Showing posts with label ඇසුවෙම් දුටුවෙම්. Show all posts
Showing posts with label ඇසුවෙම් දුටුවෙම්. Show all posts

Wednesday, June 18, 2014

ලැජ්ජයි!


මනුස්ස කණ්ඩායම් අස්සෙ රණ්ඩු ඇතිවෙන එක සාමාන්‍යයි. ඒවට පිදුරු දාන්න යන්නෙ කොහේවත් ඉන්න අය වෙන එකයි දුක. සමහර විට, ප්‍රතිරූපය කියන එක අභ්‍යන්තරෙන්ම ඇති වෙන්නෙම නැති අවාසනාවන්ත සමහරු ප්‍රතිරූපයක් භාහිරින් හදාගන්න කියල කරන දේවල් වෙන්න ඕනෙ ඔය. ඒකෙන් එයාලගෙ ප්‍රතිරූපෙ කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙ  රූපෙ නම් ගන්නම දෙයක් නැති තත්වෙට වැටෙන එකයි දුක.

ලැජ්ජයි!

අපි කාටත් ලංකාවෙ ඉන්න හැම ආගමකම යාලුවෙක් ජීවිතේ කොහේදි හරි මුන ගැහිල නැත්තං ඒක ඇත්තටම පුදුම වෙන්න ඕන කාරණාවක්. හිතට දැනෙන්නෙ හරි වරදකාරී හැඟීමක්. ෆරීහා මට 2002 - 2004 නුගේගොඩ රොටරියෙ ශ්‍රීනාත් සර් ගෙ Chemistry Class එකේදි අහම්බෙන් මිතුරු උන යාලුවෙක්. ඈට මම ඊයෙ කතාකලා. අනේ බලන්ඩකො. ලැජ්ජාවෙ බෑ. ඈ කිවුවා.

මටත් ලැජ්ජයි!

පිදුරු ගොඩ හොඳටම වේලලා වේලලා සැරින් සැරේ ඒකට සිගරට් කොට, නිලා කූරු, විසි කරල එන දුම දිහා බලා ඉදල ප්‍රතිරූපෙ up කරගෙන  සතටු උන කට්ටිය දැන් සමහරවිට වතුර බාල්දි උස්සාගෙන කිඹුල් කඳුලු හල හල අඩනවා ත් ඇති. ආයෙත් ඒ පිදුරුගොඩ තව හොදට වේලලා ඇවිලියන් කියල ගිනිකූරක්ම ගහන්නත් බලාගෙනම. 

ගෞරවය, අභිමානය රැදෙන්නේ හෝ ලැබෙන්න්නේ අපි අනිකාගේ අනන්‍යතාවයට ගරුකරන කල් විතරයි.  ඒක නැති උන තැන ඉඳගෙන අපිට බෑ අනෙකාගෙන් ඒ දේ ආපිට බලාපොරොත්තු වෙන්න. ඉරිඟු වපුරල හාල් බලාපොරොත්තු වෙන්න එපා කිවයනවනෙ. 

දැන් ඉතිං 'ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා' කියල ප්‍රශ්නෙ වහන්න අමාරුයි. එහෙම කාලයක් තිබ්බ. ආයෙ සමහරවිට එන එකක් නෑ.  මම දැක්කා පුද්ගලික Bus එකක මට ඉස්සරහ ඉඳගෙන උන්නු මුස්ලිම් කෙනෙක් පොඩි ළමයිගෙ පාඩම් වලට ඕන කරන රට රට වල ජාතික කොඩි තියන රූප කොලයක වෙන මොකද්දෝ කොඩියක් ඉඹිනව. දවසක් එක්තරා බැංකවක ඉන්න Security ල සේරම Counter එක ගාව බුර්කාවක් ඇඳන් ආපු කෙනෙක් ගාව. ඒ අස්සෙ ඥානසාර හාමුදුරුවො වගේ අය ඉස්සර උන්නු අනගාරික ධර්මපාල තුමාගෙ චරිතෙ අනුකරණය කරන්න වගේ ගිහින් ඇදගෙන නානවා. කාලෙ වෙනස්ම පැත්තකට රට ගෙනියනවා. මේ ඔක්කොම අස්සෙ ජනාදිපතිතුමා බොලිවියාවෙදි සාමය ගැන සම්මාන ගන්න අතරෙ ඕස්ට්‍රේලියානු රජය ලංකාවට එනවනම් පරිස්සමින් කියල අනතුරු අඟෝනව. විහිලුයි වගේ නේද?

මම ඇහුව එක video එකක සිංහල කෙනෙක් කියනව "අපිටත් මුකුත් කරගන්න බැරි උනා. අපි උදවු කරනන යද්දි අපිටත් ගැහුව" කියල. මුස්ලිම් කෙනෙක් කිවුවා "එතන එක මුසලුමානුවෙක් වත්, එක බෞද්ධයෙක් වත් හිටියෙ නෑ" කියල. ඇත්ත ඒකයි. බාහිරින් ඇවිත් දේශපාලනේ සාමාන්‍ය ජීවිත අස්සෙ රඟපාන එක නවත්තනකල්, ආයෙ යුද්දෙකට රට ඇදෙන එක නවත්තන්න බැරිවෙයි. රජය මේ කෙලින් තීරණයක් ගන්න ඕන වෙලාවක්. නැත්තන් ඊළඟ ට අපිට අවුරුදු 30මදි වෙයි රට බේරගන්න. 

83 කලබල කාලේ මං ඉපදිලා නොතිබ්බ එක ගැන මම සතුටුයි. ඊට අවුරුදු දෙහෙකට පස්සෙ ඉපදිලා ගෙවුන අවුරුදු විසිනමයට 83 හෙවනැලි පවා හිතට ගෙනාවෙ හරි අපුලක්. සමහරවිට LTTE ත්‍රස්තවාදීන් ගැන යුද්දෙ අන්තිම කාලෙදි හැම පැත්තෙන්ම ලැබුන මොරාල් එක හංදා, යුද්දයක් නැතිව එක්තරා කණ්ඩායමකට නින්ද යන්නෑ නෑ වගේ දැනෙව වගෙයි පේන්නෙ.

මම කැමතියි මම ඉපදෙන්නත් කලින් ඉඳන් තිබ්බ යුද්දයක් මම තරුණ කාලෙ ඉවර උනා කියල අනාගතේ දවසක කියන්න. මම කැමති නෑ මම ඉපදෙන්නත් කලින් ඉඳන් තිබ්බ යුද්දයක් ඉවර වෙලා රස්නෙ මැකීගෙන වගේ යද්දි තව යුද්ධයක් පටං ගත්තා කියන්න.

Tuesday, April 29, 2014

ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද




පාට ගෑ අත් ලකුණු උණුහුමට ගෙයි බිතක
කිරි සිනා සිතුවමක් මවයි හදෙහී කොණෙක
සමු ගන්න සිපගත්ත නලල හැඩි කල දෙතොල
සැලෙනවා ඉකිහඬට නුඹ කොහිද මගේ පුත

ජීවිතය පාටකල හීන මතකඳ මිතුර
ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද
පාවෙලා ආ දිනෙක කෙස් රොදක් හෝ මවෙත
අමතකව තියේවිද හීනමය අතීතය

අඳුර ගැඹුරුයි තමයි මූද හරි හීතලයි
රැලි නඟින ඔය දියඹේ නුඹව ශේෂව නොයයි
අතහැරුණ අතැඟිලිත් තවම නුඹවම සොයයි
හැංඟිමුත්තං මදිද හිතත් දැන් හරි බරයි

මතක රැලි නඟිනවිට මුහුද අද ගොලු මොකද
වැහි ලිහිණි තටුවලට විඩාවක් දැනිලාද
ලවණ රස කඳුලකට නිදහසක් නැතිව වද
මියෙන හිත් දහසකට සරදමක් කෙරුවාද



Tuesday, August 6, 2013

වීරයෙක් වියයුතුමයි!



මරණකොට, 
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!

රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!

ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!

ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!

මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,

වීරයෙක් වියයුතුමයි!

හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....

ඔබ වීරයෙක් වියයුතුමයි!

Wednesday, March 6, 2013

පිස්සෙක්ද කොහෙද!



ඔබ කවුද?
දැක පුරුදු මූණක්
ඒ ඇත්තටම ඔබමද?!

වැඩ අටෝරාසියක්
මේ මගේ උරමත
හනිකට කියනවද ?

මාලිංග!
ඒ ඔබමද?

හුරු උනත් නෙත්වලට
නුහුරක් ඇඳෙයි හදවත

ඇත්තටම ඔබ කවුද?

ලසිත් මාලිංග?

ඒ මොන බොරුවක්ද?
පිස්සෙක්ද කොහෙද!

කියන්නෙපා ඇහෙන්නට
හූ කියයි උඹට!

Thursday, January 10, 2013

රිසානා! තුරුණී, වරද කොහිදයි නොදනී!




රිසානා,
මට දුකයි නුඹ ගැන. ඒ වාගේම දුකයි ඒ සිවුමස් වයසැති පුතා ගැන, ඒ පුතාගෙ අම්මා ගැන.

 නුඹ ඒ දරුවාව මරාදමන්න කොහෙත්ම හිතුවෙ නෑ ඇත්තයි. ඒක 'අත්වැරැද්දක්!' ඒත් ඒක 'අත්වැරැද්දක්'ද? ඒ  පුංචි දරුවෙක්. අද ජීවත් උනානම් අවුරුදු 08ක විතර පොඩි කොලුපැටියෙක්. තමන්ගෙ දරුවෙකුට උනානම්....!  හිත කීරිගැහෙනව නේද හිතද්දිත්? ඒ අම්මා කොහොම දුක උහුලනව ඇත්ද? 

ඒත් අමමා කෙනෙක් සහ දරුවෙක්!

රිසානා, 
නුඹ සෞදියට ගියේ අඩු වයසින්! මෙහෙකාර සේවයට!  වයස 17ක දැරියක්ව ඉඳිද්දී. තව දරුවෙක් හදා-වඩා ගන්න, බලාගන්න, රැකවරණය දෙන්න තරම් ඔබ පරිණත නෑ එදා, සමහරවිට අදත්.... ඔබ මියයද්දි ඔබට වයස 23යි!

ශරියා නීතිය ගැන මම දන්නෙ නෑ, ශ්‍රී ලංකාවෙ නීතියත් මම නොදන්නවා ගනයි තමයි.

ඒජන්සි කරුවන්! 
උන්ට නුඹ තව සල්ලි කුට්ටියක් විතරමයි. 

ඒත් නුඹේ අම්මාට? 

මම දන්නෙ නෑ නුඹත්, අම්මාත් අතර තිබ්බ බැඳීමෙ දිග පළල. මම දන්නෙ නෑ නුඹත්, නුඹේ පවුලේ අයත් ගිලිල උන්න ආර්ථික  ආගාදයේ ගැඹුර, ඒත් එදා නුඹ වයස 17ක දැරියක්, මවත්-පියාත් දෙදෙනාම ජීවත් වෙන දැරියක්!
අද, 'මගේ දරුවගෙ මූණවත් බලාගන්න මළ සිරුරවත් ගෙනත් දෙන්නැ'යි අයදිනවා.

ඒත් අමමා කෙනෙක් සහ දරුවෙක්!

කොතැනද වැරදුනේ?
දේශපාලනයේ, නීතියේ අඩුලුහුඬුවක්ද?
දරාගන්න අමාරු ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නැති කමද?
මාපිය සෙනෙහසේ, සමාජයේ හිදැසක්ද?
 නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා උන අත්වැරැද්දක් විතරක්ද?

~~~~~~~!!~~~~~~~


රිසානා!තුරුණී, 
වරද කොහිදයි නොදනී

ගලද්දී ජීවිතය දියවී
පපුතුරෙන් ලේ ගංඟා
මියැදෙමින් පණගසනවා ඇති
ඒ බිළිඳුගේ අම්මා!

අත්වැරදි!
වෙන්න පුලුවන් හංදා,
අත්වැරැද්දක් වෙන්නෙ කොහොමද
පුතෙකු මළගම් ගියදා?

ඔබ බොළඳ යුවතී,
කාසි හිඟවිද තුරුණී?
සෙනෙහෙ සිත්තම් සඟවගෙන හිත,
පියඹලා ගිය කුසුමී....

රිසානා, නුඹෙ අම්මා
සොයා නුඹ වැලැපුන රෑ
හිතේ කොණකින් අතීතය විත්
රිදවන්න ඇති සිත ඈ....

Monday, December 31, 2012

අන්තිමේ ඈ යන්නට ගියාය!



අන්තිමේ ඈ යන්නට ගියාය!

සිදු නොවියයුතු වූ සියල්ල ඇයට සිදු කිරීමෙන් අනතුරුව ඇයට ඒ ගැහැණු ජීවිතය දරන්නට හැකියාවක්, උවමනාවක් හෝ ආශාවක් ඉතිරි නොවන්නට ඇත.

ඇයට ඒ මොහොතේ ඇගෙ අම්මා සිහිවන්නට ඇත, තාත්තා සිහිවන්නට ඇත, ඔවුන්ගේ උණුහුමේ සුරැකි බව දැඩිව උවමනාවන්නට ඇත. ඈ තනිකම හා අසරණ කම නිසා එක්වරක් මියෙන්නට ඇත. 

ඇගේ පෙම්වතාගේ ආදරය තදින් දැනෙන්නට ඇත. ඈ නිසා නොව ඔහු නිසා උපන් ප්‍රේමයේ වේදනාවෙන් ඈ තවවරක් මියෙන්නට ඇත. 

ඈ මැවූ හීන!  වෛද්‍යවරියකව නෙක දනෝ සුවපත් කරන්නට මැවු හීන, දෙමාපිය ආශිර්වාද මැද මනාලියක වන්නට මැවු හීන, ආදරණීය බිළින්දෙකු කුස දරන්නට මැවු හීන, අම්මා නම් උත්තරීතර පදවියෙන් අභිශේක ලබන්නට මැවු හීන..... අවුරුදු 23ක යෞවනියකව ඈ දුටු හීන එකිනෙක මියෙනු දැක ඈ තව වරක් මියෙන්නට ඇත.  

පිරිමින්! සාමූහිකව! ඈ කෙලසද්දී ශල්‍යකර්ම තුනකුත් සිදුකර තවත් පණ රැකගන්නට නොහැකිවන තමට ඈ ඒ මානසික රෝගීන් අතින් කෙතරම් පීඩාවට පත්වන්ට ඇත්දැයි ඔබට හෝ මට හිතාගැනීමටවත් පුලුවනිද?

මුහුණු වසා අධිකරණය වෙත ගෙන ගිය ඒ දූශකයන් නිසා නිරුවත් වූ ඇගේ ආත්ම ගෞරවය නෑදෑයන්, යහලු යෙහෙලියන්, රට, ලෝකය, සමාජය හමුවේ මාධ්‍යයන් ඔස්සේ යලි යලිත් නිරුවත් කෙරෙනු දකින්නට ඈයට සිහියක් තිබුනානම් එතැනදී ඈ යලිත් මියෙන්නට ඇත.

අවසන, විකෘති කාමුකයන් පිරිසක් හෝරාවක් තිස්සේ දූශනය කරනුලදුව, ඒ ගැහැණිය විදවන්නට සලස්වා මරාදමන විටත්, දෑත් වලට විලංගු දැමෙනු ලබූවත්, ස්වේත පෑ උරයකින් ඒ දූශකයන් අනන්‍යතාවය සමාජයෙන් වසන්කරනු ලදුව නීතීය හමුවට ගෙන යද්දී පවා අසරණ ගැහැණිකගේ රත් පෑ රුධිරයෙන් නැහැවුන ඒ ලිඟු ස්වයං වින්දනයේ නොයෙදුනායි සිතන්නේ කෙසේද.

ඈ මියගියාය!(මරා දැමුවාය)

ලෝකය හමුවේ,අධිකරණය හමුවේ, නීතිඥයන් ඉදිරියේ, විටෙක.....  ඈ කෙලෙසූ උන් ඉදිරියේ පවා යලි යලිත් නිරුවත් වෙනවාට වඩා සැබැවින්ම ඒ මියයාම(මරාදැමීම) සම්පතකි.

මම පිරිමි ජරා ජාතියකැයි කීමට අකමැත්තෙමි. ගැහැණියකගේ ඇසුරේ ඉපිදැ, හැදි-වැඩී, පෝශණය වී.... ආදරය, ශෘංගාරය, රාගය විඳ, පියකු වීමට විවරණ ලැබ... අවසන ඔහු මියයන්නේද විටෙක ගැහැණියකගේ ඇකයේ බව දැන හෝ නොදැන.... ගැහැණු ජරා ජාතියකැයි  පුන පුනා දොඩවන පිරිමි මට කොතෙකුත් මුනගැසී ඇතද මා පිරිමි ජරා ජාතියකැයි නොකියමි. මගේ තාත්තාගෙන්, මගේ ආදරවන්තයාගෙන් 'පිරිමින්' කවුදැයි මා උගත බැවිනි!

ජරා යැයි වර්ග කල හැකි ගැහැණුන් සිටින බව ඇත්තකි. එවන් පිරිමිද සිටියි. ඔවුන්  ගැහැණු හෝ පිරිමින් නොව වැරදීමකින් මනුස්ස (මනසින් උසස්) යැයි නම්කෙරුණ අප්පිරියා සහගත ජීවීන් කොටසකි (තිරිසනුන් එවුන් තරම් පහත්ද?)

යොමුකලයුත්තේ කාටදැයි නොතේරෙන එක් පැනයකි. ඒ මිලේඡ්ඡයන්ගේ මුහුණු සමාජය ඉදිරියේ ස්වේත රෙදිකඩකින් වසන්නෙ ඇයි? 

නැගණිය ඔබ මැරි මැරී ඉපැදුන, යලියලිත් මරා දැමුන ඒ කාලය නිමාකොට ඔබව ස්ථිරවම මරා දැමුන එක ගැන මා අවසන සැනසුම් සුසුමක් හෙලමි!



මේ කඳුල,
ඒ දුවනි වෙනුවෙන්....
පිය සෙනෙහෙ - මවු සෙනෙහෙ
මිණි කිරුළ බිඳෙද්දී,
පපුතුරේ ඉරිතැලුන
ජීවිතය වෙනුවෙන්....

මේ කඳුල,
ඒ සොයුරි වෙනුවෙන්....
රෝස පැහැ බෝනික්කි - ඇස් වසා නිදද්දී
ඉකිගසා හැඬූ හඬ ,
අහන්නට කෙනෙක් නොවු
ඒ සොයුරි වෙනුවෙන්.....

මේ කඳුල,
ඒ යෙහෙලි වෙනුවෙන්.....
සමනලුන් පියාඹන - වසන්තය හඬද්දී
තටු තැලී පණ ගැසූ,
මල් කැකුළ වෙනුවෙන්......

මේ කඳුල,
ඒ තුරුණි වෙනුවෙන්.....
පැතුම් මල් එකින් එක - උන් තලාදමද්දී
අසරණම ඔත්පලවු,
ඒ තුරුණි වෙනුවෙන්......

මේ කඳුල,
ඒ ගැහැණි වෙනුවෙන්......
දරන්නට කුස පුතෙක් - පරමී පිරූ හිත
දෑස මානේ ලෙයින් 
නෑවෙනායුරු දුටුව,
ඒ ගැහැණි වෙනුවෙන්.....

මේ කඳුල,
හෙට ලොවේ 
ගැහැණු කම වෙනුවෙන්.....
අතින් අත අයාලේ
ලංසු තැබෙනා තැනෙක,
අසරණව සුසුම්ලන 
ගැහැණු කම වෙනුවෙන්......!

Thursday, December 20, 2012

අනේ මන්ද සරත්!




ස්ථානය : පෞද්ගලික බස් රථයක්
වෙලාව  : පෙරවරු 8.00ට පමණ

 වෙනදා බොහෝ දරුණු සටනකින් අනතුරුව, බසයේ පාපුවරුවට ගොඩවී යන ගමනේදී අසුනක් ලැබෙන්නේ එහෙමත් දවසකය. ඒ ලැබෙන්නේද ගමනාන්තයට ඔන්න මෙන්න කියාය. අහෝ!මේ නම් හෙට ලෝකෙ විනාස වෙලා යනවායි කියා එක එක විද්වත්තු රූප පෙට්ටියේ සහ අන්තර්  ජාලයේ එහාටත්, මෙහාටත් එයින් මතු මනු සතුන්ගේ කණටත්, ඉන් හර්දය වස්තුවටත් ඇතුලත් කරවීමට දැරූ දීර්ඝ උත්සහයේ ප්‍රතිඵලයක්ද මන්දාය.

අද නැවැතුමෙන් බසයට ගොඩවූ විගසම සීට් හත - අටක්ම හිස්ව තිබීම මහත් උත්කර්ශවත් හැගීමක් ම-හිතේ ජනිත කලේය. ඒ මදිවාට  වාඩිවෙන්නේ කොයි අසුනේ දැයි සිතාගත නොහැකිව මා සීට් කීපයක්ම පසුකර ඉදිරිරට ගමන් ගැනුනේ දෙසැම්බර් 31 හෝ ජනවාරි පළමුදාවක දී වන් දින වලදී පමණක් උදාවන අනර්ග දුලබ  අවස්ථාව හදිසියේ අත්විඳීමට ලැබීමෙන් ඇතිවූ කම්පනය නිසා වියයුතුයැ. 

 පියවි සිහියට පත් වහාම ලඟම තිබූ  අසුනෙහි අසුන්ගත් මා 'අනේ, හැමදාමත් මෙවන් අනාවැකි ගැන පැවසෙන්නේ නම් කොයිතරම් ෂෝක්දැ'යි හිතමින් පඩුවේ ගමනේ යෙදුනෙමි.

 කොන්දොස්තර මහතා කතා කරම කවදාවත්ම නොලැබෙන ඉතුරු රුපියල මට දුන්නේය. සමහරවිට ලෝකෙ පවතින අන්තිම දවසේ හෝ සදාරණව ඉපැයිය යුතුයැයි ඔහු හිතන්නට ඇත. 

'Traffic ! ඒ මොනවාදැ? '

ජීවිතේට Traffic දැක නැත්තෙකුට අද දින බසයේදී ඔය වචනය අසන්න ලැබුනානම් ඕ එසේ විමසනු ඇත. බසය නැවතුමක මිස  නොනවත්වා ධාවනය වේ. පාරේ වාහන හරි අඩුය. බලන්න ආසාය. 

ප්‍රීතී ප්‍රීතී!

Hello! Ahh Good Morning මචං!
No No I'm On the way මචං!

එක වර Loud Speaker යක් දැම්මා වාගේ කවුදෝ දුරකතන සංවාදයකය. මා ඔහු දුටුවේ නැත. ඒ ඔහු උන්නේ පසුපස අසුනක නිසාය. 

Ah මචං.. මිනිහ මට දවල් කතාකරා.
.......
ඔවු I Acted like I'm in a meeting. & asked him to හවස 6.30ට විතර කතා කරන්න.
And මචං, he called me right at 6.30 and said මහත්තයා අර ........... මහත්තයගෙ (නඩු/ලඝු) පොතක් තියනව කිවුවා.,
...........................
I said ඔවු ඒක තියනව හැබැයි තාම මට ඒක ඔයාට දෙන්න බෑනෙ.
........................
හඃහඃහා.....
හඃහඃහා.....

මචං, Can you Remember that couple? ....... ..... & his Wife?
................
Right,
......................
No men, That Famous Couple.. Girl is ........
....................
Right,
...............
Raaaight,
Okay,
Now you know the couple නෙ

That bugger told that මගෙ Wife නම් ඒ තරම් කොටට අඳින්නෙ නෑ
..................

හඃහඃහා.....
හඃහඃහා.....

~!~

මා ගමනාන්තයට පැමිණ ඇත. 
මා බසයෙන් බැසීමට පිටුපස දොරටුව තෝරාගතිමි!

අහා! අත්දිග කමිසය, ටයි පටිය, Posh කොණ්ඩා විලාසිතාව. ඔහු නම් කදිම තරුණයෙකි 

බාගවිට, ඕපාදූප කියවන්නේ කාන්තාවන් පමණක් නොවන බව ඔප්පු කර, ලෝක විනාසයට මූන දෙන්නට ඔහු තීරණය කරන්නට ඇත!