ලෝකයේන්ම හොඳම තාත්තා ඔහුයැයි කීවොතින් ඒ අතිශයෝක්තියකි. නමුත්, මගේ ලෝකයේ, මා ගැටෙනා සමාජයේ ඔහු හොඳම තාත්තාමය.
සමාජය හමුවේ ඔහු එඩිතරය, දැඩිය, යුක්තිගරුකය... එනිසාම සිය රාජකාරි දිවියේ ඔහු විඳි කෙනහිලි එමටය. නමුත් කිසිදා පසුබට නොවුනු ඔහු අසාධාරනය හමුවේ කිසිදා දන නොනැමූවෙකි. බලකාමය හමුවේ මංමුලා වුවන් ඔහු හමුවේ ඔහුට ද්රෝහි උවද, ඒ හිත්හී පවා ගෞරවයක් ඔහු කෙරේ ඇතිවූවාට සැකනැත.
මධුවිත... ඔහුගේ ජීවිතයේ එකම දුර්වල කම විය. ආර්ථික අතින් ඔහුගෙන් වන්නට තිබු යුතුකම් හමුවේ ඔහු පරාජයවූන විටෙක එහිලා මධුවිතටද සැලකිය යුතු බරක් හිමිය. රැකියාවෙන් අනිසි ලෙස ඉපැයීමට විරුද්ධ වූ ඔහු මියගියේ අඩක් නිමැවූ නිවෙසකය. ඒ ජීවිතයේ ඔහු ඉපැයූවක් වෙතොත් එය ඔහු වියදම් කලේ සමාජ සේවයට සහ මත්පැනටයි. සමාජය විටෙක ඔහුගේ ඒ චර්ය්‍යාවන් දෙකම අනිසි ලෙස සිය වාසියට හරවා ගත් අවසථා එමටය.
වටිනාකමක් නොතිබු සාමාන්ය්‍ය ලිපිකරුවෙකුගේ අවධියේදි ඔහුගේ ජීවිතය බාල්දු කල උන්, නිලයෙන් ඉහලයත්ම ඔහු වටා පැල් බැඳගන්නට විය. උන් එකෙකුටවත් වෙනසක් නොකල ඔහු කාගෙනුත් බලාපොරොත්තු වූයේ සිය හදෙහි පවතින අවය්යාජ ගති ගුනමය.
නීතිය, අසාධාරනය හමුවේ දැඩි පිලිවෙතක් දැරු ඔහු, ආදරය හමුවේ, සොදුරු මානව වාදියෙක් විය. මහ පොළවේ පයගසා සිටිමින්ම ඉහල සමාජ තලයේද කරක්ගැසූ ඔහු කිසිදිනෙක තම අතීතයේ මතකයන් මරානොදැමුවේය.
"පාත ඉඳන් අපි ආවේ නා මල් පූජාකරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න"
මේ ඔහු ප්රිය කල ගීයකි. සමාජයේ නින්දා සහගත අදහස් හමුවේ තැලී පොඩි වී සිටි ඔහුට සිය ජීවිතයේ විශේෂ තැන් කීපයකදීම බැටකන්නට සිදුවී තිබුනි. නමුදු ඔහු දිරියෙන් ජීවිතය දිනද්දීත්, නිළ තළ හමුවේ පෙර තමන් පිලිකෙවු කල උන් යලි තමන් වෙත ළං වෙද්දීත්, උසස් යැයි සම්මත ඌවන්ට වඩා මානුෂික බැඳීම් හමුවේ මිනිසත් කම ක්රියාවෙහි යොදවද්දීත් ඔහු සමාජය දෙස බැලුවේ පුරුදු මිනිසත් කමෙන්මය. ඇති -හැකි කල පුලුවන් උපරිමයෙන්ද, නැති-බැරි කලත් ඒ අයුරින්මද සමාජයට මෙහෙවරක් කිරීමට ඔහු සමත් වූයේ එබැවිනි
ඔහු ප්රභල සමාජ වාදියෙකි... එමෙන්ම වාමාංශික දේශපාලන මතයක් දැරූවෙකි... නමට නොව, වාසියට නොව, හුදෙක් සමාජ මෙහෙවරක් කිරීමේ පුලුල් පරමාර්ථයෙන්ම එසේ වූවෙකි.
ආදරය කරද්දී ඔහු තරම් සුන්දර කෙනෙකු තවත් නැත. අම්මා ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කොටයසකහිමි කාරිය විය. ආර්ථික අපහසුතා හමුවේ මෙන්ම, මධුවිත නිසාද ඈ හෙම්බත් වූවාට සැකයක් නැත. නමුත් ආදරය කිසිදා අඩුවූවා යැයි මා දැක නැත. ආදරෙ වග ලොවට හඞගා කියන්නට ඔවුන්ට උවමනාවක් නොතිබ්බේ බාධක හමුවේ උව ඔවුන් ආදරය හැබෑවටම කියවමින් උන් නිසායැයි හැඟේ.
කලක් පෙම්වතුන්ව සිට, විටෙක නෑසියන්ගෙන් ආ කෙනෙහිලිද ජයගෙන, විවාහ වි, දරුවන් සිව් දෙනෙකු ඇති දැඩිකල සිය ජීවිතයේ ‘ආදරය’ යන වචනයෙහි අරුත මොනවට සටහන් කල, නවමු ජීවිතයක උස් පහත් තැන් හමුවේ සෙවනැල්ල ලෙස ළඟ උන්, සිය ජීවිතය පුරා අස්සක් මුල්ලක් නෑර කිසිදා නොමැකෙන මතක කැටයම්කල ඒ ‘පිරිමියා’ හා අතිනත් ගත් දා ඔහු පැළඳි තමන් තිලින කල ටයි පටියත් පැළැඳ ඔහු අප හැරදා ගිය දින අවසන් නින්දේ සිටි ඔහු දකිද්දි අම්මා ට කුමක් සිතුනාදැයි මට සිතාගැනීමට බැරිය. තමන්ගේම සුදු සේලයකින් තැනූ පාවඩයක් මතින් ඔහු අවසන් ගමන්යද්දී අම්මාට දැනුන සිතුවිලි කෙසේ වන්නට ඇද්දයි සිතෙත්දීත් නෙතඟට කඳුලු එන්නේ නිතැතිනි.
දරුවන්ට බොහෝ ඇලුම් කල ඔහු, සිය දූවරු සිව්දෙනා අතරට පුතෙකු කෙරෙහිද අප්රමාන ඇලුම් කරන්නට ඇත.
"සිරිපාදේ වන්දවන්න හිස ඕඩියල් බැඳලා.... සිරි මා බෝ සමිඳුනි මමපිරිමි පුතෙක් පැතුවා...."
මේ තවත් ඔහු ප්රියකල ගීයකි.
එනමුදු ඔහු උත්තරීතර පීතෲත්වය හමුවේ සොඳුරු තාත්තා කෙනෙකු වීය. පිය සෙනෙහස නොඅඩුව පිරී තිබූ ඒ හදවත අපට මහමෙරක්ම විය. උස් මහත් වී වැඩි විය පැමින උන්නද ඔහු එකලද අපට නැළවිලි ගී ගැයුවේය.
“අහස ඉහල - පොළව පහල
අහසේ නිල - බිම තණකොල
මල් පඳුරූ - වල සොඳූරූ
පැණි මියුරූ - බොතිබමරූ”
මේ එදවස නිතර ඔහුගේ ගඹුරු ස්වරයෙන් ගැයුන නැලවිල්ලකි
කිසි දාක "උඹ මේ විදියට කරපන්" "උඹ මේ තත්වෙට එන්න ඕන" කියා ඔහු අණ කරනැත. ජීවිතේ ඔහු ලද ජයග්රහන එකක්වත් එලෙස අප නොලැබුවත්, කිසි දා අපට ඒ සම්බන්ඳව පෙරෙත්ත කර හෝ කෑ ගසා නැත. නමුත් අප නිවැරදි මඟට යොමු කරන්නට ඔහු සමත් විය.
මම පාසැල් ටයි පටිය ගැට ගසාගැනීමට උගත්තේ ඔහුගෙනි. සපත්තු ලේස් ගැටගසන්නට උගත්තේ ඔහුගෙනි. වයස අටක් වන් කාලයේ මා ටයි පටිය කරවටා දමාගෙන ලේස් ගැටනොගැසූ සපත්තු අද්දමින් ගොස් ඔහුව ඇහැරවයි. කිසි දිනක එවා ගැටගැසීමට ඉගෙන ගන්නැයි ඔහු මැසිවිලි නොනැගුවෙය. නමුත් ඒවා මට ඉගෙන ගැනීමට පහසු වන සේ ඔහු ගැට ගැසුවේය.
අම්මා කොන්ඩය වැවිමට එපා කියා කීවේ ඈ ට උදේ සියලු වැඩ අතරේ අපේ කොන්ඩා ගෙතීමට අපහසු නිසාය. අප මැසිවිලි නගද්දී,
"අර පල්ලෙහා ගෙදර ළමයිත් සේරම කොන්ඩෙ වනවනේ ඔන්න ඔහේ වවන්න දෙමු" කියා අවසර ඉල්ලා දුන්නේ ඔහුය.
අම්මා නැති වෙලාවට බඩගින්නට කඩචෝරු ඉල්ලද්දී දවල් බත්වලින් Fried Rice සෑදීමට කියාදුන්නේ ඔහුය. මේ ලොව මා දන්නා දරුණු මෙන්ම හොඳම තුවාල වලට බෙහෙත් දමන්නා ඔහුය. අප තුවාල වී සිටිනු අසු වූ වොත් , අප අල්ලාගෙන අතුල්ලා බේත් දාන්නේ මරහඞ තලද්දී මුත්, තුවාල ඉක්මනින් සුව උනාය.
හැන්දෑවට සුළැඟිල්ල අල්ලන් පාර දිගේ ඇවිද්දේ ඔහු සමගිනි. ඒ හා ඔහු සොබා දහමට අප ළං කලේය. රාත්රියේ විදුලි විසන්දි වූ විට ඉටි පන්දම් එලියෙන් සිංදු කියන්නට ආසාව ඇතිකලේ ඔහුය.
"ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රෑස් වතුරේ කිමිදෙන්නේ....
රන් තරු බැබලේ - නිල් ආකාසේ
ලස්සන මල් වාගේ...."
මේ ඔහුගේ ප්‍රියතම Old Hits වලින් එකකි.
මා කියවීමෙහි රුසියෙකු කලේද ඔහුය. පුස්ථකාලයේ සාමාජිකයෙකු වූ ඔහු එකකට පසුව එකක් ලෙස පොත් කියවූවේය. තේරීමකින් තොරව ඕනෑම පොතක් අපටත් කියවීමට බාදා නොපැනවූ ඔහු කිසිදාකියවන්නැයි බලකලේද නැත. අප පාසලේ සිට ගෙදර ආවේ සතිපතා පත්තරය පළමුවෙන් කියවීමට පොරකමිනි. එහිද කියවීමට දෙයක් නොතිබුනද, කියවීම හුරුකලේ ඔහුය. අවසානයේ දිනපතා පුවත් පතට ගෙවීම පවා අපහසු වූ අවදියක අප සති අන්ත පුවත්පතට හුරුකලේද ඔහුය.
අප කුඩා උන් අවදියේදි ටින් ටින්, දොස්තර හොඳ හිත වැනි කාර්ටූන් බැලුවේ තාත්තා සමඟය. හවස 5 ළං වෙද්දී "මෙන්න ටින් ටින් යනෝ" කියා කෑ ගසා ඔත්තුව දීම ඔහුගෙන් පසු කලෙක මටත්, බාල අක්කාටත් පැවරුණි හවස 5 සිට 6 දක්වා කාර්ටූන් බැලූ අපි හවස 6ට බුදුන් වැඳීමට හුරු කලේත් තාත්තාය.ඒ මතුද නොව අප නිවෙසේ සියල්ලන් ක්රිකට් ලෝලීන් කිරීමේ මුල් අඩිතාලමද තාත්තාය.
ආදරය මුවින් නොකීවත්, අසනීප දවසක ගෙදර එනවිට රැගෙන ආ මුද්දරස්පලම් 100gක, අපේ ගැටලුවකට අප හඬද්දී, ඒ ඇසට නැඟි කඳුලක, විභාග ප්‍රතිපල ආ දා වෙනදාට වඩා මධුවිතෙන් මත්වීමක පවා ඒ තාත්තාගේ ආදරය ලියැවී තිබුනි.
ඔහු මා ලේඛිකාවක් වනවාට ආසා කර තිබුනි. මම එය දැ ගත්තේ ඔහු මිය ගොස් දින හතක් ඇවෑමෙන් අප නිවසේ තිබූ පින්කමට ආ ‘සෑම් අංකල්ගෙනි’. මා තාත්තා ගැන ලියු රචනාවක් මගේ පොත් මේසෙ සඟවා තිබියදී ඔහුට අසුවනු ලදුව ඔහු එය කියවා ඇත. ඒ දැක මහත් සතුට පත් ඔහු එය සිය මිතුරා සමගින්ද බෙදාගෙන ඇත. එදා තාත්තා සෑම් අංකල්ට කියා ඇත්තේ "චූටි දූ නම් දවසක ලස්සනට ලියයි" කියාය. මා මෙහිදී යමක් විශේෂයෙන් කිව යුතුමය. ඒ මා හිත පාරන්නක් උවද මා එය කිව යුතුය. එදා මා වයස 10 ක තරම් ළදැරීයකව සිටි සමයේ තාත්තා මා දිනෙක ලේඛිකාවක් වෙතැයි සතුටු වූයේ, මා පාසැල ඇරී බසයෙක නැඟී නිවසට එද්දී, තාත්තා බමන මතින් එහි සිටිනු දැක උපන් දුකින් ලියූ ලියවිල්ලක් කියවාය.
අද තාත්තා අප අතර නැත. ඉටු නොවූ බලාපොරොත්තු කන්දක් ඔහු සමඟම මියැදී ගොස්ය. ඔහු ආසාවෙන් දුටු සමහර හීන අද ඔහු නැතුව හැබෑ වි ඇත. එදා ඔහු අපට කී නැලවිලි ගී අද නිතර යලි ඇසෙද්දී ඔහුත් උන්නානම් කියා හිතෙන්නේ හිතේ දුක කදුලු වලට හරවමිනි.
නමුත්, ඔබ අද මෙහි නැත. ඒ මතකය පමනක් දිරියක් වෙමින් සදාකාලිකව අප සමඟ රැඳේවි. ඔහු නොඑන්නටම ගියේ මතකයන් සියල්ල අප සිත්හී සදාකාලිකවම නිදන් කරමිනි. නේක බාදා හමුවේ ජීවිතය දිනන්නට ඔහු සමත් වූයේ, ඒ ජීවිතයේම කඩඉම් විසින් මුවහත් කරනු ලදුව සවිබල ගැන්වුනු හෲද සාක්ෂිය විසිනැයි මම විශ්වාෂ කරමි.
ඉන්නා ඉසව්වක සතුටින් ඉන්න තාත්තේ. ඔබ මගේ ලෝකයේ හොඳම තාත්තාමය.
දිගටම ලියන්න සහෝදරී. කවද හරි දවසක තාත්තගෙ හීනෙ හැබෑ කරන්න. ඒකට මේ බ්ලොග් එක උදව්වක් කරගන්න. අපි ඉන්නව කියවන්න. අපිට තේරෙන විදියට අපිත් හොඳ නරක කියන්නම්. සුභ පැතුම්!
ReplyDeleteකොල්ලෙක් වුනත් මේක කියවල මගෙත් ඇස් දෙකට කඳුළු ආවා..
ReplyDelete