Thursday, July 28, 2011

හෙටක් ළඟ



"ඇයි උඹ ඔයි තරම් මුරණ්ඩු"

අම්මගේ වචන වලට පෑරිච්ච හිත හදාගන්න මම බැලුව ඒ ඇස්දෙක දිහා. 

හ්ම්....

දිරච්ච හිත වාරුකරගන්න අත්වාරුවක් වෙලා ලඟ උන්නු ඒ ඇස්වල ඉතිරෙන ආදරේ යටින් මට තව මොනාහරි පේනවා. ඒවටත් හරියන්න කම්මුල්වලට ඊයෙ පෙරෙදා එකතු උන අලුත් ඉරි ! 

ඔවු.... ඔය ආදරේ අස්සෙන් පේන්නෙ අසරණකම. 

"මම මුරණ්ඩුද අම්මේ.."

මගෙ හිත ඇහුව කෑ ගහල. දොංකාර දෙන වේදනාව වත්, මගේ හිතේ ඝෝශාව වත් කාටවත් ඇහුනෙ නැතිබව ඇත්ත. ඒත් හැමෝම දැක්කා කඳුලු!

"ඔහොම මුරණ්ඩු වෙන්නෙපා දරුවො. හිතපන්! හෙට දවස ගැන"

මං හිතනවා තාමත්.... අම්මා කියන හෙට දවස කවද්ද එලිවෙන්නෙ කියල. 

ආදරෙන් එකතුකරපු හීන එක්ක මට හෙට දවසක් අරං එන කුමාරයො මම පෑහුව. හ්ම් ඔවු ඒව කොහෙත්ම පෑහෙන්නෑ. මම හිත හදාගෙන හැරිල බලද්දි අම්මගෙ මේ මූන ආයෙ ආයෙත් මාව කොනිති ගහල රිද්දන්න උනාම... හ්ම් සැහැල්ලුවට පාඋන හිත බරවෙලා කඩන්වැටෙන්න උනා. 

ඔන්න වහිනවා!

හුරේ දාල වැස්සට පැනල වතුරෙ දඟලන පුංචි එවුන් වගේ එයාල හැමෝම සතුටු වෙද්දි මමත් සතුටු උනා, ඔවු අතඇරල දාපු හීන අස්සෙන් පේන අම්මගෙ බලාපොරොත්තු වලින් හිත පිම්බෙද්දි මම ඒ කීව හෙට දවසට හුරුවෙන්න හිත හදාගත්තා.

"මම කැමතී" 

හිනා, කඳුලු,සුභපැතුම්,ඒව - මේවා ඔක්කෝම අස්සෙ මගෙ වචනෙට මාර  ප්‍රතිචාරයක් ලැබෙද්දි මම ටිකක් උඩඟු උනත් එක්ක.ඒක හරිම අහිංසක පුංචි උඞඟු කමක්. කොයි කෙල්ලත් විඳින.

"මොකක්! එයා කැමති නෑ?"

අලුතින් අටෝගත්ත හිත හෙමීට දෙදරනව මට දැනුන. මම අම්මගෙ මූන බලද්දි මන් දැක්කා. ඒ හිතත් ඉරිතලලා.

හ්ම්.... මට දැනුන හරි වේදනාවක්... ඒක... කොහොමද කියල දෙන්නෙ.. ඒක මහ අමුතු හැඟීමක්.... උගුර අස්ස හිරඋන පාර වැරදිච්ච කඳුලු ගුලියක් මට වද දෙද්දි ඊළඟ දැක්මට මම සූදානම් උනේ හිස් හිතක් එක්ක.

"මම කැමති"

"මම කැමති"

"මම කැමති!!"

ඔහොම යද්දි ඒ මූනුවත් හරියකට බැලුවද කියල නිච්චි නැති උනත් මම උත්තර දුන්නෙ පැතුම් වලින් පිරිල තිබ්බ හිත හුලං වලින් පුරෝනගමන්.

අන්තිමේ මම කියන්නත් කලින් එයා කියල තිබ්බා 'මම කැමතී' කියලා

මට දැනුන මේ තමා අම්මා කීව හෙට දවස! 

හරියකට මූන බලානොගත්ත එකට මටම බැණ, බැණ ආයේ ඒ මූන හරියකට බලන්න ඕනි වෙද්දි මම ඒ හෙට දවසට හුරුවෙන්න සූදානම් උනේ ඒ හිස් කමට අසරණකමක් එකතු කරගෙන.

"ජීවත් උන අවුරුදු ගාන කොහොම වෙතත් මං මගේ සේරම දාල යන්න දැං සූදනම් වෙන්න ඕනි.!!"

මගේ අය ඒ නාදුනන හෙට දවසට සූදානම් වෙද්දි මම මොහොතකට මෙතුවක් මගේ උන හැමදේම මැද්දට පැනල ලොකු හුස්මක් ගත්තෙ ආදරෙන්.

ඩිං ඩොං...

අම්මා දොර ඇරියා.. හප්පේ සැලකිලි.... හැමෝම මොහොතක් එයා එක්ක ආ ගිය තොරතුරු කියෝලා මාරු උනා. යන ගමන් මං දිහාට හරි කොමල බැලුම් දාගෙන ගියේ. එයාලට වැඩ. තේ හදන්න, ඒවා - මේවා දන්නැද්ද ඉතිං. 

මං එයා එක්ක මොහොතකට තනි උනා, සාලෙ.  ඉස්සරෝම මූන බලගත්තෙ දැං. හ්ම් නරකම නෑ... මට එයාගෙ එක එක අපූරු, මං කැමති දේවල් පේන්න ගත්තා. 

මගේ අර කීව හෙට දවස ගැන කටු සටහන් ටිකක් හදාගෙන යද්දි එයා කතාකරන්න මුල පිරුවා.

"ඉතිං...."

මම ගැස්සිල එයා දිහාව බලන ගමන් මට හිතුනා

"මම එයාට කැමතී"

හිතේ ඇදිච්ච කටුසටහන් එක්ක ඒ හැඟීම මගෙ මූනට හීන් හීනාවක් අරං ඇවිත්.

මං දැක්ක එයත් හිනාවෙනවා.

අපි දෙන්නම කතාවෙලා කලාවගේ එකපාරටම හුස්ම පිටකලා

හැබැයි ඔන්න කලින් කතාවෙලා තිබ්බෙත් නෑ!

අපි ආයෙම සැරයක් හිනා උනා

"ඔයා හිනාවෙද්දි ලස්සනයි"

මං දිහාව ඒ හිනාවෙන්ම බලා ඉඳල එයා කියද්දි පුදුමත් එක්ක.

මං හිත හිත උන්නෙත් " එයා හිනාවෙද්දි ලස්සනයි" කියල!

 මොකද්දෝ කෝලකමක් හිත කිචිකවද්දි මං බිම බලාගත්තා

"මම මටත් එහෙමම දැනුන කියල පස්සෙ දවසක එයාට කියනවා"

මගෙ හිත මිමිණුව!

වස්සානය - රත්න ශ්‍රී විජේසිංහ

















වස්සානය - රත්න ශ්‍රී විජේසිංහ

ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට

සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර                                    

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස

Tuesday, July 26, 2011

විඳිමි



මදනලට පෙම්බඳිමි
ඔය සුවඳ එහි සොයමි
පුරුදු රුව නෙතු නොගැටි
මොහොතකට සසලවෙමි

අකුරු කල පොත් අතරෙ
අතීතය යලි විඳිමි
ලියු පදවැල් පැහැය
මැකීයන යුරු දකිමි

දොඩමලුවු හිත හොයමි
හැඟුමන් සරෙන් පිබිදි
කාලයේ තාලයට
ජීවිතය කවිකරමි

මගබලන නෙතු තෙමුනි
ආදරය මම විඳිමි
ඔබේ වරදක් නොවේ
කාලයට එරෙහි වෙමි

ආදරය මම විඳිමි
මගබලන නෙතු තෙමුනි

Friday, July 22, 2011

නැඟිටපන්! (මම හීන වලට ආදරෙයි)



"නැඟිටපන්! ඉතිං නැඟිටපන්!!"

හැමෝම කියන්නෙ හීන මැවුවට වැඩක් නෑ කියලයි.... 

ඉතිං නැඟිටපන් ඔය නින්දෙන්....මළවිකාර බහුබූත! මොළේ කොළොප්පම් කරන ඔය හීනෙන්...!!

නෑ... මං හීන මැවුව තමා.... හුඟක්.... ඒත් මං නිදාගෙන උන්නෙ නෑ.... මේ දැනුත් හිත ඇතුලෙ මැවෙන හීන දකින්නෙ මං නිදාගෙන යැ?

මං දැක්ක හීන.... සීරුවට, ආදරෙන්, බලාපොරොත්තු තමා නින්ද.... 

ඇත්ත,සමහර හීන බිඳිල ගියා තමා.පුංචි කාලෙ ඉඳං පිළිවෙලට දැක්ක ඒ හීන කුඩුපට්ටම් වෙලා මං ඉස්සරහම කෑලි කෑලි ඉහිරෙද්දි! හ්ම් ඒක මහ වේදනාවක්. එතකොට දැනෙන අසරණකම. හෙහ්.! හිතෙනව තමා මට එපා හීන ආයෙම, ජීවිතේටම.... ඒත් හිත අස්සෙන් ආයෙ ආයෙ මතුවෙන හීන කෑලි අපූරුවට වේදනාව හෙමීට තුනී කරපු හැටි. මං හීන වලටත් ආදරේ ඒ හන්දා.

බිඳිච්ච හීනයක් ඇතුලෙන් ඉපදිච්ච හීන කවදාවත් තිබිල නැද්ද?

ඒ හීන හරි හොඳයි.මැරෙන්න යන හෙටක් ගැන ආදරයක් උපද්දන්න ඒවයෙ තියෙන්නෙ අමුතු බලාපොරොත්තවක්.

පුංචි කාලෙ ඔන්චිලි පදිද්දි තල්ලුවක් දාන්න කෙනෙක් නැතුව කණු කුණු ගාද්දි, මහ සද්දන්ත කජු ගහේ එක කොලයක් බඩේ ගැවෙන තරම් තාත්තා දාපු තල්ලුව!

 පුහ්!

 එදා මං පියාඹන්න මැවුව හීනේ හැබෑකරගත්ත කියල හිතාගත්තෙ පියාඹන එක මට ඒ හැටි හිතට ඇල්ලන එකක් නෑ කියල තේරුන හංද වෙන්නැති. ඉතිං ඕකට ඔයහැටි හිනාවෙන්න ඕනද, ඒ හංදනෙ මං ඔන්චිල්ලාව අක්කලට බාරදිල හැන්දෑවට තාතත එක්ක ඇවිදින් පුරුදු උනේ. 

හීන බොළඳ වෙන්න පුලුවං, නපුරු වෙන්න පුලුවං, බිඳිල යන්නත් පුලුවං. ඒත් හැම හීනයක්ම ජීවිතේට දෙන්නෙ අලුත් පිටුවක්. 

දවසක අපි අපේ ජීවිතේ ආයෙ කියවද්දි ක හීනවලින් පිරිල තියෙයි. අද නොහිතනාට එදාටවත් දැනෙයි.... බිඳුන, බිඳුව, අතහැරපු, අතඇරුන, හැබෑඋන හීන අස්සෙ අපේ ජීවිතේට තල්ලුවක් ලැබිල කියල. එදාටත් ඇඳෙයි හිනාවක්, ලස්සනට, ඒ හිනාවට ලොකු අර්ථෙකුත් තියෙයි. තවකෙනෙක්ගෙ හීනයක් දැකල හිනාඋන හදවත්ම තමංගෙ හීන, හංඟගෙන උනත්...  නොදැනුවත්වම දැකපු හීන! හොයාගනියි දවසක.

හීන දකින එක නෙවේ වැරැද්ද... ජීවිතේට හුස්මක් අරං එන හීන හැබෑ කරගන්න පුංචියට හරි උත්සහ නොකරන එක.

මං අහල තියෙනවා කවුදෝ කෙනෙක් කියල තියනව හින දකින අයට හිනාවෙන්න එපා කියල, හින නැති අයට ජීවිතයක් නැතිලු.

හීන කියන්නෙ බලාපොරොත්තු. අපි පොඩියක් උත්සහ කලොත් ඒව හැබෑවෙනවා.

හැම හීනයක්ම හැබෑනොවුනත්, හැබෑවෙන හීනත් පොඩ්ඩක්හරි තියෙනව. හැබෑ නොඋන හීනෙකින් ජීවිතේට දෙයක්... මොකක්හරි දෙයක් එකතුවෙනව. 

දැකපු හීන සේරෝම හැබෑ නොවුනත්, ලස්සනම හීන බිඳිල ගියත්, සමහර හීන මඟඇරුනත් මම තවම හීන දකිනව.

හැබෑඋන පුංචි පුංචි හීන වගේම ඒ හැබෑනොවුන හීන ඇතුලෙත් මම ජීවිතය දකිනව. 

මාව ඇහැරවන්න හදන්න එපා.

මං නිදි නෑ. 

මේ හීන ඇතුලෙ තියෙන්නෙ බලපොරොත්තු ඒඅතරින් ලැබෙන්නෙ අත්දැකීම්.

හීනයක් දැකල නැද්ද  කවදාවත්...පුදුමයි....

සමහරවිට ඔයා ඒවාට දීලඇත්තෙ වෙන නමක්!

Tuesday, July 19, 2011

වළාකුලු



"සඳඟෝමී....චූටි පුතා.... නැගිටින්න ඉතිං"

ඒ භද්‍රාගේ හඩය.කුස්සියේ පොඩි හතරැස් මේසයේ තබාතිබූ කිරි තේ ඔහුගේ කෝප්පය අතට ගත් පියසේනගේ මුවඟට හීන් හිනාවක් ආවේ නිතැතිනි.ඔවුන්ට 'සඳඟෝමි'නමැති දරුවෙකු නැත.ඉන්නා මේ එකම පැටියාට 'ප්‍රභාෂ්වර' යි නම් තැබුනේ දෙන්නාගේම කැමැත්තටය.

ඔය භද්‍රාගේ විලාසයකි.ඕ පැංචාට එක එක නමින් අමතයි.යන්තම් එකවසරට රිංගාගත් නොකිලිටි හිතැති පොඩ්ඩා ඔය කොයිනමටත් ලෙංගතු ප්‍රතිචාර නොදක්වා ඉන්නේ නැත.

භද්‍රාටත්,පියසේනටත් ඉන්නා මේ එකම දරුවා ඔවුන්ට මැණිකකටත් වඩා අගනේය.දරුවන්ටනම් කොතෙක් හෝ නොනිම් ආසාවෙන් පෙලුනද ඔවුන් තනි පැටියෙකුගෙන් සැනසුනේ මේ නහයත් යටකරන් ගලනා අගහිඟ කම්වලින් සියල්ලෝ තෙතබරියන් වීමෙන් වලකින්නට වීමට පුලවන.

සීනි අඩු තේක උණු උණුවේ උගුරෙන් පහලට යද්දී පියසේන එකම කාමරයවෙත පා නැඟුවේය.කකුල් පාරවල් වලින් අවපැහැ ගැන්නූ පාට මැකුන සීතල බිත්තියට තද වී පුතා සුව නින්දේ හිඳියදී,ඇදමත වාඩිවි නිසොල්මනේ දරුවාදෙස බලා උන් භද්‍රා තිගැස්සුනේ සැමියාගේ අඩිහඞටය.

ඔවු, ඈ මිනිත්තු කීපයක් මේ සැනසිල්ලේ නිදන පොඩ්ඩාදෙස බලා ඉන්නට ඇත. ඒ කෙටිකාලය තුල සිතුවිලි දහසක් ඉපිද මියයන්නට ඇතිවගට සාක්ෂි ඕ පියසේන දෙසබලා හෙලූ සුසුමේන් පිළිඹිඹූ උනාය.

"කොල්ලා නිදා ඉන්නහැටි දැක්කාම ඇහැරවන්නත් ලෝබයි" ඈ කෙඳිරුවාය.

"ඔන්නොහේ නිදාගද්දෙන්, සෙනසුරාදනෙ" පියසේන මනදස්මිතවම කීවේය.

"හ්ම්... අනේ මංදා ඉස්කොලෙට ඕනකීව අර ලිස්ට් එකෙන් තව හෙන ගොඩක් ජාති ගන්නත් තියෙනවා"
 භද්‍රා යලිත් කොඳුරද්දී පියසේන තේකෝප්පයේ මන්ඩි දෙස බලා සුසුමක් හෙලා කටහඞ අවදිකලේය.

"ඊයෙ අර වැඩමල්ලෙන් වැඩකරන්න දිලා, පුතාට ක්ලේ පෙට්ටියක් නැති හංදා,  හිත නොහොඳින් ආවේ. ටිචර් කිවුවා මෙදා අවුරුදු උත්සවේට පංති දෙකේම ළමයිගෙ නැටුමක් තියෙනවලු.ඒකෙ ඇදුම්වලට මගෙහිතේ,  ලබන සුමානෙ රුපියල් හයසිය පනහක් ගේන්නත් කිවුවා"

"හ්ම් දැන් මොකද කරන්නෙ?"

"මං හිතුවෙ දැං අවුරුදු කාලෙනෙ, මිනිස්සු අවුරුද්දට ලෑස්ති වේනව. ඔයා ඉස්කෝලෙ නෝනලෑ දිහෑ වැඩට යද්දි මේ දවස් දෙකේ පුතාත් එක්ක ගියානම් මට පුලුවං පොඩි කුලී වැඩක් කරල ඕක හොයාගන්න."

"එපා, එපා! මතකනෙ ගිය මාසෙ දරුවට බේත්ගන්න කියලා කුලී කරලා අන්තිමේ, ඔයාටයි බේත්ගන්න උනේ. ඔයකොන්දත් එක්ක කොහොමද.... මංකියනවටවත් ඉන්නකො ඕවට නොයා. ඔයා දැන් දුක්වින්ද මදෑ. මං ඉස්කෝලෙ නෝනගෙන්  පඩියෙන් ටිකක් කලින් ඉල්ලගන්නම්"

පියසේනගේ පාදය දනහිස අසලින් බිඳී ගියේ ඔහු මේසන් බාස් කෙනෙකුව උන්සමයේ මුහුන දුන් හදිසි අනතුරකිනි. එතැන් පටන් ඔහුට සිය ජීවන වෘතිය කිරීමට හෝ කිසිඳු බරවැඩක් කරගැන්මට වත් අපහසු විය. මදක් වහෙසී වැඩකල සැනින් ආභාදිත පය සතිගනකට යලිත් ආතුර වෙයි.එය සියල්ලටම වඩා අපහසු කාලයක් මේ තිදෙනාට ළඟාකරවයි.

ජීවිතයේබර උහුලන්නට මෙහෙකාරකමට දියවෙන භද්‍රා සිය කුටුම්බය පෝශණය කරන්නට වෙහෙසෙමින් ඉඳියදි, මින් කලකට පෙර ඔවුන්ට අඟහිඟ කම් මද වූ කාලයේ වෑයමින් ඉදිකරගත් නිවෙසත් සීමිත, නොවටිනා ලීබඩු කිපයත් පමනක් කෙමෙන් වියපත් වෙමින් ඔවුන් හා ඉතිරිවතිබුනි.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු. අනුරාධපුරේ පැත්තෙන් ඇතුල්ට වෙන්න ගන්න පුලුවං ලාබෙට ඉඩමක්. පුංචියට ගේ පැලක් අටෝගෙන හිමීට නැගිටින්න බලමු. මට පුලුවන් මිරිස් වවන්න, කුරක්කන් එක්ක. ඒක මේ හැටි අමාරු නෑ. අවුරුදු 2-3ක් දුක් වින්දට අපිට පුලුවංවෙයි ඔලුව උස්සගන්න. අපි මේව විකුනමු"

භද්‍රා යලිත් පියසේනගෙන් මේ ඉල්ලීම කලේ කීවෙනි වතාවටදැයි නිනවු නැත.එහෙත් ඔහු ඒ හැම වතාවකම යෝජනාව මඟහරින්නේ සිය ජීවිතයේ මුල් ගමන්කරඇති මේ පොළව හැරයාමේ නොකැමැත්ත හේතුවෙනි.

***************************

භද්‍රා නිවසින් පිටවු පසු පියසේන ගෙට ගොඩවන පඩියේ වාඩිවී සිටියදී දරුවා මිදුලේ යම් ක්‍රීඩාවක නිරතවෙමින් උන්නේය. එකවරම ඇසුන රතඤ්ඤා හඞකින් උදම් උන දරුවා අත්පොඩි තලා සිය ප්‍රීතිය ප්‍රකාශ කරද්දී, පියසේන ගේ හදවත යලිත් බරවන්නට විය.

පාසලේ අවශ්‍යතා වලට රුපියල් දහසක් භද්‍රාට හොයාගැන්මට බැරි නොවුනත්,අවුරුද්දට පොඩ්ඩාට අලුත් ඇඳුමක්, රතිඤ්ඤාවක්,  කැවුමක් නිසා ලැබිය යුතුවන සතුට මේ වතාවේත් අහිමි වනු ඇත. ඒ මුහුනේ ඇඳෙන බලාපොරොත්තු කඩවීමේ ලක්ශනයන්ගේ ඡායාවන් පියසේනගේ හදවත කොණිති ගසද්දී ඔහු ශෝකී මුහුන අහසට යොමුකලේය.

ඉස්කෝලෙ නෝනාගෙන් තවත් ඉල්ලන්නට භද්‍රාගේ පඩියේ ඉතිරියක් වේදැයි පවා විශ්වාශ නැත.පියසේන පිළිතුරක්අහසේන් සොයාගත්තා සේ ඔහු සැනින් නැගී සිටියේය.

"පුතේ පොඩ්ඩකට අතුලලෑ දිහාට යන්න. තාත්ත පැයෙන් එන්නම්"

මොහොතක් පියාගේ මූන හෝදිසි කල දරුවා,සැනෙන් සිය මිතුරා සොයා දිවයද්දී පියසේන පැකිලෙන පා  ගැහෙන හිතින් වරුකරගනිමින් තීරනාත්මක පියවරක් ඉදිරියට තැබීය.

****************************

ඒ රාත්‍රියේ ඔහු එතරම් අමුතු මන්දැයි ඇය තේරුම් ගත්තේ මහරෑ විත් නිවසේ දොරට තඩිබෑ පොලිසියේ ගෝරනාඩුව නිසාය.අන් මඟක් නැතැයි සිතා දරුවාට අවුරුදු ගෙනෙන්නට ඔහු නිවෙස් හතරකට එහාවූ රත්නසිරිගේ වතුර පොම්පය හොරකම් කර තිබුනි.කෑලි කපන අඳුර අතරේ ජීප් රථයට දමාගෙන ගිය සැමියා ගැන සිතා ඕ කඳුලු හෙලුවාය.ඒ කඳුලුවල දියවී ඇගේ ජීවිතය ද සේදී යමින් තිබුනි.

අසල බිම නිදා සිටිනා දරුවා ඔසවා ඇඳෙන් තැබූ ඈ පියසේනගේ දෑසේ තිබූ කථාව කියෙවුවා මෙන්  බරසුසුමක් හෙලුවාය. ඒ සුසුමින් ළය තවත් බරවූ තැන තවත් සුසුමක් හෙලුවාය.
 ජීවිතය විසිරීයන වලාකුලක්සේ ඉහිරෙන්නට දෙන්නට බැරිය. කැටිවළාවක්වී ගමනාන්තයට යායුතුය.

පසුදා පියසේන බැලීමට භද්‍රා පොලිසියට ගෑටුවාය.එක අතකින් දරුවා අල්ලාගෙන උන් ඕ සිරකූඩුවේ යකඩ පොල්ලක් අනිත් අතින් සිරකර ගත්තාය.

"මට සමාවෙයන්.., මම..."

පියසේනගේ හඞ ඇහෙද්දී භද්‍රාගේ නෙතින් සටසට ගා කඳුලු වැටෙන්නට විය.ඕ යකඩ කූර අතැර පියසේනගේ අත මිරිකා ගත්තාය.

කඳුලින් සේදියන දෑසින් දරුවාගේ අහිංසක දෑසත්,භද්‍රාගේ අසරණ දෑසත් දෙස බැලු ඔහු කටහඞ අවදි කලේය.

"අපි මේ ගේයි, ඉඩමයි විකුනමු"

බරැති සුසුම් දෙකක් එකම මොහොතක, භද්‍රාගේත් පියසේනගේත් මුවින් පිටවේද්දී, මිරිකුන අත් අතරට අලුත් කඳුලක් එකතුවිය.

Monday, July 18, 2011

බලාගෙන




ඇහෙන්නට ලෝකයට
කන්නලවු කරද්දී දෙවොල ළඟ
පපුවෙ ඇවිලෙයි ගින්දර

බලාගෙන!

Alert එකේ ඉඳගෙන
යාතිකා කරද්දී
යන්තමට පොඩියක්
වරද්දනව නේද ලාවට

දන්නෝ දනිති
ඉන් සමහරෙක් හිනාවෙති
සමහරක් වේවුලති,
නොහැංඟී හැංඟෙති

මුකුත් නොදන්න මනුසත්තු
එක රෑනට ආවඩති
ගම්මිරිස් රස්නෙට
අනේ උන් පිච්චෙති

බලාගෙන!

කන්නලවු කරද්දී දෙවොල ළඟ
පපුවෙ ඇවිලෙයි ගින්දර

සියදිවි නසාගැනීමක් ඔය!

අහිංසක වෙස්මුහුනු යට.....



හිනාවේ පැහැ පිහදගෙන
බලාපන් කැඩපතින් රුව
සුදුපාට තවරන් දිලෙන ලෙද
ඔය ගලන්නේ සඳරැස්ද තව

කල් ඉකුත්උන මායම්ද.....


වලාකුලු නැතිවාට අද
උඹ මොහොතකට හිනැහියන් තව
උනා බය, හිත  වලකවන
උඹ උඹම වීයන්  හදවතට

අමාවක අද අඳුරු රැය.....


දෙබිඩි හදවත දෙකඩ කර
මඟ වැරදිලා ආ මඟ නොදැන
හිනාවෙන්නේ මුවින් මිස
රුහිරින් පිරුණ ඒ හදවතද

හිත දැනෙන්නේ ඔය නුඹට මිස....


ආවාට පුරවා විසෙන් තව
ආ ගමනෙ කෙලවර පෙනෙන සඳ
දැන් ඉතින් හිනැහීයන් හනික
හෙට අටවකට සලුපිලි පැළඳ

පොඩියකට සනසාගනින් හිත....