Thursday, March 27, 2014

ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!



හය හතර ඉගෙනගත් පාට වැඩි ඒ කාලෙ
තාත්තා ඇත්තටම ඉන්නවා
දූවරුන් පොකුරෙ- පොඩි, සිවුවැන්නි මම තමා
මතක මට මහගොඩක් වටිනවා

අද වගේ ඒ කාලෙ කතිර ඉල්ලන් ආව
මාමලා මතකයේ මැවෙනවා
රතු පාට මැයි මලෙක පාට ලස්සන නෙද
මාමලා ටිකට් පොත් ගේනවා

ගිණි ගහපු දහවලේ ගිණි පුළිඟු දිලිසෙද්දි
තාත්තාගේ වචන ඇහෙනවා
"පුතෙක් වැදුවේ නැතත් - පුතෙක් උන්නා මටත්!"
ඒ පුතා නොවටීද? අහනවා

රටක් වෙනුවෙන් නේද?- ඔබත් විරුවෙක් ධීර
මාමලා පයක් පහුබසිනවා
රටක් වෙනුවෙන් නෙවේ - පක්ෂයක් වෙනුවෙනුයි
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!

රතු පාට මැයි මලෙක නොදුටු අයියා ඇන්ද
ලේ සුවඳ හෙමින් මට දැනෙනවා!

Friday, March 21, 2014

දවසක දූ ලොව දිනනු ඇතී


මිණි කැට අතරෙට - මුතු ඇටයකි දුව
සුරතල් සිනහා මුවඟ ඇඳී
සඳ දියවර යට - හරිම  සොඳුරු ලෙස
මුදු එලියක් ලෙස දිලෙන සිරී

පිපුන උවන - හිත පෙන්නන කැඩපත
නුඹම දකින හෙට දිනක් වෙති
දිලෙන්න කුසුමිය - නිසි කල, නිසි ලෙස
කාලය තාලය වයයි  නිසී

දෙනයන සනහන - කුසුමිය විකසිත
කිරුළ නුඹයි හදවතෙහි ඇඳී
ජීවිතයේ උස්, මිටි තැන් ළඟඳී
ඔය නිකැළැල් හිත ගෙනෙයි සවී

ගමනකි බෝ දුර - දිරියෙන් යන්නට
සුවඳ හිතේ රැකගන්න නිතී
පැතුමෙකි හද තුල - නූපන් හෙට ගැන
දවසක දූ ලොව දිනනු ඇතී

23 /03/2014

Friday, March 7, 2014

ඉඩෝරයේත්


වස්සානයේත්, සරත් සමයේත්
හිනැහෙනා මල් සේම
ඉඩෝරයේත් 
කොහේ හෝ තැනෙක
හිනැහෙන කුසුම් ඇති
සැඟව