Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Thursday, May 22, 2014

චිත්‍ර

"යමුද එහෙනම්...."

"හ්ම්....යමු...".

හැන්දෑව ගෙවන්න ඇවිදින්න යන්න යෝජනා කලේ අත්තම්මා. යෝජනාව ස්ථීර කලේ අම්මා. ඒ එක්කෙනෙක්ටවත් ඕන උනේ නෑ හැන්දෑව එලියෙ ගත කරන්න. ඒත්, එයාලට ඕන උනා අපි දෙන්නව එලියට යවන්න, තනිවම. යෝජිත පෙම්වතියත් එක්ක රියට ගොඩඋනේ ඒකයි මම. නැත්නම් යස අගේට කාමරේ ඇඳ උඩට වෙලා හිතුවිලි නූල් බෝලෙ පැටලුම් ලෙහන්න තිබ්බ කාලෙ නිකන් නාස්ති කරන්න මට උවමනාවක් තිබ්බේම නෑ.

'යෝජිත පෙම්වතී....' තේරුම් කරමුකො ඒකත්. යෝජිතයි කිවුවෙ පෙම්වතී මංගල යෝජනාවක් හරහා මුණගැහුන පෙම්වතියක් නිසා. එහෙනම් පෙම්වතී කීවෙ....? එහෙමයි කියල හිතන්න වෙන හංදා (වෙන්න ඇති).

|``~~****~~``|

නිහැඬියාව බිඳගෙන ඇහෙන සංගීත රාවෙම නිහැඬියාවට රුකුලක් උනාද මංදා? හුම්මිටි තැබීමකින්වත් අපි දෙන්නාගෙන් කෙනෙක් නිහැඬියාව බින්දේම නෑ. නිහැඬියාවට පුදුමාකාර විදියට ආදරේ කලත්, තවත් ගොලුවත රකින්න මට බෑ. සමහරවිට, ගෑණු ළමයට ලැජ්ජා හිතිල වෙන්නැති. හැබැයි, එහෙම සබකෝල ගතියක්නම් මං එයාගෙන් දැක්කෙත් නෑ.

අවසානෙ මම නිහැඬියාවට වචන මුදාහරින්න තිරණය කලා.


"කොහෙද ඉතින් අපි දැන් යන්නෙ?"

"යමුද විහාර මහ දේවි එකට?"

"ඇයි....? මල් ප්‍රදර්ශයක්?"

"නෑ....නෑ....චිත්‍ර ප්‍රදර්ශනයක්"

"චිත්‍ර...? ආ...එහෙනම් යමු"

රථ ගාලෙ මෝටර් රථය නවත්තල,  ඇවිදගෙන ගියා අපි ඇතුලට. ප්‍රදර්ශනේ තිබ්බෙ එලිමහනෙ නෙවෙයි. දිගට, දිගට ඉදිකරපු ටකරං මඩුවල. ඒ මඩු විදුලි එලිවලින් ආලෝකමත් වෙලා තිබුනත්, එතන අමුතු අඳුරකුත් තිබුනද මංදා. 

වැඩිය කවුරුත් නෑ. පෙම්වතුන් කීප යුවලක් සහ තවත් කීප දෙනෙක් විතරයි උන්නෙ. අපිත් ඇවිදගෙන, ඇවිදගෙන ගිහින් නතර උනේ විශාල සිතුවමක් ළඟ. කලු පාට රාමුවට රැන්දුව කැන්වස් රෙද්දෙ, රාමුව ළඟඳි කලු පාටට හුරු නිල් පාටින් පටං අරං දිය සුලියක් කැරකෙනව වගේ ඇතුලට, ඇතුලට ලා පාට වෙලා ටිකෙන් ටික.... මැදට යනකොට සුදට හුරු නිල් පාටක්. ඒත්, ඒ මැද සුදට හුරු කහ පාට යමක් කැපිල පේන්න. යෝධ කඩල ඇටයක් වගේ, වතුර බිංදුවක්ද, පහනක් වෙන්නත් පුලුවන්. අනේ මංදා.... දැක්කම දැනුනෙ තනිකමක්.

ඒ ටකරං මඩුවෙ, ඒ ඉසවුවෙ වෙන කවුරුත් උන්නෙ නැති හංදා, තරුණ යුවලක් තනි කරන එක හොඳ නෑ කියල හිතිලද මංදා ආවෙ තරුණියක් එතනට. හ්ම්....කතා කරන්නම හිතුනෙ මොකද මංදා මට.

"මිස්ගෙද මේ චිත්‍ර?"

"නෑ....අපි කට්ටියගෙම චිත්‍ර එකතුවක් මෙතන තියෙන්නෙ. ඔය චිත්‍රෙ ඇඳපු කෙනා නම් දැන් නෑ. හදිස්සියෙ ගෙදර යන්න වෙලා එයාට"

"හ්ම්...එහෙමද? මේ චිත්‍ර වලට ඇයි නමක් දුන්නෙ නැත්තෙ?"

"චිත්‍ර වලට නමක් දෙන්න පුලුවන්. ඒත්, නමක් දීලා ඒකෙ අරුත සීමාකරන්න අපි කැමති උනේ නෑ. නමක් නොදෙන තරමට අසීමිත පරාසෙක සැරිසරන්න චිත්‍රෙකට පුලුවන්නෙ."

"ඕ....ඒකත් ඇත්ත"

යෝජිත පෙම්වතීට නිල් පසුබිමේ කහ පාටට තිබ්බ තනිකම එපාවෙලා, දැං බිං ගේක අඳුර අතරින් එලියට ඇවිදින මාලු වෙළෙන්දෙක්ගෙ කථාවට ඇස් අලවගෙන.

"ඇයි මිස් මේ චිත්‍රවල වෙනසක්? මේ බිත්තියෙ, මේ පැත්තෙ තියන සේරම චිත්‍ර අමුතුයි. එක පාරටම පෙන්නල නෑ අර්ථයක්. ඒත්, ලොකු සමීප ගතියක් තියෙන්නෙ."

"ඔවු. මේ බලන්න. ඒත් මං නම් කැමතිම මේ චිත්‍ර කාණ්ඩෙට. මේවා ළඟදි හිතට දැනෙන්නෙ හරි සැහැල්ලුවක්."

"හ්ම්....මටත් ඒක නම් දැනුනා."

" ඒ මේකයි. නමක් නැති, ඒත් ලස්සන., අරුතකුත් නෑ වගේ හිතෙන මේ චිත්‍ර දිහා අපි බලන්නෙ අපේ ඇහින්. ඒ වෙලාවෙ අපේ හිතේ තියන හැඟීමත් එක්ක නිකංම මේ චිත්‍ර අපේ හිත් කියවන කැඩපතක් වෙනවා. කාටවත් කියන්න බැරි හිත, කාට හරි විවෘත උනාම දැනෙන සැහැල්ලුව අපිට විඳීන්න පුලුවන් මෙතන ඉඳන්."

"ඕ....මට හිතුනෙ නෑ එහෙම. ඒත්, දැනුන ඒ දේ, ඒ වෙනස. ඒත්, මේ මිස් විස්තර කලාමයි මට ඒ දේ දැනුන බවත් දැනුනෙ. ඒකත් පුදුමයි. මේ චිත්‍ර හරියට නිකන් හිතට බේත් කරන වෛද්‍යවරයෙක් වගේ නේද?"

"ඔවු. ඒ වගේ තමයි. බලන්න සරළ, සුමට චිත්‍රවල රේඛා එකිනෙකට පෑහෙන ලස්සන. ඒ පෑහීම මේ චිත්‍ර එකිනෙක අතරෙත් තියනව නේද? හරියටම හැම චිත්‍රෙකම මොකක් හරි සමීප ගතියක් වගේ."

"ඔවු. හරියට එකම තේමාව, එකම ශෛලිය වගේ පෙනුනට ළඟට ගියාම දැනෙන්නෙ ළඟම මිතුරෙක්ගෙ සමීප ගතිය"

"මේ චිත්‍ර මහත්තයාගෙ හිත කියවල වෙන්නැති එහෙනම්."

"ආ....වෙන්නත් පුලුවන් ඉතින්."

මගේ (යෝජිත) පෙම්වතී සේරෝම සිතුවම් අධ්‍යනය අතහැර, පසෙකට වී, එක බැල්මෙන් සියලු සිතුවම් තේරුම් ගැනීමේ උත්සහයක යෙදෙමින්, ශාලාවේ මැදට වී චිත්‍ර සියල්ල නෙත්වලට හසු කරගනිමින් උන්නාය.

මමද කිවුවෙ චිත්‍ර බලමු කියල? නෑ. ඒත් මටයි දැන් චිත්‍ර හාරන්න ඕන වෙලා තියෙන්නෙ. මක් කරන්නද? එක පුංචි සීරීම් තුවාලයක් වත් නැතුව ආයෙ ගෙදර ඇරලවන්න වෙලාව හරි. සිතුවමක නොදුටු පැත්තක් පෙන්නුව මේ ගමන ආවෙ මගේ උවමනාවට නොවුනත්, දැන් මං සතුටින්. ඒත්, පෙම්වතීගෙ නම් ආපු සතුට දැන් මැලවිලාද මංදා.

"මිස්, එහෙනම් අපි යන්නම්"

"හොඳයි. මොනාහරි අඩුපාඩු, වැරදි දැක්කද මෙතනදි?"

"ඔවු. කලින් මේ චිත්‍ර ප්‍රදර්ශන නොබැලීම සහ හිත කියවන චිත්‍ර අඳුනගෙන නොතිබීම"


නිමි.
(2008.09.16)

Thursday, October 11, 2012

අතිනත පටලා - යමු අපි දෙන්නා - පුංචි දුවේ මාගේ


අද අහසෙ පායපු ඉරෙත් පාට හේදිල වගෙයි......

කවුලුවෙන් එපිට හිස් අහස දිහාව බලාගෙන ඈ එහෙම හිතුව. 

ඔවු, කිත්මිණී.....හේදිච්ච හිතත් ගුලි කරගෙන අහස දිහාව බලා උන්නා. ඇගේ හිත වගේම ඈට පෙනුන, ඈ දුටුව අහසත් හිස්. ඒත්,  ඈ දැනගෙන උන්නා. ඈට නොපෙනෙන අනිත් පැත්තෙ ඉර පායල තියෙන බව. ඒ වගේම මේ ඉර එලියෙ පාට හේදිච්ච මලානික ගතියට හේතුවත් කිත්මිණී දැනගෙන උන්නා. 

ඔවු, අවුව පායල තියන බවත්, මේ මද්දහන බවත් ඇත්තයි. ඒත් ඒ මද්දහනට උරුම දීප්තිය, ඒ දිලිසෙන කහ පාට ඈතක ඉඳන් සීරුවට අහසෙ ගුලි ගැහෙන වැහි කලුවකින් වැහෙමින් තිබුනා.

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~



 මේ හැමදේම සිද්දවෙන්න පටන් ගත්තෙ කවදද? 

 ඒ දවස්.... ඒ කිවුවෙ,  මම පුංචි කාලෙ කොයි තරම් ලස්සනද? 

අවුරුදු පහළවක් තිස්සෙ අම්මගෙ තාත්තගෙ හුරතලා වෙවි අයිය ගෙවුව කාලෙ හිටි හැටියෙ නතර උනෙ අකලට හටගත් ඵලයක් වගේ මං උපන් දා ඉඳලයි.

 "ඒ දවස්වල තිබ්බ වලි!" 

 හීන් හිනාවක් මුවේ ඇදෙද්දි මම අතීතයට කවදවත් නැතිතරම් ආදරේ කරන්න පටන් අරං......

අයියත් එක්ක භාහිරින් මහා බැඳීමක් නොතිබුනත්, අධ්‍යාත්මිකව ඇතිඋන ආදරය. තාත්තගෙ නිහඬ, ප්‍රතාපවත් සෙනෙහස. ඒ අස්සෙ මං ඇයට බැඳුනු බැම්ම....

අම්මා.... 

ළයේ ඟැඹුරුම ඉසවුවකින් ඇවිලුන ගින්නක් හංදා පිච්චිලා යන උණුහුමකින් හුස්මක් හිතේ රස්නෙට එලියට පැන්නා.

ඒ දවස්... එකිනෙකාට බදධ උනා වගේ අපි අතර තියන බැඳීම... ඉස්කෝලෙ ආ -ගිය හැටි, සුකුරුත්තන් ඇඳුම අන්දපු හැටි, රහස් බෙදාගත්තු හැටි... 

තරවටුවක්, ගුටියක් මට දීලා අම්ම හොරෙන් ඇඬුව බව මන් දවසක් දැක්ක. එදා ඒක දැක්ක බව මං කීවෙවත්, අම්ම දුකින් වේදනාවෙන් ඇඬු බව මට කීවෙවත් නෑ තමයි. ආයෙමත් මන් ගුටි කෑවම අම්ම හොරාට අඬනව මං දැක්කෙත් නැති උනත්... මං ඔය අසීමිත ආදරේ එදා පුදුමාකාර විදියට වින්දා.

හැමදාම, හැමදේම අපි දෙන්න බෙදාගත්තෙ. ඒක අරුම බැඳීමක්. මට කියාගන්න නොතේරෙන. 

ආදරේ..... 

ඔයලගෙ ආදරේ අතරටම එයාගෙ ආදරෙත් ලබන්න මං පින් කරල. ඒ ආදරේට ඔයාල ආශිර්වාදයක් උනා. මං සතුටු උන තරම..... ඒක ඔයාටත් දැනුන නේද අම්මා....

එකින් එක අවුරුදු ගෙවෙදදි.... ඔයා කීවා, 

"දැන් ඉතින් මදැයි උන්නා. අපි Wedding එක ගමු දූ" 

අන්තිමේ....

මට මේ ඇහෙන්නෙ මහන මැසිමෙ මහ ගොරහැඬි සද්දෙ. ඔයා ඔයාගෙ අතින්ම මගෙ මංඟල ඇදුම් මහනවා. 

ඉස්සර රැළි අල්ලල,මල් මහල බෝරිච්චි අත් දාල ගවුම් මැහුව මැසිමෙන්ම, මට වැඩ දාපු ඔසරි හැට්ටයක් ඔයා හෙමි හෙමිහිට මහගෙන යනවා.පොඩියකට නතරවෙලා ඒ හැට්ටෙ රටා අතරෙ ඔයාගෙ ඇඟිලිතුඩු යවන ගමන් තනියම හිනැහෙනවා.හදිස්සියෙම ලොකු හුස්මකින් හිත හෑල්ලු කරගෙන හනික ඇස් දෙක පිහදාල ආයෙත් මහනවා. 

මම ඔයාව දැක්ක අම්මා....

හරි සද්දෙට එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු බලනව. හිනැහෙනවා. මට තරවටු, උපදෙස් දෙන අතරෙම ඔච්චම් කරනවා. ඒ අතරෙ මට ඇහෙනවා රෑට නිදි ඇඳේදි හීන් ඉකියකුත්....

මට ඔයාව ඇහුන අම්මා.....

මතකද, අපි දෙන්නා මගේ කාමරේට වෙලා සාරි නවද්දි ළඟදි දවසක මං කිවුවා ......

"ඔන්න අම්මේ.... මට එහේ ඉන්න බෑ හිතුනොත් මං ගෙදර එනව හොඳේ..."

ඔයා මොහොතක් මං දිහාව බලං උන්නා. ඉක්මනින්ම මගෙ ඇස්වලින් ඔය මූන අහක් කරගෙන මගෙ කාමරේ පුරාම ඔයාගෙ ඇස් යැවුවා. 

" හඃ ඒවා කොහෙද, මට උඹව යවනකල් ඉවසුමක් නෑ.. නිදහසේ ඉතුරු කාලෙ ගෙවා ගත්තෑකි ඇති යන්තම්..."

හදිසියෙම ඔයා මහ හයියෙන් හිනා වෙලා කීවා,

මට ඔයාව දැනුනා අම්මා.....

තව සුමාන දෙකයි.... 

මං මනාලියක් වෙනව දකින්න ඔයා දැකපු හීනෙයි, එයා එක්ක ජීවිතේ අත්තිවාරම දාන්න මං දැකපු හීනෙයි....  

ඒ හීන එදාට හැබෑ වෙයි...

එතකොට මේ කඳුලු!

ඔයයි මමයි හිත් අස්සෙ හිරකරගෙන ඉන්න, ගින්දරටත් වඩා හිත පුච්චන මේ කඳුලු?

~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~

කිත්මිණී හනික කවුලුව ගාවින් නැඟිටගෙන, යාබද කාමරේ මැසිම එක්ක ඔට්ටු වෙන අම්ම ගාවට ඇදුනා...

ඈ උලුවස්ස ගාවට ගියා. ඇගේ අම්මා ඒ ඔසරි හැට්ටය ඒ මොහොතෙම අන්තිම මැහුම් පාරත් ගහල මහල ඉවරකලා... එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කපල ඒ රටා අතරෙ ආයෙමත් ඇඟිලි දුවවමින් ඈ හීන් හිනාවක් මූනෙ ඇඳගෙන කල්පනා කලා.

මේ සේරම දොර උලුවස්ස ළඟ ඉඳන් කිත්මිනී නිහඬවම බලා උන්නා. ඒත් ඒ හිත ඇතුලෙ බැමි එකින් එක ලිහෙමින් කඳුලු උපද්වමින් තිබුනා.

එතකොටම, අම්මාගෙ ඇහින් වැටුන කඳුලක් හැට්ට අත උඩ පැල්ලමක් ඇන්දා. හනික ඒක පිහිද්දි තව කඳුලක් මැසිම උඩම බිඳිල ගියා. එකකට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් කඳුලු වහිද්දි ඇගේ අම්මා හැට්ටය ළයේ තුරුලුකරන් ඉකිබිඳින්න උනා.


අම්මා.....

උලුවස්සෙ වරුවෙන් මිදිලා කිත්මිණී අම්මාගෙ උකුලෙ කඳුලින්සිත්තම් මවද්දි....

ගෙදරින් එලියෙ මුලු මිඳුලම දූවිලි පිහමින් සිරි - සිරි වැස්සක් වහින්න පටන් ගත්තා.....

මේ වැස්සට පස්සෙ තිබුනටත් වඩා දීප්තියකින්, අහස ලස්සන කරගෙන ඉර පායාවි..

Tuesday, November 8, 2011

සුදු පාට!





අහස නිල්පාටයි.... කාලෙකට පස්සෙ. !

අම්මා මිදුල පුරා දුවන පුංචි පුතාට පොඩියක් වැටෙන්න, මඩ නාන්න වෙලාවක් දීල කාලෙකින් පස්සෙ වැටුන අවුරැල්ලට ආදරෙන් මිදුලෙ වාඩිවෙලා උන්නා.පල්ලෙහා පාර දිහාව කර උස්සල අම්ම බලන්නෙ කා දිහාද? මමත් යංතම් ඉස්සුනා.

 හා තිසරු නංගි!

 ඈ දැන් ලොකුයි, උසස් පෙළත් කරල. ඈ උසයි. ලස්සන ගෑණු දරුවෙක් දැන්!

 ඈ යන දිහාව බලා ඉද්දි මූනෙ යම්තමින් ඇඳිච්ච මදහාසෙ හෙමීට  එකමෙක හීල්ලිල්ලක් එක්කම මැකිල ගියා. අම්මා දිහාව බැලුනෙ අවිඥානිකවම වගේ. මට වඩා ඟැඹුරු, දිග හුස්මක් ඒ පපුවෙන්, ඔන්න එලියට පැන්නා!. ඒ හුස්මත් පනිද්දිම වගේ මිදුලෙ නටන්න ආව ලේනගෙ සද්දෙට ගැස්සිච්ච පුතා එයාගෙ ආච්චි අම්මගෙ ඔඩොක්කුවට පැනල අම්මාගෙ දැහැන බින්ද. 

"ආච්චි අම්මේ ඒ මොකෙද්ද?"

ඌ ලේනා බව දැන් පැංච අඳුරනව. ඒත් ඒ පොඩි එකාගෙ හැටි. දැන දැන තවත් අහනව.

දරුවගෙ  ඔලුව අත ගාන ගමන්ම අම්ම එයාට උත්තර බැන්ද

"ඒ පුතේ ලේනෙක් නෙ"

මං ඔය දිහෑ බලං උන්න තමා. ඒත් හිත නම් දුරක යන්නයි හදන්නෙ. 

හෝ! හිතකට දුර ගමනක් යන්ඩ කියාපු කම්මැලි අහස් නිලෙන් ඔද වැඩිල මගේ හිත ඒ ඉස්සර කාලෙ දිහාට හෙමිහිටම සක්මන් කර කර උන්නෙ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"අම්මා....."

හා! අන්න තිසරු නංගි. එයාගෙ ලස්සන රතුපාට රැලි ගවුමත් ඇඳන් අපේ කඩුල්ල ළඟ. කඳුලු පිරිල බෝල ඇස් දිලිහෙනව. එයා තාම කඩුල්ලෙ යටම උණබම්බුව පැන ගන්ඩ තරම් වත් උස නෑ.

 "අම්මා..." 
"අක්කලෑ ගෙදර අක්කේ...."

එයා අඞ අඞම අපිට කතාකරනව. 

ඔවූ ඒ කාලෙ එයා අපෙ අම්මට 'අම්ම' කීව.

චීස්, මස් බිත්තර එපා කියල අපේ අම්ම උයන එලෝලුවක් එක්ක සූස් සූස් ගගා රෝස පාට ප්ලාස්ටික් දීසයට දාගෙන බත් කෑව.

දවසම නටල නටල යංතමට සිනිදු කෙස් රොදවල් අස්සෙන් ඇඟිලි යවද්දි නිදි කිරා වැටෙන්න අරං අපේ සුව පහසුව අඩු ඇඳේ සැපට නිදා ගත්තා. 

 "අම්මා..." 

පුංචි  තිසරු නංගි කඩුල්ල ළඟ ඉඳන් අම්මට කතාකරනව. 

"හානේ! මේ දරුව පාර දිගේ තනියම්ම ඇවිත්!"

අම්ම කලබලෙන් දුවගෙන වගේ කඩුල්ල ළඟට ගියා. මමත් හනිකට අම්ම පස්සෙන් වැටුන. අම්මව දැක්ක විතරයි නංඟ අත් දෙක උස්සල වඩාගන්න කියල ඉඟි කරන ගමන් තව හයියෙන් අඞන්න තියාගත්ත.

"අම්මා... අම්මා"

එයාට මං කොයිතරම් ආදරේ උනත්, අපේ අම්මට අම්ම කියද්දි පොඩියක් හිතත් පාරවගෙන මමත් බලාඋන්න.

"ඇයි දරුවෝ මේ? ඔහොම තනියෙන් පාරෙ එනවද? වාහනයක්වත් ආවනම්"

දරුවො හතර දෙනෙක්ම වදල උන් උස්-මහත් කරල අම්ම වයසට යමින් උන්න.  අපේ අම්මට 'අම්මා' කියන ඒ සිඟිත්තිත් අකලට හටගත් ඵලයක් වගේ අම්මට.  කෙල්ලොම වදාපු කුසෙන් පැන නැඟිල පපුව අස්සෙ බෝ වෙන අම්මගෙ ආදරේ! ඒ පැංචිටත් ආදරේ වෙලා. හීනියට සිනිඳු කෙස් රොදවල් අස්සෙ ඇඟිලි යවද්දි ඇඞුම ඉකියකට පෙරලිල, අම්මගෙ සිනිඳු, සුවඳ උරහිසට ඔලුව තියන් නංඟා ඉන්නව.

ඉරිසියාව හේදිල මට දුක දැනුන! මං අම්මගෙ කරට දාං උන්නු ඒ පුංචි අතේ සිඟිති ඇඟිල්ලක් අල්ලගත්ත.

"අනේ මිසිස් රණසිංහ! මං හොඳටම බය උනා. ඔය මං පොඩ්ඩක් සැරකලා කියල මට කීවනෙ මං 'මගේ අම්මා ගාවට යනව' කියල!"

"මං බය වෙච්චි පාර තව පොඩ්ඩක් සැරකලා. තරහවෙලා ඉඳල ඔය මං එහා මෙහා වෙනකල්, පැනල ඇවිත්! ස්ටූල් එක ගෙනත් ඒකට නැඟල ගේට්ටුවත් ඇරගෙන ඔය තනියම ඇවිත් තියෙන්නෙ"

ගීත ඇන්ටි කියාගෙන ගියා. වේගෙන්!

"ඒක නේන්නම්" අම්ම අලගු තිබ්බ. 

"අනේ මට බයයි මිසිස් රණසිංහ. මෙයා ඔයාට 'අම්ම' කියනව. මට වඩා ඔයාට ආදරෙයි. "

අම්මගෙ මූනෙ මදහාසයක් ඇඳුන. යම්තමට නංඟගෙ ඔලුව ඉම්බා.

"අපෝ ඕව හරියනව. දැන් ඔහොම කීවට ලොකු වෙද්දි ඕක ඇරිල යයි." 

ගීත ඇන්ටිගෙ හිත හදන්න අම්ම කීවා. ඒගොල්ලො තව මොනමොනවද කතාකරද්දි, වෙච්ච දේවල් වලින රිදිච්ච හිත ඉබේ පිලිසකර උන නංඟා එක්ක මං සෙල්ලමට වැටුන.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කාලෙ ගත උන ඉක්මන!

කාලය ගෙවීගෙන යනකොට පුංචි දරුවො උස්-මහත් වෙනව, ඒ එක්කම වැඩිහිටියො තව වයසට යනව. අවුරුදු 10-15ක්! ඒක ලොකු කාලයක්.පුංචි කාලෙ ළඟම හැදිල ලොකු උන දරුවො තම තමුන්ගෙ අනාගතේ එක්ක පොරබඳිනවා. කාලෙත් එක්ක හිත් පරිණතවෙනවට වඩා අපිරිසිදු වෙනව. 

කඳුලක් ගානෙ දුක කියන්න ආවම ගීත ඇන්ටිගේ හිත අම්ම හැදුව. 

"දරුවො ගැන හිතන්න" අම්ම නිතරෝම මතක් කලා. 

ඇන්ටි පන්සලත් එක්ක බද්ධ උනා. නංඟි අනාගතය එක්ක හීන මැවුව. කාලය ගතවෙද්දි ජීවිත පරිණත උනාද. මම තාම හිතනව අපරිණතවම ඉඳගෙන.

තාප්පෙ කඩං වැටුන එක්තරා මහ වැස්සකට! ආයෙමත් තාප්පෙ හෙමීට නැඟුන! ඒ දවස් පුදුමාකාරයි. තාප්පෙකට,  සමහරවිට  එහෙමත් නැත්නම් ඒ මහවැස්සටද? කොහොම හරි පුලුවං උනා අවුරුදු ගානක බැඳීම දෙදරවන්න! 

බැඳීම්! 

ඒව ඇතිවෙන්නෙ ලෙයින්ම නෙවේ. හදවතේ, හැඟීම් කැටිකරං ඒ බැඳීම් ඉපදෙනව. මං අවසානෙ තේරුම්ගත්ත බැඳීමක් සමහරවිට ඒක පාර්ෂවිකයි කියල.

අතරමඟ මුනගැහෙද්දි ඉන් පස්සෙත් ගිත ඇන්ටි හිනාඋනා! අපි එක්කද? අපිටද? 

හ්ම්හ්! 

අපිත් හිනාඋනා ඒ නම් අපිට! 

"පාරුව පදිනකංලු රැළිනඟින්නෙ!" 

අම්ම එහෙම කීව. ඒ පාර හුම්මිටි තිබ්බ මං.

දැං පංසලේ ප්‍රධාන දායිකාව ගීත ඇන්ටි. සුදු රැලි දිග සායට සුදු අත් දිග හැට්ටෙ ඇන්දම එයා හරි ලස්සනයි. නංඟිත් නිතරෝම සුදුපාට නෙලුමක් වගේ ඒ පස්සෙන් අපි දැක්ක. 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ආච්චි අම්මෙ ආං පූවෙක්"

පුංචි පුතාගෙ කටහඞින් මං ආයෙ මේ ලෝකෙට වැටුන කල්පනා ලෝකෙ ඉඳන්. මාත් හෙමීට අම්මට කිට්ටු කලා. ර තුපාට පිටකොලයක් තියන පොත් ගොන්නක් උස්සගෙන තිසරු ංගි ගෙයින් ගෙට එනව. ඉස්සරහින් සුදෝ-සුදු ඇඳුමක් ඇඳගත්ත ගීත ඇන්ටි. නංඟට මග පෙන්නනව.

මම බලා උන්න. අම්මත් බලා ඉන්නව. අපිටත් ලැබේදෝ කියල හිත හිතනව. පුංචි පුතාට නම් කූඹි පේලියක් මුනගැහිල.

පහල ගෙවල් පේලිය, 
ඉස්සරහ ගෙදර 
 පහු කරගෙන ඒ දෙන්න එනව. 
ඔන්න අපේ ගෙදර!, 

ගීත ඇන්ටි කඩුල්ල පහුකරං  යන්න ගියා. ඇන්ටිගෙ ලස්සන කොණ්ඩෙ එක්ක ඒ තාලෙටම සුදු සායත් හුළඟට තාලෙට පැද්දුන. තිසරු නංඟි බිම බලාගෙන පොත් ගොඩත් උස්සන් එයාගෙ අම්ම පස්සෙ වැටුන. අම්ම මං දිහා බැලුව අපි දෙන්නම එකපාර හුස්මක් පිටකරා.

"ඒක බන පොතක්. පංසලේ කඪින පිංකම කාලෙ තිබ්බ ධර්ම දේසනා වලින් හදල තියෙන්නෙ. මං දැක්ක පල්ලෙහ කඩේ ගාවදි ලියනගේ අක්කටත් දුන්න"

අම්ම පුතාගෙ ඔලුව අතගාන ගමං කෙඳිරිල්ලෙ කියද්දි මං අඳුරගත්ත හදවතේ කොණක නලියන කඳුලක් සිරි සිරියෙ බිඳෙන්න අර අදිනව කියල. 

මං හුම්මිටි නොතියම නිහඞ උනා. 

"අම්මා..."

මේ කවුද? තිසරු නංඟි!. 

දැන් එයා ලොකුයි.කඩුල්ල තනියම පනින්න තරම්. ඈ අතේ පොතක්, අර රතුපාට කවරයක් තියන පොතක්. 

"මේක ඔයාට. මං යන්නම්... අම්ම දකී..."

ඈ ඒ පොත දෝතින්ම අම්මට දුන්න. අපි දෙන්නටම නැඟිටුනා

"හොර වැඩ කරන්න හොඳ නෑ දරුවො"

අම්ම පොත ගන්න ගමන්ම කීව. ඈ ලස්සන හිනාවකුත් අපිට තිළින දීල දුවල දුවල ගියා. කඩුල්ල උඩින් පැනල, අපිට අතත් වනාගෙන දුවගෙනම ගියා. කථා නොකරම දූ...වල ගියා!.

අම්ම බන පොත එක අතකින් පපුවට තද කරගෙන, අනිත් අතින් පුංචි පුතාගෙ අත අල්ලගත්ත. මං දිහාවත් බලල හිනා උනා. මමත් අම්ම එක්ක හිනා උනා.

මං දැක්ක අම්මගෙ ඇස් අගිස්සෙ කඳුලු. සතුටටද දුකටද මන්ද උපන්න කඳුලු!.

Monday, September 26, 2011

(අඞන) ගල් හිතක්



මෙත්මිණ අදත් ඇඳල ඉන්නෙ ඒ ලානිල් පාට කමිසයමයි. දැන් කොයිතරම් කාලයක්ද ඒ කමිසෙට. ඒ කමිසෙ වයසයි සමදරාගෙයි, මෙත්මිණගෙයි ආදරේටත් වැඩිය. මොකද සමදරාට හොඳහැටිම මතකෙ තිබ්බ ඒ කාලෙ මෙත්මිණ ඔය කමිසෙ ඇඳන් අර විසාල ගේට්ටු කණු අස්සෙන් මතු උන හැටි.

හ්ම්හ්....

හිතේ තියන කන්දක් උස දුක් ගින්නෙන් එකමෙක අලු පොඩිත්තක් නාස් පුඩු අස්සෙන් එලියට පැන්නෙ ඒ ලස්සනම ලස්සන අතීතෙන් එකපාරටම සමදරාව වර්ථමානෙට ඇදල දානගමන්. 

සමදරා ආයෙමත් කීවෙනි වතාවටද මන්ද මෙත්මිණගෙ දිහාව බලාගෙන හිතන්න පටං ගත්තා.

"ඒ කමිසෙ පාට හේදිලා. දැං කොයි කාලයක්ද. ඒක දැං සුදට හුරු වෙනකල්ම දියවෙලා. මං වගේම තාම එයා ඒකට ආදරෙයි"

"තව ටික දවසකින්..... "

ඈ හිතන්න ගත්තා මේ මොනවද මං හිතන්නෙ කියල. 

ඒත්.....

 "තව ටික දවසකින් මේ කමිසෙ විතරයි.... එයා නෑ!"

ඒක බොහොම දරුණු හිතුවිල්ලක් උනත් සමදරා යථාර්ථය දකිමිණුයි උන්නෙ. 

 ගෑණියෙක් ගැන කොයි කවුරුත් මවාගත්ත විශ්වාෂය ඇතුලෙ ඉඳන්, ඒත් හැබෑම ගෑණියෙක් විදියට.

ඈ යථාර්ථය දකිමින් උන්නා!

**********

වුරුදු දෙකක ආදරේ රත්තරන් පාට නූලෙන් බැඳුනෙ දෙපාර්ශවයෙම ආශිර්වාදෙ මැද්දෑවෙ උනත්, දැං දැං සමදරා හිතන්න අරං අර ඉස්සරෝම තිබ්බ පුංචි පුංචි නෝක්කාඩු, හිත් නොහොඳකම් කවදාවත් නැතිවෙන්න නැතුවැති කියල.

මෙත්මිණගෙ පෙනහල්ලෙ පිලිකාවක් කියල දැනගත්තු හැටියෙ සමදරාගෙ දෙමාපියො ඈව තවත් ටිකක් ඈතට කරල තියන්න හිතුවෙ හරියට.,

"හහ්! උඹ මුලදිම අපි කිවුව දේ ඇහුවනම් ඔහොම වෙනවද?" කියන්න වගේ.

දොස්තරවරු කියන වචනයක්, වචනයක් ගානෙ අම්ම, තාත්ත ඈතට යද්දි මෙත්මිණ අසරණ වෙච්චි සමදරාගෙ හිතේ සඳුන් සුවඳ උලන්න නොගියෙ ඈ හයිය හිතක් එක්ක ඉපදිල තියෙනව කියනඑක ඔහු හොඳහැටිම දැනං උන්න හංද වෙන්නැති.

කරදර එන්නේ එක සැරේට! සේරම එක පොදියට!

"මොන විකාරයකටද මහරගම ගියෙ? ඕයිට හොඳ ප්‍රයිවෙට්ටෙකක නැවැත්තුවනම්  මෙලහට හොඳ අතට හැරිලා"

මෙත්මිණගෙ මල්ලි දුල්වන්ගෙ හිතාගන්නවත් බැරි බාදා කිරීම් එන්න එන්නම වැඩි වෙද්දි ඇත්තටම සමදරා පුදුම උනා.

"මේ උඹෙ අයියා! උඹට අයිය ගැන කොයි බැඳීමක් තිබ්බත්, නැතත් මට මං ආදරේ කරන මනුසස්සය වටිනව. උඹට අයිය උනට මට මේ 'මගේ මිනිහ'!. ගෑණීයෙක්ට තමුන්ගෙ මිනිහ කොයිතරම්ද කියන එක තේරුම් ගන්න තරම් උඹෙ හිත වයසත් එක්ක මෝරල නෑ!"

සමදර කෑ ගැහුවෙ හිතෙන්! 

අසරණම අඩියක ඉඳගෙන එලිය බිංදුවක් එක්ක පොරකන මෙත්මිණගෙ හිත තව තලන්න ඈට උවමනාවක් තිබ්බෙ නෑ.

දරන්න අමාරු ප්‍රථිකාර වල ප්‍රථිඵල එක්ක මෙත්මිණ මුරන්ඩු උනා.

"මට බෑ සමදරා! මට බෑ! ඒක මහ පවුකාර විඳවීමක්. තව බෑ මං මළත් !

හැමෝම එක්ක එක පැත්තක් ගනිද්දි, ආදරේම අසරණකමකට ගනිද්දි. ගෑණියෙක් දෙනෝදාහක් මැද්දෑවෙ තනිවෙන හැටි සමදර හොඳින්ම විඳෙවුවා.

මෙත්මිණගෙ කලු ගැහිච්ච මූන ඇගේ උකුලෙ තියාගෙන කොණ්ඩෙ නැති හංදම ඒක වහන්න තට්ටෙම ගාපු ඔලුව හෙමීට පිරිමැද්දා

"ඔයා එක්ක මං මැවුව හීන කොයිතරම්ද? මතකද? හැමදාකම කුලී ගෙවල්වල ඉන්න බෑ කියල අපි දෙන්න අරගත්තු ඉඩම? අපිට ඒකෙ ගෙයක් හදන්න තියෙනව. අපේ පුතා!එයා තාම ඉස්කෝලෙකට දාන්න වයස මදි. තව අවුරුදු තුනකින් අපි දෙන්නට යන්න තියෙව ලොකු ගමනක්. පැටියගෙ අත් දෙකෙන් අල්ලං ඌව ඉස්සරෝම ඉස්කෝලෙ එක්කයන්න අපි දෙන්නම ඉන්න ඕනේ"

ඈ හීන එක එක දිගඅරිද්දී මෙත්මිනගේ කඳුලින් තෙමුන සමදරාගේ උකුලත් සමදරාගේ  කඳුලින් තෙමුන මෙත්මිනගේ හිසත් තව තවත් පෙඟෙමින් තිබුනා.

අන්තිමේ එක්තරා කාලකන්නි හැන්දෑවක ඔහු අංශ භාග රෝගියෙකු බවට පත් වෙද්දි සනීප කරන්න බැරි ඒ පිලිකාවෙ සගයෙක් ඔහුගෙ මොළය ආක්‍රමණය කරල තිබුනා!.

**********

මදරා ! 

ගැහැණියක් විදියට හෙලපු හැම කඳුලක් සහ සුසුමක් ගානෙ හිතට ගල් පුරවන්න පටන් ගත්තා. ඒ ගල්වල තියුනු දාර වලට හදවතේ ගණකම්, තුනි බිත්ති සිදුරුවෙලා ඒව අස්සට අර ගල් රිංගන්න උනා. 

අන්තීමේ පෑරි පැරි රිදෙන නහර ලේ අතරින් තවමත් ගැහෙන 'ගල් හිතක්' ඈ දරගෙන උන්නා.

" This is your Husband! You decide what you want to do. don't let others to play with his or your life!"

වෛදය්‍යවරයගේ ඊ සර වචන ඒ ගල් හිත පසාරු කරං ගිහින්. 

කාටද පේන්නෙ 'ගල් හිතක් පවා ගැහෙනව කියල!'

ඈ මහා හුස්මක් ඇදල අරගෙන නහර පුරවගෙන වෙවුලන ජීවිතේ ඔසව ගත්තා.

ජීවිතේ කවදාවත් නැතිතරම් බරට දැනෙද්දි ඇස්දෙක පියාගෙන ඈ මවාගත්තා මෙත්මිණගෙ අතින් තමන්ගෙ අතට තිළිණ උන ඒ පුංචි පැංචව. 

හතිවැටුන උනත් වෙහෙස අමතක කරන්න උත්සහ කරන ගල් හිත ඈට හෙට දවසට තල්ලුවක් වෙලා ආව ඔහුගෙ ආදරේ උරාගන්න අවස්ථාව දෙනගමන් ගැහෙන්න පටන් ගත්තා. 

'ඔවු ගල් හිත් ගැහෙනවා!'

"එයා එක්ක මැවුව හැම හීනයක්ම මම හැබෑ කරනව. දවසක එයා ට දකින්න. ඉන්න තැනක ඉඳන් සතුටු වෙන්න. අපේ ආදරේන් උපන්න මේ අපේ පැටියගෙ හෙට දවස මං ඒ හීන වලින් පාට කරනව".

ඈ අන්තිමේ ඊයේ රාත්‍රියෙ මෙත්මිණගෙ උකුලෙ ඔලුව ඔබාගෙන එලිවනතුරුම ඇඩුව! ඒ උකුල, පපුව, උරහිස  සුන්දර මතක කඳුලු වෙලා සීතලට පොඟවද්දි ඈ ආදරේ හදවතට පුරව ගනිමින් උන්නා! 

හිතේ ඔබාගත්ත හැම කලුගලක්ම ආදරේ අවශෝෂණය කරගනිමින්සිටිද්දී ඔහුගේ පපුතුරෙන් කාන්දුවෙන සුවඳට ඉවඅල්ලමින් ඈ ඇඩුවා!

'ඔවු ගල් හිත් ඇතුලෙත් කඳුලු උපදිනවා!'

ඒ හැම කඳුලක් ගානෙම ඔහු වාරු තිබුන අතින් ඇගෙ හිස ආදරෙන් පිරිමැද්දා .

අන්තිමේ....

අයෙමත් දවසක් පටන්ගන්න යන වෙලාවෙ ඈ හිස ඔවල බැලුව ඔහු දිහාව. 

ඉදිමිලා රතුවෙච්ච ඇස් අගිස්සෙ තවම නොවියලනු කඳුලක් තියෙද්දිම සීතල තොල් වලින් ඒ පපුව සිපගත්තා. ඒ මොහොතෙම ඔහු හිස පාත්කරල ඇගේ හිස සිම්බා!

මොහොතකින් ඒ ඇස් හමුවෙද්දි හීන් හිනාවක් මූනු දෙකම හැඩකරන්න පටං ගත්තා! 

තාම නිදා ඉන්න පුංචි පැංච දිහා බලන ගමන් මෙත්මිණ සමදරාගෙ අත මිරිකා ගත්තා!

ඈ ඟැඹුරු හුස්මක් ඇදල අරගෙන හදවතේ ගල් අස්සෙ ඉතුරු අවකාශ පුරව ගත්තා.

~ ~**********~ ~

Friday, September 16, 2011

අහස් නිල



සුදු වලාකුලු වෙනදාට වඩා සුදට පෙනෙන්නේ අහස නිල් පැහැයෙන් දිස්නය දෙමින් තිබුන නිසාය.ඒ අහසම රත්තරන් පාටම දැයි නිෂ්චිතවම කිව නොහැකි ඉරෙහි දීප්තියෙන් උවමනාවටත් වඩා දිදුලමින් උන්නාය.

මිනිසුන් කොතෙකුත් මේ අහස් නිලට ඇලුම් කරන්නේ මන්දැයි සිතාගත නුහුනු හිත ඒ කෙරේ හදිසියේම පුදුම ඌවාය. ඇස් පියවෙන තරම් දැඩි ඒ දීප්තිය මට කවදත් අලස් හැඟුමන් ගෙනදෙන දසුනක් විය.

හ්ම්හ්.......

හදවතේ ඟැඹුරක හිරවී තිබුන බර හුස්මක් නිරායාසයෙන් ඇද එලියට දමන්නට ඒ සුසුම සමත් වෙද්දී මම කුටියට වැදුනේ හේබාගිය හිත නිදැල්ලේ  මුදාහරින්ටය.සයනයේ කොණක තුබූ පැති මේසය මත වූ මේස ලාම්පුවට තනි රකිමින් උන් පිංතූර ඇල්බමයේ කවරයත් මසිත මෙන්ම දියවී යමින් තිබුනි. පාසල් සමයත්, ඉන් අනතුරුව ගෙවුනු ඒ දෙවසරත් මේ ඇල්බමය තුල සාරාංශගත වී, විටින් විට මුල සිට අගටත් වරෙක අග සිට මුලට පාවා මසිත මෙන්ම පෙරලා බලා,දියවී යමින් තිබුනි.

යලිදු වතාවක් හදවතේ කොණක හිඳ නිතරෝම විරාම අතරතුර මතකයට විත්, දුක - පසු - තැවීම අතරට බියද මුහු වී තැනුන මා හොදින් අඳුනන මුත් මට වටහාගත නොහුන ඒ හැඟීම විසින් මඞින ලද මා ඒ පිටු පෙරලන්නට වීමි.

කඳුලක් බවට පරිණාමය වූ ඒ හැඟීම හදවතේ සිට දුර ගෙවා නෙත් තුල එකතු වෙද්දී මා ඔහුගේ පුරුදු සේයාරුව අසල නතර උනෙමි. 

ඔහුත් මමත් අතර සිදුවූ දෙයක් නැත. 

දඟකාර හිත් අභියස හදවත විහිලුවකට පෙම් බඳිමින් සිටිය වග කිසිවකුත් නොදැන උන්නාත් නොවන කල, අප එක්තරා සංදිස්ථානයක නතරවී උන් අයුරු හිතෙද්දී විහිලුව තවදුරටත් විහිලුවක් නොවන වඟ සමහවිට දැන ඉන්නට ඇත්තේ මමත් මසිත හැඳිනූ යෙහෙලියත් පමණක්මය.

ආපසු හැරීමක් හෝ ඉදිරියට යායුතු මඟක් නොමැතිව අතරමඟ ජීවිතය නතර වෙද්දී ඔහු ජීවිතේ දුටු හීනයක් සොයා ඉගිලගොස් තිබුනි. 

"අපි හොඳ යාලුවො විතරයි. එතනින් එහාට දෙයක් නෑ"

ඒ වදන්.... 

හදවතේ රිදෙනම ඉසවුවක  හිද දුක් කැටයම් නෙලද්දී මම අසරණ උනයුරු.....

හ්ම්.....

මේ දෛවයමදැයි පිළිගන්නට අකමැත්තෙන් ජීවිතය අතීතයෙන් සාක්ෂි එකතුකලයුරු....

අවසන, 

හිත හදන්නට සිතාගෙන, හිත හැදේවී යැයි සිතන්නට උත්සාහ කරන අතරේ මම කඳුලු හැංඟීමම හිත හදාගැනීමයි කියා පෙන්නන්නටත්, මගේ වන උන්ගේ හදවත් මෙන්ම ජීවිත පවා එමගින් පුරුදු රටාවට එලැඹෙනයුරු දකිමින් සැනසීමක් වන් යමක් විඳිමින් මම.,

"ඕක අමතක කරල දාන්ඩ, කාලෙට ඉඩ දීල බලන්ඩකො, ඒක සේරම විසඳයි" 

කියා දැණමුතුකම් දුන් අයවලුන්ගේ බසට ඉඩදී කාලයත් සමඟ වෛර බඳීමින්, කාලය ට දිය වෙමින්, රිදෙමින්, තැවෙමින්, හැඟීම් සඟවමින්, සමහරවිට.... ඔය සියල්ලටම අඩුම තරමේ ඒ සඳහා උත්සහා කරමින් හෝ එසේයයි පෙන්වමින් මම ගෙවාදැමූ කාලය! 

එම කාලය සමඟ ගෙවී ගිය ජීවිතය!

අවසන යලිත් වරක්....

මල් කැකුලු අතරේ කටුවල වේදනාවත් ඇති බව දැන දැනම ඔහුත් මමත් යලි මුනගැසුනයුරු.... 

ඒ මුනගැසීම පිලිබඳ ගැස්මකින් මුත් පිපාසාවකින් පෙලුන හිත උද්දාම උනයුරු.....

"මං හිතුව තරහ වෙලා කියල. තරහ වෙන්ඩ දෙයක් උනේ නෑනෙ නේද?"

ඔහුගේ වදන්....

හංඟා තුබූ ගිණි පුළිඟු වලට හුස්ම පිඹිද්දී මම ඒ රස්නයට පිච්චෙතැයි අදහන්නට ලෝබ උනෙමි.

මඟහැරුන වසන්තය යලිත් උදාවෙනු ඇතැයි හීන  දකිමින්ම මම

සමහර විට,

සමහර විට.... ඒ උදාවන වසන්තය සෙවු මල් සුවඳම නොගෙනෙන වග සිතන්නට මැලි වෙමින් හිඳින වඟ අමතක කරදමන්නටසිතා ගත්තෙමි.

අවසන අමතක කිරීම කෙතරම් රිදුම් සහගතදැයි විදවන අතරතුරම හෙට වසන්තය උදාවෙතැයි මම මාලිගාවක පාදම දමන්නට වූ අයුරු.

හ්ම්හ්....!!

කඳුලින් පෙඟුන කොපුලට වැටුන හුළං රැල්ල ඇතිකල සීතලට වෙවුලූ ගතින් නෙත් හැර බලද්දී ඒ සේයාරුව කඳුලින් පෙඟී ඇති අයුරු මගේ ඇස ගැටුනි.

Monday, August 22, 2011

(රෝස) මල් සීයක්...!




සීතල....!!

අඳුරු පැහැ ඝණ කබාය අතරින් රිංඟා එන සීතල, පුංචි අත් පා හිරිවට්ටන්නට හදද්දී, සිඟිති මුව පොඩිය හකුලා ගනිමින් රන්මිණි තව තවත් ඈ තුලටම ගුලි වී ඒ සීතල අමතක කර දමන්නට පරාජයම ලියාදුන් තරඟයක යෙදෙමින් උන්නාය.

පාලු තාර පාරේ ඉඳ හිට යනෙන වාහනත් නිහඞ මිනිස් රුවකුත් හැරෙන්නට මුලු පරිසරය පුරා තෙත් සහිත, සීතල නිහඞතාවයක් පැතිරී තිබුනි. ඈ පසෙක සීතලෙන් මිරිකෙමින් මුත්, ඉඟි පාන හුළඟ හා කෝලවන රතු රෝස මල් පිරවූ බඳුනකි. රන්මිණි ගේ පුංචි ඇඟිලි අතරේ සිරඋන තවත් එවන්ම රෝස පොකුරක් වූ අතර, ඒ ළමා ඇගිලි සහ අත්ල සිඳුරු කරමින් ඇනුන රෝස කටු ඈට වේදනාවක් නොදුන්නා දැයි පුදුමයෙකි. සමහරවිට මහත් වූ සිතලට හිරි වැටුන ඒ ඇඟිලි වේදනාවට සංවේදි නැතිවා වන්නට හෝ ඈ ඒ වේදනාව ගනන් නොගත්තා වන්නට පිලිවන. 

නැතහොත්, රන්මිණි සිඟිත්තී ඒ වේදනාවට හුරුවී ඇතුවා වන්නට ඇත!

ඈ වටා වූයේ සැබැවින්ම සුන්දර දසුන් රැසකි. අලු පාට කඳු පංති වල මුඳුන් වටා එතී තිබුන මීදුම් සලුත්, ඈතට ඈතට තවත් ඈතට දිවෙන කෙමෙන් නොපැහැදිලි වෙන තුරු හිස් වලත්, හිත හිරිවට්ටාගෙන ගැඹුරු ඉසවු සොයාගෙන දිවෙන ප්‍රපාත වලත් ඇති සුන්දරත්වයට ඔබ්බෙන් එතුල පැලපදියන් වී සිටින අඳුරු, තෙත්, සීතල විසින් තෙරපනු ලබන අසරණකම ඈට සියල්ලටම වඩා දැනෙනවා විය හැක.

සීතලෙන් මිරිකෙන ගතට තෙහෙටටුවත් උණුහුම කෙරේ වන දැඩි දොලත් අතරින් කුසගින්න ඇයව සෙල්ලමට ගෙන තිබෙන අතරේ වංගුව අසල මිටි මායිම් කණුව මත පුංචි රන්මිණි වාඩි වූවාය. 

රෝස මල්.....

ඈ මොහොතකට  ඈ අත වූ මල් මිට යලිත් බඳුනට දමා අනෙක් රෝස මල් හා මුහු කලාය. 

හ්ම්...!

ඒ කෙටි වූත්, අසරණ වූත්, නමුත් ඟැඹුරු හුස්ම නාස්පුඩු අතරින් සැනෙන් වාතයට මුහු උනේ ඒ සමඟමය.

රැගෙන ආ මල් වලින් විකිණුණේ මල් අටක් පමණි. දැන් දවල් එකත් පහු වෙන්නට ආ නමුත් බනිසකට හෝ වියදම් කරන්නට ඈ සතු රුපියල් වියදම් කරන්නට පුංචි හිත එකඟ කරගත නුහුනුව රන්මිණි බලා උන්නාය. 

"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."

වංගුවේ ඒ මාඉමත්, මේ මාඉමත් දෙස මාරුවෙන් මාරුවට බලපොරොත්තු සහගතව බලමින්ම ඕ කාලය ගතවෙනවාට දුකින් නොඉවසිලිමත්ව උන්නාය. 

කාලය ගත උවත් කමක් නැත. ඈට උවමනා මල් සීයක් විකුණන්නටය.

මල් සීයක්...!

රුපියල් දාහක්....!

පුංචි ඇස් මානයේ අසරණව ඇඳේ වැතිර ඉන්නා තාත්තා මැවී, යලි මැකී ගියේය. ඒ කීවෙනි වතාවටදැයි ගනන් තබාගන්නටවත් නොහැකි වාරගනනක් ඒ දසුන ඈ ඇස් ඉදිරියේ ඇඳෙමින් - මැකෙමින් කෙමෙන් ගතවන කාලය හා එක්ව ඈ තව-තවත් කලබලකරමින් තිබෙද්දී සැනෙන් වංඟුවෙන් මතුවූ යතුරු පැදියක් ඈ පසුකර යනු දැක නොසන්සුන් වුවාය.

සිහියෙන් නොසිටියාට තමා ගැනම ඇති වූ තරහකින් ඕ මද දුරක්  යතුරු පැදිය පසුපස දිව ගියේ නමවෙනි මලක් විකුනා ගැන්මේ විශ්වාසයට වඩා කෙමෙන් ඉකිබිඳුමක් බවට හැරෙමින් තිබූ වේදනා සියල්ලම සමඟ උපන් කේන්තියකිනි. 

"ඒ වගේ පුංචි දරුවෙක්ට කේන්ති එන්නෑ.... ඒව බොහොම පිරිසිදු හිත්, 'මල් වගේ'....."

කෙනෙක් එසේ කියන්නට පිළිවන.

නමුත්, දරන්නට පුලුවන් උපරිමයටත් වඩා වේදනාවන්ම විඳි මටසිලිටු හිතක 'කරගැට'  ඇතිනොවෙතැයි සිතන්නට පුලුවන්ද?

වංඟුවේ එහා කොණෙන් අතුරු දන් වූ යතුරු පැදියේ වේගයට  පරාද වූ සිඟිත්තී එවර නෙත් අගින් කොපුල් තල තෙමන්නට ඉදිරිපත් වූ කඳුලු වලක්වන්නට හෝ පිසදමන්නට වත් උත්සාහ නොගෙන ඒවාට ගලායන්නට කාලය දුන්නාය.

රැළි වැටී දම් පැහැයක් ඇතිවූ ඇඟිලි වලින් තවත් රෝස පොකුරක් එකතු කරගත් ඕ තෙත් කොපුලින් හා ඉකියෙන් වෙවුලමින් පාර අද්දර බලා උන්නාය. අත දමා, මල් පෙන්නා,  ඒ වාහන වල පියාඹන සොඳුරු  පරිසර ලෝලීන්ගේ හිත් පැහැර ගන්නට ඈ අසමත් වූයේ සමහර විට ඈ තවම පුංචි හන්දා වන්නටත් පිලිවන.

ඇයවත්,  මල්ලීවත් තාත්තා සමඟ ගෙදර දමා අම්මා ගියේ කොහේ, කුමකටදැයි ඈ තවම නොතේරුන සිතැත්තී...., තාත්තා පෙලෙන වකුගඩු අමාරුව හේතුවෙන් නිවසට අම්මා කෙනෙක් වෙන්නට සිතුවාට වඩා එය ඉබේ සිදුවන්නට ඇත. 

සායනයට තාත්තා යා යුතුවු දවස දිනෙන් දින කල් ගොස් දැන්  දින තුනක් වී ඇත! 

ආණ්ඩුවේ ඉස්පිරි තාලෙන් දුන් බේත් ඉවර උනේ  ඒ දින තුනෙන් පලවෙනි දින උදේය. බෙහෙත් ගන්නට යායුතු වු දවස පහුවූ විට  ඉස්පිරිතාලේ උදවියගේ නෝක්කාඩු, බැනුම් වලින් කන් පිරී ගියත් පුංචි ගේ පොඩියේ සිට ඒ ඉස්පිරිතාලයට යාමටත්, ගිහින් ඒමටත් රුපියල් දාහකට මෙහා එක ත්‍රීවීල් මමා කෙනෙක් දැන් නැමෙන්නෙ නැත. කලින් 'පවු' කියා 'සිතා' අඩුවට ඉස්පිරිතාල ගමනට කැමැත්ත පලකලත්, පහුවත්ම අඩුවට හයර් එක යාමට අමතරව ඒ වරුවටම ළඟ දුවන හයර් දහයක්, පහලවක් මඟඇරීමත් හේතුවෙන් ඔවුන්ටත් අනුකම්පාකිරීමේ නිමාවක් දකින්නට අවැසි වන්නට ඇත.

"හෙට බ්‍රහස්පතින්දා! සඳුඳට පස්සෙ ඊළඟ ක්ලිනික් දවස....ඒක මඟ ඇරුනොත් ආයෙ සඳුඳා වෙනකල් ඉන්ඩ!"

ඒ සිතුවිලි මනසේ ඇඳෙද්දී ඒ එක්කම ඇඳුනු වෙනදාට වඩා කහපාට වී තුබූ තාත්තාගේ කෙට්ටු හීතල මූන සිහි වීමෙන් පුංචි ගත වෙවුලා ගියාය.

"හෙට කොහොමහරි තාත්තව එක්ක යන්ඩ ඕනිමයි!" 

ඈ ලොකු හුස්මක් සමඟ ආයෙමත් හිතන්නට ඌවාය...

"මල් සීයක්...!"

"රුපියල් දාහක්....!"

"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."

නුදුටුවා සේ ඉඟිල ගිය බයිසිකල්, හැරී බලන නෝනලා එක්ක පා උන කැබ්, උසුලු විසුලු ඝෝශා පිරුණ වෑන් පහක් - දහයක් හෝ ඊටත් වඩා ගණනක් වංඟුවේ එහා කොණෙන් නොපෙනි යද්දී සීරුවට පා වී ආ සුදුපාට පුංචි මොටර් රථය රන්මිණි අසල  නතර වූයේ දවසේ නමවන ගැනුම්කරුවා ඈ වෙතට ගෙන එමිනි. 

රථයේ ඉදිරි දොර විවෘත කරන් ආ ලස්සන නෝන කෙනෙක්!

"මේ රෝස මලක් කීයද බබෝ..."

"එකක් දහයයි නෝනා"

රන්මිණි ඈ සතු ලස්සනම හිනාවෙන් මුව සරසා ගන්නට වෑයම් කලාය...

"ඕ...අපේ අප්පච්චිගෙ 50th Birthday එක. මට මුකුත් Percent  එකක්වත් ගන්න බැරි උනා. මට දෙන්න හොඳ Roses සීයක්!. අප්පච්චි කැමති වෙයි ඒකට"

හුරතල් හඞින් ඒ වදන් මිදෙද්දී රන්මිණි ගේ විඩාබර හදවතට රුධිරය ගලා එන්නට විය.

"මල් සීයක්...!"

"රුපියල් දාහක්....!"

 සතුට නිම්නැතිව යද්දී, ඈත වංඟුවෙන් මතු වූ සිය සිඟිති මල්ලීට මදක් උඩපැන  අත වැනූ ඕ යුහුසුලුව  රතු කුසුම් සියයක් මිටි කොට ඒ සිනිඳු, සුඳු අතට පත් කලාය.

සැනෙන් සියතට ලැබුන ඒ කොලපාට නෝට්ටුව ඉහලට ඔසවා, උඩ පනිමින්, මදින් මද ලංවන මල්ලීට පෑවාය. 
නැහැයට ළංකර සුවඳ බැලුවාය.
සුදු පාට මෝටර් රථය පාවී ඉවතට යද්දී රවුමක් කැරකී සීතලෙන් හදවත පුරවා ගත්තාය.

දඩාං!

එකවරම කොන්දත් හිසත් හිරිවට්ටන වේදනාවක් සමඟ පුංචි රනමිණිය තාර පාරේ විසි වී ඇද වැටුනාය. බිම වැටී උන් ඒ සිඟිත්තීගේ ඇස් පියන් මතින් හිසේ සිට ගලා ආ ලේ වැඟිරී යද්දී ඈ මොහොතකට දෑස් මදක් විවර කරගත්තාය. මදක් නතර කරගෙන සිට හැල්මේ ඉගිලුන කලු පාට කැබ් රථය වේගයෙන් අතුරුදන් වෙද්දී, තමා දෙසට අඞමින් දිව එන මල්ලී දැක ඕ ලෙයින් පෙඟුන රුපියල් දහස යුතු සුරත මදක් ඔසවා ගති.

"අක්කේ... අක්කේ...අනේ අක්කේ...."

සිඟිත්තා මර හඞ තලද්දී, ඇ මුදල ඒ අතට දුන්නාය.

"දු..වන්ඩ..! මල්..ලි... දුව..න්ඩ!...ඕ...ක තා...ත්ත..ට දෙන්...ඩ!"

ඈ වචන ඇමිණුවාය.

ලේ විලක වැටී ගැහෙන අක්කාගේ දසුනින් සලිත වූ නොදරුවා!
එකම පිලිසරණ වූ තාත්තා සොයා දුවන්නට විය.

අවට මීදුමකින් වැසීයනවා සේ පෙනෙද්දී.... රන්මිණී, පුංචි රතු කුසුමී.... විසිරුණ ඉතිරි රෝස මල් පෙති මත නෙත් පියාගත්තාය.

බිම වැටුන රෝස ඉත්තක වූ කටුවකට සිදුරු වී තිබූ සුදු මැලි කොපුලින් නැඟුන ලේ බිඳත් ඒ හිසින් ගලා ආ රුහිරු ඟගට එක්වන්නට ඇත!

Thursday, August 4, 2011

හිරිකඩ



මේ වැස්සට මම ආදරය කරන්නට පටන් ගත්තේ කවදාදැයි නිනවු නැත. සමහරවිට ඒ  මා මේ ලෝකයේ පැහැය මුල් වරට දුටු දා වන්නටත් පුලුවන. මූසල අලු පාටට හිරිකඩ පොරි ඉහිමින් වැටෙන වැස්ස දෙස අත් පා ගුලි කරගෙන, හිරිකඩ ස්පර්ශයෙන් පෙඟෙන කොපුල් ඇතිව ඒ දිහා ඔහේ බලාඉන්නට මා හැමදාම ලෝබ විය.

ජීවිතය මේවගේ වෙන්නට ඇත. සීතල ඉවසමින් ඒ තෙත හිරිකිතට මුහු වී එන අලස රස උරා බොන්නට මා ලෝබ වෙද්දී. මේ ලෙසම හිරිකිඩ හී සරින් පහරකමින් ඉන් හෙම්බත්ව ඇති මනුසතුනුත් තව බොහෝ ඇති. 

කවුලුවෙන් එකවරම ඇදී ආ දඟකාර හිරිකඩ පොදියකින් හිසකෙස් මත පිණි රටා මවද්දී මා හුන් තැනින් නැඟිට්ටේ හදිසියේ පෙරදින හැන්දෑවේ පොත් සාප්පුවක එල්ලී තිබූ දැන්වීමකට අනුව මගේ සිහින රස්සාවට  අදාල අයැදුම්පත පිරවීමටය. 

මොහොතක් මා සන්තකව ඇති වටිනාම වස්තුවැයි මෙතුවක් සිතා උන් ඇඳමත විසිරී තුබූ ඒ ඝණ කඩදාසිය දෙස මා බලා උන්නෙමි.

ජීවිතයේ විශාල බලාපොරොත්තු නොවු මට මේ සහතිකය මහමේරුවක් උනේ ඇයිදැයි අදටත් මම කල්පනා කරමි. ඒ කඩදාසිය මත ලියැවෙන අකුරු හරහා මම ජීවිතයේ හෙටදවසට හැඩයක් දෙමින් ඉඳිඳ්ඳී හදිසියේ වට ආනෝරා වැස්සක් සේ හදවතේ හිරිඟඞු පුප්පමින් හදවත මතට වැටුනු ඒ හිරිකඞට මා බැඳුන හැටි! 

පළමු වතාවට ඒ විද්වතුන්ගේ මේසයේදී ඔවුන් මුනගැසෙද්දී මම අදහස් හා අත්දැකීම් අතින් පමනක් නොව වයසින්ද කුඩා වූවෙක්මි.

'සහතික' එකිනෙකා අතරේ දෝලනය වෙද්දී, අයෙක් අනෙකා හා රහස් කොඳුරද්දී, කෙනෙක් ගාමභීර උපැස් යුවලට යටින් විමසිලි බැලුම් හෙලද්දී මම ආගන්තුකව තනිවී උන්නෙමි.

"ඔයා හොඳයි"
"වැඩිම ලකුණු ගත්ත 30දෙනා අතරෙත් ඉන්නවා"
"ඒත් මේ  වෘතතීය සුදුසුකම් දෙන සහතිකේ අපි ගැසට් කරපු දවසට වලංඟු නෑ"
"ඔයා පොඩි දරුවෙක්නෙ ඊළඟ වතාවෙ  උත්සහ කරන්න"

මා සිනාසුනෙමි. ඒ පිළිතුර මා බලාපොරොත්තු ඌවක් බැවිනි. බලාපොරොත්තුව හීනයක් වී හදවතේ කොණක ලැගුම් ගෙන ජීවිතයට ආදරණීය යැයි හඟවද්දී මම බලාපොරොත්තුවෙන් ප්‍රබෝධමත්ව උන්නෙමි. 

ඉන් වසර තුනකට පසුව අහම්බෙන් ආ ඒ ලියමන හදවතේ මඟ රැදී බලාඋන් බලාපොරොත්තුවට අලුත් හුස්මක් ගෙනෙද්දී මම යලිත් හෙට දවසට සුදානාම් උන අයුරු පිළිබඳ මතකය හදවත පහුරුගාමින් රිදවන්නට විය. 

ආශාව හදවතේ ඉපදුන දා දැනෙන හැඟීම, බලාපොරොත්තුවේ කඩඉම් ළංවන විට දැනෙන නොඉවසිලිමත් කම, පරිස්සමට දුටු හීනය හැබෑවෙතැයි ඉඟි ලැබෙද්දී දැනෙන මිහිරියාව.....එකපෙලට හිත අවුස්සද්දී මා උදම් ඌ හැටි.....

අලුත් කඳුලු නෙත් පුරවන්නට තනද්දී මා අතීතයේ අතරමං වී උන්නෙමි.

"ඔහ් ඔයාගෙ සහතිකේ මේ ගැසට් එකට වලංගු නෑ. හොඳම ලකුණු තිබ්බ හංදයි කතාකලේ, ඒත් අපිට කරන්න දෙයක් නෑ..., ලියුමක්  ගේන්න මේ ආයතනයෙන්... මේ සහතිකේ වලංගුයි කියල. රජයේ ආයතනෙන් නම් දෙනවා, නැත්තං ඔයාට හරි අසාධාරනයක් වෙන්නෙ"

මිලින වන පැතුම් පොදිගන්නාගෙන අකුරුවල පිහිට පතා හිත අසරණ වෙද්දී, අකුරු වලින් ඒ ප්‍රාර්ථනා ප්‍රතිකෂේප වෙද්දී, කඳුලු හදවතේ ඳුක සෝදන්නට ඇවිත් තිබුනි. 

කෙනෙකු අකැප  අකුරු හරහා නුසුදුසු මාලිගාවේ සුදුසුකම් ලබද්දී කැපැයි කී සුදුසුකම්  බොල් හුළඟේ ගසාගෙන ගියයුරු කවුරුවත් දකින්නට නැත. 

***************************

අලුත් ගැසට් එකක්, අලුත් විභාගයක්, අලුත් සම්මුඛ පරික්ෂනයක් අතරට මෙවර අලුත් සුදුසුකමක් ඈඳී තිබෙනු දකිද්දී හදවතේ ඔත්පලව පනගැසූ බලාපොරොත්තුව  එල්ලා මරන්නට හිත තීරණය කරන්නට ඇත. 

අලුත් සුදුසුකම නොසැපිරූ නිළධාරීන් නවක මල්කැකුලු තලන්නට ඒ සුදුසුකම යොදද්දී, අසරණවු හිත වාන්දමා නෙත් අගින් වෑස්සෙන්නට පටන් ගති !

"නැද්ද ඒක හරිගියේ"

"නෑ"

"මටනම් හරිගියා, මධ්‍යම ආණ්ඩුවට. මං හිතුවෙවත් නෑ ලැබෙයි කියලා"

"හ්ම්හ්..ලකුණු කීයද, විශයට තිබ්බ විභාගෙට"

" 34යි."

"පාස් මාර්ක් එක 40නෙද?"

"ඔවු,ඒත් දන්නැද්ද"

"  හ්ම්හ්, ඒක ඇත්ත! මට තරඟ විභාගෙට, ලකුණු 124යි." 

*************************

කඳුලු කැට නෙත් තෙමද්දී අලුතින් දැනුන සීතලට හදවත හිරිවැටෙද්දී මා ඇඳමත වාඩිඋනෙමි. රස්සාවත් , හීනයත් අද මම මරාදමමි!. 

කරන්නට පුලුවං උපරිමය හමුවේ හෙම්බත් වූ හිතට තරවටුකලෙමි. දැන් ඇති ! 

තවත් මේ වෙනුවෙන් තැවෙද්දී හෙට දවස ඔත්පලවනු ඇත! 

සහතිකත්, අයැදුම් පතත් අතරින් නොපිරවූ අයැදුම් පත ගෙන සීරුවට නවා, කවරයට බහාලූ මම, එය පරිස්සමට මගේ අත්බෑගය තුලවූ රතුපාට දිනපොතේ පිටු අතර මිහිදන් කලෙමි.

"අම්මා ඇහුවොත්... මං කියනව මේපාර Application එක
Reject  වෙන්නැති කියලා"

යලිත් ඒ පෙඟුනු කවුලුව අසල පුටුවට බරදුන් මම හිරිකඩත් සමඟ එක්වී අලුත් හීනයක් සොයන්නට වීමි

Tuesday, August 2, 2011

මුතු පබලු



'පබලු ගිලිහුන නූල් පොටක්' ඇඟිලි අතරෙ හිරකරගෙන උන්නු පුංචි දෝණිගෙ ඇස්වල කඳුලු.

 "ඇයි දුවේ...."

"මුතු ඇට ටික සේරෝම බිම වැටුනා! මේ... මෙච්චරමයි ඉතිරි උනේ"

හිහ්... හිනාවක් පිටට පනින් හදද්දි මං ඒක නවත්තගත්තෙ දරුවගෙ හිත රිදෙයි කියල. මං සිනිඳුවට පැංචිගෙ කෙස් අතරෙ ඇඟිලි ගාටවන ගමන් පොඩියකට එතැන වාඩි උනා.

" ඔයාට පුලුවං ඒ බිම වැටිච්ච පබලු සේරම හොයාගන්ඩ. බාග වෙලාවට එකක් දෙකක් හම්බෙන්නෙම නැති වෙන්ඩත් පුලුවං තමා. ඒත් ඔයාට පුලුවං නෙ පොඩ්ඩක් හොයල බලන්ඩ"

මං කියද්දි  කෙල්ලගෙ කඳුලු පිරුණ ඇස් ගෙඩි දෙක මහ විශාල උනා. කටත් උල්කරන් ඉතිරි වෙච්ච 'පබලු' දෙක තුන දිහා හොඳට බලං ඉඳල ඔන්න ආයෙ කටහඳන්නෙ කියවන්ඩ. ඒ විතරක් යැ අලුත් කඳුලු පබලු දෙකකුත් එල්ලිලා ඇස් අගිස්සෙ ඔන්න වැටෙන්න - මෙන්න වැටෙන්න.

" ඒව පබලුද? ඒව 'මුතු' නෙවේද?"

"නෑ දරුවො... ඒ පබලු... මුතු වගේ තමා... ඒත් ඒ පබලු"

හ්ම්හ්... 

සිඟිති හුස්මක්....සීරුවට, තාලෙට, පරිස්සමට හුළඟට මුහුවෙද්දි ඈ මගෙ අතිං අල්ල ගත්තා

" අම්මෙ, මං සිඟිතිට කිවුව ඒව මුතු කියල"

මගෙ කනට කරල රහසින් වගේ කොඳුරල  කීව කෙල්ලගෙ මූන බලද්දි   ඒක බැරෑරුම් ප්‍රශ්නයක් බව අඟවන්න මට සිද්දඋනා. ඒ මූන ඒ තරම්  බරවෙලා.

"හ්ම්... එයා ගාවත් ඇත්තෙ පබලු මාලයක් තමා..."

"එහෙනම් එයා කීවේ ඒක මුතු ඇටවලින් හදල කියලා"

"එහෙම තමා සමහරු 'පබලු' වලටත් 'මුතු' කියනවා"

හෙමීට හිත හැදීගෙන එද්දි දරුව ආයෙ මොහොතකට කාර්ය්‍ය බහුල වෙලා. 

"අම්මෙ මේ... මං සේරම පබලු හොයාගත්ත මේ"

ඔයා හොඳයි නෙ, දැං පුලුවං සේරම ටික ආයෙ අමුණන්ඩ, තිබ්බ විදියටම"

"තිබ්බ විදියටම? ඒක ආයෙ ඒ විදියම වෙයිද? "

"ඔවු ඒ විදියටම පෙනෙයි"

"පේනව තමා ඒත් ඒකම නෙවේනෙ අම්මෙ.... ඒ කලිං මුතු මාලෙම නෙවේ..."

මොහොතක් මම දෝණි දිහාව බලං උන්නා.  පුංචි පබලුවක් අස්සෙ මට ඈ එක්ක කතාකරන්න  නොතේරෙන  වචන හුඟක කතාවක අඩිතාලම දකිද්දි ඈ බිම වාඩිවෙලා පබලු අමුණන්නගත්තා.

" ඒක පබලු මාලයක් උනාට කමක් නෑ. මං ඒක හදාගන්නවා. ඉස්සර වගේම නොවුනට ඒක ඒ වගේම තියෙයි"

මම පුංචි හාද්දක් ඒ නලලෙ පලන්දල  ආපහු හැරෙද්දි ඈ මගේ ගවුමෙ රැල්ලක එල්ලුනා.

"අම්මේ....ඒක මුතු නොඋනට කමක් නෑ. මං ඒක ඉස්සරට වඩා හොඳට පරිස්සං කරගන්නව"

පුංචි ආඩම්බර කාරියෙක්ගෙ ලස්සන හිනාවක් ඒ මූනෙ ඇඳෙද්දි මං ලොකු හුස්මකින් හිත පුරෝගත්තා.

Thursday, July 28, 2011

හෙටක් ළඟ



"ඇයි උඹ ඔයි තරම් මුරණ්ඩු"

අම්මගේ වචන වලට පෑරිච්ච හිත හදාගන්න මම බැලුව ඒ ඇස්දෙක දිහා. 

හ්ම්....

දිරච්ච හිත වාරුකරගන්න අත්වාරුවක් වෙලා ලඟ උන්නු ඒ ඇස්වල ඉතිරෙන ආදරේ යටින් මට තව මොනාහරි පේනවා. ඒවටත් හරියන්න කම්මුල්වලට ඊයෙ පෙරෙදා එකතු උන අලුත් ඉරි ! 

ඔවු.... ඔය ආදරේ අස්සෙන් පේන්නෙ අසරණකම. 

"මම මුරණ්ඩුද අම්මේ.."

මගෙ හිත ඇහුව කෑ ගහල. දොංකාර දෙන වේදනාව වත්, මගේ හිතේ ඝෝශාව වත් කාටවත් ඇහුනෙ නැතිබව ඇත්ත. ඒත් හැමෝම දැක්කා කඳුලු!

"ඔහොම මුරණ්ඩු වෙන්නෙපා දරුවො. හිතපන්! හෙට දවස ගැන"

මං හිතනවා තාමත්.... අම්මා කියන හෙට දවස කවද්ද එලිවෙන්නෙ කියල. 

ආදරෙන් එකතුකරපු හීන එක්ක මට හෙට දවසක් අරං එන කුමාරයො මම පෑහුව. හ්ම් ඔවු ඒව කොහෙත්ම පෑහෙන්නෑ. මම හිත හදාගෙන හැරිල බලද්දි අම්මගෙ මේ මූන ආයෙ ආයෙත් මාව කොනිති ගහල රිද්දන්න උනාම... හ්ම් සැහැල්ලුවට පාඋන හිත බරවෙලා කඩන්වැටෙන්න උනා. 

ඔන්න වහිනවා!

හුරේ දාල වැස්සට පැනල වතුරෙ දඟලන පුංචි එවුන් වගේ එයාල හැමෝම සතුටු වෙද්දි මමත් සතුටු උනා, ඔවු අතඇරල දාපු හීන අස්සෙන් පේන අම්මගෙ බලාපොරොත්තු වලින් හිත පිම්බෙද්දි මම ඒ කීව හෙට දවසට හුරුවෙන්න හිත හදාගත්තා.

"මම කැමතී" 

හිනා, කඳුලු,සුභපැතුම්,ඒව - මේවා ඔක්කෝම අස්සෙ මගෙ වචනෙට මාර  ප්‍රතිචාරයක් ලැබෙද්දි මම ටිකක් උඩඟු උනත් එක්ක.ඒක හරිම අහිංසක පුංචි උඞඟු කමක්. කොයි කෙල්ලත් විඳින.

"මොකක්! එයා කැමති නෑ?"

අලුතින් අටෝගත්ත හිත හෙමීට දෙදරනව මට දැනුන. මම අම්මගෙ මූන බලද්දි මන් දැක්කා. ඒ හිතත් ඉරිතලලා.

හ්ම්.... මට දැනුන හරි වේදනාවක්... ඒක... කොහොමද කියල දෙන්නෙ.. ඒක මහ අමුතු හැඟීමක්.... උගුර අස්ස හිරඋන පාර වැරදිච්ච කඳුලු ගුලියක් මට වද දෙද්දි ඊළඟ දැක්මට මම සූදානම් උනේ හිස් හිතක් එක්ක.

"මම කැමති"

"මම කැමති"

"මම කැමති!!"

ඔහොම යද්දි ඒ මූනුවත් හරියකට බැලුවද කියල නිච්චි නැති උනත් මම උත්තර දුන්නෙ පැතුම් වලින් පිරිල තිබ්බ හිත හුලං වලින් පුරෝනගමන්.

අන්තිමේ මම කියන්නත් කලින් එයා කියල තිබ්බා 'මම කැමතී' කියලා

මට දැනුන මේ තමා අම්මා කීව හෙට දවස! 

හරියකට මූන බලානොගත්ත එකට මටම බැණ, බැණ ආයේ ඒ මූන හරියකට බලන්න ඕනි වෙද්දි මම ඒ හෙට දවසට හුරුවෙන්න සූදානම් උනේ ඒ හිස් කමට අසරණකමක් එකතු කරගෙන.

"ජීවත් උන අවුරුදු ගාන කොහොම වෙතත් මං මගේ සේරම දාල යන්න දැං සූදනම් වෙන්න ඕනි.!!"

මගේ අය ඒ නාදුනන හෙට දවසට සූදානම් වෙද්දි මම මොහොතකට මෙතුවක් මගේ උන හැමදේම මැද්දට පැනල ලොකු හුස්මක් ගත්තෙ ආදරෙන්.

ඩිං ඩොං...

අම්මා දොර ඇරියා.. හප්පේ සැලකිලි.... හැමෝම මොහොතක් එයා එක්ක ආ ගිය තොරතුරු කියෝලා මාරු උනා. යන ගමන් මං දිහාට හරි කොමල බැලුම් දාගෙන ගියේ. එයාලට වැඩ. තේ හදන්න, ඒවා - මේවා දන්නැද්ද ඉතිං. 

මං එයා එක්ක මොහොතකට තනි උනා, සාලෙ.  ඉස්සරෝම මූන බලගත්තෙ දැං. හ්ම් නරකම නෑ... මට එයාගෙ එක එක අපූරු, මං කැමති දේවල් පේන්න ගත්තා. 

මගේ අර කීව හෙට දවස ගැන කටු සටහන් ටිකක් හදාගෙන යද්දි එයා කතාකරන්න මුල පිරුවා.

"ඉතිං...."

මම ගැස්සිල එයා දිහාව බලන ගමන් මට හිතුනා

"මම එයාට කැමතී"

හිතේ ඇදිච්ච කටුසටහන් එක්ක ඒ හැඟීම මගෙ මූනට හීන් හීනාවක් අරං ඇවිත්.

මං දැක්ක එයත් හිනාවෙනවා.

අපි දෙන්නම කතාවෙලා කලාවගේ එකපාරටම හුස්ම පිටකලා

හැබැයි ඔන්න කලින් කතාවෙලා තිබ්බෙත් නෑ!

අපි ආයෙම සැරයක් හිනා උනා

"ඔයා හිනාවෙද්දි ලස්සනයි"

මං දිහාව ඒ හිනාවෙන්ම බලා ඉඳල එයා කියද්දි පුදුමත් එක්ක.

මං හිත හිත උන්නෙත් " එයා හිනාවෙද්දි ලස්සනයි" කියල!

 මොකද්දෝ කෝලකමක් හිත කිචිකවද්දි මං බිම බලාගත්තා

"මම මටත් එහෙමම දැනුන කියල පස්සෙ දවසක එයාට කියනවා"

මගෙ හිත මිමිණුව!

Tuesday, July 19, 2011

වළාකුලු



"සඳඟෝමී....චූටි පුතා.... නැගිටින්න ඉතිං"

ඒ භද්‍රාගේ හඩය.කුස්සියේ පොඩි හතරැස් මේසයේ තබාතිබූ කිරි තේ ඔහුගේ කෝප්පය අතට ගත් පියසේනගේ මුවඟට හීන් හිනාවක් ආවේ නිතැතිනි.ඔවුන්ට 'සඳඟෝමි'නමැති දරුවෙකු නැත.ඉන්නා මේ එකම පැටියාට 'ප්‍රභාෂ්වර' යි නම් තැබුනේ දෙන්නාගේම කැමැත්තටය.

ඔය භද්‍රාගේ විලාසයකි.ඕ පැංචාට එක එක නමින් අමතයි.යන්තම් එකවසරට රිංගාගත් නොකිලිටි හිතැති පොඩ්ඩා ඔය කොයිනමටත් ලෙංගතු ප්‍රතිචාර නොදක්වා ඉන්නේ නැත.

භද්‍රාටත්,පියසේනටත් ඉන්නා මේ එකම දරුවා ඔවුන්ට මැණිකකටත් වඩා අගනේය.දරුවන්ටනම් කොතෙක් හෝ නොනිම් ආසාවෙන් පෙලුනද ඔවුන් තනි පැටියෙකුගෙන් සැනසුනේ මේ නහයත් යටකරන් ගලනා අගහිඟ කම්වලින් සියල්ලෝ තෙතබරියන් වීමෙන් වලකින්නට වීමට පුලවන.

සීනි අඩු තේක උණු උණුවේ උගුරෙන් පහලට යද්දී පියසේන එකම කාමරයවෙත පා නැඟුවේය.කකුල් පාරවල් වලින් අවපැහැ ගැන්නූ පාට මැකුන සීතල බිත්තියට තද වී පුතා සුව නින්දේ හිඳියදී,ඇදමත වාඩිවි නිසොල්මනේ දරුවාදෙස බලා උන් භද්‍රා තිගැස්සුනේ සැමියාගේ අඩිහඞටය.

ඔවු, ඈ මිනිත්තු කීපයක් මේ සැනසිල්ලේ නිදන පොඩ්ඩාදෙස බලා ඉන්නට ඇත. ඒ කෙටිකාලය තුල සිතුවිලි දහසක් ඉපිද මියයන්නට ඇතිවගට සාක්ෂි ඕ පියසේන දෙසබලා හෙලූ සුසුමේන් පිළිඹිඹූ උනාය.

"කොල්ලා නිදා ඉන්නහැටි දැක්කාම ඇහැරවන්නත් ලෝබයි" ඈ කෙඳිරුවාය.

"ඔන්නොහේ නිදාගද්දෙන්, සෙනසුරාදනෙ" පියසේන මනදස්මිතවම කීවේය.

"හ්ම්... අනේ මංදා ඉස්කොලෙට ඕනකීව අර ලිස්ට් එකෙන් තව හෙන ගොඩක් ජාති ගන්නත් තියෙනවා"
 භද්‍රා යලිත් කොඳුරද්දී පියසේන තේකෝප්පයේ මන්ඩි දෙස බලා සුසුමක් හෙලා කටහඞ අවදිකලේය.

"ඊයෙ අර වැඩමල්ලෙන් වැඩකරන්න දිලා, පුතාට ක්ලේ පෙට්ටියක් නැති හංදා,  හිත නොහොඳින් ආවේ. ටිචර් කිවුවා මෙදා අවුරුදු උත්සවේට පංති දෙකේම ළමයිගෙ නැටුමක් තියෙනවලු.ඒකෙ ඇදුම්වලට මගෙහිතේ,  ලබන සුමානෙ රුපියල් හයසිය පනහක් ගේන්නත් කිවුවා"

"හ්ම් දැන් මොකද කරන්නෙ?"

"මං හිතුවෙ දැං අවුරුදු කාලෙනෙ, මිනිස්සු අවුරුද්දට ලෑස්ති වේනව. ඔයා ඉස්කෝලෙ නෝනලෑ දිහෑ වැඩට යද්දි මේ දවස් දෙකේ පුතාත් එක්ක ගියානම් මට පුලුවං පොඩි කුලී වැඩක් කරල ඕක හොයාගන්න."

"එපා, එපා! මතකනෙ ගිය මාසෙ දරුවට බේත්ගන්න කියලා කුලී කරලා අන්තිමේ, ඔයාටයි බේත්ගන්න උනේ. ඔයකොන්දත් එක්ක කොහොමද.... මංකියනවටවත් ඉන්නකො ඕවට නොයා. ඔයා දැන් දුක්වින්ද මදෑ. මං ඉස්කෝලෙ නෝනගෙන්  පඩියෙන් ටිකක් කලින් ඉල්ලගන්නම්"

පියසේනගේ පාදය දනහිස අසලින් බිඳී ගියේ ඔහු මේසන් බාස් කෙනෙකුව උන්සමයේ මුහුන දුන් හදිසි අනතුරකිනි. එතැන් පටන් ඔහුට සිය ජීවන වෘතිය කිරීමට හෝ කිසිඳු බරවැඩක් කරගැන්මට වත් අපහසු විය. මදක් වහෙසී වැඩකල සැනින් ආභාදිත පය සතිගනකට යලිත් ආතුර වෙයි.එය සියල්ලටම වඩා අපහසු කාලයක් මේ තිදෙනාට ළඟාකරවයි.

ජීවිතයේබර උහුලන්නට මෙහෙකාරකමට දියවෙන භද්‍රා සිය කුටුම්බය පෝශණය කරන්නට වෙහෙසෙමින් ඉඳියදි, මින් කලකට පෙර ඔවුන්ට අඟහිඟ කම් මද වූ කාලයේ වෑයමින් ඉදිකරගත් නිවෙසත් සීමිත, නොවටිනා ලීබඩු කිපයත් පමනක් කෙමෙන් වියපත් වෙමින් ඔවුන් හා ඉතිරිවතිබුනි.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු. අනුරාධපුරේ පැත්තෙන් ඇතුල්ට වෙන්න ගන්න පුලුවං ලාබෙට ඉඩමක්. පුංචියට ගේ පැලක් අටෝගෙන හිමීට නැගිටින්න බලමු. මට පුලුවන් මිරිස් වවන්න, කුරක්කන් එක්ක. ඒක මේ හැටි අමාරු නෑ. අවුරුදු 2-3ක් දුක් වින්දට අපිට පුලුවංවෙයි ඔලුව උස්සගන්න. අපි මේව විකුනමු"

භද්‍රා යලිත් පියසේනගෙන් මේ ඉල්ලීම කලේ කීවෙනි වතාවටදැයි නිනවු නැත.එහෙත් ඔහු ඒ හැම වතාවකම යෝජනාව මඟහරින්නේ සිය ජීවිතයේ මුල් ගමන්කරඇති මේ පොළව හැරයාමේ නොකැමැත්ත හේතුවෙනි.

***************************

භද්‍රා නිවසින් පිටවු පසු පියසේන ගෙට ගොඩවන පඩියේ වාඩිවී සිටියදී දරුවා මිදුලේ යම් ක්‍රීඩාවක නිරතවෙමින් උන්නේය. එකවරම ඇසුන රතඤ්ඤා හඞකින් උදම් උන දරුවා අත්පොඩි තලා සිය ප්‍රීතිය ප්‍රකාශ කරද්දී, පියසේන ගේ හදවත යලිත් බරවන්නට විය.

පාසලේ අවශ්‍යතා වලට රුපියල් දහසක් භද්‍රාට හොයාගැන්මට බැරි නොවුනත්,අවුරුද්දට පොඩ්ඩාට අලුත් ඇඳුමක්, රතිඤ්ඤාවක්,  කැවුමක් නිසා ලැබිය යුතුවන සතුට මේ වතාවේත් අහිමි වනු ඇත. ඒ මුහුනේ ඇඳෙන බලාපොරොත්තු කඩවීමේ ලක්ශනයන්ගේ ඡායාවන් පියසේනගේ හදවත කොණිති ගසද්දී ඔහු ශෝකී මුහුන අහසට යොමුකලේය.

ඉස්කෝලෙ නෝනාගෙන් තවත් ඉල්ලන්නට භද්‍රාගේ පඩියේ ඉතිරියක් වේදැයි පවා විශ්වාශ නැත.පියසේන පිළිතුරක්අහසේන් සොයාගත්තා සේ ඔහු සැනින් නැගී සිටියේය.

"පුතේ පොඩ්ඩකට අතුලලෑ දිහාට යන්න. තාත්ත පැයෙන් එන්නම්"

මොහොතක් පියාගේ මූන හෝදිසි කල දරුවා,සැනෙන් සිය මිතුරා සොයා දිවයද්දී පියසේන පැකිලෙන පා  ගැහෙන හිතින් වරුකරගනිමින් තීරනාත්මක පියවරක් ඉදිරියට තැබීය.

****************************

ඒ රාත්‍රියේ ඔහු එතරම් අමුතු මන්දැයි ඇය තේරුම් ගත්තේ මහරෑ විත් නිවසේ දොරට තඩිබෑ පොලිසියේ ගෝරනාඩුව නිසාය.අන් මඟක් නැතැයි සිතා දරුවාට අවුරුදු ගෙනෙන්නට ඔහු නිවෙස් හතරකට එහාවූ රත්නසිරිගේ වතුර පොම්පය හොරකම් කර තිබුනි.කෑලි කපන අඳුර අතරේ ජීප් රථයට දමාගෙන ගිය සැමියා ගැන සිතා ඕ කඳුලු හෙලුවාය.ඒ කඳුලුවල දියවී ඇගේ ජීවිතය ද සේදී යමින් තිබුනි.

අසල බිම නිදා සිටිනා දරුවා ඔසවා ඇඳෙන් තැබූ ඈ පියසේනගේ දෑසේ තිබූ කථාව කියෙවුවා මෙන්  බරසුසුමක් හෙලුවාය. ඒ සුසුමින් ළය තවත් බරවූ තැන තවත් සුසුමක් හෙලුවාය.
 ජීවිතය විසිරීයන වලාකුලක්සේ ඉහිරෙන්නට දෙන්නට බැරිය. කැටිවළාවක්වී ගමනාන්තයට යායුතුය.

පසුදා පියසේන බැලීමට භද්‍රා පොලිසියට ගෑටුවාය.එක අතකින් දරුවා අල්ලාගෙන උන් ඕ සිරකූඩුවේ යකඩ පොල්ලක් අනිත් අතින් සිරකර ගත්තාය.

"මට සමාවෙයන්.., මම..."

පියසේනගේ හඞ ඇහෙද්දී භද්‍රාගේ නෙතින් සටසට ගා කඳුලු වැටෙන්නට විය.ඕ යකඩ කූර අතැර පියසේනගේ අත මිරිකා ගත්තාය.

කඳුලින් සේදියන දෑසින් දරුවාගේ අහිංසක දෑසත්,භද්‍රාගේ අසරණ දෑසත් දෙස බැලු ඔහු කටහඞ අවදි කලේය.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු"

බරැති සුසුම් දෙකක් එකම මොහොතක, භද්‍රාගේත් පියසේනගේත් මුවින් පිටවේද්දී, මිරිකුන අත් අතරට අලුත් කඳුලක් එකතුවිය.

Tuesday, July 5, 2011

කරදිය (අවසාන කොටස)






මම මොහොතකට ගල් උනෙමි.... හදවතේ රිදෙන ඉසවුවකින් දරාගෙන උන් මහා බරක් හෙමිහිට නිදහස් වන සෙයක් දැනෙද්දී.... විස්තර කිරීමට නොහැකි ආකාරයකසැහැල්ලුවක්මට දැනුනි.

 මේ මනස කියවන අයේක් වෙතොත් මහා පවුකාර හැඟීමකැයි හිතනු ඇත..... නමුත් හැබෑවටම මම ඉන් සැහැල්ලුවක් අත් වින්දෙමි. හතර අත මුද්රා තැබූ අඳුරු කුටියක තනිව ඉකිබිඳ හඞද්දී, තවෙකෙකුගේ ඉකිබිඳුමක් සවන වැකෙද්දී දැනෙන සුරක්ෂිත හැඟීමට හෝ කතරක පිපාසාවෙන් වැල්ලේ එරී හිඳියදී තවෙකෙකුගේ පිපාසිත මුහුනක් මුන ගැසුනාම දැනෙන හැඟීමක් මෙන් මම ඉන් සැහැල්ලුවක් වින්දෙමි.

මම බිඳෙන හඞ අවදි කලෙමි....

“මමත්....”

"මට හිතුනා.."

"කොහොමද...?"

යලිත් හිනැහුනාය....

ජීවිතයේ අන්තිම අඩියේ හුස්ම ගනිමින් ඉන්නා අතරේ හිනැහුනාය.

සිනහවට මම ලෝබ වූයෙමි. හදවතේ පුරවාගෙන ඉන්නා ගිනි පුළිගු වලින් වරින් වර, ටිකෙන් ටික ජීවිතයේ සිදුරු විශාල කරමින් තිබියදී සිනහව මියෙන්නේ අන් සියල්ලටම කලින්ය.අකලට පිපුන කුසුමක් සේ හිනාවේ වටිනාකම ඉහල යන්නේ නිසාය.

"මට හිතුනා.... කොණ්ඩෙන්, මූනෙන්, ඔක්කෝටම වඩා සංසාරෙ ගැන වගේ වගක් නැතුව හැන්දෑවට මෙතනට වෙලා ඉන්න ඉඳිල්ලෙන්..."

" උනාට මට සැකේකුත් තිබ්බා.. මොකද, මට එහෙමයි කියල වගේ ඉන්න හැමෝමත් මං වගේ කියල හිතන්ඩත් බෑනෙ ඉස්තීරෙටම...."

"ඒත්.... ඔන්න දැං මේ ඩිංගකට කලිං.... මට එහෙම ලෙඩක් කියල කියද්දි ගිය හිනාවෙන්නම් මං හරියටම දැනගත්තා අපි දෙන්නම එකම තැනකින් නතරවෙන්ඩයි යන්නෙ කියල..."

මම මදකට සසල උනෙමි.  මගේ මුහුනේ රේඛා වල වෙනස කියවා ඇත. එවන් අසරණ තත්වයක ඉන්නාවග වෙනකෙකු දැනගත්තේ නම් ඔවුන් බොහෝ දුක්වනු ඇත. වචන හරහා දුක දන්වනු ඇත.

නමුත්...මම,

වචන හරහා විඳි සැහැල්ලුව.....!!

 එය කියවා ඇත.

වෙවුලන හදගැස්ම මා අසරන කරද්දී....මම කතාකරන්නට වචන ඇහිඳින්ට වීමි.

හ්ම්....

සුසුමක්...හදවතේ ඟැඹුරින් නිදහස ලබද්දී මම කතාකරන්නට වීමි.

"ඒක මහ පුදුම හැඟීමක්....මං දන්නෙනෑ.... ඒක නරක එකක් වෙන්ඩත් පුලුවන් දකින කෙනෙක්ට...."

"ඒත්.... මට ඕන උනා කියන්ඩ... කතාකරන්ඩ... කාටහරි..... තේරෙන කෙනෙක්ට, කියනදේ අහලා අඞන, දෙස් දෙන කෙනෙක්ට, දුක් උන,  දහිරිය දෙන්ඩ කියලා දාහක් දේවල් කියන කෙනෙක්ට නෙවේ...."

" කියන්ඩ ලේසී... "

"දැනෙන දේ තේරුම් කරන්ඩ යන එක මහ බොරු වැඩක්. එයාලට ඕව තේරෙනවද?? තේරුනත් එයාල මක් කරන්ඩද..."

"මට දැනෙන මේ කරුමක්කාර වේදනාව, හැමෝගෙම අනුකම්පාව, බලන බැල්මක්.... ඒවත් ලොකු බරක්....වචන වලින් කියන්ඩ පුලුවන් නම් ඒවයෙ බර...."

"මට දැනුනේ සේරම කියල හිතේ බරින් නිදහස් උනා වගේ දෙයක්. සමහර වෙලාවට කියන්ඩ තේරෙන්නෙ නැති දෙයක්, වචන හොය හොය උන්න දෙයක් කියාගත්තාම දැනෙන හැඟීම.... ඒක හරිම සැහැල්ලුවක්..."

මම විරාමයක් ගනිද්දී යලිත් මදහාස පෑවාය.

"මං දන්නවා...."

  කටහඞ අවදි කලාය.....

"මමත් කැමතී ඒකට..... ඒක කාටවත් තේරෙයිද මන්දා.... හරියට රහස් භාශාවක් වගේ... අපිට විතරක් දැනෙන, වචන නැති....."

මදෙස බලා හිනැහුනාය...

සිනහව සුලං පහර හා පෙරලි කරද්දී.....හදවතේ  සැහැල්ලුවට අත්තටු ලැබුනෙන් මටත් හා එකතුවීමට හැකිවිය.

 

අප කතාකරන්නට උවමනාවෙන් උන් වචන හැඟීම් හරහා හුවමාරු වන්නට ඇත. ඇයටත්, මටත් හැන්දෑවේ දකින්නට මඟ හැරී ගිය දසුන් බොහෝමයක සුන්දරත්වය අලුතින් දැකීමේ අවස්ථාවක් හදිසියේ ලැබුනාසේ අප කරදිය රැලි අතර සිතුවිලි මුදාහරිමින් උන්නෙමු.....

අවසාන එලිය බිඳිත්තත් මුහුදු ගැබ තුල හැංගෙද්දී හදිසියේ මදෙස බැලුවාය. මොහොතක් මදෙස හැඟීම් විරහිත දෙනෙතින් බලා උන් කටහඞ අවදිකලාය....

ස්වරයේ වෙනසක් හදවතේ ඟැඹුරින් වටහාගනිද්දී

"තව කොයිතරම් කාලෙකටද?" ඇසුවාය.

"තව ටික දවසක්....  සතියක්.... ඊට අඩුවෙන්ඩත් බැරි නෑ..."

"හ්ම්.... ඒක තමා ඇත්තටම කවුද දන්නෙ හෙට වෙන්ඩත් පුලුවන්..."

යලිත් හිනාව...

බලාපොරොත්තුවේ අන්තයේ හිඳ හදවතේ වේදනාව හංඟන්නට යත්න දරද්දී ඈත අහසේ කැඩී ගසාගෙන යන සරුංගල් තිතක් මට පෙන්වූවාය.

මේඅගෝස්තු’ ව නොවුනත්, මුහුදු හුළඟට මුදාහැරි සරුංඟලයක නූල අතහැරී තිබුනි. සරුංගලය ඈත අහසේ නොපෙනී යද්දී මා ඇගෙන් සමුගතිමි.

මම යන්නම්....”

හොඳයි....  පරිස්සමින්.... කලුවර උනා වැඩී

ඇය සමුදුන්නාය.

***************************

ජීවිතයෙන් මම බලාපොරොත්තු වූ දේ බොහෝය. ඒවා සමහරක් බිඳී යද්දී අලුත් බලාපොරොත්තුවක් අඩුව පුරවන්නට ඉපදුනේ නිතැතිනි. ජීවිතය නම් බලාපොරොත්තුව පණ ගසද්දී නම් මම හදවතින් අඩපන උනේ ජීවිතයේ රස විඳින්නට හදවත ලෝබ වූ නිසා වන්නට ඇත. මියෙන්නට තවත් ඉතිරියක් නොවු අඩපන හදවත වාරුකරන්නට හුස්ම බිංදුවක් එහා මෙහා සරද්දී, හුස්මට අත්වැල් අල්ලන්නට තවත් හිතක් මුණගැසීම අහඹුවක්මදැයි මම දන්නේ නැත.

හෙටක් අහිමි ලෝකයක අදත් අවිනිෂ්චිත යාමයක් උදාවූ කල මියෙන තුරු පනගැසීම විනා වෙන කලහැක්කක් නොතිබුනි. ඇය අබලං කවුලුවකට එපිට සිට මියඇදෙන හදවතට හදගැස්ම මතක්කර දෙන්නට පටන් ගනිමින් තිබුනි.

ගැහෙන හිතට ගැහෙන්නට ඇති අයිතිය ඇය හඳුනාගෙන ඉන්නට ඇත. බලාපොරොත්තු මිහිදන් කරන්නට මොහොතකට පෙර මුනගැසුන සගයා සමඟ මොහොතක් ජීවත් වීමට ලැබුන අයිතිය අප දෙදෙනාටම බඩගින්නෙන් පෙලෙන කුසට වතුර වීදුරුවක් ලැබුනා තරම් සැනසිල්ලක් විය.

"ඒක හරියට රහස් භාෂාවක් වගේ"

මම ඇගේ වදන් සිහිකලෙමි. කුඩා උන් එවන් ක්රීඩාවකින් ලබන සතුට ඔබට තේරේවී කියා මම සිතමි. ජීවිතේ අන්තිම තප්පරයේදී මුනගැසුන සමාන හදගැස්ම හමුවේ අපි සතුටට ඇලුම් කරමින් උන්නෙමු.

කරදිය....

කඨෝරය.... නමුත් එයට අප හැමදාම ඇලුම් කලෙමු

***************************



මුන ගැසී හයවන දිනයේදී....මම යලිත් වෙරළතට ගියෙමි. මුහුදු සුලඟට සීරුවට වැනෙන සුදුපාට කොඩි දෙකක් නිවස අසල එල්ලී තිබුනි.

"හ්ම්......"

මම කුඩා කවුලුව අසල තිබූ පාලු දසුනට නෙත් යොමු කලෙමි. අබලං පුංචි කවුලුවේ තනියට උන්නේ පාට මැකුනු ජනෙල් තිරය පමනි.

ඉන් එහා වූ නිසල අඳුර තුල මම සැනසීම දුටුවෙමි.



නිමි