Monday, July 4, 2011

කරදිය - II



පසුදිනත් මා ගුප්ත සාගරයේ පහස පතා වෙරල වෙත ඇදුනේ නිරායාසයෙනි. නිරන්තර වේදනාවෙන් පෙලෙමින් උන් මා සයුර විසින් දුක හංඟා ගන්නා හෝරාවට හදවතින් බැඳෙමින් උන්නෙමි.

දෙඇස ඈත රැල්ලක් හා ඔට්ටු වෙද්දී, දැහැන බිඳිමින් මා ඉදිරියෙන් දිවගියේ පෙර දා බල්ලෙකු සමඟ සෙල්ලම් කරමින් උන් කුඩා කොලුවාය. යුවතිය මට සිහිඋනේ නිතැතිනි. මා ඇගේ නිවස දෙස බැලුවේ නිකමටය.

එතැනම, අබලං කවුලුවට  එහා වාඩි වී උන්නාය. මා වෙත හැරෙද්දී සැනෙන් ඉවත බලාගත් නමුත්, එතෙක් ඇය මා දෙස බලා උන්වග මට පැහැදිලිය. සියුම් මන්දස්මිතියක් මගේ උවනත ඇඳී ගියේ තාරුණ්යයේ හැඟීම් රේඛාවක් වේදනාව පරයා මනසට කතා කල නිසාවන්නට ඇත. මම නිරීක්ෂණය කෙලෙමි. තඹවන් සියුම් අක්ඹබරු කෙහෙරැලි, අතරින් පතර ඇවිස්සී තිබුනේ මුහුදු හුළඟට පරාද වූ නිසාය. කෙට්ටු මුහුනේ මට දිස්වු පැතිකඩ මලානික දුඹුරු පැහැයකින් පැහැගැන්වී තිබුන අතර,

"ලස්සනයි..."

මගේ හිත කීවත්, විඩාපත් අඳුරු මුහුනේ ලස්සනක් තිබුනාදැයි කියා මට තේරුනේ නැත. යලි මදෙස නෙත් කොනින් බලා සැනින් ඉවතට යලිත් හැරෙද්දී, පෙර කී මන්දස්මිතය මා වෙත යලිත් පාවී ආවේය.

ඉන් පසුව තවත් දින තුනක් මම මගේ සුපුරුදු සැඳෑ ගමන සිදු කලමුත්, මිය ඇදෙන පැතුම් අතරේ සියුම් මදනලක් වී මා හදේ  හමමින් සිටියාය. දැකීම මගේ ගමනේ මූලික අරමුණ බවට පරිවර්ථනය වෙමින් තිබුනි.

පළමු දිනයේ මා දෙස බලද්දී මම ඇයට සිනාවකින්  සංග්රහ කලෙමි. මට රැවුවාය. එය මා අමුතු හැඟීමක ගිල්වූ අතර, දවස පුරා මා දෙස බැලීමට උත්සහා කරන අතරම, අප දෙනෙතු මුන ගැසෙද්දී මගේ නෙත් මඟහරින්නට හෝ දරුණු රැවුමක් මට එල්ලකිරීමට වගබලාගත්තාය.

දෙවන දිනයේ මාහා සිනාසුනාය. මට මහත් සතුටක් ඇතිවූ අතර, ඇයගේ නිහඞ පැවැත්මේ මම ඇලෙමින් උන්නෙමි.

" එයා ලස්සනට ඉඳී...."

හේබාගිය විඩාපත් මුහුනේ සැඟවුන වෘතාන්තය දුප්පත්කමැයි සිතූ මම, මුහුනට පිරිපුන් පෙනුමක් මනසින් ආරූඨ කරමින් සිතූවෙමි.

මොහොතේ මම ඇයට කතා කලයුතු යැයි හැඟීමක් පිලිසිඳුනෙන් දෙගිඩියාවෙන් ඇදෙස යලි බලද්දී ඇගේ මව යැයි සිතිය හැකි අයෙක් වෙත විත් කුමක් හෝ කියද්දී ඈත වෙරළ දෙස බලාගෙන ඉකි බිඳින්නට වන්නීය. ඇගේ මව වෙතට විත් හිස ලයේ හොවාගනිද්දී ඇයව පසෙකට තල්ලකර දැමුවාය. ගැහැනිය ඉන් රිදුන හිත කදුලු කරමින් කවුලුව අසලින් නික්ම යද්දී, හිස් බැල්මක් මට තිලින කල කවුලු දොරවසා දැමුවාය!.

අහේතුකවම මා මනසට රිංගාගෙන මියැදෙමන් ඇති හදවතට සිඟිති වින්දනීය හැඟීමක් ගෙන ඇයට මම සමීප වෙමින් උන්නෙමි. එය කිනම් හැඟීමක්දැයි සොයන්නට මට උවමනාවක් හෝ කාලයක් නොතිබිනි.

නිහඞ යුවතී, ගුප්ත සයුර මෙන්ම මා බැඳ තබාගන්නට සමත් වී ඈත. අම්මලාගෙන් හුදකලාවු මා සිතුවිලි සයුරේ සරද්දී මට සිතන්නට මංපෙත් පෙන්වන්නියක වෙමින් තිබුනි. මට අවැසිව තිබූ 'මගේ නොවන' ආගන්තුකයෙක් හරහා සිතුවිලි වදන් කරන්නට මට අවස්ථාවක් ලැබී ඇතැයි මම සිතූවෙමි. 'මගේ අය' අසා හිත රිදවාගන්නා මගේ සිතුවිලි මගේ නොවන අයෙකුට බලපෑමක් නොකරනු ඇතැයි තනිව විඳවමින් උන් මට සිතුනේ ඇයිදැයි මා නොදනිමි.

'හෙට' හා කතාකරන්නෙමැයි සිතා ගත්තද තෙවැනි දිනයේ එතැන උන්නේ නැත.

අබලං කවුලුවේ එල්ලී උන් පාට මැකුන ජනෙල් තිරය පමනක්,මුහුදු හුළඟේ පහරින් බැටකමින් උන් අතර, මගේ හිත අසරණව වැල්ලේ ඉබාගාතේ සරන්නට විය. මම ආගන්තුකයයෙකුට හදවත විවෘත කිරීමේ දොලකින් අසීමිතව පෙලෙද්දි., නිරතුරුව හැරදැමූ කවුලුවෙන් එපිට රුව මතුවෙනු දැකීමේ පිපාසාවකින් පෙළෙන්නට වීමි. අඳුරු තිර හාත්පස වසාගනිද්දී බරවූ හදවතත් ඇතිව මා නිවසට පා ගෑටුවෙමි.

අලුත් හවසක්....

මට අලුත් දවසක් උවමනා නොවේ. උදාවෙන හැම දසකටම වෛර කරමින් උන් මට උදාවූ දවස අවසානයේ එලැඹෙන මේ සැන්දෑව අහන්නට ආසා ගීතයක් ඇහෙන මොහොතක් මෙන් සැනසිල්ල ගෙනාවේය.

අද ඈ එතැන උන්නාය. වෙනදාටත් වඩා අඳුරු පැහැගැන්වී තිබුන ඒ මුහුන තවත් මලානික වී තිබුනි. ඈ මා එනතුරු බලා උන්නා සේ මා දුටු විගස හිනැහුනාය. කාන්තිය මැකෙමින් තිබූ ඒ ඇස් හිනාවට සම්මාදම් වෙන්නට උත්සාහා කරනයුරු මා දුටුවෙමි. ඉන් දිරිය ලත් මා ඈවෙත පිය නැඟූවෙමි.

ඇගේ කවුලුවට මෙපිට වැල්ලේ ඒ අසලම බිම වැතිරී උන් පොල් ගසේකඳ මත ම වාඩි උනෙමි. මම මොහොතක් ඈ නිරීක්ෂනය කරන්නට නිහඩ නිමේෂයක් වැය කරද්දී ඈ සිනා මුසුව මදෙසම බලා උන්නාය.

ඒ දෑස ගිලී කහගැන්වී ඇත.... මුහුන උවමනාවටත් වඩා මලානිකය.

"ඔයා..?" මම මගේ හද කළබල කල පැනය ඈ වෙත එල්ල කරන්නට තනද්දී

"මම අසනීපෙන්.." ඈ කටහඞ අවදි කලාය...

" හ්ම්...."

"ඔයා අද කතාකරන්ඩ ආ එක හොදයි..., මං උන්නෙ මට ඔයා එක්ක කතා කරන්ඩ වෙන එකක් නෑ කියලා"

ඈ නැවතිල්ලේ කීවාය...

"මොකද්ද අසනීපේ..."

මම ඇගෙන් අසද්දී ඈ මොහොතක් ම දෙස බලා උන්නාය. මුදු සිනහවක් මුවග ඇදෙද්දී ඒ ගිලුනු නෙත් කෙවෙනි අග කදුලු කැට දෙකක් මෝදු විය.

"පිලිකාවක්..!!"

                                                                                                         .............................>>


Friday, July 1, 2011

කරදිය - I



කලක පටන් විටින් විට මා පෙලූ උදරය පුරා දිවුනු නොසන්සුන්කම එක්තරා දවසක උත්සන්න වූයෙන් මම වෛද්යවරයා මුනගැහෙන්නට ගියේ තනිවමය. ඒද අම්මාගේ පෙරැත්ත කිරීමටය.

වැඩිදුර ප්රතිකාර සඳහා යැයි කියා මහ රෝහලේ නවාතැන් ගැන්වූ දා පටන් හරි හැටි නින්දක් හෝ කෑමක් නැතිව විස්සෝප උන අම්මාට මම ලෙඩ ඇඳේ හිද දොස් පැවරුවේ නිකරුනේ කලබලවි ඇතැයි සිතූ නිසාවෙනි. වේදනාව වෙනසක් නොවුනද මට බයක් නොදැනුනේ ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලන්නට තිබූ මුහුකුරා නොගිය මනස නිසා වන්නට ඇත.

අවසානයේ ඔවුන්ට එය මුනගැසී තිබුනි!.

ඔවුන් මගේ 'මරනය' වෙනත් නමකින් හඳුනාගෙන තිබුනි!.

මහරගම පිලිකා රෝහලට මා මරු කර යවනා බව ඔවුන් මගේ මව, පියා, සහ සොයුරියට කියනු ලදුව මගේ දෙසවන වැටෙද්දී, කන්පෙති රත් කරමින්, හදවතට රුධිරය වේගයෙන් ගලන්නාක් වැනි හැඟීමක් සමඟ දෑස තෙත්කල කඳුලු මම තවම මැරෙන්නට සූදානම් නැතිවග මටම කියාදුන්නා වැනිය.

අම්මා, තාත්තා ගේ පුතා ලෙස මම අසරන වීමි. කඳුල දකිද්දී මම අසරන වනබව ඔවුන්ට තේරුම් කරන්නට මම උත්සහා නොගත්තේ, කඳුල නැතුව ඔවුන් පපුව පැලී මියැදෙන වග තේරුම් ගත් නිසාය. නංගීගේ ඉකිබිදුම හදවතේ ඉසවුවක් හාරමින් වේදනා දෙවද්දී මම ඉකිබිඳුම නෑසූ කන්ව ඉවසුවෙමි. මඟේ පුංචි සුරතලීය. නංඟී තනිමඟක පාසලට පය නඟනයුරු මනසේ ඇඳගන්නට උත්සහා කරමින් මම ජීවිතයේ අසරණ කමට ප්රාතිහාර්ය්යක් පතමින් උන්නෙමි.

"බලාපොරොත්තු නැතිකරගන්න එපා. අපි Treatments කරලා බලමුකෝ"

වෛද්යවරුන්ගේ වදන් වල ප්රානවාචී බව කෙසේ උවද, අපි මතින් හුස්ම ගන්නට උත්සහ කරමින් උන්නෙමු.

***************************
ඉර මල පරව යන්නට තනද්දී මම ජීවිතයේ වින්දනීය හෝරාවක් සොයා වෙරළ කරා පා නැඟුවෙමි. දින කීපයක සිට මම වෙරළත සිට ගෙවන මේ හෝරාවක පමන කාලයට ආදරය කරමින් උන්නෙමි.

දින කීපයක්!!

දින කීපයකට කලින් මම දැනගත්තේ මට තවත් ඉතිරි වී ඇත්තේ දින කීපයක් පමනක් බවය.  නමුත්, විදවනා තප්පර රෑනක් අතරේ බෙහෙත්, සාත්තු, ඇවිටිලි, ප්රාර්ථනා, මැසිවිලි එක්ක මා වට කරගන්නා කඳුලු අවසාන නූලකින් මවු ගසේ එල්ලී හිඳින්නට වීරිය දරන හැඟීම් පවා මඟෙන් ඈතට කර දවස් කීපය තවත් ඉක්මනින් ඉවරයක් වෙනවානම් කියා හිතන්නට මා හදවත ලෝබකරමින් සිටී.

ජීවිතය ගැන හෝ එහි අස්ථීරත්වය ගැන මැසිවිලි නඟනවාට වඩා මම ජීවිතයට වෛර කරමින් හිඳිමි.

මා කෙරෙහිම උපන් වෛරයත්, අසරන කමත් හමුවේ අම්මාගේ ගැහෙන හදවතට රිද්දූ දුකින් තවත් ඔත්පල වූ හිත වාරුකරගත් මම හෙමිහිට සේන්දු වී තිබුනේ මේ විසල් සාගරයේ අද්දරටය. මියඇදෙන හිරු හෙට යලිත් උපදිනු ඇත. රැසින් ලෝකයට ජීවිතය දෙමින් හිද යලි මියඇදෙනු ඇත.

මම!

මමත් මියැදී යලි ඉපදෙනු ඇති මුත් වෙද්දි මේ කිසිම දෙයක් මේ විදියට තියේවි කියා හිතන්නට බැරිය.

 පසුතැවීමත්, දුකත් මොහොතකට හෝ පිසදාන්නට මුහුදු හුළඟට  පුලුවනි. හුළඟට මුසුවී ඈත ක්ෂිතයේ දිස්වෙන නවුකාවල ඡායාවන් අතරේ අතරමං වීමට මම ආසා කරන්නට වීමි.

දින කීපයක්  තිස්සේ තවත් 'දින කීපයකට' මියෙන හිරුගේත්, මුහුදු හුලඟේත්, ඟැඹුරු දියඹේත්, කරදිය සුවඳේත් රිද්මයට ආදරෙන් එහි සැඟවී හුදකලා වීමට මම මෙහි ඒමට හුරු ඌයේ නිසා වන්නට ඇත.

ඈත සයුරේ ගුප්ත බව තුල මිදී ගල් වී හුන් මම තිගැස්සී පියවි සිහියට ආවේ සිනාහඞකිනි. මුහුදේ ඝෝශාව අතරින්  හඞ මට වෙන්ව ඇසුනේ වැඩිය කෑ ගසා නිසංසලත්වය හැඩිකර දමන්නට තරම් මිනිසුන් හෝ ළමයින් වෙද්දී වෙරළේ තවත් ඉතිරිව නොවු බැවිනි. හෙටක් ඇති ඔවුන් අදට සමුදීමට නිවෙස් වෙත යමින් සිටියදී, හෙටක් අවිනිෂ්චිත මම සයුරු තෙර අතරමං වී හිඳඇත.

මා සිනා හඞ දෙසට නෙත් යොමුකලේ යාන්ත්රිකවම වාගේය. කුඩා නිවසක අබලං වු කවුලුවකට එපිට උන්නාය. කොලුවෙක් කවුලුවට මෙපිටින් නාහෙට නාහන බල්ලෙකු සමඟ ඔට්ටු වෙමින් උන් අතර, දෙස බලා හිනැහුනාය. ඉන් කේන්ති ගත් කොලුවා ඈට වදනක්, දෙකක් දමා ගසා ඈත දිවයන බල්ලා පසුපස උණුසුම් වැල්ලේ පතුල් ගිල්ලවමින් දුවන්නට විය. කරදිය සුවද මුසු අලුපාටකින් වැසී යමින් තිබුන වැල්ලේ අද්දර වියපත් වෙමින් තිබූ නිවසේ වයස්ගත කවුලුවට එහා තනිවුවාය. ජනෙල් කවුලුවේ හිස හොවාගෙන ඈත ක්ෂිතිජයේ අතරමන් වෙද්දී මම නිවස වෙතට පා නැගුවෙමි................................>>

රිදෙනවද !



වසන්තෙක අගිස්සේ - පිපුන මුදු රතුකුසුම
දුවිල්ලෙ පාට විත් - රත්පැහැය සැඟවීද

සඟවන්නෙ හිරු රැසට - ඉරි තැලුන ලෝකයට
පිණි බිඳිති වෙනුවාට - කඳුලු තැවරුන පෙතිද

පියාඹන තටු ඇත්තො - මුවින් පිට නොවුන ඊ
නෙත් සරින් මුදද්දී - හදවතට රිදුනාද

මලානික පෙති අතරෙ - හැංඟිච්ච තියුනු කටු
විසෙන් පුරවාලන්න - කීවෙ ඒ හදවතද