Friday, June 29, 2012

මම(සිතමි)



මම
පිපෙන්නට සිතමි....

පෙති මත වැතිර - චුම්බන පුදන
පිණි කැට ගැනත් - සිහිනෙන් දකිමි....

සුළඟට මුසුව - නටුවට බරව
තරවටු කරන - දුහුවිලි  සිහිව....,
......
.....
....
...
..
.
සිහිනය මරමි!


දුක අමතකව- හිත යලි හැදෙන
තව දවසකදි- මදහස නගමි.....

නව සිහිනද දකිමි!
නැසු සිහිනය සිඹිමි!

මුරන්ඩු හිතට - තරවටු කරන
හදවත සොයා - සෙනෙහෙන් බැඳෙමි

මම
.
..
...
....
.....
......
පිපෙමින් සිතමි....

Wednesday, May 16, 2012

හෙටක් ගැන සිහිනය දකිම් (සුභ උපන්දිනයක්!)




සිනා මල් වැහි වලින් නැහැවුන
හෙටක් පතනෙමි හදවතින්
හදේ තවරා ඔබේ සුවඳම
හෙටක් ගැන සිහිනය දකිම්

පුරා නෙතුයුග පැතූ පැතුමන්
එකින් එක කවිකම් කරන්
සරා සඳ ඔබ නිශා අහසෙහි
රිදී පැහැ ගෑ ආදරෙන්

පුලුල් පපුතුර රැඳී සැනහෙමි
උණුහුමට තුරුලුව තුටින්
සිනාසෙනු මැන අපේ හෙට ගැන
පැතූ පැතුමන් ළඟ ඉතින්

ජීවිතේ එක් මංසලක් ළඟ
එක්ව බැඳි දෑඟිලි තුටින්
තුරුලු කරගෙන වසන්තය වෙත
ඇවිද යමු අපි එක සිතින්

සුභ උපන්දිනයක්!
05/16

Friday, May 4, 2012

පැතුමක් පතමු කෙලෙසුන් දුරලන හෙටක




පුර සඳ දිලෙන පෝ දා මුදු සිලි-සිලිය
සිසිලස සිතේ වේවා ඒ සඳ විලස
සුදු වත සදන සුන්දර පිරිසුදු දසුන
සිත-සිත රැඳේවා පිවිතුරු සුදු පැතුම

පහනින් නැගෙන එලියෙන් දුරු වූ අඳුර
විලසින් දුරුව යාවා මෝහයෙ අඳුර
මුවඟින් නැගෙන සැනසුම් සුසුමක රහස
ඟැඹුරින් දැනේවා වෙසඟේ සිරි අතර

බුදු පා පුදන සුකොමල මල් නෙක පාට
මියෙනායුරු දකිමු පැන් යෙදුවත් බෝම
අතහැර යන දිනේ අදරැති හැම දේම
සිහිකර ගනිමු හොඳ සිතුවිලි මෙත්සාර

සුවඳින්, සුවඳ මිනිසත් බවෙහී සුවඳ
සුවයෙන්, සුවය සැනසුම ඇති නිසි දිවිය
පතමින් වෙසක් ආසිරි කාටත් තුටුව
පැතුමක් පතමු කෙලෙසුන් දුරලන හෙටක

Tuesday, April 10, 2012

කොවුලා තව ගයයි නව අවුරුදු තාලේ !




අවුරුදු ඇවිත් අත ලඟ පේනා මානේ
හිත් වල සියුම් කිතියක් පතුරන වේලේ
දුටුවේ නැතත් රතු පැහැ එරබදු මාලේ
කොවුලා තව ගයයි නව අවුරුදු තාලේ

හරි හරියට ගේ-දොර හැඩ වෙන විලස
හදවත් පවා පිරිසුදු වේවා එලෙස
ඇති- නැති කොයි ලිපෙත් ඉදෙනා කිරි බතට
යහමින් එක් කරමු හොඳ සිතුවිලි අහුර

දොලොස් මහක් ගතවී එන සුභ මොහොතේ
සිතක්-සිතක් ගානේ හසරැළි බෝ වේ
දුකත්-සැපත් නිති පෙරලෙන ජීවිතයේ
හෙටක් පතමු සැනසුම සැනහෙන දිවියේ

සතුටත් දියුණුවත් නො අඩුව හිමි වේවා !
සම්පත් උදා වී හෙට තව හැඩ වේවා !
නව වසරේ සියලු පැතුම් ඉටු වේවා !
ඔබටත්, පවුලෙ සැමටත් කිරි ඉතිරේවා!

Friday, March 23, 2012

රතු කුසුමෙ පිච්ච මල් සුවඳක් !



පන්සලෙත්,
කෝවිලෙත්
පුද බිමේ 
සුවඳ ළඟ

මන් වින්ද පිච්ච මල් සුවඳක්....
අපි පැතුවෙ එකම එක පැතුමක්.......



ඈ,
 හිසේ තැල්ල බැඳි සිනහවම
ඕ, 
ගෙලේ තැල්ල බැඳි සිනහවද,

යා කලා සිළිලාර සුළඟක්.....
දෙසිතේම කප්පරක් පැතුමන්....



කලෙකින් 
හමුවෙච්ච සුසුමකට,
තාලයට 
ගැලපිච්ච ස්වර අතරෙ,

කඳුලු බිඳු, දෑස්වල උපදිත්....
ඒ කඳුලු හදවතට සිහිලක්....



ලේ කඳුලු 
කප්පරක්,
මේ බිමේ
 නිදයි අද,

රතු කුසුම් තවත් පැහැ කරමින්....

නිදහසේ සුදු පාට විඳිමින්.....



ඒ කුසුම් 
නෙලාගෙන,
ආදරේ 
බෙදාගමු,

ජීවිතය පිදු සිත් සනසන්....
රතු කුසුමෙ පිච්ච මල් සුවඳක්....



අපි පැතුවෙ
එකම එක පැතුමක්....

Friday, March 2, 2012

බැඳීම් , හිත සහ 'සුභ පැතුම්' ( පැටැලුනු නූල්!)



 බැඳීම්..... වෙලාවකට පුදුමාකාරයි තමයි!

ඒත්, වේලාවකට හිතෙන්නෙ නැද්ද පුදුම වෙන්න දෙයකුත් ඒතැන නෑ නේද කියල? ඇයි පුදුමාකාර වෙන්නෙ බැඳීමක්, ඒ බැඳීම ඇති කරගන්නෙ අපි-අපිම නම්...?

ඒත්, වෙලාවකට ඒක පුදුමාකාරයි තමයි...!

 මල් ඕනෑ තරම් පිපුනත්, එක එක අය ඒ දිහාව බලන්නෙ තම-තමන්ගෙ 'ඇස්' වලින්නෙ. 

'ඇස්' මං හිතන්නෙ හිතට කොහොම හරි සම්බනද වෙන්ඩ ඕන. මොකද, හිතේ තියන අඩුවැඩිය ටික ටික එකතු කරගෙනනෙ අපි දෙයක් දිහා බලන්නෙ.


හ්ම්හ්!

ඊට කලින් හිතන්ඩ මහ බැරෑරුම් ප්‍රශ්නයක්!

අපි හිතන්නෙ 'මොලෙන්ද' නැත්තං, 'හදවතෙන්ද'? 
මං අහන්නෙ 'හිත' තියෙන්නෙ කොහේ වෙන්නැතිද? ඒක හරි අමාරුයි හිතන්න... 
මමත් තාමත් හිතනව!

හිතට ගැලපෙන දේකට අපි ආස කරනව වගේම අපි හිතට ගැලපෙන අයට කිට්ටු වෙනව.

සංසර බැඳීම්..අම්මා, තාත්තා, අක්කා, අයියා, නංඟි, මල්ලි, දුව, පුතා, ආච්චි, සීයා!ඔය ඇරුණාම, ඒ බැඳීම් එකට එන නෑදෑ බැඳීම් ඇරුනාම අනික් හැම බන්දනයක්ම අපි නේ බැඳගන්නෙ.

බෑඳීමක් ඇතුලෙ සර්ව සම සිතුවිලි නෑ තමයි. ඒත්, ඒ ඇතුලෙ තියන කලබල ගතියත් එක්තරා 'ගතියක්' තමයි. හිහ්!

සමහර වෙලාවට පුංචි පිණි බෝල ඉරට ආදරෙන් උදෙන්ම නැඟිට්ටට, ඉරත් ආදරේට හාදුවක් දෙන්න ගියොත්.... 

"පිණි බෝලෙ පවු!"අපි එහෙම කියයි... සමහරවිට ඉරත්, පිණි බෝලෙ උනත් එහෙම හිතයි.... 

ඒත්, සමහරවිට.....

  ඉරත් - පිණි බිංදුවත් එහෙම කොහෙත්ම හිතුවෙ නැතත් අපි  කියයි....

" පිණි බෝලෙ පවු!"

අර කෙසෙල් ගහෙන් මුවයක් මෝදු වෙද්දි 'අම්මව මරාගෙන උපන්න කුමාරය' කියල කොයිතරම් කීවත් ඒකත් එක්තරා බැඳීමක් තමරයි!

අවසානෙ.....

 සමහර බඳිම්  තියනව ඇහැට පේන්නැති, කනට ඇහෙන්නැති සමහර වෙලාවට කෙනෙකුට කොහෙත්ම දැනෙන්නැති..... 

මඩේ ඉපදිල, විලෙන් උඩට ඇවිත් හිනාවෙන නෙලුම මඩත් එක්ක තිබ්බ (තියන) බැඳීම කොයි වගේ කියලද ඔයා හිතන්නෙ?.

(කාලයක්) ඒ අතරෙ තිබ්බ(තියන) බැඳීම, 

ඕවු.... සමහර විට ඒක අහම්බයක් වෙන්ඩත් පුලුවං.... 

පේන්නැති, , ඇහෙන්නැති, දැනෙන්නැති උනත් ඒ බැඳීම තාමත් එහෙමමයි!.

" ...'නිසල' විසල් නෙලුම....  මේ අහපං! මේක තමයි කාලය. ආං ඉර පායලා.. පේනවද සමනල්ලු පියාඹන අපූරුව...ඒ තමයි නුඹේ ලෝකෙ.  මේ හීතල වතුරට තමයි මම ආදරේ මේ මගේ ලෝකෙ...."

"ඒත්, හැමදාම මේ 'ඟංඟාව' හිඳිල යනකල්ම මම නුඹේ මුල් රකිනව.

ඟංඟාව පතුලෙ ඉඳන් 'මඩ' කතාකරනව ඔයාට ඇහුනද?

නැහැ?

ඒක හරි....

එයා කතා කලේ හිතෙන්නෙ...

ඔවු.. අර හදවතේද, මොළේද තියෙන්නෙ කියල මම තාමත් හොයන හිතෙතන්....

ඒකත් එක්තරා බැඳීමක්!

ඒකනෙ මං කිවුවෙ

'බැඳීම්..... වෙලාවකට පුදුමාකාරයි තමයි!'


තව දෙයක්....එක පුංචි දෙයක්

වැඩිය හිතන්ඩ එපා..

සමහර සුබ පැතුම් උපදින්නෙත් 'හිතේ...' ඔවු, ඔවු.. ඒ 'නාදුනන' ඒත් 'අඳුනන' හිතේ....

 වචන, අකුරු, පාට, හිනා.... අඩු ගානෙ කඳුලුවත් නැතුව (  මඩ ගොඩක, ඟංගාවක කඳුලු වෙන්කරගන්නෙ කොහොමද ඉතිං කොහොමත්..?)

හැබැයි ඒත් 'සුභ පැතුම්' ම තමයි...



Wednesday, February 29, 2012

වෙනස



මල් යාය අද්දර
කනඟාටුවෙන්
ඳළඹුවෙක්
තටු එන්න 
කල් මදිව

ඉර පේන ඉසවුවක
සීතලෙන් 
පිණි බිඳක්
මියෙන්නට
අකැමැතිව