Wednesday, July 16, 2014

ඔයා ලොකු ගෑනු ළමයෙක් නේ, ඉතිං බයවෙන්නෙ මොකටද? : ෆෙලීට ලියුමක් (Surely, a Big Girl Like You Isn't Scared : An Open Letter to Unhappy Feli.)



ආදරණීය ෆෙලී,

මේ දවස්වල ඔයා ගැන අහන්න ලැබෙන දේවල් මට නම් විශ්වාස කරන්නත් අමාරුයි. ඔයා දුකින්? ඔයාට අමතක උනාද ඔයාගෙ නම Felicita! ඒ කියන්නෙ සතුට! දෙපාරක්ම ඔයාගෙ මුරණ්ඬුකම හංද දත් දොස්තර ව දැනටමත් කේන්ති ගස්සල ඉන්න ඔයා හෙට ආයෙත් දත් දොස්තර මුනගැහෙන්න තියන එක ගැන දුකින්.

කොහොම උනත් ඒක තමා මට ඔයා ගැන අහන්න ලැබුන අලුත්ම ආරංචිය. ඔයාගෙ තාත්තා ඔයාගෙ මාමාට, ඒ කියන්නෙ මට එහෙම තමා කිවුවෙ. ඔයාගෙ තාත්තා බොරු කියන කෙනෙක් නෙවෙයිනෙ.  එයා මට කීව විදියටනම් පරණ කරදරකාර වැඩකට නැති පුංචි කිරි දතක් ගලවන්නයි ඔයා දත් දොස්තර මුණගැහෙන්න ගියේ. පළවෙනි පාර  ඒක ගැන හිතන්නවත් බැරි විදියට ඔයා බෙරිහන් දෙන්න පටන් අරන් තියනවනේ. දෙවෙනි පාරටත් පරණ දත එක්කම ආයෙ ගෙදර එන්න උනේ ඒ හොඳ දොස්තරට ඔයාට පොඩි කට්ටකින් අනින්න ඔයා කොහෙත්ම ඉඩදුන්නැති හංදනේ. ඒ හංදම තමා ඔයාට හෙටත් එතනට යන්න සිද්දවෙලා තියෙන්නෙ. 

මැරුණ, පරණ, පොඩි කිරි දත ගැලෙවුවෙ නැත්තන් කොහොමද  අලුත්ම, අලුත් ලස්සන සුදු දතක් ලැබෙන්න ඉඩ හොයාගන්නෙ. ඉතිං ඔයාට හෙටත් දත් දොස්තර මුණ ගැහෙන්න යන්න වෙනවා!

මට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ, ජීවත් වෙලා ඉන්න කිසිම සතෙක් කැමති නෑ උල් දෙවල් වලින් අනිනවට, රිදෙනවට. ඒ තියා, මං සුරතලේට ඇතිකරන බැල්ල, බෙලා උනත් එයා දන්න උප්පරවැට්ටි සේරම දානව  එයාගෙ දොස්තර ගාවට යන එකෙන් හරි, බේත් විදින එකෙන් හරි බේරෙන්න. එදාට එයා කාර් එකෙන් බහින්නේම නෑ. උස්සගෙන හරි ගියා කියමුකො, මෙන්න එයා අර දොස්තරගෙ මේසෙ අස්සෙ රිංගගෙන! හොඳම හරිය එයා මලා වගේ රඟපාන්න ගත්තාම තමා. එයා හිතුවට අපි රැවටෙයි කියල, මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම කියල එකක් තියනව කියල ඌට තේරෙන්නෑනෙ. ඒකෙන් අපිට ඌව රවට්ටගන්න පුලුවං වෙනව විතරක් නෙවේ. ඒකෙන්ම තේරෙනවනෙ  අපි සතෙක්ට වඩා වැදගත් විදියට හැසිරෙන්න ඕන වගේම, සමහර වෙලාවලදි ලොකු වේදනාවකින් බේරෙන්න විඳගන්න වෙන මේ පුංචි වේදනාව ඉවසගන්න ඕන කියල. 

ඉතිං පුංචි ෆෙලී, හැමෝම වගේ මම නම් ඔයාව බොරු කියල රවට්ටන්න හිතන්නෙ නෑ. ඒක රිදෙනව! ගොඩක් නෙවේ තමා. ඒත් ඒක රිදෙන්නෑ කියන්න බෑ. මම පුංචි කාලේ මට බේත් විදින්න හදද්දි දොස්තරලයි, නර්ස් ලයි හැමෝම මාව වට කරගෙන, ඉඳිකටු දික්කරගෙන, පුටුවට තදකරගෙන "ආ..පෝ.. මෙච්චර ලොකු කොල්ලෙක් වෙලත් මේ  චූටි ඉඳිකට්ටට බය වෙනවද?" අහද්දි මට හිතුනෙම ඒගොල්ල මට කියන්නෙ බොරු කියලමයි. මමනෙ දන්නෙ ඒකෙ වෙනස. ඔක්කොටම වඩා මම ඒ කාලෙ ලොකු කොල්ලෙක් නෙවේ. දෙක, මං හොඳටෝම බයවෙලයි උන්නෙ, තුනවෙනි සහ වැදගත්ම කාරණේ ඉඳිකට්ටකින් ඔයාගෙ හම හිල් කරන එක මොන හේතුවකට කරත් ඒක දැනෙන්නෙවත් නෑ කියන එක විස්වාස කරන්න පුලුවන් කතාවක් නෙවේ! මං දන්නෑ මොන හේතුවකට මේ දොස්තරලා නර්ස්ල එක්ක එකතුවෙලා ළමයින්ට බොරු කියනවද කියලා. ඒකෙන් වෙන්නෙ ළමයි දොස්තරල, නර්ස්ල කියන්නෙ විස්වාස කරන්න බැරි බොරු කාරයො ටිකක් කියල හිතාගන්න එක විතරනෙ. ඇත්ත තත්වෙනම් අපිට ඕනම උල් තියුනු දේකින් අනිනව කියන්නෙ තුවාල කරනව කියන එකම තමා. ඒ වගේම කාටවත්, කාවවත් තුවාල කරන්න අයිතියක් නෑ. හිතන්න කවුරු හරි ඔයාව පිහියකින් හීරුවොත්, හූරල මදිමවට "අපෝ, ඒක පොඩ්ඩක්වත් රිදෙන්නෑ" කිවුවොත්, ඕන නම් පුලුවන්නෙ පොලිසි ගිහින්, නඩු දාල, ලොකු දඩුවමක් දෙන්න උනත්. බාග වෙලාවක උන්දැට පිස්සු කියල බේත් අරංදෙන්න උනත් බැරි නෑනෙ. ඒ උනාට දොස්තරලට පුලුවන් ඔයාලට ඉඳිකටු අනින්න. ඒකට කවුරුත් මුකුත් කියන්නැත්තෙ ඇයි? මොකද, දොස්තර ඔයාට පොඩ්ඩක් රිද්දන්නෙ ඊට වඩා ලොකු වේදනාවකින් ඔයාව බේරගන්න. හිරිවට්ටන බේතක් ඔයාගෙ විදුරු මහට විද්දට පස්සෙ ටිකකින් කම්මුල නෑ වගේ දැනෙනව මිසක් දතක් ගලවනව තියා, විදුරු මහේ පොඩි ගුලක් හෑරුවත් ඔයාට දැනෙන්නෙවත් නෑනෙ. ඔයාට තේරෙනවනෙ කෝකද වැඩියෙන් රිදෙන්නෙ කියල. හිතෙන්නැද්ද  ඒ පුංචි ඉඳිකටු පාර කොච්චර වටිනවද කියල. බේත් එහෙම විද්දාම ඔයාට සරම්ප නෑ! පිට ගැස්ම නෑ! මුකුත්ම නෑ!

මං දන්නව ඔය මුකුත්ම නැති වෙන එකේ වාසිය තේරුම් ගන්න ඔයාට පොඩ්ඩක් වෙලා යනව කියල. ඒ හංදම තමා බෙලාට බේත් විදින එක එයාට ජලභීතිකාව හැදෙනවට වඩා කොයිතරම් ශෝක්ද කියල තේරුම් කරන්න බැරි. ඒක ටිකක් විකාරයි වගේනෙ. මං කිවුවෙ බල්ලෙක්ට ජලභීතිකාව ගැන කියල දෙන්න යන එක ටිකක් ඕනවට වැඩී වගේ හිතෙන්නැද්ද.  ඒත් මිනිස්සුන් නම් ඒ ගැන පොඩ්ඩක් කාලෙ අරං හිතල බැලුවට කමක් නෑ.

ලොකු වෙන්න, ලොකු වෙන්න ඔය විදිලි වැඩි වෙන හංද, මං නම් හිතන්නෙ මිනිස්සු ඉක්මනටම ඒවට හුරු වෙන්න හිතුවොත් හොඳයි කියලයි.

දන්නවද, ඒ ඉඳිකටු අපේ ඇඟට ප්‍රතිජීවක, එන්නත් වගේම පෝෂක වගේ දේවල් දාන්න විතරක් නෙවේ, ඇඟෙන් දේවල් එලියට ගන්නත් පාවිච්චි කරනව කියලා?  ලේ! ලේ පොඩ්ඩකින් පුලුවන් අපි කොච්චර නිරෝගීද කියල හොයාගන්න. මගේ ඔපරේෂන් එකට කලින් එයාල මගෙනුත් ලේ ගත්තා. මං ඒ ගැන කවියකත් ලිවුවා,

පිළිගනිමි ඔබව,
ලේ උරාබොන වැම්පයර් වරුන්ගේ 
අඳුරු ගුහාවට !

එකෙක් මා ඇඟිලි තුඩු පිරික්සයි.
තවෙකෙක් කන්පෙති අතගා බලයි.
අයෙක් බාහුව ඌ සතු කරගද්දී,
අනේකා 
"මේ නහරෙකින් උරා බොමි"යි සිතමින්
 මගේ කකුලක් දෙස බලයි
කෑදරෙන්! 

Welcome to the vampires' den!
Where they all suck blood.
One gets a fingertip.
one gets s earlobe.
one gets an arm.
And another spies a leg and thinks,
"I'd like to get at one of these veins!"

හරි! මට ඕනෙ ඔයාගෙ බය නැති කරන්න මිසක්, ඔයාව තවත් බය කරන්න නෙවෙයි නිසා ලේ ගැන කතා ඔය ඇති! ඔය ඉඳිකටු ගැන බය නැති කරල දාන්න තව පොඩි පොඩි දේවල් ටිකක් මං කියන්නම්. පළවෙනි එක ඔයා දන්නෙම නැතිව ඒවට පුරුදු වෙනව කියන එක. අනික, මට පෙනිල තියනව ඔය බේත් විදින ඉඳිකටු උස්සන් එන දොස්තරලයි නර්ස්ලයි දැන් ඉස්සරට වඩා හොඳවෙලා කියල. මං කිවුවෙ බේත් විදිල්ල ගැන නෙවේ (එයාල ඒ ගැන ඉස්සරත් හොඳටම දැනගෙන උන්නේ) මං කිවුවෙ අර සීනි බෝල බොරු ගැන. එයාල දැන් ඒව කියන්නෙ නෑ විතරක් නම් මදෑ, එයාල සමහරු ඕනවට වඩා බයකරනවත් එකක්ක! කොච්චර බරපතල තත්වෙකදි උනත් එයාල දැන් මට කියන්නෙ නෑනෙ ඒක පොඩ්ඩක්වත් රිදෙන්නෑ කියල. ඒ වෙනුවට එයල කියන්නෙ මේක චුට්ටක් රිදුනොත් බයවෙන්න එපා කියල විතරයි. අනිත් දුක හිතෙනම කානේ දැන් කවුරුත් මට කියන්නෙ නෑනෙ " අයියෝ... මෙච්චර ලොකු කවියෙක් වෙලත්, මේ චූටි ඉඳිකට්ටකට බය වෙනවද?" කියල. හිතන්නකො, මට හරි ආසයි එයාල එහෙම කියනව අහන්න (අඩු ගානේ මුල් කොටස හරි...)ඒත් ඉතිං ඒක වෙන්නෙ නෑ. ආන්න ඒ හංද මගේ පුංචි ෆෙලි දුවේ, හෙට ඔයා දොස්තර ගාවට ගිහාම කාරණා දෙකක් නැති වෙන්න කියල මං ප්‍රර්තනා කරනවා. එක, දත් දොස්තර ගාවදි කට අරින්න ඔයා බය නැති වෙන්න ඕනි. දෙක, එතනින් ආපහු එද්දි පරණ, මැරුණ, පුංචි කිරි දත ඔයාගෙ කටේ නැති වෙන්නත් ඕනි.

ඒක එහෙම සිද්ද උනොත් ඔයාට මාමාගෙන් තෑග්ගක් ලැබේවි. ඔයාට මොනාද ඕනි? ඒක අපි මුණගැහුනම කතාකරගමු කෝ.

එතකන්
රොබර්ට් මාමාගෙන්
ආදරේ ගොඩක්.

By Robert Gernhardt
Illustrations by Henning Wagenbreth

Gernhardt, R. (2003). Surely, a Big Girl Like You Isn't Scared An Open Letter to Unhappy Feli. Future - The Aventis Magazine, (2), pp.78-81.
.

4 comments:

  1. පරිවර්තනයක් නේද...
    හරිම අපූරුයි....
    මේ වගේ එක්කට මොනා කියන්නද කියල තමා හිතාගන්න බැරි...
    මොනා වුනත්.. ඔබ අගේට පරිවර්තනය කරල තියේ..
    ජයවේවා

    ReplyDelete
  2. ithaamath aadaraneeya lipiyak.

    ReplyDelete
  3. ඉතාමත් සාර්ථක පරිවර්තනයක්.අපූරුයි.

    ReplyDelete