Showing posts with label ජීවිතේ. Show all posts
Showing posts with label ජීවිතේ. Show all posts
Wednesday, October 17, 2018
Friday, May 30, 2014
Wednesday, May 28, 2014
'අඳුර'
පියාඹන කාලය ළඟ
නතරකරනෙමි හදවත
පියාගෙන ඇස්පිය නෙත
අඳුර දකිනෙමි මොහොතක
පියාඹන්නට රිසි හිත
මොහොතකට තටු පිළිසිඳ
අසා ඇති ලෙස නෙකවර
මම මගෙන් මුදවාවිද
කඳුලු හුරු නෙත් තදකර
සුළඟෙ සිට හිනැහේවිද
කඳුලු දැක නෙක නෙතු ළඟ
පසුතැවෙන්නට වේවිද
රෝස පෑ නැති කොපුලත
තවත් අඳුරුව යන සඳ
තාත්තා මෙන් මා මුව
ගලක් සේ රලු වේවිද
ගැහෙද්දී හද නොදුටුව
නෙක මුහුණු මා වටකර
ඉතිරි වූ දෙන සිඹ සිඹ
සුවඳ පැන් ඉස යාවිද
හිරු මියෙන හෝරාවෙක
මිදුන කය ඔසවාගෙන
අතීතය සිහි කරකර
ඔහුත් ඒවිද සොහොනට
අක්කලා ඉකිබිඳීවි
අම්මා ගෙ හිත බිඳේවී
දෝණි හා පුතු ළඟ ඉඳන්
පුංචො නැඟිටින් කියාවී
මතක පාවඩ මත එලූ
අම්මාගේ ගත රැඳි සුදු සලු
බොර පාටවී, තෙත බරිත වෙයි
අමතකව යයි සුදු පිරූ
පියාඹන කාලය ළඟ
නතරවු හිත සිඹ සිඹ
දෙනෙත් හැර, මොහොතක් රැදඳෙමි මම
'අඳුර' දකිනෙමි බෝ දුර
Wednesday, May 7, 2014
අද හරියට වැස්ස!
වැස්ස!
මම ආදරය කරන වැස්ස!
මේ මන්දාරම් ගතිය එක්ක ඉබේටම හිත මතක් කරන්නෙ ඉස්කෝලෙ. හරියටම අවුරුදු දහයකින් එහාට දුවන කාලෙ.
ඒ එක්කම තාත්තා!
සති කීපෙකට කලින් මට මතකයි චූටි අක්කට හැදුන බඩේ අමරුවක් එක්ක ඔට්ටු වෙලා නිදාගන්න ඇඳට ගිහාම මට තාත්තා මතක් උනා, ඉස්කෝලෙ යාලුවො මලගෙදර ආ හැටි, ඊලඟට රොටරිය එහෙ උන සිද්දියක් මතක් වෙලා මං තනියම හොඳටම හිනා උනා. A/L පංතියෙ හොඳම යාලුවත් එක්ක SMS වලින් රෑ 1-2වෙනකල් අතීතය හුවමාරු උනේ මගෙ පොත් මේසෙ අස්සෙ තිබ්බ සමරුපොත මුල ඉඳන් අකුරක් නෑර කියවන අතරෙ. හිනා දියවෙලා කඳුලු පටල ඇස් බොඳ කරද්දි මම නිහඬ උනා. ඒත් නින්ද ආවෙ නෑ. ඒක බොහොම දුකහිතෙන රැයක්! අතීතය එකක් පස්සෙ එකක් මතක් වෙද්දි මම දුක තව වැඩිකරගනිමිනුයි උන්නෙ.
අතීතය ඒ වගේ!
මට මතකයි ඉස්සර, මම තාත්තගෙ පපුව උඩ නිදාගත්ත හැටි. එහෙම නිදන්න ආයෙ තාත්තා එන්නෑ. මට ඕන නෑ පපුව උඩ නිදන්න.
ඒත්,
තාත්තා!
මට ඕනෙ!
අද පාන්දර තාත්තා ආවා. හීනයක් ඇතුලෙන්. ගෙදරින්ම මට විතරක් පේන්න හීන එක්ක ආවට හැමදාම එකම අදහසම අරං එන්නෙ ඇයි?
මරණය!
එක හීනෙක ඔයා මැරිලා. ඒ මරණය ආයෙ ආයේ මට දකින්න ඕන නෑ! ඒත් විකල්පයක් නෑ. ඒක හීනයක්!.
තව හීනෙක මැරුණ ඔබ මැරිල නෑ. ඒක වැරදීමක්. මම හීනෙන් 'තාත්තා මැරිල නෑ' කියන්නෙ කොයිතරම් බලාපොරොත්තුවකින්ද. ඒත් පලක් නෑ. ඒක හීනයක්!
ඒ එක හීනෙක වත් තාත්ත කතා කලේ නෑ. මදහසක් ඇරෙන්න ඒ ලස්සන හිනාව නෑ. ආලෝකයක් නෑ.
එක්කො හැන්දෑව, එක්කො රාත්‍රිය
නැතිනම් වැස්ස!
අද හරියට වැස්ස!
පසු සටහන:
හද රිදෙවු හැඟුම් අකුරු කර ලයට අස්වැසිලක් දෙන්නට දැරූ වෑයමකි.හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!
හිත ඇතුලෙ මතක වැස්සක්,
ඒත් අකුරු දිය කරන කඳුලු වතුරින් වහින වැස්සක්!
Thursday, March 27, 2014
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!
හය හතර ඉගෙනගත් පාට වැඩි ඒ කාලෙ
තාත්තා ඇත්තටම ඉන්නවා
දූවරුන් පොකුරෙ- පොඩි, සිවුවැන්නි මම තමා
මතක මට මහගොඩක් වටිනවා
අද වගේ ඒ කාලෙ කතිර ඉල්ලන් ආව
මාමලා මතකයේ මැවෙනවා
රතු පාට මැයි මලෙක පාට ලස්සන නෙද
මාමලා ටිකට් පොත් ගේනවා
ගිණි ගහපු දහවලේ ගිණි පුළිඟු දිලිසෙද්දි
තාත්තාගේ වචන ඇහෙනවා
"පුතෙක් වැදුවේ නැතත් - පුතෙක් උන්නා මටත්!"
ඒ පුතා නොවටීද? අහනවා
රටක් වෙනුවෙන් නේද?- ඔබත් විරුවෙක් ධීර
මාමලා පයක් පහුබසිනවා
රටක් වෙනුවෙන් නෙවේ - පක්ෂයක් වෙනුවෙනුයි
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!
රතු පාට මැයි මලෙක නොදුටු අයියා ඇන්ද
ලේ සුවඳ හෙමින් මට දැනෙනවා!
Friday, March 7, 2014
Friday, November 8, 2013
අතනෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස
වියා දුහුල් වලාකුලක සීතල පිණි කැට
සිත්තම් කර පළන්දවමි
තරු පොකුරක් ළඟ
ඔබ හා ගෙවු අතීතයේ
මතකයෙ මුතු ඇට
හෙමිහිට එහි අමුණමි හිඳ අහස් වියන යට
ආ මඟ දෙස හැරී බලමි
මොහොතක් නතරව
සිනා කුසුම් අතර දකිමි කඳුලැලි මුතු කැට
අනාගතේ අභියස ඉඳ
පැතුම් හෙවන යට
පා ඔසවමි සිනා මලක් රඳවා මුව මත
ජීවිතයේ උරුම සුවඳ රඳවා
ඔබ ළඟ
මේ හදවත
රැකගනු මැන පුරවා සෙනෙහස
යන්නට දිගු ගමනක්
වන මාවත ළඟ ඉඳ
අත නෑරෙන ලෙස නවතිමි
ඔය හිත අභියස
2013.10.27
Tuesday, August 6, 2013
වීරයෙක් වියයුතුමයි!
මරණකොට,
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!
රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!
ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!
ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!
මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,
වීරයෙක් වියයුතුමයි!
හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....
ඔබ වීරයෙක් වියයුතුමයි!
Monday, August 5, 2013
දූ දාල කරාඹූ.... හායි දාල කරාඹූ....
දැන් දැන් හරිම චන්ඩියෙක් වේගෙන එන, නිතරම වගේ හරි හරි අකතැබ්බවලට මූනදෙන අපේ පුංචි කුමාරයට අමතරව මාස හතරකට ටිකකට කලින් අපි ගාවට ආව පුංචි කුමාරියෙක් ගැනත් ලියන්න දේ දැන් තියනවා.
ඒක බොහෝම අමුතු දෙයක්....
කොල්ලෙක් නූන්න ගෙදරක කුලුදුලේ උපන්න පුංචි පුතු පැටියා, දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එක.... ඒ වගේම චූටි දූ පැටියා, අපේ අතීතය ආයෙ අලුත් කරන ගමන් ටික ටික ලොකු වෙන විදිය බලා ඉන්න එක....
හරිම අපූරු දෙයක්!
දැන් ඉතින් අපේ චූටි දෝණියට වයස මාස හතරක්!
එයා වැඩියම කැමති හිනාවෙවී ඉන්න තමයි. චූටිත්තන් දිවත් එලියට දාගෙන, මුලු මූනෙන්න්ම හිනාවෙනකොට හරිම ආසයි.
දැන් එයා පෙරළෙනවා, චූටි චූටි සද්ද එන පාට පාට සෙල්ලම්බඩු අල්ලන්න හදනවා. එයාගෙ ඇඳ රෙද්දෙ ඉන්න පුංචි පුංචි රූප ඇඟිලි වලින් හූරණ ගමන් ඒවා දිහා මූන පුම්බගෙන, ඇස් ලොකු කරගෙන කෙල බේර බේර බලා ඉන්නවා.
එයාගෙ මදුරු දැලේ එල්ලල තියන අර නත්තල් ගස්වල එල්ලන පාට පාට බෝල එක්ක හිනා වෙවී, කෑගගහ නින්දෙන් ඇහැරුනාම කතාකරනවා.
එයා දැන් බත් තේ හැඳි 2ක්, කෙසෙල් ගෙඩි තේ හැඳි 2ක්, එහෙමත් කනවා.
අයියගෙ ආටක නාටක බලබල අත් කකුල් ගස ගස ඒවට සහයෝගෙ දෙන්නෙ හිනා පිරිච්ච මූනකින් හරිම උද්‍යෝගෙකින්. අසනීප වෙලාවක, බොහොම හදිස්සියෙන් කිරි බොන වෙලාවක, නිදිමත හොඳටම තද උන වෙලාවක වගේ බොහොම බැරෑරුම් වෙලාවලදි උනත් අයියගෙ කටහඬ මොන තරම් ඈතින් ඇහුනත් ඇඬිලි, කෑගැහිලි, විරොධතා, රාජකාරි කැලේ! එයාගෙ වැඩේ අයියව හොයන එක තමා.
අයිය කියන්නෙත් 'මගෙ සුදු නංගී' කියල තමයි. ගෙදරට කවුරු ආවත් වෙනදට එයා කියන්නෙ
"වාඩිවෙන්නකො අනේ, අපි තේ බොමු" කියලයි.
ඒ උනාට දැන් කවුරු ආවත් ඉස්සෙල්ලාම කියන්නෙ
"නංගිව දෙන්නෙ නෑ! එයා මගේ!" කියලයි.
ඒකට හේතුව ඉතිං කවුරු ආවත් ඉස්සෙල්ලාම "නංඟිව මට දෙනවද, අපි නංඟිව අරං යන්නද" කියල එයාගෙන් අහන හංදයි. එහෙම කොහොමද නංඟාව දෙන්නෙ. දැන් එයා නංඟව ඉල්ලන අයට කියන්නෙ
"එයා අපේ, ඔයාල වෙන නංගි කෙනෙක් ගේන්න" කියලයි.
ඔය ආදරේ හංඳ ඉතිං නංඟි බබාට අයිය බබාගෙන් වරප්‍රසාද දීමනා විදියට හෙම්බිරිස්සාව, වෛරස් උන එහෙම ලැබෙනවා. ඉතින් ඒවට මොනා කරන්නද? ඒව එහෙම තමයි.
`~~~~~~~~~~~~~~~__--__~~~~~~~~~~~~~~~~~`
කරාඹු වලින් මූනට ඔයාගෙ හරි එලියක් වැටිලා. කන් පෙති හිරිවට්ටලා කන් විද්ද නිසා ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ කියල ආච්චි අම්මයි, ඔයාගෙ අම්මයි කිවුවා....
ආවූ හරිම හැඩයි තමයි!
"කන විදින වෙලේ කඳුලු ගඟේ පතුල බැලූ දූ
අද සතුටු ගඟේ පීනනවා දාල කරාඹූ
හායි දාල කරාඹූ....."මේ සටහන ඒ වෙනුවෙන්....
චුට්ටක් බඩගිනි වෙලා ඇඬුවත් අපිට හරියට දුක හිතුනත්, උල්කරපු කරාඹුවකින් ඔයාගෙ චූටි කන් පෙති විදින්න උනා.
මට හිතුනත් ඔයා ලොකුවෙලා, ඔයාට ඕන නම් කන් විදලා කරාඹු දාගන්න ඒ තෝරාගැනීමේ අයිතිය ඔයාට දෙන්න පුලුවන් උනානම් හොඳයි කියල, ලොකු වෙද්දි, ඉස්කෝලෙ යද්දි, ඇයි මගෙ විතරක් කරාඹු නැත්තෙ කියල අහයි, ලොකු වෙද්දි වැඩියෙන් රිදෙයි වගේ හේතු කට්ටිය කීව. ඔක්කෝටම වඩා ඔයාගෙ අම්මට ඕන උනා චූටි කන් පෙතිවලට කරාඹු දාල හැඩ බලන්න. මේ මොනා කීවත්, මම දවසක දෝණියකට අම්මා කෙනෙක් උනොත් මම ආස වෙයි මගෙ දූගෙ කන් පෙති වලට කරාඹු දාල හැඩ බලන්න.
ගැහැණු කම!
දුවේ ඒ ගැහැනු කම ආභරණයක්! ගැහැණියක් වෙලා ඉපදෙන්නෙ පවු කරපු අය නෙවේ... දරාගැනීම, ආදරය, සියුමැලි බව, සොදුරුකම..... මේවා පහත් දේ නෙවේ නේද? ඔයා ජීවත් වෙන විදියයි ඒ ආභරණෙට වටිනාකමක් දෙන්නෙ.
චූටි දොණියේ....,
මටනම් හිතෙන්නෙ ඔයා ගැහැණු කමේ පළවෙනි කඩඉමට මූන දුන්නා කියලයි.තව ඉස්සරහට කඩඉම් ගොඩක් තියෙයි, මල්වර වෙද්දි, මනාලියක් වෙද්දි, දරුවෙක්ට මවක් වෙද්දි.... පියවරෙන් පියවරේට ඔයා ඒව අඳුරගනී.
ඒ අතරවාරෙ ඔයා ගැහැණුකම තේරුම්ගනියි.
අද ඔයාගෙ ජීවිතේ එක තෝරාගැනීමක් කලේ අපි!
අනාගතේ දවසක තෝරාගැනීම් ගොඩක් තියෙයි, ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් එදාට ඔයයි කරන්න ඕන. අපි එදාටත්,හැමදාටමත් ඔයා ළඟම ඔයාට උදවුවට ඉනවා!
චූටි දුවේ තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ටයි..... ඒ වගේම ඔයාගෙ ජීවිතේ ගොඩනැඟුන පදනම පවුලයි.... ඒ පදනම උඩ ජීවිතය කියන ගෙදර හදාගන්න ඕන ඔයායි.
දවසක..... තාම නොඉපදුන අනාගතේ දවසක.... හදවතින්ම ලස්සන ගැහැණුකම කියන ආභරණයට ඔයා හරි විදියට ආලොකයක් දෙනගමන් ජීවත්වෙනව දකින්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.
චුටි දුවේ ඔයාට අපි හරි ආදරෙයි!
Wednesday, July 24, 2013
මතක සටහන්!
වල්පොල ස්ටේසම,
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න....
එක්තරා බංකුවක්
දැවයෙන් නිමැඋන,
උණුහුමට තවමත්
අතීතය සුරකින....
හිනා, කඳුලු, ආදරය
මිතු දම් සමඟ එදවස්
එක්කර ඇඹූ බිතු රූ
මට විතරක් පෙනෙන,
තාමත් පෙරලෙසම
ඒ පෙදෙස සරසවන....
ඒ පුංචි කඩතොලු පාර
රබර් යායට මැදිව,
යනෙන උන් සහසකින්
මා සොයා ඉඟි මරණ....
උසට ඇති තෘණ පතෙක
ලියු ඒ අතීතය,
තාම හරි සොඳුරු වග
කොඳුරමින් මට කියන.....
වල්පොල ස්ටේසම
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න!
Tuesday, July 23, 2013
Friday, July 19, 2013
ඒ ජීවිතේ කටුකයි !!
කොළඹ හුළඟ පාන්දරට හරි මුදුයි. කොටුවෙ ස්ටේශන් එකේ තිබ්බ මුත්‍රා ගඳ ඒ පාන්දරට එකතු කරේ මහ අපුලක්. අපරාදෙ. අනුරාධපුරේ යන්න ලෑස්තිවෙලා බඩුමලු පොදි ගහගෙන යද්දි නම් පොඩි කම්මැලිකමක්, යන්න බෑ බෑ වගේ හැඟීමක් හිතේ රවුම් ගැහුව බවනම් ඇත්තයි. අන්තිමේ.... හරියටම නියමිත වෙලාවටම කෝච්චිය අනුරාධපුරේට පිටත් උනා.
පැය හතරක ගමනක්!
ටික ටික රේල් පාර අද්දර තිබ්බ ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල් නැති වෙලා ගියා. ගස් කොළං පවා ටික ටික පුංචි කොල තියන ගස්වලට හැරිල තිබ්බා. යායට තියන කුඹුරු ලුමිනස් කොල පාටට ලස්සනට තිබ්බත්, හරි විසාල වැවුවල කාලෙකින් වැස්සෙ නැතිබව කියන්න වගේ වතුර ටිකක් අඩුවෙලා තිබ්බ. ඒත්, ඒ වැවු වල එවෙලෙත් දම්, රතු, රෝස, සුදු පාටවලින් පිපිච්ච ඕලු, නෙලුම්, මානෙල් මල් තිබුනා! කොළඹ උදේ එලියට වඩා කහපාට උදේ ඉර එලියක් ඒ පැත්තට පායලා තිබුනා.

උදේ 11.00 වෙද්දි අපි අනුරාධපුරේ ස්ටේශන් එකෙන් බැස්ස. වෙනද දකින ඉර එලියට වඩා ටිකක් වැඩිපුර කහපාට ඉර එලියයි, තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකයි හිතට හරි කාන්සියක් එකතු කලා. මහ සෙනගක් දැන් ආව කෝච්චියෙන් බැස්සද කියල වගක්වත් නැතුව හතර අතම පාලුවක් නිහඬ කමක් ඇදෙමින් තිබ්බා. ඒ නිහඬ කම, ඒ ඉර එලියෙ තිබ්බ වැඩිපුර කහපාට, මහ විසාල පාරවල්, ගඩොලින් නිමවපු ගෙවල්, උඩුකය නිරුවත් පිරිමි සහ දරුවන්.. දාඩිය නොදාන ඇඟ ඇතුලෙම එහෙ මෙහෙ දුවන උණුහුම, වේගෙන් හමන උණුහුම් හුළඟ.... අනුරාධපුරය අපට හඳුන්වා දෙමිනුයි උන්නෙ.
තාත්ත ඉන්න කාලේ අපි අනුරාධපුරේ ආව ගමන් දෙකක් ඒ තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එක එක්ක මතකයේ උඩටම ඇවිත්, අපි එතනින් නැන්දලා ගෙ ගෙදරට යන්න පිටත් වෙද්දි මම අනිච්චානුගවම හිතින් "තාත්ත එනකල් ඉන්නැද්ද" කියල අහන ගමන් ආපහු හැරිල බැලුව.
පිළිගන්නවද? ඒක එහෙමම උනා!
හරියට තාත්තත් අපි එක්ක ආව වගේමයි මට හිතුනේ. මොහොතකට තාත්ත අපි අනුරාධපුරේ ගිහින් මාස ගානකට පස්සෙ අන්තිම හුස්ම හෙලපු බව මගෙ මතකයෙන් මැකිල තිබුනා!
නැන්දලාගෙ ගෙදරදි හම්බඋන රසම රස පැණි දොඩම් විදුරුව (මම වීදුරු දෙකහමාරක්ම බීවා) ගත වගේම හිතත් සැහැල්ලු කලා. නැන්ද බැඳල දීපු බත් මුල් අරගෙන, ඒ අක්කල දෙන්නයි, චූටි දුවයි, පුතයි එක්ක අපි නාච්චදූව වැවට ගියා.
වැවට යන අතරෙමගදි අපි දැක්ක වැවු, ඒවයෙ නාන ගැහැණු සහ දරුවන්... ඒ හැමෝම තෙත බේරෙන කොණ්ඩා ඇතිව අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. කෙනෙක් අත වවන්නත් ඉදිරිපත් උනා. ලස්සනට පැල ගොයම දලු දාල තිබ්බ. වේලිල තිබ්බ ඇල පාරවල් වලට නාච්චදූව වැවෙන් වතුර මුදා හැරල, ඒවට වතුර ගලා එමින් තිබුනා.
නුවර වැව, තිසා වැව වගේම නාච්චදූව වැව හරි ගාම්බීරව රැලි නග්ගමිනුයි උන්නෙ. අපි හැමෝම නෑව. දවල දෙකේ ඉඳන් හවස පහ වෙනකල්ම නෑවා! නෑවා! නෑවා! කර වටක් වතුරෙ බැහැලා... මතක්වෙද්දිත්......අනේ තවත් ඉන්න තිබ්බනම්.... නාල! නාල! ගැහෙන තරම් සීතලේ ගොඩට ඇවිත් අලුත් ඇඳුම් ඇඳගෙන නැන්ද දීපු බත් කද්දි! වැවු මාලු, කතුරුමුරුංඟා කොළ, කිරට හින්දල ඉවුව පරිප්පු, එක්ක මලුවෙක්ගෙ හැඩේට හදපු රසම රස පපඩම්!
ආයෙ එද්දි අර ඇල පාරවල් පිරිල ටිකක්. අක්ක කිවුව හෙට එලිවෙද්දි හොඳටම පිරෙයිලු. ආයේ බලන්න යන්න නූන එකට මටනම් දුකයි. ඇලවල් වලින් නාන පිරිසට දැන පිරිමි උදවියත් එකතු වෙලා. එයාල එවෙලෙත් අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. ලා ගොයම හුළඟ එක්ක වැනි වැනී ලස්සනට පෙනුනා.
ඒ මිනිස්සුන්ගෙ හිනාව, ඒ කුඹුරු යායවල්, වැව, ඇලවල් හරිම ලස්සනයි.
හරි කලාත්මකයි!
ජය ශ්‍රී මහ බෝධියෙත්, වැවෙත්, පිහිට එක්ක කුඹුරු හේන් කවදත් අස්වැද්දෙනව ඇති. නියඟෙට වැවු හිඳිල බොන්නත් වතුර නැති කාලෙක ඒ වගා වේලිල ලැවු ගිනි වලින් ගිනිගන්නව දකිනව ඇති. වැස්සට වැවු පිටාර යද්දි, වාන් දොරටු ඇරෙද්දි ලස්සන කුඹුරු මඩ පාට වතුරින් යටවෙනවත් දකිනව ඇති. ඒත් හැමදාමත් කුඹුරු හේන් අස්වැද්දෙනව ඇති!
නාච්චදූව වැව දාල එන්න බැරුවද මන්දා හිතේ අර හැමුව හුළඟ වගේම රස්නෙ හුස්ම ගුලියක් හිරවෙලා එවෙලෙ මට හරියට කරදර කරමිනුයි උන්නෙ.
අක්කලාගෙ ගෙදරින් හම්බ උන රසම රස තේක! කෝන් ගෙඩි! සහ හෘදයාංගම අල්ලාප සල්ලාපය! ආයෙ නැන්දලෑ ගෙදරින් රෑට ඉඳි ආප්ප, කිරි හොදි, පොල් සම්බෝල එක්ක අතීතාවර්ජනය!
මට පෙනුන එයාල හරිම සතුටින් ඉන්න හැටි. ඒ එක්කම දැනුන ඒ ජීවිතේ කටුකයි කියලත්.
පහුවදා පානදරින්ම නැන්ද කඩාගෙන ආව නෙලුම්, ඕලු මල් අරගෙන අපි ජය ශ්‍රී මහ බෝධින් වහන්සෙත්, රුවන් වැලි මහ සෑයත් වන්දනා කලා. කොයිතරම් සෙනඟ ගැවසුනත් ඒ වටපිටාවෙ තිබ්බ අමුතු නිහඬ සහ නිස්කලංක බව, ඉර එලියෙ අමුතු කහපාට හැමතැනම පැතිරිලා තිබුනා. මම ඒ ස්වභාවයට අනුගතවෙමින් උන් නිසාද මන්දා ඒ විලාසයට ඒ වෙද්දි මම ඇලුම් කරමිනුයි උන්නෙ.
හවස ගෙදර ඇවිත් ආපහු ගෙදර පිටිපස්සෙ තිබුන වැවට අපි ගියේ ඕලු, නෙලුම්, මානෙල් පැල අරං එන්න... වත්තෙන් එපිට හේන් හරි කුඹුරු හරි වලට සකසාපු වේලුන තණකොලින් වැහුන වගා බිමක් ඉන් පස්සෙ තැනිතලාව... තැන තැන පුංචි කොළ ඇති ලොකු ගස්, ඉතිරි ඉඩ වේලුන තණකොළ වර්ග වලට වෙන් වෙලා. ඊට යටින් පොළව ලොකු කුට්ටි වලට ඉරි තලලා. තව යද්දි ඈතින් ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු මල් පිපුන වැවක ශේෂයක්... හිඳුන ඉතිරියෙ වේලිලාගිය ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු නටඹුන්.
"වහිද්දි වතුර ගේ හරියටම එනවා".
පොඩි අක්ක කීවෙ හිනාවෙලා. ඒත්, ඊට වඩා බර කථාවක් ඒ අස්සෙ තිබුනා. වේලුන තණකොළ දකිද්දි... ඒ තැනිතලාවත්, වැවත්, පුංචි කොළ ඇති ලොකු ගසුත් දකිද්දි මට මතක් උනේම අලි!
ඉතිං මං ඇහුවා
" නෑ, අපෝ අලි හිටියනම්...."
අක්ක උත්තර බැන්දෙත් හිනා වෙලාමයි!
හවස 4.00ට ආපහු යන කෝච්චිය. තව ඉන්න ඕන වගේ. අක්කලත්, නැන්දත් කීව ආයෙ එන්න කියල, ටිකක් වැඩිය ඉඳල යන්න. ඊට වඩා ලොකු කථාවක් අපි සමුගනිද්දි නැන්දගෙ ඇස්වලින් පේලියට වැටුන කඳුලු සද්ද නොකරම කිවුවා.
තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකටත් සමුදීලා ආවෙ හරිම කාන්සියකින්.... කෝච්චිය ආවට වඩා වේගෙන් කොළඹ දුවනව වගෙයි හිතුනෙ. නැන්ද ලිපෙන් බාපු ගමන් මල්ලට දාල දුන්න උණුම උණු බඩඉරුගු කරලක් කකා එද්දි, අනුරාධපුරය ටික ටික වේගෙන් ඈත් වෙමින් තිබුනා. ලා ගොයම් යායවල් සීතලට පහුඋනා. වේලුන වගා බිම්වල මොණරුන් උන්නා. ඕලු, නෙලුම්, මානෙල් මල් වැවුවල පරනොවී තිබුනා නාමින් උන් ලොකු කුඩා උන් නැවැතිල්ලේ කොච්චිය දිහා බලා උන්නා. පොඩි උන් අත වැනුවා. පුංචි කොළ ඇති රූස්ස ගස් නිසොල්මනේ ඉද්දී කෝච්චිය වේගයෙන් කොළඹ දිවුවා!
හිතුවාට වඩා ඉක්මනට අඳුර ගලා ආව නිසා ගස්වල පුංචි කොල ආයෙත් විශාල උන හැටි දකින්න නම් බැරි උනා. ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල්වල නිවැසියෝ ඒ වෙලාව වෙද්දි දවසෙ අවසානයට ලෑස්තිවෙමිනුයි උන්නෙ.
කොළඹ හැන්දෑ හුළඟ ත් ටිකක් හීතලයි. දූවිලි අංශු ඒවයෙ තැවරිලා වගේ මට අමුතුවෙන්ම හිතුනා. රෑ 8.00 වෙද්දි අපි මරදානෙන් බැස්සා. මුත්‍රා ගඳ බොහොම දරුණුවට මේ පාර දැනුනා.
අනුරාධපුරයත්, ස්ටේශමේදී තාත්තා අප සමඟ ආවා කියල දැනුන හැඟීමත්, නාච්චදුව වැවත්, එහි වතුර කුඩා ඇල පාරවල් වලට ගලා ආ අයුරු දැකීමෙන් දැනුන හැඟීමත් මගේ හිත නොතේරෙන සාංකාවක් වගේ තත්වයකට පත්කරල වගේ.
අපි දෙන්නා විවහ උනාට පස්සෙ හිතා උන්නෙ අනුරාධපුරේ යන්න. එයාගෙ අත අල්ලන් හැන්දෑවක රුවන්වැලි සෑය වඳින්න යන්න. පස්සෙ නුවර එලියෙ යන්නත් හිතුව. එයාට මම කිවුව අපි ඉසල්ලාම අනුරාධපුරේ යං කියල.
එයා කැමැත්ත දුන්නා!
පසු සටහන:
ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පමණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ.
මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී. හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.
පසු සටහන:
ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පමණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ.
මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී. හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.
අනුරාධපුරය, එහි දුම්රියපළ, නාච්චදූව වැව සහ තාත්තා!
එක්ව මහිත තුල කැරැල්ලක් ඇතිකර ඇති සෙයකි.
හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!
Tuesday, July 16, 2013
Thursday, May 30, 2013
අපි හිත රිද්දනොගෙන ඉන්න බලමු!
බැඳීම්.....
ජීවිතයක් ලබපු ඕනෑම කෙනෙක්ට පුංචි හරි බැඳීමක රස, මොහොතක් හරි විඳපු, දවසක හරි මතකයක් තියනවා. සමහරවිට, ඒ රසම රස මතකයක් වේවි, සමහරවිට නීරස වෙන්නත් පුලුවනි.
ජීවිතේ පුදුමාකරයි කියන්නෙ සමහරුන් ඒ බැඳීමක පරිමාව හරියටම තේරුම් නොගත්ත හන්දම වෙන්නැති. රස්සාව, යහලු-මිත්‍රයො, ආගම, ජාතිය, ගම, රට, ආදරය, විවාහය, දරුවො, දෙමාපියො, නෑදෑයො....
ඔය කොයිකත් බැඳීම් තමයි....
අපි කාවහරි 'මගේ' කියල හිතාගෙන හිතේ නවත්තගත්තත්, ඒ හැමෝම අපිව එයාලගෙ හිතේ නතරකරගෙන නැතිවෙන්න පුලුවනි. එක අතකට ඒක වැරැද්දකුත් නෙවේ. වැරැද්ද අපේ හිතේමයි. අපි ආපහු අපි දෙන බැඳීම් වල සුවඳම ඒ බැඳීම් වලින් බලාපොරොත්තු වෙන එක, ඒක ඉටු නූනම හිත රිද්දගන්න එක අපේ වරදක්.
අපි දැනගෙන ඉන්න ඕන තව කෙනෙක් ආපිට අපිට අපි තරම්ම නොබැඳි ඉන්න පුලුවන් කියල.
ඒත්ඉතිං බැඳීමක් එහෙම තියාගන්නෙ කොහොමද? නේද...
ඒකනෙ රිදි රිදීම තව බැඳෙන්නෙ... අපි තාම ලෞකික මනුස්සයො. බැඳීම් හැමදාම තියේවි, ඒ තියනකල් හිතත් රිදේවි.... ඒත් නියමාකාර බැඳීමක් ජීවත් වෙනකල්ම ළඟ ඉඳීවි... අර රිදෙන හිතට සුවඳ බෙහෙත් ගාලා ටිකක් හරි සනසන්න ඒ බැඳීමට පුලුවං.
මට නිතරම හිතෙනව, නෑකම් අතරෙ හැප්පෙනකොට මේත් කාලයක් අපි වගේ ගෙදරක එකට හැදුන දරුවො ටිකක් වෙන්නැතිනෙ කියල. ඒත් ඉතින් ඒකතමයි හැටි...
කාලය, සමාජය, එක්ක එකතුවෙලා ජීවිතය බැඳීමක දිග පළල තිරණය කරනව ඇති.
කෙනෙක් උවමනාවට වඩා ආවේගශීලී වෙන්නෙ තමන්ගෙ හෘද ශාක්ෂිය දරාගන්න බැරි උනාමයි. අන්තිමට තමන්ගෙ හැසිරීමම තමන්ටම වදයක් කරගෙන හිතින් දුක් විඳ, විඳ තමන් විසින්ම එයාවම කොන්කරගන්නව.
ඒ වගේ දේකට අනුකම්පා කරනව මිස වෙන මොනා කරන්නද?
අපිට හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් විදියට අපි ජීවිතේ ජීවත් කරවනකල්, බැඳීමක පලුද්දකට බැහැ අපිව වට්ටන්න.
ඟැඹුර දැන ගත්තාම අපි දන්නව සමහර වැවු මාරාණතික බව..
හිත සනන පුලුවන් වැවක ආදරණීය බවත් අපි දන්නවනෙ...
ඒ වගේම තමයි බැඳීම්!
ඒ ගැන හිත රිද්දගන්න කොහෙත්ම උවමනා නැතත්, මේ තමයි පෘතක්ජන ජීවිතේ.....
අඳුරගත්තොත්,
ඔවු එතකොට හිත රිද්දනොගෙන ඉන්න පුලුවන්වෙයි....
අපි අපේ හදවත විවෘතව තියාගන්න තරමටම, බැඳීමක් 'බැඳීමක්' විදියට විඳින්න ලේසියි. ටිකක් හිතල බැලුවනම්, බැඳීමකදි උන හැම පලුද්දකටම පොදු දෙයක් අපිට පෙනෙයි... පලුද්දේ කොතන හරි විවෟතබව නැති තැනක් තියනව නේද?
අපිට කාගෙවත් හිත් විවෘත කරන්න බැරි උනත්, අපේ හිත් විවෘතව තියා ගමු. විවෘත තැනකට ඕන කෙනෙක් එන නිසා, මතකෙ තියාගමු විවෘත හිතක් රිදෙනව වැඩිබව....
ඒත්, ජනේලයක් උනත් ඇරියමනෙ හීතල පිරිසිදු හුළඟ ගෙට එන්නෙ?
මදුරුවො? (හිහ් අපි උන්ට කියමු මල්පැණි බොන්ඩ කියල)අපි හැන්දැ වෙද්දි ජනේලෙ වහමු...
බැඳීම් තේරුම් ගන්න උත්සහ කරන ගමන්ම,
අපි හිත රිද්ද නොගෙන ඉන්න බලමු!
Thursday, May 16, 2013
සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ
දේදුන්නක් වියා තබමි - පැතුම් එකතු කරන් හදේ
සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ
දිලිසෙන ඇස් කතාකරන - වචන නොමැති සෙනෙහෙ ගඟේ
පද අමුණමි නෙතු කියවා - හදවත කවි පෙළක් වගේ
වියත් සඳේ රැස් එලියේ - දිලිසෙන සියපතක් වගේ
ඔබ තුරුලේ සැනසෙන්නම් - ජීවිතයේ දුර ගමනේ
මල් මාවත් නොවේ එදා - පසුකර ආ ගමන් මගේ
එක්වී දුර ගමනක් යමු - සංසාරේ පාර දිගේ
(සුබ උපන් දිනයක් - 16/05)
Friday, March 29, 2013
Monday, March 25, 2013
දූ මුතු ඇටයකි හරිම වටී
ආයෙමත් ඒ හැඟීම!
ඊයෙ ගෙදර එක්ක ආව රෝස පාට ආදර පොදිය ආයෙමත් අපේ හිත් අමුතු ඒ හැඟීමෙන් පුරවල.
ඔයාගෙ අම්මා රෝහලට වෙලා ඔයා මේ ලෝකෙට ගේනකල් අපි හැමෝම උන්නෙ හරි තිගැස්මෙන්.දැන් ආයෙමත් හිත පිරෙනගමන්. වඩාගන්නත් බයහිතෙනව තාම. ඔයාට රිදෙයි කියල.
ඔයාගෙයි, ඔයාගෙ අමමගෙයි- තාත්තගෙයි, ආච්චිඅම්මල දෙන්නගෙයි Photo බලද්දි ඇහැට හත අස්සෙ ඉපදෙන කඳුලක් නලියනව. ඒක තමා ඒ අමුතු හැඟීම!
ඉක්මණින් ලොකු වෙන්න ඔයා. අපි හැමෝම බලාඉන්නවා.
~~~~~~~~~~
පුංචි ඇඟිල්ලක්
ඉඹින්න දෙනවද
අලුත ගෙනා සූකිරි දෝණී
දේදුන්නේ ඉඳලද ගෙන ආවේ
රෝසපාට
ඔය කොපුලෙ ඇතී
මැණිකක් නුඹ පොඩි
තුරුලේ නැලැවෙන
මල්පෙත්තක ඇති සුවද ඇතී
සමනල තටුවකි
සිනිඳු සුමුඳු වෙති
දූ මුතු ඇටයකි හරිම වටී
~~~~~~~~~~~~~
මේ සිංදුව ඔයා අම්මගෙ කුසේ ඉන්නකොට ඇහුව මතකද බලන්න. ඔය සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීමත් හරිම පුදුමාකාර එකක්.
Monday, March 11, 2013
ආදරණීය නුගේගොඩ
ආදරණීය නුගේගොඩ.....,
අවුරුදු 13ක් තිස්සෙ ආව-ගිය.... ඒ කාලෙ දැන් අවුරුදු 9ක් පරණයි...
ටික ටික අතීතෙට එකතු වෙන නුඹ. ඒ ගෙවුන අවුරුදු නමයටම මං ආයෙත් නුඹ බලන්න ආවෙ කී පාරද?
නුඹ වෙනස්වෙලා! මම?
සතියකට කලින් ඉරිදාවෙ අම්මයි, අක්කයි, පුතයි එක්ක නුගේගොඩ යද්දි - ඒද්දි හීන් කඳුලු දැලක් ඇස් බොඳකලා දන්නවද? ආ ගිය පාරවල්, මතක ස්මාරක මනෝමයෙන් ගොඩනැගුන තැන් දිහා හැරි හැරී, එබි එබී, යලි යලිත් බලන්න. මට එදා ඕන උනා.
හ්ම්..... බෝගහ ළඟ, සවුසිරිය ළඟ බස් නැවැතුම්.... සරසවි පොත් සාප්පුව, ඒ ළඟම රොටරියට යන පාර එතනම තියන කඩේ, අපි ඒකට කීවෙ යකාගෙ කඩේ කියල :) රොටරිය. ඒ කාලෙ French Corner එක ......
අපේ ඉස්කෝලෙ..... !
ඒ කාලෙ අපිටම වෙන්කරගත්තු CTB බස්, ඉඳහිට හරි යද්දි උනත් අපේ කරගන්න ප්‍රයිවට් බස්..... School Bus එක...
සොඳුරු හැඟුම් එහෙ මෙහෙ පා උන ආදරණීය නුගේගොඩ,
ඉස්කෝලෙ සුදු ගවුම නැතිව ඔයා බලන්න ඇවිත් වැඩක් නෑ. නුඹ අයිති ඒ ඉස්කෝලෙ යන කෙල්ලන්ට කොල්ලන්ට!
මං දන්නෙ නෑ අදත් ඒ ළමයි ඒ වගේම නුඹව විඳිනවද කියල. ඒත් ඒ කාලෙ නුඹ අපේ ජීවිතේ කොටසක්. අදටත් ඒ කොටසෙ නටඹුන් මේ ජිවිත වල ඉතිරියි. ඒකයි මේතරම් දැනෙන්නෙ නුඹව. අද නුඹත්, මමත් එදා උන්නු නුඹ හෝ මම නූනත්....
අදටත් අපිට නුඹ මිහිරක්. ඉරිසියාවක් එක්ක එන දුකක් හිතේ ඇතිවෙන්නෙ ඒ කාලෙ එදාට වඩා අද රස හන්දයි.
"මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. දැන් බැඳීම් වලට කොටුවෙලා අපිව හිරකරල වගේ දැනෙනවා"
මේ මගේ පළමු වසරෙ ඉඳන්ම මිතුරියක් ළඟදි එවු කෙටි පණිවිඩයක්.
අපි වැඩිහිටි වෙනවා. මතක අපිව අතීතය ගැන ඉරිසියා හිතවන තරමටම අපි වැඩිහිටි වෙමින් ඉන්නෙ දැන්.
ඒ අතීතය දඟකාර කෙල්ලො ටිකක්, නගරයක තැන් කීපපලක් නැත්නම් හිරිමල් වියේ උන්නු කෙල්ලො කොල්ලො ටිකකගෙ බොළඳකම් ගොඩක් විතරක් කියල හිතෙයි කාටහරි. ඒත් ඒ අතීතය අස්සෙ හිරඋන මේ ඉරිසියාකාර හැඟීමම දැනෙන හිත් තව ගොඩක් ඇති.
නුඹයි අපියි අතරෙ තිබ්බ බැඳීම පුදුමාකාර බැඳීමක්!
මේ අකුරු මට දැනෙන දේ ඒ විදියටම කියන්නතරම් මදි. මේ දැනුත් අඬන්න ඕන උන වෙලාවට උගුර ළඟ හිරවෙලා වගේදැනෙන හැඟීම ම හරියට රිදවනව. ඒ හැඟීමමයි එදා බස් එකේදිත් දැනුනෙ.
සුළගේ ළෙලෙනා - මල්සේ දඟපා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ.....
ලොකුපංතියෙ අය - පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විසේ....
අපි පොත්වල දුටු - රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.....
සාමල, අමරල - පොත්වල තව ඇත
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල - අපේම මව විය
එදවස් අපහට නැත ආයේ....
මේ සිද්දුව ඇහෙද්දි, මතක්වෙද්දි හිතට එන ඒ දුකමයි... ඒ ඉරිසියාවමයි එදා නුඹ දකිද්දි මට දැනුනේ.
ආදරණීය නුගේගොඩ.....,
අපි වෙනස්වෙලා!
Monday, December 31, 2012
අන්තිමේ ඈ යන්නට ගියාය!
අන්තිමේ ඈ යන්නට ගියාය!
සිදු නොවියයුතු වූ සියල්ල ඇයට සිදු කිරීමෙන් අනතුරුව ඇයට ඒ ගැහැණු ජීවිතය දරන්නට හැකියාවක්, උවමනාවක් හෝ ආශාවක් ඉතිරි නොවන්නට ඇත.
ඇයට ඒ මොහොතේ ඇගෙ අම්මා සිහිවන්නට ඇත, තාත්තා සිහිවන්නට ඇත, ඔවුන්ගේ උණුහුමේ සුරැකි බව දැඩිව උවමනාවන්නට ඇත. ඈ තනිකම හා අසරණ කම නිසා එක්වරක් මියෙන්නට ඇත.
ඇගේ පෙම්වතාගේ ආදරය තදින් දැනෙන්නට ඇත. ඈ නිසා නොව ඔහු නිසා උපන් ප්‍රේමයේ වේදනාවෙන් ඈ තවවරක් මියෙන්නට ඇත.
ඈ මැවූ හීන! වෛද්‍යවරියකව නෙක දනෝ සුවපත් කරන්නට මැවු හීන, දෙමාපිය ආශිර්වාද මැද මනාලියක වන්නට මැවු හීන, ආදරණීය බිළින්දෙකු කුස දරන්නට මැවු හීන, අම්මා නම් උත්තරීතර පදවියෙන් අභිශේක ලබන්නට මැවු හීන..... අවුරුදු 23ක යෞවනියකව ඈ දුටු හීන එකිනෙක මියෙනු දැක ඈ තව වරක් මියෙන්නට ඇත.
පිරිමින්! සාමූහිකව! ඈ කෙලසද්දී ශල්‍යකර්ම තුනකුත් සිදුකර තවත් පණ රැකගන්නට නොහැකිවන තමට ඈ ඒ මානසික රෝගීන් අතින් කෙතරම් පීඩාවට පත්වන්ට ඇත්දැයි ඔබට හෝ මට හිතාගැනීමටවත් පුලුවනිද?
මුහුණු වසා අධිකරණය වෙත ගෙන ගිය ඒ දූශකයන් නිසා නිරුවත් වූ ඇගේ ආත්ම ගෞරවය නෑදෑයන්, යහලු යෙහෙලියන්, රට, ලෝකය, සමාජය හමුවේ මාධ්‍යයන් ඔස්සේ යලි යලිත් නිරුවත් කෙරෙනු දකින්නට ඈයට සිහියක් තිබුනානම් එතැනදී ඈ යලිත් මියෙන්නට ඇත.
අවසන, විකෘති කාමුකයන් පිරිසක් හෝරාවක් තිස්සේ දූශනය කරනුලදුව, ඒ ගැහැණිය විදවන්නට සලස්වා මරාදමන විටත්, දෑත් වලට විලංගු දැමෙනු ලබූවත්, ස්වේත පෑ උරයකින් ඒ දූශකයන් අනන්‍යතාවය සමාජයෙන් වසන්කරනු ලදුව නීතීය හමුවට ගෙන යද්දී පවා අසරණ ගැහැණිකගේ රත් පෑ රුධිරයෙන් නැහැවුන ඒ ලිඟු ස්වයං වින්දනයේ නොයෙදුනායි සිතන්නේ කෙසේද.
ඈ මියගියාය!(මරා දැමුවාය)
ලෝකය හමුවේ,අධිකරණය හමුවේ, නීතිඥයන් ඉදිරියේ, විටෙක..... ඈ කෙලෙසූ උන් ඉදිරියේ පවා යලි යලිත් නිරුවත් වෙනවාට වඩා සැබැවින්ම ඒ මියයාම(මරාදැමීම) සම්පතකි.
මම පිරිමි ජරා ජාතියකැයි කීමට අකමැත්තෙමි. ගැහැණියකගේ ඇසුරේ ඉපිදැ, හැදි-වැඩී, පෝශණය වී.... ආදරය, ශෘංගාරය, රාගය විඳ, පියකු වීමට විවරණ ලැබ... අවසන ඔහු මියයන්නේද විටෙක ගැහැණියකගේ ඇකයේ බව දැන හෝ නොදැන.... ගැහැණු ජරා ජාතියකැයි පුන පුනා දොඩවන පිරිමි මට කොතෙකුත් මුනගැසී ඇතද මා පිරිමි ජරා ජාතියකැයි නොකියමි. මගේ තාත්තාගෙන්, මගේ ආදරවන්තයාගෙන් 'පිරිමින්' කවුදැයි මා උගත බැවිනි!
ජරා යැයි වර්ග කල හැකි ගැහැණුන් සිටින බව ඇත්තකි. එවන් පිරිමිද සිටියි. ඔවුන් ගැහැණු හෝ පිරිමින් නොව වැරදීමකින් මනුස්ස (මනසින් උසස්) යැයි නම්කෙරුණ අප්පිරියා සහගත ජීවීන් කොටසකි (තිරිසනුන් එවුන් තරම් පහත්ද?)
යොමුකලයුත්තේ කාටදැයි නොතේරෙන එක් පැනයකි. ඒ මිලේඡ්ඡයන්ගේ මුහුණු සමාජය ඉදිරියේ ස්වේත රෙදිකඩකින් වසන්නෙ ඇයි?
නැගණිය ඔබ මැරි මැරී ඉපැදුන, යලියලිත් මරා දැමුන ඒ කාලය නිමාකොට ඔබව ස්ථිරවම මරා දැමුන එක ගැන මා අවසන සැනසුම් සුසුමක් හෙලමි!
මේ කඳුල,
ඒ දුවනි වෙනුවෙන්....
පිය සෙනෙහෙ - මවු සෙනෙහෙ
මිණි කිරුළ බිඳෙද්දී,
පපුතුරේ ඉරිතැලුන
ජීවිතය වෙනුවෙන්....
මේ කඳුල,
ඒ සොයුරි වෙනුවෙන්....
රෝස පැහැ බෝනික්කි - ඇස් වසා නිදද්දී
ඉකිගසා හැඬූ හඬ ,
අහන්නට කෙනෙක් නොවු
ඒ සොයුරි වෙනුවෙන්.....
මේ කඳුල,
ඒ යෙහෙලි වෙනුවෙන්.....
සමනලුන් පියාඹන - වසන්තය හඬද්දී
තටු තැලී පණ ගැසූ,
මල් කැකුළ වෙනුවෙන්......
මේ කඳුල,
ඒ තුරුණි වෙනුවෙන්.....
පැතුම් මල් එකින් එක - උන් තලාදමද්දී
අසරණම ඔත්පලවු,
ඒ තුරුණි වෙනුවෙන්......
මේ කඳුල,
ඒ ගැහැණි වෙනුවෙන්......
දරන්නට කුස පුතෙක් - පරමී පිරූ හිත
දෑස මානේ ලෙයින්
නෑවෙනායුරු දුටුව,
ඒ ගැහැණි වෙනුවෙන්.....
මේ කඳුල,
හෙට ලොවේ
ගැහැණු කම වෙනුවෙන්.....
අතින් අත අයාලේ
ලංසු තැබෙනා තැනෙක,
අසරණව සුසුම්ලන
ගැහැණු කම වෙනුවෙන්......!
Friday, December 21, 2012
පෙම් බඳිමි,(කිඳුරු හදවතකට!)
Subscribe to:
Posts (Atom)























