Wednesday, August 10, 2011

මම සමඟ මම




පිපුණු මල් අතරින් බේරී වැටෙන මැලැවුන මල් පියලි!

ජීවිතය මේ වගේ යැයි විටෙක මම සිතමි. සැනින් හිත වෙනස් වී ඒ ජීවිතය නෙවේ යයිද හිතමි. 

සමහරවිට.... 

ඔවු, සමහරවිට, ඒ ඒකඟතාවක් නොමැති හදවතේ ස්වරූපය වන්නට පිලිවන. එවන් හදවතක් සතුව ඉපදීම වරදක්, පාපයක් නැතහොත් හැංඟිය යුතු කරනාවක් දැයි කියා හෝ එවන් හදවතක් සතුව උපන් එකම පුද්ගලයා මම පමණක් දැයි නොදනිමි.

ජීවිතය....

ජීවිතයේ සමහර තැන් වලදී මගේ අත අතහැර ගිය දසුන පමණක් හදවතේ කැටයම් කරගත් මම, ජීවිතය විසින් මගේ අත අල්ලාගත් මොහොතක් ගැන මතකයක් සොයාගත නුහුනුව විටෙක කලබලව හිඳිමි. 

හදවත. .....

තවම මම සොයමි. මොලයේද, හෘදය වස්තුවේදැයි කියා නොදැන මංමුලාවී සෙවිය යුතු තැනක් නොදැන  සෙවීමේ ආසාවෙන් මඞිමින් 'හැඟීම්' දැනෙන හදවතක් සතුව හිඳියදීම එය ඇත්තේ කොතනදැයි සොයන්නට මා පුංචි හෝ කාලයක් දියකර ඇත්තෙමි.

පාට පෙට්ටියක් තුල අතරමං වෙමි!

රතු, නිල්, කහ, කොල, සුදු, අන්තිමේ 'කලු' නේක වර්ණ අතරේ සරනා හෝරාවකදී මම මොහොතකට නතරවෙමි. පාට තුලින් ජීවිතය වර්ණ ගැන්නීමට තනද්දී දැක ඇති දසුන් හරහා ක්‍රියාත්මක වෙමි. 

අවසන, 

නොගැලපෙන කෝලමක් වී අසරණව හිත රිද්දාගමි 'මොහොතකට'

තප්පරයක්, විනාඩියක්, පැයක් හෝ දවසක් දෙකක් ඒ 'මොහොත' පවතින්නට පිලිවන. ඒ 'මොහොතක්'දැයි අයෙක් සමච්චල් කරද්දී, මම ජීවිතයේ මගේ වන ඉසවුවක නතරවී එවන් තැන් රසවිඳිමි. ගෙවී ගිය අතීතයෙන් සමාන තැන් අවුස්සා හැඩිකර සොයාගෙන යලිත් විඳිමි. අපිලිවෙලින් කලකිරෙන හිත මඞිමින් ඒවා විඳිමි, විඳවමි.

යලිත් සැනසෙමි.

මුනගැහෙන  අයවලුන් හා එක්ව හිනාවක් රසවිඳිමි. කඳුලක් සොයා ගොස් සීතල විඳිමි.  'හිතන'වාට වඩා 'හිතෙන' සිතුවිලි අතර හිඳ මැදහත් වෙන්නට 'සිතමි'

මම අතීතයට ලෝබ වෙමි.

හෙට ගැන සිහින මවමි

අතරතුර හුස්ම ගන්නා ගමන් ජීවිතය ගැන පුදුම වෙමි!

මම හදවතට කතාකරමි ඒ තුලින් මා දකිමි. ඉදිරියට හෝ පසුපසට මඟක් නොමැතිව අතරමං වන විටෙක නතරවෙමි. 'මොහොතකට' නතරවෙමි.

ඒ හැඟීම විඳින්නේ මා පමනදැයි කියාද මම පුදුමයෙනි.

 මා මගේ හදවත හා යෙදෙන සංවාද ඇහෙන්නේ මටම පමනක් බැවින් සමහරවිට ඒ මා පමණක් නොවේ යැයි මටම පවසමි. 

මම මා සමඟ දොඩමලු වෙමි.

1 comment: