Showing posts with label නිසදැස්/කවි. Show all posts
Showing posts with label නිසදැස්/කවි. Show all posts

Wednesday, October 17, 2018

මිනිස්සු !


අඬන අහසක 
පහස මඟ අරින 
කුඩ වලට මුවා උන 

අඳුරු පිල් කඩක
කිසි නිනව්වක් නැතුව 
පෙඟුණු හීන දකින

මිනිස්සු !

ගංගි
2018/10/17


Friday, August 22, 2014

මියෙන්නට මොහොතකට පෙර


හඬන්නත් කඳුලු හිඟ
ගිම්හානයේ ඉම
සුවඳ කැවු මතක සර
බොල් වු හිත පාරවන,

පිපෙන්නට පෙරම මියැදුන
මියෙන්නට මොහොතකට පෙර
සුවඳ බිඳුවක් ඉතිරි කරැ ගිය
වසන්තය මලක් විය...

ඒ සඳ නෙවේ වෙන්නැති
ලා පාට සලුවකින්,
රාත්‍රිය වසා නොවසා
රිදී පෑ හීනයෙහි පලුදු රිදවා ගියේ....
සඳනම් නෙවේ වෙන්නැති!

වචන නැති කතාවක
චරිත මේ ළඟපාත
වචන තහනම් හිතට
අත්තටු ලදත් කුමකට

රබර් කොල තාම නාඹර
අසාගන් මේ කඳුලෙහි වචන
මගේ පුතු අපි නොදැන
හැදෙද්දෙන් මිනිසෙකු විලස

නිමිත්ත මෙතැනින් : නුවර කුමාරි http://upekshad.blogspot.com/

කාන්ති - 01 http://upekshad.blogspot.com/2014/08/01.html

කාන්ති - 02 http://upekshad.blogspot.com/2014/08/02.html

Thursday, July 31, 2014

හමුවීද


වසන්තයේ කොතැන හෝ
ශේෂව නැතැයි කිවහැකිද
සීතල සිසිරයත්, දැවුන ගිම්හානයත්

වස්සාන සැඳෑවක
ඉකිබිඳ නැතැයි කිවහැකිද
සිහිකර, මිදුනු හා ගිනිගත් මතක

මල් දරන් - කුරුලු ගී හඬ මැදින්
වසන්තය හැඩු කදුලු 
දුටු කෙනෙක් හමුවීද

Friday, May 30, 2014

Poison

කඳුලත්,
මදහසත්
අතර
මීදුම් පටලයක්


"Poison is in everything, and no thing is without poison. The dosage makes it either a poison or a remedy"

Philipus Aureolus Paracelsus - The Father of the Toxicity
(1 May 1493 - 24 Sep 1541)




Wednesday, May 28, 2014

'අඳුර'


පියාඹන කාලය ළඟ
නතරකරනෙමි හදවත
පියාගෙන ඇස්පිය නෙත
අඳුර දකිනෙමි මොහොතක

පියාඹන්නට රිසි හිත
මොහොතකට තටු පිළිසිඳ
අසා ඇති ලෙස නෙකවර
මම මගෙන් මුදවාවිද

කඳුලු හුරු නෙත් තදකර
සුළඟෙ සිට හිනැහේවිද
කඳුලු දැක නෙක නෙතු ළඟ
පසුතැවෙන්නට වේවිද

රෝස පෑ නැති කොපුලත
තවත් අඳුරුව යන සඳ
තාත්තා මෙන් මා මුව
ගලක් සේ රලු වේවිද

ගැහෙද්දී හද නොදුටුව
නෙක මුහුණු මා වටකර
ඉතිරි වූ දෙන සිඹ සිඹ
සුවඳ පැන් ඉස යාවිද

හිරු මියෙන හෝරාවෙක
මිදුන කය ඔසවාගෙන
අතීතය සිහි කරකර
ඔහුත් ඒවිද සොහොනට 

අක්කලා ඉකිබිඳීවි
අම්මා ගෙ හිත බිඳේවී
දෝණි හා පුතු ළඟ ඉඳන්
පුංචො නැඟිටින් කියාවී 

මතක පාවඩ මත එලූ
අම්මාගේ ගත රැඳි සුදු සලු
බොර පාටවී, තෙත බරිත වෙයි
අමතකව යයි සුදු පිරූ

පියාඹන කාලය ළඟ
නතරවු හිත සිඹ සිඹ
දෙනෙත් හැර, මොහොතක් රැදඳෙමි මම
'අඳුර' දකිනෙමි බෝ දුර

Wednesday, May 21, 2014

'පැහැය'


මල්
තව පිපෙන්න!
මේ වේලූ මලෙහි
පැහැය 
නොමකන්න!

Tuesday, April 29, 2014

ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද




පාට ගෑ අත් ලකුණු උණුහුමට ගෙයි බිතක
කිරි සිනා සිතුවමක් මවයි හදෙහී කොණෙක
සමු ගන්න සිපගත්ත නලල හැඩි කල දෙතොල
සැලෙනවා ඉකිහඬට නුඹ කොහිද මගේ පුත

ජීවිතය පාටකල හීන මතකඳ මිතුර
ලුණු මිදෙන වෙරළතක කඳුල රස මදි නොවෙද
පාවෙලා ආ දිනෙක කෙස් රොදක් හෝ මවෙත
අමතකව තියේවිද හීනමය අතීතය

අඳුර ගැඹුරුයි තමයි මූද හරි හීතලයි
රැලි නඟින ඔය දියඹේ නුඹව ශේෂව නොයයි
අතහැරුණ අතැඟිලිත් තවම නුඹවම සොයයි
හැංඟිමුත්තං මදිද හිතත් දැන් හරි බරයි

මතක රැලි නඟිනවිට මුහුද අද ගොලු මොකද
වැහි ලිහිණි තටුවලට විඩාවක් දැනිලාද
ලවණ රස කඳුලකට නිදහසක් නැතිව වද
මියෙන හිත් දහසකට සරදමක් කෙරුවාද



Thursday, April 10, 2014

සිනහ පිපෙන්නට මුවින් මුවට හෙට


එරබදු මල් තවමත් පීදෙනවා
කලාතුරින් හෝ එහේ මෙහේ
සිංහල අවුරුදු තවම තියෙනවා
කොවුලා තව ගී කියයි මෙහේ

ඇති-නැති කොතැනත් කිරි ඉතිරේවා
සිංහල අවුරුදු ලබන වෙලේ
නැවුම් හෙටක් ළඟ-නැවුම් හිතක් ගෙන
අලුත් පැතුම් හදවතේ ඇඳේ

සිනහ පිපෙන්නට මුවින් මුවට හෙට
සතුට පිරේවා හදෙහි ඔබේ
දිරිය ලැබෙන්නට, නිරෝගි වෙන්නට
පැතුම් පතමි හදවතින් මගේ

ඔබටත්,පවුලේ සැමටත් සතුට පිරුණ සුබ අලුත් අවුරුද්දක් වේවා!

Thursday, March 27, 2014

ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!



හය හතර ඉගෙනගත් පාට වැඩි ඒ කාලෙ
තාත්තා ඇත්තටම ඉන්නවා
දූවරුන් පොකුරෙ- පොඩි, සිවුවැන්නි මම තමා
මතක මට මහගොඩක් වටිනවා

අද වගේ ඒ කාලෙ කතිර ඉල්ලන් ආව
මාමලා මතකයේ මැවෙනවා
රතු පාට මැයි මලෙක පාට ලස්සන නෙද
මාමලා ටිකට් පොත් ගේනවා

ගිණි ගහපු දහවලේ ගිණි පුළිඟු දිලිසෙද්දි
තාත්තාගේ වචන ඇහෙනවා
"පුතෙක් වැදුවේ නැතත් - පුතෙක් උන්නා මටත්!"
ඒ පුතා නොවටීද? අහනවා

රටක් වෙනුවෙන් නේද?- ඔබත් විරුවෙක් ධීර
මාමලා පයක් පහුබසිනවා
රටක් වෙනුවෙන් නෙවේ - පක්ෂයක් වෙනුවෙනුයි
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!

රතු පාට මැයි මලෙක නොදුටු අයියා ඇන්ද
ලේ සුවඳ හෙමින් මට දැනෙනවා!

Friday, March 7, 2014

ඉඩෝරයේත්


වස්සානයේත්, සරත් සමයේත්
හිනැහෙනා මල් සේම
ඉඩෝරයේත් 
කොහේ හෝ තැනෙක
හිනැහෙන කුසුම් ඇති
සැඟව

Friday, November 8, 2013

අතනෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස

          


වියා දුහුල් වලාකුලක සීතල පිණි කැට
සිත්තම් කර පළන්දවමි තරු පොකුරක් ළඟ
ඔබ හා ගෙවු අතීතයේ මතකයෙ මුතු ඇට
හෙමිහිට එහි අමුණමි හිඳ අහස් වියන යට

 මඟ දෙස හැරී බලමි මොහොතක් නතරව
සිනා කුසුම් අතර දකිමි කඳුලැලි මුතු කැට
අනාගතේ අභියස ඉඳ පැතුම් හෙවන යට
පා ඔසවමි සිනා මලක් රඳවා මුව මත

ජීවිතයේ උරුම සුවඳ රඳවා ඔබ ළඟ
මේ හදවත රැකගනු මැන පුරවා සෙනෙහස
යන්නට දිගු ගමනක් වන මාවත ළඟ ඉඳ 
අත නෑරෙන ලෙස නවතිමි ඔය හිත අභියස

2013.10.27

Tuesday, August 6, 2013

වීරයෙක් වියයුතුමයි!



මරණකොට, 
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!

රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!

ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!

ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!

මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,

වීරයෙක් වියයුතුමයි!

හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....

ඔබ වීරයෙක් වියයුතුමයි!

Wednesday, July 24, 2013

මතක සටහන්!


වල්පොල ස්ටේසම,
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න....

එක්තරා බංකුවක් 
දැවයෙන් නිමැඋන,
උණුහුමට තවමත්
අතීතය සුරකින....
හිනා, කඳුලු, ආදරය
මිතු දම්  සමඟ එදවස්
එක්කර ඇඹූ බිතු රූ
මට විතරක් පෙනෙන,
තාමත් පෙරලෙසම
ඒ පෙදෙස සරසවන....

ඒ පුංචි කඩතොලු පාර
රබර් යායට මැදිව,
යනෙන උන් සහසකින් 
මා සොයා ඉඟි මරණ....
උසට ඇති තෘණ පතෙක
ලියු ඒ අතීතය,
තාම හරි සොඳුරු වග
කොඳුරමින් මට කියන.....

වල්පොල ස්ටේසම
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න!

Tuesday, July 23, 2013

මලෙක අටපෙති



බුදුපුදට නෙලාගත්
කහ පාට මලෙක අටපෙති
පෙති දෙකක් ගිලිහ,
රැදුනාය 
අටපෙති ගාල අසලම
දුඹුරු පෑ පොළොව සිපගෙන!

Tuesday, July 16, 2013

ඉඳහිට දුළබ දවසෙක



මියැදෙන සිහින පිබිදෙත
නොමියෙන සිහින මියයත!

ඉඳහිට දුළබ දවසෙක

නොමියෙන සිහින අතරෙට
මියැදෙන සිහින දකිනෙම් 

මම!

Thursday, July 11, 2013

මියෙන මල් හිනැහේද?....



පිපුනු මල් හිනැහේය
හෙටත් හිරු නැගේ යැයි
හෙටට පෙර සදු දකිනතුරු
පිපුනු මල් හිනැහේය!

මියෙන මල් හිනැහේද
සඳේ මුදු එලිය මැද
යලිත් හිරු නොමදකින
නමුත් පරපුර රකින

මියෙන මල් හිනැහේද?....

Thursday, May 23, 2013

දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!



නිවෙනා මනස නිවනේ මඟ දකින දින,
සුවෙනී එදින සංසාරේ දුක මිදෙන....
බැඳුනේ කෙළෙස් පිරි ලෞකික මිනිස් හිත,
බැමි දැන් මුදමු මෙත් මුදිතා සුවය විඳ.... 

පුදමින් පියුම් සම්බුදු සිරිපතුල් සිඹ,
සිහිකර දිරණ ජීවිතයේ දුකැති බව,
නිළඹර දිලෙන හිරු මෙන් නොදිරනා ලෙස
රැකගන්නට සිතමු කෙලෙසුන් නැසූ හිත....

හදවතපුරා ඉතිරීයන සැනසීම,
පෝදා හඳ වගේ දිලිසේවා නිඹඳ....!
තැන තැන සෑම දැල්වෙන පහනෙහි එලිය,
සැම සිත් එලිය වේවා මෙත් එලිය විඳ....!


දහමෙහි රසය දැන නිති හිත සැනසේවා....!
බුදු නෙත් පියුම් මෙන් කරුණා ඉතිරේවා....!
කුසුමක සුවඳ සේ  සිතුවිලි ඇතිවේවා....!
වෙසඟේ සිරිය හදෙහි නිති පැතිරේවා....!

24/05

Wednesday, May 22, 2013

අම්මා




අහස  
දරා වැහිබිඳු
වැස්ස වී වහීවී

පොළව 
උහුලා ඉමක් දුටුදා
කම්පනය වෙවී


ආදරේ පිරුණ හිත
දරාගෙන
නොසැලී ඉඳී
සදහටම.....

අම්මා

Thursday, May 16, 2013

සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ



දේදුන්නක් වියා තබමි - පැතුම් එකතු කරන් හදේ
සමනල තටු පාට කුමට - ඔය සෙනෙහේ පාට අගේ

දිලිසෙන ඇස් කතාකරන - වචන නොමැති සෙනෙහෙ ගඟේ
පද අමුණමි නෙතු කියවා - හදවත කවි පෙළක් වගේ

වියත් සඳේ රැස් එලියේ - දිලිසෙන සියපතක් වගේ
ඔබ තුරුලේ සැනසෙන්නම් - ජීවිතයේ දුර ගමනේ

මල් මාවත් නොවේ එදා - පසුකර ආ ගමන් මගේ
එක්වී දුර ගමනක් යමු - සංසාරේ පාර දිගේ

(සුබ උපන් දිනයක් - 16/05)