Thursday, September 27, 2012

ඒක මහ පුදුමාකාර හැඟීමක්....


මේ ඇරඹුමයි.... මාවත බෝ දුරයි.....
ඔලුව ඉස්සුවා, පෙරලුනා, ඉඳගත්තා, දණගෑව, අල්ලන් නැඟිට්ට.......
ඊට පස්සෙ,
ඇවිදින්න පටන්ගත්ත...
දැන් ඔයාට තනි කකුලෙන් පනිනත් පුලුවනිනේ.....!!

තනියම දත් මදින්න (අපි ආයෙම මද්දනව තමා ),  කලිසම - සපත්තු දාගන්න ඔයාට දැං පුලුවන්....

ඒ විතරක්යැ, දැං ඔයා නාන්නෙත් හිටගෙන...
ඒක හරිම හපංකමක්! (ඔයාගෙ චුටි පුංචි එහෙම නෑවෙ එක වසරෙදි!)

ඉස්සර ඔයාව උකුලෙ තියාගෙන ඔයාගෙ අම්මයි, ආච්චිඅම්මයි, පුංචිලා වෙච්චි අපි තුන්දෙනයි, මදි පාඩුවට තාත්තයි කීව සිංදු යංතං දැනෙද්දි වචන වරද්ද වරද්ද ඔයා මතකෙන් කියන්න ගත්තා.....

ආච්චී - තාච්චි 
තාත්තා - කාක්කා
පිඟාන - පිනාඟ 
පුසෙක් -පූවෙක් 
Rabite - ලැබිට්

ඔයා බහතෝරන්න ගත්තා....

එකයි, දෙකයි, පහයි, අටයි, තිස්දෙකයි! කියලා ගැන්නා....

 A B C D සිංදුව තාලෙට කිවුවා.....


දත් කැකුලු කාලා
සුලතල් ශිනා ශීලා .....

~~~~~~~~~~~~
ශී... ලංකා මතා.....
අප ශී........ ලංකා
නමෝ නමෝ මතා....
ශුන්දල ශිලි බලනී..........

 ඔයා ජාතික ගීයත් හරි අපූරුවට ගයල, අන්තිමේ ඔලුව පත්කරල අආචාර කලා

සබ්බ පාපස්ස අකලනං 
කුශලස්ස උප ශම්පදා ........

කවි, කතා අතරට ගාථාත් කිවුවා..............................................................


අද උදෙම්ම ඇහැරිලා ටික දවසක ඉඳන් අපි හැමෝම බලං උන්න ඒ මොහොතට ඔයත් ලෑස්ති උනා...

දොයි මත නැති උනේ නම් බාප්පගෙන් උදෙන්ම තෑඟි ලැබුන ලස්සන වලස් පැංචෙක් මහපු පොත් මල්ල හදයි...

බුදුන් වැඳලා, ගාතා කියල,.... ඔන්න සුභ වෙලාව ඇවිත්!

බයන්න.. අම්ම කියනවා

බ යන්න........තාලෙකට ඇදල පුතත් කීවා

පයන්න.. අම්ම කියනවා

ප යන්න....... කලින් තාලෙටම පුතත් කීවා

පහා...අම්ම කියනවා

ප හා..... අලුත් තාලෙකට පුතා කීවා

B.තාත්තා කියනවා

B.......පුතා සද්දෙට කීවා

P තාත්තා කියනවා

P.......තාලෙට පුතා කිවුවා


ආච්චි අම්මගෙයි, අම්මගෙයි,  තාත්තගෙයි පුංචිල තුන්දෙනාගෙයි ඇස් අගිස්සෙ සතුටු කඳුලු බිංදුවක් ඉපදෙද්දි ඔයා අපි හැමෝටම බුලත් අතක් දීලා දණගහල වැන්දා.....

අපි හැමෝගෙන හිතේ එකමෙක පැතුමක්!

'පුතේ, හොඳට ඉගනගෙන හොඳ පිරිමියෙක් වෙන්න!'

අද ඔයාව පෙරපාසලට ඇතුලත් කරාවි...
එන නොවැම්බරයෙදී ඔයාට අවුරුදු තුනක් පිරෙද්දි....,
ලබන අවුරුද්දෙ ඉදං ඔයා ඉස්කෝලෙ යාවි.....

අනේ....

ඒක මහ පුදුමාකාර හැඟීමක්....

ඉපදුන දවස්වල... වඩාගන්නත් බය හිතුන, පුංචි ආදර පොදිය...!

අද ඔයා ලොකුයි... හරිම දඟ, හුරතල්, අපේ චූටි පුතා.....

දවසක ඉලංදාරියෙක් වේවි ඔයා.....

මේ උගුර ගාව හිරඋන නොතේරෙන මොකක්දෝ හැඟීම කඳුලකින් පිටවෙන්න හදනව.....

සතුට, දුක, ආදරය, ලෝබකම.... සේරම එකතුඋන අමුතු හැඟීමක් ඒක......

නෙල්ලි වගේ.....

ජීවිතෙත් ඒ වගේ, රස ගොඩක එකතුවක්...

හරි ක්‍රමේට රස බැලුවොත් රසයි.... වරද්දා ගත්තොත් නීරසයි

ඔයාට ජීවිතේ රස විඳින්න ලැබේවි...

අපි ඔයාට හුගඟාක් ආදරෙයි...

2012. 09. 27

Tuesday, September 25, 2012

පරිපූර්ණ



ඇය....,

මල්වර වියයුතුයැ 
සුභ දිනෙක,
බිඳ එක පහරින් නෙරලු ඵල දෙබෑවට....

තවද,

නේක ඇස් වල සරින් 
එලැඹ තුරුණට
සරණ යන දා සුභ මොහොතක
යළිඳු බිඳෙනා නෙරලු ඵලයකද,

අනතුරුව,

සුන්දරැයි කියනා අඳුරෙක
පාලු මකනා ස්වේත පිරුවටයක
රක්ත සිත්තම 
අත්‍යාවශ්‍යමය....

ඉන්මතුව,
ගැබ්බරව


අවසන,

විද නේක පීඩා
කුසින් හොත් 
දරුවා පුරුෂ ලිංගික විය යුතුමය.....

ලියා පොතක්, 
සිටුවා ගසක්
අර්ධ පුර්ණවු
සිය සැමියා
පරිපුර්ණ පිරිමියෙකු කර, 

ඇය පරිපූර්ණ ගැහැණියක වීමටනම්....

Tuesday, September 18, 2012

වෙනස


කුහුඹුවෙක්!
ඔසවාන අමෲතයෙන්
එකමෙක කැටයක්
බොහොම දුක්බර
මුහුණකුත් හදාගෙන
හරි බයෙන්
හරි-හරියට දුවන,

මිනිසෙක්!
හදාගෙන දුම් දමන 
ප්ලේන්ටියක්
සීනි බෝතලෙත් ඇරගෙන
කේන්තිත් අරගෙන
කුහුඹුවන් ගැන
"මේ මොන කරුමයක්දැ" යි
තමුන් සමඟමැ දොඩන,

ඒ අස්සෙ 
නිනවුවක් නැතිව
ගෙයින් පිට, හෝ ගාල 
වැස්ස!


Wednesday, September 12, 2012

අත්තම්මලා පවු අනේ! පැය ගනන් පෝලිමේ !!





බුදු හාමුදුරුවනේ.....,

පාන්දර ඉදන්
අමතක කරන් නෙක ගැහැට,
හිතේ ඉපදුන බුදු බැතිය
කුසුමක් කර පුදන්නට....,
පෝලිමේ බලා ඉන්නා
අත්තම්මලා පසුකර,

ඉහල බැතිමතුන්
අපූරුවට
කපිලවස්තු ධාතූන් වහන්සේලා
වැඳපුදා විශේශ විදියකට
අනේ පවු! අර මිනිස්සුයි
සෝක සමච්චලයක් හෙලා,
ඉගිලැගොස්.....,

පම්පෝරි  සාඛඡ්චා
අනේ වසනාවන්!
අපිට පැය කාලයි
අත්තම්මලා පවු අනේ! පැයගනන් පෝලිමේ
ඔහොම වැදලා මොකට,
උන්ගෙ ශ්‍රද්ධාව බාලකොට,
TV එකෙන් කලානම් පහසුයි නෙ වන්දනා
මල සමයං!

උන්දැලා කියනකොට
ඒවා ඇහෙනකොට
හිත රිදෙන්නේ
මගේ නපුරු කරුමෙටද?

Friday, September 7, 2012

තාත්තේ, ඒක හරි ලොකු කාලයක්!



ඒ කාලෙ හරිම ලස්සනයි! 

මං අද හිතනවා. 

ඒත්, 
එදා ඒ ලස්සන මට දැනුනෙ අඩුවෙන්. මම ඒ ලස්සන කාලය ඇතුලෙ ජීවත් උනා, ඒ ජීවිතේ වින්දා...
 ඒත් එදා මේ තරම් නොදැනුනට අද මට මතක් වෙද්දි හරිම අසරණ කමක් හිතට දැනෙන්නෙ. ඒ, ගෙවුනු වසර ගානම ඇතුලත ආයෙ කවදාවත්ම නේන ලස්සනම කාලෙ ඒ අවුරුදු ගාන හන්දයි.

ආයෙත් ඒ දවස් නේන්නෙ තාත්තේ, ඔයා තවත් එන්නෙ නැති හංදයි.


හීන... 

අපි එකතුවෙලා දැකපු හීන වලින් එ,ක දෙක අද හැබෑ වෙනව. ඒත්, ඒ ඔයා ළඟ නැතුවම. 

අද තාත්තත් උන්නනම්...... 

ඔයා තමා ඒ හැබෑ උන හීනවල සතුට වැඩියෙන්ම විඳින්නෙ... 

ඒත් අද ඔයා නෑ.... 

බිඳිල ගිය හීන ළඟදි හයියක් වෙන්නවත්, හැබෑ උන හීනවල සතුට බෙදාගන්නවත්......

අවුරුදු දහයක්!
ඒක හරි ලොකු කාලයක්! 

කියාගන්න මොනාදෝ ගොඩක් නලියන හිතක් එක්ක මුකුත්ම කියාගන්න නොතේරෙන හැඟීමක්,  උඟුර ගාවම ඟුලි ගැහුන දුකක්,  ඒත් එක කඳුලක්වත් හලන්න බැරිව වේලුන ඇස් දෙකක් මාව හරියට රිද්දනවා. 


තාත්තේ, ඒක හරි ලොකු කාලයක්! 

මතකයන් ඉහිරිච්ච මාවතේ
හෙන්දිරික්කා මලින් කවි ගෙතේ
 දුර ගමන නිම් නොදත් ජීවිතේ
ඔබ කිවු කවි වලින් සැරසෙතේ....


වැහි සමේ උණුහුමක් දවටලා
හදවතේ මතකයන් තවරලා
පිණි කඳුලු නොසලන්න යැයි කියා
ඔබ ගිහින් දුර ඈත සැඟවිලා....

තරු අහසේ සිත්තමක නැවතිලා
මදහාස ඔය මුවග තවරලා
ආදරේ පවන් රැල් සල සලා
අපි දිහා බලන්නේ තාත්තා....

 (2012.09.10)

Thursday, August 23, 2012

'පුනරුක්ති'



මම ඔබට 'අනෝමා ජනාධරී' කියා සම්පූර්ණ නමින් ඇමතුවේ දුන්හිඳ අද්දර බැලූ සමයේය. ඒ කාලෙ අපි බොහොම පුංචි දරුවො. (මම විශ්වාෂ කරනව අද මම යම් දුරකට වැඩිහිටිකම දකිනව කියල. අද මට වයස අවුරුදු 27ක්!) අතරින් පතරෙ ඔබ ගැන කතා උනේ ගෙදර අය එක්ක. ඒත් මම ඔබව ආමන්ත්‍රණය කලේ ඒ විදියටමයි. පුනරුක්ති ඔබේ කතාව කියවල තවත් මට ඔබට නමින් ආමන්ත්‍රණය කිරීමේ අපහසුවක් දැනෙනව. 

ඔබට මතකද දන්නෙ නෑ. පසුගිය වසරේ ඔක්තෝම්බරයේ එක සෙනසුරාදාවක දවල්  බත්තරමුල්ල ආර්පිකෝ සුපිරි වෙළඳසලේදි ඔබ ඔබේ ස්වයං චරිතාපදානය  සමඟ මට මුනගැහුනා.


මං අම්මාත් එක්ක   වෙළඳසලට ඇතුල්වෙද්දිම ඔබව දුටුව, හැඳිනුව. ඔබ කුඩා පිරිමි දරුවෙකුට යමක් කියමින් උන්නා. ඔබේ අතේ යමක් තුබූ බවත් මතක ඡායාවක් තියෙනව, ඒත් මගෙ ඇස් නතර උනේ ඔබේ නාසයට දමාගෙන තිබ්බ සුදු පාට මුද්දෙ. තරප්පුපේලිය නඟින ගමන් මං කල්පනා කලේ ඒ මුද්ද ගැන. "හපොයි! නාස් ලනුවක් දාලවගෙයි, මට මුලින්ම හිතුනා...ඒක ඔයාට ගැලපෙනවද කියලත් හිතීගෙන එද්දි මතක් උනා ඉංදියානු කාන්තාවො ඒවා පළඳින බව. ඒවා ලොකුයි. කැතක් නෑ. ඔව අස්සෙ තරප්පුව ඉවරවෙද්දි ඔබ මගේ මතකයෙන් මැකිලත් ඉවරයි. 

මට මතකයි 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටිය නිකුත්වෙද්දි මං පාසල් යනව. මට මතක ප්‍රචාරක කටයුතු වලට යොදාගත්ත ඉස්ටිකරයක් බස් වල අලවල තිබිල මං දැක්ක කියල විතරයි. මං ඒ චිත්‍රපටිය බලන්නෙ 2011 පසුගිය අවුරුද්දෙ.  ඒ අන්තර්ජාලය හරහා සීමාකිරීම්, කපා දැමීම් වලට ලක් උන චිත්‍රපටිය. ඒකෙ ඔබ නිරුවතින් රඟපෑම මට කොහෙත්ම විවාදාත්මක නෑ.  ඔබ එහි නිරුවතින් රඟපෑම බුද්ධිමත් කියාගන්න මනුසත්තු හරහා ඒ තරම් විවේචනයට ලක්වෙන්න හේතුව මම දන්නෑ. හුදෙක් ඔබගේ හෝ වෙනත් කාගේ හෝ නිරුවත මට වැදගත් නෑ ඒක මම විහිං ප්‍රශ්නයක් කරගන්නකල්. නිරුවත හෝ තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටිය හරහා ඔබ මටනම් බලපෑමක් ඇති නොකලතරම්. මා ඔබව දකින්නේ දුන්හිඳ අද්දර හරහායි.

පඩිපෙල මුදුනෙදි මතකෙන් පැනල ගිය ඔබ මෙන්න කවුන්ටරේ ළඟඳි මට පිටුපසින් මා ළඟ. ඔබ දන්නවද ඒ සිදුවීම  විස්තර කරද්දි මගේ දෙවන අක්ක ඇහුව එයා දුප්පත් වෙලාද කියල. ඇත්තටම ඒ පොත මගේ අතට පත්උන මොහොතේ මමත් හිතුව ඇයි පොතක්, ස්වයං චරිතාපදානයක් සුපිරි වෙළඳසලක අලුත් බිස්කට් එකක් නැත්නම් කෝපි කුඩු එකක් හඳුන්වා දීමේ ක්‍රමවේදය අනුගමනය කරන්න හිතුවෙ කියල. නමුත් ඇත්තමයි පොත් පිළිබඳව නොනිත් දොළකින් පෙලෙන මට ඔබ දැසට පෙන්වූ සුවඳ හමන කිරි කිරි පොත දැකල ඇවිස්සුනා.  ඒ වගේම ඔබට ස්තූති කලේත්, සුභ පැතුවේත් හදවතින්මයි. ඔබ පිලිගත්තත්, නොගත්තත් ඒ ඇත්තටමයි.

තනිතටුවෙන් පියාඹන්න රූප රාමු හරහ මම දුටු මවකගේ සිනිඳු මුව මතඇදුන මුදු දයාව මම ඔබේ මුහුනින්ද දුටු බව කියන්නටත් ඕනෙ.

පෙරවදන කියවීමේදි ඔබ අනුගමනය කරපු ප්‍රචාරන ක්‍රමයේ සාධාරනත්වයක් මම දැක්ක. මොකද, ඔබ කියනව පීඩනයට ලක්වුන හදවතකි න්පීඩනයට ලක්කල අයට යතාර්තය පෙන්වීමයි ඔබේ උත්සාහය. 

'පුනරුක්ති' ඔබේ කතාව,

කියවද්දි මම පුදුම උනා, සසල උනා.... මට හිතුන මම ඔබත් සමඟ ඔබේ සරසවි සගයෙක්ව උන්නානම්, මම හිතයි 'මෙයා පැනල දෙන කෙනෙක්' කියල. නමුත්, ඕනෑම චරිතයක අභය්‍යන්තරය ගැන නොදැන මනුස්සයෙක් ගැන තීරණයක් ගත්තාම ඒකෙන් ඒ පුද්ගලයට වෙන අසාධාරණය මට තේරුම්ගන්න පුලුවං උනා ඔබගේ කතාව හරහා.

අතීතය මතින් ගොඩනැගාගත් ඔබ ගැන මම කියෙවුව. එක හුස්මට. ඔබ බුද්ධිමත්, උගත්, ධෛරය සම්පන්න ගැහැනියක්. ඔබේ කතාවේ සමහරතැන් මම මගේ පෙම්වතා සමගත් බෙදාගත්තා. ජීවිතය පුදුමාකාර යැයි කියල හිතන්න මම අකැමතී. ජීවිතේ පුදුම නම් අද ඔබ ඉන්නෙ ඔතන නෙවේ. ජීවිතයේ ඒ එකම මෙහෙයවන්නා තමන්ම බව අඳුරගත්ත නිසයි අද ගැහැණියෙක් විදියට ඔබ ඔලුව උස්සන් ඉන්නෙ. 

ඔබේ ලිවීමේ ශෛලිය සුන්දරයි. මම කොහේවත් නොදැක්ක ශෛලියක්. 

කෝ ඒ උපුල්? කතාවේ අවසානය පුරාම මම ඔහුව හෙවුව. ඔබේ තිදරුවන්ගේ පියා කහවත්ත උනත්, නූනත් ඒ උපුල් නොවන බව මට විශ්වාශයි. මට හිතුන ඔබට එතැනදී වැරදුනාද කියලත්. 

වැඩිහිටියන් යැයි අප කියාගන්නා සමහර ඊනියා දුර්වලයින් පුදුමාකාරය. ඔබේ කතාව හුස්මකින් කියවා නිදන්නට ගිය මට ඔබේ කතාවේ තැන් නිදන්නට දුන්නේ නැත. නින්දත්, නොනින්දත් අතරේ හිඳිමින්, හීනත් හැබෑවත් අතර ඒ කතාව මනසේ සක්මන් කරද්දී අපූරු අවස්ථා සම්බන්දයක් මොළයට මතක් විය.
___________________________________________________________
ගෲෂා පාළමෙන් එගොඩ උනා..... 

ස්ත්‍රිය: (නැගීසිට කෝපයෙන්) මං උන්නෙම වැටෙයි කියල අපරාදෙ මං යාඥා කලේ!
------------------------------------------------------------------------------------------------------------
"මගේ අතිං පුංචි වරදක් සිද්ධ උනා"

"මොකද කනය්‍යාභාවයවත් නැතිකරගත්තද ඊයෙ රෑ කාටහරි කියල"

"පුංචිගෙ සාරිය"

"ඉතින්"

"මගෙ සපත් තුදෙකට පෑගුනා මං නටනකොට"

"හානේ කෝ බලන්ට"

පුංචි ඇඞුම්බරව කාමරයට ඇදුනා
___________________________________________________________
ඔබ අද ඉන්නා තත්වය අතීතය මත ගොඩනැඟුනක්. ඒ අතීතය එක්ක තරහට ඔබ ජීවිතය නැඟිටුවාගන්නට දැරූ උත්සාහයේ අග්‍ර ඵලයක්. නමුත් නොහැඟෙන කුමක් හෝ අඩුවක් අවසානයේ ඉතිරියි කියල හිතුන.හදවතේ කොහේ හරි නොලියඋන හෝ කියන්නට අකමැති කොටසකුත් තියනවා වන්නටත් පුලුවං. සමහරවිට මේ තරම් දේ කී පසුත් ජීවිතයේ හැරවුම් ලක්ශ්‍යය දිගහැර අවසානයේ කියන්නට ඇතිදේ නොවැදගත් යැයි ඔබ සිතුවා වන්නටත් පුලුවන්.

කෙසේ වතුදු මම ඔබ දැරූ උත්සහය වින්දෙමි. ඒ මතින් දකිනා සියල්ල එසේම නොවන වගත්, අභයන්තරයේ නොපෙනෙන සතය්‍යක් ඇති බවත් හැඳිනුවෙමි.

මම විචාර කිරීමට නොදන්නා නිසාත්, විචාරයක් කිරීමට බලාපොරොත්තුවකුදු නැති නිසාත් මෙතෙකින් නවතිමි. මේ අදහස් මට දැනුන දේය. මේ අකුරු දැනුන දේ ඔබට කීවා පමනි.

අනාගතය ලියෙවෙන්නේද අප හදවත් මතින්ම බැවින් හෙට දවස ලස්සන කරගැනීමට ඔබටමම හදවතින් සුභපතමි. ඔබට මා මතකයේ ඇත්දැයි මම  මම දන්නේ නැත. කලාව තුල ඔබ දුර ගමනක් යතැයි බලාපොරොත්තු වෙමි.