Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Wednesday, May 22, 2013

අම්මා




අහස  
දරා වැහිබිඳු
වැස්ස වී වහීවී

පොළව 
උහුලා ඉමක් දුටුදා
කම්පනය වෙවී


ආදරේ පිරුණ හිත
දරාගෙන
නොසැලී ඉඳී
සදහටම.....

අම්මා

Wednesday, December 12, 2012

අම්මලා




මල් යාය අසබඩ
හීන් දිය පාර කිට්ටුවම
දිගු පාදැති කොකෙක්
තනි කකුලෙන් සීරුවෙන්

කොක් පැටවුන් කූඩුවේ
මග බලාගෙන!

මල් සුවඳ නොදැනෙන
වතුරයට පෙරළෙන
පුංචි මාලු රෑනක්ම
උන්ගෙ මවු වටකර

හරිම වේගෙන් සැලෙයි
මින් මවුගෙ හදවත!

විශ්වයේ කොතැනත්
නොවෙනස්ව

අම්මාගෙ ආදරය!

Thursday, November 22, 2012

පාසල් ගමන.....

Add caption


ආයෙමත් පුංචි පුතා ගැන කතාවක්! 
ඒ තරම් පුංචි දරුවෙක් ගැන මේතරම් ලියන්න දේවල් තියන එක කොහෙත්ම පුදුමයක් නෙවේ. 

නොහිතු විදියට......

හම්.... අපි හිතන් උන්නෙ එයාව ජනවාරියෙ ඉදන් පෙර පාසලකට ඇතුලත් කරන්නයි. ඒත් ඉතින් (නිළ වශයෙන්) අකුරු කියෙවුව දවසෙ ඇතුලත් කරන්න ඕන කරන  රාජකාරි ටික පිළිවෙලක් කරගන්න පුංචි පුතා එක්කම අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි ගියා ඉස්කෝලෙට. ඒ පහුගිය සැප්තැම්බර් මාසෙ 27 වෙනිදා. ඉතින් එයා ඉස්කෝලෙට එදා යන බව දැනගෙන අකුරු කියවන්න ඇඳපු 'ලොකු ඇඳුම' ( ඒ එයා ගමන් අඳින ඇඳුම් වලට දීපු නම) යි, බාප්ප තෑගිදුන්න  ටෙඩියෙක් මහපු පොත් මල්ලයි මොනම හේතුවක් නිසාවත්, ඒ කියන්නෙ කක්ක දාන්න වගේ නොවැලැක්විය හැකි හේතුවක් නිසාවත් ගලවන්න අවසර දුන්නෙ නෑ! ඒකට තමා ඉතින් උනන්දුව කියන්නෙ. 

කළමනාකාර තුමයි, විදුහල්පති තුමයි, අදාල වයස්කාණ්ඩය (ECCE 2+) භාර ප්‍රධාන ආචාරවරියයි, පුතාට අදාල පංතිය භාර ප්‍රධාන ආචාරවරියයි,පුතා පිරිවරාගෙන ප්‍රශ්න අහන්න පටන් අරං. හරිම උනන්දුවක් තමාලු ඒක. කොහොමත් පුතා බොහොම ආසාවෙන් උන්නෙ ඉස්සරහ ගෙදර රන්දිනු, රනුති, සඳිති අයියල අක්කල වගේ ඉස්කෝලෙ යන්න. කොටින්ම එයාට කේන්තියක් වගේ අපභ්‍රන්ස හිතුවිල්ලක් හිටි හැටියෙ පහළ උනාම එයා අපිට බොහොම  බැරෑරුම් විදියට තර්ජනය කලෙත් " පුතා ඔයාව දාල ඉස්කෝලෙ යනව"  කියලයි! ඒක හරි දුක හිතෙන දඩුවමක්! විශේශෙන්ම ආච්චි අම්මට! පුතා නැති තප්පරෙත් පැයක් වගේ හන්දයි. 

කොහොම හරි ඉස්කෝලෙ කට්ටිය එක්ක කතාව දාගෙන ඉඳල, මෙන්න ! ටිචර් ගෙ අත අල්ලන්  පුතා පංතියට ගිහින්. අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි හොරෙන් බලා ඉඳලා. පොත් මල්ල පුටුවෙ එල්ලල, පුංචි පුටුවෙ වාඩි වෙලා. ටීචර් පුතාගෙ අල්ලෙ රෝසපාට සායම් ගානවලු. පුතා බොහොම ආසාවෙන් බලා ඉන්නවලු ( මම එයාට අවුරුද්දක් පිරෙන්නත් කලින් එයාගෙ අල්ලෙයි පතුලෙයි, මඩ තලියක් උලලා ඒක කොලේකට ගත්තෙ හරිම අමාරුවෙන්..... එයාග අම්මට හොරෙන්, ආච්චි අම්මාගෙන් බැනුම් අහමින්, ලොකු පුංචි 'එපා අනේ පවු' කියද්දි ඒ මදිවට මේ පුතා බෑඟිරි ගහ ගහ අඩද්දි!)

ඒ දවස්වල ඉස්කෝලෙ ඔක්තෝඹර් පළමුදාට යෙදෙන ලෝක ළමාදිනේට සූදානම් වෙනව. ඉතින් එලියෙ දරුවො නැටුම් පුරුදු වෙනවලු. අත් හෝදගත්ත පුතාත් ටීචර්ගෙ අතත් අල්ලගෙනම අර දරුවො වගේ නටන්න ගත්තලු. අන්තිමේ මේ වික්‍රම වල ප්‍රතිපලයක් හැටියටත්, පුතාගේ බලවත් ඉල්ලීමයි - උනන්දුවයි මතත්, එයා ඔක්තෝඹර් පළමුදා ඉදන් ඉස්කෝලෙ යවන්න අපි තීරණය කලා. 

ඇත්ත.... කෙනෙක් කියාවි, 'අනේ තාම චූටි දරුවෙක්නෙ' කියල. මොහොතකට අපිටත් එහෙම හිතුන. පුංචි නිළ ඇඳුම්, සපත්තු දකිද්දි..... ඔක්තෝඹර් පළමුදා පාට ඇඳුමින් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා කිරි බෝතලෙන් බොද්දි..... ඇස්වලට කඳුලුත් ආවා. ඒත්, චූටි පුතා දැඩිලෙස ඉල්ලා හිටිය ඉස්කෝලෙ යන්න උවමනා බව එයාට. අනික තව දරුවො එක්ක මුහුවෙලා ගත කරන්න ලැබෙන වෙලාව..... ඒ අත්දැකීම අපෙන් එයාට ලැබෙන්නෙ නෑ. හෙම්බිරිස්සා ගතිය තිබුන එකම එක දවසක් විතරක් ඇරෙන්න කවදාවත් එයා ඇඬුවෙ නෑ. දවල් 12 වෙද්දි එයා අපේ තුරුලෙ. අපේ ආදරය විතරක්ම නෙවේ සම වයසේ සමාජ ඇසුරත් එයට උවමනයිනෙ.


පාසල් ගමන.....

පුතා කොහොමත් උදෙන් නැගිටිනව. පාන්දර 4.00 - 6.00ත් අතරෙ එයා නැගිටිනව. පලවෙනි දවසෙ කිරි බීල ගියත් අරං ගිය කෑම ටිකෙන් චුට්ටක්වත් නොකා ආපහු අරගෙන ආව හංද අපි තීරණය කලා බත් ටිකක් කවන්න උදේට. පාන්දර 3.00ට විතර කිරි ටිකක් බොන හංදත්, ඒ අතරට අම්මගෙනුත් කුක්කු ලැබෙන නිසත්, උදේ කිරි එක ඉතිරි කරන නිසත්... අපි බත් වලට ආදේශ උනා.....

ඉතින්.... ඒක හරි සෙල්ලමක් වගේ.... කොහෙත්ම යුද්දයක් නම් නෙවේ.....

උදේ බත් ඉදෙන අතරෙ නැගිටල එන පුතා අම්ම ගාව පුං චිපූස් දරුවෙක් වගේ දැවටි දැවටි ඉන්නව ටික වෙලාවක්... 6.00ට විතර තමයි අපි බයි කන්නෙ. ඒ වගේ ටිකක් කම්මැලි එපා වෙන වැඩ වලට පොඩි උත්තේජකයකුත් ඕන. EGB වගේ....

ඉතින් අපි එක්කො පාරෙ ඉන්න බවුවන්ටයි පූවන්ටයි කතා කරනව, නැත්තන් කෑම හොයන කුරුල්ලොයි ලේනොයි එක්ක සිංදු කියනව, සමහරදාට Cricket හරි, දිය-ගොඩ-සැමතැන හරි , අල්ලන සෙල්ලම් හරි කරන්නත් වෙනව.... වැස්ස දවසක Cap එකත් දාගෙන අපි බෝට්ටු යවනව.... ඒ මුකුත්ම නැත්තන් ආච්චි අම්ම බන අහන තැනට වෙලා බන අහන ගමනුත් අපි බත් කනව. පුංචිට අලුත් කතාවක් හදාගන්න පුලුවන් උනාම කතන්දර අහ අහ බත් කනව. කොහොමහරි බත් ඔක්කෝම කනව අපි. ඊට පස්සෙ ඇග හෝදන් ලෑස්තිවෙලා ඉස්කෝලෙ යනව. 

ඊට පසසෙ කක්කි දාන්න වාඩි උනාම තමා ඉතුරු වැඩ. එයා තාප්පෙන් මේ පැත්තට වැටිල තියන උණ අත්තක එල්ලිල තියන පොල් කට්ටක් එක්ක කයියක් දාගෙන එයාගෙ රාජකාරිය කරගන්නව පාඩුවෙ. . ඒ අතරෙ තමා කෑම පෙට්ටිය බෑග් එකට ගිහින්, වතුර බෝතලේ ලෑස්තිවෙන්නෙ. 

ඊට පස්සෙ අර චූටි දත් ටික මදින වැඩේ!. බේසමට  වතුර පුරවනකල් එයා අතට දත් බුරුසුව දුන්නට මොකද, එයා කරන්නෙ එකම පැත්තක් මැදගෙන මැදගෙන ගිහින් සේරම tooth past ටික තුහඃ ගාල බිම දාල ඒත් ඉතුරුවෙන ටික රස කරල ගිලින එක තමයි. හිහ්! මෙදා පාර  tooth past එක Mixed Fruit රසයි. කලින්පාර එක Strawberry රස තිබ්බෙ. :)

ඊට පස්සෙ තමා අපි දත් මද්දන්නෙ. එයාගෙ අම්මයි, තාත්තයි දත් මද්දන දවසක නම් පොඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන්න වෙන්නෙ එයාල හරිම ක්‍රමේට දත් මදින්න දන්නැති හංදයි!

ඒක මෙහෙමයි.... ඉස්සරහ දතුයි, දත්වල පිට පැත්තයි මදිද්දි 'ඊඉ, ඊඉ, ඊඉ,ඊ!' කියල කියන්න ඔන, ඇතුල මදිද්දි 'ආඅ, ආඅ, ආඅ, ආ!' කියල කියන්න ඔන... ඒක කියන්න ඕන අර කවියෙ තාලෙට

 'This is the way we brush our teeth.... Brush our teeth, brush our teeth..' 

මේක සමූහ ගායනයක් පුතයි මමයි තමා සමූහය...එතකොටයි දත් දිලිසෙන්න මැදෙන්නෙ. ඊට පස්සෙ දිව මදින්න ඕන... අර අත්හෝදන add එකේ වගේ එතකොට පුතා දිව එලියට දාගෙන ඉද්දි මද්දන කෙනා මෙහෙම ගයන්න ඕන....
 'මෙතන ඉඳන් මෙහෙම මෙහෙම, මෙතන ඉඳන් මෙහෙම මෙහෙම....' 

 හරි! අපි දත් මැදල ඉවරයි....

ඊට පස්සෙ අපි ඇග සෝදන්න ඕන. දැන් මූනෙ සබන් ගෑවට  එයා බය නෑ. ඒව තමා ඒ වගේ පුංචි දරුවෙක් ලබාගන්න ජයග්‍රහන. ඒව ලොකු ජයග්‍රහන ඒ වයසෙ දරුවෙකුට!

ඇඟ හෝදන්න උණුවතුර දැම්මට පස්සෙ එයාට ඒ කේතලේ ඇරල පෙන්නන්න ඕන. ඒක ඇතුලෙ තියන දඟර ගැහුන Heater එකෙන් තවමත් දුම් දාද්දිම..... ඊට පස්සෙ සුපුරුදු ප්‍රෂ්න ටික....

ඔන්න වතුර දැම්ම බේසමට....

පුතා : කෝ .....මට පෙන්නන්න (මම කේතලේ පියන ඇරල පෙන්නන්න ඕන)
පුතා : Smoke එකක් එනව මේ..... ම්ම්.... (වාශ්පයේ සුවඳ බලයි, ඇතුලත ඇති Heater එක දකියි ) ඒ මොකද්ද ඒ?
මම : ඒ Heater එකනෙ පුතා.....
පුතා : ඈ.... Heater  එක (මේ වෙලාවට බලන්න ආසයි. කට ඇරගෙන, ඇස් ලොකු කරගෙන)
මම : ඒ Heater එකනෙ පුතා.....ඒකෙන් තමා වතුර Heat උනේ.
පුතා : Heat උනේ.? ඒ කොහොමද  Heat වෙන්නෙ?
මම : අපි Kettle එකට වතුර දාල වහල, ඒක Plug එකට හයි කරලා Switch on කලාම Current එක ඇවිත්    Heater එක Heat වෙනව. එතකොට වතුරත් Heat වෙනව. 
පුතා : ආ... එතකොට අර Orange Color light එක නැති වෙනව... හරී!


සේරම තේරුනා. ඒත් ඔය වචන ටික ඔහොම්මම ආයෙත් හුවමාරු වෙනව ඊළඟ දවසෙත්, ආයෙත් ඊළඟ දවසෙත්.... ඇග හෝදවන්නෙ මම නම්!

ඊට පස්සෙ ඇඳුම් අඳිද්දි.... එකම එක ඉල්ලීමක් පුතාගෙන්
 'පුංචියේ අපිට colon එපා නේ?!'
අපි colon පොඩ්ඩක් කමිසෙ එල්ලන ලේන්සවට හොරෙන් දානව ඉතින් :)

ඊට පස්සෙ ආච්චි අම්මට වැඳලා, සීයගෙ Photo එකටත් වඳිනව. බුදු හාමුදුරුවන්ටත් වඳිනව.එයා තමයි තනියම එයාගෙ වතුර බොතලෙයි පොත්මල්ලයි අරන් යන්නෙ.....ඊට පස්සෙ 7.15 වෙද්දි අපේ පොඩි පැංච පිටත් වෙනව ඉස්කෝලෙට.....

ඉතින් ඊට පස්සෙ.....

දැන් මාස එකහමාරක් වගේ.....එයා ඉස්කෝලෙ යනව.. අපි කියල දීපු කවි කතා වගේම, අලුත් කවි කතාත් එයා ඉගන ගන්නව. තනියම කෑම පෙට්ටිය ඇරගෙන කන්න, පාට අඳුරගන්න, යාලුවො එක්ක සෙල්ලම් කරන්න (වලි දාගන්න) Mango Juice හදන්න. ඇට වර්ග පොත්වල අලවන්න.....එයා හරි ආසයි...

ටීචර්ලත් එයාට හරි ආදරෙයි....තාම මේ 2+ පුංචි දරුවො. ඇදුමෙ චූ යනව වගේ අකරතැබ්බ වෙන්න පුලුවනි. ඒකයි අමතර ඇදුමක් නිතරම පොත් මල්ලෙ තියෙන්නෙ. ජයග්‍රාහී ලෙස අපේ පුතත් එකමෙක දවසක් ඒක ප්‍රයෝජනේට අරං තිබ්බා. 

එයාගෙ ටීචර්ගෙන් තිබ්බ එකම පැමිණිල්ල කෑම කන්නෙ නෑ කියන එක. මුලින් මුලින් කෑම පෙට්ටිය එහෙම්මම ආපහු අරගෙන ආව අපේ පොඩි චන්ඩියා.

 'මෙයා හරි හිමින් කන්නෙ'

 ටීචර් එහෙම කිවුවා. අපි සති 2-3ක ඉඳන් කරපු පර්යේශන වලින් හොයාගත්ත එයා පානුයි, Strawberry Jam යි තමා කන්න ප්‍රිය කියල. උදේට බත් කාල යන නිසාත්, දවල් 12.00 වෙද්දි ගෙදර එන නිසත් පානුයි, Strawberry Jam යි නරක නෑ. එයා ඒව සේරම දැන් කනව. 

19 වෙනිද පුතාට අවුරුදු 03 පිරුණා. teddy bear cake එකක් උස්සගෙන ගියා යාලුවන්ට. යාලුවො හැමෝම එක්ක Cake කපල කාල. ඒ පින්තූර වල ඉන්න එයාගෙ යාලුවො හැමෝගෙම නම් එයා දන්නශවා. ඒක ලොකු දෙයක් ඒ වයසෙ දරුවෙකුට...

ඒ ගුරුවරුත් හරි අගය කලයුතු පිරිසක්... එයාල අහනව අපි කියල දෙන නැටුම්, සිංදු ගෙදරදි කියනවද කියල. ඒක එයාලට සතුටක්....  එයාල දරණ මහන්සිය, මේවගේ දරුවො ගොඩක් එක්ක... ඒක දැනුනෙ අපි පුතාලගෙ වර්ශ අවසාන විවිධ - ප්‍රසංගය බලන්න ගියාමයි...
ඔවු විවිධ-ප්‍රසංගයක්.... පුංචි පුංචි දරුවන්ගෙ... අපේ පැංචත් නැටුම් 2කටම උන්නා.... ඒක වෙනම ලියා තැබියයුතු මාතෘකාවක්... ඒ පුංචි දරුවන් වගේම..... මහන්සියෙන් ඒ විවිධප්‍රසංගය යතාර්තයක් කරපු ඒ ගුරුවරුන් වෙනුවෙන්.....

ඉතින්... අපේ පොඩි පුතා... සමාජ ඇසුර ත් ලබමින් ලොකුවෙනව..... මේක සම්පූර්ණයෙන්ම පෞද්ගලික සටහනක් වෙන්න පලුවනි තමා.... දරුවෙකුගෙ මේ එක එක කඩඉම්.... ඒක හරි  සුන්දර අත්දැකීමක්..... හරිම සුන්දර අත්දැකීමක් ! 

පුතේ අපි ඔයාට ආදරෙයි හුඟාක්!

Monday, November 19, 2012

දැක, දැන අර ලොව ගැන පිපෙන්න මානෙල් මල......



ඉර කුමරුගෙ පාට වැටිල
මල් කුමරියො පිබිදෙනවා,
ඊට කලින් අපේ පුතා
පාන්දරින් නැඟිටිනවා......

උදේ සීත මකන ගමන්
ලිපේ බතක් ඉදවෙනවා,
ආච්චි අම්මා අදනම්
ආදර කිරිබත් උයනව......

පුතු වටකරගෙන හැමෝම
හාදු දෙන්න පෝලිමේය,
අද නම් හරි අපුරු දිනක්
පුතුගෙ මුවේ සතුටු මලක්......

සමනළයෙක්, මී මැස්සෙක්
ඒ මදිවට ගිරා බබෙක්,
මිදුලේ හිඳ ගයති රඟති
අද මොකදැයි අරුම ලෙසින්......

පුංචි පූස් පැටවු ටිකක්
කොහේද හිඳ දුව ඇවිදින්,
පුතු දැක පා දඟර නැටුම්
සුභ පැතුවා සතුටු හිතින්......

මොක්ද මේ කලබලේ
හරි හරි දේ මෙහි වෙතේ,
පුතු ඉපදුන දිනයනේ
සමරන්නේ සතුටිනේ......

ආදර හාදුත් තැවරුන
පොඩි මූනේ හසරැලී,
කාගෙත් හදවතේ පිරුණ
සුභ පැතුමකි හිරු වැනී......

පුතු ටික ටික ලොකු වෙනවා
දවසක තුරුණෙකු වෙනවා,
හොද දරුවෙකු ලෙස පියකරු
හෙට දින ජය ගෙන එනවා......

අපි හෙට වයසට යනවා
පුතු දැක හිත සැනසෙනවා,
සෙනහෙ සිහිල ලබන පුතා
මැණිකක් සේ බැබවලෙනවා......

අහන්න සුරතල් පුතේ
නුඹ නොදුටුව ලෝකයේ,
ගෙවෙනා මොහොතක් ගානේ
අලුත් දෙයක් බිහිවෙතේ......

අනාගතේ දවසක
ලොව දකීවී පුත නූඹ,
අපි ළඟ නැති මොහොතෙද
හිත සෙනෙහස නුඹ ළඟ......

අකුරු, ඉලක්කම් ලියා
දැනුමෙන් සවිමත් වෙලා,
කියා දුන්න ආදරයත්
රැකගන් හදෙහී හොවා......


ජීවිතයේ ලස්සන
කවි අතරෙත් කටු ඇත,
රිදුම් දෙවන මොහොතක
දිරිය වේවි සෙනෙහස......


ඔය ලස්සන හිනහව
වටින්නෙ හෙටටයි පුත,
දැක, දැන අර ලොව ගැන
පිපෙන්න මානෙල් මල......

2012/09/19

Thursday, October 11, 2012

අතිනත පටලා - යමු අපි දෙන්නා - පුංචි දුවේ මාගේ


අද අහසෙ පායපු ඉරෙත් පාට හේදිල වගෙයි......

කවුලුවෙන් එපිට හිස් අහස දිහාව බලාගෙන ඈ එහෙම හිතුව. 

ඔවු, කිත්මිණී.....හේදිච්ච හිතත් ගුලි කරගෙන අහස දිහාව බලා උන්නා. ඇගේ හිත වගේම ඈට පෙනුන, ඈ දුටුව අහසත් හිස්. ඒත්,  ඈ දැනගෙන උන්නා. ඈට නොපෙනෙන අනිත් පැත්තෙ ඉර පායල තියෙන බව. ඒ වගේම මේ ඉර එලියෙ පාට හේදිච්ච මලානික ගතියට හේතුවත් කිත්මිණී දැනගෙන උන්නා. 

ඔවු, අවුව පායල තියන බවත්, මේ මද්දහන බවත් ඇත්තයි. ඒත් ඒ මද්දහනට උරුම දීප්තිය, ඒ දිලිසෙන කහ පාට ඈතක ඉඳන් සීරුවට අහසෙ ගුලි ගැහෙන වැහි කලුවකින් වැහෙමින් තිබුනා.

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~



 මේ හැමදේම සිද්දවෙන්න පටන් ගත්තෙ කවදද? 

 ඒ දවස්.... ඒ කිවුවෙ,  මම පුංචි කාලෙ කොයි තරම් ලස්සනද? 

අවුරුදු පහළවක් තිස්සෙ අම්මගෙ තාත්තගෙ හුරතලා වෙවි අයිය ගෙවුව කාලෙ හිටි හැටියෙ නතර උනෙ අකලට හටගත් ඵලයක් වගේ මං උපන් දා ඉඳලයි.

 "ඒ දවස්වල තිබ්බ වලි!" 

 හීන් හිනාවක් මුවේ ඇදෙද්දි මම අතීතයට කවදවත් නැතිතරම් ආදරේ කරන්න පටන් අරං......

අයියත් එක්ක භාහිරින් මහා බැඳීමක් නොතිබුනත්, අධ්‍යාත්මිකව ඇතිඋන ආදරය. තාත්තගෙ නිහඬ, ප්‍රතාපවත් සෙනෙහස. ඒ අස්සෙ මං ඇයට බැඳුනු බැම්ම....

අම්මා.... 

ළයේ ඟැඹුරුම ඉසවුවකින් ඇවිලුන ගින්නක් හංදා පිච්චිලා යන උණුහුමකින් හුස්මක් හිතේ රස්නෙට එලියට පැන්නා.

ඒ දවස්... එකිනෙකාට බදධ උනා වගේ අපි අතර තියන බැඳීම... ඉස්කෝලෙ ආ -ගිය හැටි, සුකුරුත්තන් ඇඳුම අන්දපු හැටි, රහස් බෙදාගත්තු හැටි... 

තරවටුවක්, ගුටියක් මට දීලා අම්ම හොරෙන් ඇඬුව බව මන් දවසක් දැක්ක. එදා ඒක දැක්ක බව මං කීවෙවත්, අම්ම දුකින් වේදනාවෙන් ඇඬු බව මට කීවෙවත් නෑ තමයි. ආයෙමත් මන් ගුටි කෑවම අම්ම හොරාට අඬනව මං දැක්කෙත් නැති උනත්... මං ඔය අසීමිත ආදරේ එදා පුදුමාකාර විදියට වින්දා.

හැමදාම, හැමදේම අපි දෙන්න බෙදාගත්තෙ. ඒක අරුම බැඳීමක්. මට කියාගන්න නොතේරෙන. 

ආදරේ..... 

ඔයලගෙ ආදරේ අතරටම එයාගෙ ආදරෙත් ලබන්න මං පින් කරල. ඒ ආදරේට ඔයාල ආශිර්වාදයක් උනා. මං සතුටු උන තරම..... ඒක ඔයාටත් දැනුන නේද අම්මා....

එකින් එක අවුරුදු ගෙවෙදදි.... ඔයා කීවා, 

"දැන් ඉතින් මදැයි උන්නා. අපි Wedding එක ගමු දූ" 

අන්තිමේ....

මට මේ ඇහෙන්නෙ මහන මැසිමෙ මහ ගොරහැඬි සද්දෙ. ඔයා ඔයාගෙ අතින්ම මගෙ මංඟල ඇදුම් මහනවා. 

ඉස්සර රැළි අල්ලල,මල් මහල බෝරිච්චි අත් දාල ගවුම් මැහුව මැසිමෙන්ම, මට වැඩ දාපු ඔසරි හැට්ටයක් ඔයා හෙමි හෙමිහිට මහගෙන යනවා.පොඩියකට නතරවෙලා ඒ හැට්ටෙ රටා අතරෙ ඔයාගෙ ඇඟිලිතුඩු යවන ගමන් තනියම හිනැහෙනවා.හදිස්සියෙම ලොකු හුස්මකින් හිත හෑල්ලු කරගෙන හනික ඇස් දෙක පිහදාල ආයෙත් මහනවා. 

මම ඔයාව දැක්ක අම්මා....

හරි සද්දෙට එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු බලනව. හිනැහෙනවා. මට තරවටු, උපදෙස් දෙන අතරෙම ඔච්චම් කරනවා. ඒ අතරෙ මට ඇහෙනවා රෑට නිදි ඇඳේදි හීන් ඉකියකුත්....

මට ඔයාව ඇහුන අම්මා.....

මතකද, අපි දෙන්නා මගේ කාමරේට වෙලා සාරි නවද්දි ළඟදි දවසක මං කිවුවා ......

"ඔන්න අම්මේ.... මට එහේ ඉන්න බෑ හිතුනොත් මං ගෙදර එනව හොඳේ..."

ඔයා මොහොතක් මං දිහාව බලං උන්නා. ඉක්මනින්ම මගෙ ඇස්වලින් ඔය මූන අහක් කරගෙන මගෙ කාමරේ පුරාම ඔයාගෙ ඇස් යැවුවා. 

" හඃ ඒවා කොහෙද, මට උඹව යවනකල් ඉවසුමක් නෑ.. නිදහසේ ඉතුරු කාලෙ ගෙවා ගත්තෑකි ඇති යන්තම්..."

හදිසියෙම ඔයා මහ හයියෙන් හිනා වෙලා කීවා,

මට ඔයාව දැනුනා අම්මා.....

තව සුමාන දෙකයි.... 

මං මනාලියක් වෙනව දකින්න ඔයා දැකපු හීනෙයි, එයා එක්ක ජීවිතේ අත්තිවාරම දාන්න මං දැකපු හීනෙයි....  

ඒ හීන එදාට හැබෑ වෙයි...

එතකොට මේ කඳුලු!

ඔයයි මමයි හිත් අස්සෙ හිරකරගෙන ඉන්න, ගින්දරටත් වඩා හිත පුච්චන මේ කඳුලු?

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~

කිත්මිණී හනික කවුලුව ගාවින් නැඟිටගෙන, යාබද කාමරේ මැසිම එක්ක ඔට්ටු වෙන අම්ම ගාවට ඇදුනා...

ඈ උලුවස්ස ගාවට ගියා. ඇගේ අම්මා ඒ ඔසරි හැට්ටය ඒ මොහොතෙම අන්තිම මැහුම් පාරත් ගහල මහල ඉවරකලා... එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කපල ඒ රටා අතරෙ ආයෙමත් ඇඟිලි දුවවමින් ඈ හීන් හිනාවක් මූනෙ ඇඳගෙන කල්පනා කලා.

මේ සේරම දොර උලුවස්ස ළඟ ඉඳන් කිත්මිනී නිහඬවම බලා උන්නා. ඒත් ඒ හිත ඇතුලෙ බැමි එකින් එක ලිහෙමින් කඳුලු උපද්වමින් තිබුනා.

එතකොටම, අම්මාගෙ ඇහින් වැටුන කඳුලක් හැට්ට අත උඩ පැල්ලමක් ඇන්දා. හනික ඒක පිහිද්දි තව කඳුලක් මැසිම උඩම බිඳිල ගියා. එකකට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් කඳුලු වහිද්දි ඇගේ අම්මා හැට්ටය ළයේ තුරුලුකරන් ඉකිබිඳින්න උනා.


අම්මා.....

උලුවස්සෙ වරුවෙන් මිදිලා කිත්මිණී අම්මාගෙ උකුලෙ කඳුලින්සිත්තම් මවද්දි....

ගෙදරින් එලියෙ මුලු මිඳුලම දූවිලි පිහමින් සිරි - සිරි වැස්සක් වහින්න පටන් ගත්තා.....

මේ වැස්සට පස්සෙ තිබුනටත් වඩා දීප්තියකින්, අහස ලස්සන කරගෙන ඉර පායාවි..

Friday, June 17, 2011

'අම්මා'



මම ඇය ගැන අකුරු කරන්නට වචන සොයමින් හිඳිමි. හදවත පුරා සුමුදු සෙනෙහසෙන් සිත්තම් මවන ඇගේ ආදරය අකුරුවලින් ලියාතබන්නට මම වචන සොයමින් හිඳිමි. ජීවිතයේ නේක ඉසවු ඔස්සේ අකුරු වලට හැඩයක් දෙන්නට ප්‍රාථමික නමුත්, තෘප්තිමත් උත්සාහයක ඉන්නා මම ඇය ගැන ලියන්න වචන හිඟකමකින් දැඞඩිව පීඞඩාවිඳිමි.

'අම්මා'

ඒ වචනයම කවියක්!

අම්මාගේ සුවඳත්, ඒ සිරුර පුරා දිවෙන සිනිඳු බවත් ගැන මම බාලිකාවේදී යෙහෙලියන් හා එක්ව කතාකල අයුරු තවම මතකය. මා විඳි එසොඳුරු උණුහුම කොයි අම්මාටත් එකය. පාන්දර ඉරටත් කලින් ඇහැරුන වෙලේ සිට මොහොතක ඇසිල්ලක් නොලබා, රැකියාවත් ජීවිතයත් පටලවා නොගෙන ජීවිතය කියවන ඇය, එතරම් සුවඳ සහ සිනිඳු වූයේ කෙසේදැයි මට පුදුමයකි.

ගැහැනු දරුවන් හතර දෙනෙකු වැදූ ඈ, හදවතේ ශක්තියෙන් ආ දුර බොහෝය. මගේ ජීවිතයේ අම්මා වී කිරුළ දරන්නට පෙර ඈ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනෙකුට පසුව ඉපැදී.,බාල නංගිලා මල්ලිලා පස් දෙනෙකුට  ලොකු අක්කා වීය. පවුලේ වැඩිමහල් ගෑහැනු දරුවාව ඇය සිය බාල සමය ගෙවුවේ සැහැල්ලුවෙනැයි කීම මුසාවෙකි. ඇය එදා ඉසිලු බරත් මහ විශාලය.

තාත්තාගේ පෙම්වතිය වී උන් සමය, ඒ හා බැඳුන රස 'රහස්'අද අප සමඟ කියද්දී ඒ දෑසේ දීප්තිය, හිතේ කොනක් කොනිති ගසා රිදවයි. තාත්තා අවසන් සුසුම් හෙලු දා ඇ නෙතින් වැටුන හැම කදුලක්ම 'ආදරය' සමඟ එක්වී ඇයව තවත් හදවතින් ගිනිබත් කරන්නට ඇත. ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ ආඩම්බර කාර 'අම්මා' හැමදාම නින්දට පෙර තාත්තාගේ සේයාරුව ළඟ හිඳ ඔහුට මුමුනා කියන්නේ මොනවාදැයි අප අසන්නට නෙයන්නේ, ඒ දෑස තෙත්වනයුරු ඉවසන්නට අපේ හිත් ඇගේ තරම් ශක්තිමත්නැති බැවිනි.

දරුවන් වැදන්නට ඈ විඳි වේදනාව පවා අද ඇ මතක් කරන්නේ ආදරයෙනි, ආඩම්බරයකිනි. ඇගේ පියවුරින් කිරි උරාබොද්දී මෝදුවන ළපටි මුත් තියුනු දත් වල පහරින් පිපිරී වේදනා දුන් තනපුඩු ගැනත් එකල දින 45කට සීමා වූ ප්‍රසූත නිවාඩු අවසන රැකියවට යාමට වූ කාලයේ, අප වෙනුවෙන් එරුන කිරෙන් බරවී, තෙත්වූ ළය මඩළ ඔසරි පොටින් වසාගෙන කාටත් හොරා කඳුලු හෙලූ යුරු පවා ඈ කියන්නේ අසීමිත සොඳුරු හැඟීමකින් බව ඒ දෑසේ දීප්තිය කියයි. ඇගේ බාලම දූව වූ  මම පාසලේ පළමු ශ්‍රේණියේදී පවා, අම්මාගේ කිරට ලෝබ වද්දී,  ඇය මැසිවිල්ලකින තොරව මට ඇගේ රුහිරෙන් සැදුන කිරි දුන් අයුරු අදටත් මගේ හදවතේ සටහන්ව ඇත.

සිය වැඩිමහල් දෝනිය,ජීවිතය දී වැදූ කුලුදුල් දරුවා පුතෙකු බිහිකල දා ඇය පස්වන දරුවකුටද අම්මා වීය.ජීවිතයේ පැතු පැතුමක් දෑස මානෙ දඟකාර කම් පාද්දී,  ඕ මුනුපුරා නිසා විදින වද වේදනා සිය ජීවිතයේ ප්‍රානය කරගෙන අතිතය යලිත් අලුත් කරමින් හිඳී. මේ තරම් බරක් දරන්නට ඔබට ශක්තිය ලැබුනේ අපත්, ඔබ අදරය කරන තාත්තාගේ මතකයත් කෙරෙහි ඔය ළයේ උපදින අසිමිත කැප කිරීම මතින් වන්නට ඇත.
අම්මා ජීවිතය ජීවිතයෙන්ම උගත්තාය.ඈ පන්නරය ලැබුවේ ඈ සතු අසීමිත ධෛර්‍ය නිසාමය.උහුලගන්නටත් බැරි වේදනා සහසක් හමුවේ සිනාමුසුව සියල්ල දරාගත් ඇය, කඳුලකට නෙකත් තෙමන්නට ඉඩහසර දන්නේ ඒ විසල් හිත පුපුරා යන්නට තරම් දුක් ඉවසා අවසානයේය.  ඒ කඳුල පවා නෙතින් වැටුනේ ආදරය පුරවාගෙනය.

මේතරම් විසල් සෙනෙහසක් දරන ඔය හදවතේ පරිමාව ගිනිය හැකි මිම්මක් නැත. එය දැනෙන්නේ ඔබ නිසා හදගැස්ම ළද හදවතටය.

අම්මා

මට ඔබ ගැන ලියන්නට වචන හිඟකම ගැන මම අසරනය. ලියා තැබුවේ නැතද, ඔබේ අදරයෙන් උපන් අපට ඒ ආදරය හුස්ම පොද සේමය.



Friday, May 20, 2011

අම්මා


ඇය ගැන වචන අමුනාගන්නට මෙතරම් අපහසු මන්දැයි කියා ඈ ගැන යමක් අකුරු කිරීමට අරඹන හැම මොහොතකම මට හිතී ඇත. අම්මා ගැන මා ලියූ හැම නිර්මාණයකම මොකද්දෝ අඩුවක් මගේ හිතට දැනුනේ ඒවා හැම හොඳ අම්මා කෙනෙකුටම පොදුවේ බිහි වන සේ මට හැඟෙන නිසාය. අපේ අම්මා මට විශේෂිතය. මගේ ලෝකයේ හොඳම තාත්තා ඔහු වෙද්දී ඇය මගේ ලෝකයේ හොඳම අම්මාය. ජීවිතයේ රෝස යහනා මඟ ඇරී යද්දී අම්මාට උරුම උනූ හැම රලු මාවතකම ඈ දහිරියෙන් ගමන් කලාය.

මා මෙය ලියන්නේ ඔබ වෙනුවෙනි. ඔබේ 64වන උපන් දිනය වෙනුවෙනි. මේ වචන වලට ඔබේ ජීවිතය කියන්නට බැරිවෙනු ඇති නමුත්, ඔබ අපේ ජීවිතයේ අඩිතාලමය. ඔබ මතින් ගොඩනැගුන අප රඳා පවතින්නේ ඔබේ නොසැලෙන අආදරයේ මහිමය නිසාය.

සුභ උපන්දිනයක් අම්මේ මැයි 18



පැටවුන්ගෙ හද ගැහෙන ස්වරයට
හුස්ම ගන්නා මුතු කඳුල ඔබ.,
වැයෙන ස්වර ළඟ තාල මුමුනන
නිහඞ අසිපත දිදුල සියපත....

රිදෙන හදවත රිදවනා කල
සිනහ පැන් ඉස හුදකලාඋන.,
ආදරේ පිරි උල්පතයි ඔබ
කඳුලකින් ලය සතපවාලන....

ජීවිතේ තනි මංසලක් ළඟ
අතීතෙට ඇය පෙම් බඳී තව.,
සඳුන් සුවඳට තුටින ඉපිලෙන
වේදනාවට ආදරෙන් ඔබ....

තැබූ පියවර හිතේ දිරියට
ගැලු දහදිය මතින් ඉදිඋන.,
අපේ ජීවිත පිපෙන තාලය
ඔබේ සිනහවෙ ගීතයම විය ....

Monday, May 2, 2011

(අත්)අම්මා


කුසින් හොත් දුවනිය
පුතෙකු වැදූ දා
පස්වෙනි දරුවෙකුගෙ
අම්මා වුන අරුමය.,
අපේ අම්මාගේ අහස වන්
ආදරය

Tuesday, April 19, 2011

පුතා නෑගම් ගිහින්


මල් පිපෙන, ගී කියන
වසන්තය පොදි බැඳන්.,
පුංචි පුතු අවුරුද්දෙ
දුරක ඇති ගම ගිහින්....,

සැනසිල්ල - නිසන්සල
නිහඞ පාලුව මතින්,
පුතේ, නුඹෙ ආච්චී
හිතින් හරි කලබලෙන්

Tuesday, March 29, 2011

තාත්තා



ලෝකයේන්ම හොඳම තාත්තා ඔහුයැයි කීවොතින් අතිශයෝක්තියකි. නමුත්, මගේ ලෝකයේ, මා ගැටෙනා සමාජයේ ඔහු හොඳම තාත්තාමය.

සමාජය හමුවේ ඔහු එඩිතරයදැඩියයුක්තිගරුකය... එනිසාම සිය රාජකාරි දිවියේ ඔහු විඳි කෙනහිලි එමටය. නමුත් කිසිදා  පසුබට නොවුනු ඔහු අසාධාරනය හමුවේ කිසිදා දන නොනැමූවෙකි. බලකාමය හමුවේ  මංමුලා වුවන් ඔහු හමුවේ ඔහුට ද්රෝහි උවද, හිත්හී පවා ගෞරවයක් ඔහු කෙරේ ඇතිවූවාට සැකනැත.
  
මධුවිත... ඔහුගේ ජීවිතයේ එකම දුර්වල කම වියආර්ථික අතින් ඔහුගෙන් වන්නට තිබු යුතුකම් හමුවේ ඔහු පරාජයවූන විටෙක එහිලා මධුවිතටද සැලකිය යුතු බරක් හිමිය. රැකියාවෙන් අනිසි ලෙස ඉපැයීමට විරුද්ධ වූ ඔහු මියගියේ අඩක් නිමැවූ නිවෙසකය ජීවිතයේ ඔහු ඉපැයූවක් වෙතොත්  එය ඔහු වියදම් කලේ සමාජ සේවයට සහ මත්පැනටයි. සමාජය විටෙක ඔහුගේ චර්ය්යාවන් දෙකම අනිසි ලෙස සිය වාසියට හරවා ගත් අවසථා එමටය.

වටිනාකමක් නොතිබු සාමාන්ය් ලිපිකරුවෙකුගේ අවධියේදි ඔහුගේ ජීවිතය බාල්දු කල උන්, නිලයෙන් ඉහලයත්ම ඔහු වටා පැල් බැඳගන්නට විය. උන් එකෙකුටවත් වෙනසක් නොකල ඔහු කාගෙනුත් බලාපොරොත්තු වූයේ සිය හදෙහි පවතින අවය්යාජ ගති ගුනමය.

නීතිය, අසාධාරනය හමුවේ දැඩි පිලිවෙතක් දැරු ඔහු, ආදරය හමුවේ, සොදුරු මානව වාදියෙක් විය. මහ පොළවේ පයගසා සිටිමින්ම ඉහල සමාජ තලයේද කරක්ගැසූ ඔහු කිසිදිනෙක තම අතීතයේ මතකයන්  මරානොදැමුවේය.

"පාත ඉඳන් අපි ආවේ නා මල් පූජාකරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න"

මේ ඔහු ප්රිය කල ගීයකි. සමාජයේ නින්දා සහගත අදහස් හමුවේ තැලී පොඩි වී සිටි ඔහුට සිය ජීවිතයේ විශේෂ තැන් කීපයකදීම බැටකන්නට සිදුවී තිබුනි. නමුදු ඔහු දිරියෙන් ජීවිතය   දිනද්දීත්, නිළ තළ හමුවේ පෙර තමන් පිලිකෙවු කල උන් යලි තමන් වෙත ළං වෙද්දීත්,  උසස් යැයි සම්මත ඌවන්ට වඩා මානුෂික බැඳීම් හමුවේ මිනිසත් කම ක්රියාවෙහි යොදවද්දීත් ඔහු සමාජය දෙස බැලුවේ පුරුදු මිනිසත් කමෙන්මය.  ඇති -හැකි කල පුලුවන් උපරිමයෙන්ද, නැති-බැරි කලත් අයුරින්මද සමාජයට මෙහෙවරක් කිරීමට ඔහු සමත් වූයේ එබැවිනි

ඔහු ප්රභල සමාජ වාදියෙකි... එමෙන්ම වාමාංශික දේශපාලන මතයක් දැරූවෙකි... නමට නොව, වාසියට නොව, හුදෙක් සමාජ මෙහෙවරක් කිරීමේ පුලුල් පරමාර්ථයෙන්ම එසේ වූවෙකි.

ආදරය කරද්දී ඔහු තරම් සුන්දර කෙනෙකු තවත් නැත.  අම්මා ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කොටයසකහිමි කාරිය විය. ආර්ථික අපහසුතා හමුවේ මෙන්ම, මධුවිත නිසාද හෙම්බත් වූවාට සැකයක් නැත. නමුත් ආදරය කිසිදා අඩුවූවා යැයි මා දැක නැත.  ආදරෙ වග ලොවට හඞගා කියන්නට ඔවුන්ට උවමනාවක් නොතිබ්බේ බාධක හමුවේ උව ඔවුන් ආදරය හැබෑවටම කියවමින් උන් නිසායැයි හැඟේ

කලක් පෙම්වතුන්ව සිට, විටෙක නෑසියන්ගෙන් කෙනෙහිලිද ජයගෙන, විවාහ වි, දරුවන් සිව් දෙනෙකු ඇති දැඩිකල සිය ජීවිතයේආදරය’ යන වචනයෙහි අරුත මොනවට සටහන් කල, නවමු ජීවිතයක උස් පහත් තැන් හමුවේ සෙවනැල්ල ලෙස  ළඟ උන්, සිය ජීවිතය පුරා අස්සක් මුල්ලක් නෑර කිසිදා නොමැකෙන මතක කැටයම්කල පිරිමියා’ හා අතිනත් ගත් දා ඔහු පැළඳි තමන් තිලින කල ටයි පටියත් පැළැඳ ඔහු අප හැරදා ගිය දින අවසන් නින්දේ සිටි ඔහු දකිද්දි අම්මා  කුමක් සිතුනාදැයි මට සිතාගැනීමට බැරිය. තමන්ගේම සුදු සේලයකින් තැනූ පාවඩයක් මතින් ඔහු අවසන් ගමන්යද්දී අම්මාට දැනුන සිතුවිලි කෙසේ වන්නට ඇද්දයි සිතෙත්දීත් නෙතඟට කඳුලු එන්නේ නිතැතිනි.

දරුවන්ට බොහෝ ඇලුම් කල ඔහු, සිය දූවරු සිව්දෙනා අතරට පුතෙකු කෙරෙහිද  අප්රමාන ඇලුම් කරන්නට ඇත.

"
සිරිපාදේ වන්දවන්න හිස ඕඩියල් බැඳලා.... සිරි මා බෝ සමිඳුනි මමපිරිමි පුතෙක් පැතුවා...."

මේ තවත් ඔහු ප්රියකල ගීයකි.

එනමුදු ඔහු උත්තරීතර පීතෲත්වය හමුවේ සොඳුරු තාත්තා කෙනෙකු වීය. පිය සෙනෙහස නොඅඩුව පිරී තිබූ හදවත අපට මහමෙරක්ම විය. උස් මහත් වී වැඩි විය පැමින උන්නද ඔහු එකලද අපට නැළවිලි ගී ගැයුවේය.

“අහස ඉහල - පොළව පහල
අහසේ නිල - බිම තණකොල
මල් පඳුරූ - වල සොඳූරූ
පැණි මියුරූ - බොතිබමරූ”

මේ එදවස නිතර ඔහුගේ ගඹුරු ස්වරයෙන් ගැයුන නැලවිල්ලකි

කිසි දාක "උඹ මේ විදියට කරපන්" "උඹ මේ තත්වෙට එන්න ඕන" කියා ඔහු අණ කරනැත. ජීවිතේ ඔහු ලද ජයග්රහන එකක්වත් එලෙස අප නොලැබුවත්, කිසි දා අපට සම්බන්ඳව පෙරෙත්ත කර හෝ කෑ ගසා නැත. නමුත් අප නිවැරදි මඟට යොමු කරන්නට ඔහු සමත් විය.

මම පාසැල් ටයි පටිය ගැට ගසාගැනීමට උගත්තේ ඔහුගෙනි. සපත්තු ලේස් ගැටගසන්නට උගත්තේ ඔහුගෙනි. වයස අටක් වන් කාලයේ මා ටයි පටිය කරවටා දමාගෙන ලේස් ගැටනොගැසූ සපත්තු අද්දමින් ගොස් ඔහුව ඇහැරවයි. කිසි දිනක එවා ගැටගැසීමට ඉගෙන ගන්නැයි ඔහු මැසිවිලි නොනැගුවෙය. නමුත් ඒවා මට ඉගෙන ගැනීමට පහසු වන සේ ඔහු ගැට ගැසුවේය.

අම්මා කොන්ඩය වැවිමට එපා කියා කීවේ උදේ සියලු වැඩ අතරේ අපේ කොන්ඩා ගෙතීමට අපහසු නිසාය. අප මැසිවිලි නගද්දී,

"අර පල්ලෙහා ගෙදර ළමයිත් සේරම කොන්ඩෙ වනවනේ ඔන්න ඔහේ වවන්න දෙමු" කියා අවසර ඉල්ලා දුන්නේ ඔහුය.

අම්මා නැති වෙලාවට බඩගින්නට කඩචෝරු ඉල්ලද්දී දවල් බත්වලින් Fried Rice සෑදීමට කියාදුන්නේ ඔහුය. මේ ලොව මා දන්නා දරුණු මෙන්ම හොඳම තුවාල වලට බෙහෙත් දමන්නා ඔහුය. අප තුවාල වී සිටිනු අසු වූ වොත් , අප අල්ලාගෙන අතුල්ලා බේත් දාන්නේ මරහඞ තලද්දී මුත්, තුවාල ඉක්මනින් සුව උනාය.

හැන්දෑවට සුළැඟිල්ල අල්ලන් පාර දිගේ ඇවිද්දේ ඔහු සමගිනි. ඒ හා ඔහු සොබා දහමට අප ළං කලේය. රාත්රියේ විදුලි විසන්දි වූ විට ඉටි පන්දම් එලියෙන් සිංදු කියන්නට ආසාව ඇතිකලේ ඔහුය.

"ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රෑස් වතුරේ කිමිදෙන්නේ....
රන් තරු බැබලේ - නිල් ආකාසේ
ලස්සන මල් වාගේ...."

මේ ඔහුගේ ප්‍රියතම Old Hits වලින් එකකි.

මා කියවීමෙහි රුසියෙකු කලේද ඔහුය. පුස්ථකාලයේ සාමාජිකයෙකු වූ ඔහු එකකට පසුව එකක් ලෙස පොත් කියවූවේය. තේරීමකින් තොරව ඕනෑම පොතක් අපටත් කියවීමට බාදා නොපැනවූ ඔහු කිසිදාකියවන්නැයි බලකලේද නැත. අප පාසලේ සිට ගෙදර ආවේ සතිපතා පත්තරය පළමුවෙන් කියවීමට පොරකමිනි. එහිද කියවීමට දෙයක් නොතිබුනද, කියවීම හුරුකලේ ඔහුය. අවසානයේ දිනපතා පුවත් පතට ගෙවීම පවා අපහසු වූ අවදියක අප සති අන්ත පුවත්පතට හුරුකලේද ඔහුය.

අප කුඩා උන් අවදියේදි ටින් ටින්, දොස්තර හොඳ හිත වැනි කාර්ටූන් බැලුවේ තාත්තා සමඟය. හවස 5  ළං වෙද්දී "මෙන්න ටින් ටින් යනෝ" කියා කෑ ගසා ඔත්තුව දීම ඔහුගෙන් පසු කලෙක මටත්, බාල අක්කාටත් පැවරුණි හවස 5 සිට 6 දක්වා කාර්ටූන් බැලූ අපි හවස  6ට බුදුන් වැඳීමට හුරු කලේත් තාත්තාය.ඒ මතුද නොව අප නිවෙසේ සියල්ලන්  ක්රිකට් ලෝලීන් කිරීමේ මුල් අඩිතාලමද තාත්තාය.

ආදරය මුවින් නොකීවත්, අසනීප දවසක ගෙදර එනවිට රැගෙන මුද්දරස්පලම් 100g, අපේ ගැටලුවකට අප හඬද්දී, ඇසට නැඟි කඳුලක, විභාග ප්රතිපල දා වෙනදාට වඩා මධුවිතෙන් මත්වීමක පවා තාත්තාගේ ආදරය ලියැවී තිබුනි.

 ඔහු මා ලේඛිකාවක් වනවාට ආසා කර තිබුනි. මම එය දැ ගත්තේ ඔහු මිය ගොස් දින හතක් ඇවෑමෙන්  අප නිවසේ තිබූ පින්කමට සෑම් අංකල්ගෙනි’. මා තාත්තා ගැන ලියු රචනාවක් මගේ පොත් මේසෙ සඟවා තිබියදී ඔහුට අසුවනු ලදුව ඔහු එය කියවා ඇත දැක මහත් සතුට පත් ඔහු එය සිය මිතුරා සමගින්ද බෙදාගෙන ඇත. එදා තාත්තා සෑම් අංකල්ට කියා ඇත්තේ "චූටි දූ නම් දවසක ලස්සනට ලියයිකියාය. මා මෙහිදී යමක් විශේෂයෙන් කිව යුතුමය. මා හිත පාරන්නක් උවද මා එය කිව යුතුය. එදා මා වයස 10 තරම් ළදැරීයකව සිටි සමයේ තාත්තා මා දිනෙක ලේඛිකාවක් වෙතැයි සතුටු වූයේ, මා පාසැල ඇරී බසයෙක නැඟී නිවසට එද්දී, තාත්තා බමන මතින් එහි සිටිනු දැක උපන් දුකින් ලියූ ලියවිල්ලක් කියවාය.

 අද තාත්තා අප අතර නැත. ඉටු නොවූ බලාපොරොත්තු කන්දක් ඔහු සමඟම මියැදී ගොස්ය. ඔහු ආසාවෙන් දුටු සමහර හීන අද ඔහු නැතුව හැබෑ වි ඇතඑදා ඔහු අපට කී නැලවිලි ගී අද නිතර යලි ඇසෙද්දී ඔහුත් උන්නානම් කියා හිතෙන්නේ හිතේ දුක කදුලු වලට හරවමිනි.

නමුත්, ඔබ අද මෙහි නැත මතකය පමනක් දිරියක් වෙමින් සදාකාලිකව අප සමඟ රැඳේවිඔහු නොඑන්නටම ගියේ මතකයන් සියල්ල අප සිත්හී සදාකාලිකවම නිදන් කරමිනි.  නේක බාදා හමුවේ ජීවිතය දිනන්නට ඔහු සමත් වූයේ,   ජීවිතයේම කඩඉම් විසින් මුවහත් කරනු ලදුව සවිබල ගැන්වුනු හෲද සාක්ෂිය විසිනැයි මම විශ්වාෂ කරමි

ඉන්නා ඉසව්වක සතුටින් ඉන්න තාත්තේ. ඔබ මගේ ලෝකයේ හොඳම තාත්තාමය.