Showing posts with label ඉස්කෝලෙ. Show all posts
Showing posts with label ඉස්කෝලෙ. Show all posts

Monday, March 11, 2013

ආදරණීය නුගේගොඩ





ආදරණීය නුගේගොඩ.....,

අවුරුදු 13ක් තිස්සෙ ආව-ගිය.... ඒ කාලෙ දැන් අවුරුදු 9ක් පරණයි... 

ටික ටික අතීතෙට එකතු වෙන නුඹ. ඒ ගෙවුන අවුරුදු නමයටම මං ආයෙත් නුඹ බලන්න ආවෙ කී පාරද?

 නුඹ වෙනස්වෙලා! මම? 

සතියකට කලින් ඉරිදාවෙ අම්මයි, අක්කයි, පුතයි එක්ක නුගේගොඩ යද්දි - ඒද්දි හීන් කඳුලු දැලක් ඇස් බොඳකලා දන්නවද? ආ ගිය පාරවල්, මතක ස්මාරක මනෝමයෙන් ගොඩනැගුන තැන් දිහා හැරි හැරී, එබි එබී, යලි යලිත් බලන්න. මට එදා ඕන උනා. 

හ්ම්..... බෝගහ ළඟ, සවුසිරිය ළඟ බස් නැවැතුම්.... සරසවි පොත් සාප්පුව, ඒ ළඟම රොටරියට යන පාර එතනම තියන කඩේ, අපි ඒකට කීවෙ යකාගෙ කඩේ කියල :) රොටරිය. ඒ කාලෙ French Corner එක ...... 

අපේ ඉස්කෝලෙ..... !

ඒ කාලෙ අපිටම වෙන්කරගත්තු CTB බස්,  ඉඳහිට හරි යද්දි උනත් අපේ කරගන්න ප්‍රයිවට් බස්..... School Bus එක... 

සොඳුරු හැඟුම් එහෙ මෙහෙ පා උන ආදරණීය නුගේගොඩ, 

 ඉස්කෝලෙ සුදු ගවුම නැතිව ඔයා බලන්න ඇවිත් වැඩක් නෑ. නුඹ අයිති ඒ ඉස්කෝලෙ යන කෙල්ලන්ට කොල්ලන්ට!

 මං දන්නෙ නෑ අදත් ඒ ළමයි ඒ වගේම නුඹව විඳිනවද කියල. ඒත් ඒ කාලෙ නුඹ අපේ ජීවිතේ කොටසක්. අදටත් ඒ කොටසෙ  නටඹුන් මේ ජිවිත වල ඉතිරියි. ඒකයි මේතරම් දැනෙන්නෙ නුඹව. අද නුඹත්, මමත් එදා උන්නු නුඹ හෝ මම නූනත්....

 අදටත් අපිට නුඹ මිහිරක්. ඉරිසියාවක් එක්ක එන දුකක් හිතේ ඇතිවෙන්නෙ ඒ කාලෙ එදාට වඩා අද රස හන්දයි. 

"මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙනවා. දැන් බැඳීම් වලට කොටුවෙලා අපිව හිරකරල වගේ දැනෙනවා" 
මේ මගේ පළමු වසරෙ ඉඳන්ම මිතුරියක් ළඟදි එවු කෙටි පණිවිඩයක්. 

අපි වැඩිහිටි වෙනවා. මතක අපිව අතීතය ගැන ඉරිසියා හිතවන තරමටම අපි වැඩිහිටි වෙමින් ඉන්නෙ දැන්. 

ඒ අතීතය දඟකාර කෙල්ලො ටිකක්, නගරයක තැන් කීපපලක් නැත්නම් හිරිමල් වියේ උන්නු කෙල්ලො කොල්ලො ටිකකගෙ බොළඳකම් ගොඩක් විතරක් කියල හිතෙයි කාටහරි. ඒත් ඒ අතීතය අස්සෙ හිරඋන මේ ඉරිසියාකාර හැඟීමම දැනෙන හිත්  තව ගොඩක් ඇති. 

නුඹයි අපියි අතරෙ තිබ්බ බැඳීම පුදුමාකාර බැඳීමක්!

මේ අකුරු මට දැනෙන දේ ඒ විදියටම කියන්නතරම් මදි. මේ දැනුත් අඬන්න ඕන උන වෙලාවට උගුර ළඟ හිරවෙලා වගේදැනෙන හැඟීම ම හරියට රිදවනව. ඒ හැඟීමමයි එදා බස් එකේදිත් දැනුනෙ.

සුළගේ ළෙලෙනා - මල්සේ දඟපා
අප පාසල් ගිය කාලයේ....
යාලුවො අද නැත - වෙන අය එහි ඇත 
කාලය මැවු වෙනසක අරුමේ.....

ලොකුපංතියෙ අය - පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විසේ....
අපි පොත්වල දුටු - රජවරු සිටුවරු 
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.....

සාමල, අමරල - පොත්වල තව ඇත
එන එන අය හා යාලු වෙතේ....
අපේම පාසල - අපේම මව විය
එදවස් අපහට නැත ආයේ.... 

මේ සිද්දුව ඇහෙද්දි, මතක්වෙද්දි හිතට එන ඒ දුකමයි... ඒ ඉරිසියාවමයි එදා නුඹ දකිද්දි මට දැනුනේ. 

ආදරණීය නුගේගොඩ.....,
අපි වෙනස්වෙලා!

Tuesday, October 23, 2012

පැතූ පැතුමන් හැබෑ වේවා!





සුළඟත් එක්ක ඳඟ පෑව
සුදු ගවුමේ රැළිත් සිළිලාර
ඉස්කෝලෙ ගිය මුල් දවසෙ
සිතුවම් මතක ළඟ ඔබත් ඇත.....

මැයි මල් පිපෙන හැඩ කහ පාට
පොඩි පංතිවල සුරඟන සුවඳ
ගී කියු මියුලැසි විහඟ කැල
තාමත් මවයි ඒ සිඟිති රස....

අරලියා මල් ගස් අතරෙ නෙක
යෞවනේ හිරිමල් පිපෙනතර
මිතුරියේ අපි ආ ගමන් මඟ
විදු මවුගෙ සෙවනේ සිහිල මැද....

හැර ආ දිනේ අනුලා තුරුල
අපි වෙන්වෙද්දි බිඳි කඳුලු කැට
තරු සිත්තමක් වී අහසෙ අර
තමත් දොවයි මිතුදමින් සිත....

දුර බොහෝමැයි අපි අතර
මිතු දම් හුයෙන් පාලම් මැවුන

ඉඳ හිට එවූ හසුනක අතර
කඳුලත්- සිනාවත් අකුරු කර....


මිතුරියේ මා හිත හැඳිනූ
මේ සුභ පැතුම් එ හිතේ ඇඳුනු
දඟකාරි - සෝබන යෙහෙලි
මනාලිය වන දින ළඟලු....

සෙනෙහස නිසා දෙහිතේ බැඳුන
මඟ එලිය වෙයි නිසි මඟ යන්න
අඳුරෙදි එපා කලබල වෙන්න
බෝ දුරකි ඔහු හා යන්න.....

පැතූ පැතුමන් හැබෑ වේවා!
සිනාමුව සැමදා රැඳේවා!
හීන දුටු ලෙස අනාගතයම,
ආදරේන් සිත්තම් කෙරේවා....!

(25/10/2012)

Friday, May 20, 2011

වෙනසක අරුම



සුදු ගවුමෙ දැවටිච්ච දඟකාර අතීතේ
මංසලක නැවතිච්ච දේදුන්නෙ පැහැ අතර
සුරංගන කතාවක නොදුටු රස මම විඳිමි
ආයෙමත් නේන ඒ සොඳුරු පෙරදවස තුල

දඟකාර සිත් පිරුණ අහිංසක සිතුම් ළඟ
එක්ව බැඳි මිතුරු බැමි සවිය විය දිරිය දෙන
කාලයේ වේගයට අතීතෙට එකතු උන
බාලිකාවේ සුවඳ තවම සුරකී මහද

දුරස්උන සිලිලාර මල්සමය මතක්කර
කඳුලකින් නෙත් තෙමන මතක මංසල අසල
ජීවිතේ අරුමයට අරුත් පබඳින දවස
ගෙවුනු  සත් වසරතුල මැවුනු වෙනසක අරුම

විදුමවුගෙ උනුහුමේ ජීවිතය අකුරුකල
පුංචි දඟකාරියන් නොවෙමු අද දකින අප
හෙටක් ළඟ මාවතේ දුරක් ඇති ජීවිතය
දිනන්නට සුභාසිරි පතමි හද ගැඹුරින්ම

සුභ මංගලම් මිතුරියේ
මැයි 19

Tuesday, May 3, 2011

ඉංග්‍රීසි ගුරුතුමි

මම ශිශ්‍යත්ව විභාගය අසමත්! හපොයි! ඒක බොහොම බරපතල, ලැජ්ජ වෙන්න ඕන සිද්දියක්. හැබැයි මං හිත හදාගත්තෙ අපූරු විදියට. ලොකු අක්කල දෙන්නම ශිෂ්‍යත්වෙ පාස්. ෆේල් උනේ බාලම අක්කා විතරයි. මමත් පාස් උනානම් එයා පවු. දැන් අපි දෙන්නම ෆේල් නෙ, ඒක හොදයි!!

ඒ කාලෙ තියා සාමාන්‍ය පෙල පංතියෙදිවත් මම පංතියෙ තිහක් - හතලිහක් ළමයින්ගෙන් විසි දෙවෙනියට ඉහල අරං තිබ්බෙ නෑ එක වාර විභාගෙකදිවත්. කවදාවත් මගෙ ප්‍රගති වාර්ථා පොතේ දම් පාට මුද්‍රා තීන්තෙන් "ප්‍රසංශනීයයි" කියලා වැදිලා තිබ්බෙ නෑ.

හැමදාම ගණිතය භාර ගුරුතුමිගෙන් බැනුම්! දවසක්, ඒ මදිවට ඉංග්‍රීසි භාර ගුරුතුමි මුලු පංතිය ඉස්සරහ මට ඇඟිල්ල දික් කරලා කිව්වා.,

" ඔයා අම්මලාගෙ සල්ලි නාස්ති කරනාවා!" කියලා. මට ලකුනු අඩු හන්දා.

මට බොහොම රිදුනා! මම අමතර පංතිගියේ ගණිතයටයි විද්‍යාවටයි. ඇත්ත, අම්මලාට සල්ලි ප්‍රශ්න ගොඩයිතමා. ඒත් මං ඒයාලාගෙ සල්ලි නාස්ති කලේ නෑ. හැමදාම අම්මා වැඩ ඇරිලා ආවම පර්ස් එකෙන් රුපියල් දෙකක් අරං එකතු කරලා, ඒවයින් උපන්දිනේට යාලුවන්ට 'පෝටෙලෝ' අරන් දුන්නෙ ආසාවට.

ඒත් මම සල්ලි නාස්ති කලේ නෑ!ඒ කීමට හිත රිඳුනත්, මම දැනන් උන්නෙ නෑ මීට වඩා මම තව වැඩකරන්නෙ කොහොමද කියලා.

අන්තිමේ, මම සාමාන්‍යපෙල පාස් උනා! පංතියෙ හොඳට වැඩකරපු සමහර 'බ්‍රයිටන්ට'වඩා හොඳට!. මම ඉස්සරෝම දැනගත්තවෙලේ බත් කාගන්නත් බැරව ඇඬුනා. අම්මටයි, ලොකු අක්කටයිත් ඇඬුනා, තාත්තට ආඩම්බර හිතුනා.අපේ ංතිභාර ගුරුතුමී, ගණිත ගුරුතුමී, බෞද්ධ ධර්මය, සිංහල, සමාජ අධ්‍යනය උගන්පු ගුරුතුමීලට ඇස්වලට කඳුලු ආවා.

මම ඉංග්‍රීසි ගුරුතුමී මුන ගැහෙන්න ගියා. ඈ හය ශ්‍රේනියේ නංගිලාට  ඉංග්‍රීසි උගන්නනවා. මව දැකල ඇහුවා

"ඇතියන්තම්! අඩු ගානේ පාස් වෙලාවත් තියෙනවා වගේ!"

  මම කිව්වා "මට 'A' එකක්! ඉංග්‍රීසි වලට!"

.ඈ පුදුම උනා. මම ඈ දිහා බලා උන්නා. දනගහලා වඳින්න හිත දුන්නෙ නෑ. ඇයි කියන්න දැනෙන්නෙත් නෑ. ඒත්, මම ආපහු හැරිලා එද්දි මගෙ ඇස්වල කඳුලු පිරුනා.

ඊට අවුරුදු නවයකට පස්සේ, අපි පාසලින් පිටවෙලා අවුරුදු හයකට පස්සෙ, මම ආයෙමත් අපේ ඉස්කෝලෙට ගියා. සුහද හමුවකට.

ඈ උන්නා සුදු සාරියක් ඇඳගෙන. ගෙදර යන්නයි සූදානම. මම දුවලා ගිහින් ඇයට කථාකලා. ඈ පුඳුම උනා ඇගේ පියා මියගිහින්. තවත් ප්‍රශ්න රශියක් ඈ මා සමඟ දොඩමලුවු විනාඩි කීපයට මා සමඟ කීවා.

" මම දැන් යන්නම් දූ"

 ඈ කියද්දි, මම බොරලු පිට්ටනියේ දනගසා ඇයට වැන්දා. කඳුලින් පිරුනු නෙත් වලින් ඈ මා දිහා බලන් උන්නා නිමේශයක්. 

"මේ මගෙන් ඉගෙන ගත්ත දරුවෙක්"

  අසලින් ගිය වර්ථමාන ශිෂ්‍යාවකට කියමින් ඈ මා වැළඳ ගත්තා!