Tuesday, August 30, 2011

උඹට දැනෙනවද



ටොට්ටෝ චාං,

මටත් තිබුනා ප්‍රශ්න!

ඉස්කෝලෙ මැයි ගහේ,අපේ පංති තිබ්බ බාලාංශෙ පුංචි පිට්ටනියේ, ඒ ඉසවුව වැහෙන්නම කහපාට මැයි මල්පෙති වැටෙන කාලෙටම ඇයි වහින්නේ?,ලස්සන පෙති චොර වෙලා ගඳ විතරක්ම මතු වෙන්න!. 

මං උත්තරේ දැනගන්නකොට මං ලොකුයි! ඒ කාලෙ ඇන්ද සුදු ගවුම්  හොයා ගන්නවත් නැති තරමට, සමහරවිට හොයා ගත්තත්... හිනායන තරමටම... ඔවු 'හිනා යන තරමටම' මං ආදරේ යැයි නොසිතුන මං ආදරේ කරන ඒ සමය ගැන.  ඒත්....! උත්තරේ හම්බුනේ නෑ මට මං හැබෑවටම උත්තරේ දැනගත්තත්! 

ජනේලය ගාව වාඩිවෙලා කුරුල්ලන්ට කතා කරපු හුරුබුහුටිච්චි! 

මං ආස උනාට මං කතාකරපුව අපේ ගෙවල් ළඟ උන්නූ කුරුල්ලන්න්ට නෑහුනේ, මං කතාකලේ 'හිතිං' හංදනෙ. 

අපරාදෙ! 

බාගදා මගේ හඞ ඇහුනනම් උන් කතාකරයි මන් එක්ක.උන්ට එපා වෙන්නැති, මං එක්ක කියෝල තනියෙම. ඒකද මංදා නොතෙරෙන්නෙ ඒ වචන අද. එදා මට තේරුනා, උඹට වගේම (කියන්නෙපා කටවත්, දැන් මං ලොකුයි නෙව)

ටොට්ටෝ චාං ,

මේ අහන්ඩ.... අපේ ඉස්කෝලෙ වටේම තිබ්බෙ නෑ දවසින් දවස උස යන පන තියන තාප්පයක්.... ,

 මං ආසයි බලං ඉන්න අවුරුද්දක අතීතයක ගල් ගැහිල... උඹ ලොකු උනහැටි ඒ තාප්පේ වගේම.....

මුල්ගුරුතුමා එක්ක කන්දෙන් යමක්, මුහුදෙන් යමක් බඩට දාගෙන! ඉගෙනගත් හැටි, අහන් උන්හැටි  උඹෙ වචන..... 

 හා කියන්ඩ  කෝ ඔහු කොහෙද? කියන්න තියෙන හදවත.... මටත් හෙමීහිට දිගාරින්ඩ!

හ්ම්හ්.... 

උඹව හොයල ගෙනත් දුන්න තාත්ත අද හරි පුදුම 'ඉස්කෝලෙක' අතරමඟ මං දාලා යන්ඩ ගිහිං.... උඹේ ඇතුලෙ ලියවෙච්ච මං ආදරේ අතීතෙක හොයන පුසුඹක් පුස් කනවා.... 

ඔය! උඹට දැනෙනවද පුස් ඟඳ?

මේත් ඉස්කෝලයක්! මං දැං ලොකු උනත්, මඟ ඇරුන ආසම පාඩම් වලට පෙරේතකමේ ඉඳගෙනම ඉගෙනගනිමින් මම තවම 'යථාර්තය'

ටොට්ටෝ චං.... පුංචි, ඳඟ, කලබලකාරි.....

උඹත් දැං ලොකුද? මං හිතන්නෙ මට වැඩිය....

කෝ තවම මං හොයනව 'අවස්ථාවක්'  සීතල කන්පෙත්ත අල්ලලා පිච්චෙන ඇඟිලි නිවා ගන්න.

මම  ආදරෙයි ඒදාටත් වැඩිය උඹව හොයාදුන් තාත්තට, උඹට, උඹේ මුල් ගුරුතුමාට, උඹේ නානාවිද යාලුවන්ට.....

අහා! උඹ නම් ලක් කාරී!

කෝ කොහේද ඒ අතිතය!



TOTTO-CHAN
The Little Girl at the Window
By Tetsuko Kuroyanagi
Translated by Dorothy Britton



Friday, August 26, 2011

අහස....!! උඹ දන්නවද??




අහස....!!
උඹ දන්නවද

ඉවසගන්නට බැරි තැන
සීරුවට වැටෙද්දී වැහි කඳුලු

පොළව

බලාගෙන උඹේ දුක් මූන
දරාගත්තට ඒ කඳුලු සේරම
ආයේ ඉර ආවාම
රත්තරන් උණුහුමට
කවුරුවත් 
නොදැක්කට
උඹටම එවන වග

අහස....!!
උඹ දන්නවද

(උඹ විතරක් නෙවෙයි) කවුරුත් දන්න ඇත්ත!

වැස්සට ආදරෙයි මම

අහස....!! උඹ දන්නවද??

Monday, August 22, 2011

(රෝස) මල් සීයක්...!




සීතල....!!

අඳුරු පැහැ ඝණ කබාය අතරින් රිංඟා එන සීතල, පුංචි අත් පා හිරිවට්ටන්නට හදද්දී, සිඟිති මුව පොඩිය හකුලා ගනිමින් රන්මිණි තව තවත් ඈ තුලටම ගුලි වී ඒ සීතල අමතක කර දමන්නට පරාජයම ලියාදුන් තරඟයක යෙදෙමින් උන්නාය.

පාලු තාර පාරේ ඉඳ හිට යනෙන වාහනත් නිහඞ මිනිස් රුවකුත් හැරෙන්නට මුලු පරිසරය පුරා තෙත් සහිත, සීතල නිහඞතාවයක් පැතිරී තිබුනි. ඈ පසෙක සීතලෙන් මිරිකෙමින් මුත්, ඉඟි පාන හුළඟ හා කෝලවන රතු රෝස මල් පිරවූ බඳුනකි. රන්මිණි ගේ පුංචි ඇඟිලි අතරේ සිරඋන තවත් එවන්ම රෝස පොකුරක් වූ අතර, ඒ ළමා ඇගිලි සහ අත්ල සිඳුරු කරමින් ඇනුන රෝස කටු ඈට වේදනාවක් නොදුන්නා දැයි පුදුමයෙකි. සමහරවිට මහත් වූ සිතලට හිරි වැටුන ඒ ඇඟිලි වේදනාවට සංවේදි නැතිවා වන්නට හෝ ඈ ඒ වේදනාව ගනන් නොගත්තා වන්නට පිලිවන. 

නැතහොත්, රන්මිණි සිඟිත්තී ඒ වේදනාවට හුරුවී ඇතුවා වන්නට ඇත!

ඈ වටා වූයේ සැබැවින්ම සුන්දර දසුන් රැසකි. අලු පාට කඳු පංති වල මුඳුන් වටා එතී තිබුන මීදුම් සලුත්, ඈතට ඈතට තවත් ඈතට දිවෙන කෙමෙන් නොපැහැදිලි වෙන තුරු හිස් වලත්, හිත හිරිවට්ටාගෙන ගැඹුරු ඉසවු සොයාගෙන දිවෙන ප්‍රපාත වලත් ඇති සුන්දරත්වයට ඔබ්බෙන් එතුල පැලපදියන් වී සිටින අඳුරු, තෙත්, සීතල විසින් තෙරපනු ලබන අසරණකම ඈට සියල්ලටම වඩා දැනෙනවා විය හැක.

සීතලෙන් මිරිකෙන ගතට තෙහෙටටුවත් උණුහුම කෙරේ වන දැඩි දොලත් අතරින් කුසගින්න ඇයව සෙල්ලමට ගෙන තිබෙන අතරේ වංගුව අසල මිටි මායිම් කණුව මත පුංචි රන්මිණි වාඩි වූවාය. 

රෝස මල්.....

ඈ මොහොතකට  ඈ අත වූ මල් මිට යලිත් බඳුනට දමා අනෙක් රෝස මල් හා මුහු කලාය. 

හ්ම්...!

ඒ කෙටි වූත්, අසරණ වූත්, නමුත් ඟැඹුරු හුස්ම නාස්පුඩු අතරින් සැනෙන් වාතයට මුහු උනේ ඒ සමඟමය.

රැගෙන ආ මල් වලින් විකිණුණේ මල් අටක් පමණි. දැන් දවල් එකත් පහු වෙන්නට ආ නමුත් බනිසකට හෝ වියදම් කරන්නට ඈ සතු රුපියල් වියදම් කරන්නට පුංචි හිත එකඟ කරගත නුහුනුව රන්මිණි බලා උන්නාය. 

"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."

වංගුවේ ඒ මාඉමත්, මේ මාඉමත් දෙස මාරුවෙන් මාරුවට බලපොරොත්තු සහගතව බලමින්ම ඕ කාලය ගතවෙනවාට දුකින් නොඉවසිලිමත්ව උන්නාය. 

කාලය ගත උවත් කමක් නැත. ඈට උවමනා මල් සීයක් විකුණන්නටය.

මල් සීයක්...!

රුපියල් දාහක්....!

පුංචි ඇස් මානයේ අසරණව ඇඳේ වැතිර ඉන්නා තාත්තා මැවී, යලි මැකී ගියේය. ඒ කීවෙනි වතාවටදැයි ගනන් තබාගන්නටවත් නොහැකි වාරගනනක් ඒ දසුන ඈ ඇස් ඉදිරියේ ඇඳෙමින් - මැකෙමින් කෙමෙන් ගතවන කාලය හා එක්ව ඈ තව-තවත් කලබලකරමින් තිබෙද්දී සැනෙන් වංඟුවෙන් මතුවූ යතුරු පැදියක් ඈ පසුකර යනු දැක නොසන්සුන් වුවාය.

සිහියෙන් නොසිටියාට තමා ගැනම ඇති වූ තරහකින් ඕ මද දුරක්  යතුරු පැදිය පසුපස දිව ගියේ නමවෙනි මලක් විකුනා ගැන්මේ විශ්වාසයට වඩා කෙමෙන් ඉකිබිඳුමක් බවට හැරෙමින් තිබූ වේදනා සියල්ලම සමඟ උපන් කේන්තියකිනි. 

"ඒ වගේ පුංචි දරුවෙක්ට කේන්ති එන්නෑ.... ඒව බොහොම පිරිසිදු හිත්, 'මල් වගේ'....."

කෙනෙක් එසේ කියන්නට පිළිවන.

නමුත්, දරන්නට පුලුවන් උපරිමයටත් වඩා වේදනාවන්ම විඳි මටසිලිටු හිතක 'කරගැට'  ඇතිනොවෙතැයි සිතන්නට පුලුවන්ද?

වංඟුවේ එහා කොණෙන් අතුරු දන් වූ යතුරු පැදියේ වේගයට  පරාද වූ සිඟිත්තී එවර නෙත් අගින් කොපුල් තල තෙමන්නට ඉදිරිපත් වූ කඳුලු වලක්වන්නට හෝ පිසදමන්නට වත් උත්සාහ නොගෙන ඒවාට ගලායන්නට කාලය දුන්නාය.

රැළි වැටී දම් පැහැයක් ඇතිවූ ඇඟිලි වලින් තවත් රෝස පොකුරක් එකතු කරගත් ඕ තෙත් කොපුලින් හා ඉකියෙන් වෙවුලමින් පාර අද්දර බලා උන්නාය. අත දමා, මල් පෙන්නා,  ඒ වාහන වල පියාඹන සොඳුරු  පරිසර ලෝලීන්ගේ හිත් පැහැර ගන්නට ඈ අසමත් වූයේ සමහර විට ඈ තවම පුංචි හන්දා වන්නටත් පිලිවන.

ඇයවත්,  මල්ලීවත් තාත්තා සමඟ ගෙදර දමා අම්මා ගියේ කොහේ, කුමකටදැයි ඈ තවම නොතේරුන සිතැත්තී...., තාත්තා පෙලෙන වකුගඩු අමාරුව හේතුවෙන් නිවසට අම්මා කෙනෙක් වෙන්නට සිතුවාට වඩා එය ඉබේ සිදුවන්නට ඇත. 

සායනයට තාත්තා යා යුතුවු දවස දිනෙන් දින කල් ගොස් දැන්  දින තුනක් වී ඇත! 

ආණ්ඩුවේ ඉස්පිරි තාලෙන් දුන් බේත් ඉවර උනේ  ඒ දින තුනෙන් පලවෙනි දින උදේය. බෙහෙත් ගන්නට යායුතු වු දවස පහුවූ විට  ඉස්පිරිතාලේ උදවියගේ නෝක්කාඩු, බැනුම් වලින් කන් පිරී ගියත් පුංචි ගේ පොඩියේ සිට ඒ ඉස්පිරිතාලයට යාමටත්, ගිහින් ඒමටත් රුපියල් දාහකට මෙහා එක ත්‍රීවීල් මමා කෙනෙක් දැන් නැමෙන්නෙ නැත. කලින් 'පවු' කියා 'සිතා' අඩුවට ඉස්පිරිතාල ගමනට කැමැත්ත පලකලත්, පහුවත්ම අඩුවට හයර් එක යාමට අමතරව ඒ වරුවටම ළඟ දුවන හයර් දහයක්, පහලවක් මඟඇරීමත් හේතුවෙන් ඔවුන්ටත් අනුකම්පාකිරීමේ නිමාවක් දකින්නට අවැසි වන්නට ඇත.

"හෙට බ්‍රහස්පතින්දා! සඳුඳට පස්සෙ ඊළඟ ක්ලිනික් දවස....ඒක මඟ ඇරුනොත් ආයෙ සඳුඳා වෙනකල් ඉන්ඩ!"

ඒ සිතුවිලි මනසේ ඇඳෙද්දී ඒ එක්කම ඇඳුනු වෙනදාට වඩා කහපාට වී තුබූ තාත්තාගේ කෙට්ටු හීතල මූන සිහි වීමෙන් පුංචි ගත වෙවුලා ගියාය.

"හෙට කොහොමහරි තාත්තව එක්ක යන්ඩ ඕනිමයි!" 

ඈ ලොකු හුස්මක් සමඟ ආයෙමත් හිතන්නට ඌවාය...

"මල් සීයක්...!"

"රුපියල් දාහක්....!"

"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."

නුදුටුවා සේ ඉඟිල ගිය බයිසිකල්, හැරී බලන නෝනලා එක්ක පා උන කැබ්, උසුලු විසුලු ඝෝශා පිරුණ වෑන් පහක් - දහයක් හෝ ඊටත් වඩා ගණනක් වංඟුවේ එහා කොණෙන් නොපෙනි යද්දී සීරුවට පා වී ආ සුදුපාට පුංචි මොටර් රථය රන්මිණි අසල  නතර වූයේ දවසේ නමවන ගැනුම්කරුවා ඈ වෙතට ගෙන එමිනි. 

රථයේ ඉදිරි දොර විවෘත කරන් ආ ලස්සන නෝන කෙනෙක්!

"මේ රෝස මලක් කීයද බබෝ..."

"එකක් දහයයි නෝනා"

රන්මිණි ඈ සතු ලස්සනම හිනාවෙන් මුව සරසා ගන්නට වෑයම් කලාය...

"ඕ...අපේ අප්පච්චිගෙ 50th Birthday එක. මට මුකුත් Percent  එකක්වත් ගන්න බැරි උනා. මට දෙන්න හොඳ Roses සීයක්!. අප්පච්චි කැමති වෙයි ඒකට"

හුරතල් හඞින් ඒ වදන් මිදෙද්දී රන්මිණි ගේ විඩාබර හදවතට රුධිරය ගලා එන්නට විය.

"මල් සීයක්...!"

"රුපියල් දාහක්....!"

 සතුට නිම්නැතිව යද්දී, ඈත වංඟුවෙන් මතු වූ සිය සිඟිති මල්ලීට මදක් උඩපැන  අත වැනූ ඕ යුහුසුලුව  රතු කුසුම් සියයක් මිටි කොට ඒ සිනිඳු, සුඳු අතට පත් කලාය.

සැනෙන් සියතට ලැබුන ඒ කොලපාට නෝට්ටුව ඉහලට ඔසවා, උඩ පනිමින්, මදින් මද ලංවන මල්ලීට පෑවාය. 
නැහැයට ළංකර සුවඳ බැලුවාය.
සුදු පාට මෝටර් රථය පාවී ඉවතට යද්දී රවුමක් කැරකී සීතලෙන් හදවත පුරවා ගත්තාය.

දඩාං!

එකවරම කොන්දත් හිසත් හිරිවට්ටන වේදනාවක් සමඟ පුංචි රනමිණිය තාර පාරේ විසි වී ඇද වැටුනාය. බිම වැටී උන් ඒ සිඟිත්තීගේ ඇස් පියන් මතින් හිසේ සිට ගලා ආ ලේ වැඟිරී යද්දී ඈ මොහොතකට දෑස් මදක් විවර කරගත්තාය. මදක් නතර කරගෙන සිට හැල්මේ ඉගිලුන කලු පාට කැබ් රථය වේගයෙන් අතුරුදන් වෙද්දී, තමා දෙසට අඞමින් දිව එන මල්ලී දැක ඕ ලෙයින් පෙඟුන රුපියල් දහස යුතු සුරත මදක් ඔසවා ගති.

"අක්කේ... අක්කේ...අනේ අක්කේ...."

සිඟිත්තා මර හඞ තලද්දී, ඇ මුදල ඒ අතට දුන්නාය.

"දු..වන්ඩ..! මල්..ලි... දුව..න්ඩ!...ඕ...ක තා...ත්ත..ට දෙන්...ඩ!"

ඈ වචන ඇමිණුවාය.

ලේ විලක වැටී ගැහෙන අක්කාගේ දසුනින් සලිත වූ නොදරුවා!
එකම පිලිසරණ වූ තාත්තා සොයා දුවන්නට විය.

අවට මීදුමකින් වැසීයනවා සේ පෙනෙද්දී.... රන්මිණී, පුංචි රතු කුසුමී.... විසිරුණ ඉතිරි රෝස මල් පෙති මත නෙත් පියාගත්තාය.

බිම වැටුන රෝස ඉත්තක වූ කටුවකට සිදුරු වී තිබූ සුදු මැලි කොපුලින් නැඟුන ලේ බිඳත් ඒ හිසින් ගලා ආ රුහිරු ඟගට එක්වන්නට ඇත!

Wednesday, August 17, 2011

' ගල්කැට '




දෝරෙ ගලන නිල් වතුරට
ලෝබ වේච්චි ඇස් මඟහැර
සැර දියරැලි වලට රිදෙන
කවුරුත් නොදකින
' ගල්කැට '

Tuesday, August 16, 2011

කණ්ඩායම(ක්)

අපි
.
.
.
.
මම අපි
මම අපි
මම අපි
මම අපි
මමඅපි
.
.
.
.
මම

Monday, August 15, 2011

එකෝමත් එක රටක




විරූපී මිනිසුන්ට,
නැත්නම්
ගෙඹි කුමරෙක්ට
ආදරේ කල
කුමරියන් මිස

අශ්වයෙක්ගෙ පිටෙන් ආව
එක 
කඩවසම් 
කුමාරයෙක්වත්

ආදරේ කලාලුද
විරූපී ලඳකට
.
.
.
.
සුරංඟන කතාවක (වත්)

Friday, August 12, 2011

'කුණු'




විසල් 
මැදුරෙහි දොරකඩ
මිල අධික 
විසල් 
බහාලුම්වල 

පුංචි 
ගෙයි දොරකඩ
පාට මැකුන 
පුංචි 
සිලි උරවල

බැසගෙන 

පංති දෙකකට අයත් 

'කුණු'

කල් මරණවා
හිමිදිරියෙ හිස් අහසට රවාගෙන

'කුණු' ට්‍රැක්ටරේ එන දවස අද!

Thursday, August 11, 2011

නවතින්න!




පිණි බිංදු,
නවතින්න!

පණිවිඩයක්
තියෙනවා
කඳුලකුත් අමුණලා 
යවන්නට
සුළඟ අත....

හා හා!
නවතින්න 
තරහා නැතුව 
පොඩියකට

රැවටෙන්න පුලුවනිනෙ
පිණිබිංදුවකැයි 
කඳුල!

Wednesday, August 10, 2011

මම සමඟ මම




පිපුණු මල් අතරින් බේරී වැටෙන මැලැවුන මල් පියලි!

ජීවිතය මේ වගේ යැයි විටෙක මම සිතමි. සැනින් හිත වෙනස් වී ඒ ජීවිතය නෙවේ යයිද හිතමි. 

සමහරවිට.... 

ඔවු, සමහරවිට, ඒ ඒකඟතාවක් නොමැති හදවතේ ස්වරූපය වන්නට පිලිවන. එවන් හදවතක් සතුව ඉපදීම වරදක්, පාපයක් නැතහොත් හැංඟිය යුතු කරනාවක් දැයි කියා හෝ එවන් හදවතක් සතුව උපන් එකම පුද්ගලයා මම පමණක් දැයි නොදනිමි.

ජීවිතය....

ජීවිතයේ සමහර තැන් වලදී මගේ අත අතහැර ගිය දසුන පමණක් හදවතේ කැටයම් කරගත් මම, ජීවිතය විසින් මගේ අත අල්ලාගත් මොහොතක් ගැන මතකයක් සොයාගත නුහුනුව විටෙක කලබලව හිඳිමි. 

හදවත. .....

තවම මම සොයමි. මොලයේද, හෘදය වස්තුවේදැයි කියා නොදැන මංමුලාවී සෙවිය යුතු තැනක් නොදැන  සෙවීමේ ආසාවෙන් මඞිමින් 'හැඟීම්' දැනෙන හදවතක් සතුව හිඳියදීම එය ඇත්තේ කොතනදැයි සොයන්නට මා පුංචි හෝ කාලයක් දියකර ඇත්තෙමි.

පාට පෙට්ටියක් තුල අතරමං වෙමි!

රතු, නිල්, කහ, කොල, සුදු, අන්තිමේ 'කලු' නේක වර්ණ අතරේ සරනා හෝරාවකදී මම මොහොතකට නතරවෙමි. පාට තුලින් ජීවිතය වර්ණ ගැන්නීමට තනද්දී දැක ඇති දසුන් හරහා ක්‍රියාත්මක වෙමි. 

අවසන, 

නොගැලපෙන කෝලමක් වී අසරණව හිත රිද්දාගමි 'මොහොතකට'

තප්පරයක්, විනාඩියක්, පැයක් හෝ දවසක් දෙකක් ඒ 'මොහොත' පවතින්නට පිලිවන. ඒ 'මොහොතක්'දැයි අයෙක් සමච්චල් කරද්දී, මම ජීවිතයේ මගේ වන ඉසවුවක නතරවී එවන් තැන් රසවිඳිමි. ගෙවී ගිය අතීතයෙන් සමාන තැන් අවුස්සා හැඩිකර සොයාගෙන යලිත් විඳිමි. අපිලිවෙලින් කලකිරෙන හිත මඞිමින් ඒවා විඳිමි, විඳවමි.

යලිත් සැනසෙමි.

මුනගැහෙන  අයවලුන් හා එක්ව හිනාවක් රසවිඳිමි. කඳුලක් සොයා ගොස් සීතල විඳිමි.  'හිතන'වාට වඩා 'හිතෙන' සිතුවිලි අතර හිඳ මැදහත් වෙන්නට 'සිතමි'

මම අතීතයට ලෝබ වෙමි.

හෙට ගැන සිහින මවමි

අතරතුර හුස්ම ගන්නා ගමන් ජීවිතය ගැන පුදුම වෙමි!

මම හදවතට කතාකරමි ඒ තුලින් මා දකිමි. ඉදිරියට හෝ පසුපසට මඟක් නොමැතිව අතරමං වන විටෙක නතරවෙමි. 'මොහොතකට' නතරවෙමි.

ඒ හැඟීම විඳින්නේ මා පමනදැයි කියාද මම පුදුමයෙනි.

 මා මගේ හදවත හා යෙදෙන සංවාද ඇහෙන්නේ මටම පමනක් බැවින් සමහරවිට ඒ මා පමණක් නොවේ යැයි මටම පවසමි. 

මම මා සමඟ දොඩමලු වෙමි.

ගැහැණු කම




ගැහැණු කම

ආබරණයක් 

මට

හැම ගැහැණියම
ඒවට ආස නූනට
.
.
.
.
(ඒ ගැනත් පුදුමෙන් මම)

Tuesday, August 9, 2011

(උවමනාවක්) නැති කම (ද)




මේතරම්  ආදරේ වැස්සට
හැමදාම ඉහලන කුඩය
මේ එපාකරපු අවුවට
කවදාවත් ඉහලුවෙ නැති තරම් 

මම

Friday, August 5, 2011

මඟ හැර





පෙත්තක් අහිමි හංදම
තහනම්ද 
මල් අසුන

පෙති කැඩුනෙ වැස්සට

Thursday, August 4, 2011

හිරිකඩ



මේ වැස්සට මම ආදරය කරන්නට පටන් ගත්තේ කවදාදැයි නිනවු නැත. සමහරවිට ඒ  මා මේ ලෝකයේ පැහැය මුල් වරට දුටු දා වන්නටත් පුලුවන. මූසල අලු පාටට හිරිකඩ පොරි ඉහිමින් වැටෙන වැස්ස දෙස අත් පා ගුලි කරගෙන, හිරිකඩ ස්පර්ශයෙන් පෙඟෙන කොපුල් ඇතිව ඒ දිහා ඔහේ බලාඉන්නට මා හැමදාම ලෝබ විය.

ජීවිතය මේවගේ වෙන්නට ඇත. සීතල ඉවසමින් ඒ තෙත හිරිකිතට මුහු වී එන අලස රස උරා බොන්නට මා ලෝබ වෙද්දී. මේ ලෙසම හිරිකිඩ හී සරින් පහරකමින් ඉන් හෙම්බත්ව ඇති මනුසතුනුත් තව බොහෝ ඇති. 

කවුලුවෙන් එකවරම ඇදී ආ දඟකාර හිරිකඩ පොදියකින් හිසකෙස් මත පිණි රටා මවද්දී මා හුන් තැනින් නැඟිට්ටේ හදිසියේ පෙරදින හැන්දෑවේ පොත් සාප්පුවක එල්ලී තිබූ දැන්වීමකට අනුව මගේ සිහින රස්සාවට  අදාල අයැදුම්පත පිරවීමටය. 

මොහොතක් මා සන්තකව ඇති වටිනාම වස්තුවැයි මෙතුවක් සිතා උන් ඇඳමත විසිරී තුබූ ඒ ඝණ කඩදාසිය දෙස මා බලා උන්නෙමි.

ජීවිතයේ විශාල බලාපොරොත්තු නොවු මට මේ සහතිකය මහමේරුවක් උනේ ඇයිදැයි අදටත් මම කල්පනා කරමි. ඒ කඩදාසිය මත ලියැවෙන අකුරු හරහා මම ජීවිතයේ හෙටදවසට හැඩයක් දෙමින් ඉඳිඳ්ඳී හදිසියේ වට ආනෝරා වැස්සක් සේ හදවතේ හිරිඟඞු පුප්පමින් හදවත මතට වැටුනු ඒ හිරිකඞට මා බැඳුන හැටි! 

පළමු වතාවට ඒ විද්වතුන්ගේ මේසයේදී ඔවුන් මුනගැසෙද්දී මම අදහස් හා අත්දැකීම් අතින් පමනක් නොව වයසින්ද කුඩා වූවෙක්මි.

'සහතික' එකිනෙකා අතරේ දෝලනය වෙද්දී, අයෙක් අනෙකා හා රහස් කොඳුරද්දී, කෙනෙක් ගාමභීර උපැස් යුවලට යටින් විමසිලි බැලුම් හෙලද්දී මම ආගන්තුකව තනිවී උන්නෙමි.

"ඔයා හොඳයි"
"වැඩිම ලකුණු ගත්ත 30දෙනා අතරෙත් ඉන්නවා"
"ඒත් මේ  වෘතතීය සුදුසුකම් දෙන සහතිකේ අපි ගැසට් කරපු දවසට වලංඟු නෑ"
"ඔයා පොඩි දරුවෙක්නෙ ඊළඟ වතාවෙ  උත්සහ කරන්න"

මා සිනාසුනෙමි. ඒ පිළිතුර මා බලාපොරොත්තු ඌවක් බැවිනි. බලාපොරොත්තුව හීනයක් වී හදවතේ කොණක ලැගුම් ගෙන ජීවිතයට ආදරණීය යැයි හඟවද්දී මම බලාපොරොත්තුවෙන් ප්‍රබෝධමත්ව උන්නෙමි. 

ඉන් වසර තුනකට පසුව අහම්බෙන් ආ ඒ ලියමන හදවතේ මඟ රැදී බලාඋන් බලාපොරොත්තුවට අලුත් හුස්මක් ගෙනෙද්දී මම යලිත් හෙට දවසට සුදානාම් උන අයුරු පිළිබඳ මතකය හදවත පහුරුගාමින් රිදවන්නට විය. 

ආශාව හදවතේ ඉපදුන දා දැනෙන හැඟීම, බලාපොරොත්තුවේ කඩඉම් ළංවන විට දැනෙන නොඉවසිලිමත් කම, පරිස්සමට දුටු හීනය හැබෑවෙතැයි ඉඟි ලැබෙද්දී දැනෙන මිහිරියාව.....එකපෙලට හිත අවුස්සද්දී මා උදම් ඌ හැටි.....

අලුත් කඳුලු නෙත් පුරවන්නට තනද්දී මා අතීතයේ අතරමං වී උන්නෙමි.

"ඔහ් ඔයාගෙ සහතිකේ මේ ගැසට් එකට වලංගු නෑ. හොඳම ලකුණු තිබ්බ හංදයි කතාකලේ, ඒත් අපිට කරන්න දෙයක් නෑ..., ලියුමක්  ගේන්න මේ ආයතනයෙන්... මේ සහතිකේ වලංගුයි කියල. රජයේ ආයතනෙන් නම් දෙනවා, නැත්තං ඔයාට හරි අසාධාරනයක් වෙන්නෙ"

මිලින වන පැතුම් පොදිගන්නාගෙන අකුරුවල පිහිට පතා හිත අසරණ වෙද්දී, අකුරු වලින් ඒ ප්‍රාර්ථනා ප්‍රතිකෂේප වෙද්දී, කඳුලු හදවතේ ඳුක සෝදන්නට ඇවිත් තිබුනි. 

කෙනෙකු අකැප  අකුරු හරහා නුසුදුසු මාලිගාවේ සුදුසුකම් ලබද්දී කැපැයි කී සුදුසුකම්  බොල් හුළඟේ ගසාගෙන ගියයුරු කවුරුවත් දකින්නට නැත. 

***************************

අලුත් ගැසට් එකක්, අලුත් විභාගයක්, අලුත් සම්මුඛ පරික්ෂනයක් අතරට මෙවර අලුත් සුදුසුකමක් ඈඳී තිබෙනු දකිද්දී හදවතේ ඔත්පලව පනගැසූ බලාපොරොත්තුව  එල්ලා මරන්නට හිත තීරණය කරන්නට ඇත. 

අලුත් සුදුසුකම නොසැපිරූ නිළධාරීන් නවක මල්කැකුලු තලන්නට ඒ සුදුසුකම යොදද්දී, අසරණවු හිත වාන්දමා නෙත් අගින් වෑස්සෙන්නට පටන් ගති !

"නැද්ද ඒක හරිගියේ"

"නෑ"

"මටනම් හරිගියා, මධ්‍යම ආණ්ඩුවට. මං හිතුවෙවත් නෑ ලැබෙයි කියලා"

"හ්ම්හ්..ලකුණු කීයද, විශයට තිබ්බ විභාගෙට"

" 34යි."

"පාස් මාර්ක් එක 40නෙද?"

"ඔවු,ඒත් දන්නැද්ද"

"  හ්ම්හ්, ඒක ඇත්ත! මට තරඟ විභාගෙට, ලකුණු 124යි." 

*************************

කඳුලු කැට නෙත් තෙමද්දී අලුතින් දැනුන සීතලට හදවත හිරිවැටෙද්දී මා ඇඳමත වාඩිඋනෙමි. රස්සාවත් , හීනයත් අද මම මරාදමමි!. 

කරන්නට පුලුවං උපරිමය හමුවේ හෙම්බත් වූ හිතට තරවටුකලෙමි. දැන් ඇති ! 

තවත් මේ වෙනුවෙන් තැවෙද්දී හෙට දවස ඔත්පලවනු ඇත! 

සහතිකත්, අයැදුම් පතත් අතරින් නොපිරවූ අයැදුම් පත ගෙන සීරුවට නවා, කවරයට බහාලූ මම, එය පරිස්සමට මගේ අත්බෑගය තුලවූ රතුපාට දිනපොතේ පිටු අතර මිහිදන් කලෙමි.

"අම්මා ඇහුවොත්... මං කියනව මේපාර Application එක
Reject  වෙන්නැති කියලා"

යලිත් ඒ පෙඟුනු කවුලුව අසල පුටුවට බරදුන් මම හිරිකඩත් සමඟ එක්වී අලුත් හීනයක් සොයන්නට වීමි

ආල කතා නැති



පිණි අහුරක් ළඟ
මුතු කඳුලක් ඔබ
සීතල අතරට
උණුහුම තවරන

රත් පියුමක් ළඟ
වතුසුදු මල ඔබ
හැඩ පැහැයක් නැති
මුදු සුවඳක් මිස

සැනසුම ගෙනඑන
සුසුම් හෙවන ඔබ
රිදවා හදවත
කඳුල කියාදෙන

දේදුනු පැහැ නැති
දේ දුන්නක් ඔබ
ආල කතා නැති
සෙනෙහස ගෙන එන

Wednesday, August 3, 2011

**මාතු පාදං නමාමී - රත්න ශ්‍රී විජේසිංහ



**මාතු පාදං නමාමී - රත්න ශ්‍රී විජේසිංහ

මාතු පාදං නමාමී
මාතු පාදං නමාමී

සොහොන පාමුල
පැන් වැඩූ තැන
බිම බලාගත් නාගහක් ඇති

කාත් කවුරුත් නැතැයි
හිතුනම
නාගහට දුක හිතෙනවා ඇති

සුළඟ ඇවිදින්
සැර පරුෂ ලෙස
බිමදමනවිට නාමලක පෙති

මගේ අම්මා
එදා වාගෙම
නොපෙනෙන්න මට -  හඞනවා ඇති


**නිර්මාණයට එහි අයිතිකරු යොදා තිබූ නම 
'මාතු පාදං නමාමි' ම දැයි කියා මට නිවැරදිව කීමට
 මතකයක් නැත. 
ඒ මා එදා එය සටහන් කරගනිද්දී 
එහි නම මඟහැරී ගොස් ඇති බැවිනි. 

Tuesday, August 2, 2011

මුතු පබලු



'පබලු ගිලිහුන නූල් පොටක්' ඇඟිලි අතරෙ හිරකරගෙන උන්නු පුංචි දෝණිගෙ ඇස්වල කඳුලු.

 "ඇයි දුවේ...."

"මුතු ඇට ටික සේරෝම බිම වැටුනා! මේ... මෙච්චරමයි ඉතිරි උනේ"

හිහ්... හිනාවක් පිටට පනින් හදද්දි මං ඒක නවත්තගත්තෙ දරුවගෙ හිත රිදෙයි කියල. මං සිනිඳුවට පැංචිගෙ කෙස් අතරෙ ඇඟිලි ගාටවන ගමන් පොඩියකට එතැන වාඩි උනා.

" ඔයාට පුලුවං ඒ බිම වැටිච්ච පබලු සේරම හොයාගන්ඩ. බාග වෙලාවට එකක් දෙකක් හම්බෙන්නෙම නැති වෙන්ඩත් පුලුවං තමා. ඒත් ඔයාට පුලුවං නෙ පොඩ්ඩක් හොයල බලන්ඩ"

මං කියද්දි  කෙල්ලගෙ කඳුලු පිරුණ ඇස් ගෙඩි දෙක මහ විශාල උනා. කටත් උල්කරන් ඉතිරි වෙච්ච 'පබලු' දෙක තුන දිහා හොඳට බලං ඉඳල ඔන්න ආයෙ කටහඳන්නෙ කියවන්ඩ. ඒ විතරක් යැ අලුත් කඳුලු පබලු දෙකකුත් එල්ලිලා ඇස් අගිස්සෙ ඔන්න වැටෙන්න - මෙන්න වැටෙන්න.

" ඒව පබලුද? ඒව 'මුතු' නෙවේද?"

"නෑ දරුවො... ඒ පබලු... මුතු වගේ තමා... ඒත් ඒ පබලු"

හ්ම්හ්... 

සිඟිති හුස්මක්....සීරුවට, තාලෙට, පරිස්සමට හුළඟට මුහුවෙද්දි ඈ මගෙ අතිං අල්ල ගත්තා

" අම්මෙ, මං සිඟිතිට කිවුව ඒව මුතු කියල"

මගෙ කනට කරල රහසින් වගේ කොඳුරල  කීව කෙල්ලගෙ මූන බලද්දි   ඒක බැරෑරුම් ප්‍රශ්නයක් බව අඟවන්න මට සිද්දඋනා. ඒ මූන ඒ තරම්  බරවෙලා.

"හ්ම්... එයා ගාවත් ඇත්තෙ පබලු මාලයක් තමා..."

"එහෙනම් එයා කීවේ ඒක මුතු ඇටවලින් හදල කියලා"

"එහෙම තමා සමහරු 'පබලු' වලටත් 'මුතු' කියනවා"

හෙමීට හිත හැදීගෙන එද්දි දරුව ආයෙ මොහොතකට කාර්ය්‍ය බහුල වෙලා. 

"අම්මෙ මේ... මං සේරම පබලු හොයාගත්ත මේ"

ඔයා හොඳයි නෙ, දැං පුලුවං සේරම ටික ආයෙ අමුණන්ඩ, තිබ්බ විදියටම"

"තිබ්බ විදියටම? ඒක ආයෙ ඒ විදියම වෙයිද? "

"ඔවු ඒ විදියටම පෙනෙයි"

"පේනව තමා ඒත් ඒකම නෙවේනෙ අම්මෙ.... ඒ කලිං මුතු මාලෙම නෙවේ..."

මොහොතක් මම දෝණි දිහාව බලං උන්නා.  පුංචි පබලුවක් අස්සෙ මට ඈ එක්ක කතාකරන්න  නොතේරෙන  වචන හුඟක කතාවක අඩිතාලම දකිද්දි ඈ බිම වාඩිවෙලා පබලු අමුණන්නගත්තා.

" ඒක පබලු මාලයක් උනාට කමක් නෑ. මං ඒක හදාගන්නවා. ඉස්සර වගේම නොවුනට ඒක ඒ වගේම තියෙයි"

මම පුංචි හාද්දක් ඒ නලලෙ පලන්දල  ආපහු හැරෙද්දි ඈ මගේ ගවුමෙ රැල්ලක එල්ලුනා.

"අම්මේ....ඒක මුතු නොඋනට කමක් නෑ. මං ඒක ඉස්සරට වඩා හොඳට පරිස්සං කරගන්නව"

පුංචි ආඩම්බර කාරියෙක්ගෙ ලස්සන හිනාවක් ඒ මූනෙ ඇඳෙද්දි මං ලොකු හුස්මකින් හිත පුරෝගත්තා.

Monday, August 1, 2011

(අ)පිළිවෙල



සුදු පාට ඉරි වැටුන
රෝස පාට කමිසෙට
වහං කරගෙන කුණු ඟඳ ගහන හෘද සාක්ෂිය
ඇඟිල්ලක් දික්කලේ
පාට මැකුණ ඩෙනිමට, කරාඹුවක් දාල - බාගෙට වැවුන කොණ්ඩෙට

උන්ට හංඟන්න දේවල් නැතිකොට
උඹ ආයෙ හැරෙන්න බැරි දවසක් එනකල්
තිත්ත  අභිරහසක් නේද

හමන දාට ඔය හංඟන ඟද
වැඩක් තියේවිද ආපහු හැරීමක් නැතිකොට!