සීතල....!!
අඳුරු පැහැ ඝණ කබාය අතරින් රිංඟා එන සීතල, පුංචි අත් පා හිරිවට්ටන්නට හදද්දී, සිඟිති මුව පොඩිය හකුලා ගනිමින් රන්මිණි තව තවත් ඈ තුලටම ගුලි වී ඒ සීතල අමතක කර දමන්නට පරාජයම ලියාදුන් තරඟයක යෙදෙමින් උන්නාය.
පාලු තාර පාරේ ඉඳ හිට යනෙන වාහනත් නිහඞ මිනිස් රුවකුත් හැරෙන්නට මුලු පරිසරය පුරා තෙත් සහිත, සීතල නිහඞතාවයක් පැතිරී තිබුනි. ඈ පසෙක සීතලෙන් මිරිකෙමින් මුත්, ඉඟි පාන හුළඟ හා කෝලවන රතු රෝස මල් පිරවූ බඳුනකි. රන්මිණි ගේ පුංචි ඇඟිලි අතරේ සිරඋන තවත් එවන්ම රෝස පොකුරක් වූ අතර, ඒ ළමා ඇගිලි සහ අත්ල සිඳුරු කරමින් ඇනුන රෝස කටු ඈට වේදනාවක් නොදුන්නා දැයි පුදුමයෙකි. සමහරවිට මහත් වූ සිතලට හිරි වැටුන ඒ ඇඟිලි වේදනාවට සංවේදි නැතිවා වන්නට හෝ ඈ ඒ වේදනාව ගනන් නොගත්තා වන්නට පිලිවන.
නැතහොත්, රන්මිණි සිඟිත්තී ඒ වේදනාවට හුරුවී ඇතුවා වන්නට ඇත!
ඈ වටා වූයේ සැබැවින්ම සුන්දර දසුන් රැසකි. අලු පාට කඳු පංති වල මුඳුන් වටා එතී තිබුන මීදුම් සලුත්, ඈතට ඈතට තවත් ඈතට දිවෙන කෙමෙන් නොපැහැදිලි වෙන තුරු හිස් වලත්, හිත හිරිවට්ටාගෙන ගැඹුරු ඉසවු සොයාගෙන දිවෙන ප්‍රපාත වලත් ඇති සුන්දරත්වයට ඔබ්බෙන් එතුල පැලපදියන් වී සිටින අඳුරු, තෙත්, සීතල විසින් තෙරපනු ලබන අසරණකම ඈට සියල්ලටම වඩා දැනෙනවා විය හැක.
සීතලෙන් මිරිකෙන ගතට තෙහෙටටුවත් උණුහුම කෙරේ වන දැඩි දොලත් අතරින් කුසගින්න ඇයව සෙල්ලමට ගෙන තිබෙන අතරේ වංගුව අසල මිටි මායිම් කණුව මත පුංචි රන්මිණි වාඩි වූවාය.
රෝස මල්.....
ඈ මොහොතකට ඈ අත වූ මල් මිට යලිත් බඳුනට දමා අනෙක් රෝස මල් හා මුහු කලාය.
හ්ම්...!
ඒ කෙටි වූත්, අසරණ වූත්, නමුත් ඟැඹුරු හුස්ම නාස්පුඩු අතරින් සැනෙන් වාතයට මුහු උනේ ඒ සමඟමය.
රැගෙන ආ මල් වලින් විකිණුණේ මල් අටක් පමණි. දැන් දවල් එකත් පහු වෙන්නට ආ නමුත් බනිසකට හෝ වියදම් කරන්නට ඈ සතු රුපියල් වියදම් කරන්නට පුංචි හිත එකඟ කරගත නුහුනුව රන්මිණි බලා උන්නාය.
"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."
වංගුවේ ඒ මාඉමත්, මේ මාඉමත් දෙස මාරුවෙන් මාරුවට බලපොරොත්තු සහගතව බලමින්ම ඕ කාලය ගතවෙනවාට දුකින් නොඉවසිලිමත්ව උන්නාය.
කාලය ගත උවත් කමක් නැත. ඈට උවමනා මල් සීයක් විකුණන්නටය.
මල් සීයක්...!
රුපියල් දාහක්....!
පුංචි ඇස් මානයේ අසරණව ඇඳේ වැතිර ඉන්නා තාත්තා මැවී, යලි මැකී ගියේය. ඒ කීවෙනි වතාවටදැයි ගනන් තබාගන්නටවත් නොහැකි වාරගනනක් ඒ දසුන ඈ ඇස් ඉදිරියේ ඇඳෙමින් - මැකෙමින් කෙමෙන් ගතවන කාලය හා එක්ව ඈ තව-තවත් කලබලකරමින් තිබෙද්දී සැනෙන් වංඟුවෙන් මතුවූ යතුරු පැදියක් ඈ පසුකර යනු දැක නොසන්සුන් වුවාය.
සිහියෙන් නොසිටියාට තමා ගැනම ඇති වූ තරහකින් ඕ මද දුරක් යතුරු පැදිය පසුපස දිව ගියේ නමවෙනි මලක් විකුනා ගැන්මේ විශ්වාසයට වඩා කෙමෙන් ඉකිබිඳුමක් බවට හැරෙමින් තිබූ වේදනා සියල්ලම සමඟ උපන් කේන්තියකිනි.
"ඒ වගේ පුංචි දරුවෙක්ට කේන්ති එන්නෑ.... ඒව බොහොම පිරිසිදු හිත්, 'මල් වගේ'....."
කෙනෙක් එසේ කියන්නට පිළිවන.
නමුත්, දරන්නට පුලුවන් උපරිමයටත් වඩා වේදනාවන්ම විඳි මටසිලිටු හිතක 'කරගැට' ඇතිනොවෙතැයි සිතන්නට පුලුවන්ද?
වංඟුවේ එහා කොණෙන් අතුරු දන් වූ යතුරු පැදියේ වේගයට පරාද වූ සිඟිත්තී එවර නෙත් අගින් කොපුල් තල තෙමන්නට ඉදිරිපත් වූ කඳුලු වලක්වන්නට හෝ පිසදමන්නට වත් උත්සාහ නොගෙන ඒවාට ගලායන්නට කාලය දුන්නාය.
රැළි වැටී දම් පැහැයක් ඇතිවූ ඇඟිලි වලින් තවත් රෝස පොකුරක් එකතු කරගත් ඕ තෙත් කොපුලින් හා ඉකියෙන් වෙවුලමින් පාර අද්දර බලා උන්නාය. අත දමා, මල් පෙන්නා, ඒ වාහන වල පියාඹන සොඳුරු පරිසර ලෝලීන්ගේ හිත් පැහැර ගන්නට ඈ අසමත් වූයේ සමහර විට ඈ තවම පුංචි හන්දා වන්නටත් පිලිවන.
ඇයවත්, මල්ලීවත් තාත්තා සමඟ ගෙදර දමා අම්මා ගියේ කොහේ, කුමකටදැයි ඈ තවම නොතේරුන සිතැත්තී...., තාත්තා පෙලෙන වකුගඩු අමාරුව හේතුවෙන් නිවසට අම්මා කෙනෙක් වෙන්නට සිතුවාට වඩා එය ඉබේ සිදුවන්නට ඇත.
සායනයට තාත්තා යා යුතුවු දවස දිනෙන් දින කල් ගොස් දැන් දින තුනක් වී ඇත!
ආණ්ඩුවේ ඉස්පිරි තාලෙන් දුන් බේත් ඉවර උනේ ඒ දින තුනෙන් පලවෙනි දින උදේය. බෙහෙත් ගන්නට යායුතු වු දවස පහුවූ විට ඉස්පිරිතාලේ උදවියගේ නෝක්කාඩු, බැනුම් වලින් කන් පිරී ගියත් පුංචි ගේ පොඩියේ සිට ඒ ඉස්පිරිතාලයට යාමටත්, ගිහින් ඒමටත් රුපියල් දාහකට මෙහා එක ත්‍රීවීල් මමා කෙනෙක් දැන් නැමෙන්නෙ නැත. කලින් 'පවු' කියා 'සිතා' අඩුවට ඉස්පිරිතාල ගමනට කැමැත්ත පලකලත්, පහුවත්ම අඩුවට හයර් එක යාමට අමතරව ඒ වරුවටම ළඟ දුවන හයර් දහයක්, පහලවක් මඟඇරීමත් හේතුවෙන් ඔවුන්ටත් අනුකම්පාකිරීමේ නිමාවක් දකින්නට අවැසි වන්නට ඇත.
"හෙට බ්‍රහස්පතින්දා! සඳුඳට පස්සෙ ඊළඟ ක්ලිනික් දවස....ඒක මඟ ඇරුනොත් ආයෙ සඳුඳා වෙනකල් ඉන්ඩ!"
ඒ සිතුවිලි මනසේ ඇඳෙද්දී ඒ එක්කම ඇඳුනු වෙනදාට වඩා කහපාට වී තුබූ තාත්තාගේ කෙට්ටු හීතල මූන සිහි වීමෙන් පුංචි ගත වෙවුලා ගියාය.
"හෙට කොහොමහරි තාත්තව එක්ක යන්ඩ ඕනිමයි!"
ඈ ලොකු හුස්මක් සමඟ ආයෙමත් හිතන්නට ඌවාය...
"මල් සීයක්...!"
"රුපියල් දාහක්....!"
"තව එක බයිසිකලයක්, එක කාර් එකක්, එකමෙක වෑන් එකක්, නැත්තං කැබ් එකක්..."
නුදුටුවා සේ ඉඟිල ගිය බයිසිකල්, හැරී බලන නෝනලා එක්ක පා උන කැබ්, උසුලු විසුලු ඝෝශා පිරුණ වෑන් පහක් - දහයක් හෝ ඊටත් වඩා ගණනක් වංඟුවේ එහා කොණෙන් නොපෙනි යද්දී සීරුවට පා වී ආ සුදුපාට පුංචි මොටර් රථය රන්මිණි අසල නතර වූයේ දවසේ නමවන ගැනුම්කරුවා ඈ වෙතට ගෙන එමිනි.
රථයේ ඉදිරි දොර විවෘත කරන් ආ ලස්සන නෝන කෙනෙක්!
"මේ රෝස මලක් කීයද බබෝ..."
"එකක් දහයයි නෝනා"
රන්මිණි ඈ සතු ලස්සනම හිනාවෙන් මුව සරසා ගන්නට වෑයම් කලාය...
"ඕ...අපේ අප්පච්චිගෙ 50th Birthday එක. මට මුකුත් Percent එකක්වත් ගන්න බැරි උනා. මට දෙන්න හොඳ Roses සීයක්!. අප්පච්චි කැමති වෙයි ඒකට"
හුරතල් හඞින් ඒ වදන් මිදෙද්දී රන්මිණි ගේ විඩාබර හදවතට රුධිරය ගලා එන්නට විය.
"මල් සීයක්...!"
"රුපියල් දාහක්....!"
සතුට නිම්නැතිව යද්දී, ඈත වංඟුවෙන් මතු වූ සිය සිඟිති මල්ලීට මදක් උඩපැන අත වැනූ ඕ යුහුසුලුව රතු කුසුම් සියයක් මිටි කොට ඒ සිනිඳු, සුඳු අතට පත් කලාය.
සැනෙන් සියතට ලැබුන ඒ කොලපාට නෝට්ටුව ඉහලට ඔසවා, උඩ පනිමින්, මදින් මද ලංවන මල්ලීට පෑවාය.
නැහැයට ළංකර සුවඳ බැලුවාය.
සුදු පාට මෝටර් රථය පාවී ඉවතට යද්දී රවුමක් කැරකී සීතලෙන් හදවත පුරවා ගත්තාය.
දඩාං!
එකවරම කොන්දත් හිසත් හිරිවට්ටන වේදනාවක් සමඟ පුංචි රනමිණිය තාර පාරේ විසි වී ඇද වැටුනාය. බිම වැටී උන් ඒ සිඟිත්තීගේ ඇස් පියන් මතින් හිසේ සිට ගලා ආ ලේ වැඟිරී යද්දී ඈ මොහොතකට දෑස් මදක් විවර කරගත්තාය. මදක් නතර කරගෙන සිට හැල්මේ ඉගිලුන කලු පාට කැබ් රථය වේගයෙන් අතුරුදන් වෙද්දී, තමා දෙසට අඞමින් දිව එන මල්ලී දැක ඕ ලෙයින් පෙඟුන රුපියල් දහස යුතු සුරත මදක් ඔසවා ගති.
"අක්කේ... අක්කේ...අනේ අක්කේ...."
සිඟිත්තා මර හඞ තලද්දී, ඇ මුදල ඒ අතට දුන්නාය.
"දු..වන්ඩ..! මල්..ලි... දුව..න්ඩ!...ඕ...ක තා...ත්ත..ට දෙන්...ඩ!"
ඈ වචන ඇමිණුවාය.
ලේ විලක වැටී ගැහෙන අක්කාගේ දසුනින් සලිත වූ නොදරුවා!
එකම පිලිසරණ වූ තාත්තා සොයා දුවන්නට විය.
අවට මීදුමකින් වැසීයනවා සේ පෙනෙද්දී.... රන්මිණී, පුංචි රතු කුසුමී.... විසිරුණ ඉතිරි රෝස මල් පෙති මත නෙත් පියාගත්තාය.
බිම වැටුන රෝස ඉත්තක වූ කටුවකට සිදුරු වී තිබූ සුදු මැලි කොපුලින් නැඟුන ලේ බිඳත් ඒ හිසින් ගලා ආ රුහිරු ඟගට එක්වන්නට ඇත!
:(
ReplyDelete