මල් පිපුනු හෙන්දිරික්කා ගස් පුරා ඉඟිල රැගුම් රඟන්නට සමනලුන් අසලක නොවූයේ මේ හැන්දෑව නිසාය. හැන්දෑ සමය එලැඹෙත්ම උන් කොහේ යනවාදැයි තාරුකාට ප්‍රහේලිකාවකි. කුරුල්ලන් පවා අඳුරු තුරු වදුලුවල නිදි කිරද්දී සමනලුන් කොහේ අතුරුදන් වනවාදැයි ඇය අදටත් කල්පනා කරයි. බුදුන් වඳින්නට නෙලාගත් වතුසුද්දමල් අතරට දම් පාට හෙන්දිරික්කා මල් කීපයක්ද එකතුකරගත් තාරුකා නිවස දෙසට පය ඉක්මන් කලේ අඳුර දසත පැතිරී යමින් තිබුන නිසාය.
බුදුන් වඳින අතරවාරයේ හිත එහෙ මෙහේ දුවන එක වලක්වා ගැනීම ඇයට අපහසු කාරියකි. ගාථාවේ අරුත සිතමින් ගථා කීමට ඕ උත්සාහ ගත්තද, සැනෙන් එය ව්‍යාර්ථ වී අකීකරු හිත දසත රස්තියාදුවේ යාම ගැන ඇයටම හිනාය.
"දූරං ගමං ඒකචරං - අසරීරං ගුහාසයං
යේ චිත්තං සංඥ මොස්සන්තී - මොඛ්ඛන්ති මාර බන්දනා"
බාලිකාවේ අකුරුකරද්දී බුද්ධ ධර්මය පාඩමක තිබී කටපාඩම් කරගත් ගාථාවක්ද එ අතරේ මනසට රිංගාගෙන ඇත.
ජීවිතය අපට උවමනා ලෙස හැසිරවීමට නොහැකි බව ඇය තවත් විශ්වාස නොකර සිටියේ නැත. තවදුරටත් ඒ විශ්වාශය හිතේ තබා ගැනීම නිෂ්පල වගට ශාක්ෂි මේ කලය තුල තාරුකාගේ ජීවිතයෙහි උවමනාවටත් වඩා ගොඩගැසී ඇත.හිත කොහොම නිවා ගන්නදැයි ඇය නිතරෝම කල්පනා කලාය.හැමෝම කියනා පලියට ඒ සැනින් හිත හැදෙන්නේ නැත.එසේ හැදෙනා හිත් කොහේ හෝ තියෙනවාදැයි යන්නත් ඇයට ප්‍රහේලිකාවකි.
ඈ දෙනෙතු පියාගත්තේ අතීතය කොයිතරම් තියුනු උවද, එයින ආයෙමත් හිත පහුරු ගෑමටය.පෑරී ලේ ගලන හදවතේ වේදනාකාරී ගැස්මට වේගවත් වීමට අවස්ථාවක් ලබා දීමටය.
ඈ ඔහුට ආදරය කරන්නට පටන් ගත්තේ කවදාදැයි සොයන්නට වෙහෙස නොවී මද සිනාවකට මුවග ඉඩසදා දුන්නේ මේ සිනාවේ අවසානය දෝරේ යන දුකින් පිලිසිඳි කඳුලක්ම බව හද කොනේ රඳවාගෙනය.
තාරුකාගේ හිතේ අප්‍රකාෂිත සෙනෙහස මෝදුවුයේ ඉබේ යැයි කීමට නොහැක.
ඳඟකාර යෞවනයේ උන් සඟයන්ගේ විහිලු හමුවේ ඈ තරහක් පෙන්වූවද, ඒවා හමුවේ සිහින් කිතිකැවුමක් තාරුකා හිත් ඉමේ පාරාවලලු තනන්නට ඇත. ජීවිතය පටන් ගත්තා පමනි. ඈ හදගැබේ කාටත්, සමහරවිට ඇයටත් හොරා උපන් හැඟීම් ආදරයම යැයි අරුත් ගන්වන්නට තවම ලාමක වැඩිය.
ජීවිතය සොයා පියාසර කල අහසේදි ඈ ඔහුව අමතක කරදමන්නට උත්සහ කලේ මන්දැයි පිලිතුරු හොයද්දී, තාරුකා යටි හිතින් හෘද ශාක්ෂියට දොස් පවරමින් උන්නාය.නමුත් ඒ වෙද්දී ඔහුත් ඈ නතරඋන කෙම්බිම අතැර පියාඹන්නට පටන්ගෙනතිබුනි.
උදව්වක් සොයාගත නොහුනු තමන්ගේ සමාජය හමුවේ ඈ දෙනෝදහක් අතරේ උව හුදකලා වී තිබුනි. හදවතේ රිදෙනම තැනක් බලා ඇනුන විස කටුවක්සේ දිනෙන් දින "ආදරය" ඈ ඔත්පලකරද්දී, ඇස් පාරාගෙන වැටුන කඳුල පවා ඈ සඟවා ගත්තාය.
ජීවත් වෙද්දී හදවතේ උපදින හැඟිම් කලලවලට උපදින්න ඉඩනොඳි හදගැබේ නිදන්කරගත්තාම රිදෙන වග පසක් කරගනිද්දී තාරුකා උන්නේ පරාජයේ බිහිදොර ළඟය. යලිත් හැරී ආ නොහැකි මාවතක ඕ මඟවරදාගෙන ගමන් කර තිබුනි.ගැහැනු හිතකින් උපන් ආදරයක් ඔහු නමින් මියෙද්දී, ඔහු උන්නේ අස්ථීර අනාගතය ස්ථීර කරගැන්මේ අඩිතාලම් දමමිනි.
හැඟීම් විහිලුවට ඇති නොවන වඟ ඔහු දන්නවා විය යුතුමය. ඒ හැඟීම තප්පරයකට හෝ ඔහුගේ හිත ස්පර්ෂ නොකලායැයි ඔහු කියන්නේ නම් ඒ මුසාවකි. නමුත්, කාලාන්තරයක් තිස්සේ නිසලව තිබූ ජීවිතය සුදුපාට අලුත් හීනයේ දැවටෙද්දී, හැඟීම් අතරේ ඔට්ටුවන්නට ඉසිඹු ඔහුට හිඟවන්නට ඇත. පන ගසමින් තිබූ ආදරය මියෙන්නට හැරියේ එනිසා වන්නට පුලුවන. ඔහු ගත්තේ හරි තීරනය වියහැක. ඒ තීරනය ගන්නට ගතවූ කාලය හරියැයි කීම නම් ගැටලුවකි. ඔහු පිරිමියෙකු ගේ මනසින් හෙට දවස දකිද්දී, අසරනව මඟහැරුන ගැහැනු ජීවිතය ඉකිගසන හඞ නෑසී යන්නට ඇත.
කාලය දෝරෙයන්නට ඉඩහසර දී තිබූ සමය ඉතින් දැන් අවසන්ය. තීරන හිතාමතා ගතයුතුමුත් ඒවා හදට අනින යවුල්පහරවල් මෙන් බරවැඩිය. ජීවිතේ විවෘතව හිදිය යුතුව තිබූ අවදියේ වසන්කල හිත නිසා ඉතිරි වූ දුක හදවතේ ඒ කොනටම තබා අගුලු ලෑ යුතුව ඇත. අප්‍රකාෂිත ආදරය ප්‍රකාශිත වූ දා උපන් හැම හැඟීමකටම උරුමකම් කියනා කඳුලු එකක් නෑර ගිනි තැබිය යුතුව ඇත. කඳුලු ගිනි තියනයුරු නොදත් පෑරුනු හිතැත්තී තාරුකා, හදවතේ දැවෙන ගින්නට පිච්චෙමින් උන්නාය.
අලුත් මාවත් විවර වෙද්දී ජීවිතය සොයා ඉඟිල ගිය කුරුල්ලා යලි ආවත්, ආදරය හමුවේ නිසලවූ හිත ආයේ සසල වේදැයි ඈ හිතුවාය. ගල්කුලක් හමුවේ බයබිරන්තව පොඩිඋන රෝසපෙති සුලඟට ගසාගෙන යද්දී ඒවා නතරවන්නේ කොහේදැයි සිතන්නට කඳුලින් මදක් සංතර්පනය වූ හිත වෙහෙසවන්නට ඈ වෙහෙස නොවූවාය.
තෙතබරියන්වූ නෙත් පියන් විවර කල ඕ ඇඳෙහි පසක ඇති ලා කහපාට සාරිය මුදුව අතගෑවාය. ඒ මත තිබූ අම්මාගේ පැතුම් කන්දෙහි අංශු මාත්‍රාවක් තාරුකාගේ ඇඟිලිතුඩු හරහා හිතට කතාකරන්නට ඌවාය. මේ ජීවිතය මගේ කියා තීරන ගතයුතු තැන් මෙන්ම, මට මෙන්ම මගේ ඔවුන්ටත් මේ ජීවිතය අයිතිවාසිකම් ඇතිවග සිතා තීරන ගතයුතු තැන්ද ඇති බව තාරුකාගේ හිත තේරුම් ගනිමින් උන්නාය.
මිටිවූ අත්ලේ තැවරුන කඳුලු අතරේ ගිනි පුපුරු සේ වරීන්වර දැල්වෙන වේදනාවෙ නටඹුන් අතරින්ම තාරකා කහ පාට සරිය සිය දෝතට ගත්තාය.
මුවෙන් පිටවෙනවට වඩා හිතෙන් කොයි තරම් වේගයෙන් වචන පිට වෙනවද..?
ReplyDeleteහැබැයි මෙහෙම අය සමහර විට කට අරිනවත් අඩුයි... ඒත් හිත ඇරුනම නැවතීමක් නැහැ.
හොඳ ලිපියක් නගේ..කරගෙන යන්...
ගොඩාක්ම ලස්සනයි..දිගටම ලියන්න.. සුභ පැතුම්.. :D
ReplyDeleteමාරයියා තමයි පාර කිව්වේ.. කරං යන් දිගටම....
ReplyDelete