බමයේ කවරයත් මසිත මෙන්ම දියවී යමින් තිබුනි. පාසල් සමයත්, ඉන් අනතුරුව ගෙවුනු ඒ දෙවසරත් මේ ඇල්බමය තුල සාරාංශගත වී, විටින් විට මුල සිට අගටත් වරෙක අග සිට මුලට පාවා මසිත මෙන්ම පෙරලා බලා,දියවී යමින් තිබුනි.

යලිදු වතාවක් හදවතේ කොණක හිඳ නිතරෝම විරාම අතරතුර මතකයට විත්, දුක - පසු - තැවීම අතරට බියද මුහු වී තැනුන මා හොදින් අඳුනන මුත් මට වටහාගත නොහුන ඒ හැඟීම විසින් මඞින ලද මා ඒ පිටු පෙරලන්නට වීමි.

කඳුලක් බවට පරිණාමය වූ ඒ හැඟීම හදවතේ සිට දුර ගෙවා නෙත් තුල එකතු වෙද්දී මා ඔහුගේ පුරුදු සේයාරුව අසල නතර උනෙමි. 

ඔහුත් මමත් අතර සිදුවූ දෙයක් නැත. 

දඟකාර හිත් අභියස හදවත විහිලුවකට පෙම් බඳිමින් සිටිය වග කිසිවකුත් නොදැන උන්නාත් නොවන කල, අප එක්තරා සංදිස්ථානයක නතරවී උන් අයුරු හිතෙද්දී විහිලුව තවදුරටත් විහිලුවක් නොවන වඟ සමහවිට දැන ඉන්නට ඇත්තේ මමත් මසිත හැඳිනූ යෙහෙලියත් පමණක්මය.

ආපසු හැරීමක් හෝ ඉදිරියට යායුතු මඟක් නොමැතිව අතරමඟ ජීවිතය නතර වෙද්දී ඔහු ජීවිතේ දුටු හීනයක් සොයා ඉගිලගොස් තිබුනි. 

"අපි හොඳ යාලුවො විතරයි. එතනින් එහාට දෙයක් නෑ"

ඒ වදන්.... 

හදවතේ රිදෙනම ඉසවුවක  හිද දුක් කැටයම් නෙලද්දී මම අසරණ උනයුරු.....

හ්ම්.....

මේ දෛවයමදැයි පිළිගන්නට අකමැත්තෙන් ජීවිතය අතීතයෙන් සාක්ෂි එකතුකලයුරු....

අවසන, 

හිත හදන්නට සිතාගෙන, හිත හැදේවී යැයි සිතන්නට උත්සාහ කරන අතරේ මම කඳුලු හැංඟීමම හිත හදාගැනීමයි කියා පෙන්නන්නටත්, මගේ වන උන්ගේ හදවත් මෙන්ම ජීවිත පවා එමගින් පුරුදු රටාවට එලැඹෙනයුරු දකිමින් සැනසීමක් වන් යමක් විඳිමින් මම.,

"ඕක අමතක කරල දාන්ඩ, කාලෙට ඉඩ දීල බලන්ඩකො, ඒක සේරම විසඳයි" 

කියා දැණමුතුකම් දුන් අයවලුන්ගේ බසට ඉඩදී කාලයත් සමඟ වෛර බඳීමින්, කාලය ට දිය වෙමින්, රිදෙමින්, තැවෙමින්, හැඟීම් සඟවමින්, සමහරවිට.... ඔය සියල්ලටම අඩුම තරමේ ඒ සඳහා උත්සහා කරමින් හෝ එසේයයි පෙන්වමින් මම ගෙවාදැමූ කාලය! 

එම කාලය සමඟ ගෙවී ගිය ජීවිතය!

අවසන යලිත් වරක්....

මල් කැකුලු අතරේ කටුවල වේදනාවත් ඇති බව දැන දැනම ඔහුත් මමත් යලි මුනගැසුනයුරු.... 

ඒ මුනගැසීම පිලිබඳ ගැස්මකින් මුත් පිපාසාවකින් පෙලුන හිත උද්දාම උනයුරු.....

"මං හිතුව තරහ වෙලා කියල. තරහ වෙන්ඩ දෙයක් උනේ නෑනෙ නේද?"

ඔහුගේ වදන්....

හංඟා තුබූ ගිණි පුළිඟු වලට හුස්ම පිඹිද්දී මම ඒ රස්නයට පිච්චෙතැයි අදහන්නට ලෝබ උනෙමි.

මඟහැරුන වසන්තය යලිත් උදාවෙනු ඇතැයි හීන  දකිමින්ම මම

සමහර විට,

සමහර විට.... ඒ උදාවන වසන්තය සෙවු මල් සුවඳම නොගෙනෙන වග සිතන්නට මැලි වෙමින් හිඳින වඟ අමතක කරදමන්නටසිතා ගත්තෙමි.

අවසන අමතක කිරීම කෙතරම් රිදුම් සහගතදැයි විදවන අතරතුරම හෙට වසන්තය උදාවෙතැයි මම මාලිගාවක පාදම දමන්නට වූ අයුරු.

හ්ම්හ්....!!

කඳුලින් පෙඟුන කොපුලට වැටුන හුළං රැල්ල ඇතිකල සීතලට වෙවුලූ ගතින් නෙත් හැර බලද්දී ඒ සේයාරුව කඳුලින් පෙඟී ඇති අයුරු මගේ ඇස ගැටුනි.

Thursday, September 15, 2011

මැයි මල් ගහ ගැබ්බරව (මහ පාර අද්දර)


මහ පාර අද්දර
මැයි මල් ගහ ගැබ්බරව

එකිනෙක වැටෙන මල්
පාර අයිනක තනිවම

මහ පරෙ මැද මලක්
කාර් රෝදයක් යට

කවුරුවත් ඇඞුවාද
තවත් මල් පිපෙන සඳ!

කවුරුවත් ඇසුවාද
තැලුන පෙති අඞන හඞ !

(ඇසුවාද?)

Friday, September 9, 2011

තවමත් තාත්තේ



වැහි කලුව ඉහ ළඟින්
අඳුරු රූ මවන සඳ,
පියාඹන කාලයට
ඉටිපහන් සැලෙනවද?
සොහොන් බිම හීතලට
තාම හිත ගැහෙනවද
පෙර දිනක විඳි තුරුල
එහිත ළඟ අඞනවද?
නිහඞ හදවත ළඟම
කඳුලු කැට බිඳෙන සඳ
අහසටත් වඩා උස
හිත තවම තෙමෙනවද?
පණගහන පැතුම් ළඟ
ජීවිතය සැලෙන සඳ
ආදරය පොඩිත්තක්
හුළඟ අත එවනවද?
මල් වඩම් කෝ....කොහෙද
දේදුන්න වියනවද?
වාරුවක් වී ඉන්න
හීනයක එතෙනවද?
තාත්තේ, මගේ හොඳ,
නිසංසල කොපුල් මත
වැටුන ඒ කඳුලු බිඳ
තවම ඔබ රකිනවද?

2011/09/10

Thursday, September 8, 2011

කතන්දර හුඟක්


ඇයි ඉල්ලාගත්තෙ 
මගෙ හිත
කලින්ම නොඉල්ලා පිටපතක්
'තාරුකා' සටහනෙහි

දින, සති, මාස 
අවුරුදු වෙනකල්
කැටයම් 'කැපූ' හදවතට
උවමනා ඇයි තව
අලුත් 'ලියවැල්'

නුඹ 
මල් පොකුරක
උපන් 'ඵලයක්'
මම 
මල් පොකුරක
තවත් එක මලක්

මම
බයයි
මේ දැනෙන
හීතල හුළඟට

අර 
ඈත 
හුළඟ හා හාද
කුණාටුව වත්ද?

මම
බලා 
ඉන්නද 
කඩං වැටෙනකල් 
'තරුවක්'

Friday, September 2, 2011

මඟුලට ටිකට්!




'මඟුල් ගෙදර'
මේසයක් උඩ
මල් එක්ක
මුකුලුව
'ලියුම් කවර' 
මිටියක්ම

ඔයිට නරකද
ප්‍රින්ට් කලානම්
ටිකට් පොතක්
'බාල'

මඟුලට එන
දොර ගාව
ඉන්දන්න පුලුවංනෙ
පවුලෙ කෙනෙක්ව
ටිකට් 
'විකුනන්ඩ'

හෙහ්!

මේක 
'දියුනු'
ලෝකයක් නොවැ!