Thursday, May 22, 2014

චිත්‍ර

"යමුද එහෙනම්...."

"හ්ම්....යමු...".

හැන්දෑව ගෙවන්න ඇවිදින්න යන්න යෝජනා කලේ අත්තම්මා. යෝජනාව ස්ථීර කලේ අම්මා. ඒ එක්කෙනෙක්ටවත් ඕන උනේ නෑ හැන්දෑව එලියෙ ගත කරන්න. ඒත්, එයාලට ඕන උනා අපි දෙන්නව එලියට යවන්න, තනිවම. යෝජිත පෙම්වතියත් එක්ක රියට ගොඩඋනේ ඒකයි මම. නැත්නම් යස අගේට කාමරේ ඇඳ උඩට වෙලා හිතුවිලි නූල් බෝලෙ පැටලුම් ලෙහන්න තිබ්බ කාලෙ නිකන් නාස්ති කරන්න මට උවමනාවක් තිබ්බේම නෑ.

'යෝජිත පෙම්වතී....' තේරුම් කරමුකො ඒකත්. යෝජිතයි කිවුවෙ පෙම්වතී මංගල යෝජනාවක් හරහා මුණගැහුන පෙම්වතියක් නිසා. එහෙනම් පෙම්වතී කීවෙ....? එහෙමයි කියල හිතන්න වෙන හංදා (වෙන්න ඇති).

|``~~****~~``|

නිහැඬියාව බිඳගෙන ඇහෙන සංගීත රාවෙම නිහැඬියාවට රුකුලක් උනාද මංදා? හුම්මිටි තැබීමකින්වත් අපි දෙන්නාගෙන් කෙනෙක් නිහැඬියාව බින්දේම නෑ. නිහැඬියාවට පුදුමාකාර විදියට ආදරේ කලත්, තවත් ගොලුවත රකින්න මට බෑ. සමහරවිට, ගෑණු ළමයට ලැජ්ජා හිතිල වෙන්නැති. හැබැයි, එහෙම සබකෝල ගතියක්නම් මං එයාගෙන් දැක්කෙත් නෑ.

අවසානෙ මම නිහැඬියාවට වචන මුදාහරින්න තිරණය කලා.


"කොහෙද ඉතින් අපි දැන් යන්නෙ?"

"යමුද විහාර මහ දේවි එකට?"

"ඇයි....? මල් ප්‍රදර්ශයක්?"

"නෑ....නෑ....චිත්‍ර ප්‍රදර්ශනයක්"

"චිත්‍ර...? ආ...එහෙනම් යමු"

රථ ගාලෙ මෝටර් රථය නවත්තල,  ඇවිදගෙන ගියා අපි ඇතුලට. ප්‍රදර්ශනේ තිබ්බෙ එලිමහනෙ නෙවෙයි. දිගට, දිගට ඉදිකරපු ටකරං මඩුවල. ඒ මඩු විදුලි එලිවලින් ආලෝකමත් වෙලා තිබුනත්, එතන අමුතු අඳුරකුත් තිබුනද මංදා. 

වැඩිය කවුරුත් නෑ. පෙම්වතුන් කීප යුවලක් සහ තවත් කීප දෙනෙක් විතරයි උන්නෙ. අපිත් ඇවිදගෙන, ඇවිදගෙන ගිහින් නතර උනේ විශාල සිතුවමක් ළඟ. කලු පාට රාමුවට රැන්දුව කැන්වස් රෙද්දෙ, රාමුව ළඟඳි කලු පාටට හුරු නිල් පාටින් පටං අරං දිය සුලියක් කැරකෙනව වගේ ඇතුලට, ඇතුලට ලා පාට වෙලා ටිකෙන් ටික.... මැදට යනකොට සුදට හුරු නිල් පාටක්. ඒත්, ඒ මැද සුදට හුරු කහ පාට යමක් කැපිල පේන්න. යෝධ කඩල ඇටයක් වගේ, වතුර බිංදුවක්ද, පහනක් වෙන්නත් පුලුවන්. අනේ මංදා.... දැක්කම දැනුනෙ තනිකමක්.

ඒ ටකරං මඩුවෙ, ඒ ඉසවුවෙ වෙන කවුරුත් උන්නෙ නැති හංදා, තරුණ යුවලක් තනි කරන එක හොඳ නෑ කියල හිතිලද මංදා ආවෙ තරුණියක් එතනට. හ්ම්....කතා කරන්නම හිතුනෙ මොකද මංදා මට.

"මිස්ගෙද මේ චිත්‍ර?"

"නෑ....අපි කට්ටියගෙම චිත්‍ර එකතුවක් මෙතන තියෙන්නෙ. ඔය චිත්‍රෙ ඇඳපු කෙනා නම් දැන් නෑ. හදිස්සියෙ ගෙදර යන්න වෙලා එයාට"

"හ්ම්...එහෙමද? මේ චිත්‍ර වලට ඇයි නමක් දුන්නෙ නැත්තෙ?"

"චිත්‍ර වලට නමක් දෙන්න පුලුවන්. ඒත්, නමක් දීලා ඒකෙ අරුත සීමාකරන්න අපි කැමති උනේ නෑ. නමක් නොදෙන තරමට අසීමිත පරාසෙක සැරිසරන්න චිත්‍රෙකට පුලුවන්නෙ."

"ඕ....ඒකත් ඇත්ත"

යෝජිත පෙම්වතීට නිල් පසුබිමේ කහ පාටට තිබ්බ තනිකම එපාවෙලා, දැං බිං ගේක අඳුර අතරින් එලියට ඇවිදින මාලු වෙළෙන්දෙක්ගෙ කථාවට ඇස් අලවගෙන.

"ඇයි මිස් මේ චිත්‍රවල වෙනසක්? මේ බිත්තියෙ, මේ පැත්තෙ තියන සේරම චිත්‍ර අමුතුයි. එක පාරටම පෙන්නල නෑ අර්ථයක්. ඒත්, ලොකු සමීප ගතියක් තියෙන්නෙ."

"ඔවු. මේ බලන්න. ඒත් මං නම් කැමතිම මේ චිත්‍ර කාණ්ඩෙට. මේවා ළඟදි හිතට දැනෙන්නෙ හරි සැහැල්ලුවක්."

"හ්ම්....මටත් ඒක නම් දැනුනා."

" ඒ මේකයි. නමක් නැති, ඒත් ලස්සන., අරුතකුත් නෑ වගේ හිතෙන මේ චිත්‍ර දිහා අපි බලන්නෙ අපේ ඇහින්. ඒ වෙලාවෙ අපේ හිතේ තියන හැඟීමත් එක්ක නිකංම මේ චිත්‍ර අපේ හිත් කියවන කැඩපතක් වෙනවා. කාටවත් කියන්න බැරි හිත, කාට හරි විවෘත උනාම දැනෙන සැහැල්ලුව අපිට විඳීන්න පුලුවන් මෙතන ඉඳන්."

"ඕ....මට හිතුනෙ නෑ එහෙම. ඒත්, දැනුන ඒ දේ, ඒ වෙනස. ඒත්, මේ මිස් විස්තර කලාමයි මට ඒ දේ දැනුන බවත් දැනුනෙ. ඒකත් පුදුමයි. මේ චිත්‍ර හරියට නිකන් හිතට බේත් කරන වෛද්‍යවරයෙක් වගේ නේද?"

"ඔවු. ඒ වගේ තමයි. බලන්න සරළ, සුමට චිත්‍රවල රේඛා එකිනෙකට පෑහෙන ලස්සන. ඒ පෑහීම මේ චිත්‍ර එකිනෙක අතරෙත් තියනව නේද? හරියටම හැම චිත්‍රෙකම මොකක් හරි සමීප ගතියක් වගේ."

"ඔවු. හරියට එකම තේමාව, එකම ශෛලිය වගේ පෙනුනට ළඟට ගියාම දැනෙන්නෙ ළඟම මිතුරෙක්ගෙ සමීප ගතිය"

"මේ චිත්‍ර මහත්තයාගෙ හිත කියවල වෙන්නැති එහෙනම්."

"ආ....වෙන්නත් පුලුවන් ඉතින්."

මගේ (යෝජිත) පෙම්වතී සේරෝම සිතුවම් අධ්‍යනය අතහැර, පසෙකට වී, එක බැල්මෙන් සියලු සිතුවම් තේරුම් ගැනීමේ උත්සහයක යෙදෙමින්, ශාලාවේ මැදට වී චිත්‍ර සියල්ල නෙත්වලට හසු කරගනිමින් උන්නාය.

මමද කිවුවෙ චිත්‍ර බලමු කියල? නෑ. ඒත් මටයි දැන් චිත්‍ර හාරන්න ඕන වෙලා තියෙන්නෙ. මක් කරන්නද? එක පුංචි සීරීම් තුවාලයක් වත් නැතුව ආයෙ ගෙදර ඇරලවන්න වෙලාව හරි. සිතුවමක නොදුටු පැත්තක් පෙන්නුව මේ ගමන ආවෙ මගේ උවමනාවට නොවුනත්, දැන් මං සතුටින්. ඒත්, පෙම්වතීගෙ නම් ආපු සතුට දැන් මැලවිලාද මංදා.

"මිස්, එහෙනම් අපි යන්නම්"

"හොඳයි. මොනාහරි අඩුපාඩු, වැරදි දැක්කද මෙතනදි?"

"ඔවු. කලින් මේ චිත්‍ර ප්‍රදර්ශන නොබැලීම සහ හිත කියවන චිත්‍ර අඳුනගෙන නොතිබීම"


නිමි.
(2008.09.16)

3 comments:

  1. //පුංචි සීරීම් තුවාලයක් වත් නැතුව ආයෙ ගෙදර ඇරලවන්න වෙලාව හරි//
    අපූරුයි.මේ වචන පේලිය ඇකුලෙ තමයි මුලු කතාවම තියෙන්නෙ.
    තව කතාවක් තියනවා.ඒ මෙතන...........
    //ඔවු. කලින් මේ චිත්‍ර ප්‍රදර්ශන නොබැලීම සහ හිත කියවන චිත්‍ර අඳුනගෙන නොතිබීම//




    ReplyDelete
  2. එක දිගට කියවං ගියා මට මුකුත්ම හිතුනේ නැහැ බං...

    ReplyDelete
  3. මට චිත්‍ර අරහං ඒත් අහඅවුනොත් බලනව.. මට ඒවැයි තියෙන ඒව තේරෙන්නෙ නෑ නෙව...
    අනික සාපෙට චිත්‍ර කරල මට තියෙන්නෙ එස් එකක්

    ReplyDelete