Thursday, March 10, 2011

පෙඟුන ජීවීතය



අඳුරු අහසින් අතහැරුනු වැහි බිඳූ මා සිපගනිද්දී මොහොතකට මිදුලේම නතර වූ මගේ නෙත ගැටුනේ ඈත පිට්ටනියේ තවමත් තෙමෙමින් මේ වහිනා වැස්ස සිත් සේ විඳින කුඩා දැරිවියකි.සෙමෙන් මා දුර අතීතයට සිතින් ගෙන යෑමට ඕ සමත් විය.

එකල ඔහු මගේ සියල්ලම විය.අම්මාගේත්,තාත්තාගේත් සුරතලියව උන් මගේ ජීවිතය වෙනස් වූයේ ඔහු නිසාවෙනි.මා ඔවුන්ගේ ලෝකය යැයි සිතූ දෙමාපිය සිත් රිදවන්ට පවා මට හැකියාව ලැබුනේ කෙසේදැයි විටෙක අදටත් මා සිතන්නේ පුදුමයෙනි.සමහරවිට මට මේ පලදෙන්නේ මා ඔවුන්ට දුන් ගින්දර වියහැක.

ඒ නිහඬ පාන්ඩු පැහැ හැන්දෑව කවදාවත් උදා නොවුනා නම් යැයි මට සිතූනි. ඇදුම් කන දෙනෙත් පියාගත්තද, පියවුන නෙතු පියන් අතරින් රූරා වැටුන කඳුලින් කොපුල් උණුසුම් වූයේ නිමේෂයකිනි.කොහේදෝ හිද මූසල නිහැඩියාව තවත් මූසල කරමින් මහ හඬ නඟමින් ආ බසයක් මා වෙතට එනවා පමනක් මගේ මකයේ ඇත. අසා දැනගත් පරිදි මා දින කීපයක්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රථිකාර ලබා ඇත. ඒ දින වල ඔහු මා බැලීමට ආවාදැයි මම නොදනිමි.කිසිවකු මට ඒ ගැන කීවේද නැත.මට මතක ඇති වාට්ටුවේ ගතකල සති දෙකටම ඔහු මා බැලීමට ආවේ එක් දිනකි. ඉන් පසුව මා ඔහු දුටුවේද  නැත.

හිතේ ගැඹුරු තැනක සිට ඉහලට තෙරපෙමින් ආ වේදනාව ඉකිබිදුමක්ව මුවගට ආවේය.එක්වරම කලබලෙන් හැමූ සීතල හුලඟකට එතෙක් වේලා තෙමෙමින් තිබූ ම ගත හිරි වැටී යද්දී, මම පියවී සිහියට පැමිණියෙමි.
දිගු සුසුමක් හෙලා තවමත් මා අතෙහි තෙමෙමින් තිබෙන රත්තරන් පැහැ මංගල ඇරයුම් පත දෙස යලිත් මම බැලූවෙමි. එය පෙඟී තෙතබරියන් වී ඇත්තේ මගේ හිත පරිද්දෙන්මය. ඒ බහාලූ කවරයේ නිල් තීන්තෙන් ලියූ මගේ නම බොඳ වී  මැකී යමින් තිබුනි. මා තවත් නොවටිනා කල මගෙන් ඈත් වූ ඔහුට මා ඔහුගේජීවිතයෙන් ද මේ අයුරින්ම මකා දමන්නට උවමනා වන්නට ඇත. එයට කම් නැත. මා විදෙව්වාට ඔහුත් විඳවිය යුතු නොවේ. නමුත්, මේ ඇරයුම් පත මට ලැබෙන්නට සලස්වා මේ රිදෙන හිත තවත් පාරන්නට ඔහුට උවමනා වූයේ මන්දැයි මට නොතේරේ.

ඔහු මට ආදරය කලාදැයි මම මගේ විඩාබර හිතෙන් ප්‍රෂ්න කෙරුවෙමි. පිළිතුරක් කෂිතිජයේවත් ලියැවී ඇත්දැයි බැලීමට මා ඈත පිට්ටනිය දෙස බැලුවෙමි. එහි සෙල්ලම් කරමින් හුන් දැරිය තවත් එහි නොවිනි.
මියැදුන හීන සියල්ලෙන්ම ඉතින් මා මිදිය යුතුවඇත. මට අලුත් සිහිනයක් දැකීමට නෙතු පියාගන්නට උවමනාය.

මම යලිත් කාමරයට යන්නට රෝද පුටුව හරවා ගත්තෙමි. එතෙක් වේලා මට නොපෙනී මදෙස බලාගෙන ඉකිබිඳිමින් හිඳ ඇති අම්මා සැනෙන් දිවැවිත් මට නිවසට ගොඩ වීමට උදව් කලාය. පෙඟි, දිය බේරෙන මගේ හිස ඒ ලයට තුරුලු කරගත් ඕ යලිත් ඉකි බිඳින්නට වූවාය. කලක් මට අමතකව තිබූ ඒ සොඳුරු සුවඳ යලිත් ඇයගේ උණුසුම් තුරුලින් මට දැනෙන්නට විය. ඟැඹුරු හුස්මකින් මම මගේ හිස්ව තිබූ ලය පුරවා ගත්තෙමි. ගොඩනඟන්නට බාදා අපමන උවත්, මම ජීවිතය අලුතින් ලිවීමටපටන් ගත යුතුව ඇත

No comments:

Post a Comment