Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Wednesday, May 7, 2014

අද හරියට වැස්ස!

වැස්ස!

මම ආදරය කරන වැස්ස!

මේ මන්දාරම් ගතිය එක්ක ඉබේටම හිත මතක් කරන්නෙ ඉස්කෝලෙ. හරියටම අවුරුදු දහයකින් එහාට දුවන කාලෙ. 

ඒ එක්කම තාත්තා!

සති කීපෙකට කලින් මට මතකයි චූටි අක්කට හැදුන බඩේ අමරුවක් එක්ක ඔට්ටු වෙලා නිදාගන්න ඇඳට ගිහාම මට තාත්තා මතක් උනා, ඉස්කෝලෙ යාලුවො මලගෙදර ආ හැටි, ඊලඟට රොටරිය එහෙ උන සිද්දියක් මතක් වෙලා මං තනියම හොඳටම හිනා උනා. A/L පංතියෙ හොඳම යාලුවත් එක්ක SMS වලින් රෑ 1-2වෙනකල් අතීතය හුවමාරු උනේ මගෙ පොත් මේසෙ අස්සෙ තිබ්බ සමරුපොත මුල ඉඳන් අකුරක් නෑර කියවන අතරෙ. හිනා දියවෙලා කඳුලු පටල ඇස් බොඳ කරද්දි මම නිහඬ උනා. ඒත් නින්ද ආවෙ නෑ. ඒක බොහොම දුකහිතෙන රැයක්! අතීතය එකක් පස්සෙ එකක් මතක් වෙද්දි මම දුක තව වැඩිකරගනිමිනුයි උන්නෙ. 

අතීතය ඒ වගේ! 

මට මතකයි ඉස්සර, මම තාත්තගෙ පපුව උඩ නිදාගත්ත හැටි. එහෙම නිදන්න ආයෙ තාත්තා එන්නෑ. මට ඕන නෑ පපුව උඩ නිදන්න. 

ඒත්, 

තාත්තා! 

මට ඕනෙ! 

අද පාන්දර තාත්තා ආවා. හීනයක් ඇතුලෙන්. ගෙදරින්ම මට විතරක් පේන්න හීන එක්ක ආවට හැමදාම එකම අදහසම අරං එන්නෙ ඇයි?

මරණය!

එක හීනෙක ඔයා මැරිලා. ඒ මරණය ආයෙ ආයේ මට දකින්න ඕන නෑ! ඒත් විකල්පයක් නෑ. ඒක හීනයක්!. 

තව හීනෙක මැරුණ ඔබ මැරිල නෑ. ඒක වැරදීමක්. මම හීනෙන් 'තාත්තා මැරිල නෑ' කියන්නෙ කොයිතරම් බලාපොරොත්තුවකින්ද. ඒත් පලක් නෑ. ඒක හීනයක්!

ඒ එක හීනෙක වත් තාත්ත කතා කලේ නෑ. මදහසක් ඇරෙන්න ඒ ලස්සන හිනාව නෑ. ආලෝකයක් නෑ.

එක්කො හැන්දෑව, එක්කො රාත්‍රිය 

නැතිනම් වැස්ස!

අද හරියට වැස්ස!

පසු සටහන:
 හද රිදෙවු හැඟුම් අකුරු කර ලයට අස්වැසිලක් දෙන්නට දැරූ වෑයමකි.හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!

හිත ඇතුලෙ මතක වැස්සක්,  

ඒත් අකුරු දිය කරන කඳුලු වතුරින් වහින වැස්සක්!

Thursday, March 27, 2014

ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!



හය හතර ඉගෙනගත් පාට වැඩි ඒ කාලෙ
තාත්තා ඇත්තටම ඉන්නවා
දූවරුන් පොකුරෙ- පොඩි, සිවුවැන්නි මම තමා
මතක මට මහගොඩක් වටිනවා

අද වගේ ඒ කාලෙ කතිර ඉල්ලන් ආව
මාමලා මතකයේ මැවෙනවා
රතු පාට මැයි මලෙක පාට ලස්සන නෙද
මාමලා ටිකට් පොත් ගේනවා

ගිණි ගහපු දහවලේ ගිණි පුළිඟු දිලිසෙද්දි
තාත්තාගේ වචන ඇහෙනවා
"පුතෙක් වැදුවේ නැතත් - පුතෙක් උන්නා මටත්!"
ඒ පුතා නොවටීද? අහනවා

රටක් වෙනුවෙන් නේද?- ඔබත් විරුවෙක් ධීර
මාමලා පයක් පහුබසිනවා
රටක් වෙනුවෙන් නෙවේ - පක්ෂයක් වෙනුවෙනුයි
ගිණි පුළිඟු දියවෙලා වැටෙනවා!

රතු පාට මැයි මලෙක නොදුටු අයියා ඇන්ද
ලේ සුවඳ හෙමින් මට දැනෙනවා!

Friday, July 19, 2013

ඒ ජීවිතේ කටුකයි !!

කොළඹ හුළඟ පාන්දරට හරි මුදුයි. කොටුවෙ ස්ටේශන් එකේ තිබ්බ මුත්‍රා ගඳ ඒ පාන්දරට එකතු කරේ මහ අපුලක්. අපරාදෙ. අනුරාධපුරේ යන්න ලෑස්තිවෙලා බඩුමලු පොදි ගහගෙන යද්දි නම් පොඩි කම්මැලිකමක්, යන්න බෑ බෑ වගේ හැඟීමක් හිතේ රවුම් ගැහුව බවනම් ඇත්තයි. අන්තිමේ.... හරියටම නියමිත වෙලාවටම කෝච්චිය අනුරාධපුරේට පිටත් උනා. 

පැය හතරක ගමනක්! 

ටික ටික රේල් පාර අද්දර තිබ්බ ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල් නැති වෙලා ගියා. ගස් කොළං පවා ටික ටික පුංචි කොල තියන ගස්වලට හැරිල තිබ්බා. යායට තියන කුඹුරු ලුමිනස් කොල පාටට ලස්සනට තිබ්බත්, හරි විසාල වැවුවල කාලෙකින් වැස්සෙ නැතිබව කියන්න වගේ වතුර ටිකක් අඩුවෙලා තිබ්බ. ඒත්, ඒ වැවු වල එවෙලෙත් දම්, රතු, රෝස,  සුදු පාටවලින් පිපිච්ච ඕලු, නෙලුම්, මානෙල් මල් තිබුනා! කොළඹ  උදේ එලියට වඩා කහපාට උදේ ඉර එලියක් ඒ පැත්තට පායලා තිබුනා.   

උදේ 11.00 වෙද්දි අපි අනුරාධපුරේ ස්ටේශන් එකෙන් බැස්ස. වෙනද දකින ඉර එලියට වඩා ටිකක් වැඩිපුර කහපාට ඉර එලියයි, තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකයි  හිතට හරි කාන්සියක් එකතු කලා. මහ සෙනගක් දැන් ආව කෝච්චියෙන් බැස්සද කියල වගක්වත් නැතුව හතර අතම පාලුවක් නිහඬ කමක් ඇදෙමින් තිබ්බා. ඒ නිහඬ කම, ඒ ඉර එලියෙ තිබ්බ වැඩිපුර කහපාට, මහ විසාල පාරවල්, ගඩොලින් නිමවපු ගෙවල්, උඩුකය නිරුවත් පිරිමි සහ දරුවන්.. දාඩිය නොදාන ඇඟ ඇතුලෙම එහෙ මෙහෙ දුවන උණුහුම, වේගෙන් හමන උණුහුම් හුළඟ.... අනුරාධපුරය අපට හඳුන්වා දෙමිනුයි උන්නෙ. 

තාත්ත ඉන්න කාලේ අපි අනුරාධපුරේ ආව ගමන් දෙකක් ඒ තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එක එක්ක මතකයේ උඩටම ඇවිත්, අපි එතනින් නැන්දලා ගෙ ගෙදරට යන්න පිටත් වෙද්දි මම අනිච්චානුගවම හිතින් "තාත්ත එනකල් ඉන්නැද්ද" කියල අහන ගමන් ආපහු හැරිල බැලුව.

 පිළිගන්නවද? ඒක එහෙමම උනා!

 හරියට තාත්තත් අපි එක්ක ආව වගේමයි මට හිතුනේ. මොහොතකට තාත්ත අපි අනුරාධපුරේ ගිහින් මාස ගානකට පස්සෙ අන්තිම හුස්ම හෙලපු බව මගෙ මතකයෙන් මැකිල තිබුනා!

නැන්දලාගෙ ගෙදරදි හම්බඋන රසම රස පැණි දොඩම් විදුරුව (මම වීදුරු දෙකහමාරක්ම බීවා) ගත වගේම හිතත් සැහැල්ලු කලා. නැන්ද බැඳල දීපු බත් මුල් අරගෙන, ඒ අක්කල දෙන්නයි, චූටි දුවයි, පුතයි එක්ක අපි නාච්චදූව වැවට ගියා. 


වැවට යන අතරෙමගදි අපි දැක්ක වැවු, ඒවයෙ නාන ගැහැණු සහ දරුවන්... ඒ හැමෝම තෙත බේරෙන කොණ්ඩා ඇතිව අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. කෙනෙක් අත වවන්නත් ඉදිරිපත් උනා. ලස්සනට පැල ගොයම දලු දාල තිබ්බ. වේලිල තිබ්බ ඇල පාරවල් වලට නාච්චදූව වැවෙන් වතුර මුදා හැරල, ඒවට වතුර ගලා එමින් තිබුනා.

 නුවර වැව, තිසා වැව වගේම නාච්චදූව වැව හරි ගාම්බීරව රැලි නග්ගමිනුයි උන්නෙ. අපි හැමෝම නෑව. දවල දෙකේ ඉඳන් හවස පහ වෙනකල්ම නෑවා! නෑවා! නෑවා!  කර වටක් වතුරෙ බැහැලා... මතක්වෙද්දිත්......අනේ තවත් ඉන්න තිබ්බනම්.... නාල! නාල! ගැහෙන තරම් සීතලේ ගොඩට ඇවිත් අලුත් ඇඳුම් ඇඳගෙන නැන්ද දීපු බත් කද්දි! වැවු මාලු, කතුරුමුරුංඟා කොළ, කිරට හින්දල ඉවුව පරිප්පු, එක්ක මලුවෙක්ගෙ හැඩේට හදපු රසම රස පපඩම්!

ආයෙ එද්දි අර ඇල පාරවල් පිරිල ටිකක්. අක්ක කිවුව හෙට එලිවෙද්දි හොඳටම පිරෙයිලු. ආයේ බලන්න යන්න නූන එකට මටනම් දුකයි. ඇලවල් වලින් නාන පිරිසට දැන පිරිමි උදවියත් එකතු වෙලා. එයාල එවෙලෙත් අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. ලා ගොයම හුළඟ එක්ක වැනි වැනී ලස්සනට පෙනුනා.

ඒ මිනිස්සුන්ගෙ හිනාව,  ඒ කුඹුරු යායවල්, වැව, ඇලවල් හරිම ලස්සනයි. 

හරි කලාත්මකයි!

 ජය ශ්‍රී මහ බෝධියෙත්, වැවෙත්, පිහිට එක්ක කුඹුරු හේන් කවදත් අස්වැද්දෙනව ඇති. නියඟෙට වැවු හිඳිල බොන්නත් වතුර නැති කාලෙක ඒ වගා වේලිල ලැවු ගිනි වලින් ගිනිගන්නව දකිනව ඇති.  වැස්සට වැවු පිටාර යද්දි, වාන් දොරටු ඇරෙද්දි ලස්සන කුඹුරු මඩ පාට වතුරින් යටවෙනවත් දකිනව ඇති. ඒත් හැමදාමත් කුඹුරු හේන් අස්වැද්දෙනව ඇති! 

නාච්චදූව වැව දාල එන්න බැරුවද මන්දා හිතේ අර හැමුව හුළඟ වගේම රස්නෙ හුස්ම ගුලියක් හිරවෙලා එවෙලෙ මට හරියට කරදර කරමිනුයි උන්නෙ. 

අක්කලාගෙ ගෙදරින් හම්බ උන රසම රස තේක! කෝන් ගෙඩි! සහ හෘදයාංගම අල්ලාප සල්ලාපය! ආයෙ නැන්දලෑ ගෙදරින් රෑට ඉඳි ආප්ප, කිරි හොදි,  පොල් සම්බෝල එක්ක අතීතාවර්ජනය! 

මට පෙනුන එයාල හරිම සතුටින් ඉන්න හැටි. ඒ එක්කම දැනුන ඒ ජීවිතේ කටුකයි කියලත්. 

පහුවදා පානදරින්ම නැන්ද කඩාගෙන ආව නෙලුම්, ඕලු මල් අරගෙන අපි ජය ශ්‍රී මහ බෝධින් වහන්සෙත්, රුවන් වැලි මහ සෑයත් වන්දනා කලා. කොයිතරම් සෙනඟ ගැවසුනත් ඒ වටපිටාවෙ තිබ්බ අමුතු නිහඬ සහ නිස්කලංක බව, ඉර එලියෙ අමුතු කහපාට හැමතැනම පැතිරිලා තිබුනා. මම ඒ ස්වභාවයට අනුගතවෙමින් උන් නිසාද මන්දා ඒ විලාසයට ඒ වෙද්දි මම ඇලුම් කරමිනුයි උන්නෙ. 

හවස ගෙදර ඇවිත් ආපහු ගෙදර පිටිපස්සෙ තිබුන වැවට අපි ගියේ ඕලු, නෙලුම්, මානෙල් පැල අරං එන්න... වත්තෙන් එපිට හේන් හරි කුඹුරු හරි වලට සකසාපු වේලුන තණකොලින් වැහුන වගා බිමක් ඉන් පස්සෙ තැනිතලාව... තැන තැන පුංචි කොළ ඇති ලොකු ගස්, ඉතිරි ඉඩ වේලුන තණකොළ වර්ග වලට වෙන් වෙලා. ඊට යටින් පොළව ලොකු කුට්ටි වලට ඉරි තලලා. තව යද්දි ඈතින් ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු මල් පිපුන වැවක ශේෂයක්... හිඳුන ඉතිරියෙ වේලිලාගිය  ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු නටඹුන්. 

"වහිද්දි වතුර ගේ හරියටම එනවා".

 පොඩි අක්ක කීවෙ හිනාවෙලා. ඒත්, ඊට වඩා බර කථාවක් ඒ අස්සෙ තිබුනා. වේලුන තණකොළ දකිද්දි... ඒ තැනිතලාවත්, වැවත්, පුංචි කොළ ඇති ලොකු ගසුත් දකිද්දි මට මතක් උනේම අලි!

 " අලි නැද්ද" 
ඉතිං මං ඇහුවා

 " නෑ, අපෝ අලි හිටියනම්...." 
අක්ක උත්තර බැන්දෙත් හිනා වෙලාමයි!

හවස 4.00ට ආපහු යන කෝච්චිය. තව ඉන්න ඕන වගේ. අක්කලත්, නැන්දත් කීව ආයෙ එන්න කියල, ටිකක් වැඩිය ඉඳල යන්න. ඊට වඩා ලොකු කථාවක් අපි සමුගනිද්දි නැන්දගෙ ඇස්වලින් පේලියට වැටුන කඳුලු සද්ද නොකරම කිවුවා. 

තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකටත් සමුදීලා ආවෙ හරිම කාන්සියකින්.... කෝච්චිය ආවට වඩා වේගෙන් කොළඹ දුවනව වගෙයි හිතුනෙ. නැන්ද ලිපෙන් බාපු ගමන් මල්ලට දාල දුන්න උණුම උණු බඩඉරුගු කරලක් කකා එද්දි, අනුරාධපුරය ටික ටික වේගෙන් ඈත් වෙමින් තිබුනා. ලා ගොයම් යායවල් සීතලට පහුඋනා. වේලුන වගා බිම්වල මොණරුන් උන්නා. ඕලු, නෙලුම්, මානෙල් මල් වැවුවල පරනොවී තිබුනා  නාමින් උන් ලොකු කුඩා උන් නැවැතිල්ලේ කොච්චිය දිහා බලා උන්නා. පොඩි උන් අත වැනුවා. පුංචි කොළ ඇති රූස්ස ගස් නිසොල්මනේ ඉද්දී කෝච්චිය වේගයෙන් කොළඹ දිවුවා! 

හිතුවාට වඩා ඉක්මනට අඳුර ගලා ආව නිසා ගස්වල පුංචි කොල ආයෙත් විශාල උන හැටි දකින්න නම් බැරි උනා. ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල්වල නිවැසියෝ ඒ වෙලාව වෙද්දි දවසෙ අවසානයට ලෑස්තිවෙමිනුයි උන්නෙ. 

කොළඹ හැන්දෑ හුළඟ ත් ටිකක් හීතලයි. දූවිලි අංශු ඒවයෙ තැවරිලා වගේ මට අමුතුවෙන්ම හිතුනා. රෑ 8.00 වෙද්දි අපි මරදානෙන් බැස්සා. මුත්‍රා ගඳ බොහොම දරුණුවට මේ පාර දැනුනා.

අනුරාධපුරයත්,  ස්ටේශමේදී තාත්තා අප සමඟ ආවා කියල දැනුන හැඟීමත්, නාච්චදුව වැවත්, එහි වතුර කුඩා ඇල පාරවල් වලට ගලා ආ අයුරු දැකීමෙන් දැනුන හැඟීමත් මගේ හිත නොතේරෙන සාංකාවක් වගේ තත්වයකට පත්කරල වගේ.

අපි දෙන්නා විවහ උනාට පස්සෙ හිතා උන්නෙ අනුරාධපුරේ යන්න. එයාගෙ අත අල්ලන් හැන්දෑවක රුවන්වැලි සෑය වඳින්න යන්න. පස්සෙ නුවර එලියෙ යන්නත් හිතුව. එයාට මම කිවුව අපි ඉසල්ලාම අනුරාධපුරේ යං කියල. 

එයා කැමැත්ත දුන්නා!

පසු සටහන:

ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම  ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ. 

මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී.  හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.

අනුරාධපුරය, එහි දුම්රියපළ, නාච්චදූව වැව සහ තාත්තා! 
එක්ව මහිත තුල කැරැල්ලක් ඇතිකර ඇති සෙයකි.

හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!

Tuesday, February 12, 2013

සුභ උපන්දිනයක් තාත්තේ!




සුභ උපන්දිනයක් තාත්තේ!

ඉස්සර මට මතකයි  කාලෙ අපි හරි අමාරුවෙන් ජීවත්උනේ. ඒත් අපේ කාගෙවත් උපන්දින මතක තියන් නූන්නත්, අහම්බෙන් හරි මතක්උන දාක තාත්ත හැන්දෑවට අපි කට්ටියටම මොනාහරි ගෙනාව. Yogurt එකක්, කිරි Packet එකක් උනත් හරි වටින දෙයක් උන කාලයක් ඒක. සමහරවිට, ඔවු මට දැන් හිතෙනව,..... සමහරවිට තාත්තට  දින මතක තිබ්බත් මතක නෑ වගේම ඉන්නත් ඇති.

 එක්තරා අතීතයක්....

අන්තිමේ, අක්කල තුන්දෙනාම රස්සා කරල අම්මටයි තාත්තටයි මගේ පළවෙණි පඩියෙන් කියල තෑගි අරන් දුන්න කාලෙකුත් ආවා. මං දන්නව කවදාවත් මහ ලොකුවට බලාපොරොත්තු නූන තාත්තට ඒක මහමෙරක්. මට දුකයි. හරිම දුකයි...... ඇයි මට විතරක් බැරිඋනේ?

මගෙ පළවෙණි පඩිය මට ලැබෙද්දි තාත්ත නෑ!.

තාත්තේ,
දන්නවද? ගෙවිච්ච අවුරුදු 10කට වැඩි කාලෙ ඇතුලෙ ගොඩක් දේවල් උනා. තාත්ත හීන දැකපු දේවල්, හැබෑ උනා

ඒත් තාත්තා නැතිව.

ලොකු අක්ක මනාළියක් උනා, පෝරුව  ළඟට එයාව එක්ක ආවෙ ලකෂ්මන් බාප්පා, තාත්තගෙ මල්ලි. ඒත්  තාත්ත නෙවේ!

මතකද අර සිංදුව

"පුංචි දවස්වල නින්දට යද්දී....."
 ඉස්සර අර අපි රෑට Current නැති උනාම ඉටිපන්දම් එලියෙන් කිවුවේ?

ලොකු අක්ක පුංචි මුණුඹුරෙක් එක්ක ආව තාත්තෙ!.

කෙල්ලොම හතරක් හදල වඩල, හිතේ අස්සෙ හංඟපු කොල්ලෙකුට තිබ්බ ආදරේ අහල පහල හැම දරුවටම බෙදල දුන්නනෙ තාත්තා. හැමෝම පුතා හුරතල් කරන ගමන් තාත්තව සිහිකරනව.

දැනෙනවද තාත්තෙ  වේදනාවෙ තරම?

චූටි අක්ක මනාළියක් උනාමත් එයාගෙ අතින් අල්ලන් එක්ක ආවෙ බාප්පා.
ඒත් තාත්තා නෙවේ.
එයා එන මාසෙ පොඩි දෝණියෙක් එක්ක එන්නයි ඉන්නෙ.

අනේ තාත්තත් උන්නනම්.... අපි නිතරෝම හිතනවා.

මගෙ අක්කත්, සමහරවිට ලබන අවුරුද්දෙ මනාළියක් වේවි.
ඉන් පස්සෙ මමත්....

තාත්ත එන්නෙ නෑ නේද? දන්නවද තාත්තේ  තනිකමේ ගැඹුර?

'තාත්තා' ජීවිතේ වටිනම මොහොතක ජීවිතේට වටිනාකමක් දෙන්න අම්ම එක්ක මහන්සි උනා. ජීවිතේ වටිනාම දවසෙදි අපිව තනියම නතර කරල ගිහින් අද.

අම්මා නිතරෝම කියනව. ඉන්න තැනක ඉඳන් තාත්ත අපි දිහා බලනව කියල.ඒකනෙ මොනාහරි විශේෂ දේකදි තාමත් තාත්තගෙ පිංතූරෙ දිහා බලන් කතාකරන්නෙ තාත්තට.

 ආදරේ අම්ම කොහොම දරාගන්නව ඇද්ද?

කියන්න, බෙදාගන්න දේවල් කොයිතරම්ද? මට දැනෙන්නෙ නෑ

අවුරුදු 10කට කලින්  ජීවිතේ ආයෙ එන්නෑ. ඇත්ත. ඒක ජීවිතේ.... ඒත් තාත්තත් උන්නනම්.... නිතරෝම හිතෙනව.

සුභ උපන්දිනයක් තාත්තේ!

පෙබරවාරි 12

~~~~~~


හැමදාම
දලුලන අතුරිකිලි දැක,
සතුටට ඉනූ කඳුලුත්
පොහොර කර අපටම බෙදන
අම්මාය මුදුන්මුල.....,

කවදාවත් අතහැර නොයන
ආදරය උණූහුමට රැස්කර,
අපි සැවොම දරාගෙන
නොසැලෙන මහපොළව....,
තාත්තේ, ඒ ඔබය!


Friday, September 7, 2012

තාත්තේ, ඒක හරි ලොකු කාලයක්!



ඒ කාලෙ හරිම ලස්සනයි! 

මං අද හිතනවා. 

ඒත්, 
එදා ඒ ලස්සන මට දැනුනෙ අඩුවෙන්. මම ඒ ලස්සන කාලය ඇතුලෙ ජීවත් උනා, ඒ ජීවිතේ වින්දා...
 ඒත් එදා මේ තරම් නොදැනුනට අද මට මතක් වෙද්දි හරිම අසරණ කමක් හිතට දැනෙන්නෙ. ඒ, ගෙවුනු වසර ගානම ඇතුලත ආයෙ කවදාවත්ම නේන ලස්සනම කාලෙ ඒ අවුරුදු ගාන හන්දයි.

ආයෙත් ඒ දවස් නේන්නෙ තාත්තේ, ඔයා තවත් එන්නෙ නැති හංදයි.


හීන... 

අපි එකතුවෙලා දැකපු හීන වලින් එ,ක දෙක අද හැබෑ වෙනව. ඒත්, ඒ ඔයා ළඟ නැතුවම. 

අද තාත්තත් උන්නනම්...... 

ඔයා තමා ඒ හැබෑ උන හීනවල සතුට වැඩියෙන්ම විඳින්නෙ... 

ඒත් අද ඔයා නෑ.... 

බිඳිල ගිය හීන ළඟදි හයියක් වෙන්නවත්, හැබෑ උන හීනවල සතුට බෙදාගන්නවත්......

අවුරුදු දහයක්!
ඒක හරි ලොකු කාලයක්! 

කියාගන්න මොනාදෝ ගොඩක් නලියන හිතක් එක්ක මුකුත්ම කියාගන්න නොතේරෙන හැඟීමක්,  උඟුර ගාවම ඟුලි ගැහුන දුකක්,  ඒත් එක කඳුලක්වත් හලන්න බැරිව වේලුන ඇස් දෙකක් මාව හරියට රිද්දනවා. 


තාත්තේ, ඒක හරි ලොකු කාලයක්! 

මතකයන් ඉහිරිච්ච මාවතේ
හෙන්දිරික්කා මලින් කවි ගෙතේ
 දුර ගමන නිම් නොදත් ජීවිතේ
ඔබ කිවු කවි වලින් සැරසෙතේ....


වැහි සමේ උණුහුමක් දවටලා
හදවතේ මතකයන් තවරලා
පිණි කඳුලු නොසලන්න යැයි කියා
ඔබ ගිහින් දුර ඈත සැඟවිලා....

තරු අහසේ සිත්තමක නැවතිලා
මදහාස ඔය මුවග තවරලා
ආදරේ පවන් රැල් සල සලා
අපි දිහා බලන්නේ තාත්තා....

 (2012.09.10)

Friday, September 9, 2011

තවමත් තාත්තේ



වැහි කලුව ඉහ ළඟින්
අඳුරු රූ මවන සඳ,
පියාඹන කාලයට
ඉටිපහන් සැලෙනවද?
සොහොන් බිම හීතලට
තාම හිත ගැහෙනවද
පෙර දිනක විඳි තුරුල
එහිත ළඟ අඞනවද?
නිහඞ හදවත ළඟම
කඳුලු කැට බිඳෙන සඳ
අහසටත් වඩා උස
හිත තවම තෙමෙනවද?
පණගහන පැතුම් ළඟ
ජීවිතය සැලෙන සඳ
ආදරය පොඩිත්තක්
හුළඟ අත එවනවද?
මල් වඩම් කෝ....කොහෙද
දේදුන්න වියනවද?
වාරුවක් වී ඉන්න
හීනයක එතෙනවද?
තාත්තේ, මගේ හොඳ,
නිසංසල කොපුල් මත
වැටුන ඒ කඳුලු බිඳ
තවම ඔබ රකිනවද?

2011/09/10

Tuesday, March 29, 2011

තාත්තා



ලෝකයේන්ම හොඳම තාත්තා ඔහුයැයි කීවොතින් අතිශයෝක්තියකි. නමුත්, මගේ ලෝකයේ, මා ගැටෙනා සමාජයේ ඔහු හොඳම තාත්තාමය.

සමාජය හමුවේ ඔහු එඩිතරයදැඩියයුක්තිගරුකය... එනිසාම සිය රාජකාරි දිවියේ ඔහු විඳි කෙනහිලි එමටය. නමුත් කිසිදා  පසුබට නොවුනු ඔහු අසාධාරනය හමුවේ කිසිදා දන නොනැමූවෙකි. බලකාමය හමුවේ  මංමුලා වුවන් ඔහු හමුවේ ඔහුට ද්රෝහි උවද, හිත්හී පවා ගෞරවයක් ඔහු කෙරේ ඇතිවූවාට සැකනැත.
  
මධුවිත... ඔහුගේ ජීවිතයේ එකම දුර්වල කම වියආර්ථික අතින් ඔහුගෙන් වන්නට තිබු යුතුකම් හමුවේ ඔහු පරාජයවූන විටෙක එහිලා මධුවිතටද සැලකිය යුතු බරක් හිමිය. රැකියාවෙන් අනිසි ලෙස ඉපැයීමට විරුද්ධ වූ ඔහු මියගියේ අඩක් නිමැවූ නිවෙසකය ජීවිතයේ ඔහු ඉපැයූවක් වෙතොත්  එය ඔහු වියදම් කලේ සමාජ සේවයට සහ මත්පැනටයි. සමාජය විටෙක ඔහුගේ චර්ය්යාවන් දෙකම අනිසි ලෙස සිය වාසියට හරවා ගත් අවසථා එමටය.

වටිනාකමක් නොතිබු සාමාන්ය් ලිපිකරුවෙකුගේ අවධියේදි ඔහුගේ ජීවිතය බාල්දු කල උන්, නිලයෙන් ඉහලයත්ම ඔහු වටා පැල් බැඳගන්නට විය. උන් එකෙකුටවත් වෙනසක් නොකල ඔහු කාගෙනුත් බලාපොරොත්තු වූයේ සිය හදෙහි පවතින අවය්යාජ ගති ගුනමය.

නීතිය, අසාධාරනය හමුවේ දැඩි පිලිවෙතක් දැරු ඔහු, ආදරය හමුවේ, සොදුරු මානව වාදියෙක් විය. මහ පොළවේ පයගසා සිටිමින්ම ඉහල සමාජ තලයේද කරක්ගැසූ ඔහු කිසිදිනෙක තම අතීතයේ මතකයන්  මරානොදැමුවේය.

"පාත ඉඳන් අපි ආවේ නා මල් පූජාකරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න"

මේ ඔහු ප්රිය කල ගීයකි. සමාජයේ නින්දා සහගත අදහස් හමුවේ තැලී පොඩි වී සිටි ඔහුට සිය ජීවිතයේ විශේෂ තැන් කීපයකදීම බැටකන්නට සිදුවී තිබුනි. නමුදු ඔහු දිරියෙන් ජීවිතය   දිනද්දීත්, නිළ තළ හමුවේ පෙර තමන් පිලිකෙවු කල උන් යලි තමන් වෙත ළං වෙද්දීත්,  උසස් යැයි සම්මත ඌවන්ට වඩා මානුෂික බැඳීම් හමුවේ මිනිසත් කම ක්රියාවෙහි යොදවද්දීත් ඔහු සමාජය දෙස බැලුවේ පුරුදු මිනිසත් කමෙන්මය.  ඇති -හැකි කල පුලුවන් උපරිමයෙන්ද, නැති-බැරි කලත් අයුරින්මද සමාජයට මෙහෙවරක් කිරීමට ඔහු සමත් වූයේ එබැවිනි

ඔහු ප්රභල සමාජ වාදියෙකි... එමෙන්ම වාමාංශික දේශපාලන මතයක් දැරූවෙකි... නමට නොව, වාසියට නොව, හුදෙක් සමාජ මෙහෙවරක් කිරීමේ පුලුල් පරමාර්ථයෙන්ම එසේ වූවෙකි.

ආදරය කරද්දී ඔහු තරම් සුන්දර කෙනෙකු තවත් නැත.  අම්මා ඔහුගේ ජීවිතයේ සැලකිය යුතු කොටයසකහිමි කාරිය විය. ආර්ථික අපහසුතා හමුවේ මෙන්ම, මධුවිත නිසාද හෙම්බත් වූවාට සැකයක් නැත. නමුත් ආදරය කිසිදා අඩුවූවා යැයි මා දැක නැත.  ආදරෙ වග ලොවට හඞගා කියන්නට ඔවුන්ට උවමනාවක් නොතිබ්බේ බාධක හමුවේ උව ඔවුන් ආදරය හැබෑවටම කියවමින් උන් නිසායැයි හැඟේ

කලක් පෙම්වතුන්ව සිට, විටෙක නෑසියන්ගෙන් කෙනෙහිලිද ජයගෙන, විවාහ වි, දරුවන් සිව් දෙනෙකු ඇති දැඩිකල සිය ජීවිතයේආදරය’ යන වචනයෙහි අරුත මොනවට සටහන් කල, නවමු ජීවිතයක උස් පහත් තැන් හමුවේ සෙවනැල්ල ලෙස  ළඟ උන්, සිය ජීවිතය පුරා අස්සක් මුල්ලක් නෑර කිසිදා නොමැකෙන මතක කැටයම්කල පිරිමියා’ හා අතිනත් ගත් දා ඔහු පැළඳි තමන් තිලින කල ටයි පටියත් පැළැඳ ඔහු අප හැරදා ගිය දින අවසන් නින්දේ සිටි ඔහු දකිද්දි අම්මා  කුමක් සිතුනාදැයි මට සිතාගැනීමට බැරිය. තමන්ගේම සුදු සේලයකින් තැනූ පාවඩයක් මතින් ඔහු අවසන් ගමන්යද්දී අම්මාට දැනුන සිතුවිලි කෙසේ වන්නට ඇද්දයි සිතෙත්දීත් නෙතඟට කඳුලු එන්නේ නිතැතිනි.

දරුවන්ට බොහෝ ඇලුම් කල ඔහු, සිය දූවරු සිව්දෙනා අතරට පුතෙකු කෙරෙහිද  අප්රමාන ඇලුම් කරන්නට ඇත.

"
සිරිපාදේ වන්දවන්න හිස ඕඩියල් බැඳලා.... සිරි මා බෝ සමිඳුනි මමපිරිමි පුතෙක් පැතුවා...."

මේ තවත් ඔහු ප්රියකල ගීයකි.

එනමුදු ඔහු උත්තරීතර පීතෲත්වය හමුවේ සොඳුරු තාත්තා කෙනෙකු වීය. පිය සෙනෙහස නොඅඩුව පිරී තිබූ හදවත අපට මහමෙරක්ම විය. උස් මහත් වී වැඩි විය පැමින උන්නද ඔහු එකලද අපට නැළවිලි ගී ගැයුවේය.

“අහස ඉහල - පොළව පහල
අහසේ නිල - බිම තණකොල
මල් පඳුරූ - වල සොඳූරූ
පැණි මියුරූ - බොතිබමරූ”

මේ එදවස නිතර ඔහුගේ ගඹුරු ස්වරයෙන් ගැයුන නැලවිල්ලකි

කිසි දාක "උඹ මේ විදියට කරපන්" "උඹ මේ තත්වෙට එන්න ඕන" කියා ඔහු අණ කරනැත. ජීවිතේ ඔහු ලද ජයග්රහන එකක්වත් එලෙස අප නොලැබුවත්, කිසි දා අපට සම්බන්ඳව පෙරෙත්ත කර හෝ කෑ ගසා නැත. නමුත් අප නිවැරදි මඟට යොමු කරන්නට ඔහු සමත් විය.

මම පාසැල් ටයි පටිය ගැට ගසාගැනීමට උගත්තේ ඔහුගෙනි. සපත්තු ලේස් ගැටගසන්නට උගත්තේ ඔහුගෙනි. වයස අටක් වන් කාලයේ මා ටයි පටිය කරවටා දමාගෙන ලේස් ගැටනොගැසූ සපත්තු අද්දමින් ගොස් ඔහුව ඇහැරවයි. කිසි දිනක එවා ගැටගැසීමට ඉගෙන ගන්නැයි ඔහු මැසිවිලි නොනැගුවෙය. නමුත් ඒවා මට ඉගෙන ගැනීමට පහසු වන සේ ඔහු ගැට ගැසුවේය.

අම්මා කොන්ඩය වැවිමට එපා කියා කීවේ උදේ සියලු වැඩ අතරේ අපේ කොන්ඩා ගෙතීමට අපහසු නිසාය. අප මැසිවිලි නගද්දී,

"අර පල්ලෙහා ගෙදර ළමයිත් සේරම කොන්ඩෙ වනවනේ ඔන්න ඔහේ වවන්න දෙමු" කියා අවසර ඉල්ලා දුන්නේ ඔහුය.

අම්මා නැති වෙලාවට බඩගින්නට කඩචෝරු ඉල්ලද්දී දවල් බත්වලින් Fried Rice සෑදීමට කියාදුන්නේ ඔහුය. මේ ලොව මා දන්නා දරුණු මෙන්ම හොඳම තුවාල වලට බෙහෙත් දමන්නා ඔහුය. අප තුවාල වී සිටිනු අසු වූ වොත් , අප අල්ලාගෙන අතුල්ලා බේත් දාන්නේ මරහඞ තලද්දී මුත්, තුවාල ඉක්මනින් සුව උනාය.

හැන්දෑවට සුළැඟිල්ල අල්ලන් පාර දිගේ ඇවිද්දේ ඔහු සමගිනි. ඒ හා ඔහු සොබා දහමට අප ළං කලේය. රාත්රියේ විදුලි විසන්දි වූ විට ඉටි පන්දම් එලියෙන් සිංදු කියන්නට ආසාව ඇතිකලේ ඔහුය.

"ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රෑස් වතුරේ කිමිදෙන්නේ....
රන් තරු බැබලේ - නිල් ආකාසේ
ලස්සන මල් වාගේ...."

මේ ඔහුගේ ප්‍රියතම Old Hits වලින් එකකි.

මා කියවීමෙහි රුසියෙකු කලේද ඔහුය. පුස්ථකාලයේ සාමාජිකයෙකු වූ ඔහු එකකට පසුව එකක් ලෙස පොත් කියවූවේය. තේරීමකින් තොරව ඕනෑම පොතක් අපටත් කියවීමට බාදා නොපැනවූ ඔහු කිසිදාකියවන්නැයි බලකලේද නැත. අප පාසලේ සිට ගෙදර ආවේ සතිපතා පත්තරය පළමුවෙන් කියවීමට පොරකමිනි. එහිද කියවීමට දෙයක් නොතිබුනද, කියවීම හුරුකලේ ඔහුය. අවසානයේ දිනපතා පුවත් පතට ගෙවීම පවා අපහසු වූ අවදියක අප සති අන්ත පුවත්පතට හුරුකලේද ඔහුය.

අප කුඩා උන් අවදියේදි ටින් ටින්, දොස්තර හොඳ හිත වැනි කාර්ටූන් බැලුවේ තාත්තා සමඟය. හවස 5  ළං වෙද්දී "මෙන්න ටින් ටින් යනෝ" කියා කෑ ගසා ඔත්තුව දීම ඔහුගෙන් පසු කලෙක මටත්, බාල අක්කාටත් පැවරුණි හවස 5 සිට 6 දක්වා කාර්ටූන් බැලූ අපි හවස  6ට බුදුන් වැඳීමට හුරු කලේත් තාත්තාය.ඒ මතුද නොව අප නිවෙසේ සියල්ලන්  ක්රිකට් ලෝලීන් කිරීමේ මුල් අඩිතාලමද තාත්තාය.

ආදරය මුවින් නොකීවත්, අසනීප දවසක ගෙදර එනවිට රැගෙන මුද්දරස්පලම් 100g, අපේ ගැටලුවකට අප හඬද්දී, ඇසට නැඟි කඳුලක, විභාග ප්රතිපල දා වෙනදාට වඩා මධුවිතෙන් මත්වීමක පවා තාත්තාගේ ආදරය ලියැවී තිබුනි.

 ඔහු මා ලේඛිකාවක් වනවාට ආසා කර තිබුනි. මම එය දැ ගත්තේ ඔහු මිය ගොස් දින හතක් ඇවෑමෙන්  අප නිවසේ තිබූ පින්කමට සෑම් අංකල්ගෙනි’. මා තාත්තා ගැන ලියු රචනාවක් මගේ පොත් මේසෙ සඟවා තිබියදී ඔහුට අසුවනු ලදුව ඔහු එය කියවා ඇත දැක මහත් සතුට පත් ඔහු එය සිය මිතුරා සමගින්ද බෙදාගෙන ඇත. එදා තාත්තා සෑම් අංකල්ට කියා ඇත්තේ "චූටි දූ නම් දවසක ලස්සනට ලියයිකියාය. මා මෙහිදී යමක් විශේෂයෙන් කිව යුතුමය. මා හිත පාරන්නක් උවද මා එය කිව යුතුය. එදා මා වයස 10 තරම් ළදැරීයකව සිටි සමයේ තාත්තා මා දිනෙක ලේඛිකාවක් වෙතැයි සතුටු වූයේ, මා පාසැල ඇරී බසයෙක නැඟී නිවසට එද්දී, තාත්තා බමන මතින් එහි සිටිනු දැක උපන් දුකින් ලියූ ලියවිල්ලක් කියවාය.

 අද තාත්තා අප අතර නැත. ඉටු නොවූ බලාපොරොත්තු කන්දක් ඔහු සමඟම මියැදී ගොස්ය. ඔහු ආසාවෙන් දුටු සමහර හීන අද ඔහු නැතුව හැබෑ වි ඇතඑදා ඔහු අපට කී නැලවිලි ගී අද නිතර යලි ඇසෙද්දී ඔහුත් උන්නානම් කියා හිතෙන්නේ හිතේ දුක කදුලු වලට හරවමිනි.

නමුත්, ඔබ අද මෙහි නැත මතකය පමනක් දිරියක් වෙමින් සදාකාලිකව අප සමඟ රැඳේවිඔහු නොඑන්නටම ගියේ මතකයන් සියල්ල අප සිත්හී සදාකාලිකවම නිදන් කරමිනි.  නේක බාදා හමුවේ ජීවිතය දිනන්නට ඔහු සමත් වූයේ,   ජීවිතයේම කඩඉම් විසින් මුවහත් කරනු ලදුව සවිබල ගැන්වුනු හෲද සාක්ෂිය විසිනැයි මම විශ්වාෂ කරමි

ඉන්නා ඉසව්වක සතුටින් ඉන්න තාත්තේ. ඔබ මගේ ලෝකයේ හොඳම තාත්තාමය.