Thursday, April 21, 2011

One Way ජීවිතය

 
 
එදවස  අපි ජීවිතය දකින්නට පටන් ගත්තා පමණි. දිනෙන් දින ජීවිතය ඉගෙන ගන්නා අතරම, උගත් ජීවිතය විඳින්නද අපි අමතක නොකලෙමු. නමුත්, හිමාලය කන්ද සේ දිස්වු පවුල් දිවියේ රලු කඳු වැටි හමුවේ මට අවට වු සොඳුරු මද පවනේ සිහිලත් අමතකව ගිය සේය. එමතුද නොව  සුවඳ සඳමින් මා ළඟම පිපී උන් මල්වල සොඳුරු දසුනද නෙතට මඟහැරී ගොස්ය.
 
පිරී පිපිරී යන්ට තනන හදවත අස්වසන්නට බරැති සුසුමක් නාස්පුඩු අතරින් නිවි සැනසිල්ලේ පිටවෙද්දී බිමට යොමු උන නෙතට අසු වුයේ මගේ පතුල් යට පොඩිවි ගිය පරවුන මැයි මල් පෙතිය.මේ වීදි ඔස්සේ මා කී වතාවක් ඇවිද යන්නට ඇතිද?, එහාටත්, මෙහාටත් රතු පාට මැයි මල් පාවඩ මතින්, ඒ සිනිඳූ පෙති නොතලා මා අඩිය තැබීමට පරෙස්සම් වූ හැටි,  විටෙක ඈඅත ගෙන , විටෙක අද මෙන් තනිවම නමුත් ඈ සිතේ රඳවාගෙන...
 
එදා සහ අද අතර වෙනස එයම නොවේ. අද මා සමඟ උරනව සිටින ඈ සහ මම අපේ දරුවන්ගේ දෙමාපියන් වීමය වැදගත්ම වෙනස.

මට ජීවිතයේ මඟ වැරදී ගියේ කවදාදැයි නිනව් නැත. කිසිවකු මා වැරදි පාරට ඇද දැමුවා නොවේ. මා විසින්ම ඒ වැරදි මඟ නිවැරදි යැයි ඒත්තු ගන්වා  ගත්තෙමි. මුදල්, නම්බුව, සමාජය වැනි වලාකුලු අතරේ මා ඉහලට, ඉහලට, තවත් ඉහලට පාව යද්දී, මට ඇගේ අත අතහැරුනේ කවදාදැයි කියන්නටද මම දන්නේ නැත. නමුත් කෙසේ හෝ ඒ සිදු විනි. 
 
 "අනේ ඉක්මනින් අද ගෙදර එන්න?"
 
 ඒ එදවස ඇයගේ මුවින් පිටඋනු අනිවාර්ය්‍ය  ඉල්ලීමක් විය. නමුත්, මට එය ඉටු කිරීම නොහැකිවිය. කාර්ය්‍ය බහුල රටාව අතර මට ඈ වෙනුවෙන් ඉඩක් යලි ඉතිරී කරගැන්මට අපහසු වූවාට වඩා ඒ වෙනුවෙන් මා තුල උවමනාවක් නොතිබ්බා යැයි කලකට පසුව අද මම මගේ හෘද සාක්ශියට එකඟ උනෙමි.
 
බැසයන හිරුගේ චන්ඩ බව වියපත් වෙමින් තිබියදී මම මාවත අද්දර වූ මැයි ගස යට වාඩි උනෙමි.  මට මදක් ඔබ්බෙන් වූ මහ පාරේ වාහන හරිම කඩිමුඩියේ එකම අතකට දුවන්නට විය. 
 
"මේක One Way එකක්"
 
මම මටම කොඳුරා ගතිමි.

 විහාර මහ දේවී උද්‍යානය දෙසට සහ එදෙස සිට පෙම් වත් යුවල් සැහැල්ලුවේ පාවෙමින් යන එන දසුන මගේ හිතේ කෙලවර පහරු ගා පාරන්නට විය. හැල්මේ දුවන වාහන වල ඝෝශාවත්, ඒ මේ අත ඇදෙන මිනිසුන්ගේ නේක සිනා සහ කතා කෙඳිරිලි අතරේ වගක් නොමැතිම සුමුඳු රතු මැයි  මල්පෙති එක දෙක පරිස්සමට පොළවට පාවී එමින් තිබිනි. මැලවුනු පෙති අතරතුර පිපුනු නැවුම් මල් පවා ඉඳහිට ඒ සමඟ බිම එලූ පාවඩයමත පතිතවෙනයුරු මා නෙත ගැටෙද්දී අතීත මතක හා රිදෙන, ඔත්පල හිත වාරු කරගනිමින් මා නෙතු පියා ගතිමි.
 
ඈ මගේ හදවත සොරා ගත්තේ කවදාදැයි නිනව් නැතිමුත්, මගේ හිතේ බිහිවූ සෙනෙහසේ හිමි කාරීත්වය ට කැමැත්ත දුන් දවස මගේ මතකයේ හැඩට සිත්තම්ව තිබුනි. බොළද ගති නොමැති වුවද, ඈ විටෙක මා හා හුරතල් වූවාය. සොඳුරු සෙනෙහස විඳිමින් ගෙවූ ඒ සිව් වසර සැබැවින්ම මනහරය. කිසි දිනෙක මගෙන් විශාල අආදරයක් මතුපිටින් නොලද ඈ මා සිතේ තිබූ සෙනෙහස වටහාගෙන උන්නාය. මුල් කාලයේ මැසිවිලි කඳුලු අන්ත වූ නමුදු ඒ මැසිවිලි වලට නිහඞ වූයේ කවදාදැයි මට මතක නැත.
 
මා නිසාම අප විවාහයෙන් පසුව රැකියාවට සමු දුන් ඕ මා යලිඑනතුරු  නොඉවසිලිමත් වූයේ දවල් වරුවම තනිව ගතකර ඇතිවන තිත්තවීම නිසාවන්නට ඇත. නමුත් මා සමාජයේ ඉහලට, ඉහලට ඇදෙද්දී ඈ නිවසේ කූඩු ඌවාය. සමාජයේ අලුත් මිතුරන් හමුවේ මම නිතර කාර්ය්‍ය බහුල වෙද්දී ඈ එම සමාගමයට එකතු කරගැනීම මා ප්‍රතික්ශේප කරද්දී ඈ ඉවසුවාය. වසර ගනනකින් මා ඇයට කිසිවක් තෑගි කර නැත. නමුත් අදටත් ඕ මගේ රුචි අරුචි කම් කියෙව්වාය.
 
එකල අප පෙම්වතුන්ව සිටි සමයේ ඇගේ සිහිනයක් විය. දරුවකු බිහි කරද්දී ඈ ප්‍රසූතාගාරයට ඇතුල් වද්දී මෙන්ම, ප්‍රසූතිය අහවරව ඉන් පිටවද්දීද ඇගේ මවට අමතරව මමද ඇගේ ඇස ගැටෙන්නට සිටිය යුතු බවය. මම එදා ඇයට සමච්චල් කලෙමි.
 
 "මම කොහොමද ඔයා ඒ වගේ තත්වෙක ඉද්දි එතන නොඉද ඉන්නෙ?"
 
 ඒ මා ඇයට කී වදන්ය.
 
ඇගේ පළමු දරු ප්‍රසූතියේදී මා ඇගේ සිහිනය ඉටු කලෙමි. ඇය අපේ දුවනියට ජීවිතය දෙද්දී, මම නොඉවසිලිමත්ව බගබලා උන්නෙමි. අවසන ඈ මා නෙත ගැටෙද්දී ඒ දෑස කඳුලින් තෙත් විය. නමුත් ඈ අප පුතු පැටියා බිහිකල දා මම ඈ බලන්නට ගියේ වාට්ටුවට දැමූ දාත් ලෙඩුන් බලනා හෝරාවේ අවසාන විනාඩි කීපයේදිය.  "කදුලු" එදාද ඈ නෙත් පුරවා තිබුන මුත්, ඒ කඳුලු සමාන දැයි සෙවීමට මා උත්සහා ගත්තේ නැත. නමුත් ඒ වා අතරින්ද, මද සිනහව අතරින්ද බර සුසුමක් හිරවී තියෙන්නට ඇතිවග සිහිවන්නේ දැන්ය.
 
 මගේ යාන්ත්‍රික, දැඩි ලෙස සමාජ ශීලී, නව ජීවන රටාව හමුවේ ඈ නිහඞ වූවාය. ආදරයෙන් පිපාසිත ඒ හිත මා රාගයෙන් දැවෙද්දී පමනක් ලැබෙන හාදුවෙන් ඈ සනසා ගත්තාය. මැසිවිලි අතුරුදන්වූ මුත් විටෙක ඒ නෙත කඳුලට පෙම් බැන්දාය.
 
මා ඒ කඳුල ටසමච්චල් කල තරම් .....!!
 
අද අපේ සිඟිති දෝණියගේ හයවන උපන් දිනයයි. මට ඒ වගක්වත් මතක නොතිබුනමුත් ඈ
 
"අනේ අද ටිකක් වේලාසන එන්න බලන්නැ"යි
 
මගෙන් ඉලිල්ලන්නට ඇත්තේ  මට අද දිනය අමතකව ඇතැයි  සිහිනෙකුඳු නොසිතාය.

 මා සවස හය විතර වෙද්දී නිවසට ගියේ යලිත් මිතුරකුගේ නිවසේ පවතින බෝජන සංග්‍රහයට සහභාගී වීමටය. මා එනු දුටු දෝණියත්, පුතු සිඟිත්තාත් මගේ ඇඟේ දැවටෙද්දී මා ඔවුන් ඉවතට කර යන්නට හැදුවිට දෝණිය දැවටෙමින් සෙව්වේ ඇගේ උපන්දින  ත්‍යාගය වග මා දැනගත්තේ, මට වැටහුනේ බොහෝ ප්‍රමාද වූ පසුයි.
 
"තාත්ති කෝ තෑගි?"
" මොන තෑගිද? අහකට වෙන්න දූ!"
 
මම නොරිස්සුමට පත් උනෙමි
 
"අනේ, අනේ ඔය බොරු! කෝ කෝ??"
 
 දෝණිය මගේ වටා දැවටෙමින් සෙල්ලමට අර අදිද්දී, වියරුවටපත් මා කෑගැසුවේ හත වෙද්දී මිතුරු සාදයට යාමට උවමනා බැවිනි. ඒ සඳහා ගෙන යාමට මා මිලදීගත් මිල අධික මත්පැන් බෝතලය ලස්සනට ඔතා වහයේ තිබෙනු දුටු පුංචි පුතු,
 
" අක්කී....මේ තියෙන්නේ.." කියා කෑගසද්දී, දෝණියත්, ඇයත් සතුටින් ඒ දෙසට දුව ගියාය.
 
 
"සලාං!!"
 
 හඞක් නඟමින් බිඳී යන්නට එහි වූයේ මිල අධික ත්‍යාගය පමනී!!
 
 මට යකෂ්‍යා ආරූට විය. දුව ගොස් දරු දෙදෙනාට වැරෙන් පහර දෙකක් ගැසු මම, කෝපයෙන් කෑ ගසද්දි ඈ
 
"එපා එපා!!" කියා ඇඞූ හඞ යටපත්විය.
 
දුවනියත්, පුතුත් ඉකිගසා හඞද්දී ඇය ඔවුන්ද රැගෙන නිවසට වැදුනාය.  ඒ අතරතුරද  මම නොරිස්සුමෙන් බැන වදිද්දී කෙමෙන් දරු දෙදෙනා නලවා ගත්තාය.
 
"මාව කන්න ආපු යක්කු ටිකක්!!"
 
 මම මොරදුනුමි. ඈ කොයි වෙලේ මා අසලට ආවාදැයි මම නොදනිමි. නමුත් මා යලි හැරෙද්දි දහසේ මුදල් නෝට්ටු රැසක් ඈ මගේ මූනට දමා ගැසුවාය!. මම කිසිදා ඇය එසේ හැසිරෙනු දැක නොතිබුනි මා  පුදුමයේන් ඈ දෙස බලද්දි ඈ වියලි දෙනෙතින් මට විදුලිසර එව්වාය!
 
මා සිත සල විය.
 
"ඔයාට වටින්නෙ ඒක නම්!... මෙන්න සල්ලි! මේවා තනිකර ඔයාගෙ සල්ලි! ඕව හන්ද නේද ඔයාට කෙල්ල එක්ක යකා නැග්ගෙ?. ගන්න! එකට බෝතල් දහයක්! අහල බලන්න කොහෙන්ද දරුවගෙ කැඩුන හිත ගන්නෙ කියලා!".....

"අද ඒකිගෙ උපන්දිනේ! ගිහින් බලන්න තාත්තිගෙන් දරුවට ලැබුන තෑග්ග ඒකිගෙ කම්මුලේ උජාරුවට තියෙන හැටි!"
 
" සල්ලි වල අයිතිය ඔයාගෙ.. ඒත්!... මෙ පැටවු අපේ !!"
 
 ඈ කෑ ගැසුවාය... කවදාවත් නොකල ලෙස ඈ කෑ ගැසවාය...
 
 ඔව් ඇගේ නෙත් වියලී තිබුනි!!

 මගේ හිත රුධිරය නැතිව මියෙන්නට දමා ලේ ගඟක වැටි ඇති සේ මට දැනුනි. මා නිවසින් පිටවූයේ දරාගත නුහුනු වේදනාවකිනි. ආදරය, වේදනාව යලිත් මා හිතට මතක් වී ඇත! මම මා ගැනම ලැජ්ජවෙන් ඔහේ පාරට බැස නතර වූයේ මෙතැනය.
සිතල වැහි බිදක් නලලත වැටෙද්දී, හිස එසවු මම හාත්පස අඳුර පැතිරී ඇති යුරු දුටිමි. ඈත ඉසව්වක යුවලක් ඇවිද යනු නෙත ගැටෙද්දී මා නෙත් වේදනාවෙන් ගැහෙන්නට විය. 'කඳුල' වැහි බිඳුහා මුසුවෙද්දී, ඇයගේත්, දරු දෙදෙනාගේත් අමතක වු උණුහුමට හිත තවතවත් ලෝබ ඌවේය. මම හුන් තැනින් නැඟිට රථයට ගොඩ උනෙමි. අවිනිශ්චිත මිනිත්තු කීපයක්  සුක්කානම මත හිස හොවාගෙන හුන් මා, 'ගෙදර' යන්නට පිටත් උනෙමි.
 
හදවත දහස් වරක් වේගයෙන් ගැහෙද්දී, මා බලාපොරොත්තූ නොවු ලෙස ඈ මා එනතුරා බලා හිඳිනු ඇස ගැටෙද්දී, මා ඒතැනම නතර වූයේ පයක් ඔසවා ගන්මට හෝ දිරියක් නොවූ බැවිනි. ඈ මා වෙත දිව ආවාය. ඇසිල්ලක් මගේ නෙත් දෙසබලා උන් ඈ, මගේ පපුතුරේ සැඟවී වැලපෙන්නට විය. ඒ 'කඳුලින්' කමිසයත්, පපුවත් සිහිල් වෙද්දී මගේ හිත යලිත් පනගසන්නට විය.
 
"මට සමාවෙයන් කෙල්ලේ"
 
 ඒ වදන් ආවේ මේ හිත පත්ලෙන්මය. ඇයව තවත් පපුවට තද කරගනිද්දී, ඈ පුදුමයට විශාල වූ කඳුලු පිරි නෙත් වලින් මා දෙස බැලුවාය. කලකට පසුව මම හිතේ සැඟවී තිබූ හාදුවක් ඒ නලලත පලන්දද්දී  ඈ කඳුලු අතරින් මදහාස රැල් සිත්තම් කලාය.
 
මට යලිත් ජීවිතය දැනෙන්නට විය...
 

1 comment:

  1. ai kawuruwath mewata comment karanne neththe?
    mewatane hithta denenna liyanawa kiyanne

    ReplyDelete