Tuesday, February 12, 2013

සුභ උපන්දිනයක් තාත්තේ!




සුභ උපන්දිනයක් තාත්තේ!

ඉස්සර මට මතකයි  කාලෙ අපි හරි අමාරුවෙන් ජීවත්උනේ. ඒත් අපේ කාගෙවත් උපන්දින මතක තියන් නූන්නත්, අහම්බෙන් හරි මතක්උන දාක තාත්ත හැන්දෑවට අපි කට්ටියටම මොනාහරි ගෙනාව. Yogurt එකක්, කිරි Packet එකක් උනත් හරි වටින දෙයක් උන කාලයක් ඒක. සමහරවිට, ඔවු මට දැන් හිතෙනව,..... සමහරවිට තාත්තට  දින මතක තිබ්බත් මතක නෑ වගේම ඉන්නත් ඇති.

 එක්තරා අතීතයක්....

අන්තිමේ, අක්කල තුන්දෙනාම රස්සා කරල අම්මටයි තාත්තටයි මගේ පළවෙණි පඩියෙන් කියල තෑගි අරන් දුන්න කාලෙකුත් ආවා. මං දන්නව කවදාවත් මහ ලොකුවට බලාපොරොත්තු නූන තාත්තට ඒක මහමෙරක්. මට දුකයි. හරිම දුකයි...... ඇයි මට විතරක් බැරිඋනේ?

මගෙ පළවෙණි පඩිය මට ලැබෙද්දි තාත්ත නෑ!.

තාත්තේ,
දන්නවද? ගෙවිච්ච අවුරුදු 10කට වැඩි කාලෙ ඇතුලෙ ගොඩක් දේවල් උනා. තාත්ත හීන දැකපු දේවල්, හැබෑ උනා

ඒත් තාත්තා නැතිව.

ලොකු අක්ක මනාළියක් උනා, පෝරුව  ළඟට එයාව එක්ක ආවෙ ලකෂ්මන් බාප්පා, තාත්තගෙ මල්ලි. ඒත්  තාත්ත නෙවේ!

මතකද අර සිංදුව

"පුංචි දවස්වල නින්දට යද්දී....."
 ඉස්සර අර අපි රෑට Current නැති උනාම ඉටිපන්දම් එලියෙන් කිවුවේ?

ලොකු අක්ක පුංචි මුණුඹුරෙක් එක්ක ආව තාත්තෙ!.

කෙල්ලොම හතරක් හදල වඩල, හිතේ අස්සෙ හංඟපු කොල්ලෙකුට තිබ්බ ආදරේ අහල පහල හැම දරුවටම බෙදල දුන්නනෙ තාත්තා. හැමෝම පුතා හුරතල් කරන ගමන් තාත්තව සිහිකරනව.

දැනෙනවද තාත්තෙ  වේදනාවෙ තරම?

චූටි අක්ක මනාළියක් උනාමත් එයාගෙ අතින් අල්ලන් එක්ක ආවෙ බාප්පා.
ඒත් තාත්තා නෙවේ.
එයා එන මාසෙ පොඩි දෝණියෙක් එක්ක එන්නයි ඉන්නෙ.

අනේ තාත්තත් උන්නනම්.... අපි නිතරෝම හිතනවා.

මගෙ අක්කත්, සමහරවිට ලබන අවුරුද්දෙ මනාළියක් වේවි.
ඉන් පස්සෙ මමත්....

තාත්ත එන්නෙ නෑ නේද? දන්නවද තාත්තේ  තනිකමේ ගැඹුර?

'තාත්තා' ජීවිතේ වටිනම මොහොතක ජීවිතේට වටිනාකමක් දෙන්න අම්ම එක්ක මහන්සි උනා. ජීවිතේ වටිනාම දවසෙදි අපිව තනියම නතර කරල ගිහින් අද.

අම්මා නිතරෝම කියනව. ඉන්න තැනක ඉඳන් තාත්ත අපි දිහා බලනව කියල.ඒකනෙ මොනාහරි විශේෂ දේකදි තාමත් තාත්තගෙ පිංතූරෙ දිහා බලන් කතාකරන්නෙ තාත්තට.

 ආදරේ අම්ම කොහොම දරාගන්නව ඇද්ද?

කියන්න, බෙදාගන්න දේවල් කොයිතරම්ද? මට දැනෙන්නෙ නෑ

අවුරුදු 10කට කලින්  ජීවිතේ ආයෙ එන්නෑ. ඇත්ත. ඒක ජීවිතේ.... ඒත් තාත්තත් උන්නනම්.... නිතරෝම හිතෙනව.

සුභ උපන්දිනයක් තාත්තේ!

පෙබරවාරි 12

~~~~~~


හැමදාම
දලුලන අතුරිකිලි දැක,
සතුටට ඉනූ කඳුලුත්
පොහොර කර අපටම බෙදන
අම්මාය මුදුන්මුල.....,

කවදාවත් අතහැර නොයන
ආදරය උණූහුමට රැස්කර,
අපි සැවොම දරාගෙන
නොසැලෙන මහපොළව....,
තාත්තේ, ඒ ඔබය!


9 comments:

  1. හ්ම්!!
    හා හා පුරා කියල ඇවිල්ල අහක බලන් යන්ඩත් බෑ නගේ... ඒත් මට යමක් ලියන්ඩ හිත හදාගන්ඩත් හරි අමාරුයි..
    මං තාත්ත ගැන ලිව්ව දවසක මගෙ හිතට ආව දෙයක් මං ලියල යන්නං
    කොච්චර වේලිලා කරුකුට්ටං වෙලා තිබුණත් අටුකොස්වලට වතුර වැටුණ ගමන් පොඟනව නෙ.. ඒවගේ තාත්තල නැති අඩුව එක්ක අපිට දැනෙන දුක අටුකොස් වෙලා තිබුණට මෙන්න මෙහෙම පොඟන වෙලාවල් එනව..
    ඒක හරි අමාරුයි දරාගන්ඩ!!
    ඊට වඩා වචනයක් වත් ලියන්ඩ මට බෑ...

    ReplyDelete
  2. සන්වේදී ලිපියක්.....

    ReplyDelete
  3. හරිම සංවේදී සටහනක් දුවේ. මගේ තාත්තා උපන්නෙත් පෙබරවාරි 11. ඊයෙ උපන් දිනේ. අපි හැමෝම එහෙ ගියා. එයාට හරිම සතුටුයි. එයාගෙ මී මුණුබුරා ඒ කියන්නෙ මගෙ ලොකු පුතාගෙ පුතා ළඟට අරන් තමයි අම්මාටත් කේක් කෑල්ලක් කැවුවේ. මම වැඩිමල් දුව විදිහට හරිම ආදරෙයි මගෙ තාත්තාට. මම හිතා හිටියෙ තාත්තා වාගේම කෙනෙක් මට ලැබෙන්න කියලයි. ඒ වාගෙම මගෙ මහත්තයාගෙ ගති ගුණත් ඒ හා සමානයි ගොඩාක් දුරට. ඒක මගෙ ලොකුම වාසනාවක්. අම්මාගෙ උපන් දිනේ එන මාසෙ. තාත්තා ඊයෙම ඒක කෙරෙන්න ඕනෙ විදිහ මට කිව්වා. මගෙ තාත්තාට දැන් වයස හැත්තෑ හයක් . ඒ අතරෙ වෙච්ච හැම හැලහැප්පිල්ලක්ම මට කියල තියෙනවා. අපේ නංගි කෙනෙක් පිළිකාවකින් නැති උනා. එක්කෙනෙක් චූටිම වයසෙ මාස අටේදි නැති උනා. ඒ දින දෙක තමා තාත්තා දුක් වෙච්චි දින දෙක. සතුටුම උනේ මං කසාද බැන්ද දිනයෙ හා මී මුනුබුරා උඅප්න් දිනේලු. ඔහොම තමා ජීවිතේ අපිට හැම දේම ලැබෙන්නෙත් නෑ, නොලැබෙන්නෙත් නෑ. දුක් වෙන්න එපා එයා කොහේ හරිම ඉඳන් බලා ඉන්නවා ඇති ඔයාල දිහා. ඔයාලා හොඳට හැදුන එක එයාට සතුටක් වේවි. ආදරය ලේ මස් හම ඇට මිඳුළු හරහා ගලා යන දෙයක් කියල සුද්දෝදන රජ තුමා බුදුහාමුදුරුවන්ට කීවෙ ඒ නිසායි. ඔයාගේ අම්මාට නිදුක් නිරෝගී සුව පතනවා!

    ReplyDelete
  4. බොහොම සංවේදී මාතෘකාවක්. මටත් ඔය දේ දැනෙනව..දැන් අවුරුදු තුනක් වෙනව අප්පච්චිත් නැති වෙලා..

    ReplyDelete
  5. හුගක්ම සංවේදීව ලියවුන ලස්සන ලියමනක්.. තාත්තට සුභ උපන්දිනයක් පතනවා..

    ReplyDelete
  6. සුබම සුබ උපන්දිනයක් වේවා මාමේ.... " 'තාත්තා' ජීවිතේ වටිනම මොහොතක ජීවිතේට වටිනාකමක් දෙන්න අම්ම එක්ක මහන්සි උනා. ජීවිතේ වටිනාම දවසෙදි අපිව තනියම නතර කරල ගිහින් අද. " :( :'(

    ReplyDelete
  7. කවදාවත් අතහැර නොයන
    ආදරය උණූහුමට රැස්කර,
    අපි සැවොම දරාගෙන
    නොසැලෙන මහපොළව....,
    තාත්තේ, ඒ ඔබය!........................

    තවත් වචන අවශය නැත ..

    ReplyDelete
  8. I remember you talk about him, and whenever you talked about him, there was something special in your words, it must have been love and respect I remember that combination used to shine those simple words...you would be his pride..

    ReplyDelete
  9. හරිම ලස්සනයි....
    හරිම සංවේදියි.....

    ReplyDelete