අද අහසෙ පායපු ඉරෙත් පාට හේදිල වගෙයි......
කවුලුවෙන් එපිට හිස් අහස දිහාව බලාගෙන ඈ එහෙම හිතුව.
ඔවු, කිත්මිණී.....හේදිච්ච හිතත් ගුලි කරගෙන අහස දිහාව බලා උන්නා. ඇගේ හිත වගේම ඈට පෙනුන, ඈ දුටුව අහසත් හිස්. ඒත්, ඈ දැනගෙන උන්නා. ඈට නොපෙනෙන අනිත් පැත්තෙ ඉර පායල තියෙන බව. ඒ වගේම මේ ඉර එලියෙ පාට හේදිච්ච මලානික ගතියට හේතුවත් කිත්මිණී දැනගෙන උන්නා.
ඔවු, අවුව පායල තියන බවත්, මේ මද්දහන බවත් ඇත්තයි. ඒත් ඒ මද්දහනට උරුම දීප්තිය, ඒ දිලිසෙන කහ පාට ඈතක ඉඳන් සීරුවට අහසෙ ගුලි ගැහෙන වැහි කලුවකින් වැහෙමින් තිබුනා.
~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~
මේ හැමදේම සිද්දවෙන්න පටන් ගත්තෙ කවදද?
ඒ දවස්.... ඒ කිවුවෙ, මම පුංචි කාලෙ කොයි තරම් ලස්සනද?
අවුරුදු පහළවක් තිස්සෙ අම්මගෙ තාත්තගෙ හුරතලා වෙවි අයිය ගෙවුව කාලෙ හිටි හැටියෙ නතර උනෙ අකලට හටගත් ඵලයක් වගේ මං උපන් දා ඉඳලයි.
"ඒ දවස්වල තිබ්බ වලි!"
හීන් හිනාවක් මුවේ ඇදෙද්දි මම අතීතයට කවදවත් නැතිතරම් ආදරේ කරන්න පටන් අරං......
අයියත් එක්ක භාහිරින් මහා බැඳීමක් නොතිබුනත්, අධ්‍යාත්මිකව ඇතිඋන ආදරය. තාත්තගෙ නිහඬ, ප්‍රතාපවත් සෙනෙහස. ඒ අස්සෙ මං ඇයට බැඳුනු බැම්ම....
අම්මා....
ළයේ ඟැඹුරුම ඉසවුවකින් ඇවිලුන ගින්නක් හංදා පිච්චිලා යන උණුහුමකින් හුස්මක් හිතේ රස්නෙට එලියට පැන්නා.
ඒ දවස්... එකිනෙකාට බදධ උනා වගේ අපි අතර තියන බැඳීම... ඉස්කෝලෙ ආ -ගිය හැටි, සුකුරුත්තන් ඇඳුම අන්දපු හැටි, රහස් බෙදාගත්තු හැටි...
තරවටුවක්, ගුටියක් මට දීලා අම්ම හොරෙන් ඇඬුව බව මන් දවසක් දැක්ක. එදා ඒක දැක්ක බව මං කීවෙවත්, අම්ම දුකින් වේදනාවෙන් ඇඬු බව මට කීවෙවත් නෑ තමයි. ආයෙමත් මන් ගුටි කෑවම අම්ම හොරාට අඬනව මං දැක්කෙත් නැති උනත්... මං ඔය අසීමිත ආදරේ එදා පුදුමාකාර විදියට වින්දා.
හැමදාම, හැමදේම අපි දෙන්න බෙදාගත්තෙ. ඒක අරුම බැඳීමක්. මට කියාගන්න නොතේරෙන.
ආදරේ.....
ඔයලගෙ ආදරේ අතරටම එයාගෙ ආදරෙත් ලබන්න මං පින් කරල. ඒ ආදරේට ඔයාල ආශිර්වාදයක් උනා. මං සතුටු උන තරම..... ඒක ඔයාටත් දැනුන නේද අම්මා....
එකින් එක අවුරුදු ගෙවෙදදි.... ඔයා කීවා,
"දැන් ඉතින් මදැයි උන්නා. අපි Wedding එක ගමු දූ"
අන්තිමේ....
මට මේ ඇහෙන්නෙ මහන මැසිමෙ මහ ගොරහැඬි සද්දෙ. ඔයා ඔයාගෙ අතින්ම මගෙ මංඟල ඇදුම් මහනවා.
ඉස්සර රැළි අල්ලල,මල් මහල බෝරිච්චි අත් දාල ගවුම් මැහුව මැසිමෙන්ම, මට වැඩ දාපු ඔසරි හැට්ටයක් ඔයා හෙමි හෙමිහිට මහගෙන යනවා.පොඩියකට නතරවෙලා ඒ හැට්ටෙ රටා අතරෙ ඔයාගෙ ඇඟිලිතුඩු යවන ගමන් තනියම හිනැහෙනවා.හදිස්සියෙම ලොකු හුස්මකින් හිත හෑල්ලු කරගෙන හනික ඇස් දෙක පිහදාල ආයෙත් මහනවා.
මම ඔයාව දැක්ක අම්මා....
හරි සද්දෙට එහෙට මෙහෙට දුව දුව අඩුපාඩු බලනව. හිනැහෙනවා. මට තරවටු, උපදෙස් දෙන අතරෙම ඔච්චම් කරනවා. ඒ අතරෙ මට ඇහෙනවා රෑට නිදි ඇඳේදි හීන් ඉකියකුත්....
මට ඔයාව ඇහුන අම්මා.....
මතකද, අපි දෙන්නා මගේ කාමරේට වෙලා සාරි නවද්දි ළඟදි දවසක මං කිවුවා ......
"ඔන්න අම්මේ.... මට එහේ ඉන්න බෑ හිතුනොත් මං ගෙදර එනව හොඳේ..."
ඔයා මොහොතක් මං දිහාව බලං උන්නා. ඉක්මනින්ම මගෙ ඇස්වලින් ඔය මූන අහක් කරගෙන මගෙ කාමරේ පුරාම ඔයාගෙ ඇස් යැවුවා.
" හඃ ඒවා කොහෙද, මට උඹව යවනකල් ඉවසුමක් නෑ.. නිදහසේ ඉතුරු කාලෙ ගෙවා ගත්තෑකි ඇති යන්තම්..."
හදිසියෙම ඔයා මහ හයියෙන් හිනා වෙලා කීවා,
මට ඔයාව දැනුනා අම්මා.....
තව සුමාන දෙකයි....
මං මනාලියක් වෙනව දකින්න ඔයා දැකපු හීනෙයි, එයා එක්ක ජීවිතේ අත්තිවාරම දාන්න මං දැකපු හීනෙයි....
ඒ හීන එදාට හැබෑ වෙයි...
එතකොට මේ කඳුලු!
ඔයයි මමයි හිත් අස්සෙ හිරකරගෙන ඉන්න, ගින්දරටත් වඩා හිත පුච්චන මේ කඳුලු?
~~~~~~~~~~~~~~~~~**********~~~~~~~~~~~~~~~~~
කිත්මිණී හනික කවුලුව ගාවින් නැඟිටගෙන, යාබද කාමරේ මැසිම එක්ක ඔට්ටු වෙන අම්ම ගාවට ඇදුනා...
ඈ උලුවස්ස ගාවට ගියා. ඇගේ අම්මා ඒ ඔසරි හැට්ටය ඒ මොහොතෙම අන්තිම මැහුම් පාරත් ගහල මහල ඉවරකලා... එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කපල ඒ රටා අතරෙ ආයෙමත් ඇඟිලි දුවවමින් ඈ හීන් හිනාවක් මූනෙ ඇඳගෙන කල්පනා කලා.
මේ සේරම දොර උලුවස්ස ළඟ ඉඳන් කිත්මිනී නිහඬවම බලා උන්නා. ඒත් ඒ හිත ඇතුලෙ බැමි එකින් එක ලිහෙමින් කඳුලු උපද්වමින් තිබුනා.
එතකොටම, අම්මාගෙ ඇහින් වැටුන කඳුලක් හැට්ට අත උඩ පැල්ලමක් ඇන්දා. හනික ඒක පිහිද්දි තව කඳුලක් මැසිම උඩම බිඳිල ගියා. එකකට පස්සෙ එකක් එකකට පස්සෙ එකක් කඳුලු වහිද්දි ඇගේ අම්මා හැට්ටය ළයේ තුරුලුකරන් ඉකිබිඳින්න උනා.
අම්මා.....
උලුවස්සෙ වරුවෙන් මිදිලා කිත්මිණී අම්මාගෙ උකුලෙ කඳුලින්සිත්තම් මවද්දි....
ගෙදරින් එලියෙ මුලු මිඳුලම දූවිලි පිහමින් සිරි - සිරි වැස්සක් වහින්න පටන් ගත්තා.....
මේ වැස්සට පස්සෙ තිබුනටත් වඩා දීප්තියකින්, අහස ලස්සන කරගෙන ඉර පායාවි..