Showing posts with label පුංචි දූ. Show all posts
Showing posts with label පුංචි දූ. Show all posts

Friday, July 25, 2014

හඳට එලිය ලැබුන හැටි

ඉස්සරම ඉස්සර කාලේ, රෑ කියන්නෙ බොහොම කලුවර වෙලාවක්. මුලු දවස තිස්සේම ඉස්කෝලෙ ගිහිල්ලා, පාඩම් කරලා, සෙල්ලම් කරලා හොඳටෝම මහන්සි වෙලා ළමයින් නිදාගන්න වෙලාව හංදා ඒ කලුවරේ තරම කිසිම ළමයෙක් දැකල තිබුනෙ නෑ. ඇත්තම කිවුවොත් ඒ කලුම, කලු කලුවරට ළමයින් බයවෙයි කියලා අම්මලා ඉර බැහැගෙන යද්දිම දරුවන්ව කවලා, පොවලා,  පිරිසිදු කරලා නිදිකරවන්න පුරුදු වෙලායි තිබුනෙ.

හැබැයි වැඩිහිටියන්, රෑට කෑම හොයන් යන සත්තුන් විතරක් නෙවේ,  රෑ බෝ වෙනකල් ඇහැරිලා උන්න ගොඩක් අය බොහොම දුකෙන් තමයි හිටියෙ. කොච්චර දුකද කියනවනම්, අහසෙ තිබුන තරු පොකුරු පවා පුංචි කඳුලු බිංදු හල හල ඇඩුවා. ඔයාල දන්නවනේ, තරු හරි පුංචියි, එයාලා රෑ කාලෙ කොහොම කලුවරේ ගෙවා ගත්තද කියල හිතන්නත් අමාරුයි. 










ඉතින් ඔය වගේ බොහොම අඳුරු රැයක් සහ හරි ලස්සන දහවලක් තියන කාලේ, උසම උස කන්දක් පාමුල තිබුන ගුලක හරි හොඳ හා පවුලක් හරිම සතුටින් ජීවත් උනා. දවසක් උදේ පාන්දර කෑම හොයාගෙන එන්නම් කියලා හා හාමිනේත්, පුංචි හා පැටියත් ගුලේ නතර කරලා හා හාමි කැලෑවට පිටත් උනා. හා හාමිනේත් හා පැටියත් හා හාමි එනතුරු බලං උන්නා. දවල් උනා, හා හාමි තවම නෑ. හරිම බඩගිනියි. ඒත් දෙන්නා එක්ක මග බලා උන්නා. බලා ඉඳලා, ඉඳලා ඇඳිරි වැටෙන්න කිට්ටු වෙද්දි හා හාමිනේ මෙහෙම කිවුවා.

" අනේ පුතේ, තාත්තා තාමත් ආවෙ නෑ. දැන් ඇඳිරි වැටෙන්නත් ළඟයි. කැළෑවේ නපුරු සත්තුන් තාත්තට කරදර කරාවි. අපි හුලු අත්තකුත් අරං මගට යමු" 

හා පැටියාත්, හා හාමිනේත් හුලු අත්තක් පත්තු කරන් කැළෑව පැත්තට ගියා. කැළෑවේ ඇතුලට ඇතුරලට ගියත් හා හාමි පේන්න හිටියේ නෑ. හුලු අත්ත නිවෙන්නත් ළඟයි. අඳුරත් වැඩියි. පුංචි හා පැටියා බය උනා. එත කොටම ළඟම තිබුන වලක් ඇතුලෙන් අනේ... අම්මේ.... කියලා කෙඳිරිලි හඞක් ඇහුනා.

"කවුදෝ කෙඳිරි ගාන සද්දයක් නේද ඇහෙන්නේ. තාත්තාට කරදරයක් වත්ද?" පුංචි හා පැටියා අම්මාගෙන් ඇහුවා.

"අපි විපරම් කරලා බලමු" හා හාමිනේ කිවුවා.

දෙන්නා එක්ක විපරම් කරලා බලද්දී හා හාමි වල ඇතුලේ කෙඳිරි ගගා ඉන්නවා.
 හා පැටියා ඉක්මනටම වලට පිම්මක් පැනලා තාත්තාව අමාරුවෙන් නැගිට්ටුවා. හා හාමිනේ කොහොම හරි උඩ ඉඳලා හා හාමිව ඇදල උඩට ගත්තා. හා පැටියා උස පිම්මක් පැනලා ගොඩට ආවා.

හුලු අත්ත නිවෙන්න කලින් හා හාමිත් වාරු කරගෙන හා හාමිනෙත්, හා පැටියත් ඉක්මනටම ගෙදරට ආවා. හා හාමි කෑම සොයන් එද්දී බඩගිනි උන නරි නයිදේ කෙනෙක් එයාගෙ පස්සෙන් එලවන් ඇවිත්. නරි නයිදේගෙන් බේරෙන්න වලට පනිද්දී කකුල ගලක හැපිලා කැඩුන නිසා, උස පිම්මක් පැන ගන්න බැරිව හා හාමි වලේ හිර වෙලා. හා හාමි සිද්ද වෙච්ච දේ හාමිනේටත්, පුතාටත් කිවුවා.

එදා රෑ හා පැටියාට නින්ද ගියේම නෑ. ඒ තරම් කලුවරක් හා පැටියා කලින් දැකලා නොතිබ්බ හංදා එයා හොඳටම බයවෙලයි උන්නෙ. අනික කලුවර හංදා එයාලට වෙන කරදරත් එයාට මතක් උනා. රෑටත් පොඩ්ඩක් එලිය දෙන්න විදියක් තිබ්බානම් කොච්චර හොඳඳ. හා පැටියා හිතුවා. ඒත් කොහොමද ඒක කරන්නේ. හා පැටියා ඒ ගැන මුලු රෑම කල්පනා කලා. කොච්චර කල්පනා කලත් පාන්දර වෙනතුරුත් කිසි අදහසත් ආවේ නෑ. එතකොටම ඉර දෙවියන් කන්ද උඩින් හෙමීට පෑයුවා. හා ගුලටත් එලිය වැටුනා. එතකොටම හා පැටියාට අපූරු අදහසක් ඇවිත්, 

"මං දන්නව කරන්න ඕන දේ, මං දන්නව කරන්න ඕන දේ" කියලා සතුටින් කෑ ගැහුවා. 

හා හාමිනේත්, හා හාමිත් ගාවට ඉක්මනින්ම ගිහිල්ලා මෙහෙම කීවා. 

" අම්මේ, තාත්ථතේ, ඊයේ රෑ වගේ කලුවරක් මම කලින් දැකල නෑ. ඒක හරි බය හිතෙන වෙලාවක්. ඒ මදිවට කලුවර හංදා අපිට කොච්චර කරදරද? මම ඊයේ මුලු රෑම කල්පනා කරලා හොඳ අදහසක් හොයා  ගත්තා කලුවර නැති කරන්න." 

" ඒ මොකද්ද " හා හාමිත්, හා හාමිනෙත් ඇහුවා.

"මම ඉර දෙවියන්ට කියනවා, රෑටත් එලිය දෙන්න කියලා!" හා පැටියා කිවුවා.

"එතකොට ඉර දෙවියන් විවේක ගන්නෙ කොයි වෙලාවෙද?" හා හාමි ඇහුවා!

"එතකොට බකමූණු රාළලා, වවුල් හාමිලා කෑම හොයන්නේ කොහොමද?" හා හාමිනේ ඇහුවා.

"අපිට ලේසියට අනිත් අය ව කරදරේ දාන්න හොඳ නෑ!" ඈ තවත් එකතු කලා.

හා පැටියාගේ කන්දෙක කඩා වැටුනා. ඇස් දුකට හීනි උනා. එයාට ඇඞෙන්නත් ආවා. 

හා හාමියි, හා හාමිනෙයි පැත්තකට වෙලා පොඩ්ඩක් කතා කරගෙන පුංචි හා පැටියාට කතා කලා.

"පුතේ ඉර දෙවියන් මුණ ගැහිලා රෑටත් එලිය ඉල්ලන්න හිතුව එක ලොකු වීරකමක්." හා හාමි කිවුවා

"ප්‍රශ්න වලට උත්තරත් ඉර දෙවියන් ගාව ඇති. හොඳම දේ මුණ ගැහෙන්න යන එකයි."

හා පැටියාට පුදුම හිතුනා. දිග කන් ආයෙත් කෙලින් උනා.

"කොහොම උනත්, ඒක බොහොම අමාරු ගමනක්. අපිත් ඔයාට උදවුවට එන්නම්. අපි ඉර දෙවියන් මුණගැහෙන්න යමු."

 හා හාමිනේ කිවුවාම හා පැටියාගේ ඇස් සතුටට ආයෙත් වටකුරු උනා. හා පැටියා සතුටින් උඩ පැන්නා. 

එදා රෑ හා පවුලම එකතුවෙලා පහුවදා ගමන යන්න සූදානම් උනා. ඉර දෙවියන් පායන්නේ හා ගුල ලඟම තියන කන්දට එහා කන්ද මුදුනින්. දවල් වෙන්න කලින් ඉර දෙවියන් මුණගැහෙන්න නම් පාන්දරින්ම පිටත් වෙන්න ඕන කියලා හා හාමි තීරණය කලා. හා හාමිනේ මගදි කන්න පලා මිටියක්, ධාන්‍ය මුලක් සහ බොන්න කිරි බෝතලයක් සූදානම් කලා. පහුවදා උදේම නැගිටින්න ඕන හංදා තුන් දෙනාම වේලාසනින් නින්දට ගියා.

හා පැටියාට නම් නින්ද ගියේ බොහොම රෑ වෙලා. පහුවදාට යන්න තියන ගමන මතක් වෙද්දි එයාට හරි සතුටුයි. උදේම හා හාමි එයාව ඇහැරවද්දිත් ඉර දෙවියන් ගැන හීනයක් දකිමිනුයි එයා හිටියෙ. 

කොහොම හරි උදෙන්ම තුන් දෙනාම සූදානම් වෙලා ගමන පිටත් උනා. පිණි කැට ඉර එලියට දිලිසෙන්න ගද්දි එයාල ගුල ලඟම කන්ද මුදුනට නැගලා හිටියෙ. 

"උදේ කෑම කාල ඉමු" හා හාමිනේ යෝජනා කලා.

 කෑම කන්න සූදානම් වෙද්දි එතනට ගෝන හාමි කෙනෙක් කිට්ටු උනා. අනේ මටත් කන්න දෙයක් දෙන්න ඌ හාවන්ගෙන් ඉල්ලුවා. හාවන් දුන් පලා සහ කිරි වලින් බඩගින්න නිවාගත්තු ගෝන හාමි ඔවුන්ට ස්තූති කරලා යන්න පිටත් උනා. තවත් ටිකක් කන්ද උඩ ගිමන් ඇරපු හාවන් හනිකට කන්ද බහින්න පටන් ගත්තා. එයාලට කන්ද බහින්න පැයක් ගත උනා. කන්ද බැස්සාම දුටු දේ හංදා හාවන් බොහොම කලබල උනා.

අපොයි ලොකු දොළ පාරක් කඳු දෙක අතරින් ගලාගෙන යනවා. හාවන් පුංචියි. දොළට බැස්සොත් ගිලෙයි. මොකද කරන්නෙ කියලා එයාල හරියට දුක් උනා. එතකොටම එතනට ආවෙ කන්ද උඩදි මුණගැහුන ගෝන හාමි. හාවන්ගෙන් විස්තරය දැනගත්ත ගොන හාමි බොහොම සතුටින් උදවුකරන්න ඉදිරිපත් උනා. 

"ඔයාල මට බඩගින්න නිවාගන්න උපකාර කලා. මටත් පුලුවනි ඔයාලට උදවු කරන්න. මම ඔයාලව මගේ පිට උඩ තියන් දොළෙන් එගොඩ කරන්නම්" කියලා ගෝන හාමි කිවුවා. 

හා පවුලත් බොහොම සතුටින් එකඟ උනා. ගෝන හාමි එයාගෙ පිට උඩ හා පවුල තියාගෙන පහසුවෙන් දොළෙන් එගොඩ උනා.

හා පවුලට හරි සතුටුයි. ගොන හාමිට එයාලා ස්තූති කලා. ගෝන හාමිත් එයාලට සුබ පතලා ආපහු ගෙදර ගියා. දවල් වෙන්න කලින් හාවන්ට කන්ද උඩට යන්න පුලුවන් උනා.

ඉර පායන කන්ද මුදුන හරිම ලස්සනයි. පාට පාට මල් හැම තැනම පිපිලා තිබුනා. ඒ මදිවට හැම තැනටම ඉර එලිය වැටිලා දිලිසෙනවා. හැම දෙයක්ම හරිම ලස්සනයි, උණුසුම්. ඉර දෙවියන් ඉන්නෙ අහසෙ ඈත. එයා පොළවට ළං උනේ නෑ. රස්නෙ වැඩිඋනොත් හැමෝටම කරදර වෙනවට ඉර දෙවියන් කැමති උනේ නෑ. ඒ හංදා ඉර උන්නෙ පොළවට ගොඩක් ඈතින් අහසේ. ඉර දෙවියො ගාව කොච්චර එලිය ගොඩක් තියනවද කියනවනම් පොළවට එච්චර ඈතින් ඉඳලත් මුලු පොළවම එලිය වෙලා තිබුනා.

කන්ද උඩට ආව හාවන් දැකලා ඉර දෙවියෝ වලාකුලක් එයාලා ගාවට එවුවා. හා පැටියත්, හා දෙමහල්ලොත් වලාකුලට ගොඩ උණාම වලාකුල  ඉරට ටිකක් දුරින් අහසට පා උනා. ඉරේ රස්නෙ හාවන්ට දැනුනා. ඒත්, වළාකුල සීතල හංදා රස්නය කරදරයක් උනේ නෑ. 

ඉර දෙවියන් ලස්සනට හිනාවෙලා හා පැටියාට කතා කලා.හා පැංචා ගාවින් හා හාමිත්, හා හාමිනෙත් වාඩි වෙලා උන්නා.

"ඉතිං පුංචි පැටියෝ, මං දැක්කා එහා කන්ද පාමුල ඉඳන් මාව මුණ ගැහෙන්න පාන්දර ඉඳන්ම ඔයා එනවා. හදිස්සියේම මොකද මාව බලන්න ආවේ" ඉර ඇහුවා.

"ඉර දෙවියනේ අපට රෑටත් එලිය දෙන්න" හා පැංචා ඉල්ලුවා. 

ඉර 
ඒක කරන්නේ කොහොමද පැංචෝ
ලෝකය රවුමක් දන්නවදෝ
මෙහාට දහවල- ඒ පැත්තේ රැය
එහෙටත් දහවල දිය යුතුනේ

හා පැංචා 
ආ හරි පුදුමයි ඉර නිදියන්නෑ
වෙහෙස නැතිද කියලා දෙන්නේ
පැය විසි හතරම එක දිගටම වැඩ
නොනිදා කොහොමද ඔබ ඉන්නේ

ඉර -
ඉරට වෙහෙස නෑ ඉර දෙවියොයි මම
සොභාදහම එහෙමයි මැවුවේ
කාටත් උදයක්, දහවලක්, රැයක්
ලබාදෙන්නටයි මා මැවුවේ

හා පැංචා 
ඉර දෙවියෝ හරි කරුණාවන්තයි
මා කියනා දේ අහන්නකෝ
රැයක් එපා උදයක් විතරක් ඇති
රෑ හරි කලුවර යකෙක් වගේ

ඉර 
ඉරට වගේ බෑ අනික් ඈයොනට 
නින්ද ඔයාලට ඕනාවේ
බකුසු රාළලා වවුල් හාමිලා
රෑටයි කෑම සොයා යන්නේ

හා පැංචා 
මට තේරෙනවා රෑ -දහවල දෙක
කාටත් සම ලෙස ඕනා වේ
ඒ උනාට අර කලුවර වෙනුවට
එලිය බිඳක් ලැබුනොතින් අගේ

ඉර -
කලුවර වැඩි හංදා හරි කරදර
මට තේරෙනවා හා පැංචෝ
මගේ මිතුරු හඳ හාමිට පවරමු
රෑ සරසන එක පොඩි හාවෝ

ඉතින් ඔන්න ඔහොම කතා වෙලා කවුරුත් ගැන හිතල, ඉර කැමති උනා රෑටත් පුංචි එලියක් ලෝකෙට දෙන්න. ඒකට තෝරගත්තෙ ලස්සන හඳ හාමි. හඳ හාමිට පණිවිඩයක් යවල ගෙන්න ගත්ත ඉර දෙවියො එයා පිරෙන්න එලිය දුන්නා. දීලා මෙහෙම කිවුවා.

"මම දහවල එලිය කරද්දි, හඳ හාමි ලෝකෙ අනිත් පැත්තෙ රාත්‍රියට එලිය ටිකක් දෙන්න. හැම මාසෙම එක දවසක එලිය ඉවර වෙනකොට මම ඔයාව ආයෙත් පුරවන්නම්"

හඳ හාමිටත් හරිම සතුටුයි. ලෝකෙට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දුන්න එකට ඉර දෙවියන්ට ස්තූති කරල හඳ හනිකට ගියා ලෝකෙ අනිත් පැත්තට එලිය දෙන්න. 

හා  පැංචලා ත් ඉරට ගොඩාක් ස්තූති කලා. ඉර දෙවියන් හාපවුල ගෙදරටම ගිහින් බස්සන්න කියල වලාකුලට කිවුවා.

එදා රෑ හරි ලස්සනයි. අහසෙ සුදු පාටට හඳ හාමි හිනා වෙවී හිටියා. වට පිටාව ඒ සුදු රැස් වලින් එලිය වෙලා. අහසත් හරිම ලස්සනයි. චිත්‍රයක් වගෙයි. පොළවේ කාටත් පුදුමයි. හැමෝම අහස දිහා බලන හංදා තරු වලටත් සතුටුයි. ළමයිනුත් ආසාවෙන් හඳ දිහා බලං හිටියා. හඳ ගැන, රාත්‍රිය ගැන හැමෝම කතා කලා. කවි සිංදු ලිවුවා. 

ඉර දෙවියන් හඳ හාමිට කිවුව මේ අදහස අරං ආව පොඩි හා පවුලට තෑග්ගක්  දෙන්න කියලා. හඳ හාමි තීරණය කලා හා හාමිලාව හැම මාසෙම හඳ වැඩියෙන්ම ඉර එලියෙන් පිරිල තියන දවසට වළාකුලකින් හඳට එක්ක එන්න. ඉතින් හා හාමිලාට හරිම සතුටුයි. එයාලගෙ උත්සාහය හංදා හැමෝම සතුටු වෙන විදිය හඳ හාමිත් එක්ක අහසෙ ඉඳන් බලද්දි වැඩියෙන්ම සතුටු උනේ පුංචි හා පැංචා. 


ඉර දෙවියොත් මුලු ලෝකෙම සතුටින් ඉන්න හැටි දැකලා. බොහෝම සතුටු උනා. 

Wednesday, July 16, 2014

ඔයා ලොකු ගෑනු ළමයෙක් නේ, ඉතිං බයවෙන්නෙ මොකටද? : ෆෙලීට ලියුමක් (Surely, a Big Girl Like You Isn't Scared : An Open Letter to Unhappy Feli.)



ආදරණීය ෆෙලී,

මේ දවස්වල ඔයා ගැන අහන්න ලැබෙන දේවල් මට නම් විශ්වාස කරන්නත් අමාරුයි. ඔයා දුකින්? ඔයාට අමතක උනාද ඔයාගෙ නම Felicita! ඒ කියන්නෙ සතුට! දෙපාරක්ම ඔයාගෙ මුරණ්ඬුකම හංද දත් දොස්තර ව දැනටමත් කේන්ති ගස්සල ඉන්න ඔයා හෙට ආයෙත් දත් දොස්තර මුනගැහෙන්න තියන එක ගැන දුකින්.

කොහොම උනත් ඒක තමා මට ඔයා ගැන අහන්න ලැබුන අලුත්ම ආරංචිය. ඔයාගෙ තාත්තා ඔයාගෙ මාමාට, ඒ කියන්නෙ මට එහෙම තමා කිවුවෙ. ඔයාගෙ තාත්තා බොරු කියන කෙනෙක් නෙවෙයිනෙ.  එයා මට කීව විදියටනම් පරණ කරදරකාර වැඩකට නැති පුංචි කිරි දතක් ගලවන්නයි ඔයා දත් දොස්තර මුණගැහෙන්න ගියේ. පළවෙනි පාර  ඒක ගැන හිතන්නවත් බැරි විදියට ඔයා බෙරිහන් දෙන්න පටන් අරන් තියනවනේ. දෙවෙනි පාරටත් පරණ දත එක්කම ආයෙ ගෙදර එන්න උනේ ඒ හොඳ දොස්තරට ඔයාට පොඩි කට්ටකින් අනින්න ඔයා කොහෙත්ම ඉඩදුන්නැති හංදනේ. ඒ හංදම තමා ඔයාට හෙටත් එතනට යන්න සිද්දවෙලා තියෙන්නෙ. 

මැරුණ, පරණ, පොඩි කිරි දත ගැලෙවුවෙ නැත්තන් කොහොමද  අලුත්ම, අලුත් ලස්සන සුදු දතක් ලැබෙන්න ඉඩ හොයාගන්නෙ. ඉතිං ඔයාට හෙටත් දත් දොස්තර මුණ ගැහෙන්න යන්න වෙනවා!

මට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ, ජීවත් වෙලා ඉන්න කිසිම සතෙක් කැමති නෑ උල් දෙවල් වලින් අනිනවට, රිදෙනවට. ඒ තියා, මං සුරතලේට ඇතිකරන බැල්ල, බෙලා උනත් එයා දන්න උප්පරවැට්ටි සේරම දානව  එයාගෙ දොස්තර ගාවට යන එකෙන් හරි, බේත් විදින එකෙන් හරි බේරෙන්න. එදාට එයා කාර් එකෙන් බහින්නේම නෑ. උස්සගෙන හරි ගියා කියමුකො, මෙන්න එයා අර දොස්තරගෙ මේසෙ අස්සෙ රිංගගෙන! හොඳම හරිය එයා මලා වගේ රඟපාන්න ගත්තාම තමා. එයා හිතුවට අපි රැවටෙයි කියල, මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම කියල එකක් තියනව කියල ඌට තේරෙන්නෑනෙ. ඒකෙන් අපිට ඌව රවට්ටගන්න පුලුවං වෙනව විතරක් නෙවේ. ඒකෙන්ම තේරෙනවනෙ  අපි සතෙක්ට වඩා වැදගත් විදියට හැසිරෙන්න ඕන වගේම, සමහර වෙලාවලදි ලොකු වේදනාවකින් බේරෙන්න විඳගන්න වෙන මේ පුංචි වේදනාව ඉවසගන්න ඕන කියල. 

ඉතිං පුංචි ෆෙලී, හැමෝම වගේ මම නම් ඔයාව බොරු කියල රවට්ටන්න හිතන්නෙ නෑ. ඒක රිදෙනව! ගොඩක් නෙවේ තමා. ඒත් ඒක රිදෙන්නෑ කියන්න බෑ. මම පුංචි කාලේ මට බේත් විදින්න හදද්දි දොස්තරලයි, නර්ස් ලයි හැමෝම මාව වට කරගෙන, ඉඳිකටු දික්කරගෙන, පුටුවට තදකරගෙන "ආ..පෝ.. මෙච්චර ලොකු කොල්ලෙක් වෙලත් මේ  චූටි ඉඳිකට්ටට බය වෙනවද?" අහද්දි මට හිතුනෙම ඒගොල්ල මට කියන්නෙ බොරු කියලමයි. මමනෙ දන්නෙ ඒකෙ වෙනස. ඔක්කොටම වඩා මම ඒ කාලෙ ලොකු කොල්ලෙක් නෙවේ. දෙක, මං හොඳටෝම බයවෙලයි උන්නෙ, තුනවෙනි සහ වැදගත්ම කාරණේ ඉඳිකට්ටකින් ඔයාගෙ හම හිල් කරන එක මොන හේතුවකට කරත් ඒක දැනෙන්නෙවත් නෑ කියන එක විස්වාස කරන්න පුලුවන් කතාවක් නෙවේ! මං දන්නෑ මොන හේතුවකට මේ දොස්තරලා නර්ස්ල එක්ක එකතුවෙලා ළමයින්ට බොරු කියනවද කියලා. ඒකෙන් වෙන්නෙ ළමයි දොස්තරල, නර්ස්ල කියන්නෙ විස්වාස කරන්න බැරි බොරු කාරයො ටිකක් කියල හිතාගන්න එක විතරනෙ. ඇත්ත තත්වෙනම් අපිට ඕනම උල් තියුනු දේකින් අනිනව කියන්නෙ තුවාල කරනව කියන එකම තමා. ඒ වගේම කාටවත්, කාවවත් තුවාල කරන්න අයිතියක් නෑ. හිතන්න කවුරු හරි ඔයාව පිහියකින් හීරුවොත්, හූරල මදිමවට "අපෝ, ඒක පොඩ්ඩක්වත් රිදෙන්නෑ" කිවුවොත්, ඕන නම් පුලුවන්නෙ පොලිසි ගිහින්, නඩු දාල, ලොකු දඩුවමක් දෙන්න උනත්. බාග වෙලාවක උන්දැට පිස්සු කියල බේත් අරංදෙන්න උනත් බැරි නෑනෙ. ඒ උනාට දොස්තරලට පුලුවන් ඔයාලට ඉඳිකටු අනින්න. ඒකට කවුරුත් මුකුත් කියන්නැත්තෙ ඇයි? මොකද, දොස්තර ඔයාට පොඩ්ඩක් රිද්දන්නෙ ඊට වඩා ලොකු වේදනාවකින් ඔයාව බේරගන්න. හිරිවට්ටන බේතක් ඔයාගෙ විදුරු මහට විද්දට පස්සෙ ටිකකින් කම්මුල නෑ වගේ දැනෙනව මිසක් දතක් ගලවනව තියා, විදුරු මහේ පොඩි ගුලක් හෑරුවත් ඔයාට දැනෙන්නෙවත් නෑනෙ. ඔයාට තේරෙනවනෙ කෝකද වැඩියෙන් රිදෙන්නෙ කියල. හිතෙන්නැද්ද  ඒ පුංචි ඉඳිකටු පාර කොච්චර වටිනවද කියල. බේත් එහෙම විද්දාම ඔයාට සරම්ප නෑ! පිට ගැස්ම නෑ! මුකුත්ම නෑ!

මං දන්නව ඔය මුකුත්ම නැති වෙන එකේ වාසිය තේරුම් ගන්න ඔයාට පොඩ්ඩක් වෙලා යනව කියල. ඒ හංදම තමා බෙලාට බේත් විදින එක එයාට ජලභීතිකාව හැදෙනවට වඩා කොයිතරම් ශෝක්ද කියල තේරුම් කරන්න බැරි. ඒක ටිකක් විකාරයි වගේනෙ. මං කිවුවෙ බල්ලෙක්ට ජලභීතිකාව ගැන කියල දෙන්න යන එක ටිකක් ඕනවට වැඩී වගේ හිතෙන්නැද්ද.  ඒත් මිනිස්සුන් නම් ඒ ගැන පොඩ්ඩක් කාලෙ අරං හිතල බැලුවට කමක් නෑ.

ලොකු වෙන්න, ලොකු වෙන්න ඔය විදිලි වැඩි වෙන හංද, මං නම් හිතන්නෙ මිනිස්සු ඉක්මනටම ඒවට හුරු වෙන්න හිතුවොත් හොඳයි කියලයි.

දන්නවද, ඒ ඉඳිකටු අපේ ඇඟට ප්‍රතිජීවක, එන්නත් වගේම පෝෂක වගේ දේවල් දාන්න විතරක් නෙවේ, ඇඟෙන් දේවල් එලියට ගන්නත් පාවිච්චි කරනව කියලා?  ලේ! ලේ පොඩ්ඩකින් පුලුවන් අපි කොච්චර නිරෝගීද කියල හොයාගන්න. මගේ ඔපරේෂන් එකට කලින් එයාල මගෙනුත් ලේ ගත්තා. මං ඒ ගැන කවියකත් ලිවුවා,

පිළිගනිමි ඔබව,
ලේ උරාබොන වැම්පයර් වරුන්ගේ 
අඳුරු ගුහාවට !

එකෙක් මා ඇඟිලි තුඩු පිරික්සයි.
තවෙකෙක් කන්පෙති අතගා බලයි.
අයෙක් බාහුව ඌ සතු කරගද්දී,
අනේකා 
"මේ නහරෙකින් උරා බොමි"යි සිතමින්
 මගේ කකුලක් දෙස බලයි
කෑදරෙන්! 

Welcome to the vampires' den!
Where they all suck blood.
One gets a fingertip.
one gets s earlobe.
one gets an arm.
And another spies a leg and thinks,
"I'd like to get at one of these veins!"

හරි! මට ඕනෙ ඔයාගෙ බය නැති කරන්න මිසක්, ඔයාව තවත් බය කරන්න නෙවෙයි නිසා ලේ ගැන කතා ඔය ඇති! ඔය ඉඳිකටු ගැන බය නැති කරල දාන්න තව පොඩි පොඩි දේවල් ටිකක් මං කියන්නම්. පළවෙනි එක ඔයා දන්නෙම නැතිව ඒවට පුරුදු වෙනව කියන එක. අනික, මට පෙනිල තියනව ඔය බේත් විදින ඉඳිකටු උස්සන් එන දොස්තරලයි නර්ස්ලයි දැන් ඉස්සරට වඩා හොඳවෙලා කියල. මං කිවුවෙ බේත් විදිල්ල ගැන නෙවේ (එයාල ඒ ගැන ඉස්සරත් හොඳටම දැනගෙන උන්නේ) මං කිවුවෙ අර සීනි බෝල බොරු ගැන. එයාල දැන් ඒව කියන්නෙ නෑ විතරක් නම් මදෑ, එයාල සමහරු ඕනවට වඩා බයකරනවත් එකක්ක! කොච්චර බරපතල තත්වෙකදි උනත් එයාල දැන් මට කියන්නෙ නෑනෙ ඒක පොඩ්ඩක්වත් රිදෙන්නෑ කියල. ඒ වෙනුවට එයල කියන්නෙ මේක චුට්ටක් රිදුනොත් බයවෙන්න එපා කියල විතරයි. අනිත් දුක හිතෙනම කානේ දැන් කවුරුත් මට කියන්නෙ නෑනෙ " අයියෝ... මෙච්චර ලොකු කවියෙක් වෙලත්, මේ චූටි ඉඳිකට්ටකට බය වෙනවද?" කියල. හිතන්නකො, මට හරි ආසයි එයාල එහෙම කියනව අහන්න (අඩු ගානේ මුල් කොටස හරි...)ඒත් ඉතිං ඒක වෙන්නෙ නෑ. ආන්න ඒ හංද මගේ පුංචි ෆෙලි දුවේ, හෙට ඔයා දොස්තර ගාවට ගිහාම කාරණා දෙකක් නැති වෙන්න කියල මං ප්‍රර්තනා කරනවා. එක, දත් දොස්තර ගාවදි කට අරින්න ඔයා බය නැති වෙන්න ඕනි. දෙක, එතනින් ආපහු එද්දි පරණ, මැරුණ, පුංචි කිරි දත ඔයාගෙ කටේ නැති වෙන්නත් ඕනි.

ඒක එහෙම සිද්ද උනොත් ඔයාට මාමාගෙන් තෑග්ගක් ලැබේවි. ඔයාට මොනාද ඕනි? ඒක අපි මුණගැහුනම කතාකරගමු කෝ.

එතකන්
රොබර්ට් මාමාගෙන්
ආදරේ ගොඩක්.

By Robert Gernhardt
Illustrations by Henning Wagenbreth

Gernhardt, R. (2003). Surely, a Big Girl Like You Isn't Scared An Open Letter to Unhappy Feli. Future - The Aventis Magazine, (2), pp.78-81.
.

Friday, March 21, 2014

දවසක දූ ලොව දිනනු ඇතී


මිණි කැට අතරෙට - මුතු ඇටයකි දුව
සුරතල් සිනහා මුවඟ ඇඳී
සඳ දියවර යට - හරිම  සොඳුරු ලෙස
මුදු එලියක් ලෙස දිලෙන සිරී

පිපුන උවන - හිත පෙන්නන කැඩපත
නුඹම දකින හෙට දිනක් වෙති
දිලෙන්න කුසුමිය - නිසි කල, නිසි ලෙස
කාලය තාලය වයයි  නිසී

දෙනයන සනහන - කුසුමිය විකසිත
කිරුළ නුඹයි හදවතෙහි ඇඳී
ජීවිතයේ උස්, මිටි තැන් ළඟඳී
ඔය නිකැළැල් හිත ගෙනෙයි සවී

ගමනකි බෝ දුර - දිරියෙන් යන්නට
සුවඳ හිතේ රැකගන්න නිතී
පැතුමෙකි හද තුල - නූපන් හෙට ගැන
දවසක දූ ලොව දිනනු ඇතී

23 /03/2014

Monday, August 5, 2013

දූ දාල කරාඹූ.... හායි දාල කරාඹූ....

දැන් දැන් හරිම චන්ඩියෙක් වේගෙන එන, නිතරම වගේ හරි හරි අකතැබ්බවලට මූනදෙන අපේ පුංචි කුමාරයට අමතරව මාස හතරකට ටිකකට කලින් අපි ගාවට ආව පුංචි කුමාරියෙක් ගැනත් ලියන්න දේ දැන් තියනවා. 

ඒක බොහෝම අමුතු දෙයක්.... 

කොල්ලෙක් නූන්න ගෙදරක කුලුදුලේ උපන්න පුංචි පුතු පැටියා, දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එක....   ඒ වගේම චූටි දූ පැටියා,  අපේ අතීතය ආයෙ අලුත් කරන ගමන් ටික ටික ලොකු වෙන විදිය බලා ඉන්න එක.... 

හරිම අපූරු දෙයක්!

දැන් ඉතින් අපේ චූටි දෝණියට වයස මාස හතරක්!

 එයා වැඩියම කැමති හිනාවෙවී ඉන්න තමයි.  චූටිත්තන් දිවත් එලියට දාගෙන, මුලු මූනෙන්න්ම හිනාවෙනකොට හරිම ආසයි.

 දැන් එයා පෙරළෙනවා, චූටි චූටි සද්ද එන පාට පාට සෙල්ලම්බඩු අල්ලන්න හදනවා. එයාගෙ ඇඳ රෙද්දෙ ඉන්න පුංචි පුංචි රූප ඇඟිලි වලින් හූරණ ගමන් ඒවා දිහා මූන පුම්බගෙන, ඇස් ලොකු කරගෙන කෙල බේර බේර බලා ඉන්නවා.

 එයාගෙ මදුරු දැලේ එල්ලල තියන අර නත්තල් ගස්වල එල්ලන පාට පාට බෝල එක්ක හිනා වෙවී, කෑගගහ නින්දෙන් ඇහැරුනාම කතාකරනවා.

එයා දැන් බත්  තේ හැඳි 2ක්, කෙසෙල් ගෙඩි තේ හැඳි 2ක්, එහෙමත් කනවා. 


අයියගෙ ආටක නාටක බලබල අත් කකුල් ගස ගස ඒවට සහයෝගෙ දෙන්නෙ හිනා පිරිච්ච මූනකින් හරිම උද්‍යෝගෙකින්. අසනීප වෙලාවක, බොහොම හදිස්සියෙන් කිරි බොන වෙලාවක, නිදිමත හොඳටම තද උන වෙලාවක වගේ බොහොම බැරෑරුම් වෙලාවලදි උනත් අයියගෙ කටහඬ මොන තරම් ඈතින් ඇහුනත් ඇඬිලි, කෑගැහිලි, විරොධතා, රාජකාරි කැලේ! එයාගෙ වැඩේ අයියව හොයන එක තමා.

අයිය කියන්නෙත් 'මගෙ සුදු නංගී' කියල තමයි. ගෙදරට කවුරු ආවත් වෙනදට එයා කියන්නෙ 
"වාඩිවෙන්නකො අනේ, අපි තේ බොමු" කියලයි.

 ඒ උනාට දැන් කවුරු ආවත් ඉස්සෙල්ලාම කියන්නෙ 
"නංගිව දෙන්නෙ නෑ! එයා මගේ!" කියලයි.

ඒකට හේතුව ඉතිං කවුරු ආවත් ඉස්සෙල්ලාම "නංඟිව මට දෙනවද, අපි නංඟිව අරං යන්නද" කියල එයාගෙන් අහන හංදයි. එහෙම කොහොමද නංඟාව දෙන්නෙ. දැන් එයා නංඟව ඉල්ලන අයට කියන්නෙ 

"එයා අපේ, ඔයාල වෙන නංගි කෙනෙක් ගේන්න" කියලයි. 

ඔය ආදරේ හංඳ ඉතිං නංඟි බබාට අයිය බබාගෙන්  වරප්‍රසාද දීමනා විදියට හෙම්බිරිස්සාව, වෛරස් උන එහෙම ලැබෙනවා. ඉතින් ඒවට මොනා කරන්නද? ඒව එහෙම තමයි.


`~~~~~~~~~~~~~~~__--__~~~~~~~~~~~~~~~~~`



ගිය සිකුරාදා 2013 අගෝස්තු මාසෙ 02වන දා, චුටි පැංචිගෙ කන් පෙති විදලා, කරාඹු දැම්මා.

 කරාඹු වලින් මූනට ඔයාගෙ හරි එලියක් වැටිලා. කන් පෙති හිරිවට්ටලා කන් විද්ද නිසා ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ කියල ආච්චි අම්මයි, ඔයාගෙ අම්මයි කිවුවා....

 ආවූ හරිම හැඩයි තමයි!

"කන විදින වෙලේ කඳුලු ගඟේ පතුල බැලූ දූ 
අද සතුටු ගඟේ පීනනවා දාල කරාඹූ 
හායි දාල කරාඹූ....."
 මේ සටහන ඒ වෙනුවෙන්....

චුට්ටක් බඩගිනි වෙලා ඇඬුවත් අපිට හරියට දුක හිතුනත්, උල්කරපු කරාඹුවකින් ඔයාගෙ චූටි කන් පෙති විදින්න උනා. 

 මට හිතුනත් ඔයා ලොකුවෙලා, ඔයාට ඕන නම් කන් විදලා කරාඹු දාගන්න ඒ තෝරාගැනීමේ අයිතිය ඔයාට දෙන්න පුලුවන් උනානම් හොඳයි කියල, ලොකු වෙද්දි, ඉස්කෝලෙ යද්දි, ඇයි මගෙ විතරක් කරාඹු නැත්තෙ කියල අහයි, ලොකු වෙද්දි වැඩියෙන් රිදෙයි වගේ හේතු කට්ටිය කීව. ඔක්කෝටම වඩා ඔයාගෙ අම්මට ඕන උනා චූටි කන් පෙතිවලට කරාඹු දාල හැඩ බලන්න. මේ මොනා කීවත්, මම දවසක දෝණියකට අම්මා කෙනෙක් උනොත්  මම ආස වෙයි මගෙ දූගෙ කන් පෙති වලට කරාඹු දාල හැඩ බලන්න.

ගැහැණු කම!

 දුවේ ඒ ගැහැනු කම ආභරණයක්! ගැහැණියක් වෙලා ඉපදෙන්නෙ පවු කරපු අය නෙවේ... දරාගැනීම, ආදරය, සියුමැලි බව, සොදුරුකම..... මේවා පහත් දේ නෙවේ නේද? ඔයා ජීවත් වෙන විදියයි ඒ ආභරණෙට වටිනාකමක් දෙන්නෙ. 

චූටි දොණියේ...., 

මටනම් හිතෙන්නෙ ඔයා ගැහැණු කමේ පළවෙනි කඩඉමට මූන දුන්නා කියලයි.තව ඉස්සරහට කඩඉම් ගොඩක් තියෙයි, මල්වර වෙද්දි, මනාලියක් වෙද්දි, දරුවෙක්ට මවක් වෙද්දි.... පියවරෙන් පියවරේට ඔයා ඒව අඳුරගනී.

 ඒ අතරවාරෙ ඔයා ගැහැණුකම තේරුම්ගනියි. 

අද ඔයාගෙ ජීවිතේ එක තෝරාගැනීමක් කලේ අපි! 

අනාගතේ දවසක තෝරාගැනීම් ගොඩක් තියෙයි,  ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් එදාට ඔයයි කරන්න ඕන. අපි එදාටත්,හැමදාටමත් ඔයා ළඟම  ඔයාට උදවුවට ඉනවා!

 චූටි දුවේ තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ටයි..... ඒ වගේම ඔයාගෙ ජීවිතේ ගොඩනැඟුන පදනම පවුලයි.... ඒ පදනම උඩ  ජීවිතය කියන ගෙදර හදාගන්න ඕන ඔයායි.

දවසක..... තාම නොඉපදුන අනාගතේ දවසක.... හදවතින්ම ලස්සන ගැහැණුකම කියන ආභරණයට ඔයා හරි විදියට ආලොකයක් දෙනගමන් ජීවත්වෙනව දකින්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.

චුටි දුවේ ඔයාට අපි හරි ආදරෙයි!


Monday, March 25, 2013

දූ මුතු ඇටයකි හරිම වටී


ආයෙමත් ඒ හැඟීම!

ඊයෙ ගෙදර එක්ක ආව රෝස පාට ආදර පොදිය ආයෙමත් අපේ හිත් අමුතු ඒ හැඟීමෙන් පුරවල. 

 ඔයාගෙ අම්මා රෝහලට වෙලා ඔයා මේ ලෝකෙට ගේනකල් අපි හැමෝම උන්නෙ හරි තිගැස්මෙන්.දැන් ආයෙමත් හිත පිරෙනගමන්. වඩාගන්නත් බයහිතෙනව තාම. ඔයාට රිදෙයි කියල. 

ඔයාගෙයි, ඔයාගෙ අමමගෙයි- තාත්තගෙයි, ආච්චිඅම්මල දෙන්නගෙයි Photo බලද්දි ඇහැට හත අස්සෙ ඉපදෙන කඳුලක් නලියනව. ඒක තමා ඒ අමුතු හැඟීම!

මේ පුංචි සටහන ඔයා ආව සතුට වෙනුවෙන්. ඒත්, හිතේ පිරෙන ආදරේ පුංචි නෑ දුවේ.

ඉක්මණින් ලොකු වෙන්න ඔයා. අපි හැමෝම බලාඉන්නවා.

~~~~~~~~~~
පුංචි ඇඟිල්ලක් 
ඉඹින්න දෙනවද
අලුත ගෙනා සූකිරි දෝණී

දේදුන්නේ ඉඳලද ගෙන ආවේ
රෝසපාට 
ඔය කොපුලෙ ඇතී

 මැණිකක් නුඹ පොඩි
තුරුලේ නැලැවෙන 
මල්පෙත්තක ඇති සුවද ඇතී

සමනල තටුවකි
සිනිඳු සුමුඳු වෙති
දූ මුතු ඇටයකි හරිම වටී

~~~~~~~~~~~~~


මේ සිංදුව ඔයා අම්මගෙ කුසේ ඉන්නකොට ඇහුව මතකද බලන්න. ඔය සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීමත් හරිම පුදුමාකාර එකක්.