Tuesday, August 6, 2013

වීරයෙක් වියයුතුමයි!



මරණකොට, 
මැරෙණවා දකිනකොට,
හිතෙන්නැති මැරෙන්නම......
දන්නෙ උන් විතරමයි!

රිදෙනකොට,
අත්-කකුල්-ඇස්-මොළ
කැපෙනකොට,
හිතෙන්නැති මැරෙන්නම.....
දන්නෙ උන් විතරමයි!

ඇහෙනකොට,
වනචර,නොසන්ඩාල,අමන ආමන්ත්‍රන
උන්ගේම එක්තරා කුලකයෙක උන්නිසා
හිතුන දේ ....
දන්නෙ උන් විතරමයි!

ගියදා හමුදාවට,
වීරකමක් තුන් හිතකවත් තිබුනාද?
දන්නෙ උන් විතරමයි!

මරන්නට කියනකොට - මරන්නට!
ගහන්නට කියනකොට - ගහන්නට!
උන්ගෙ පිරුවට දිලෙන්නට,
මුන්ගෙ ගත ලේ සලන්නට,

වීරයෙක් වියයුතුමයි!

හදවත ගැහෙන වීරයෙක්,
පඩිපතට හරි මැරෙනකොට....
කොහේ හෝ රූකඩ පලක
රැඟුමක් මැවෙයි නියතයි.....

ඔබ වීරයෙක් වියයුතුමයි!

Monday, August 5, 2013

දූ දාල කරාඹූ.... හායි දාල කරාඹූ....

දැන් දැන් හරිම චන්ඩියෙක් වේගෙන එන, නිතරම වගේ හරි හරි අකතැබ්බවලට මූනදෙන අපේ පුංචි කුමාරයට අමතරව මාස හතරකට ටිකකට කලින් අපි ගාවට ආව පුංචි කුමාරියෙක් ගැනත් ලියන්න දේ දැන් තියනවා. 

ඒක බොහෝම අමුතු දෙයක්.... 

කොල්ලෙක් නූන්න ගෙදරක කුලුදුලේ උපන්න පුංචි පුතු පැටියා, දවසින් දවස ලොකු වෙන හැටි බලා ඉන්න එක....   ඒ වගේම චූටි දූ පැටියා,  අපේ අතීතය ආයෙ අලුත් කරන ගමන් ටික ටික ලොකු වෙන විදිය බලා ඉන්න එක.... 

හරිම අපූරු දෙයක්!

දැන් ඉතින් අපේ චූටි දෝණියට වයස මාස හතරක්!

 එයා වැඩියම කැමති හිනාවෙවී ඉන්න තමයි.  චූටිත්තන් දිවත් එලියට දාගෙන, මුලු මූනෙන්න්ම හිනාවෙනකොට හරිම ආසයි.

 දැන් එයා පෙරළෙනවා, චූටි චූටි සද්ද එන පාට පාට සෙල්ලම්බඩු අල්ලන්න හදනවා. එයාගෙ ඇඳ රෙද්දෙ ඉන්න පුංචි පුංචි රූප ඇඟිලි වලින් හූරණ ගමන් ඒවා දිහා මූන පුම්බගෙන, ඇස් ලොකු කරගෙන කෙල බේර බේර බලා ඉන්නවා.

 එයාගෙ මදුරු දැලේ එල්ලල තියන අර නත්තල් ගස්වල එල්ලන පාට පාට බෝල එක්ක හිනා වෙවී, කෑගගහ නින්දෙන් ඇහැරුනාම කතාකරනවා.

එයා දැන් බත්  තේ හැඳි 2ක්, කෙසෙල් ගෙඩි තේ හැඳි 2ක්, එහෙමත් කනවා. 


අයියගෙ ආටක නාටක බලබල අත් කකුල් ගස ගස ඒවට සහයෝගෙ දෙන්නෙ හිනා පිරිච්ච මූනකින් හරිම උද්‍යෝගෙකින්. අසනීප වෙලාවක, බොහොම හදිස්සියෙන් කිරි බොන වෙලාවක, නිදිමත හොඳටම තද උන වෙලාවක වගේ බොහොම බැරෑරුම් වෙලාවලදි උනත් අයියගෙ කටහඬ මොන තරම් ඈතින් ඇහුනත් ඇඬිලි, කෑගැහිලි, විරොධතා, රාජකාරි කැලේ! එයාගෙ වැඩේ අයියව හොයන එක තමා.

අයිය කියන්නෙත් 'මගෙ සුදු නංගී' කියල තමයි. ගෙදරට කවුරු ආවත් වෙනදට එයා කියන්නෙ 
"වාඩිවෙන්නකො අනේ, අපි තේ බොමු" කියලයි.

 ඒ උනාට දැන් කවුරු ආවත් ඉස්සෙල්ලාම කියන්නෙ 
"නංගිව දෙන්නෙ නෑ! එයා මගේ!" කියලයි.

ඒකට හේතුව ඉතිං කවුරු ආවත් ඉස්සෙල්ලාම "නංඟිව මට දෙනවද, අපි නංඟිව අරං යන්නද" කියල එයාගෙන් අහන හංදයි. එහෙම කොහොමද නංඟාව දෙන්නෙ. දැන් එයා නංඟව ඉල්ලන අයට කියන්නෙ 

"එයා අපේ, ඔයාල වෙන නංගි කෙනෙක් ගේන්න" කියලයි. 

ඔය ආදරේ හංඳ ඉතිං නංඟි බබාට අයිය බබාගෙන්  වරප්‍රසාද දීමනා විදියට හෙම්බිරිස්සාව, වෛරස් උන එහෙම ලැබෙනවා. ඉතින් ඒවට මොනා කරන්නද? ඒව එහෙම තමයි.


`~~~~~~~~~~~~~~~__--__~~~~~~~~~~~~~~~~~`



ගිය සිකුරාදා 2013 අගෝස්තු මාසෙ 02වන දා, චුටි පැංචිගෙ කන් පෙති විදලා, කරාඹු දැම්මා.

 කරාඹු වලින් මූනට ඔයාගෙ හරි එලියක් වැටිලා. කන් පෙති හිරිවට්ටලා කන් විද්ද නිසා ඔයා චුට්ටක්වත් ඇඬුවෙ නෑ කියල ආච්චි අම්මයි, ඔයාගෙ අම්මයි කිවුවා....

 ආවූ හරිම හැඩයි තමයි!

"කන විදින වෙලේ කඳුලු ගඟේ පතුල බැලූ දූ 
අද සතුටු ගඟේ පීනනවා දාල කරාඹූ 
හායි දාල කරාඹූ....."
 මේ සටහන ඒ වෙනුවෙන්....

චුට්ටක් බඩගිනි වෙලා ඇඬුවත් අපිට හරියට දුක හිතුනත්, උල්කරපු කරාඹුවකින් ඔයාගෙ චූටි කන් පෙති විදින්න උනා. 

 මට හිතුනත් ඔයා ලොකුවෙලා, ඔයාට ඕන නම් කන් විදලා කරාඹු දාගන්න ඒ තෝරාගැනීමේ අයිතිය ඔයාට දෙන්න පුලුවන් උනානම් හොඳයි කියල, ලොකු වෙද්දි, ඉස්කෝලෙ යද්දි, ඇයි මගෙ විතරක් කරාඹු නැත්තෙ කියල අහයි, ලොකු වෙද්දි වැඩියෙන් රිදෙයි වගේ හේතු කට්ටිය කීව. ඔක්කෝටම වඩා ඔයාගෙ අම්මට ඕන උනා චූටි කන් පෙතිවලට කරාඹු දාල හැඩ බලන්න. මේ මොනා කීවත්, මම දවසක දෝණියකට අම්මා කෙනෙක් උනොත්  මම ආස වෙයි මගෙ දූගෙ කන් පෙති වලට කරාඹු දාල හැඩ බලන්න.

ගැහැණු කම!

 දුවේ ඒ ගැහැනු කම ආභරණයක්! ගැහැණියක් වෙලා ඉපදෙන්නෙ පවු කරපු අය නෙවේ... දරාගැනීම, ආදරය, සියුමැලි බව, සොදුරුකම..... මේවා පහත් දේ නෙවේ නේද? ඔයා ජීවත් වෙන විදියයි ඒ ආභරණෙට වටිනාකමක් දෙන්නෙ. 

චූටි දොණියේ...., 

මටනම් හිතෙන්නෙ ඔයා ගැහැණු කමේ පළවෙනි කඩඉමට මූන දුන්නා කියලයි.තව ඉස්සරහට කඩඉම් ගොඩක් තියෙයි, මල්වර වෙද්දි, මනාලියක් වෙද්දි, දරුවෙක්ට මවක් වෙද්දි.... පියවරෙන් පියවරේට ඔයා ඒව අඳුරගනී.

 ඒ අතරවාරෙ ඔයා ගැහැණුකම තේරුම්ගනියි. 

අද ඔයාගෙ ජීවිතේ එක තෝරාගැනීමක් කලේ අපි! 

අනාගතේ දවසක තෝරාගැනීම් ගොඩක් තියෙයි,  ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් එදාට ඔයයි කරන්න ඕන. අපි එදාටත්,හැමදාටමත් ඔයා ළඟම  ඔයාට උදවුවට ඉනවා!

 චූටි දුවේ තමන්ගෙ ජීවිතේ අයිතිය තමන්ටයි..... ඒ වගේම ඔයාගෙ ජීවිතේ ගොඩනැඟුන පදනම පවුලයි.... ඒ පදනම උඩ  ජීවිතය කියන ගෙදර හදාගන්න ඕන ඔයායි.

දවසක..... තාම නොඉපදුන අනාගතේ දවසක.... හදවතින්ම ලස්සන ගැහැණුකම කියන ආභරණයට ඔයා හරි විදියට ආලොකයක් දෙනගමන් ජීවත්වෙනව දකින්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙ.

චුටි දුවේ ඔයාට අපි හරි ආදරෙයි!


Wednesday, July 24, 2013

මතක සටහන්!


වල්පොල ස්ටේසම,
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න....

එක්තරා බංකුවක් 
දැවයෙන් නිමැඋන,
උණුහුමට තවමත්
අතීතය සුරකින....
හිනා, කඳුලු, ආදරය
මිතු දම්  සමඟ එදවස්
එක්කර ඇඹූ බිතු රූ
මට විතරක් පෙනෙන,
තාමත් පෙරලෙසම
ඒ පෙදෙස සරසවන....

ඒ පුංචි කඩතොලු පාර
රබර් යායට මැදිව,
යනෙන උන් සහසකින් 
මා සොයා ඉඟි මරණ....
උසට ඇති තෘණ පතෙක
ලියු ඒ අතීතය,
තාම හරි සොඳුරු වග
කොඳුරමින් මට කියන.....

වල්පොල ස්ටේසම
හැන්දෑ කලුවරේ
නිසොවල්මන්වම උන්න!

Tuesday, July 23, 2013

මලෙක අටපෙති



බුදුපුදට නෙලාගත්
කහ පාට මලෙක අටපෙති
පෙති දෙකක් ගිලිහ,
රැදුනාය 
අටපෙති ගාල අසලම
දුඹුරු පෑ පොළොව සිපගෙන!

Friday, July 19, 2013

ඒ ජීවිතේ කටුකයි !!

කොළඹ හුළඟ පාන්දරට හරි මුදුයි. කොටුවෙ ස්ටේශන් එකේ තිබ්බ මුත්‍රා ගඳ ඒ පාන්දරට එකතු කරේ මහ අපුලක්. අපරාදෙ. අනුරාධපුරේ යන්න ලෑස්තිවෙලා බඩුමලු පොදි ගහගෙන යද්දි නම් පොඩි කම්මැලිකමක්, යන්න බෑ බෑ වගේ හැඟීමක් හිතේ රවුම් ගැහුව බවනම් ඇත්තයි. අන්තිමේ.... හරියටම නියමිත වෙලාවටම කෝච්චිය අනුරාධපුරේට පිටත් උනා. 

පැය හතරක ගමනක්! 

ටික ටික රේල් පාර අද්දර තිබ්බ ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල් නැති වෙලා ගියා. ගස් කොළං පවා ටික ටික පුංචි කොල තියන ගස්වලට හැරිල තිබ්බා. යායට තියන කුඹුරු ලුමිනස් කොල පාටට ලස්සනට තිබ්බත්, හරි විසාල වැවුවල කාලෙකින් වැස්සෙ නැතිබව කියන්න වගේ වතුර ටිකක් අඩුවෙලා තිබ්බ. ඒත්, ඒ වැවු වල එවෙලෙත් දම්, රතු, රෝස,  සුදු පාටවලින් පිපිච්ච ඕලු, නෙලුම්, මානෙල් මල් තිබුනා! කොළඹ  උදේ එලියට වඩා කහපාට උදේ ඉර එලියක් ඒ පැත්තට පායලා තිබුනා.   

උදේ 11.00 වෙද්දි අපි අනුරාධපුරේ ස්ටේශන් එකෙන් බැස්ස. වෙනද දකින ඉර එලියට වඩා ටිකක් වැඩිපුර කහපාට ඉර එලියයි, තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකයි  හිතට හරි කාන්සියක් එකතු කලා. මහ සෙනගක් දැන් ආව කෝච්චියෙන් බැස්සද කියල වගක්වත් නැතුව හතර අතම පාලුවක් නිහඬ කමක් ඇදෙමින් තිබ්බා. ඒ නිහඬ කම, ඒ ඉර එලියෙ තිබ්බ වැඩිපුර කහපාට, මහ විසාල පාරවල්, ගඩොලින් නිමවපු ගෙවල්, උඩුකය නිරුවත් පිරිමි සහ දරුවන්.. දාඩිය නොදාන ඇඟ ඇතුලෙම එහෙ මෙහෙ දුවන උණුහුම, වේගෙන් හමන උණුහුම් හුළඟ.... අනුරාධපුරය අපට හඳුන්වා දෙමිනුයි උන්නෙ. 

තාත්ත ඉන්න කාලේ අපි අනුරාධපුරේ ආව ගමන් දෙකක් ඒ තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එක එක්ක මතකයේ උඩටම ඇවිත්, අපි එතනින් නැන්දලා ගෙ ගෙදරට යන්න පිටත් වෙද්දි මම අනිච්චානුගවම හිතින් "තාත්ත එනකල් ඉන්නැද්ද" කියල අහන ගමන් ආපහු හැරිල බැලුව.

 පිළිගන්නවද? ඒක එහෙමම උනා!

 හරියට තාත්තත් අපි එක්ක ආව වගේමයි මට හිතුනේ. මොහොතකට තාත්ත අපි අනුරාධපුරේ ගිහින් මාස ගානකට පස්සෙ අන්තිම හුස්ම හෙලපු බව මගෙ මතකයෙන් මැකිල තිබුනා!

නැන්දලාගෙ ගෙදරදි හම්බඋන රසම රස පැණි දොඩම් විදුරුව (මම වීදුරු දෙකහමාරක්ම බීවා) ගත වගේම හිතත් සැහැල්ලු කලා. නැන්ද බැඳල දීපු බත් මුල් අරගෙන, ඒ අක්කල දෙන්නයි, චූටි දුවයි, පුතයි එක්ක අපි නාච්චදූව වැවට ගියා. 


වැවට යන අතරෙමගදි අපි දැක්ක වැවු, ඒවයෙ නාන ගැහැණු සහ දරුවන්... ඒ හැමෝම තෙත බේරෙන කොණ්ඩා ඇතිව අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. කෙනෙක් අත වවන්නත් ඉදිරිපත් උනා. ලස්සනට පැල ගොයම දලු දාල තිබ්බ. වේලිල තිබ්බ ඇල පාරවල් වලට නාච්චදූව වැවෙන් වතුර මුදා හැරල, ඒවට වතුර ගලා එමින් තිබුනා.

 නුවර වැව, තිසා වැව වගේම නාච්චදූව වැව හරි ගාම්බීරව රැලි නග්ගමිනුයි උන්නෙ. අපි හැමෝම නෑව. දවල දෙකේ ඉඳන් හවස පහ වෙනකල්ම නෑවා! නෑවා! නෑවා!  කර වටක් වතුරෙ බැහැලා... මතක්වෙද්දිත්......අනේ තවත් ඉන්න තිබ්බනම්.... නාල! නාල! ගැහෙන තරම් සීතලේ ගොඩට ඇවිත් අලුත් ඇඳුම් ඇඳගෙන නැන්ද දීපු බත් කද්දි! වැවු මාලු, කතුරුමුරුංඟා කොළ, කිරට හින්දල ඉවුව පරිප්පු, එක්ක මලුවෙක්ගෙ හැඩේට හදපු රසම රස පපඩම්!

ආයෙ එද්දි අර ඇල පාරවල් පිරිල ටිකක්. අක්ක කිවුව හෙට එලිවෙද්දි හොඳටම පිරෙයිලු. ආයේ බලන්න යන්න නූන එකට මටනම් දුකයි. ඇලවල් වලින් නාන පිරිසට දැන පිරිමි උදවියත් එකතු වෙලා. එයාල එවෙලෙත් අපි එක්ක හිනා උනා. ටික වෙලාවකට නෑම නවත්තල අපි දිහා බලා උන්නා. ලා ගොයම හුළඟ එක්ක වැනි වැනී ලස්සනට පෙනුනා.

ඒ මිනිස්සුන්ගෙ හිනාව,  ඒ කුඹුරු යායවල්, වැව, ඇලවල් හරිම ලස්සනයි. 

හරි කලාත්මකයි!

 ජය ශ්‍රී මහ බෝධියෙත්, වැවෙත්, පිහිට එක්ක කුඹුරු හේන් කවදත් අස්වැද්දෙනව ඇති. නියඟෙට වැවු හිඳිල බොන්නත් වතුර නැති කාලෙක ඒ වගා වේලිල ලැවු ගිනි වලින් ගිනිගන්නව දකිනව ඇති.  වැස්සට වැවු පිටාර යද්දි, වාන් දොරටු ඇරෙද්දි ලස්සන කුඹුරු මඩ පාට වතුරින් යටවෙනවත් දකිනව ඇති. ඒත් හැමදාමත් කුඹුරු හේන් අස්වැද්දෙනව ඇති! 

නාච්චදූව වැව දාල එන්න බැරුවද මන්දා හිතේ අර හැමුව හුළඟ වගේම රස්නෙ හුස්ම ගුලියක් හිරවෙලා එවෙලෙ මට හරියට කරදර කරමිනුයි උන්නෙ. 

අක්කලාගෙ ගෙදරින් හම්බ උන රසම රස තේක! කෝන් ගෙඩි! සහ හෘදයාංගම අල්ලාප සල්ලාපය! ආයෙ නැන්දලෑ ගෙදරින් රෑට ඉඳි ආප්ප, කිරි හොදි,  පොල් සම්බෝල එක්ක අතීතාවර්ජනය! 

මට පෙනුන එයාල හරිම සතුටින් ඉන්න හැටි. ඒ එක්කම දැනුන ඒ ජීවිතේ කටුකයි කියලත්. 

පහුවදා පානදරින්ම නැන්ද කඩාගෙන ආව නෙලුම්, ඕලු මල් අරගෙන අපි ජය ශ්‍රී මහ බෝධින් වහන්සෙත්, රුවන් වැලි මහ සෑයත් වන්දනා කලා. කොයිතරම් සෙනඟ ගැවසුනත් ඒ වටපිටාවෙ තිබ්බ අමුතු නිහඬ සහ නිස්කලංක බව, ඉර එලියෙ අමුතු කහපාට හැමතැනම පැතිරිලා තිබුනා. මම ඒ ස්වභාවයට අනුගතවෙමින් උන් නිසාද මන්දා ඒ විලාසයට ඒ වෙද්දි මම ඇලුම් කරමිනුයි උන්නෙ. 

හවස ගෙදර ඇවිත් ආපහු ගෙදර පිටිපස්සෙ තිබුන වැවට අපි ගියේ ඕලු, නෙලුම්, මානෙල් පැල අරං එන්න... වත්තෙන් එපිට හේන් හරි කුඹුරු හරි වලට සකසාපු වේලුන තණකොලින් වැහුන වගා බිමක් ඉන් පස්සෙ තැනිතලාව... තැන තැන පුංචි කොළ ඇති ලොකු ගස්, ඉතිරි ඉඩ වේලුන තණකොළ වර්ග වලට වෙන් වෙලා. ඊට යටින් පොළව ලොකු කුට්ටි වලට ඉරි තලලා. තව යද්දි ඈතින් ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු මල් පිපුන වැවක ශේෂයක්... හිඳුන ඉතිරියෙ වේලිලාගිය  ඕලු, නෙලුම්, මානෙල්, කුමුදු නටඹුන්. 

"වහිද්දි වතුර ගේ හරියටම එනවා".

 පොඩි අක්ක කීවෙ හිනාවෙලා. ඒත්, ඊට වඩා බර කථාවක් ඒ අස්සෙ තිබුනා. වේලුන තණකොළ දකිද්දි... ඒ තැනිතලාවත්, වැවත්, පුංචි කොළ ඇති ලොකු ගසුත් දකිද්දි මට මතක් උනේම අලි!

 " අලි නැද්ද" 
ඉතිං මං ඇහුවා

 " නෑ, අපෝ අලි හිටියනම්...." 
අක්ක උත්තර බැන්දෙත් හිනා වෙලාමයි!

හවස 4.00ට ආපහු යන කෝච්චිය. තව ඉන්න ඕන වගේ. අක්කලත්, නැන්දත් කීව ආයෙ එන්න කියල, ටිකක් වැඩිය ඉඳල යන්න. ඊට වඩා ලොකු කථාවක් අපි සමුගනිද්දි නැන්දගෙ ඇස්වලින් පේලියට වැටුන කඳුලු සද්ද නොකරම කිවුවා. 

තනි සුදු පාට ගාල තිබ්බ ස්ටේශන් එකටත් සමුදීලා ආවෙ හරිම කාන්සියකින්.... කෝච්චිය ආවට වඩා වේගෙන් කොළඹ දුවනව වගෙයි හිතුනෙ. නැන්ද ලිපෙන් බාපු ගමන් මල්ලට දාල දුන්න උණුම උණු බඩඉරුගු කරලක් කකා එද්දි, අනුරාධපුරය ටික ටික වේගෙන් ඈත් වෙමින් තිබුනා. ලා ගොයම් යායවල් සීතලට පහුඋනා. වේලුන වගා බිම්වල මොණරුන් උන්නා. ඕලු, නෙලුම්, මානෙල් මල් වැවුවල පරනොවී තිබුනා  නාමින් උන් ලොකු කුඩා උන් නැවැතිල්ලේ කොච්චිය දිහා බලා උන්නා. පොඩි උන් අත වැනුවා. පුංචි කොළ ඇති රූස්ස ගස් නිසොල්මනේ ඉද්දී කෝච්චිය වේගයෙන් කොළඹ දිවුවා! 

හිතුවාට වඩා ඉක්මනට අඳුර ගලා ආව නිසා ගස්වල පුංචි කොල ආයෙත් විශාල උන හැටි දකින්න නම් බැරි උනා. ටකරං හෙවිල්ලපු ලෑලි ගෙවල්වල නිවැසියෝ ඒ වෙලාව වෙද්දි දවසෙ අවසානයට ලෑස්තිවෙමිනුයි උන්නෙ. 

කොළඹ හැන්දෑ හුළඟ ත් ටිකක් හීතලයි. දූවිලි අංශු ඒවයෙ තැවරිලා වගේ මට අමුතුවෙන්ම හිතුනා. රෑ 8.00 වෙද්දි අපි මරදානෙන් බැස්සා. මුත්‍රා ගඳ බොහොම දරුණුවට මේ පාර දැනුනා.

අනුරාධපුරයත්,  ස්ටේශමේදී තාත්තා අප සමඟ ආවා කියල දැනුන හැඟීමත්, නාච්චදුව වැවත්, එහි වතුර කුඩා ඇල පාරවල් වලට ගලා ආ අයුරු දැකීමෙන් දැනුන හැඟීමත් මගේ හිත නොතේරෙන සාංකාවක් වගේ තත්වයකට පත්කරල වගේ.

අපි දෙන්නා විවහ උනාට පස්සෙ හිතා උන්නෙ අනුරාධපුරේ යන්න. එයාගෙ අත අල්ලන් හැන්දෑවක රුවන්වැලි සෑය වඳින්න යන්න. පස්සෙ නුවර එලියෙ යන්නත් හිතුව. එයාට මම කිවුව අපි ඉසල්ලාම අනුරාධපුරේ යං කියල. 

එයා කැමැත්ත දුන්නා!

පසු සටහන:

ජීවිතයේ සමහර අවස්ථාවල අපගේ හදවතට දැනෙන හැඟීම් විටෙක පුදුමාකාරය. ඒවා මොහොතකට, දවසකට, සතියකට, මසකට, වසරකට හෝ ඇතැම්විට, සදාකාලිකවම  ඔබට සෲජුවම ප්‍රභල බලපෑමක් ඇතිකරනු ඇත. මා පණක් නොව මෙම සටහන කියවන - නොකියවන, දුටු- නොදුටු ඔබ කවුරුනමුත් එවන් කෙටි, දිගු හෝ සදාකාලික හැඟීමක් කෙදින හෝ විඳ ඇතැයි මා අනුමාන කරමි. හේතුවක් හිතාගත නොහෙන එවන් පුදුමාකාර හැඟීමකින් ඇතිවන බලපෑම විස්තර කිරීම අකුරු හෝ වචන වලට අපහසුබව ඔබ පිළිගනුඇත. එවන් හැඟීමක් සාර්ථකවම විස්තර කරනු හැක්කේ සිතුවිලි වලටම පමණැකැයි මට හැඟේ. 

මේ සටහන ලියැවෙද්දී සුමානයක් තරම් අතීතයට දිවෙන සටහනෙහි ඇති දෑ, තවමත් නැවුම් ලෙස මා පෙළමින් සිටී.  හදවතකට හැඟෙන දෑ එලෙසම තවෙකෙකුට කිසිදා දැනේයැයි මම කිසිවිටෙක නොසිතමි. එනිසා මේ අකුරු කියවන ඔබට කිසිඳු වටිනකමක් නැති අර්ථයක් නැති දෙයක් ලෙස සමහරවිට දැනෙනු ඇති නමුත්, මේ.. මහිත පෙළන ආගන්තුක ගුප්ත හැඟීමක බර සැහැල්ලු වේයැයි සිතා වදනට පෙරළාගත හැකිවූ අංශු මාත්‍රයක් පමණි.

අනුරාධපුරය, එහි දුම්රියපළ, නාච්චදූව වැව සහ තාත්තා! 
එක්ව මහිත තුල කැරැල්ලක් ඇතිකර ඇති සෙයකි.

හිතක ඇති දේ එලෙසින්ම දැනෙන්නේ එහිතටම පමණි!

Tuesday, July 16, 2013

ඉඳහිට දුළබ දවසෙක



මියැදෙන සිහින පිබිදෙත
නොමියෙන සිහින මියයත!

ඉඳහිට දුළබ දවසෙක

නොමියෙන සිහින අතරෙට
මියැදෙන සිහින දකිනෙම් 

මම!

Thursday, July 11, 2013

මියෙන මල් හිනැහේද?....



පිපුනු මල් හිනැහේය
හෙටත් හිරු නැගේ යැයි
හෙටට පෙර සදු දකිනතුරු
පිපුනු මල් හිනැහේය!

මියෙන මල් හිනැහේද
සඳේ මුදු එලිය මැද
යලිත් හිරු නොමදකින
නමුත් පරපුර රකින

මියෙන මල් හිනැහේද?....